Home Blog Page 5

අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීතිවිරෝධීයි – පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක්කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

පිල්ලෙයාන් මේ පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙසත්, ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා සිටින බවත් ය.

පිල්ලෙයාන් 2025 අප්‍රේල් 08 වැනි දින මඩකලපුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන දින 90ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබාගන්නා ලදි.

පිල්ලෙයාන් තම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කර ඇත්තේ තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය කර ඇති අතර, ඊට ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට ද ඔහු මෙමගින් තර්ක කරයි.

සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක් !

උසස් පෙළ විභාගය සමඟ බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ඉතා ඵලදායි විකල්පයක් හඳුන්වා දී තිබේ. ඒ තුළින් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයන් බවට පත් වීමට සිසුන්ට අවස්ථාව ලැබේ. මෙම වැඩසටහන හැදෑරු සිසුන් 1,000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ෆින්ලන්තය වැනි රටවල ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වී ඇත. සාමාන්‍ය පදනම් පාඨමාලා මෙන් නොව IIHS පිරිනමන ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාව සැළැසුම් කර ඇත්තේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ප්‍රමිතිවලට අනුවය. එය සම්පූර්ණ කරන සිසුන්ට වෛද්‍ය විද්‍යාව, හෙද සේවය, සම සෞඛ්‍යය, මහජන සෞඛ්‍යය, සෞඛ්‍ය පරිපාලනය, ඩිජිටල් සෞඛ්‍යය සහ දත්ත විද්‍යාව වැනි නැඟී එන ක්ෂේත්‍රවලට අදාළ උපාධි පාඨමාලා හැදෑරීමට සෘජුව සම්බන්ධ විය හැකිය.

“අධ්‍යාපනය සමඟ බැඳී ඇති සාම්ප්‍රදායික බාධක බිඳ හෙලමින්, සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට මේ තුළින් සිසුන්ට අවස්ථාව ලැබෙනවා. ඒ හරහා කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමටත්, සෘජුවම ගෝලීය මට්ටමේ වෘත්තිකයන් බවට පත් වීමටත් සිසුන්ට පුළුවන්.” IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවැසීය. IIHS අධ්‍යාපන සංවර්ධන ප්‍රධානී ආචාර්ය දිනුෂා කනටිවෙල පැවසුවේ මෙම පාඨමාලාව විද්‍යා විෂය ඉගැන්වීමෙන් ඔබ්බට යන බවයි. “ශාස්ත්‍රීය ලේඛණ සහ පර්යේෂණ කුසලතාවල පටන් වෘත්තීය සන්නිවේදනය දක්වා වන සෑම දෙයක්ම ඉගෙනීමට මෙම පාඨමාලාව හදාරන සිසුන්ට අවස්ථාව ලැබෙනවා. ඔවුන් මෙම පාඨමාලාව අවසන් කරන්නේ ආත්ම විශ්වාසයෙන් හෙබි, කුසලතාවලින් පරිපූර්ණ, ජාත්‍යන්තර වශයෙන් තරගකාරී පිරිසක් හැටියටයි.”

මෙම පාඨමාලාවේ විෂය නිර්දේශයට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය, ශාස්ත්‍රීය ලේඛණ, ඩිජිටල් සාක්ෂරතා වැනි විෂය රැසක් ඇතුළත් වේ. එහි අනෙකුත් කොටස් අතර ඉංග්‍රීසි භාෂා සංවර්ධනය, නායකත්වය සහ මෘදු කුසලතා ප්‍රධාන වේ. “පාඨමාලාව හදාරන සෑම සිසුවෙකුටම ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ෆින්ලන්තය වැනි රටකට ගොස් උසස් අධ්‍යාපනය හදාරන්න අවස්ථාව ලැබෙනවා. මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගෝලීය අවස්ථා උදා කර ගන්න ඔවුන්ට ලැබෙන වටිනා අවස්ථාවක්.” වැඩසටහන් ප්‍රධානී ගයාන් ගුණතිලක මහතා පැවැසීය.

මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු www.iihs.edu.lk හෝ contact [email protected] ඔස්සේ ගත හැකිය.

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ !

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට වඩා බොහෝදුරට මැතිවරණ නීති අනුගමනය කළ අතර, පැරැන්නන්ගෙන් සමහරක් තවමත් දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරීව සිටිති.
විශේෂයෙන් සැළකිව යුතු කරුණක් වූයේ පසුගිය දශක හතර තුළ අනුප්‍රාප්තික ආණ්ඩු යටතේ සාමාන්‍යකරණය වී තිබූ ජනමාධ්‍ය සහ මූල්‍ය යන දෙඅංශයෙන්ම රාජ්‍ය සම්පත් මහාපරිමාණයෙන් අනිසි ලෙස භාවිත නොකිරීමයි. ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල වාර්තාවල රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියේ මෙම දියුණුව ගැන සඳහන් විය.

දිගු කලක් තිස්සේ ස්ථාපිත වූ ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා ප්‍රජාතන්ත්‍රවාදය වටළා ඇති ලෝකයක, ශ්‍රී ලංකාවේ මැතිවරණ අඛණ්ඩතාව වැඩිදියුණු වීම ශුභවාදී තත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදය සැමවිටම ඉදිරියට ගමන් කළ යුත්තක් බවත්, එසේම එය සැමවිටම ඛාදනයට ලක්විය හැකි බවත්, ඒ සඳහා නිරන්තරයෙන් සටන් කළ යුතු බවත් මෙම තත්වය සිහිපත් කරදෙනු ලබයි. මෙම මැතිවරණවල ප්‍රතිඵලයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය ශක්තිමත් වීම දිරිගන්වනසුළුය. මැතිවරණවලට තරඟ කළ දේශපාලන පක්ෂ විසින් ප්‍රකාශ කරන ලද තෘප්තිය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් බවට ලකුණකි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තම ස්ථාවරයන්හි යම් දියුණුවක් දුටු අතර, එයින් ඔවුන්ට තම අනාගතය පිළිබඳ සහතිකයක් ලැබිණි.

පළාත් පාලන මැතිවරණයෙන් තහවුරු වූයේ ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණෙන් සමන්විත මෙම දේශපාලන ව්‍යාපාරයේ හරය තවදුරටත් දේශපාලනයේ මායිම්වල නොමැති බවයි. ජාතික ජන බලවේගය දිවයින පුරා විසිරී සිටින ප්‍රධාන ධාරාවේ පක්ෂයක් ලෙස ස්ථාපිත වී ඇති අතර, එය වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයකට වඩා සැළකිවයුතු ලෙස ශක්තිමත්ව ඇත. මෙය මහමැතිවරණයේදී දක්නට ලැබුණු අතර, රටේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 21 ක බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. මෙය වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් කිසිදා නොකළ ජයග්‍රහණයකි. එලෙස ලැබූ ජයග්‍රහණය නැවත අනුකරණය කිරීමද අභියෝගාත්මක වේ. වත්මන් පළාත් පාලන මැතිවරණයේදී, ජාතික ජන බලවේගය දිවයින පුරා සිය පැවැත්ම රඳවා ගැනීමට සමත් වූ නමුත් එම ප්‍රමාණයටම නොවේ.

සහාය තහවුරු කිරීම

දෙසැම්බර් මහමැතිවරණයේදී පාලක පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සියයට 61 සිට පළාත් පාලන මැතිවරණයේදී සියයට 43 දක්වා සාපේක්ෂ වශයෙන් පහත වැටීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ. මෙම පහත වැටීම ජනප්‍රියත්වය අඩුවීමේ සලකුණක් ලෙස සමහරුන් විසින් අර්ථකථනය කර ඇත. කෙසේවෙතත්, එවැනි කියැවීමක් විසින් දේශපාලන වෙනසෙහි පුළුල් ගමන් පථය නොසළකා හරියි. මීට වසර තුනකට පෙර, ජාතික ජන බලවේගය ජාතික වශයෙන් ලබාගත්තේ සියයට පහකටත් වඩා අඩු ඡන්දය ප්‍රතිශතයකි. දැන් ඔවුන් සියයට 40කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින්, ඡන්දදායක මනාපය සහ දේශපාලන සංස්කෘතියේ ගැඹුරු පරිවර්තනයක් නියෝජනය කරයි. ඊටත් වඩා වැදගත් වන්නේ, මෙම ඡන්ද පදනමේ ස්ථාවරත්වයයි. එය දැන් ඕනෑම ප්‍රතිවාදියකුගේ ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යයි. මෙම මැතිවරණවලදී ජාතික ජන බලවේගය විසින් ලබාගත් ඡන්ද එහි ආසන්නතම ප්‍රතිවාදියාගේ ඡන්ද මෙන් දෙගුණයකි.

දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරන පක්ෂ විසින් බොහෝදුරට ජයග්‍රහණය කරන ලද උතුර සහ නැගෙනහිර මැතිවරණ ප්‍රතිඵල, වාර්ගික ගැටුම මතුපිටට යටින් සැඟවී ඇති බවට අනතුරු ඇඟවීමේ සංඥාවකි. සුළුතර පක්ෂවල සාර්ථකත්වය ජනවාර්ගික සහ ආගමික සුළුතර ඡන්දදායකයන්ගේ විවිධ අවශ්‍යතා සහ අභිලාෂයන් සහ රජය ඔවුන් සමඟ වඩාත් පූර්ණ ලෙස සම්බන්ධවීමේ අවශ්‍යතාව පෙන්නුම් කරයි. දරිද්‍රතාව, සංවර්ධනය නොමැතිකම, ආර්ථික සම්පත් සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැතිකම සහ අධික දූෂණයට ඇති විරෝධය යන පොදු ගැටළුවලට අමතරව, රටේ ජනගහනයේ අනෙකුත් කොටස්වලට නොමැති විශේෂ ගැටළු ද උතුර සහ නැගෙනහිර ජනතාව හමුවේ ඇත. ඔවුන්ගේ ඉඩම් මිලිටරිමය වශයෙන් අත්පත් කරගැනීම, අතුරුදහන් වූ පුද්ගලයන් සහ නඩු විභාගයකින් තොරව හෝ දරුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ (ආරක්ෂක හමුදාවන්ට කරන ලද පාපොච්චාරණ වරද පිළිගැනීමේ අරමුණු සඳහා භාවිත කිරීමට ඉඩ සලසන) දීර්ඝ කාලයක් සිරගත කර ඇති පුද්ගලයන් සහ ඔවුන්ගේ ප්‍රමුඛතාවය ඇති ප්‍රදේශවල ස්වයං පාලනය සඳහා දිගුකාලීන ඉල්ලීම් මෙයට ඇතුළත් වේ.

මෙම දිගුකාලීන ගැටළු කඩිනමින් විසඳීමට රජය අපොහොසත් වීම උතුර හා නැගෙනහිර ඡන්දදායකයන් තුළ අතෘප්තියට හේතු වී ඇති බව පෙනේ. ව්‍යුහාත්මක වෙනස්කම් අනිවාර්යයෙන්ම සංකීර්ණ හා මන්දගාමී වුවද, මෙම ප්‍රමාදයන්, විශේෂයෙන් දැනටමත් ආන්තිකකරණයට හුරුවී ඇති සුළු ජාතීන් විසින්, රජයේ උනන්දුවක් නොමැතිකම හෝ නොසළකාහැරීම ලෙස වැරදි ලෙස අර්ථකථනය කළ හැකිය. සුළුතර ප්‍රජාවන්ට කේන්ද්‍රීය වන ගැටළු සම්බන්ධයෙන් දෘශ්‍යමාන ප්‍රගතියක් නොමැතිකම, තමන්ව බැහැර කිරීමේ හැඟීමක් ඇති කරන අතර, දේශපාලන බෙදීම් ගැඹුරු කරයි. එසේවුවද, උතුර හා නැගෙනහිර පළාත්වල ජාතික ජන බලවේගයේ ඡන්දය නොවැදගත් නොවූ බව සඳහන් කිරීම වටී. ජාතික ජන බලවේගය සිය පණිවිඩය වාර්ගික දුක්ගැනවිලි සඳහා සකස් නොකළද එය සිදුවිය. ජාතික ජන බලවේගය විසින් යුක්තිය, වගවීම, සංවර්ධනය සහ සමානාත්මතාවය යන වටිනාකම් මත පදනම් වූ ජාතික ප්‍රතිසංස්කරණ පිළිබඳ දැක්මක් ඉදිරිපත් කර ඇත.

මැතිවරණ ජයග්‍රහණ අර්ථවත් පාලනයක් බවට පරිවර්තනය කිරීම සඳහා සටන් පාඨවලට වඩා වැඩි යමක් අවශ්‍ය වනු ඇත. එම ප්‍රදේශවල ජනතාව විසින් වැදගත් යැයි සැළකෙන ගැටළු කඩිනමින් විසඳීමට අපොහොසත් වීම නිසා ජනවාර්ගික හා ආගමික සුළුතරයන් වෙතින් ජාතික ජන බලවේගයට ලැබුණු ඡන්ද අහිමි වී ඇති බව පෙනේ. ඒ අනුව මෙම ගැටළු සම්බන්ධයෙන් ඉදිරි දර්ශනයක අත්‍යවශ්‍යතාව සිහිතබා ගැනීම අවශ්‍ය වේ. උතුර හා නැගෙනහිර මැතිවරණ දිස්ත්‍රික්ක හතෙන් දෙකක දිනාගත් ආසන අනුව ජාතික ජන බලවේගය පළමු ස්ථානයට පත්විය. ඔවුන් තවත් පස් තැනක දෙවැනි ස්ථානයට පත්විය. සංවර්ධනයේ සමානාත්මතාවය සහ සැමට සමාන අයිතිවාසිකම් පිළිබඳ එහි ප්‍රවේශය අනුනාදයක් ඇති බව පෙන්නුම් කරයි. මෙය සිදුවූයේ දෙමළ සහ මුස්ලිම් පක්ෂ ජාතිකවාදී හෝ වාර්ගික පදනමක් මත ඡන්දදායකයන්ට කරන ලද ආමන්ත්‍රණයන් හේතුවෙනි.

මන්දගාමී වෙනස

උතුරේ සහ නැගෙනහිර හෝ ඉන් පිටත වේවා, රජය තම පොරොන්දු ඉටුකිරීමේදී මන්දගාමී බව පෙනේ. පද්ධති වෙනසක් පිළිබඳ පොරොන්දුවේ සන්දර්භය තුළ, පැරණි ක්‍රමය දිගටම පවත්වාගෙන යෑම සඳහා කැමැත්තක් දක්වන අය විසින් එවැනි වෙනසකට බරපතල ලෙස විරුද්ධ වන බව පැහැදිලි කරුණකි. පද්ධති වෙනසකට සෑම විටම විශාල පරිමාණ විරෝධතා පැමිණේ. ගැටළුව වන්නේ, වෙනස්වීමේ මන්දගාමී වේගය ජනවාර්ගික හා ආගමික සුළුතරයන් විසින් ඔවුන්ගේ අවශ්‍යතා නොසළකා හැරීම නිසා ඇතිවන්නක් ලෙස දැකිය හැකි වීමයි. කෙසේවෙතත්, උතුර සහ නැගෙනහිර පමණක් නොව මුළු රටේම පද්ධති වෙනස සෙමින් සිදුවෙමින් පවතී.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති මහමැතිවරණයේදී, ජාතික ජන බලවේගය රට තුළ මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල ද පෙර නොවූ විරූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනාගත්තේය. එලෙස ලබාගත් සුපිරි බහුතරය සමග, ඊට අනුකුල වෙනස්කම් සිදුකිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලය භාවිත කළ යුතුව ඇත. පළාත් පාලන ආයතන 339 න් 267 ක පාලනයක් සහිතව, එහෙත් බොහෝ ආයතනවල සම්පූර්ණ බහුතරයක් නොමැතිව, ජාතික ජන බලවේගය දැන් ප්‍රාදේශීය මට්ටමින් පාලනය කිරීමට අවශ්‍ය සන්ධාන ගොඩනැගීමේ සහ එකඟතාවන් සෙවීමේ නිරත විය යුතුය. ප්‍රභූ අනුග්‍රහය, දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීමට පවතින ප්‍රතිපත්තිමය විරුද්ධත්වය මත දිගු කලක් තිස්සේ අනන්‍යතාවය ගොඩනගාගෙන ඇති පක්ෂයකට මෙය අභියෝගයක් වනු ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, අපකීර්තිමත් පක්ෂ සමඟ සන්ධාන ඇති කර ගැනීමට ඇති අකමැත්ත පිළිබඳව සංඥා කර ඇති නමුත් පක්ෂයේ වටිනාකම් බෙදාගන්නා ස්වාධීන අපේක්ෂකයන් සමඟ වැඩකිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර තිබේ. මෙම ස්ථාවරය, විශේෂයෙන් උතුර හා නැගෙනහිර ප්‍රදේශවල, සුළුතර ප්‍රජාවන් නියෝජනය කරන සහ දූෂිත ප්‍රධාන ධාරාවෙන් පිටත රැඳීසිටින දේශපාලන සංයුති ඇතුළත් කිරීම සඳහා පුළුල් කිරීමේ හැකියාව ලබාදෙන අතර, එය එසේ පුළුල් කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරයි.

ශ්‍රී ලංකාව වැනි බහුත්ව සහ බහුවාර්ගික සමාජයක, ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවය සහ ඵලදායී පාලනය සඳහා සභාග ගොඩනැගීම අවශ්‍ය වේ. විශේෂයෙන් උතුර හා නැගෙනහිර ප්‍රදේශවල නීත්‍යානුකූල සුළුතර පක්ෂ සමඟ සම්බන්ධ වීමෙන්, ජාතික ජන බලවේගයට එහි මූලික වටිනාකම් පාවා නොදී ප්‍රතිපත්තිමය පාලනයක නිරතවිය හැකිය. මෙය රටේ සෙසු ප්‍රදේශවල පළාත් පාලන බලධාරීන්ට ද ව්‍යාප්ත කළ යුතුය. 19 වැනි සියවසේ ඉංග්‍රීසි දේශපාලන දාර්ශනික ජෝන් ස්ටුවර්ට් මිල් පෙන්වාදුන් පරිදි, “දිගු කාලීනව රාජ්‍යයක වටිනාකම යනු එය නිර්මාණය කරන පුද්ගලයන්ගේ වටිනාකමයි”. එසේම බහුත්ව සමාජවල, එම වටිනාකම සාක්ෂාත් කරගත හැක්කේ සියල්ලන් ඇතුළත්වන පරිදි තීරණ ගැනීම තුළින් පමණි.

  • ජෙහාන් පෙරේරා
  • (ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගත්තකි.)

පරාජිතයා ජයග්‍රාහකයාට හූ කීම!

තමන්ගේ සමස්ත ප්‍රභූ දේශපාලන කඳවුරටම එල්ලවූ මාරාන්තික ප්‍රහාරයෙන් වියරු වැටී හිස හැරුණු අත දුවන, කැඩී බිඳී ගිය දේශපාලන අනාථයන්ගේ කඳවුරු කිහිපයක් පසුගිය පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ පරාජයකැ’යි බෙරිහන් දෙනු පෙනේ.
ඇත්තටම ආණ්ඩු පක්ෂය පරාද ද?
තනි වචනයේ පිළිතුර “නැත!” යන්න යි‍.
දේශපාලන පක්ෂවලට ද, අපේක්ෂකයන්ට ද, ඡන්ද දායකයාට ද, මාධ්‍යවලට ද තවමත් හරිහැටි නොතේරෙන අලුත් මැතිවරණ ක්‍රමයක් ඔස්සේ මේ හිමිව ඇති ප්‍රතිපලය ආණ්ඩුවේ ජයග්‍රහණයකැයි මහ ඉහළින් උඩදැමිය නොහැකි වුවත්, එය ඔවුන් ලද සාපේක්ෂ ජයකි‍.
විපක්ෂයේ සීසීකඩ වූ බලකඳවුරුවල නෂ්ඨාවශේෂයන්ගේ තවත් තීරණාත්මක පරාජයකි.
මේ ප්‍රතිපල ආත්ම මූලික තැනකින්, එනම් තමන් හිතන්නට කැමැති අච්චුවකට දැමීමෙන් තොරව විෂයය මූලික විදියකින්, එනම් පවත්නා තතු හැකි තරම් ඒවාට අවංකව විශ්ලේෂණය කරමින් එළැඹිය හැකි නිගමනය එය යි.

අලුත් මැතිවරණ ක්‍රමයක්

මේ මැතිවරණය පැවැත්වුණේ ලංකාවේ ප්‍රධාන මැතිවරණ 4 පැවැත්වෙන ක්‍රම අතුරින් වඩාත්ම සංකීර්ණ මැතිවරණ ක්‍රමය යටතේ ය. මතකය නිවැරැදි නම්, මේ ක්‍රමය යටතේ දැනට පවත්වා ඇත්තේ 2018 පළාත් පාලන මැතිවරණය සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය (දෙවතාවක්) පමණි.

‘පොහොට්ටු පොල්ලෙල්ලක් වුණත් දිනූ’ 2018 සහ ‘ජාජබය පරාද’ 2025

2018 මැතිවරණය ගැන ප්‍රසිද්ධ කියමන වන්නේ ‘පොහොට්ටුව යටතේ පොල්ලෙල්ලක් දැම්මත් දිනූ’ මැතිවරණයක් ලෙසිනි. වත්මන් පොහොට්ටු හිතවාදීන් සහ පොදුවේ ජාජබ විරුද්ධවාදීන් මෙය සලකන්නේ ‘ආණ්ඩු බලය නැතුවත් පොහොට්ටුව දැවැන්ත ජයක් ලැබූ මැතිවරණයක්’ ලෙසට ය.
ඒ පිරිස්ම අද කියන්නේ ජාජබය මේ මැතිවරණයෙන් පරාජය වී ඇති බව ය.
එහෙත් අප තේරුම් ගතයුතු කරුණ නම්, 2018 පොහොට්ටුව ලද ප්‍රතිපලය මේ මැතිවරණයෙන් ජාජබ ලැබූ ප්‍රතිපලයට වඩා අඩු එකක් මිස වැඩි එකක් නොවන බව ය.

එදා ඒ ‘විශිෂ්ට ජයග්‍රහණයේ දී’ පොහොට්ටුව ලබාගත් ඡන්ද ප්‍රතිශතය 44.65%කි.
මෙවර ‘පරාජයේ දී’ ජාජබය ලබාගත් ඡන්ද ප්‍රතිශතය 43.26%කි.
ප්‍රතිශත වෙනස ජාජබයට – (ඍණ) 1.39%කි
ඒ ‘විශිෂ්ට ජයග්‍රහණයේ දී’ පොහොට්ටුව දිනාගත් පළාත් පාලන ආයතන සංඛ්‍යාව 231කි.
මෙවර ‘පරාජයේ දී’ ජාජබය දිනාගත් ආයතන සංඛ්‍යාව 265කි.
දිනූ ආයතන සංඛාවේ වෙනස ජාජබයට + 34කි.
ජාජබය පැරැද්දුවායයි වහසිබස් කියන, 2018 සභා 231ක බහුතරය තිබූ පොහොට්ටුවට මෙවර එකම එක සභාවකවත් බහුතරයක් නැත‍‍. එනම්, දිනාගත් සභා 00 ය. එජාපයටත් ඇත්තේ 00 ය.
සජබයට ඇත්තේ 14කි‍.

සභා පිහිටුවීමේ දී එදත් අර්බුද

අද මෙන් ම එදා ද මේ දිනුවාය යි කියන 231ක් වූ සභා පිහිටුවන්නට ගිය විට පොහොට්ටුවට ද අද මෙන් ම සංකීර්ණ තත්ත්වයකට මුහුණදෙන්නට සිදුවිය. එය මේ මැතිවරණ ක්‍රමය විසින් ඇතිකරන සංකීර්ණතාවකි.
එහෙත් එදා පොහොට්ටුවට අද ජාජබය මුහුණදෙන තරම් දැවැන්ත වෛරී ප්‍රහාරයකට මුහුණදෙන්නට සිදුවන දේශපාලන වාතාවරණයක් නොවිණි. අද ජාජබය මොන ක්‍රමයෙන් හෝ පරදා යටපත් කිරීම සඳහා මෙරට දේශපාලනයේ කිසිදා නොවූ විරූ අශුද්ධ සන්ධාන ගොඩනැඟෙන තත්ත්වයක් එදා පොහොට්ටුවට එරෙහිව නොතිබිණි. එබැවින් ඒ සංකීර්ණත්වය අද මෙන් දැවැන්ත අර්බුදයක් වූයේ නැත.
එහෙත් අද එදා තිබූ සංකීර්ණතාව ම මේ ‘ප්‍රභූ බලකොටු බිඳවැටීටමේ භයංකර සිහිනය’ නිසා අතිශය සංකීර්ණ වී තිබේ.

විපක්ෂයේ පොහොට්ටුව සහ ආණ්ඩුවේ ජාජබය

ඊළඟ තර්කය 2018 පොහොට්ටුව විපක්ෂයේ සිටිමින් ද, ජාජබය මෙවර තුනෙන් දෙකක ආණ්ඩු බලයක් දරමින් ද මේ ප්‍රතිපල ලද බව ය.
එහෙත් මේ අවස්ථා දේකේ දේශපාලන සන්දර්භ මුළුමනින් වෙනස් ය. 2018 වනවිට පොහොට්ටුව හිටියේ තමන්ට 2015දී අහිමි වූ බලය මොන ක්‍රමයෙන් හෝ නැවත පෙරලා නොගතහොත් හිරේ විලංගුවේ වැටෙන්නට සිදුවන තැනක ය.
‘යහපාලන’ ආණ්ඩුව සිටියේ මෛත්‍රී-රනිල් දෙපැත්තට අදින, 2015 ජනතා බලාපොරොත්තු සුන්කර දැමූ, ජනප්‍රසාදයෙන් අන්තයට පිරිහුණු තැනක ය. (මෙයින් මාස 7කට පසු මහින්ද පෙරට දමා දින 52 ව්‍යවස්ථා කුමන්ත්‍රණ ආණ්ඩුව හදන තරමට මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මුල් ඇවරියම පිරිහී, කුණුවී තිබිණි.)
දැනට ඇති අත්දැකීම්වලට අනුව පෙනීයන අනෙක් කාරණය නම්, කාට ආණ්ඩු බලය තිබුණත් නැතත්, මේ මැතිවරණ ක්‍රමය යටතේ බොහෝ දුරට (අතිවිශේෂ තත්ත්වයක් යටතේ හැර) එන්නට ඉඩ ඇත්තේ මෙවැනි ප්‍රතිපලයක් බව ය.
ඒ අනුව පෙනෙන්නේ 2018 පොහොට්ටුව විජයග්‍රහණයක් ලැබුවාය කියන එකත්, මෙවර ජාජබය අන්ත පරාජයක් ලැබුවාය කියන එකත් පදනමක් නැති, තමන්ගේ කැමැත්තට ගොතන ආත්ම මූලික සුරඟන ආඛ්‍යාන බව ය.

ගල්-වැලි-පස් නියෝජනය

අනෙක් අතට, 2005න් පසුව පළාත් පාලන ආයතන රාජපක්ෂවරුන් යටතේ, විශේෂයෙන් බැසිල්ගේ මෙහෙයවීම මත දූෂිතභාවයේ ද සුවිශේෂී ආකාරයකින් ව්‍යූහගතවී තිබිණි. ලංකාවේ කතිකාව තුළ මෙය ‘ගල්-වැලි-පස් ආර්ථිකයේ නියෝජනයක්’ ලෙස ජනප්‍රිය අතර, තිස්සකුට්ටිආරච්චිට අනුව ‘කොන්තරාත්තුවකින් සාධාරණ ලාබ රේට්ටුවක් බෙදාගැනීමේ ක්‍රමවේදය’ ලෙස ප්‍රසිද්ධ වේදිකාවේ ලැජ්ජා බය නැතිව කියන තැන දක්වා දූෂිත වී තිබිණි.
මැතිවරණය පැවැතියේ එවැනි අතිශය විකෘති සහගත ලෙස ව්‍යූහගත වූ දේශපාලන ඒකක සඳහා ය.
මෙවර තරග වැදි ජාජබයට (පසුගිය වසරේ ඇල්පිටිය ජයග්‍රහණය හැර) කිසිදා කිසිදු පළාත් පාලන ආයතනයක බලය තිබුණේ නැත. ඔවුන් සභා 265ක බලය ලබාගන්නේ අලුත්ම බලවේගයක් ලෙසට ය.
ඊට ප්‍රතිපක්ෂව නාමල්ගේ කඳවුර 2018දීත් සභා 231ක බහුතරය ලද පක්ෂය යි.
ඔබ යම් සමාජ දේශපාලන ප්‍රතිපලයක් පොදු සමස්තයට වැඩක් ඇති විදියට අර්තකතනය කරනවා නම් එය කළයුත්තේ ආත්ම මූලිකව නොව විෂයය මූලිකව ය.

ගිය වසරේ ඇල්පිටියේ මොකද වුණේ?

ඊළඟට, පසුගිය වසරේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය ගනිමු.
එය පැවැත්වුණේ ජනාධිපතිවරණයෙන් මාසයකට පසුව ය. එහි ප්‍රතිපලය අද මේ ලැබී තිබෙන ප්‍රතිපලයේ ම කැඩපකැ’යි කිව හැකි ය.
ජනාධිපතිවරණයෙන් මාසයකට පසු ජාජබයට ලැබුණේ 47.64%ක ඡන්ද ප්‍රතිශතයකි. සභික ධූර 30ක් තිබූ සභාවෙන් ඔවුන්ට ලැබුණේ 15ක් පමණි.

එය අද ප්‍රතිපලයට කොතෙක් සමානද?

ඒ අවස්ථාවේ ද මේ කියන ආණ්ඩු විරෝධීන් මැරෙන්න හැදුවේ සති තුනකින් එන මහා මැතිවරණයෙන් ජාජබය පරදින බව ය. එහෙත් අවසන් ප්‍රතිපලය කිසිදු පක්ෂයක් කිසිදා නොලද 159ක පාර්ලිමේන්තු බහුතරයකි‍.
මෙයින් පෙනෙන්නේ ජනාධිපතිවරණ හා මහා මැතිවරණ අතරත්, මේ අලුත්ම හා සංකීර්ණම මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ අතරත් සාධාරණ සැසඳීමක් කළ නොහැකි බව ය. එනයින් ම ආණ්ඩුවක ජනප්‍රියත්වය ද ඉන් මැනිය නොහැකි බව ය.

පනත ගැටලුකාරීද?

මගේ පෞද්ගලික අදහස නම්, මේ ‘පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත’ තවදුරටත් සංශෝධනය විය යුතු බව ය. එහි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ඉහළම ගුණාංග මෙන් ම ප්‍රායෝගික තලයේ ගැටලු ඇතිකරන හිල් ගණනාවක් ඇති බව පෙනේ. ඒවාට පිරිමසින පිළියම් යෙදිය යුතු ය.
දියුණු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ හා පශ්චාත් මැතිවරණ සංස්කෘතියක් ඇති තැනකට මේ පනත සපුරා ගැලපෙන්නට පුළුවන. එහෙත් ලංකාව වැනි රටක දේශපාලන කණ්ඩායම් අතර අද පවත්නාක් බඳු එදිරිවාදීකම් උග්‍රවූ අවස්ථාවක මේ පනතේ එවැනි හිල් පැවතියහොත් ගොඩනැඟෙන්නට ඉඩ ඇත්තේ, ජනමතය බෙහෙවින් විකෘතිකර පෙන්වන, ජනමතයට එරෙහි වන ආයතන ව්‍යූහයක් නොවන්නේද යන්න ගැඹුරින් සලකා බැලිය යුතු ය.

සනත් බාලසුරිය

සමාජ මාධ්‍ය දුස් තොරතුරු, වෛරී ප්‍රකාශ කුණාටු මැද නොරැවටී සිටීමේ අභියෝගය ජයගැනීම !

තවත් මැතිවරණයක් ඊයේ අවසන් විය.පුළුල් අර්ථයෙන් මැතිවරණයේ නිදහස් සහ සාධාරණ බව සහ සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය හැසිරීමේ හොඳ නරක ගැන සාකච්ඡා කිරීමට තවම ඉක්මන් වැඩි  වුවත්, මැතිවරණයේ අවසන් දිනය දක්වා මැතිවරණ කොමිෂන් සභාව සහ නිරීක්ෂණ සංවිධාන වෙත ඉදිරිපත් වී තිබූ පැමිණිලි ප්‍රමාණය සහ ඒවායේ ස්වභාවය අනුව මෙවර පළාත් පාලන මැතිවරණය, සාපේක්ෂව මැතිවරණ නීති උල්ලංඝණ සිදුවීම් අඩු , නිදහස් හා සාමකාමී මැතිවරණයක් ලෙස සැලකිය හැකිය. පසුගිය මැතිවරණ වලට සාපේක්ෂව සමාජ මාධ්‍ය හරහා දුස් තොරතුරු හා වෛරී ප්‍රකාශන පැතිරීම් සම්බන්ධයෙන්ද මෙවර පළාත් පාලන මැතිවරණයේ යම් සුබදායී වෙනසක් පෙන්නුම් කරයි.

මැතිවරණයක අවසන් සතිය සහ අවසන් සතියේ අවසන් දින කිහිපය සැලකෙන්නේ  මැතිවරණයේ වඩාත්ම තීරණාත්මක කාල පරිච්ඡේදය වශයෙනි. ඡන්දදායකයෙකු තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම හෝ නොකිරීම පිළිබඳව අවසන් තීන්දු ගන්නා,එසේම ඡන්දය භාවිත කරන දේශපාලන පක්ෂය සහ අපේක්ෂකයින් පිළිබඳව වැඩියෙන්ම විමසිලිමත්වන කාල වකවානුව වන්නේ මෙම අවසන් දින කිහිපයයි.එනිසාම, ඡන්ද දායකයාට සිය ඡන්දය බලපෑමකින් තොරව,නිදහස්ව පාවිච්චි කිරීමට ඇති අයිතියට එරෙහිව විවිධ ක්‍රමෝපායයන් භාවිත කරමින් දුස් තොරතුරු, වැරදි පුවත් හා වෛරී ප්‍රකාශ පතුරුවන්නන්ටද, ‘ප්‍රොපගැන්ඩා කැම්පේන්වල’ යෙදෙන්නන්ටද  මෙම අවසාන දින කිහිපය අතිශයින්ම වැදගත්ය.ඒ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේද ඔස්සේ නොව,ඡන්දදායකයින් මං මුලාකිරීම මගින් තම තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම් සඳහාය.බොහෝවිට මැතිවරණයක අවසන් මොහොතේ සිදුවන මෙම වැරදි තොරතුරු ප්‍රචාරණයන්හි ප්‍රධාන ප්‍රචාරක මාධ්‍ය බවට පත්වන්නේ සමාජ මාධ්‍යයයි.සමාජ මාධ්‍ය පරිශීලකයින් දුස් තොරතුරු, වෛරී ප්‍රකාශ පිළිබඳ දැනුම්වත්භාවයෙන් අඩු,පහසුවෙන් රැවටෙනසුළු පිරිසක් වන තරමට කූට අරමුණු ඇතිව දුස් තොරතුරු පතුරුවන්නන්ගේ කාර්යය වඩාත් පහසුය.

මැතිවරණ මාධ්‍ය නිරීක්ෂණ වාර්තා පෙන්වා දෙන ආකාරයට, කිසියම් හෝ පාලනයකට යටත්ව ජනමාධ්‍යවේදීන් විසින් ප්‍රවෘත්ති හා විශේෂාංග අන්තර්ගත සම්පාදනය කෙරෙන   විද්‍යුත් නාලිකා හා පුවත්පත්වලට වඩා පුරවැසි අන්තර්ගත සම්පාදකයින් විසින් හසුරුවනු ලබන සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වන දුස් තොරතුරු, වෛරී ප්‍රකාශ ප්‍රමාණය සාපේක්ෂව වැඩිය.                                              

අවසන් වරට පැවැති 2024 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයේ සමාජ මාධ්‍ය හා සම්බන්ධ පැමිණිලි කළමනාකරණයේ පසු විපරම් වාර්තාව ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදී තිබුණේ ජනාධිපතිවරණයට අදාළව  සමාජ මාධ්‍ය ඒකකය වෙත ලැබුණ පැමිණිලි වලින්, නාමයෝජනා දින සිට මැතිවරණ දින දක්වා සමස්ත මැතිවරණ කාලය තුළ සමාජ මාධ්‍ය ආයතන විසින් ඉවත් කරන ලද සබැඳීන් ප්‍රමාණයට (872) ආසන්න සංඛ්‍යාවක්, එනම්,සබැඳීන් 751 ක් මැතිවරණයේ නිහඬ කාලය තුළ ඉවත් කිරීමට සිදුවූ බවයි.2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සමාජ මාධ්‍ය ආයතන විසින් සමස්ත මැතිවරණ කාලය තුළ ඉවත් කරන ලද සබැඳීන් ප්‍රමාණය 2515 ක් වූ අතර මැතිවරණයේ නිහඬ කාලය තුළ එලෙස ඉවත් කරන ලද සබැඳීන් ප්‍රමාණය 1822 ක් වී තිබිණි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පෙන්වාදෙන පරිදි දකුණු ආසියාවේ ඉහළම ජංගම දූරකථන ඝණත්වයක් පවතින්නේ ශ්‍රී ලංකාවේය.එය 131.5% කි.එනම්, පුද්ගලයින් 100 කට ජංගම දූරකථන සංඛ්‍යාව 131.5 කි.එම ජන ඝණත්වය බස්නාහිර පළාතට 123.3% ක් වනවිට දකුණු පළාතට 81.7% කි. අග නගරය හා තදාසන්න ප්‍රදේශවලින් ඔබ්බෙහි පිහිටි උතුරු මැද පළාතේ 90.3% කි.අඩුම ජංගම දුරකථන ඝණත්වයක් ඇති ඌව පළාතේද 62.1% කි. කොමිෂන් සභාවේ නිල තොරතුරු අනුව, 2024 වසරේ ආරම්භය වනවිට සිටි ශ්‍රී ලංකාවේ ජංගම දූරකථන ග්‍රාහකයින්ගේ සංඛ්‍යාව මිලියන 28.9 කි.ස්ථාවර ග්‍රාහකයින් මිලියන 3.5 කි.අන්තර්ජාල සේවා ග්‍රාහකයින් මිලියන 22.8 කි. මෙම දත්ත සැලකූවිට කූට අරමුණින් දුස් තොරතුරු පතුරුවන්නන්ට මෙම ජංගම දූරකථන ග්‍රාහකයින් හා අන්තර්ජාල පරිශීලකයින්ගේ සමාජ මාධ්‍ය ජාල කොතරම් වටිනා තෝතැන්නක්දැයි පැහැදිලිය.

  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, 2024 වසරේ සිව්වන කාර්තුවට අදාළව නිකුත්කර ඇති දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල ඔස්සේ සමාජ මාධ්‍ය පරිශීලනය අතින් ඉදිරියෙන්ම සිටින්නේ ෆේස්බුක්(fb )ය.ෆේස්බුක් පරිශීලකයින්ගේ සංඛ්‍යාව 15,031,412 (19%)කි.යූටියුබ් පරිශීලකයින් 14,528,371 (18%) කි. වට්ස්ඇප් 14,928,520 (18%) කි. වයිබර් 6,068,833 කි.ඉමෝ 7,662,817 කි .ඉන්ස්ටග්‍රෑම් 8,470,698 කි .ස්නැප් චැට්4,012,121 කි .ටික්ටොක් 10,557,052කි .

මැතිවරණ කාලසීමාවකදී විද්‍යුත්,මුද්‍රිත හා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් දුස් තොරතුරු,අසත්‍ය හා වෛරී ප්‍රකාශ පතුරුවන්නන්ගෙන් ඡන්දදායකයාට වන හානිය වළක්වාගන්නේ කෙසේද?යන ප්‍රශ්නය මැතිවරණයට දින කිහිපයකට පෙර අප මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වෙත යොමු කළෙමු.

සමන් ශ්‍රී රත්නායක, මැතිවරණ කොමසාරිස් ජනරාල්

සමන් ශ්‍රී රත්නායක, මැතිවරණ කොමසාරිස් ජනරාල්

“මැතිවරණ කොමිෂන් සභාව විදියට අපි මාධ්‍ය උපමාන නිකුත් කරල තියෙනවා.එසේම, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලාවල හැසිරීම් නිරීක්ෂණය කරනවා. ඒත්, පසුගිය මැතිවරණවලට සාපේක්ෂව සැලකූවිට මෙවර  අපට ලැබීඇති පැමිණිලි සංඛ්‍යාව ඉතාම අඩුයි.විශේෂයෙන්ම දුස් තොරතුරු,වෛරී ප්‍රකාශ වගේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉතාමත්ම අඩුයි. ”

 “ මෙවර අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව 71,000 ක්. ඒත්, මේ අපේක්ෂකයින්ගේ බල සීමාවල් කුඩා නිසා ඒවා ජාතික මට්ටමින් වාර්තාවීම් සහ පැමිණිලි ඉදිරිපත්වීම් අඩුයි.උතුරේ, කාන්තාවන් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන වෛරී කථනයන්,මඩ ගැසීම් වගේ සිදුවීම් තරමක් වැඩි බව පෙනෙනවා. ” මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මැතිවරණ කාල සීමාව තුළ සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම නිරීක්ෂණය සඳහා  ස්ථාපනය කරන ලද ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ  නිරීක්ෂණ සම්බන්ධයෙන්ද, පසුගිය මැතිවරණවලට අදාළව ඉදිරිපත්වූ සමාජ මාධ්‍ය පැමිණිලිවල ස්වභාවය සහ එල්ලවූ අභියෝග සම්බන්ධයෙන්ද අප මැතිවරණ කොමිෂන් සභාවේ පර්යේෂණ හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ චන්න පී.ද සිල්වා මහත්මා සමග වැඩිදුර සාකච්ඡා කළෙමු.  

චන්න පී.ද සිල්වා, අධ්‍යක්ෂ- පර්යේෂණ හා ක්‍රමසම්පාදන

චන්න පී.ද සිල්වා, අධ්‍යක්ෂ- පර්යේෂණ හා ක්‍රමසම්පාදන

“ පසුගිය මැතිවරණ දෙකට අදාළව ප්‍රධාන වර්ගීකරණ හතක් යටතේ සමාජ මාධ්‍ය පළකිරීම් නිරීක්ෂණය වුණා. ලැබුණ පැමිණිලිවල නීතිමය සහ මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීම් යළි පරීක්ෂාකර බැලීමකින් පසුව තොරාගනු ලැබූ පැමිණිලියි, අප සබැඳීන් ඉවත්කරවාගැනීම සඳහා  සමාජ මාධ්‍ය ආයතන වෙත යොමුකළේ. ජනාධිපතිවරණයට අදාළව යොමුකළ පැමිණිලි අතර වෛරී ප්‍රකාශ සම්බන්ධ පැමිණිලි 713  ක්, දුස් තොරතුරු පැමිණිලි 389 ක්, වැරදි පුවත් 231 ක් තිබුණා. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව යොමුකළ පැමිණිලි අතර වෛරී ප්‍රකාශ  පැමිණිලි 306 ක් තිබුණා.දුස් තොරතුරු පැමිණිලි සංඛ්‍යාව 188 ක්. වැරදි පුවත් පැමිණිලි 83ක්.

ජනාධිපතිවරණයේ පැමිණිලි 2877 ක් අතරින් නීති,මාධ්‍ය උපමාන හා සමාජීය මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීම් ලෙස හඳුනාගෙන  සමාජ මාධ්‍ය ආයතන වෙත යොමුකළ 2010 ක් වූ පළකිරීම් අතරින් 872 ක සබැඳීන් සාර්ථකව ඉවත් කරගැනීමට හැකිවුණා.ඒත්, පැමිණිලි 201 ක සබැඳීන් ඉවත්කිරීම සමාජ මාධ්‍ය ආයතන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි 6524 ක් අතරින් ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ සියුම් පරීක්ෂා කිරීම් වලින් අනතුරුව හඳුනාගත් පළකිරීම් 3277 ක් සමාජ මාධ්‍ය ආයතන වෙත යොමුකළා. ඒ අතරින් 2515 ක සබැඳීන් සාර්ථකව ඉවත් කරගැනීමට හැකිවුණත් තවත් පැමිණිලි129 ක සබැඳීන් ඉවත්කිරීම සමාජ මාධ්‍ය ආයතන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.”

අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට, සියුම් පරීක්ෂා කිරීම් වලින් අනතුරුව, උල්ලංඝණය කිරීම් ලෙස හඳුනාගනිමින් සමාජ මාධ්‍ය ආයතන වෙත යොමුකරන ලද ඇතැම් පැමිණිලි එලෙස ප්‍රතික්ෂේප වීමට බලපා ඇති හේතු කිහිපයකි.

“ ප්‍රධාන හේතුවක් තමයි,පැමිණිලි කරඇති පළකිරීමක් මගින් උල්ලංඝණය වන දේශීය නීතිය, අදාළ වගන්ති සමග පැහැදිලිව දැක්වීමට අපහසුවීම.අපේ රටේ නීතිය උල්ලංඝනය වෙනවා කියල කියනකොට ඒක හරියටම,පැහැදිලිව කියන්න අවශ්‍යයි. සමාජ මාධ්‍ය පළකිරීම් වර්ගීකරණය පිළිබඳ ඇතැම් නිශ්චිත නිර්වචන දේශීය නීතිතුළ පැහැදිලිව නැහැ. නිදර්ශනයක් ලෙස ජනවර්ගය,ජාතිකත්වය, කුලය,ආගමික ලැදියාවන් වගේ දේවල්.නැත්නම්,මේ සමහර දේවල් උල්ලංඝණ ප්‍රකාශයන් දේශීය නීති යටතේ වෛරී ප්‍රකාශන ලෙස සැලකෙන්නේ නැහැ.මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන මාධ්‍ය උපමාන සඳහා නෛතික බලයක් නොමැතිවීමත් ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී ගැටලුවක් ලෙස මතුවුණා. ”

පියුමි ආටිගල – නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ)

 ‘මැතිවරණ ක්‍රියාවලියට සමාජ මාධ්‍යවල බලපෑම’ පිළිබඳ පසු විපරම් වාර්තාව ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ) පියුමි ආටිගල මහත්මිය ඇතුළු කණ්ඩායම ප්‍රායෝගික හා ඵලදායී යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ(5)(අ) අනුව්‍යවස්ථාව තුළට සමාජ මාධ්‍ය සඳහා උපමාන සැකසීමට ප්‍රතිපාදන ඇතුළත් කිරීම,සමාජ මාධ්‍ය ජාලවල සමාජීය මාර්ගෝපදේශ වලට අනුකූල වන ආකාරයට අපගේ මාධ්‍ය උපමාන සැකසීම ආදිය ඒ අතරින් කිහිපයකි.

අසත්‍ය හා විකෘති කරන ලද තොරතුරු සහ වෛරී ප්‍රකාශ හානිදායී බව හඳුනාගැනීමෙන් පසුවත් එම ඇතැම් සබැඳීන් ඉවත්කරවීමට සමාජ මාධ්‍ය ආයතන සමග විශාල අරගලයක් කිරීමට සිදුවීම ගැන පොදුවේ දෝෂාරෝපන එල්ල වෙද්දී තරුණ සමාජ මාධ්‍ය පුහුණුකරුවෙකු හා බාහිර කථිකාචාර්යවරයෙකු වන කසුන් කුමාරගේ පවසන්නේ සමාජ මාධ්‍ය හිමිකරුවන් තමන්ගේ පරිශිලකයා වෙනුවෙන් මැදිහත් වෙමින් එවැනි සියුම් සොයාබැලීමකට යාමේ හොඳ පැත්තකුත් තිබෙන බවය.

සමාජ මාධ්‍ය පුහුණුකරු , කසුන් කුමාරගේ

සමාජ මාධ්‍ය පුහුණුකරු , කසුන් කුමාරගේ

“ මැතිවරණ කොමිෂන් සභාව හෝ වෙනත් ප්‍රබල පාර්ශවයක් විසින් ඉල්ලීමක් කළ පමණින් කිසියම් අන්තර්ගතයක් වහාම ඉවත් නොකොට සමාජ මාධ්‍ය හිමිකරුවන් තමන්ගේ නිර්ණායක මත එය නැවත විමර්ශනය කරන එකේ හොඳ පැත්තකුත් තියෙනවා.ඔවුන්ට බාහිර පාර්ශවයකට වඩා තමන්ගේ පරිශීලකයා වැදගත්.මේ මොහොතේ මැතිවරණ කොමිසම සහ රජය නිවැරදිව ක්‍රියා කරනවා වියහැකි වුවත් තවත් අවස්ථාවක එසේ නොවීමට ඉඩ තිබෙනවා.

මට හිතෙන්නේ මේ කරුණු පරීක්ෂාව ගැන පුරුද්ද ළමයෙකුට පුංචිම කාලේ ඉඳලා ලබා දියයුතු දැනුමක්.කරුණු පරීක්ෂා කිරීමේ විවිධ මෙවලම් රාශියක් තිබුණත් ඒ හැම දැනුමක්ම නිරන්තරයෙන් වෙනස් වෙනවා.අලුත් වෙනවා.ඒත්, පුද්ගලයෙකුට කිසියම් තොරතුරත් ලැබුණ විට එම තොරතුර පිළිගැනීමට සහ තවත් අයෙකුට බෙදාහැරීමට පෙර ඒ ගැන සැලකිළිමත්වීමේ පුරුද්දක් ඇතිකළ හැකිනම් දුස් තොරතුරු වලින් සිදුවන හානිය සෑහෙන මට්ටමකින් පාලනය කරගත හැකියි.”  

දුස් තොරතුරු මගින් සිදුවන සමාජ හානිය මැතිවරණ කාලයට පමණක් අදාළ කරුණක් නොවේ.එය අවම කරගැනීමට රටක් වශයෙන් හා පුරවැසි සමාජයක් වශයෙන් අප මහන්සි විය යුත්තේද මැතිවරණ කාලවලට පමණක් නොවේ. එහෙත්, අදාළ නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අප වෙහෙස වන අතරම සමාජ මාධ්‍ය තුළ පමණක් නොව එදිනෙදා ජීවිතයේදී, අපව මංමුලා කිරීමට වෙහෙසෙන්නන්  වහා හඳුනාගැනීමට තරම් අපට සූක්ෂම වියහැකි නම් අපට වන හානිය අවම කරගත හැකියැයි ඔබටත් නොසිතේද?

  • ආනන්ද ධර්මප්‍රිය ජයසේකර 

 ([email protected])

ඡන්ද ප්‍රතිඵලයේ උගත් පාඩම් 01 : NPP ජයග්‍රාහකයකු ලෙස හැසිරිය යුතුය !

වසර හතකට පසුව පැවැති පළාත් පාලන මැතිවරණය අවසන් වූයේ වෙනස් සංවාදයකට අවස්ථාව විවර කරමින් ය. රටේ ප්‍රධාන ම මැතිවරණ දෙක ලෙස සැලකෙන ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේය. 2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ඔවුන් ජයග්‍රහණය කළේ දෙවැනි මනාපයෙන් ය. එහෙත් 2024 නොවැම්බර් 14 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔවුන් ජයග්‍රහණය කළේ ආසන 159ක විශේෂ බහුතරයක් සහිතව ය. මෙවර එහි අඩුවීමක් තිබේ. දෙවනුව ප්‍රධාන මැතිවරණ දෙකේදී ම ඡන්දය ප්‍රකාශ කළ බහුතරයක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දපොළට ගියේ නැත. තුන්වැනුව ප්‍රධාන මැතිවරණවලදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ඡන්දදායකයන්ගේ හැසිරීම මේ මැතිවරණයේදී තරමක් වෙනස් වී ඇත.

2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කළේය. ඒ වසරේ අගෝස්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද මෛත්‍රී-රනිල් ආණ්ඩුව දිනුවේය. ඉන් වසර තුනකට පසු, 2018 පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි බහුතරයෙන් ජයග්‍රහණය කළේය. ඒ මැතිවරණය තෙක් කාලයේදී මෛත්‍රී-රනිල් ආණ්ඩුව දූෂණ විරෝධය, අපරාධවලට යුක්තිය ඉටුකිරීම වැනි කතා කී අතර, එවැනි වැඩ කරන බව මාධ්‍යයෙන් පෙන්වීය. එහෙත් ඇත්තටම කිසිවක් නිවැරදිව සිදු වූයේ නැත. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කළ වංචා-දූෂණ පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ ලේකම්වරයා වූ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ලැසිල් ද සිල්වා මාධ්‍යයට පවසා තිබුණේ දූෂණ සිදුවීම් පිළිබඳ සොයාබැලීම්වලට බාධාකිරීමේ දුරකතන ඇමතුම් සිය ගණනක් තමන්ට ලැබුණු බවයි. ඒ දුරකතන ඇමතුම් ලැබුණේ එවකට ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් බව ද ඔහු නම් සහිතව කිව්වේය. ඉන්පසු 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ලැබිණි.

ඒ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 340කින් 231ක් ජයග්‍රහණය කළේය. ඉන්පසු 2018 මාර්තු මාසයේදී අගමැති ධුරය මහින්ද රාජපක්ෂට ලබාගැනීමට සාකච්ඡා කෙරිණි. එහෙත් ඊට, එවකට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් බරපතළ ලෙස විරෝධය දැක්වීම නිසා වැඩේ නැවතිණි. මේ ගැන ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ පවසා තිබේ. කෙසේ වෙතත් ඒ උත්සාහ අසාර්ථක වීමෙන් පසු 2018 ඔක්තෝබර් 26 වැනිදා වැඩේ සාර්ථක විය. ශ්‍රේෂ්ඨාධිකරණය එය ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කළේය.

2022 ජන අරගලයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් ප්‍රතික්ෂේප විය. එය 2024 ප්‍රධාන මැතිවරණ දෙකෙන් ම තහවුරු විය. එහෙත් 2025 පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ යළිත් ඉහළට පැමිණ තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේදී න ම්එය සියයට 4 සිට 10 දක්වා වැඩිවීමකි. සමගි ජන බලවේගය ද මේ මැතිවරණයේදී සියයට 12ක තිබූ සිය ඡන්ද පදනම සියයට 20 දක්වා වැඩි කරගෙන තිබේ. ඊට සාපේක්ෂව ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය සියයට 72 සිට සියයට 54 දක්වා අඩු වී තිබේ.

මේ සංඛ්‍යා උපුටා දක්වමින් ජාතික ජන බලවේගය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් පවතින බවත්, එය ආණ්ඩු බලය අහිමි වීම දක්වා යනු ඇති බවත් විවිධ පාර්ශ්ව සඳහන් කරයි. එහෙත් නැවතත් ප්‍රධාන මැතිවරණයක් තිබෙන්නේ 2029දී පමණ ය. ජනතාව මෙවර ලබාදුන් පණිවුඩය තේරුම් ගැනීමට ජාතික ජන බලවේග ආණ්ඩුවට හැකි විය යුතුය. 

2024 වසරේ පැවැති ප්‍රධාන මැතිවරණ දෙකේදී ජනතාව තීරණාත්මක ලෙස බලාපොරොත්තු වූ අභිලාෂ තිබිණි. ඒ අතර ඉහළින්ම තිබුණේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සහ දූෂණයට-වංචාවට තිත තැබීම ය. ඊට අදාළ මෙහෙයුම් ආණ්ඩු පාර්ශ්වයෙන් ආරම්භ කර ඇති බවක් පෙනුණද, ඒවා ප්‍රමාණවත් ලෙස ජනතාව අතරට ගොස් නැත. උදාහරණයක් ලෙස පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන පසුගිය මාස හයේදී සැලකිය යුතු ලෙස සිදුවුවද, ජනතාවට ඒ පිළිබඳ කරුණු සන්නිවේදනය කිරීමට ආණ්ඩුව අපොහොසත් විය. දූෂණ-වංචා සම්බන්ධයෙන් වුවද තත්ත්වය එසේ ය. ජනතාව බලාපොරොත්තු වූයේ සීග්‍රගාමී ගමනකි. එනම් කඩිනමින් හිටපු ඇමැතිවරුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම ය, පසුගිය ආණ්ඩු කාලවල සිදු වූ අපරාධ පිළිබඳ සත්‍ය තොරතුරු කඩිනමින් දැනගැනීම ය. 

බලාපොරොත්තු වූ සීග්‍රගාමී බව නොමැති වීම නිසා සිදු වූයේ ජනතාව වෙනත් තැනකට යෑම නොවේ. ජනතාව ඡන්දපොළට නොයෑම ය. අනෙක් පැත්තෙන් එහි වාසිය විපක්ෂයේ දේශපාලන පක්ෂ ලබාගත්තේය. ආණ්ඩුව අසාර්ථක බවත්, ආණ්ඩුව පොරොන්දු වූ පරිදි නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට මැදිහත් නොවන බවත් ඔවුහු ප්‍රචාරය කළහ. ඒ සඳහා ඔවුන් සතුව ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය බලය ද තිබිණි. ඊට ප්‍රමාණවත් තරමින් ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුව සමත් වූයේ නැත. එසේම ආණ්ඩුවේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ අසාර්ථක – අකාර්යක්ෂමතා ද මේ ප්‍රතිඵලයට හේතු වූ බව අමුතවෙන් කියනන්ට දෙයක් නැත.

කෙසේ වෙතත් ආණ්ඩුව මෙහිදී 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයට වඩා ඉදිරියට ගොස් තිබේ. පළාත් පාලන ආයතන 339න් 265ක් ඔවුන් ජයග්‍රහණය කර ඇත. 

අනෙක් අතට මේ මැතිවරණයේදී දෙවනුව වැඩිම ප්‍රාදේශීය සභා ප්‍රමාණයක බලය හිමිකරගෙන ඇත්තේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි. ඒ ප්‍රමාණය පළාත් පාලන ආයතන 339න් 35කි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද පළාත් පාලන ආයතන 06ක බලය හිමිකරගෙන තිබේ. 2024 ජනාධිපතිවරණයටත් වඩා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරේ සහ නැගෙනහිර ජනතාව ජාතික ජන බලවේගයට විශාල ප්‍රතිචාරයක් දැක්වීය. එය මෙවර මැතිවරණයේදී තරමක් අඩු වී තිබේ. ප්‍රධාන මැතිවරණවලට සාපේක්ෂව පළාත් පාලන මැතිවරණවලදී ප්‍රදේශයේ නියෝජිතයා, එසේත් නැත්නම් දන්නා-හඳූනන පුද්ගලයාට මුල්තැන දීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එහෙත් මෙය එසේ කියා බැහැර කළ හැකි තත්ත්වයක් නොවේ. ඊට හේතුව පසුගිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ජනාධිපතිවරයාට සහ අගමැතිවරියට උතුරේදී සහ නැගෙනහිරදී ලැබුණු ප්‍රතිචාර ය.

නාමල් රාජපක්ෂගේ පොදුජන පෙරමුණ, එස්.බී.දිසානායකලා, එස්.එම්.චන්ද්‍රසේනලා, මහින්දානන්ද අලුත්ගමගේලා ඇතුළු එහි සිටි ජ්‍යෙෂ්ඨයන් නොමැතිව ඉහළට ඒමට සාපේක්ෂව මේ මැතිවරණයේදී ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීරගේ සර්ව ජන බලය ද ඉදිරියට පැමිණ තිබේ. එහි පොදුජන පෙරමුණෙන් ඉවත් වූ එස්.එම්. චන්ද්‍රසේනලා වැනි පිරිස් සිටිති. ඔවුන්ට සභිකයන් 224කට අධික ප්‍රමාණයක් ලැබී ඇත. එසේ ම පසුගිය කාලයේ කොටස් ගණනාවකට කැඩී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් විසින් පවත්වාගෙන යන, හිටපු ඇමැතිවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපාගේ සහ ලසන්ත අලගියවන්නගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් පෙරමුණ ද සභිකයන් 292ක් හිමිකරගෙන තිබේ. ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් තවදුරටත් පොළොවේ පය ගැසීමට උත්සාහ දරමින් සිටී. 

තවත් විශේෂ කරුණක් වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මූලික කරගත් ජන අරගල සන්ධානය මේ මැතිවරණයේදී මුල් වරට තරග කොට, සභිකයන් 16 දෙනකු දිනාගැනීමයි. ඔවුන් ඡන්ද 49,570ක් ලබාගෙන තිබේ. මේ, ඔවුන් මැතිවරණයකදී ලබාගත් වැඩි ම ඡන්ද සංඛ්‍යාවයි. එම සභිකයන් රට පුරා විසිරී සිටීමෙන් ද පෙනීයන්නේ සමස්තයක් ලෙස රට පුරා ජනතාවගෙන් කොටසක් ඔවුන්ට ඇහුම්කන් දී ඇති බවයි.

මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා තිබුණේ දූෂිතයන් සහ ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂවලින් කිසිවකු ආණ්ඩුවට සම්බන්ධ කරනොගන්නා බවයි. එහෙත් ස්වාධීන ලෙස ඉදිරිපත්ව, සභිකයන් ලෙස තේරීපත් වූ පුද්ගලයන් සම්බන්ධ කරගැනීමට සූදානම් බවක් ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර තිබූ බව මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව විපක්ෂයට බලය වැඩි ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටී.

ඇත්තටම මේ අවස්ථාවේ ආණ්ඩුව කළ යුත්තේ ඒ පළාත් පාලන ආයතනවල විපක්ෂයේ සිටීමයි. බලය පිහිටුවීමට උත්සාහ නොකිරීමයි. ඊට හේතු කිහිපයකි. ඒ අතරින් ප්‍රධාන වන්නේ ජනතාව තෝරාගත් ආකාරයට බලය පවත්වාගෙන යෑමයි. කෘත්‍රිම බලයක් නිර්මාණය නොකිරීමයි. එයින් කොමාවක් වැටෙමින් තිබෙන දූෂණය-වංචාවට තිත තැබීමේ පාර විවෘත කරගත හැකිය. ආණ්ඩු බලය පිහිටවූ පළාත් පාලන ආයතනවලදී ජනතා අභිලාෂවලට අනුව ඒ වැඩේ කිරීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුවට තිබේ. අනෙක් පැත්තෙන් සාපේක්ෂව වැඩි බලයක් සහිත සහ ආණ්ඩු බලය සහිත විපක්ෂය ලෙස අනෙකුත් කණ්ඩායම් විසින් සිදුකිරීමට ූත්සාහ කරන සියලු වංචා-දූෂණ එමගින් නතර කළ හැකිය. ජනතාවට ඔවුන්ව තව-තවත් අනාවරණය කළ හැකිය.

ඒ පාරේ යන්නට අවශ්‍ය නැත. යන බව පැවසීම පවා බොහෝ සභිකයන් නිහඬ වීමට හේතු වනු ඇත. එසේ නිහඬ නොවන්නේ නම් ඔවුන් පසුගිය කාලයේ මෙන් නොව දැන් හැදී තිබේ. ජනතාව බලාපොරොත්තු වූයේ ඒක ය. එවිට මතවාද කුමක් වුවත්, පක්ෂ පෙරටු කරගැනීම වෙනුවට රට පෙරටු කරගත් ගමනක් යා හැකිය.

  • ශාලික විමලසේන

තෙලිජ්ජවිල තරුණයකුට වධහිංසා කිරීම : පොලිස් නිලධාරීන්ට එරෙහි චෝදනා නීතිපති ඉවත් කරගනී !

තරුණයකුට වධහිංසා කිරීමේ සිදුවීමකට අදාළ ව පොලිස් නිලධාරීන් සිව්දෙනකුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා නැවත පැවරීමට යටත්ව ඉවත් කරගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව මාතර මහාධිකරණයට දැනුම් දෙයි.

සැකකරුවන්ගෙන් පෙර ප්‍රකාශයක් ලබානොගැනීම සහ අත්අඩංගුවට නොගැනීම යන හේතු මත මෙසේ අදාළ චෝදනා ඉවත් කරගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අද (08) අධිකරණය ඉදිරියේ සඳහන් කළේය.

මාතර තෙලිජ්ජවිල පොලිසියේ සේවය කරද්දී තෙලිජ්ජවිල පදිංචි දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා මෙම නිලධාරීන්ට අධිචෝදනා ගොනු කර තිබිණි.

එසේ චෝදනා ගොනුකර තිබුණේ වීරකැටිය පොලිස් ස්ථානාධිපති නුවන් බුද්ධික විජේතුංග, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන එකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දු ජයවික්‍රම, මාලිම්බඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත විජේසේකර සහ පොලිස් කොස්තාපල් සමන් ජයවර්ධන යන පිරිසට එරෙහිව ය.

පාස්කු වාර්තාව අධ්‍යයනයට ශානි පත්කිරීම ගැන නාමල්ගේ කනස්සල්ල – බරපතළ තත්ත්වයක් බවත් කියයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද පොලිස් කමිටුවට මධ්‍යම අපරාධ බුද්ධි විශ්ලේෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කනස්සල්ල පළකරයි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් වාර්තාව අධ්‍යයනය කරන කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත්කොට, කමිටුවේ සාමාජිකයන්ගේ සංඛ්‍යාව සිව්දෙනාගේ සිට පස්දෙනා දක්වා වැඩිකළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරන්නේ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරන පොලිස් නිලධාරීන් කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත්කිරීම බරපතළ අනතුරු ඇඟවීමක් බවයි. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ පවසන්නේ, මුල් විමර්ශනයට සම්බන්ධ වූවා පමණක් නොව, වාර්තාවේ නම් කර ඇති සාක්ෂිකරුවකු ලෙස කැඳවන ලද අයකු වන ශානි අබේසේකර මෙහි අධීක්ෂණ තනතුරකට පත්කිරීම සම්පූර්ණයෙන්ම නුසුදුසු බවයි. මෙය හුදෙක් ක්‍රියාපටිපාටිමය වශයෙන් වැරදි පියවරක් පමණක් නොව, සෑම සදාචාරාත්මක ප්‍රමිතියක්ම උල්ලංඝනය කිරීමක් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

‘මෙය සමස්ත ක්‍රියාවලියේම විශ්වසනීයත්වය මත අඳුරු සෙවනැල්ලක් ඇති කරයි. යුක්තිය ඉටුකිරීම පමණක් නොව, එය ඉටුවන බව ද දැකිය යුතුය. මහජන විශ්වාසය දැනටමත් බිfඳන සුළු‍ වන විට, එවැනි තීරණ සැකය සහ කලකිරීම තවත් වැඩි කරයි. මෙම ගැටලු‍ව තවදුරටත් සංකීර්ණ කරන්නේ, ශානි අබේසේකර විසින් මෑතකදී කරන ලද දේශපාලන ප්‍රකාශයන් මගින් ඔහුගේ දේශපාලන පක්ෂග්‍රාහීත්වයන් පැහැදිලිව හෙළිදරව් කිරීමෙනි. මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කරන පුද්ගලයාට පැහැදිලි දේශපාලන පැටළීම් ඇති විට, මෙම ක්‍රියාවලියේ මධ්‍යස්ථභාවය පිළිබඳව මහජනතාව විශ්වාස කරනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ කෙසේද?’ මන්ත්‍රීවරයා සිය සටහනේ එසේ ද සඳහන් කරයි.

විල්පත්තු පාර අරින්නට පෙර මේ තීන්දුව කියවගත්තොත් හොඳයි !

විල්පත්තුව මැදින් පාරක් හැදීමේ කතාවක් ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ කියන්නේ අලුත් පාරක් ගැන ද, තිබුණු පාරක් පුළුල් කිරීමක් ගැන ද, එසේ කළ හැකිද, ආණ්ඩුව බලයට පත්වීමට පෙර කීවේ මෙවැනි කටයුතු ගැන ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි. 

එළුවන්කුලම සිට මන්නාරම දක්වා විල්පත්තු ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මේ මාර්ගය කරත්ත පාරක් ලෙස තිබූ එකකි. යුද්ධය පැවැති කාලයේදී එය පුළුල් කර තිබේ. කෙසේ වෙතත් පසුව ජාතික වනෝද්‍යානයට ඇති හානිකර තත්ත්වයන් සලකා මේ මාර්ගයේ වාහන ගමනාගමනය දැඩි ලෙස සීමාකරන ලදි. නැවත මේ මාර්ගය විවෘත කිරීම පිළිබඳ කතාබහ පරිසර හිතකාමී ස්ථාවරයටත් වඩා ප්‍රජාවන් අතර ගැටුමක් හෝ අසමගියක් පිළිබඳ අදහසක් ඇතිකරීමේ අරමුණින් ප්‍රචාරය කිරීම ද දැකිය හැකිය. එනම් ඒ ඔස්සේ සිංහල – මුස්ලිම් මතවාදී ගැටුමක් මතුකිරීමයි. 

මීට පෙර ද බැසිල් රාජපක්ෂ සහ රිෂාඩ් බදූර්දීන් හිටපු ඇමැතිවරුන් එක් ව කළ විපත්තු විනාශය ප්‍රජාවන් අතර ගැටුමක් දක්වා ඇදගෙන යෑමේ උත්සාහයන් ක්‍රියාත්මක වුවද, ඒවා අසාර්ථක විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් කළ සොයාබැලීමේදී අනාවරණය වූයේ කවර තත්ත්වයක් යටතේ හෝ මේ මාර්ගය විවෘත කිරීමේ තීරණයක් ගන්නේ නම්, දෙපාර්තමේන්තුව ඊට දැඩි විරෝධය පළකරන බවයි. සත්‍ය වශයෙන්ම එවැනි නිශ්චිත තීරණයක් මෙතෙක් කිසිවකු ගෙන නැත. එහෙත් වර්ධනය කරනු ලබන මතයක් තිබේ.

ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව මේ පිළිබඳව වරින්වර අදහස් දක්වා තිබිණි. අගමැති හරිනි අමරසූරිය ද වරක් පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැති ප්‍රචාරක රැස්වීමක් අතරතුර මේ මාර්ගය විවෘත කරන බවක් පවසා තිබිණි. කෙසේ වෙතත් පරිසර සංවිධාන මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ද එල්ල වී ඇති දැඩි විරෝධය නිසා එවැනි පියවරක් නොගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එහෙත් අළු යට ගිනි ඇත. එම නිසා අළු ද නිවාදැමිය යුතුය. 

මේ මාර්ගය විවෘත කළහොත් මෙහි ගමන් කරන ඕනෑම අයකුට කිසිදු බාධාවකින් තොරව ජාතික වනෝද්‍යානයට ඇතුළු වීමේ හැකියාව ලැබේ. එසේ ගමන් කරන සියලු වාහන හෝ පුද්ගලයන් අධීක්ෂණය කිරීමේ හැකියාවක් වනජීවි දෙපාර්තමේන්තුවට නැත. දැනටමත් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ අනුමත කාර්යමණ්ඩලයට වඩා 800කට ආසන්න පුරප්පාඩු සංඛ්‍යාවක් සහිතව ය. අනෙක් අතට එවැනි තීරණයක් මගින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම අඩු වීම ද සිදු වේ. වනෝද්‍යානය මැදින් ම යෑමට තිබියදී වෙනත් ගාස්තුවක් ගෙවා නිල වශයෙන් වනෝද්‍යානයට ඇතුළුවීම බොහෝදෙනෙක් නොකරනු ඇත. සිංහරාජයෙන්, යාලෙන්, විල්පත්තුවෙන් ජාන මංකොල්ලය පිළිබඳ මෑත කාලීන උදාහරණ රැසක් හමුවෙමින් තිබෙන අතර, මෙවැනි තීරණයක් ගතහොත් සිදුවන්නේ පනින රිලවුන්ට ඉනිමං බැඳීමකි.

අනෙක් අතට මෙවැනි තීරණයක් ගතහොත් එය නීතිය ඉදිරියේ අභියෝග කිරීමේ අවස්ථාව ද ඇත. විල්පත්තුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණ වැදගත් තීන්දුවක් මීට පෙර ලබා දී තිබේ.  එහි දැක්වෙන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල්ලාරු ප්‍රදේශයේ එළිපෙහෙළි කිරීම් නීතිවිරෝධී බවයි. ඒ විල්පත්තුව් ප්‍රේරණ කලාපයයි. මෙම එළිපෙහෙළි කිරීමට හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ මැදිහත්වීමක් නිරීක්ෂණය වන බව තීන්දු කළ අධිකරණය, රිෂාඩ් බදියුදීන්ගේ පෞද්ගලික මුදලින් එම ප්‍රදේශය නැවත වගා කරන ලෙසට ද නියෝග කළේය. ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරුවරුන්ගෙන් යුත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව දෙනු ලැබීය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ද මෙහිදී අභියාචනාධිකරණයේ දැඩි විවේචනයට ලක් විය. වන සංරක්ෂණ ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් රක්ෂිත වනාන්තර ඉඩම් විශාල ප්‍රමාණයක් එළිපෙහෙළි කර අවතැන්වූවන් නැවත පදිංචි කරවීම සඳහා භාවිත කර ඇති බව අධිකරණය ඉදිරියේ ඇති සාක්ෂි මගින් තහවුරු වන බව නඩු තීන්දුවේ සඳහන් වෙයි.

නැවත පදිංචි කිරීම, සංවර්ධනය හා ආරක්ෂාව සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය (උතුරු පළාත) සහ 1990 දී අවතැන් වූ මුස්ලිම් ගම්මානවල ඉඩම් සම්බන්ධ ගැටළු විසඳීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එම කාර්ය සාධක බලකාය විසින් පත් කරන ලද කමිටුව විසින් ගනු ලැබූ තීරණ අනුව මෙම අයදුම්පතේ සඳහන් ඉඩම නැවත පදිංචි කිරීම සඳහා යොදාගෙන ඇති බව පෙත්සමේ සඳහන් විය.  

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් අධිකරණය ඉදිරියේ තහවුරු කර නොමැති බව අධිකරණය තීන්දුවේ සඳහන් කරයි.

එහි මෙසේ සඳහන් වෙයි.

”‍මෙම කමිටුව හෝ කාර්ය සාධක බලකාය විසින් කරන ලද කිසියම් නිර්දේශයක් මත පදනම්ව, මෙම ඉඩම නැවත පදිංචි කිරීම සඳහා භාවිත කර ඇත්දැයි අධිකරණය 2019.07.31 වැනිදා රජයේ නීතිඥවරයාගෙන් විමසීය.

උපදෙස් ලබාගැනීම සඳහා කාලය ගතවුවත්, අධිකරණය විසින් ඉල්ලා සිටි ආකාරයේ පැහැදිලි කිරීමක් ලබාදීමට ඔහුට නොහැකි විය.

ඒ වෙනුවට 2019 වසරේ නොවැම්බර් 22 දින මෝසමක් මගින් අධිකරණයට දැනුම් දුන්නේ පෙර දුන් නියෝගය අවලංගු කිරීමට පියවර ගන්නා බවත්, අවතැන්වූවන් පදිංචි කිරීම සඳහා භාවිත කළ ඉඩම බැහැර කරමින් නව නියෝගයක් ලබා දෙන බවත්, නැවත පදිංචි කිරීම් අවශ්‍ය නම් සෑම අවස්ථාවකදීම අවතැන්වූවන් රක්ෂිත වනාන්තරයෙන් පිටත ස්ථානගත කිරීමට උත්සාහ කරනු ඇති බවත් ය.

කෙසේ වෙතත්, 1990 වර්ෂයේ (මන්නාරම් දිස්ත්‍රික්කය) අභ්‍යන්තරව අවතැන් වූ මුස්ලිම් පවුල් අතර ඉඩම් සම්බන්ධ ගැටළු පිළිබඳ අන්තර් නියෝජිත කමිටුවේ වාර්තාව” 2012.10.15 දිනැතිව ලබා දී ඇති අතර, ඒ අනුව මෙම පෙත්සමේ විෂය කරුණ වන ඉඩම 2012.10.20 දින සිට බලපැවැත්වෙන පරිදි රක්ෂිත වනාන්තර බවට පත්විය.

එබැවින් අධිකරණය හමුවේ ඇති සාක්ෂි මත අනාවරණය වන්නේ රක්ෂිත වනාන්තරයක් ලෙස අදාළ ඉඩම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කාර්ය සාධක බලකාය හෝ කාර්ය සාධක බලකාය විසින් පත් කරන ලද කමිටුව එම ඉඩම් නිදහස් කිරීමට කිසිදු කාර්යභාරයක් සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත්, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා මෙම ඉඩම නිදහස් කර ගැනීමට කටයුතු කර ඇත්තේ එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසිනි.

2013.01.15 වැනිදා 7 වැනි වගඋත්තරකරුගේ සභාපතිත්වයෙන්, පරිසර හා තිරසර බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් සහ ඔහුගේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් පවත්වා ඇති අතර, එහිදී අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් කිහිපයක් නිදහස් කිරීමට තීරණය කර තිබේ.

එවකට වන සංරක්ෂණ ජනරාල් කේ.ජී. ආරියදාස මෙම රැස්වීමට සහභාගි වී වෙන් කළ වනාන්තර ඉඩම් නිදහස් කිරීමේ තීරණයට අත්සන් කළේය.

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා එවැනි රක්ෂිත වනාන්තර ඉඩම් නිදහස් කිරීම කළ හැකිව තිබුණේ වන සංරක්ෂණ ආඥා පනතේ 4 (2) වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයා විසින් නියෝගයක් නිකුත් කර ඇත්නම් පමණි. නමුත් එවැනි නියෝගයක් නිකුත් කර නැත.

එබැවින්, වන සංරක්ෂණ ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සිදු කර ඇති බව අධිකරණය නිගමනය කරයි.

ආණ්ඩුක්‍්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තියේ විධිවිධාන යටතේ සහ සර්ටියෝරාරි සහ මැන්ඩාමූස් නියෝගයක් නිකුත් කරන ලෙස රිට් පෙත්සමක් ඉදිරිපත් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය පහත ඉල්ලීම් මෙහිදී සිදු කර තිබිණි. 

අ) මඩු පාර අභයභූමියේ හා මඩු පාර වන රක්ෂිතයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මාරයිචුක්කඩි / කරදිකුලි උතුරු අභයභූමියේ එළිපෙහෙළි කිරීම සහ පවත්නා නීතියට අනුකූල නොවන ලෙස ඉහත විස්තර කර ඇති නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම සම්බන්ධයෙන් 1 වන සහ 6 වන වගඋත්තරකරුවන් විසින් කරන ලද නියෝග අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හා එම නීතිවිරෝධී නිවාස ව්‍යාපෘතිය ඉවත් කරන ලෙසට නියෝග කරන ලෙසත්,

ආ) ජාතික පාරිසරික පනත, වන සංරක්ෂණ ආඥා පනත සහ සත්ත්ව හා ශාක ආරක්ෂණ ආඥා පනත සහ පුරාවස්තු ආඥා පනතේ විධිවිධානවලට අනුකූලව අදාළ ව්‍යස්ථාපිත රාජකාරිය ඉටු කිරීමේදී ව්‍යාපෘති අනුමත කරන ආයතනයකින් ඒ සඳහා අනුමැතිය ලබානොගෙන මඩු පාර අභයභූමියේ හා මඩු පාර වන රක්ෂිතයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මාරයිචුක්කඩි / කරදිකුලි උතුරු අභයභූමියේ ප්‍රදේශ අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සහ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම, නීතිවිරෝධී ලෙස අනවසරයෙන් පදිංචි කිරීම සම්බන්ධව පෙත්සමේ විස්තර කර ඇති ව්‍යවස්ථාපිත රාජකාරි වඩාත් හොඳින් ඉටු කරන ලෙස 1, 2, 3, 4 සහ 8 වන වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස මැන්ඩාමූස් ආකාරයේ නියෝගයක් නිකුත් කරන ලෙසත්,

(ඇ) වනාන්තරය නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීම හා අනවසරයෙන් පදිංචි කරවීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ (සංශෝධිත) පරිදි වනාන්තර රක්ෂිතයට වනාන්තර ඉඩම් නැවත ස්ථාපිත කිරීම සහ වනාන්තර නැවත සිටුවීමේ වැඩසටහන සංවිධානය කරන ලෙසට මැන්ඩාමූස් ආකාරයේ නියෝගයක් නිකුත් කරන ලෙසත්.

එළිපෙහෙළි කර ඇති වනාන්තර කොටස් නැවත රෝපණය කිරීමට වැය වන මුදල රිෂාඩ් බදියුදීන්ගෙන් අය කරගන්නා ලෙස පෙත්සම්කරු ඉල්ලා නොමැති අවස්ථාවක එම වනාන්තර නැවත රෝපණය කිරීම සඳහා රිෂාඩ් බදියුදීන්ගෙන් අයකරගන්නා ලෙස අභියාචනාධිකරණය මෙහිදී නියෝග කළේය. ඒ දූෂකයා ගෙවීමේ මූලධර්මය අනුව බව ඒ තීන්දුවේ දැක්වේ. 

එහි මෙසේ දැක්වෙයි.

රියෝ ද ජැනෙයිරෝ ප්‍රකාශනයේ 16 වන කරු⁣ණේ දක්වා ඇති දූෂකයා විසින් වන්දි ගෙවීමේ මූලධර්මය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා ගණනාවකදී පිළිගනු ලැබ ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථකථනය කර ඇති පරිදි මෙම මූලධර්මයෙන් අදහස් කරන්නේ පරිසරයට සිදුවන හානිය සඳහා වගකීමට එම පරිසර හානියට ගොදුරුවූවන්ට වන්දි ගෙවීම පමණක් නොව පාරිසරික හායනය යථා තත්ත්වයට පත් කිරීමේ පිරිවැය ද ඇතුළත් වන බවයි.

හානියට පත් පරිසරය යථාතත්ත්වයට පත්කිරීම තිරසර සංවර්ධන ක්‍රියාවලියේ කොටසක් වන අතර, එම නිසා වගකිවයුත්තා විසින් පීඩාවන්ට පත් පුද්ගලයන්ට මෙන්ම හානියට පත් පරිසරය යථාතත්ත්වයට පත් කිරීමේ පිරිවැය ද ගෙවීමට බැඳී සිටී.

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ද මෙම මූලධර්මය පිළිගෙන නඩු තීන්දුවලට යොදාගෙන තිබේ.

බුලන්කුලම සහ තවත් අය එදිරිව කාර්මික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් (2000)

විජේබණ්ඩා එදිරිව වන සංරක්ෂණ ජනරාල් (2009)

කාරියවසම් එදිරිව මධ්‍යම පරිසර අධිකාරිය සහ තවත් අය

බුලන්කුලම සහ තවත් අය එදිරිව කාර්මික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නඩුවේදී අධිකරණය කියා සිටියේ පාරිසරික හානිය සඳහා වන අය කිරීම පොදු ප්‍රජාව මතට වැටීමට ඉඩ නොදී එවැනි හානියක් සිදු කරන පාර්ශ්වය විසින් දැරිය යුතු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) වගන්තිය මගින් සොබාදහම ආරක්ෂා කිරීම සහ එය සංරක්ෂණය කිරීම ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුගේම මූලික යුතුකමක් බවට නියම කරයි.  මෙයට රාජ්‍ය නිලධාරීන් සහ ජනතා නියෝජිතයන් ද ඇතුළත් වේ. එය අභියාචනාධිකරණ තීන්දුවේ යළි-යළිත් අවධාරණය කර තිබේ. එම නිසා විල්පත්තුව ගැන හෝ විල්පත්තුවේ පාර ගැන තීරණයක් ගැනීමට පෙර ආණ්ඩුව මේ තීන්දුව ද හොඳින් කියවා ගත යුතුය.

  • ශාලික විමලසේන

දේශබන්දු ඉවත් කිරීමේ කමිටුව පත්කරයි : ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු සූරසේනත් සාමාජිකයෙක් !

පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවට අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ කමිටුවට සාමාජිකයන් පත්කරයි.

2002 ඉහළ රාජ්‍ය නිලධරයන් ඉවත් කිරීමේ පනතට අනුව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන මේ කමිටුවට සාමාජිකයන් තිදෙනකු පත් කළ යුතුය. ඒ අතරින් එක් සාමාජිකයකු පත්කළ යුත්තේ අගවිනිසුරුවරයා ය. එම සාමාජිකයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යේෂ්ඨ විනිසුරුවරයකු වන ප්‍රීති පද්මන් සූරසේන පත්කර ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මේ කමිටුවට නිල බලයෙන් පත් වී තිබේ.

අගමැති හරිනි අමරසූරියගේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ එකඟතාවෙන් කමිටුවට පත් කර ඇත්තේ නීල් ඉද්දවෙල ය. විනිසුරු ඉද්දවෙල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙන්ම පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයකු ද වේ.

මේ කමිටුව මගින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කර සකස් කරන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ඉන්පසු පාර්ලිමේන්තුවේ බහුතරයෙන් එය සම්මත කිරීමෙන් පසු, පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකිය.