තමන්ගේ සමස්ත ප්‍රභූ දේශපාලන කඳවුරටම එල්ලවූ මාරාන්තික ප්‍රහාරයෙන් වියරු වැටී හිස හැරුණු අත දුවන, කැඩී බිඳී ගිය දේශපාලන අනාථයන්ගේ කඳවුරු කිහිපයක් පසුගිය පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ පරාජයකැ’යි බෙරිහන් දෙනු පෙනේ.
ඇත්තටම ආණ්ඩු පක්ෂය පරාද ද?
තනි වචනයේ පිළිතුර “නැත!” යන්න යි.
දේශපාලන පක්ෂවලට ද, අපේක්ෂකයන්ට ද, ඡන්ද දායකයාට ද, මාධ්‍යවලට ද තවමත් හරිහැටි නොතේරෙන අලුත් මැතිවරණ ක්‍රමයක් ඔස්සේ මේ හිමිව ඇති ප්‍රතිපලය ආණ්ඩුවේ ජයග්‍රහණයකැයි මහ ඉහළින් උඩදැමිය නොහැකි වුවත්, එය ඔවුන් ලද සාපේක්ෂ ජයකි.
විපක්ෂයේ සීසීකඩ වූ බලකඳවුරුවල නෂ්ඨාවශේෂයන්ගේ තවත් තීරණාත්මක පරාජයකි.
මේ ප්‍රතිපල ආත්ම මූලික තැනකින්, එනම් තමන් හිතන්නට කැමැති අච්චුවකට දැමීමෙන් තොරව විෂයය මූලික විදියකින්, එනම් පවත්නා තතු හැකි තරම් ඒවාට අවංකව විශ්ලේෂණය කරමින් එළැඹිය හැකි නිගමනය එය යි.
අලුත් මැතිවරණ ක්‍රමයක්
මේ මැතිවරණය පැවැත්වුණේ ලංකාවේ ප්‍රධාන මැතිවරණ 4 පැවැත්වෙන ක්‍රම අතුරින් වඩාත්ම සංකීර්ණ මැතිවරණ ක්‍රමය යටතේ ය. මතකය නිවැරැදි නම්, මේ ක්‍රමය යටතේ දැනට පවත්වා ඇත්තේ 2018 පළාත් පාලන මැතිවරණය සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය (දෙවතාවක්) පමණි.
‘පොහොට්ටු පොල්ලෙල්ලක් වුණත් දිනූ’ 2018 සහ ‘ජාජබය පරාද’ 2025
2018 මැතිවරණය ගැන ප්‍රසිද්ධ කියමන වන්නේ ‘පොහොට්ටුව යටතේ පොල්ලෙල්ලක් දැම්මත් දිනූ’ මැතිවරණයක් ලෙසිනි. වත්මන් පොහොට්ටු හිතවාදීන් සහ පොදුවේ ජාජබ විරුද්ධවාදීන් මෙය සලකන්නේ ‘ආණ්ඩු බලය නැතුවත් පොහොට්ටුව දැවැන්ත ජයක් ලැබූ මැතිවරණයක්’ ලෙසට ය.
ඒ පිරිස්ම අද කියන්නේ ජාජබය මේ මැතිවරණයෙන් පරාජය වී ඇති බව ය.
එහෙත් අප තේරුම් ගතයුතු කරුණ නම්, 2018 පොහොට්ටුව ලද ප්‍රතිපලය මේ මැතිවරණයෙන් ජාජබ ලැබූ ප්‍රතිපලයට වඩා අඩු එකක් මිස වැඩි එකක් නොවන බව ය.
එදා ඒ ‘විශිෂ්ට ජයග්‍රහණයේ දී’ පොහොට්ටුව ලබාගත් ඡන්ද ප්‍රතිශතය 44.65%කි.
මෙවර ‘පරාජයේ දී’ ජාජබය ලබාගත් ඡන්ද ප්‍රතිශතය 43.26%කි.
ප්‍රතිශත වෙනස ජාජබයට – (ඍණ) 1.39%කි
ඒ ‘විශිෂ්ට ජයග්‍රහණයේ දී’ පොහොට්ටුව දිනාගත් පළාත් පාලන ආයතන සංඛ්‍යාව 231කි.
මෙවර ‘පරාජයේ දී’ ජාජබය දිනාගත් ආයතන සංඛ්‍යාව 265කි.
දිනූ ආයතන සංඛාවේ වෙනස ජාජබයට + 34කි.
ජාජබය පැරැද්දුවායයි වහසිබස් කියන, 2018 සභා 231ක බහුතරය තිබූ පොහොට්ටුවට මෙවර එකම එක සභාවකවත් බහුතරයක් නැත. එනම්, දිනාගත් සභා 00 ය. එජාපයටත් ඇත්තේ 00 ය.
සජබයට ඇත්තේ 14කි.
සභා පිහිටුවීමේ දී එදත් අර්බුද
අද මෙන් ම එදා ද මේ දිනුවාය යි කියන 231ක් වූ සභා පිහිටුවන්නට ගිය විට පොහොට්ටුවට ද අද මෙන් ම සංකීර්ණ තත්ත්වයකට මුහුණදෙන්නට සිදුවිය. එය මේ මැතිවරණ ක්‍රමය විසින් ඇතිකරන සංකීර්ණතාවකි.
එහෙත් එදා පොහොට්ටුවට අද ජාජබය මුහුණදෙන තරම් දැවැන්ත වෛරී ප්‍රහාරයකට මුහුණදෙන්නට සිදුවන දේශපාලන වාතාවරණයක් නොවිණි. අද ජාජබය මොන ක්‍රමයෙන් හෝ පරදා යටපත් කිරීම සඳහා මෙරට දේශපාලනයේ කිසිදා නොවූ විරූ අශුද්ධ සන්ධාන ගොඩනැඟෙන තත්ත්වයක් එදා පොහොට්ටුවට එරෙහිව නොතිබිණි. එබැවින් ඒ සංකීර්ණත්වය අද මෙන් දැවැන්ත අර්බුදයක් වූයේ නැත.
එහෙත් අද එදා තිබූ සංකීර්ණතාව ම මේ ‘ප්‍රභූ බලකොටු බිඳවැටීටමේ භයංකර සිහිනය’ නිසා අතිශය සංකීර්ණ වී තිබේ.
විපක්ෂයේ පොහොට්ටුව සහ ආණ්ඩුවේ ජාජබය
ඊළඟ තර්කය 2018 පොහොට්ටුව විපක්ෂයේ සිටිමින් ද, ජාජබය මෙවර තුනෙන් දෙකක ආණ්ඩු බලයක් දරමින් ද මේ ප්‍රතිපල ලද බව ය.
එහෙත් මේ අවස්ථා දේකේ දේශපාලන සන්දර්භ මුළුමනින් වෙනස් ය. 2018 වනවිට පොහොට්ටුව හිටියේ තමන්ට 2015දී අහිමි වූ බලය මොන ක්‍රමයෙන් හෝ නැවත පෙරලා නොගතහොත් හිරේ විලංගුවේ වැටෙන්නට සිදුවන තැනක ය.
‘යහපාලන’ ආණ්ඩුව සිටියේ මෛත්‍රී-රනිල් දෙපැත්තට අදින, 2015 ජනතා බලාපොරොත්තු සුන්කර දැමූ, ජනප්‍රසාදයෙන් අන්තයට පිරිහුණු තැනක ය. (මෙයින් මාස 7කට පසු මහින්ද පෙරට දමා දින 52 ව්‍යවස්ථා කුමන්ත්‍රණ ආණ්ඩුව හදන තරමට මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මුල් ඇවරියම පිරිහී, කුණුවී තිබිණි.)
දැනට ඇති අත්දැකීම්වලට අනුව පෙනීයන අනෙක් කාරණය නම්, කාට ආණ්ඩු බලය තිබුණත් නැතත්, මේ මැතිවරණ ක්‍රමය යටතේ බොහෝ දුරට (අතිවිශේෂ තත්ත්වයක් යටතේ හැර) එන්නට ඉඩ ඇත්තේ මෙවැනි ප්‍රතිපලයක් බව ය.
ඒ අනුව පෙනෙන්නේ 2018 පොහොට්ටුව විජයග්‍රහණයක් ලැබුවාය කියන එකත්, මෙවර ජාජබය අන්ත පරාජයක් ලැබුවාය කියන එකත් පදනමක් නැති, තමන්ගේ කැමැත්තට ගොතන ආත්ම මූලික සුරඟන ආඛ්‍යාන බව ය.
ගල්-වැලි-පස් නියෝජනය
අනෙක් අතට, 2005න් පසුව පළාත් පාලන ආයතන රාජපක්ෂවරුන් යටතේ, විශේෂයෙන් බැසිල්ගේ මෙහෙයවීම මත දූෂිතභාවයේ ද සුවිශේෂී ආකාරයකින් ව්‍යූහගතවී තිබිණි. ලංකාවේ කතිකාව තුළ මෙය ‘ගල්-වැලි-පස් ආර්ථිකයේ නියෝජනයක්’ ලෙස ජනප්‍රිය අතර, තිස්සකුට්ටිආරච්චිට අනුව ‘කොන්තරාත්තුවකින් සාධාරණ ලාබ රේට්ටුවක් බෙදාගැනීමේ ක්‍රමවේදය’ ලෙස ප්‍රසිද්ධ වේදිකාවේ ලැජ්ජා බය නැතිව කියන තැන දක්වා දූෂිත වී තිබිණි.
මැතිවරණය පැවැතියේ එවැනි අතිශය විකෘති සහගත ලෙස ව්‍යූහගත වූ දේශපාලන ඒකක සඳහා ය.
මෙවර තරග වැදි ජාජබයට (පසුගිය වසරේ ඇල්පිටිය ජයග්‍රහණය හැර) කිසිදා කිසිදු පළාත් පාලන ආයතනයක බලය තිබුණේ නැත. ඔවුන් සභා 265ක බලය ලබාගන්නේ අලුත්ම බලවේගයක් ලෙසට ය.
ඊට ප්‍රතිපක්ෂව නාමල්ගේ කඳවුර 2018දීත් සභා 231ක බහුතරය ලද පක්ෂය යි.
ඔබ යම් සමාජ දේශපාලන ප්‍රතිපලයක් පොදු සමස්තයට වැඩක් ඇති විදියට අර්තකතනය කරනවා නම් එය කළයුත්තේ ආත්ම මූලිකව නොව විෂයය මූලිකව ය.
ගිය වසරේ ඇල්පිටියේ මොකද වුණේ?
ඊළඟට, පසුගිය වසරේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵලය ගනිමු.
එය පැවැත්වුණේ ජනාධිපතිවරණයෙන් මාසයකට පසුව ය. එහි ප්‍රතිපලය අද මේ ලැබී තිබෙන ප්‍රතිපලයේ ම කැඩපකැ’යි කිව හැකි ය.
ජනාධිපතිවරණයෙන් මාසයකට පසු ජාජබයට ලැබුණේ 47.64%ක ඡන්ද ප්‍රතිශතයකි. සභික ධූර 30ක් තිබූ සභාවෙන් ඔවුන්ට ලැබුණේ 15ක් පමණි.
එය අද ප්‍රතිපලයට කොතෙක් සමානද?
ඒ අවස්ථාවේ ද මේ කියන ආණ්ඩු විරෝධීන් මැරෙන්න හැදුවේ සති තුනකින් එන මහා මැතිවරණයෙන් ජාජබය පරදින බව ය. එහෙත් අවසන් ප්‍රතිපලය කිසිදු පක්ෂයක් කිසිදා නොලද 159ක පාර්ලිමේන්තු බහුතරයකි.
මෙයින් පෙනෙන්නේ ජනාධිපතිවරණ හා මහා මැතිවරණ අතරත්, මේ අලුත්ම හා සංකීර්ණම මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ අතරත් සාධාරණ සැසඳීමක් කළ නොහැකි බව ය. එනයින් ම ආණ්ඩුවක ජනප්‍රියත්වය ද ඉන් මැනිය නොහැකි බව ය.
පනත ගැටලුකාරීද?
මගේ පෞද්ගලික අදහස නම්, මේ ‘පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත’ තවදුරටත් සංශෝධනය විය යුතු බව ය. එහි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ ඉහළම ගුණාංග මෙන් ම ප්‍රායෝගික තලයේ ගැටලු ඇතිකරන හිල් ගණනාවක් ඇති බව පෙනේ. ඒවාට පිරිමසින පිළියම් යෙදිය යුතු ය.
දියුණු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ හා පශ්චාත් මැතිවරණ සංස්කෘතියක් ඇති තැනකට මේ පනත සපුරා ගැලපෙන්නට පුළුවන. එහෙත් ලංකාව වැනි රටක දේශපාලන කණ්ඩායම් අතර අද පවත්නාක් බඳු එදිරිවාදීකම් උග්‍රවූ අවස්ථාවක මේ පනතේ එවැනි හිල් පැවතියහොත් ගොඩනැඟෙන්නට ඉඩ ඇත්තේ, ජනමතය බෙහෙවින් විකෘතිකර පෙන්වන, ජනමතයට එරෙහි වන ආයතන ව්‍යූහයක් නොවන්නේද යන්න ගැඹුරින් සලකා බැලිය යුතු ය.
සනත් බාලසුරිය


