විල්පත්තු පාර අරින්නට පෙර මේ තීන්දුව කියවගත්තොත් හොඳයි !

Share post:

විල්පත්තුව මැදින් පාරක් හැදීමේ කතාවක් ආන්දෝලනයට තුඩු දී තිබේ. මේ කියන්නේ අලුත් පාරක් ගැන ද, තිබුණු පාරක් පුළුල් කිරීමක් ගැන ද, එසේ කළ හැකිද, ආණ්ඩුව බලයට පත්වීමට පෙර කීවේ මෙවැනි කටයුතු ගැන ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි. 

එළුවන්කුලම සිට මන්නාරම දක්වා විල්පත්තු ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මේ මාර්ගය කරත්ත පාරක් ලෙස තිබූ එකකි. යුද්ධය පැවැති කාලයේදී එය පුළුල් කර තිබේ. කෙසේ වෙතත් පසුව ජාතික වනෝද්‍යානයට ඇති හානිකර තත්ත්වයන් සලකා මේ මාර්ගයේ වාහන ගමනාගමනය දැඩි ලෙස සීමාකරන ලදි. නැවත මේ මාර්ගය විවෘත කිරීම පිළිබඳ කතාබහ පරිසර හිතකාමී ස්ථාවරයටත් වඩා ප්‍රජාවන් අතර ගැටුමක් හෝ අසමගියක් පිළිබඳ අදහසක් ඇතිකරීමේ අරමුණින් ප්‍රචාරය කිරීම ද දැකිය හැකිය. එනම් ඒ ඔස්සේ සිංහල – මුස්ලිම් මතවාදී ගැටුමක් මතුකිරීමයි. 

මීට පෙර ද බැසිල් රාජපක්ෂ සහ රිෂාඩ් බදූර්දීන් හිටපු ඇමැතිවරුන් එක් ව කළ විපත්තු විනාශය ප්‍රජාවන් අතර ගැටුමක් දක්වා ඇදගෙන යෑමේ උත්සාහයන් ක්‍රියාත්මක වුවද, ඒවා අසාර්ථක විය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් කළ සොයාබැලීමේදී අනාවරණය වූයේ කවර තත්ත්වයක් යටතේ හෝ මේ මාර්ගය විවෘත කිරීමේ තීරණයක් ගන්නේ නම්, දෙපාර්තමේන්තුව ඊට දැඩි විරෝධය පළකරන බවයි. සත්‍ය වශයෙන්ම එවැනි නිශ්චිත තීරණයක් මෙතෙක් කිසිවකු ගෙන නැත. එහෙත් වර්ධනය කරනු ලබන මතයක් තිබේ.

ආණ්ඩුවේ විවිධ පාර්ශ්ව මේ පිළිබඳව වරින්වර අදහස් දක්වා තිබිණි. අගමැති හරිනි අමරසූරිය ද වරක් පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැති ප්‍රචාරක රැස්වීමක් අතරතුර මේ මාර්ගය විවෘත කරන බවක් පවසා තිබිණි. කෙසේ වෙතත් පරිසර සංවිධාන මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ද එල්ල වී ඇති දැඩි විරෝධය නිසා එවැනි පියවරක් නොගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එහෙත් අළු යට ගිනි ඇත. එම නිසා අළු ද නිවාදැමිය යුතුය. 

මේ මාර්ගය විවෘත කළහොත් මෙහි ගමන් කරන ඕනෑම අයකුට කිසිදු බාධාවකින් තොරව ජාතික වනෝද්‍යානයට ඇතුළු වීමේ හැකියාව ලැබේ. එසේ ගමන් කරන සියලු වාහන හෝ පුද්ගලයන් අධීක්ෂණය කිරීමේ හැකියාවක් වනජීවි දෙපාර්තමේන්තුවට නැත. දැනටමත් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ අනුමත කාර්යමණ්ඩලයට වඩා 800කට ආසන්න පුරප්පාඩු සංඛ්‍යාවක් සහිතව ය. අනෙක් අතට එවැනි තීරණයක් මගින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම අඩු වීම ද සිදු වේ. වනෝද්‍යානය මැදින් ම යෑමට තිබියදී වෙනත් ගාස්තුවක් ගෙවා නිල වශයෙන් වනෝද්‍යානයට ඇතුළුවීම බොහෝදෙනෙක් නොකරනු ඇත. සිංහරාජයෙන්, යාලෙන්, විල්පත්තුවෙන් ජාන මංකොල්ලය පිළිබඳ මෑත කාලීන උදාහරණ රැසක් හමුවෙමින් තිබෙන අතර, මෙවැනි තීරණයක් ගතහොත් සිදුවන්නේ පනින රිලවුන්ට ඉනිමං බැඳීමකි.

අනෙක් අතට මෙවැනි තීරණයක් ගතහොත් එය නීතිය ඉදිරියේ අභියෝග කිරීමේ අවස්ථාව ද ඇත. විල්පත්තුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණ වැදගත් තීන්දුවක් මීට පෙර ලබා දී තිබේ.  එහි දැක්වෙන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල්ලාරු ප්‍රදේශයේ එළිපෙහෙළි කිරීම් නීතිවිරෝධී බවයි. ඒ විල්පත්තුව් ප්‍රේරණ කලාපයයි. මෙම එළිපෙහෙළි කිරීමට හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ මැදිහත්වීමක් නිරීක්ෂණය වන බව තීන්දු කළ අධිකරණය, රිෂාඩ් බදියුදීන්ගේ පෞද්ගලික මුදලින් එම ප්‍රදේශය නැවත වගා කරන ලෙසට ද නියෝග කළේය. ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන විනිසුරුවරුන්ගෙන් යුත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව දෙනු ලැබීය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ද මෙහිදී අභියාචනාධිකරණයේ දැඩි විවේචනයට ලක් විය. වන සංරක්ෂණ ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් රක්ෂිත වනාන්තර ඉඩම් විශාල ප්‍රමාණයක් එළිපෙහෙළි කර අවතැන්වූවන් නැවත පදිංචි කරවීම සඳහා භාවිත කර ඇති බව අධිකරණය ඉදිරියේ ඇති සාක්ෂි මගින් තහවුරු වන බව නඩු තීන්දුවේ සඳහන් වෙයි.

නැවත පදිංචි කිරීම, සංවර්ධනය හා ආරක්ෂාව සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය (උතුරු පළාත) සහ 1990 දී අවතැන් වූ මුස්ලිම් ගම්මානවල ඉඩම් සම්බන්ධ ගැටළු විසඳීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එම කාර්ය සාධක බලකාය විසින් පත් කරන ලද කමිටුව විසින් ගනු ලැබූ තීරණ අනුව මෙම අයදුම්පතේ සඳහන් ඉඩම නැවත පදිංචි කිරීම සඳහා යොදාගෙන ඇති බව පෙත්සමේ සඳහන් විය.  

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය සනාථ කිරීම සඳහා කිසිදු සාක්ෂියක් අධිකරණය ඉදිරියේ තහවුරු කර නොමැති බව අධිකරණය තීන්දුවේ සඳහන් කරයි.

එහි මෙසේ සඳහන් වෙයි.

”‍මෙම කමිටුව හෝ කාර්ය සාධක බලකාය විසින් කරන ලද කිසියම් නිර්දේශයක් මත පදනම්ව, මෙම ඉඩම නැවත පදිංචි කිරීම සඳහා භාවිත කර ඇත්දැයි අධිකරණය 2019.07.31 වැනිදා රජයේ නීතිඥවරයාගෙන් විමසීය.

උපදෙස් ලබාගැනීම සඳහා කාලය ගතවුවත්, අධිකරණය විසින් ඉල්ලා සිටි ආකාරයේ පැහැදිලි කිරීමක් ලබාදීමට ඔහුට නොහැකි විය.

ඒ වෙනුවට 2019 වසරේ නොවැම්බර් 22 දින මෝසමක් මගින් අධිකරණයට දැනුම් දුන්නේ පෙර දුන් නියෝගය අවලංගු කිරීමට පියවර ගන්නා බවත්, අවතැන්වූවන් පදිංචි කිරීම සඳහා භාවිත කළ ඉඩම බැහැර කරමින් නව නියෝගයක් ලබා දෙන බවත්, නැවත පදිංචි කිරීම් අවශ්‍ය නම් සෑම අවස්ථාවකදීම අවතැන්වූවන් රක්ෂිත වනාන්තරයෙන් පිටත ස්ථානගත කිරීමට උත්සාහ කරනු ඇති බවත් ය.

කෙසේ වෙතත්, 1990 වර්ෂයේ (මන්නාරම් දිස්ත්‍රික්කය) අභ්‍යන්තරව අවතැන් වූ මුස්ලිම් පවුල් අතර ඉඩම් සම්බන්ධ ගැටළු පිළිබඳ අන්තර් නියෝජිත කමිටුවේ වාර්තාව” 2012.10.15 දිනැතිව ලබා දී ඇති අතර, ඒ අනුව මෙම පෙත්සමේ විෂය කරුණ වන ඉඩම 2012.10.20 දින සිට බලපැවැත්වෙන පරිදි රක්ෂිත වනාන්තර බවට පත්විය.

එබැවින් අධිකරණය හමුවේ ඇති සාක්ෂි මත අනාවරණය වන්නේ රක්ෂිත වනාන්තරයක් ලෙස අදාළ ඉඩම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කාර්ය සාධක බලකාය හෝ කාර්ය සාධක බලකාය විසින් පත් කරන ලද කමිටුව එම ඉඩම් නිදහස් කිරීමට කිසිදු කාර්යභාරයක් සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත්, අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා මෙම ඉඩම නිදහස් කර ගැනීමට කටයුතු කර ඇත්තේ එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසිනි.

2013.01.15 වැනිදා 7 වැනි වගඋත්තරකරුගේ සභාපතිත්වයෙන්, පරිසර හා තිරසර බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් සහ ඔහුගේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් පවත්වා ඇති අතර, එහිදී අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් කිහිපයක් නිදහස් කිරීමට තීරණය කර තිබේ.

එවකට වන සංරක්ෂණ ජනරාල් කේ.ජී. ආරියදාස මෙම රැස්වීමට සහභාගි වී වෙන් කළ වනාන්තර ඉඩම් නිදහස් කිරීමේ තීරණයට අත්සන් කළේය.

අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා එවැනි රක්ෂිත වනාන්තර ඉඩම් නිදහස් කිරීම කළ හැකිව තිබුණේ වන සංරක්ෂණ ආඥා පනතේ 4 (2) වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයා විසින් නියෝගයක් නිකුත් කර ඇත්නම් පමණි. නමුත් එවැනි නියෝගයක් නිකුත් කර නැත.

එබැවින්, වන සංරක්ෂණ ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සිදු කර ඇති බව අධිකරණය නිගමනය කරයි.

ආණ්ඩුක්‍්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තියේ විධිවිධාන යටතේ සහ සර්ටියෝරාරි සහ මැන්ඩාමූස් නියෝගයක් නිකුත් කරන ලෙස රිට් පෙත්සමක් ඉදිරිපත් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය පහත ඉල්ලීම් මෙහිදී සිදු කර තිබිණි. 

අ) මඩු පාර අභයභූමියේ හා මඩු පාර වන රක්ෂිතයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මාරයිචුක්කඩි / කරදිකුලි උතුරු අභයභූමියේ එළිපෙහෙළි කිරීම සහ පවත්නා නීතියට අනුකූල නොවන ලෙස ඉහත විස්තර කර ඇති නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම සම්බන්ධයෙන් 1 වන සහ 6 වන වගඋත්තරකරුවන් විසින් කරන ලද නියෝග අවලංගු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස හා එම නීතිවිරෝධී නිවාස ව්‍යාපෘතිය ඉවත් කරන ලෙසට නියෝග කරන ලෙසත්,

ආ) ජාතික පාරිසරික පනත, වන සංරක්ෂණ ආඥා පනත සහ සත්ත්ව හා ශාක ආරක්ෂණ ආඥා පනත සහ පුරාවස්තු ආඥා පනතේ විධිවිධානවලට අනුකූලව අදාළ ව්‍යස්ථාපිත රාජකාරිය ඉටු කිරීමේදී ව්‍යාපෘති අනුමත කරන ආයතනයකින් ඒ සඳහා අනුමැතිය ලබානොගෙන මඩු පාර අභයභූමියේ හා මඩු පාර වන රක්ෂිතයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මාරයිචුක්කඩි / කරදිකුලි උතුරු අභයභූමියේ ප්‍රදේශ අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සහ නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම, නීතිවිරෝධී ලෙස අනවසරයෙන් පදිංචි කිරීම සම්බන්ධව පෙත්සමේ විස්තර කර ඇති ව්‍යවස්ථාපිත රාජකාරි වඩාත් හොඳින් ඉටු කරන ලෙස 1, 2, 3, 4 සහ 8 වන වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස මැන්ඩාමූස් ආකාරයේ නියෝගයක් නිකුත් කරන ලෙසත්,

(ඇ) වනාන්තරය නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීම හා අනවසරයෙන් පදිංචි කරවීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ (සංශෝධිත) පරිදි වනාන්තර රක්ෂිතයට වනාන්තර ඉඩම් නැවත ස්ථාපිත කිරීම සහ වනාන්තර නැවත සිටුවීමේ වැඩසටහන සංවිධානය කරන ලෙසට මැන්ඩාමූස් ආකාරයේ නියෝගයක් නිකුත් කරන ලෙසත්.

එළිපෙහෙළි කර ඇති වනාන්තර කොටස් නැවත රෝපණය කිරීමට වැය වන මුදල රිෂාඩ් බදියුදීන්ගෙන් අය කරගන්නා ලෙස පෙත්සම්කරු ඉල්ලා නොමැති අවස්ථාවක එම වනාන්තර නැවත රෝපණය කිරීම සඳහා රිෂාඩ් බදියුදීන්ගෙන් අයකරගන්නා ලෙස අභියාචනාධිකරණය මෙහිදී නියෝග කළේය. ඒ දූෂකයා ගෙවීමේ මූලධර්මය අනුව බව ඒ තීන්දුවේ දැක්වේ. 

එහි මෙසේ දැක්වෙයි.

රියෝ ද ජැනෙයිරෝ ප්‍රකාශනයේ 16 වන කරු⁣ණේ දක්වා ඇති දූෂකයා විසින් වන්දි ගෙවීමේ මූලධර්මය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා ගණනාවකදී පිළිගනු ලැබ ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථකථනය කර ඇති පරිදි මෙම මූලධර්මයෙන් අදහස් කරන්නේ පරිසරයට සිදුවන හානිය සඳහා වගකීමට එම පරිසර හානියට ගොදුරුවූවන්ට වන්දි ගෙවීම පමණක් නොව පාරිසරික හායනය යථා තත්ත්වයට පත් කිරීමේ පිරිවැය ද ඇතුළත් වන බවයි.

හානියට පත් පරිසරය යථාතත්ත්වයට පත්කිරීම තිරසර සංවර්ධන ක්‍රියාවලියේ කොටසක් වන අතර, එම නිසා වගකිවයුත්තා විසින් පීඩාවන්ට පත් පුද්ගලයන්ට මෙන්ම හානියට පත් පරිසරය යථාතත්ත්වයට පත් කිරීමේ පිරිවැය ද ගෙවීමට බැඳී සිටී.

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ද මෙම මූලධර්මය පිළිගෙන නඩු තීන්දුවලට යොදාගෙන තිබේ.

බුලන්කුලම සහ තවත් අය එදිරිව කාර්මික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් (2000)

විජේබණ්ඩා එදිරිව වන සංරක්ෂණ ජනරාල් (2009)

කාරියවසම් එදිරිව මධ්‍යම පරිසර අධිකාරිය සහ තවත් අය

බුලන්කුලම සහ තවත් අය එදිරිව කාර්මික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නඩුවේදී අධිකරණය කියා සිටියේ පාරිසරික හානිය සඳහා වන අය කිරීම පොදු ප්‍රජාව මතට වැටීමට ඉඩ නොදී එවැනි හානියක් සිදු කරන පාර්ශ්වය විසින් දැරිය යුතු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) වගන්තිය මගින් සොබාදහම ආරක්ෂා කිරීම සහ එය සංරක්ෂණය කිරීම ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුගේම මූලික යුතුකමක් බවට නියම කරයි.  මෙයට රාජ්‍ය නිලධාරීන් සහ ජනතා නියෝජිතයන් ද ඇතුළත් වේ. එය අභියාචනාධිකරණ තීන්දුවේ යළි-යළිත් අවධාරණය කර තිබේ. එම නිසා විල්පත්තුව ගැන හෝ විල්පත්තුවේ පාර ගැන තීරණයක් ගැනීමට පෙර ආණ්ඩුව මේ තීන්දුව ද හොඳින් කියවා ගත යුතුය.

  • ශාලික විමලසේන

Related articles

පාස්කු වාර්තාව අධ්‍යයනයට ශානි පත්කිරීම ගැන නාමල්ගේ කනස්සල්ල – බරපතළ තත්ත්වයක් බවත් කියයි !

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පත්කරන ලද පොලිස් කමිටුවට මධ්‍යම අපරාධ...

දේශබන්දු ඉවත් කිරීමේ කමිටුව පත්කරයි : ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු සූරසේනත් සාමාජිකයෙක් !

පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවට අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ කමිටුවට සාමාජිකයන් පත්කරයි. 2002 ඉහළ රාජ්‍ය නිලධරයන්...

“හෙවණැල්ල වී පවතිමි “මහාචාර්ය ලියනගේ අමරකීර්ති

මේ, ගද්‍යයත් පද්‍යයත් අතර මිහිරිතම නැවතුම් සොයා ගිය අමරකීර්තිමය කාව්‍යානුභූතීන්හි අසිරිමත් පෙළහරකි. ස්වයංවරයක් සඳහා එක සමාන වටිනාකම් සහිත...

අවදානමට පෙර ආණ්ඩුව සූදානම් ද?

මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව විවේචනයට ලක්ව ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම වඩාත් ජනතාවට...