තවත් මැතිවරණයක් ඊයේ අවසන් විය.පුළුල් අර්ථයෙන් මැතිවරණයේ නිදහස් සහ සාධාරණ බව සහ සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය හැසිරීමේ හොඳ නරක ගැන සාකච්ඡා කිරීමට තවම ඉක්මන් වැඩි වුවත්, මැතිවරණයේ අවසන් දිනය දක්වා මැතිවරණ කොමිෂන් සභාව සහ නිරීක්ෂණ සංවිධාන වෙත ඉදිරිපත් වී තිබූ පැමිණිලි ප්‍රමාණය සහ ඒවායේ ස්වභාවය අනුව මෙවර පළාත් පාලන මැතිවරණය, සාපේක්ෂව මැතිවරණ නීති උල්ලංඝණ සිදුවීම් අඩු , නිදහස් හා සාමකාමී මැතිවරණයක් ලෙස සැලකිය හැකිය. පසුගිය මැතිවරණ වලට සාපේක්ෂව සමාජ මාධ්‍ය හරහා දුස් තොරතුරු හා වෛරී ප්‍රකාශන පැතිරීම් සම්බන්ධයෙන්ද මෙවර පළාත් පාලන මැතිවරණයේ යම් සුබදායී වෙනසක් පෙන්නුම් කරයි.

මැතිවරණයක අවසන් සතිය සහ අවසන් සතියේ අවසන් දින කිහිපය සැලකෙන්නේ මැතිවරණයේ වඩාත්ම තීරණාත්මක කාල පරිච්ඡේදය වශයෙනි. ඡන්දදායකයෙකු තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීම හෝ නොකිරීම පිළිබඳව අවසන් තීන්දු ගන්නා,එසේම ඡන්දය භාවිත කරන දේශපාලන පක්ෂය සහ අපේක්ෂකයින් පිළිබඳව වැඩියෙන්ම විමසිලිමත්වන කාල වකවානුව වන්නේ මෙම අවසන් දින කිහිපයයි.එනිසාම, ඡන්ද දායකයාට සිය ඡන්දය බලපෑමකින් තොරව,නිදහස්ව පාවිච්චි කිරීමට ඇති අයිතියට එරෙහිව විවිධ ක්‍රමෝපායයන් භාවිත කරමින් දුස් තොරතුරු, වැරදි පුවත් හා වෛරී ප්‍රකාශ පතුරුවන්නන්ටද, ‘ප්‍රොපගැන්ඩා කැම්පේන්වල’ යෙදෙන්නන්ටද මෙම අවසාන දින කිහිපය අතිශයින්ම වැදගත්ය.ඒ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේද ඔස්සේ නොව,ඡන්දදායකයින් මං මුලාකිරීම මගින් තම තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීම් සඳහාය.බොහෝවිට මැතිවරණයක අවසන් මොහොතේ සිදුවන මෙම වැරදි තොරතුරු ප්‍රචාරණයන්හි ප්‍රධාන ප්‍රචාරක මාධ්‍ය බවට පත්වන්නේ සමාජ මාධ්‍යයයි.සමාජ මාධ්‍ය පරිශීලකයින් දුස් තොරතුරු, වෛරී ප්‍රකාශ පිළිබඳ දැනුම්වත්භාවයෙන් අඩු,පහසුවෙන් රැවටෙනසුළු පිරිසක් වන තරමට කූට අරමුණු ඇතිව දුස් තොරතුරු පතුරුවන්නන්ගේ කාර්යය වඩාත් පහසුය.
මැතිවරණ මාධ්‍ය නිරීක්ෂණ වාර්තා පෙන්වා දෙන ආකාරයට, කිසියම් හෝ පාලනයකට යටත්ව ජනමාධ්‍යවේදීන් විසින් ප්‍රවෘත්ති හා විශේෂාංග අන්තර්ගත සම්පාදනය කෙරෙන විද්‍යුත් නාලිකා හා පුවත්පත්වලට වඩා පුරවැසි අන්තර්ගත සම්පාදකයින් විසින් හසුරුවනු ලබන සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වන දුස් තොරතුරු, වෛරී ප්‍රකාශ ප්‍රමාණය සාපේක්ෂව වැඩිය.
අවසන් වරට පැවැති 2024 ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයේ සමාජ මාධ්‍ය හා සම්බන්ධ පැමිණිලි කළමනාකරණයේ පසු විපරම් වාර්තාව ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදී තිබුණේ ජනාධිපතිවරණයට අදාළව සමාජ මාධ්‍ය ඒකකය වෙත ලැබුණ පැමිණිලි වලින්, නාමයෝජනා දින සිට මැතිවරණ දින දක්වා සමස්ත මැතිවරණ කාලය තුළ සමාජ මාධ්‍ය ආයතන විසින් ඉවත් කරන ලද සබැඳීන් ප්‍රමාණයට (872) ආසන්න සංඛ්‍යාවක්, එනම්,සබැඳීන් 751 ක් මැතිවරණයේ නිහඬ කාලය තුළ ඉවත් කිරීමට සිදුවූ බවයි.2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව සමාජ මාධ්‍ය ආයතන විසින් සමස්ත මැතිවරණ කාලය තුළ ඉවත් කරන ලද සබැඳීන් ප්‍රමාණය 2515 ක් වූ අතර මැතිවරණයේ නිහඬ කාලය තුළ එලෙස ඉවත් කරන ලද සබැඳීන් ප්‍රමාණය 1822 ක් වී තිබිණි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පෙන්වාදෙන පරිදි දකුණු ආසියාවේ ඉහළම ජංගම දූරකථන ඝණත්වයක් පවතින්නේ ශ්‍රී ලංකාවේය.එය 131.5% කි.එනම්, පුද්ගලයින් 100 කට ජංගම දූරකථන සංඛ්‍යාව 131.5 කි.එම ජන ඝණත්වය බස්නාහිර පළාතට 123.3% ක් වනවිට දකුණු පළාතට 81.7% කි. අග නගරය හා තදාසන්න ප්‍රදේශවලින් ඔබ්බෙහි පිහිටි උතුරු මැද පළාතේ 90.3% කි.අඩුම ජංගම දුරකථන ඝණත්වයක් ඇති ඌව පළාතේද 62.1% කි. කොමිෂන් සභාවේ නිල තොරතුරු අනුව, 2024 වසරේ ආරම්භය වනවිට සිටි ශ්‍රී ලංකාවේ ජංගම දූරකථන ග්‍රාහකයින්ගේ සංඛ්‍යාව මිලියන 28.9 කි.ස්ථාවර ග්‍රාහකයින් මිලියන 3.5 කි.අන්තර්ජාල සේවා ග්‍රාහකයින් මිලියන 22.8 කි. මෙම දත්ත සැලකූවිට කූට අරමුණින් දුස් තොරතුරු පතුරුවන්නන්ට මෙම ජංගම දූරකථන ග්‍රාහකයින් හා අන්තර්ජාල පරිශීලකයින්ගේ සමාජ මාධ්‍ය ජාල කොතරම් වටිනා තෝතැන්නක්දැයි පැහැදිලිය.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, 2024 වසරේ සිව්වන කාර්තුවට අදාළව නිකුත්කර ඇති දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල ඔස්සේ සමාජ මාධ්‍ය පරිශීලනය අතින් ඉදිරියෙන්ම සිටින්නේ ෆේස්බුක්(fb )ය.ෆේස්බුක් පරිශීලකයින්ගේ සංඛ්‍යාව 15,031,412 (19%)කි.යූටියුබ් පරිශීලකයින් 14,528,371 (18%) කි. වට්ස්ඇප් 14,928,520 (18%) කි. වයිබර් 6,068,833 කි.ඉමෝ 7,662,817 කි .ඉන්ස්ටග්‍රෑම් 8,470,698 කි .ස්නැප් චැට්4,012,121 කි .ටික්ටොක් 10,557,052කි .
මැතිවරණ කාලසීමාවකදී විද්‍යුත්,මුද්‍රිත හා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් දුස් තොරතුරු,අසත්‍ය හා වෛරී ප්‍රකාශ පතුරුවන්නන්ගෙන් ඡන්දදායකයාට වන හානිය වළක්වාගන්නේ කෙසේද?යන ප්‍රශ්නය මැතිවරණයට දින කිහිපයකට පෙර අප මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වෙත යොමු කළෙමු.
මෙවර දුස් තොරතුරු,වෛරී ප්‍රකාශ සම්බන්ධ පැමිණිලි ඉතාම අඩුයි.
සමන් ශ්‍රී රත්නායක, මැතිවරණ කොමසාරිස් ජනරාල්

“මැතිවරණ කොමිෂන් සභාව විදියට අපි මාධ්‍ය උපමාන නිකුත් කරල තියෙනවා.එසේම, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලාවල හැසිරීම් නිරීක්ෂණය කරනවා. ඒත්, පසුගිය මැතිවරණවලට සාපේක්ෂව සැලකූවිට මෙවර අපට ලැබීඇති පැමිණිලි සංඛ්‍යාව ඉතාම අඩුයි.විශේෂයෙන්ම දුස් තොරතුරු,වෛරී ප්‍රකාශ වගේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉතාමත්ම අඩුයි. ”
“ මෙවර අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව 71,000 ක්. ඒත්, මේ අපේක්ෂකයින්ගේ බල සීමාවල් කුඩා නිසා ඒවා ජාතික මට්ටමින් වාර්තාවීම් සහ පැමිණිලි ඉදිරිපත්වීම් අඩුයි.උතුරේ, කාන්තාවන් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන වෛරී කථනයන්,මඩ ගැසීම් වගේ සිදුවීම් තරමක් වැඩි බව පෙනෙනවා. ” මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
මැතිවරණ කාල සීමාව තුළ සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම නිරීක්ෂණය සඳහා ස්ථාපනය කරන ලද ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ නිරීක්ෂණ සම්බන්ධයෙන්ද, පසුගිය මැතිවරණවලට අදාළව ඉදිරිපත්වූ සමාජ මාධ්‍ය පැමිණිලිවල ස්වභාවය සහ එල්ලවූ අභියෝග සම්බන්ධයෙන්ද අප මැතිවරණ කොමිෂන් සභාවේ පර්යේෂණ හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ චන්න පී.ද සිල්වා මහත්මා සමග වැඩිදුර සාකච්ඡා කළෙමු.
මාධ්‍ය උපමාන සඳහා නෛතික බලයක් නොමැතිවීම ගැටලුවක් !
චන්න පී.ද සිල්වා, අධ්‍යක්ෂ- පර්යේෂණ හා ක්‍රමසම්පාදන

“ පසුගිය මැතිවරණ දෙකට අදාළව ප්‍රධාන වර්ගීකරණ හතක් යටතේ සමාජ මාධ්‍ය පළකිරීම් නිරීක්ෂණය වුණා. ලැබුණ පැමිණිලිවල නීතිමය සහ මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීම් යළි පරීක්ෂාකර බැලීමකින් පසුව තොරාගනු ලැබූ පැමිණිලියි, අප සබැඳීන් ඉවත්කරවාගැනීම සඳහා සමාජ මාධ්‍ය ආයතන වෙත යොමුකළේ. ජනාධිපතිවරණයට අදාළව යොමුකළ පැමිණිලි අතර වෛරී ප්‍රකාශ සම්බන්ධ පැමිණිලි 713 ක්, දුස් තොරතුරු පැමිණිලි 389 ක්, වැරදි පුවත් 231 ක් තිබුණා. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව යොමුකළ පැමිණිලි අතර වෛරී ප්‍රකාශ පැමිණිලි 306 ක් තිබුණා.දුස් තොරතුරු පැමිණිලි සංඛ්‍යාව 188 ක්. වැරදි පුවත් පැමිණිලි 83ක්.
ජනාධිපතිවරණයේ පැමිණිලි 2877 ක් අතරින් නීති,මාධ්‍ය උපමාන හා සමාජීය මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීම් ලෙස හඳුනාගෙන සමාජ මාධ්‍ය ආයතන වෙත යොමුකළ 2010 ක් වූ පළකිරීම් අතරින් 872 ක සබැඳීන් සාර්ථකව ඉවත් කරගැනීමට හැකිවුණා.ඒත්, පැමිණිලි 201 ක සබැඳීන් ඉවත්කිරීම සමාජ මාධ්‍ය ආයතන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි 6524 ක් අතරින් ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ සියුම් පරීක්ෂා කිරීම් වලින් අනතුරුව හඳුනාගත් පළකිරීම් 3277 ක් සමාජ මාධ්‍ය ආයතන වෙත යොමුකළා. ඒ අතරින් 2515 ක සබැඳීන් සාර්ථකව ඉවත් කරගැනීමට හැකිවුණත් තවත් පැමිණිලි129 ක සබැඳීන් ඉවත්කිරීම සමාජ මාධ්‍ය ආයතන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.”
අධ්‍යක්ෂවරයා පවසන ආකාරයට, සියුම් පරීක්ෂා කිරීම් වලින් අනතුරුව, උල්ලංඝණය කිරීම් ලෙස හඳුනාගනිමින් සමාජ මාධ්‍ය ආයතන වෙත යොමුකරන ලද ඇතැම් පැමිණිලි එලෙස ප්‍රතික්ෂේප වීමට බලපා ඇති හේතු කිහිපයකි.
“ ප්‍රධාන හේතුවක් තමයි,පැමිණිලි කරඇති පළකිරීමක් මගින් උල්ලංඝණය වන දේශීය නීතිය, අදාළ වගන්ති සමග පැහැදිලිව දැක්වීමට අපහසුවීම.අපේ රටේ නීතිය උල්ලංඝනය වෙනවා කියල කියනකොට ඒක හරියටම,පැහැදිලිව කියන්න අවශ්‍යයි. සමාජ මාධ්‍ය පළකිරීම් වර්ගීකරණය පිළිබඳ ඇතැම් නිශ්චිත නිර්වචන දේශීය නීතිතුළ පැහැදිලිව නැහැ. නිදර්ශනයක් ලෙස ජනවර්ගය,ජාතිකත්වය, කුලය,ආගමික ලැදියාවන් වගේ දේවල්.නැත්නම්,මේ සමහර දේවල් උල්ලංඝණ ප්‍රකාශයන් දේශීය නීති යටතේ වෛරී ප්‍රකාශන ලෙස සැලකෙන්නේ නැහැ.මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන මාධ්‍ය උපමාන සඳහා නෛතික බලයක් නොමැතිවීමත් ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ආයතන සමග කටයුතු කිරීමේදී ගැටලුවක් ලෙස මතුවුණා. ”

‘මැතිවරණ ක්‍රියාවලියට සමාජ මාධ්‍යවල බලපෑම’ පිළිබඳ පසු විපරම් වාර්තාව ඉදිරිපත් කරමින් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ) පියුමි ආටිගල මහත්මිය ඇතුළු කණ්ඩායම ප්‍රායෝගික හා ඵලදායී යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ(5)(අ) අනුව්‍යවස්ථාව තුළට සමාජ මාධ්‍ය සඳහා උපමාන සැකසීමට ප්‍රතිපාදන ඇතුළත් කිරීම,සමාජ මාධ්‍ය ජාලවල සමාජීය මාර්ගෝපදේශ වලට අනුකූල වන ආකාරයට අපගේ මාධ්‍ය උපමාන සැකසීම ආදිය ඒ අතරින් කිහිපයකි.
අසත්‍ය හා විකෘති කරන ලද තොරතුරු සහ වෛරී ප්‍රකාශ හානිදායී බව හඳුනාගැනීමෙන් පසුවත් එම ඇතැම් සබැඳීන් ඉවත්කරවීමට සමාජ මාධ්‍ය ආයතන සමග විශාල අරගලයක් කිරීමට සිදුවීම ගැන පොදුවේ දෝෂාරෝපන එල්ල වෙද්දී තරුණ සමාජ මාධ්‍ය පුහුණුකරුවෙකු හා බාහිර කථිකාචාර්යවරයෙකු වන කසුන් කුමාරගේ පවසන්නේ සමාජ මාධ්‍ය හිමිකරුවන් තමන්ගේ පරිශිලකයා වෙනුවෙන් මැදිහත් වෙමින් එවැනි සියුම් සොයාබැලීමකට යාමේ හොඳ පැත්තකුත් තිබෙන බවය.
‘කරුණු පරික්ෂාව’ පුංචි කාලෙම ලබාදිය යුතු දැනුමක් !
සමාජ මාධ්‍ය පුහුණුකරු , කසුන් කුමාරගේ

“ මැතිවරණ කොමිෂන් සභාව හෝ වෙනත් ප්‍රබල පාර්ශවයක් විසින් ඉල්ලීමක් කළ පමණින් කිසියම් අන්තර්ගතයක් වහාම ඉවත් නොකොට සමාජ මාධ්‍ය හිමිකරුවන් තමන්ගේ නිර්ණායක මත එය නැවත විමර්ශනය කරන එකේ හොඳ පැත්තකුත් තියෙනවා.ඔවුන්ට බාහිර පාර්ශවයකට වඩා තමන්ගේ පරිශීලකයා වැදගත්.මේ මොහොතේ මැතිවරණ කොමිසම සහ රජය නිවැරදිව ක්‍රියා කරනවා වියහැකි වුවත් තවත් අවස්ථාවක එසේ නොවීමට ඉඩ තිබෙනවා.
මට හිතෙන්නේ මේ කරුණු පරීක්ෂාව ගැන පුරුද්ද ළමයෙකුට පුංචිම කාලේ ඉඳලා ලබා දියයුතු දැනුමක්.කරුණු පරීක්ෂා කිරීමේ විවිධ මෙවලම් රාශියක් තිබුණත් ඒ හැම දැනුමක්ම නිරන්තරයෙන් වෙනස් වෙනවා.අලුත් වෙනවා.ඒත්, පුද්ගලයෙකුට කිසියම් තොරතුරත් ලැබුණ විට එම තොරතුර පිළිගැනීමට සහ තවත් අයෙකුට බෙදාහැරීමට පෙර ඒ ගැන සැලකිළිමත්වීමේ පුරුද්දක් ඇතිකළ හැකිනම් දුස් තොරතුරු වලින් සිදුවන හානිය සෑහෙන මට්ටමකින් පාලනය කරගත හැකියි.”
දුස් තොරතුරු මගින් සිදුවන සමාජ හානිය මැතිවරණ කාලයට පමණක් අදාළ කරුණක් නොවේ.එය අවම කරගැනීමට රටක් වශයෙන් හා පුරවැසි සමාජයක් වශයෙන් අප මහන්සි විය යුත්තේද මැතිවරණ කාලවලට පමණක් නොවේ. එහෙත්, අදාළ නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අප වෙහෙස වන අතරම සමාජ මාධ්‍ය තුළ පමණක් නොව එදිනෙදා ජීවිතයේදී, අපව මංමුලා කිරීමට වෙහෙසෙන්නන් වහා හඳුනාගැනීමට තරම් අපට සූක්ෂම වියහැකි නම් අපට වන හානිය අවම කරගත හැකියැයි ඔබටත් නොසිතේද?
- ආනන්ද ධර්මප්‍රිය ජයසේකර