පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට වඩා බොහෝදුරට මැතිවරණ නීති අනුගමනය කළ අතර, පැරැන්නන්ගෙන් සමහරක් තවමත් දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරීව සිටිති.
විශේෂයෙන් සැළකිව යුතු කරුණක් වූයේ පසුගිය දශක හතර තුළ අනුප්‍රාප්තික ආණ්ඩු යටතේ සාමාන්‍යකරණය වී තිබූ ජනමාධ්‍ය සහ මූල්‍ය යන දෙඅංශයෙන්ම රාජ්‍ය සම්පත් මහාපරිමාණයෙන් අනිසි ලෙස භාවිත නොකිරීමයි. ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල වාර්තාවල රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියේ මෙම දියුණුව ගැන සඳහන් විය.
දිගු කලක් තිස්සේ ස්ථාපිත වූ ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා ප්‍රජාතන්ත්‍රවාදය වටළා ඇති ලෝකයක, ශ්‍රී ලංකාවේ මැතිවරණ අඛණ්ඩතාව වැඩිදියුණු වීම ශුභවාදී තත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදය සැමවිටම ඉදිරියට ගමන් කළ යුත්තක් බවත්, එසේම එය සැමවිටම ඛාදනයට ලක්විය හැකි බවත්, ඒ සඳහා නිරන්තරයෙන් සටන් කළ යුතු බවත් මෙම තත්වය සිහිපත් කරදෙනු ලබයි. මෙම මැතිවරණවල ප්‍රතිඵලයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය ශක්තිමත් වීම දිරිගන්වනසුළුය. මැතිවරණවලට තරඟ කළ දේශපාලන පක්ෂ විසින් ප්‍රකාශ කරන ලද තෘප්තිය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් බවට ලකුණකි. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තම ස්ථාවරයන්හි යම් දියුණුවක් දුටු අතර, එයින් ඔවුන්ට තම අනාගතය පිළිබඳ සහතිකයක් ලැබිණි.
පළාත් පාලන මැතිවරණයෙන් තහවුරු වූයේ ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණෙන් සමන්විත මෙම දේශපාලන ව්‍යාපාරයේ හරය තවදුරටත් දේශපාලනයේ මායිම්වල නොමැති බවයි. ජාතික ජන බලවේගය දිවයින පුරා විසිරී සිටින ප්‍රධාන ධාරාවේ පක්ෂයක් ලෙස ස්ථාපිත වී ඇති අතර, එය වෙනත් ඕනෑම දේශපාලන පක්ෂයකට වඩා සැළකිවයුතු ලෙස ශක්තිමත්ව ඇත. මෙය මහමැතිවරණයේදී දක්නට ලැබුණු අතර, රටේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 21 ක බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ජාතික ජන බලවේගය සමත් විය. මෙය වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් කිසිදා නොකළ ජයග්‍රහණයකි. එලෙස ලැබූ ජයග්‍රහණය නැවත අනුකරණය කිරීමද අභියෝගාත්මක වේ. වත්මන් පළාත් පාලන මැතිවරණයේදී, ජාතික ජන බලවේගය දිවයින පුරා සිය පැවැත්ම රඳවා ගැනීමට සමත් වූ නමුත් එම ප්‍රමාණයටම නොවේ.
සහාය තහවුරු කිරීම
දෙසැම්බර් මහමැතිවරණයේදී පාලක පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සියයට 61 සිට පළාත් පාලන මැතිවරණයේදී සියයට 43 දක්වා සාපේක්ෂ වශයෙන් පහත වැටීම කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබේ. මෙම පහත වැටීම ජනප්‍රියත්වය අඩුවීමේ සලකුණක් ලෙස සමහරුන් විසින් අර්ථකථනය කර ඇත. කෙසේවෙතත්, එවැනි කියැවීමක් විසින් දේශපාලන වෙනසෙහි පුළුල් ගමන් පථය නොසළකා හරියි. මීට වසර තුනකට පෙර, ජාතික ජන බලවේගය ජාතික වශයෙන් ලබාගත්තේ සියයට පහකටත් වඩා අඩු ඡන්දය ප්‍රතිශතයකි. දැන් ඔවුන් සියයට 40කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින්, ඡන්දදායක මනාපය සහ දේශපාලන සංස්කෘතියේ ගැඹුරු පරිවර්තනයක් නියෝජනය කරයි. ඊටත් වඩා වැදගත් වන්නේ, මෙම ඡන්ද පදනමේ ස්ථාවරත්වයයි. එය දැන් ඕනෑම ප්‍රතිවාදියකුගේ ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යයි. මෙම මැතිවරණවලදී ජාතික ජන බලවේගය විසින් ලබාගත් ඡන්ද එහි ආසන්නතම ප්‍රතිවාදියාගේ ඡන්ද මෙන් දෙගුණයකි.
දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කරන පක්ෂ විසින් බොහෝදුරට ජයග්‍රහණය කරන ලද උතුර සහ නැගෙනහිර මැතිවරණ ප්‍රතිඵල, වාර්ගික ගැටුම මතුපිටට යටින් සැඟවී ඇති බවට අනතුරු ඇඟවීමේ සංඥාවකි. සුළුතර පක්ෂවල සාර්ථකත්වය ජනවාර්ගික සහ ආගමික සුළුතර ඡන්දදායකයන්ගේ විවිධ අවශ්‍යතා සහ අභිලාෂයන් සහ රජය ඔවුන් සමඟ වඩාත් පූර්ණ ලෙස සම්බන්ධවීමේ අවශ්‍යතාව පෙන්නුම් කරයි. දරිද්‍රතාව, සංවර්ධනය නොමැතිකම, ආර්ථික සම්පත් සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැතිකම සහ අධික දූෂණයට ඇති විරෝධය යන පොදු ගැටළුවලට අමතරව, රටේ ජනගහනයේ අනෙකුත් කොටස්වලට නොමැති විශේෂ ගැටළු ද උතුර සහ නැගෙනහිර ජනතාව හමුවේ ඇත. ඔවුන්ගේ ඉඩම් මිලිටරිමය වශයෙන් අත්පත් කරගැනීම, අතුරුදහන් වූ පුද්ගලයන් සහ නඩු විභාගයකින් තොරව හෝ දරුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ (ආරක්ෂක හමුදාවන්ට කරන ලද පාපොච්චාරණ වරද පිළිගැනීමේ අරමුණු සඳහා භාවිත කිරීමට ඉඩ සලසන) දීර්ඝ කාලයක් සිරගත කර ඇති පුද්ගලයන් සහ ඔවුන්ගේ ප්‍රමුඛතාවය ඇති ප්‍රදේශවල ස්වයං පාලනය සඳහා දිගුකාලීන ඉල්ලීම් මෙයට ඇතුළත් වේ.
මෙම දිගුකාලීන ගැටළු කඩිනමින් විසඳීමට රජය අපොහොසත් වීම උතුර හා නැගෙනහිර ඡන්දදායකයන් තුළ අතෘප්තියට හේතු වී ඇති බව පෙනේ. ව්‍යුහාත්මක වෙනස්කම් අනිවාර්යයෙන්ම සංකීර්ණ හා මන්දගාමී වුවද, මෙම ප්‍රමාදයන්, විශේෂයෙන් දැනටමත් ආන්තිකකරණයට හුරුවී ඇති සුළු ජාතීන් විසින්, රජයේ උනන්දුවක් නොමැතිකම හෝ නොසළකාහැරීම ලෙස වැරදි ලෙස අර්ථකථනය කළ හැකිය. සුළුතර ප්‍රජාවන්ට කේන්ද්‍රීය වන ගැටළු සම්බන්ධයෙන් දෘශ්‍යමාන ප්‍රගතියක් නොමැතිකම, තමන්ව බැහැර කිරීමේ හැඟීමක් ඇති කරන අතර, දේශපාලන බෙදීම් ගැඹුරු කරයි. එසේවුවද, උතුර හා නැගෙනහිර පළාත්වල ජාතික ජන බලවේගයේ ඡන්දය නොවැදගත් නොවූ බව සඳහන් කිරීම වටී. ජාතික ජන බලවේගය සිය පණිවිඩය වාර්ගික දුක්ගැනවිලි සඳහා සකස් නොකළද එය සිදුවිය. ජාතික ජන බලවේගය විසින් යුක්තිය, වගවීම, සංවර්ධනය සහ සමානාත්මතාවය යන වටිනාකම් මත පදනම් වූ ජාතික ප්‍රතිසංස්කරණ පිළිබඳ දැක්මක් ඉදිරිපත් කර ඇත.
මැතිවරණ ජයග්‍රහණ අර්ථවත් පාලනයක් බවට පරිවර්තනය කිරීම සඳහා සටන් පාඨවලට වඩා වැඩි යමක් අවශ්‍ය වනු ඇත. එම ප්‍රදේශවල ජනතාව විසින් වැදගත් යැයි සැළකෙන ගැටළු කඩිනමින් විසඳීමට අපොහොසත් වීම නිසා ජනවාර්ගික හා ආගමික සුළුතරයන් වෙතින් ජාතික ජන බලවේගයට ලැබුණු ඡන්ද අහිමි වී ඇති බව පෙනේ. ඒ අනුව මෙම ගැටළු සම්බන්ධයෙන් ඉදිරි දර්ශනයක අත්‍යවශ්‍යතාව සිහිතබා ගැනීම අවශ්‍ය වේ. උතුර හා නැගෙනහිර මැතිවරණ දිස්ත්‍රික්ක හතෙන් දෙකක දිනාගත් ආසන අනුව ජාතික ජන බලවේගය පළමු ස්ථානයට පත්විය. ඔවුන් තවත් පස් තැනක දෙවැනි ස්ථානයට පත්විය. සංවර්ධනයේ සමානාත්මතාවය සහ සැමට සමාන අයිතිවාසිකම් පිළිබඳ එහි ප්‍රවේශය අනුනාදයක් ඇති බව පෙන්නුම් කරයි. මෙය සිදුවූයේ දෙමළ සහ මුස්ලිම් පක්ෂ ජාතිකවාදී හෝ වාර්ගික පදනමක් මත ඡන්දදායකයන්ට කරන ලද ආමන්ත්‍රණයන් හේතුවෙනි.
මන්දගාමී වෙනස
උතුරේ සහ නැගෙනහිර හෝ ඉන් පිටත වේවා, රජය තම පොරොන්දු ඉටුකිරීමේදී මන්දගාමී බව පෙනේ. පද්ධති වෙනසක් පිළිබඳ පොරොන්දුවේ සන්දර්භය තුළ, පැරණි ක්‍රමය දිගටම පවත්වාගෙන යෑම සඳහා කැමැත්තක් දක්වන අය විසින් එවැනි වෙනසකට බරපතල ලෙස විරුද්ධ වන බව පැහැදිලි කරුණකි. පද්ධති වෙනසකට සෑම විටම විශාල පරිමාණ විරෝධතා පැමිණේ. ගැටළුව වන්නේ, වෙනස්වීමේ මන්දගාමී වේගය ජනවාර්ගික හා ආගමික සුළුතරයන් විසින් ඔවුන්ගේ අවශ්‍යතා නොසළකා හැරීම නිසා ඇතිවන්නක් ලෙස දැකිය හැකි වීමයි. කෙසේවෙතත්, උතුර සහ නැගෙනහිර පමණක් නොව මුළු රටේම පද්ධති වෙනස සෙමින් සිදුවෙමින් පවතී.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති මහමැතිවරණයේදී, ජාතික ජන බලවේගය රට තුළ මෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල ද පෙර නොවූ විරූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනාගත්තේය. එලෙස ලබාගත් සුපිරි බහුතරය සමග, ඊට අනුකුල වෙනස්කම් සිදුකිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලය භාවිත කළ යුතුව ඇත. පළාත් පාලන ආයතන 339 න් 267 ක පාලනයක් සහිතව, එහෙත් බොහෝ ආයතනවල සම්පූර්ණ බහුතරයක් නොමැතිව, ජාතික ජන බලවේගය දැන් ප්‍රාදේශීය මට්ටමින් පාලනය කිරීමට අවශ්‍ය සන්ධාන ගොඩනැගීමේ සහ එකඟතාවන් සෙවීමේ නිරත විය යුතුය. ප්‍රභූ අනුග්‍රහය, දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීමට පවතින ප්‍රතිපත්තිමය විරුද්ධත්වය මත දිගු කලක් තිස්සේ අනන්‍යතාවය ගොඩනගාගෙන ඇති පක්ෂයකට මෙය අභියෝගයක් වනු ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, අපකීර්තිමත් පක්ෂ සමඟ සන්ධාන ඇති කර ගැනීමට ඇති අකමැත්ත පිළිබඳව සංඥා කර ඇති නමුත් පක්ෂයේ වටිනාකම් බෙදාගන්නා ස්වාධීන අපේක්ෂකයන් සමඟ වැඩකිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර තිබේ. මෙම ස්ථාවරය, විශේෂයෙන් උතුර හා නැගෙනහිර ප්‍රදේශවල, සුළුතර ප්‍රජාවන් නියෝජනය කරන සහ දූෂිත ප්‍රධාන ධාරාවෙන් පිටත රැඳීසිටින දේශපාලන සංයුති ඇතුළත් කිරීම සඳහා පුළුල් කිරීමේ හැකියාව ලබාදෙන අතර, එය එසේ පුළුල් කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරයි.
ශ්‍රී ලංකාව වැනි බහුත්ව සහ බහුවාර්ගික සමාජයක, ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවය සහ ඵලදායී පාලනය සඳහා සභාග ගොඩනැගීම අවශ්‍ය වේ. විශේෂයෙන් උතුර හා නැගෙනහිර ප්‍රදේශවල නීත්‍යානුකූල සුළුතර පක්ෂ සමඟ සම්බන්ධ වීමෙන්, ජාතික ජන බලවේගයට එහි මූලික වටිනාකම් පාවා නොදී ප්‍රතිපත්තිමය පාලනයක නිරතවිය හැකිය. මෙය රටේ සෙසු ප්‍රදේශවල පළාත් පාලන බලධාරීන්ට ද ව්‍යාප්ත කළ යුතුය. 19 වැනි සියවසේ ඉංග්‍රීසි දේශපාලන දාර්ශනික ජෝන් ස්ටුවර්ට් මිල් පෙන්වාදුන් පරිදි, “දිගු කාලීනව රාජ්‍යයක වටිනාකම යනු එය නිර්මාණය කරන පුද්ගලයන්ගේ වටිනාකමයි”. එසේම බහුත්ව සමාජවල, එම වටිනාකම සාක්ෂාත් කරගත හැක්කේ සියල්ලන් ඇතුළත්වන පරිදි තීරණ ගැනීම තුළින් පමණි.
- ජෙහාන් පෙරේරා
- (ඡායාරූපය අන්තර්ජාලයෙන් උපුටාගත්තකි.)