ඡන්ද ප්‍රතිඵලයේ උගත් පාඩම් 01 : NPP ජයග්‍රාහකයකු ලෙස හැසිරිය යුතුය !

Share post:

වසර හතකට පසුව පැවැති පළාත් පාලන මැතිවරණය අවසන් වූයේ වෙනස් සංවාදයකට අවස්ථාව විවර කරමින් ය. රටේ ප්‍රධාන ම මැතිවරණ දෙක ලෙස සැලකෙන ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේය. 2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ඔවුන් ජයග්‍රහණය කළේ දෙවැනි මනාපයෙන් ය. එහෙත් 2024 නොවැම්බර් 14 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔවුන් ජයග්‍රහණය කළේ ආසන 159ක විශේෂ බහුතරයක් සහිතව ය. මෙවර එහි අඩුවීමක් තිබේ. දෙවනුව ප්‍රධාන මැතිවරණ දෙකේදී ම ඡන්දය ප්‍රකාශ කළ බහුතරයක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දපොළට ගියේ නැත. තුන්වැනුව ප්‍රධාන මැතිවරණවලදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ඡන්දදායකයන්ගේ හැසිරීම මේ මැතිවරණයේදී තරමක් වෙනස් වී ඇත.

2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කළේය. ඒ වසරේ අගෝස්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද මෛත්‍රී-රනිල් ආණ්ඩුව දිනුවේය. ඉන් වසර තුනකට පසු, 2018 පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි බහුතරයෙන් ජයග්‍රහණය කළේය. ඒ මැතිවරණය තෙක් කාලයේදී මෛත්‍රී-රනිල් ආණ්ඩුව දූෂණ විරෝධය, අපරාධවලට යුක්තිය ඉටුකිරීම වැනි කතා කී අතර, එවැනි වැඩ කරන බව මාධ්‍යයෙන් පෙන්වීය. එහෙත් ඇත්තටම කිසිවක් නිවැරදිව සිදු වූයේ නැත. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කළ වංචා-දූෂණ පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ ලේකම්වරයා වූ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ලැසිල් ද සිල්වා මාධ්‍යයට පවසා තිබුණේ දූෂණ සිදුවීම් පිළිබඳ සොයාබැලීම්වලට බාධාකිරීමේ දුරකතන ඇමතුම් සිය ගණනක් තමන්ට ලැබුණු බවයි. ඒ දුරකතන ඇමතුම් ලැබුණේ එවකට ආණ්ඩුවේ ඇමැතිවරුන්ගෙන් බව ද ඔහු නම් සහිතව කිව්වේය. ඉන්පසු 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය ලැබිණි.

ඒ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 340කින් 231ක් ජයග්‍රහණය කළේය. ඉන්පසු 2018 මාර්තු මාසයේදී අගමැති ධුරය මහින්ද රාජපක්ෂට ලබාගැනීමට සාකච්ඡා කෙරිණි. එහෙත් ඊට, එවකට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් බරපතළ ලෙස විරෝධය දැක්වීම නිසා වැඩේ නැවතිණි. මේ ගැන ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ පවසා තිබේ. කෙසේ වෙතත් ඒ උත්සාහ අසාර්ථක වීමෙන් පසු 2018 ඔක්තෝබර් 26 වැනිදා වැඩේ සාර්ථක විය. ශ්‍රේෂ්ඨාධිකරණය එය ව්‍යවස්ථා විරෝධී බව තීන්දු කළේය.

2022 ජන අරගලයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවගෙන් ප්‍රතික්ෂේප විය. එය 2024 ප්‍රධාන මැතිවරණ දෙකෙන් ම තහවුරු විය. එහෙත් 2025 පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ යළිත් ඉහළට පැමිණ තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේදී න ම්එය සියයට 4 සිට 10 දක්වා වැඩිවීමකි. සමගි ජන බලවේගය ද මේ මැතිවරණයේදී සියයට 12ක තිබූ සිය ඡන්ද පදනම සියයට 20 දක්වා වැඩි කරගෙන තිබේ. ඊට සාපේක්ෂව ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය සියයට 72 සිට සියයට 54 දක්වා අඩු වී තිබේ.

මේ සංඛ්‍යා උපුටා දක්වමින් ජාතික ජන බලවේගය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් පවතින බවත්, එය ආණ්ඩු බලය අහිමි වීම දක්වා යනු ඇති බවත් විවිධ පාර්ශ්ව සඳහන් කරයි. එහෙත් නැවතත් ප්‍රධාන මැතිවරණයක් තිබෙන්නේ 2029දී පමණ ය. ජනතාව මෙවර ලබාදුන් පණිවුඩය තේරුම් ගැනීමට ජාතික ජන බලවේග ආණ්ඩුවට හැකි විය යුතුය. 

2024 වසරේ පැවැති ප්‍රධාන මැතිවරණ දෙකේදී ජනතාව තීරණාත්මක ලෙස බලාපොරොත්තු වූ අභිලාෂ තිබිණි. ඒ අතර ඉහළින්ම තිබුණේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සහ දූෂණයට-වංචාවට තිත තැබීම ය. ඊට අදාළ මෙහෙයුම් ආණ්ඩු පාර්ශ්වයෙන් ආරම්භ කර ඇති බවක් පෙනුණද, ඒවා ප්‍රමාණවත් ලෙස ජනතාව අතරට ගොස් නැත. උදාහරණයක් ලෙස පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන පසුගිය මාස හයේදී සැලකිය යුතු ලෙස සිදුවුවද, ජනතාවට ඒ පිළිබඳ කරුණු සන්නිවේදනය කිරීමට ආණ්ඩුව අපොහොසත් විය. දූෂණ-වංචා සම්බන්ධයෙන් වුවද තත්ත්වය එසේ ය. ජනතාව බලාපොරොත්තු වූයේ සීග්‍රගාමී ගමනකි. එනම් කඩිනමින් හිටපු ඇමැතිවරුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම ය, පසුගිය ආණ්ඩු කාලවල සිදු වූ අපරාධ පිළිබඳ සත්‍ය තොරතුරු කඩිනමින් දැනගැනීම ය. 

බලාපොරොත්තු වූ සීග්‍රගාමී බව නොමැති වීම නිසා සිදු වූයේ ජනතාව වෙනත් තැනකට යෑම නොවේ. ජනතාව ඡන්දපොළට නොයෑම ය. අනෙක් පැත්තෙන් එහි වාසිය විපක්ෂයේ දේශපාලන පක්ෂ ලබාගත්තේය. ආණ්ඩුව අසාර්ථක බවත්, ආණ්ඩුව පොරොන්දු වූ පරිදි නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට මැදිහත් නොවන බවත් ඔවුහු ප්‍රචාරය කළහ. ඒ සඳහා ඔවුන් සතුව ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය බලය ද තිබිණි. ඊට ප්‍රමාණවත් තරමින් ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුව සමත් වූයේ නැත. එසේම ආණ්ඩුවේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ අසාර්ථක – අකාර්යක්ෂමතා ද මේ ප්‍රතිඵලයට හේතු වූ බව අමුතවෙන් කියනන්ට දෙයක් නැත.

කෙසේ වෙතත් ආණ්ඩුව මෙහිදී 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයට වඩා ඉදිරියට ගොස් තිබේ. පළාත් පාලන ආයතන 339න් 265ක් ඔවුන් ජයග්‍රහණය කර ඇත. 

අනෙක් අතට මේ මැතිවරණයේදී දෙවනුව වැඩිම ප්‍රාදේශීය සභා ප්‍රමාණයක බලය හිමිකරගෙන ඇත්තේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි. ඒ ප්‍රමාණය පළාත් පාලන ආයතන 339න් 35කි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද පළාත් පාලන ආයතන 06ක බලය හිමිකරගෙන තිබේ. 2024 ජනාධිපතිවරණයටත් වඩා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරේ සහ නැගෙනහිර ජනතාව ජාතික ජන බලවේගයට විශාල ප්‍රතිචාරයක් දැක්වීය. එය මෙවර මැතිවරණයේදී තරමක් අඩු වී තිබේ. ප්‍රධාන මැතිවරණවලට සාපේක්ෂව පළාත් පාලන මැතිවරණවලදී ප්‍රදේශයේ නියෝජිතයා, එසේත් නැත්නම් දන්නා-හඳූනන පුද්ගලයාට මුල්තැන දීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එහෙත් මෙය එසේ කියා බැහැර කළ හැකි තත්ත්වයක් නොවේ. ඊට හේතුව පසුගිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ජනාධිපතිවරයාට සහ අගමැතිවරියට උතුරේදී සහ නැගෙනහිරදී ලැබුණු ප්‍රතිචාර ය.

නාමල් රාජපක්ෂගේ පොදුජන පෙරමුණ, එස්.බී.දිසානායකලා, එස්.එම්.චන්ද්‍රසේනලා, මහින්දානන්ද අලුත්ගමගේලා ඇතුළු එහි සිටි ජ්‍යෙෂ්ඨයන් නොමැතිව ඉහළට ඒමට සාපේක්ෂව මේ මැතිවරණයේදී ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීරගේ සර්ව ජන බලය ද ඉදිරියට පැමිණ තිබේ. එහි පොදුජන පෙරමුණෙන් ඉවත් වූ එස්.එම්. චන්ද්‍රසේනලා වැනි පිරිස් සිටිති. ඔවුන්ට සභිකයන් 224කට අධික ප්‍රමාණයක් ලැබී ඇත. එසේ ම පසුගිය කාලයේ කොටස් ගණනාවකට කැඩී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් විසින් පවත්වාගෙන යන, හිටපු ඇමැතිවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපාගේ සහ ලසන්ත අලගියවන්නගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් පෙරමුණ ද සභිකයන් 292ක් හිමිකරගෙන තිබේ. ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් තවදුරටත් පොළොවේ පය ගැසීමට උත්සාහ දරමින් සිටී. 

තවත් විශේෂ කරුණක් වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මූලික කරගත් ජන අරගල සන්ධානය මේ මැතිවරණයේදී මුල් වරට තරග කොට, සභිකයන් 16 දෙනකු දිනාගැනීමයි. ඔවුන් ඡන්ද 49,570ක් ලබාගෙන තිබේ. මේ, ඔවුන් මැතිවරණයකදී ලබාගත් වැඩි ම ඡන්ද සංඛ්‍යාවයි. එම සභිකයන් රට පුරා විසිරී සිටීමෙන් ද පෙනීයන්නේ සමස්තයක් ලෙස රට පුරා ජනතාවගෙන් කොටසක් ඔවුන්ට ඇහුම්කන් දී ඇති බවයි.

මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසා තිබුණේ දූෂිතයන් සහ ජනතාව ප්‍රතික්ෂේප කළ පක්ෂවලින් කිසිවකු ආණ්ඩුවට සම්බන්ධ කරනොගන්නා බවයි. එහෙත් ස්වාධීන ලෙස ඉදිරිපත්ව, සභිකයන් ලෙස තේරීපත් වූ පුද්ගලයන් සම්බන්ධ කරගැනීමට සූදානම් බවක් ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර තිබූ බව මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව විපක්ෂයට බලය වැඩි ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටී.

ඇත්තටම මේ අවස්ථාවේ ආණ්ඩුව කළ යුත්තේ ඒ පළාත් පාලන ආයතනවල විපක්ෂයේ සිටීමයි. බලය පිහිටුවීමට උත්සාහ නොකිරීමයි. ඊට හේතු කිහිපයකි. ඒ අතරින් ප්‍රධාන වන්නේ ජනතාව තෝරාගත් ආකාරයට බලය පවත්වාගෙන යෑමයි. කෘත්‍රිම බලයක් නිර්මාණය නොකිරීමයි. එයින් කොමාවක් වැටෙමින් තිබෙන දූෂණය-වංචාවට තිත තැබීමේ පාර විවෘත කරගත හැකිය. ආණ්ඩු බලය පිහිටවූ පළාත් පාලන ආයතනවලදී ජනතා අභිලාෂවලට අනුව ඒ වැඩේ කිරීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුවට තිබේ. අනෙක් පැත්තෙන් සාපේක්ෂව වැඩි බලයක් සහිත සහ ආණ්ඩු බලය සහිත විපක්ෂය ලෙස අනෙකුත් කණ්ඩායම් විසින් සිදුකිරීමට ූත්සාහ කරන සියලු වංචා-දූෂණ එමගින් නතර කළ හැකිය. ජනතාවට ඔවුන්ව තව-තවත් අනාවරණය කළ හැකිය.

ඒ පාරේ යන්නට අවශ්‍ය නැත. යන බව පැවසීම පවා බොහෝ සභිකයන් නිහඬ වීමට හේතු වනු ඇත. එසේ නිහඬ නොවන්නේ නම් ඔවුන් පසුගිය කාලයේ මෙන් නොව දැන් හැදී තිබේ. ජනතාව බලාපොරොත්තු වූයේ ඒක ය. එවිට මතවාද කුමක් වුවත්, පක්ෂ පෙරටු කරගැනීම වෙනුවට රට පෙරටු කරගත් ගමනක් යා හැකිය.

  • ශාලික විමලසේන

Related articles

සමාජ මාධ්‍ය දුස් තොරතුරු, වෛරී ප්‍රකාශ කුණාටු මැද නොරැවටී සිටීමේ අභියෝගය ජයගැනීම !

තවත් මැතිවරණයක් ඊයේ අවසන් විය.පුළුල් අර්ථයෙන් මැතිවරණයේ නිදහස් සහ සාධාරණ බව සහ සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය හැසිරීමේ හොඳ...

තෙලිජ්ජවිල තරුණයකුට වධහිංසා කිරීම : පොලිස් නිලධාරීන්ට එරෙහි චෝදනා නීතිපති ඉවත් කරගනී !

තරුණයකුට වධහිංසා කිරීමේ සිදුවීමකට අදාළ ව පොලිස් නිලධාරීන් සිව්දෙනකුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා නැවත පැවරීමට යටත්ව ඉවත් කරගන්නා...

පාස්කු වාර්තාව අධ්‍යයනයට ශානි පත්කිරීම ගැන නාමල්ගේ කනස්සල්ල – බරපතළ තත්ත්වයක් බවත් කියයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද පොලිස් කමිටුවට මධ්‍යම අපරාධ...

විල්පත්තු පාර අරින්නට පෙර මේ තීන්දුව කියවගත්තොත් හොඳයි !

විල්පත්තුව මැදින් පාරක් හැදීමේ කතාවක් ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ කියන්නේ අලුත් පාරක් ගැන ද, තිබුණු පාරක් පුළුල්...