‘ගැඹුරු මුහුදට ඇදෙන දිය වැල’ – හොෂානි කාවින්ද්‍යා අබේවර්ධන
වර්තමාන අධ්‍යාපනය යනු සිසුවා හට උගෙනුම කෙරේ උනන්දුව වඩවන්නක් නොව හේ වෙහෙසට පත් කරන්නකි. දරාගත නොහැකි තරගයකට කොටු කරන ලද සිසුවා පාසැල මෙන්ම සරසවියෙහිද එබඳුම පීඩනයකට ලක් වන්නේ අවසන සමාජයට පිවිසෙනුයේ අතරමංවූ අසහනයෙන් මැඩුණු පුද්ගලයකු ලෙසිනි. යෞවන දරුවන්ගේ ලෝකයට පොලිස් වෙසින් පනිනා වැඩිහිටියන් කල්පනා කල යුතුව ඇත්තේ තම දරුවන්ගේ විනය ගැන වද වෙන වැඩිහිටි සමාජය දරුවන්ගේ ලෝකය විකෘති තිරීමට කෙතරම් දායකවී ඇතිද යන්න ගැනය. තම දරුවන්ට ලිංගික අධ්යා පනය පිළිබඳ අවම පිවිසුමක් හෝ දෙන්නට ඉඩක් නොදී පොලු අමෝරා ගන්නා වැඩිහිටි සහ ආගමික සමාජය තම දරුවන් යෞවන වියෙහි පසුවන බව අමතක කර ඔවුන්ගේ ලෝකය විසිතුරු කිරීමට ඇති ඉඩ අහුරමින් යෞවන පරම්පරාව ඔබාගෙන සිටින්නට තැත් දරති. මේ සියළු විකාර මැද සිදුවන එක් දෙයක් වනුයේ දරුවන්ගේ නිර්මාණ කුසලතාවන්ද එලෙසින්ම යටපත්ව යාමයි.
හොෂානි යනු පසුගිය කාලය පුරාම ඒ පීඩනය මැද ඉදිරිය බලන්නට තැත් දරනා යෞවනියකි. ඇය තවමත් පසුවනුයේ උසස් පෙල පංතියට ඇතුලත් වන අවස්ථාවෙහිය. එහෙත් ඇය මේ දක්වා ගෙවුන කාලය පුරා කිවිඳියක ලෙස සිය හැකියාවන් පල කර සිටින්නීය. ඇගේ කවිය ඇය පසුවන වයස ඉක්මවා මුහුකුරා ගිය කවියකි. ඇය තම කවියට විෂය කරගන්නා බොහෝ කරුනු වැඩිහිටි ලෝකයට ගෝචර වන දේ ය. එහෙත් ඇය සිය දක්ෂතාව පල කරමින් ඒ විෂයන්හී තම කවිය රැගෙන යන්නීය.
ඇගේ කවිය උතුරා යන උද්යෝගය පල කරනා සජීවී කවියකි. එහෙයින්ම ඇයට තම කවියෙහි සීමාවන්ද විටෙක මග හැරෙයි. විශේෂයෙන්ම තමන්ට පැවසීමට ඇති දේ ගැන දැඩි උනන්දුවෙන් පසුවන ඇය බොහෝ කොට තම කවි ඊට අනුචිත අයුරින් දීර්ඝ කරන්නටද පෙළඹෙයි. මේ නම් ඇය තදින් කල්පනා කළ යුතු කරුණක් බව කිව යුතුය. කවියට ඇවැසි සංක්ෂිප්තබව සහ එහි සීමා වටහා ගැනීම ගැන ඇය අවධානය යොමු කළ යුතුය.
පුෂ්පාම්බපාලී යනුවෙන් එන ඇගේ කවිය අපේ සම්භාව්‍යයි, ආගමික, සම්ප්ර්දායික යන මේ සෑම සාහිත කෙතක් කෙරේම ඇය තුළ වන අවබෝධය ගැන කියා පාන්නකි. එසේම ඇය ඒ කවිය හරහා නූතන සමාජයෙහි කාන්තාව පිලිබඳ විචාරයක යෙදෙන්නීය. පිරිමි ලෝකයක් තුළ මැලවී යන ස්වකීය වර්ගයා කෙරෙහි ඇය බලනා ආකාරය මෙන්ම කාන්තාවට උරුම කරදී ඇති කඳුළින් ලියනා කතන්දරය ගැන සවිඥානිකය. ඇය තම කවිය තුළ කාන්තාවකට මේ සමාජයෙහි විඳින්නට වන කටුක අත්දැකීම් මෙන්ම ඒ අත්දැකීම් ඇයට උරුම කරදෙන විවිධ පාර්ශවයන් ගැනද විමසිලිමත් වන්නීය.
කෙලෙස් රේණු කපා හැරිය
පාරමිතා පුරන පිච්ච
බියෙන් මුන්ගෙ බඹර මතට
එළි බහින්නෙ කළුවරේම
ඇය අවසන කාන්තාවගේ පොදු ඉරණම පැණයක ආකාරයෙන් අපට ඉදිරිපත් කරන්නීය.
නෙක බමරුන් හා නිදිවැද
මල වෙනුවට හටගත් පල
නැටි අග හිඳ උසුලනකොට
ළඟට එන්නෙ මොන බඹරද
ඇය දීර්ඝ රචනාවන් වෙත වැඩිපුර සමීප වුවද ඇය සංක්ෂිප්ත කවියෙහිද කුසලතා පල කරයි. ඇගේ සංක්ෂිප්ත කවියෙහිදී ඇය ජීවිතය සහ එහි සංකීර්ණත්වය මෙන්ම ජීවිතය යනු අත් හැරිය යුත්තක් නොව වටනා සැරියක් බව සිහිපත් කරනුයේ මේ අයුරිනි.
හොයාගන්න බෑ තාමත්
මේ සා ලස්සන පාරක්
අතරමං නොවුනා නම්
බැරිවෙලාවත් පොඩ්ඩක්
මේ කවියද ඇය ජීවිතයෙහි ගැඹුර විනිවිදින්නට දරන තැත විදහා පාන්නකි.
හෙමින් හෙමින් නැග ආවෙමි
කඳුවැටියේ මුදුන් තැනට
පාමුලේදි මට නොපෙනුන
අඩක් දුරට නැග එද්දිම
හොරෙන් එබී දුව සැඟවුණ
ලස්සනම බොහෝ තැන්
දැන් පුළුවනි දැක ගන්නට
මුදුනට විත් හතිලන’තර
ඇගේ කවි අතර ‘දිනුම ඔයාට’ නමින් වන කවියක්ද වෙයි. මේ කවිය ඇය වැඩිහිටියන්ගේ ලෝකය කෙරේ වන තම අවබෝධය මෙන්ම ඒ තුළ ගැබ්වන නෙක වංගගිරි කෙරෙහිද වන නිරීක්ෂණයන් පලකරන්නකි. ඇය මෙහිදී තම කවියට විෂය කරගනුයේ දික්කසාදය වෙත ඇදෙනා යුවලකි. ඇය කවිය ඉදිරිපත් කරන්නේ සැමියාගේ කෝණයෙනි. කුටුම්භය බිඳ වැටෙද්දී ඒ සැමියාට දැනෙන ආකාරය පරිකල්පනය කරනා ඇය තම කවිය පාර්ශවික කරගන්නට තැත් නොදරා ඒ තුළ මිනිස් හැඟුම් විනිවිදින්ට සියුම් ලෙස උත්සාහ කරයි. එහෙයින් ඇගේ කවිය සරල විරහවේ ගිලෙමින් දොස් පවරා ගන්නා ගීත සහ කවි පිරි ලොවකට කදිම පිළිතුරක් බවටද පත්වෙයි. බිරිඳ නිවෙසින් පිටව යන අවස්ථාව ඇය මෙසේ සිතුවම් කරයි.
අරන් යද්දි ලොරි බාගෙක
නුඹේ දෑවැදි හිමිකම් ටික
එකම හාන්සි පුටුව
පොටෝ ඇල්බම් එක
විතරක් මගෙ තනිය රකින
ලොරි බාගෙක ගෙනයනු ලබන දෑවැද්ද, නිවසේ ඉතිරිවන එකම වස්තුව බවට හාන්සි පුටුවක් සහ ඇල්බමයක් පත්වීම යන මේ ඇඟවුම් කුටුම්භ ජීවිතය ගැන කියනා දේ බොහෝය. එසේම ඇගේ කවිය වෙන් යාම නොවැලැක්විය හැකි වුවද ඒ තුළ වන සංතාපයද දනවන්නකි.
ඇගේ කවි එකතුවට නම සපයන කවිය කිවිඳියක ලෙස තම මාර්ගය පිලිබඳව ඇය සිතනා ආකරය ගැන සාක්ෂියක් මෙනි. ඇය මේ තරගකාරී ලොවෙහි තම භූමිකාව පුළුල් මිනිසත් බවක් වෙත බැව් අපට අඟවන්නීය. මේ ඇය තම ගමනෙහි ඇරඹුම සටහන් කරන ආකාරයයි.
අහස් කුසත් පසාරු කර
නැගුණ යෝධ කඳුවැටි මැද
තෙරපීගෙන ඇදෙමින් යන
දියවැලක්මි බිම ගාටන.
ඇගේ මේ අවබෝධය ඉතා වැදගත්ය. ඇය තම ගමනෙහි යෙදෙනාතර ලෝකය අලංකාරවත් කිරීමට සුපසන් කිරීමට තමන් තුළ වන අභිලාෂය මෙසේ පල කරන්නීය.
නිකන් ඔහේ එන අතරම
සිඳුණු විලක් පොකුණක් ළඟ
නැවතීගෙන දොඩමලු වී
මලක් තෑගි කර යමි මම
හොෂානිගේ කවි අතර ඇය ගෙ කවිකාරකම ගැන නිදර්ශන සැපයිය හැකි තවත් කවි ගණනාවක්ම වෙයි. ඇය තම පළමු පියවර තබා හමාරය. ඒ බෙහෙවින් නොඉවසිලිමත්, අනුරාගී යෞවන කිවිඳියකගේ ඇරඹුමකි. එහෙත් ඇය තම කවි තුළින් තමනට බර අඩි තැබිය හැකි බව පවසා සිටියි. දැන් ඇත්තේ තම කවිය වඩා පෝෂණය කිරීම උදෙසා දැඩිව වෙහෙසිය යුතු අවධියයි. තම අධ්‍යාපන කටයුතු අතරම සිය නිරීක්ෂණාක්ෂියද මුවහත් කරගනිමින් ඉවසිලිමත් ලෙස ඉදිරිය බලන්නේ නම් අපට දක්ෂ කිවිඳියක අපේ කවි කෙතෙහි සිය අස්වනු නෙලන ආකාරය දැකිය හැකි වනු ඇත.
චූලානන්ද සමරනායක