Home Blog Page 249

දේශබන්දු – ටිරාන්ට අභියෝග කළ SSPට මාරුවක් ඉල්ලයි : SSPටත් රැකවරණ රැසක් !

0

කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ප්‍රදේශයකට මාරුකරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලිඛිත ව කළ දැනුම්දීමක් පොලිස්පතිවරයා නොතකා හැර තිබේ.

ඉහළ නිලධාරීන් ලබාදෙන නියෝග නොතකා හැරීම නිසා මෙසේ අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මාරුකරන ලෙස දේශබන්දු තෙන්නකෝන් ඉල්ලීමක් කර ඇත. එහෙත් පොලිස්පතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන්ගෙන් පෙරළා විමසා ඇත්තේ ඔහු විසින් නොතකා හරින ලද නියෝග මොනවාද යනුවෙනි. පොලිස්පතිවරයාගේ ප්‍රතිචාරයට දේශබන්දු තෙන්නකෝන් විසින් මෙතෙක් පිළිතුරක් ලබාදී නැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි.

දේශබන්දු තෙන්නකෝන්ගේ මෙම ඉල්ලීම පොලිස්පතිවරයා විසින් ඔහු යටතේ ඇති විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කර ඇති බවත්, එමගින් මෙම නිලධාරියා පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙනු ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණද, එවැන්නක් මෙතෙක් සිදුව නැති බව ද අදාළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මීට පෙරත් උත්සාහයක්

කෙසේ වෙතත් මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙනත් පළාතකට මාරු කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මීට පෙර ද එක් වරක් උත්සාහ කර තිබේ. එහෙත් පොලිස් කොමිසමේ ක්‍රියාකාරිත්වය මත එය අසාර්ථක වී ඇත.

SSPටත් හයියක්

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය සමග සමීප සම්බන්ධකම් පවත්වන්නෙකු වන බවයි. පොලිසිය බාර ඇමතිවරයාට අභියෝග කළ ද, ඔහු අදාළ ප්‍රදේශයේ ම රාජකාරි කිරීමට එය ද හේතුවක් වන්නට ඇතැයි පොලිසිය අභ්‍යන්තරයේ කතාබහක් පවතී.

සිදුවීම කුමක්ද?

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන යනු පොලිසිය බාර ඇමති ටිරාන් අලස්ට පසුගිය දිනෙක ප්‍රසිද්ධියේ අභියෝග කළ පොලිස් නිලධාරියා ය.

පසුගිය නොවැම්බර් 15දා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී බස්නාහිර පළාත බාර ඉහළ පොලිස් නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. විෂය බාර ඇමති ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී කොළඹ නගරයේ පවත්වන සියලු විරෝධතා විසුරුවා හරිය යුතු බවට නියෝගයක් ලබාදී ඇත. පොලිස්පති චන්දන වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

අනෙකුත් නිලධාරීන් සියලුදෙනා නිහඬව සිටියදී, කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන පවසා ඇත්තේ නීත්‍යනුකුල ව සිදුකරන විරෝධතා විසුරුවා හරිය නොහැකි බවයි. එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ කොළඹ නගරයේ පවත්වන සියලු විරෝධතා විසුරුවා හැරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, එය අනිවාර්යයෙන් ඉටු කළ යුතු බවත් ය.

එසේ කරන්නේ කුමන නීති ප්‍රතිපාදන යටතේදැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ඇමතිවරයාගෙන් විමසීමත් සමග සංවාදය උණුසුම් වී තිබූ අතර, එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ මෙය ජනාධිපතිවරයාගේ තීරණයක් බවයි. ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද මෙහිදී අදාළ නිලධාරියා පවසා තිබේ.

අංගුලිමාලගෙ ඇඟිලි කැපුවෙ රනිල්

0
අංගුලිමාලගෙ ඇඟිලි කැපුවෙ රනිල්

මේ දවස්වල පාර්ලිමේන්තුවේ හුගක් අය බණ කියන්න පටන් අරන්. ජනපති රනිල් තමයි ප්‍රධානම දේශකයා. ඔහු කියපු බණ පදයක් අල්ලගෙන අනික් අය වසල සූත්‍රයෙන් හරි පරාභව සූත්‍රයෙන් හරි තම තමන් දන්න දෙයක් කියනවා. සමහරු ගෙදර ගිහින් ධම්මපදය, අට්ඨ කතා එහෙමත් බලලා ඇවිල්ලා සෙට්වෙලා ඇට්ටි හලනවා.

කොහොම වුණත් මේ දවස් වල බණ පප්පා රනිල්. හරියට බණ පදයක් කිව්වත්, වරද්දලා කිව්වත්, කොහොම කිව්වත් ඇවිලිලා යනවා. මේ සමාජෙටත් ඕනේ මොකක් හරි කමක් නෑ පත්තු වෙලා යන්නයි.
අන්තිමට රනිල්ගේ පත්තු වෙලා ගිය කතාව තමයි අංගුලිමාල කතාව.
රනිල්ටත් අංගුලිමාල කෙනෙක් හිටියා.ඒ තමයි අර්ජුන මහේන්ද්‍රන්. ඇත්තටම අංගුලිමාල ඇඟිලි නමසිය අනූ නමයක් කැපුවට රටට අවුලක් වුනේ නෑ. මහේන්ද්‍රන්ගේ කැපිල්ල නිසා රට නන්නත්තාර වීම ඇරඹුනා. ඊට පස්සේ රාජපක්ෂලාගේ කැපිල්ලෙන් ඒ නන්නත්තාරවීම සම්පූර්ණ වුණා.

හරි, රනිල් අන්තිමට කිව්වේ අංගුලිමාල සිවුර ඇඳගෙන බුදුන්ට කරදර කරන්න ආවා කියලයි. ඇත්තටම අංගුලිමාල ඔහේ හිටු හොර මහන! කියමින් තමයි බුදුන් පස්සේ පන්නලා තියෙන්නෙ. ඒක වුණේ සිවුර දරන්න කලින් කියලා රනිල් නෙමෙයි රනිල්ගේ ගෙදර පූසාගෙන් ඇහුවත් කියයි. ඒ කියන්නේ රනිල්ගේ විෂය දැනුම හරිම ෂාප්.
සාහිත්‍යයේ බෞද්ධ දර්ශනයේ දුර්ලභ තැන්වලින් නිදසුන් අරන් රනිල් කතා කරනකොට ප්‍රශ්න අහන ජර්නලිස්ට්ලා කොර වෙනවා. අපි කියන්නේ මේ පාර අංගුලිමාල කතාව රනිල් කිව්වේ දැනුවත්ව කියලයි. සිවුර ඇඳගෙන බුදුන්ට හිරිහැර කළේ දේවදත්ත කියලා රනිල්ට බුදුන්ටත් වඩා මතක ඇති. අපි ඉතිපිසෝ ගාථාව දන්න තරම්ම හොඳින් රනිල් ඒක දන්නවා. ඇයි එහෙනම් රනිල් මේක පැටලෙව්වෙ.

ආතර් ෂෝපැන්හූවර් කියන දාර්ශනිකයා කියනවා වස්තූන් දෙකක් අතර නොගැලපීමෙන් හාස්‍යය මතු වෙනවා කියලා. රනිල්ට ඕන වුණේ අංගුලිමාල සහ දේවදත්ත කියන වස්තූන් දෙක නොගැළපෙන ලෙස යොදවලා හාස්‍යය මතු කරන්න. හාස්‍යය විතරක් නෙවෙයි අපිව ටික දවසක් ගඟේ යවන්න. ඒ මොකටද?

ඇයි මේ දවස්වල රනිල්ට හිට්ලර් කිය කියා නෙලනවා. අරගල මර්දනය කරන්න හමුදාව එවන බව රනිල් කියනවා. හාමුදුරුවරුන්ට බට්ටෝ කියනවා. ආසන්න දවස්වල සෑහෙන්න බ්ලැක් මාර්ක් වද්දා ගත්තා. අංගුලිමාල සහ දේවදත්ත ෂෝපැන්හූවර්ගේ තියරියට අනුව යොදා ගත්තට පස්සේ අර කියපු චෝදනා කවුරුවත් රනිල්ට කරන්නෙ නෑ.එහෙම නැත්නම් කරනවා අඩුයි. හැබැයි අංගුලිමාල අල්ලගෙන තඩි බානවා. ඒක තමයි රනිල්ටත් ඕනෙ. එයා අපට කියන්නේ අංගුලිමාල මාවතේම වරෙල්ලා, හිට්ලර්ව අමතක කරලා කියලයි. මේවා දේශපාලන උපක්‍රම හැටියට නියමයි.

රනිල්ගෙත් අප්සට් වැඩ සෑහෙන්න තියෙනවා තමයි. ඒත් පට්ට ඔලුවකුත් තියෙන නායකයෙක්. අංගුලිමාල කතාවත් එහෙම ප්‍රවාදයක් කියල තමයි හිතන්න වෙන්නේ. නැත්නම් , රඩ්යාඩ් කිප්ලිංගෙ “ඉෆ්” කියන කවිය ඉතා නිවැරදිව මතකයෙන් කියපු රනිල්ට අංගුලිමාලයි දේවදත්තයි පැටලෙන්න විදිහක් නෑ.

වඳින්න ඕනෙ රනිල්ටද, ගෝඨටද?

යූටියුබ් කරන අරගල කාරයන් දෙන්නෙක් ජනාධිපති රනිල් සහ ඇමති ටිරාන් හම්බවෙලා වැඳලා සමාව ගත්තයි කියලා නිව්ස් එකක් ගිහින් තිබුණා. ආපහු ජනාධිපතිට රනිල් රාජපක්ෂ කියල අපහාස කරන්නේ නෑ කියලලු ඒ දෙන්නා සමාව අරන් තියෙන්නේ. ඒක ඇත්තටම අපහාසයක් නෙමෙයි. රනිල් සහ රාජපක්ෂ එකතුවට “රනිල් රාජපක්ෂ ආණ්ඩුව” කියන්න පුළුවන්.
අපි මේ ගැන සොයා බලනකොට වෙලා තියෙන්නේ මේකයි කෝනාර නමැත්තෙකුගේ youtube නාලිකාවට ඉරාජ් වීරරත්න සම්මුඛ සාකච්ඡාවක් දීලා මෙහෙම කතාවක් කිව්වයි කියලා වෙබ් මාධ්‍යයක පළ වෙලා තියෙනවා. තවත් අරගල නායකයෙක් වෙච්ච රැට්ටා the time අඩවියට කිව්වේ එක ලොකු බොරුවක්. අරගලයත් එක්ක තරහ වෙච්ච අය දැන් ඒකට ගහන විදිය තමයි මේ කියලයි. ඊට පස්සෙ රැට්ටා අපෙන් ප්‍රශ්නයක් අහනවා ඇත්ත අරගලකාරයො කවදාවත් ජනාධිපතිට වඳියි කියලා හිතනවද කියලා.
අපි කිව්වා ගෝඨා එළවපු නිසා සොරි කියලා වැන්දත් රනිල්ට වඳින එකේ නං කිසිම තේරුමක් නෑ කියලා. මිනිහා හිනාවෙලා ඒක නම් ඇත්ත අයියා කිව්වා.

මනමාල කෝච්චියෙ කළේ
මනමාලකම් විතරක් නෙමෙයි
යදාමිණී ගුණවර්ධන

පුංචි කෝච්චිය යයි හරි හයියෙන්
පැයකට සැතපුම් හතරක වේගෙන්
කොල්ලයි කෙල්ලයි නැග්ගම කොටුවෙන්
දරුවකු බිහිවෙයි ඕපනායකින්

මේ කවිය අහලා තියෙනවද? මේක කැලණිවැලි දුම්රිය ගැන ජන වහරේ එන කවියක්. කැළණිවැලි දුම්රිය ගමන ගැන උපහාස රසයක් මේකෙන් මතු කරනවා. ඒ කියන්නේ කෝච්චිය යන්නේ හරිම හෙමින්. කොච්චර හෙමින්ද කියනවානම් දසමාසෙන් සිදුවන දරුවකු ලැබීම මේ කාලය තුළ සිද්ධ වෙන්න පුළුවන්.

පුංචි කෝච්චිය ගැන කතා කරන්න නිමිත්ත පහළ වුණේ මෙහෙමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන නොවැම්බර් 28 වැනිදා අයවැය විවාදයට එක්වෙමින් කැළණිවැලි දුම්රිය කාර්යක්ෂම කිරීම ගැන වැදගත් අදහස් ගණනාවක් පළ කළා. ඔහු කිව්ව එක දෙයක් තමයි කොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා දුර කි.මී 65 යි.ඒ දුර යන්න පැය තුනක් ගත වෙනවා කියන එක. ඇත්තටම පැය තුන කියන්නේ තරමක් හොඳ කාලයක්. ඉහත කවිය ජනප්‍රවාදයක් විදිහට මතුවන කාලයේ කොළඹ සිට ඕපනායකට මේ කෝච්චිය ගිහින් තියෙන්නේ ගොළුබෙලි ගමනේ.

යදාමිණී පාර්ලිමේන්තුවේදී කිව්ව තව අදහසක් තමයි මේ කෝච්චියෙන් උදේ හවස මගින් විසි දහසක් පමණ ගමන් පහසුව සලසා ගන්නවා, නවීකරණය කළ හොත් 2023 වන විට ඒ ප්‍රමාණය ලක්ෂය දක්වා වැඩි කරන්න පුලුවන් කියන එක. ඒ සඳහා මාකුඹුරේ සිට අවිස්සාවේල්ල දක්වා පොළොව මතින් ද්විත්ව මාර්ගයක් එළන්න ඕනෑ තරම් ඉඩ තියෙන බවත් යදාමිණී කියනවා. එහෙම බැරිනම් කණු මත දුම්රිය දුවවන්න පුළුවන්. මුම්බායි ඉඳලා ගෝව දක්වා කි.මී 400 ක් දුර දුවන දුම්රිය සූර්ය බලයෙන් යනවා වගේ අපිටත් පුංචි කෝච්චිය සූර්ය බලයෙන් දුවන්න පුළුවන් කියලයි මන්ත්‍රීවරයා කිව්වෙ. කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය සඳහා සොයා බැලීමට පාර්ලිමේන්තු අනුකමිටුවක් පත් කරන ලෙසද ඔහු යෝජනා කළා. කැලණිවැලි දුම්රිය කාර්යක්ශම කළොත් පැය තුනක කාලය පැය දක්වා අඩු කරගන්න පුලුවන් කියන එකයි මන්ත්‍රීවරයාගේ ගණන් බැලීම වෙලා තිබුනේ.

එතකොට අර කවියට මොකද වෙන්නේ. ඒකේ කර්තෘට කවිය ඉල්ලා අස්කර ගන්න වෙනවා. නැත්නම් අලුත් කවියක් ලියන්න වෙනවා. අලුත් කවිය මෙහෙම ලිව්වොත් මොකද?

පුංචි කෝච්චිය යයි හරි හයියෙන්
යදා මිණී මැති තුමාගෙ වේගෙන්
කොල්ලයි කෙල්ලයි බැස යයි තරහින්
හිතාගන්නවත් කාලය නැතියෙන්.

පුංචි කෝච්චියේ ඉතිහාස කතාව හරිම රසවත්. මේකට මනමාල කෝච්චිය කියලත් ඒ කාලේ කිව්වා. මනමාල කෝච්චිය ආරම්භ වුණේ එක්දහස් නවසිය දෙකේදී. කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ලට ගිහින් එතනින් යටියන්තොටට හා ඕපනායකට ගියා. ඇත්තටම මේක ඒ කාලයේ පාඩුවට දුවපු කෝච්චියක් කියලයි කියන්නේ. එනිසා සමගි පෙරමුණු රජය 1973 වෙද්දී මේ කෝච්චිය ඕපනායක වෙනකම් ගිය ගමන නවත්තලා කොටුවේ ඉඳලා පාදුක්ක දක්වා විතරක් දුවන්න තීරණය කළා. ඒක කඩිනම් කරන්න තවත් හේතුවක් තමයි කෝච්චි පාර වැටිලා තිබුණු ඉඩම් වල අයිතිකාරයෝ කෝච්චිය නතර කරන්න ප්‍රයත්න දැරීම. එක්කෙනෙක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මදාස වන්නිආරච්චි. පැල්මඩුල්ලේ එයාට අයිති ඉඩකඩම් මතින් කෝච්චි පාර ගිහින් තිබුණා. වන්නිආරච්චිට මේ වැඩේට නන්ද එල්ලාවල සහ ගාමිණී අතුකෝරල ගේ පියා උදව් කළා.

නිවිතිගල, දෑල, කිරිබත්ගල, කහවත්ත, වටාපොත,එරබද්ද ඇතුළු ප්‍රදේශ ගණනාවක රබර් ප්‍රවාහනය කළෙත් ඔය මනමාල කෝච්චියෙන්. ඊළඟට දෙල්කඳ පොළට ,තොටළඟ පොළට වෙළෙන්දෝ බඩු ප්‍රවාහනය කළා. රබර් කියන්නේ ප්‍රධාන නිෂ්පාදන සහ අපනයන බෝගයක්.ඒ මුළු කලාපයම රබර් වගා කළා.රබර් සමග බැඳුණු දිවි පැවැත්මට එවකදී කෝච්චිය ඉමහත් සහනයක් වුණා. එහෙම බලනකොට මනමාලකම් විතරක් නෙවෙයි පුංචි කෝච්චියෙ කෙරුණේ කියන එක පැහැදිලියි.

යූ.ජී.එස් විමලරත්න

කොහොම වුණත් ප්‍රාදේශීය ප්‍රභූන්ට පොදු ගමනාගමනයට වඩා තමතමන්ගේ ඉඩකඩම් වැදගත් වුණා. කොහොමහරි 1973 කෝච්චිය නතර කරන දවසත් එළඹුණා.

ඔන්න අන්තිම ගමන ඕපනායකට ගිහින් කෝච්චි එන්ජිම ආපහු කොටුවට එන ගමන ආරම්භ කළා. කැළණිවැලිය ට ආදරය කළ මිනිස්සුන්ගේ ඇස්වලින් කඳුළු වැටුණා. දුම්රිය නියාමකවරයා සිටියේත් හදවත බර කරගෙන. ලංකා සම සමාජ පක්ෂයේ කරුණාපාල කියලා සහෝදරයෙක් හිටියා.එයා ජනතාව එකතු කරගෙන දුම්රිය නියාමක වරයාත් සම්බන්ධ කරගෙන ආණ්ඩුවේ මේ තීරණයට විරෝධය පළ කරන්න අදිටන් කර ගත්තා. කෝච්චියට ආපහු එන්න ලැබුණේ එරබද්දට විතරයි. එතනදි මේ සේරම එකතුවෙලා පීලි පන්නවා දුම්රිය පෙරළුවා. එන්ජිම අවුරුදු තුනක් තිස්සේ මලකඩ කකා එරබද්දේ නිදාගෙන හිටියා.76 දි තමයි ඒක අස් කෙරුනේ.

අන්තිම දුම්රිය ස්ථානය වෙච්ච ඕපනායක ස්ටේෂන් එකේ තමයි දැන් ඕපනායක පොලිසිය ස්ථාපිත කරලා තියෙන්නෙ.

වසර දෙදාහ වනතුරු හැල හොල්මනක් නැතුව කාලය ගත වුණා.2001 දි රත්නපුර වේවැල්වත්තේ පදිංචි උඳුපිටිය ගමගේ සරත් විමලරත්න හෙවත් යූ.ජී.එස් විමලරත්න නමැති බැංකු කලමනාකරුවෙකු “අපිත් කෝච්චියකින් කොළඹ යමු” කියල ලිපියක් ලිව්වා. මේ අත්පත්‍රිකාව මිනිස්සු අතරට ඉගිලිලා ගියා. විමලරත්නගේ ෆයිට් එක ආපහු රත්නපුරයට කෝච්චිය ගෙන එමු කියන එකයි. විමලරත්න ඊට පස්සේ යන යන තැන මේ ගැන මිනිස්සු දැනුවත් කළා. එයා කෝච්චි මහත්තයා නමින් පළාතේ ප්‍රසිද්ධ වුණා.

හැබැයි මේ වෙනකොට මිනිස්සු රේල්පාර අල්ලගෙන ගෙවලුත් හදලා. ඒ අය නන්ද එල්ලාවල සහ ඩී. එම් සෙනෙවිරත්න කියන මන්ත්‍රීවරුන්ට කිව්වා කෝච්චිය ආපහු දාන්න එපා කියලා. ආතාවුද සෙනවිරත්න සබරගමුවේ මහ ඇමති වුණා එයා කෝච්චිය ආපහු ගේන්න උනන්දු වෙච්ච කෙනෙක්. ඒ වෙනකොට කෝච්චිය අවිස්සාවේල්ල දක්වා දුවනවා. ඒකෙ ගෞරවය යන්න ඕනේ 77 එජාප ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වෙච්ච ප්‍රේමරත්න ගුණසේකරට.

කෝච්චි මහත්තයා දිගටම සටනේ හිටියා එයා ගැන වතාවක් රාවය පත්තරේ ලිපියක් පළ වුණා “කෝච්චියක් එන තුරු බලා සිටින මිනිහෙක්” කියලා.

ඒක ලියපු ලේඛකයා අන්තිමට කෝච්චි මහත්තයාගෙන් අහලා තිබුණු ප්‍රශ්නය මේකයි.
කවදාහරි රත්නපුරයට කෝච්චිය එන දවසක කෝච්චි මහත්තයා මොකද කරන්නේ?
පිළිතුර සරළයි.
මේ සිද්ධිය ඓතිහාසික වෙන්නත් එක්ක මම ඒ කෝච්චියට පනිනවා.
තාම කෝච්චිය රත්නපුරයට ආවෙ නෑ. කෝච්චි මහත්තයාට දැන් වයස 73යි. ඒත් තාමත් සටන අතහැරලා නෑ. තව තරුණ පිරිසකුත් දැන් ඒ කෝච්චි අරගලයේ ඉන්නවා. යදාමිණී මන්ත්‍රීවරයා වගේ මේ අවශ්‍යතාව දැක්ක, ඒ කෝච්චියෙන් ගමන් බිමන් යන අය කෝච්ච් මහත්තයා විතරක් නෙවෙයි අලුතින්ම කෝච්චිය වෙනුවෙන් අරගල කරන තරුණ පිරිස එක්ක එකතු වෙන්න ඕනේ. එතකොට අවිස්සාවේල්ලට පැයකින් යන දුම්රිය නිර්මාණය කරන්න අපිට බැරි වෙන එකක් නෑ. ඊට පස්සේ තව පැය භාගෙකින් රත්නපුරයට යන්නත් පුළුවන්.

විමලනාත් වීරරත්නගේ ‘පුංචි පුංචි සටහන්

විශිෂ්ටයන්ගේ මාර්ගයත්, ගුණයත්, අව්‍යාජත්වයත් තෝරාගත යුතු නොවේද ?

0

බරීස් පස්තර්නාක් 20 සියවසේ නූතන කාව්‍ය ලෝකයේ විශිෂ්ටතම රුසියානු නියෝජිතයා විය හැකියි.
සැබෑ කවියෙක් වීම උදෙසා අනුගමනය කළයුතු ආචාරධර්ම කේතයක් තිබේද ? සිය ජීවිතයේ සැඳෑ සමයේදී තරුණ පරම්පරාව අමතා ඔහු ඒ ගැන යමක් කියන්නට සිතයි.
එසේම කිසියම් කාව්‍ය සම්ප්‍රදායක් එසවීමට ඔබට අවශ්‍ය නම් රංචුවේ මාර්ගය වෙනුවට විශිෂ්ටයන්ගේ මාර්ගයත් , ප්‍රමාණය වෙනුවට ගුණයත්, ව්‍යාජබව වෙනුවට අව්‍යාජත්වයත් තෝරාගත යුතු නොවේද ?
ගිම්හානේ යන්න ගිහින් ‘ සංග්‍රහයේ එන පරිවර්තනයක් ඔබේ අවධානය උදෙසා ,,,,,

නමක් හදා ගන්නට නිදි මැරුවට
එයින් නොවේ එසවෙන්නේ ඉහළට.
පැසසුම් සහතික මිටි බැඳ කුමටද
අත් පිටපත් හා කළ මැන අරගල.

කිවිඳුන් දිවි හර – තම දිවි පැවරුම ;
පුහු ගොස , කිතුලිය, ඔටුනු නොවේමය ,
අරුතක් නොමැතිව රැව්දෙන විට නම
නොහඟිමි ඒ සා නින්දාවක් වෙන .

ගෙවන්න දිවි පතිරූ ගැන නොතැවී ,
සියල්ල සලකා නිසි සේ විමසා ,
ඔබ වෙත ඇදෙන සෙයින් සක්වළ පෙම
අනාගතේ හඬ අසනුව වෙසෙසා.

හිදැස් ඉරණමේ තිබේවි නිසැකින්,
එකලස් කළ මැන එනමුත් නිමැවුම් ,
පිටුවක් පාසා වුව මත දිවි ඉම්
යන්න නොනැවතී තබමින් සටහන්.

සැඟවෙනු මැන පැසසුම් රුදු එළියෙන්.
ඔබ පියවර එලෙසම සඟවනු මැන,
මේ මේ යැයි කිසි ලකුණු නොපෙන්වන
අදිසි බිමක් මෙන් වැසුණු මීදුමෙන්.

යාවි අනෙක් අය ඔබ පියවර දිග
අඟලින් අඟලට සොයමින් ගිය මග,
එනමුත් සකි සඳ දිනුම පැරදුමින්
ඔබම වෙන් කළොත් , ගිලිහෙයි එය’තින් .

ඉදින් , අබ මලේ රේණුවකින් වුව
ඔබේම මුහුණින් නොයන්න ඉවතට,
සදිව් – සදිව් ලෙස , ගෙවන්න දිවි සුඟ ,
සදිව් ලෙසම – යනතෙක් කෙළවරකට.

(1956)

සුනිල් විජේසිරිවර්ධන

නවතින්න ගිය නඩුවට ශානි කැඳවයි : මතක් කළාට ස්තූතියි !

0

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කැඳවීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.

ඊයේ (30) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවිණි. එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසුවේ මෙම සිදුවීමට අදාළ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ ශානි අබේසේකර නඩුවේ සාක්ෂි සඳහා නොකැඳවීම තම පාර්ශ්වයට බරපතළ පාඩුවක් බවයි.

විමර්ශනය පිළිබඳ සියලු තොරතුරු දන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා බව ද නීතිඥවරයා විවෘත අධිකරණයේදී පෙන්වා දුන්නේය.

‘ස්තූතියි’

මීට පිළිතුරු දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ එම කරුණ අවධාරණය කිරීම පිළිබඳව අගතියට පත් පාර්ශ්වයට ස්තූතිවන්ත වන බවයි. ඉන්පසු නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා විශ්‍රාමලත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර කැඳවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

නඩුව ඉදිරියට !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යන බව මීට පෙර නීතිපතිවරයා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේය.

සාක්ෂිකරුවන් දෙදෙනකු පරස්පර සාක්ෂි ලබාදීමෙන් පසු මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් නීතිපතිගේ ස්ථාවරය දැනුම්දීමට තීරණය වී තිබිණි. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව තවදුරටත් නඩුව පවත්වාගෙන යන බව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මීට පෙර නඩු වාරයකදී අධිකරණයට දැනුම් දුන්නේය.

සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්වේ.

පරස්පර සාක්ෂි

සුමතිපාල සුරේෂ් කුමාර් නම් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු සහ රණ්බණ්ඩා නම් හිටපු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා සාක්ෂි ලබාදෙමින්, මීට පෙර ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මහේස්ත්‍රාත් ඉදිරියේ දුන් ප්‍රකාශවලට පරස්පර ප්‍රකාශ ලබාදීම නිසා ඔවුන් පැමිණිල්ලට අගතිදායක සාක්ෂිකරුවන් ලෙස නම් කර, බොරු සාක්කි ලබාදෙමින් අධිකරණයට අපහාස කිරීම ගැන නඩු පවරන බව නීතිපති පාර්ශ්වයෙන් එදින වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

2010 ගිරිතලේ

2010 ජනවාරි 24දා එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ගිරිතලේ සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ තබාගෙන සිට, පසුව ඝාතනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් යුද හමුදාවේ සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ මේ වන විට නඩු විභාගය පැවැත්වේ.

නීතිපති උපදෙස්

පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පරස්පර වීම නිසා මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගත යුතුව ඇතැයි මීට පෙර නඩු වාරයකදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහෙයවූයේ කවුද ?

‘අධිකරණය විසින් යුක්තිය ඉටුකිරීමේදී සියල්ලන්ට සාධාරණයක් කිරීමට අවශ්‍ය වේ. සාක්ෂිකරු අගතිදායක ලෙස සාක්ෂි ලබාදුන්නේ යැයි ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළ පමණින් වින්දිතයන්ට හෝ පැමිණිල්ලට සාධාරණයක් ඉෂ්ඨ වන්නේ නැත. සාක්ෂිකරුගේ සාක්ෂි ලබාදීමේ ක්‍රමවේදය සලකා බැලීමේදී කවුරුන් හෝ විසින් ඔහු මෙහෙයවා ඇති බවට සැක මතු වේ.’ අධිකරණය පාර්ශ්වයෙන් මීට පෙර නඩු වාරවලදී එසේ ද අවධාරණය කෙරිණි.

සුමතිපාල තිරුකුමාර්ගේ සාක්ෂිය

නඩුවේ 4 වන සාක්ෂිකරු වන සුමතිපාල තිරුකුමාර් මීට පෙර විවෘත අධිකරණයේදී මෙසේ සාක්ෂි ලබාදුන්නේය. එය යළිත් සටහන් කිරීම වැදගත් ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

ඔබ දැන් සෑහෙන කාලයක සිට රක්ෂිත බන්ධනාගාරයේ සිටිනවා. ඔබ බලන්න කවුද පැමිණියේ?

සාක්ෂිකරු:

කවුරුත් පැමිණියේ නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

ඔබ මීට කලින් ලබාදුන් ප්‍රකාශයේ තියෙනවා, මේක ආරක්ෂක ලේකම්වරයාගේ වැඩක් හරියට කරන්න ඕනෙ කියලා මේ නඩුවේ පළවෙනි විත්තිකරු කිව්වා කියලා.

සාක්ෂිකරු:

ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

එතකොට 2009 හිටපු ආරක්ෂක ලේකම්වරයා කවුද කියලා ඔබට මතකද?

සාක්ෂිකරු:

ඔව් ස්වාමීනි. ගෝඨාභය රාජපක්ෂ මහතා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

සාක්ෂිකරු ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකයට සිම් කාඩ් කීයක් අරන් තියෙනවද මේ වෙනකොට?

සාක්ෂිකරු:

එකයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

මා ඔබට යෝජනා කරනවා ඔබ මේ වනවිටත් ඩයලොග් ආයතනයෙන් සිම්පත් අටක් ද, එයාර්ටෙල් ආයතනයෙන් සිම්පත් හතරක් ද ලබාගෙන භාවිතා කර තිබෙන බවට.

ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් සාක්ෂිකරුගේ දුරකතන වාර්තා එදින අධිකරණයට ඉදිරිපත් කර සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

සාක්ෂිකරු ඔබ විසින් ගියවර අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා ඔබ විදේශගත වූ බවට. අවසානයේ ඔබ ගියේ කුමන රටටද ?

සාක්ෂිකරු:

මා තුර්කියට ගියා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

ඔබ පසුගිය දින තුර්කිය පිළිබඳව අධිකරණයට පවසා සිටියේ නෑ. ඔබ දැන් අද දින අධිකරණයට තුර්කියට ගියා කියලා පවසනවා.
මා යෝජනා කර සිටිනවා තමා මේ නඩුවේ සාක්ෂි ලබාදීමෙන් වැළකී සිටින්න තමයි මෙම විදේශ ගමන ගියේ කියලා.

සාක්ෂිකරු:

ස්වාමීනි, මම මේ පිළිබඳව ප්‍රේමතිලක මහත්තයට කියලා තමයි ගියේ.

ඉන්පසු විත්තියේ හරස් ප්‍රශ්න වාරය විය.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔබව කොපමණ කාලයක් ප්‍රකාශ ලබාදීමට පෙර රඳවාගෙන සිටියාද?

සාක්ෂිකරු:

මාස තුනක් පමණ.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔබ ප්‍රකාශ ලබාදීමෙන් පසු කොපමණ කාලයක් රඳවාගෙන සිටියාද?

සාක්ෂිකරු:

රඳවාගෙන සිටියේ නෑ. ඉන්පසු මාව මුදාහැරියා.

එහිදී මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වය විසින් වසර 11ක පමණ සිට අධිකරණය හමුවට පැමිණෙන බවත් යුක්ති සාධාරණය මේ වන තෙක් ඉටුවී නොමැති බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරිණි.

අධි චෝදනා 17ක්

2010 ජනවාරි 25 හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව, රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම සහ මරණය සිදු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා 17ක් ගොනු කර තිබේ.

විත්තිකරුවන් කවුද ?

එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්.රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නවදෙනා නීතිපතිවරයා විසින් නම් කර ඇත.

ආදරෙයි ක්‍රිස්ටී..ඒක ලස්සන සිඟිති බොරුවක් නෙවෙයි

0

ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය – ඇමෙරිකන් රොක් ගායක කණ්ඩායමක් වූ ෆ්ලීට්වුඩ් මැක් හි (Fleetwood Mac) ඉදිරිපෙළ ගායිකාවක් වූ ක්‍රිස්ටීන් මැක්වී (Christine McVie) ඊයේ අප අතරින් සමුගෙන තිබෙනවා. සුළු අසනීප තත්වයකින් පසු රෝහල්ගත කර තිබෙන ඇය පසුව මියගොස් තිබෙනවා.

ෆ්ලීට්වුඩ් මැක් විසින් ගායනා කළ Little Lies, Everywhere, Don’t Stop, Say You Love Me සහ Songbird යන ගීත ඇය විසින් සම්පුර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ (කණ්ඩායම සමඟ හෝ) රචනා කරන්නට ඇතැයි සැලකෙනවා.
ඉහත සඳහන් සියළුම ගීත විසිවෙනි සියවස මැද සහ අග භාගයේ අතිශයින් ජනප්‍රිය වූ ගීත බව මෙහි සඳහන් කරන්න වුවමනායි.

සමකාලීන රොක් සංගීතයේ කණට රසවත්ව ඇසෙන ගීත (easy listening) සෑහෙන ප්‍රමාණයක් ගායනා කළ රොක් ගායක කණ්ඩායමක් ලෙස ෆ්ලීට්වුඩ් මැක් ඉතිහාසගත වෙනවා. ඔවුන්ගේ ගීත ලෝක රොක් ගුවන් විදුලි නාලිකාවල ඉහළින්ම තිබු ගීත ලෙසද සැලකෙනවා.

”ආදරය ඇතුලේ මට රසවත් සිඟිති මුසාවන් ගොතන්න” යනුවෙන් කියවෙන Little Lies (1987) ගීතයට එවකට රොක් රසිකයින් වෙතින් ඉහල ප්‍රතිචාර ලැබූ ගීතයක්. ”ඔබගේ රසවත් මුසාවන් මම ඇස් වසාගෙන අසා ඉන්නම්” යනුවෙන් කියවෙන එම ගීතය තුල ආදරය නම් උත්කෘෂ්ට හැගීම ඉදිරියේ අනෙකා තුල සහ අනෙකාගේ බොරුව තුල සම්පුර්ණයෙන්ම දියවී යාමක් සලකුණු වෙනවා.

ඒ වගේම ”හෙට දවස ගැන විශ්වාස කරන එක නවත්වන්න එපා” කියන Don’t Stop (1977) ගීතයත් සුපර් රොක් හිට් එකක්. අද දවස අවසන් උනත් හෙට දවස කෙරේ විශ්වාසය තියන්න කියන ඒ ගීතය විමුක්ති අර්ථයෙනුත් ධනාත්මකයි. සාංදෘෂ්ටික අර්ථයෙනුත් ගන්න දෙයක් තියනවා. යුද්ද ගණනාවකින් පස්සේ යුරෝපයට ඔවුන් බලාපොරොත්තුවක් ගේනවා.
”මට ඔබ ඉන්න හැම තැනකම ඉන්න ඕන” කියන Everywhere (1987) ගීතයත් ඒ වගේම ජනප්‍රියයි. මම හඬගාන හඬ ඔබට ඇසෙනවද? ඉතින් මට කතා කරන්න. අපි දැන් මේ ජීවිතේ පටන් ගම්මු…යනුවෙන් කියවෙන එම ගීතයත් ධනාත්මක ජීවන ප්‍රවේශයක්.

මේ අතරින් තවත් ලස්සන ගීතයක් තමයි Say you love me (1975) ගීතය. ”රාත්‍රිය අරම්භ වනවිට පටන් ගන්න ඔබේ ආදරය රාත්‍රිය පහන් වනතුරු පවත්වා ගන්න. එක ජීවත් වෙන ආත්මයක් මා වටේ නැති කොට, රාත්‍රිය පුරා මා සුවපත් කරන්න. මට ආදරෙයි කියන වචනය මට ඇසෙන විට මා ඔබ වෙතට සම්පුර්ණයෙන් ඇද වැටෙනු ඇත” යන ඒ ගීතය මම කැමතිම ගීතයක්. ආදරය හරහා අනෙකා තුල දියවී යාම ඉතාම විශිෂ්ට ලෙස මැක්වී එයාගේ මේ ගීතය තුළ වගේම අනෙක් බොහෝ ගීත තුලත් සලකුණු කර තිබෙනවා.

ආදරය, අනෙකා සහ හෙට දවස ගැන අප තුල අසූව දශකයේ බලාපොරොත්තු ඇතිකළ ෆ්ලීට්වුඩ් මැක් හි ප්‍රධාන ගායිකාව වූ ක්‍රිස්ටී ඔබට ආදරණීය සමුගැනීමක්…
”බොරුවට හරි හයියෙන් කියන්න මට ආදරෙයි කියල” ඔයා සිහින් හඬින් ගායනා කළා.
ඔව්… ක්‍රිස්ටී… ආදරෙයි අහස තරම්. ඒත් ඒක බොරුවක් නෙවෙයි.

මහේෂ් හපුගොඩ

We love you Christine. It’s not a sweet little lie ….

රාජපක්ෂලාගෙ සිංහරාජ හෝටලේ විකුණන්න යන්නෙ : ඒක මගෙ මල්ලි ගන්නවා – නියෝජ්‍ය කතානායක

0

සිංහරාජ අධි සංවේදී රක්ෂිත වනාන්තර සීමාවේ පිහිටි රෝහිත රාජපක්ෂට අයත් හෝටලය විකිණීමට සූදානම් බවත්, එය මිලදීගැනීම සඳහා තම බාල සහෝදරයා සූදානම් වන බවත් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ thetime.lk වෙත පැවසීය.

අප දිගින්-දිගටම කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව හෙළිදරව් කළේය.

‘ඔය හෝටලේට මං නං ගිහිල්ලවත් නෑ. මගෙ මල්ලි අනුරාධ රාජපක්ෂ ඕක ගන්න බලන්නෙ. එයා එතැන්ට යනවා. එයාට තව ඔය පැත්තෙ ඉඩම් ගොඩක් තියෙනවා.’

‘නඩු දානවා’

සිංහරාජ වනාන්තර සීමාවේ පිහිටි Sinharaja Green Eco Lodge හෝටලය මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂට අයත් බව පරිසරවේදීන් විසින් මුලින්ම අනාවරණය කරන ලදි. එම හෝටලය රාජපක්ෂලාට අයිති බව මුලින්ම පැවසූ පරිසරවේදී සජීව චාමිකරට එරෙහිව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නඩු දමන බව මුලදී මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. එහෙත් එවැනි කිසිදු නඩුවක් පැවරුණේ නැත. මුලදී සඳහන් කෙරුණේ මෙය යෝෂිත රාජපක්ෂට අයත් බවකි.

පසුගිය මැයි 09දා රට පුරා සිදුවූ කලහකාරී සිදුවීම් අතරතුර, කිසියම් පිරිසක් විසින් මෙම හෝටලයට ගිනි තබා තිබිණි. ඊට අදාළ නඩුවක් විභාග වේ.

‘මගෙ නෙමෙයි’

මෙම හෝටලයට ගිනිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබුණේ යෝෂිත රාජපක්ෂගේ හෝටලයට ගිනි තබා ඇති බවයි. එහෙත් ඒ පිළිබඳව අදහස් දක්වමින් යෝෂිත රාජපක්ෂ පවසා තිබුණේ එය අසත්‍යයක් බව‍යි.

‘මට තියෙනවා’

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රෝහිත රාජපක්ෂ කියා සිටියේ අදාළ ප්‍රදේශයේ තමන්ට හවුල් දේපොළක් ඇති බවත්, එම හෝටලය සියලු නීතිමය අවශ්‍යතා සපුරාලීමෙන් පසුව ඉදිකරන ලද්දක් බවත් ය. ගිනි තැබීමේ නඩුවට අදාළ ව අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලිසිය මෙහි හිමිකාරිත්වය රෝහිත රාජපක්ෂ සතු බව තහවුරු කරන ලදි.

‘නඩු දාන්න’

යම් වරදක් සිදුවී ඇත්නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කළ හැකි බව ද රෝහිත රාජපක්ෂ එහිදී පැවසීය.

මෙම හෝටලය ඉදිකිරීමේදී දැවැන්ත පරිසර විනාශයක් සිදුවී ඇති බව අවධාරණය කළ සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සංවිධායක, පරිසරවේදී නයනක රන්වැල්ල, මෙහි අපද්‍රව්‍ය බැහැර කරන්නේ කොතැනටද යන්න හෙළි කළ යුතු බව ද සඳහන් කළේය.

නඩු කතා විතරයි

ඊට ප්‍රතිචාර දක්වමින් රෝහිත රාජපක්ෂ පවසා තිබුණේ චෝදනා කරන සියල්ලන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. එහෙත් රෝහිත රාජපක්ෂ මෙතෙක් ඊට අදාළ ව කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

මුල් හිමිකරු

මෙම හෝටලයේ හිමිකරු වශයෙන් මීට පෙර පෙනීසිටියේ රවිඳු සොයිසා නමැත්තෙකි. ‘The Morning’ පුවත්පත මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පවසා තිබුණේ මෙය ගම්වාසීන් සහ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද පෞද්ගලික සහ දේශපාලන ප්‍රශ්නයක් පමණක් බවයි.

රාජපක්ෂ පවුල සමඟ ඇති සම්බන්ධය පිළිබඳව පුවත්පත ප්‍රශ්න කළ විට, ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුණේ එය ඔහුගේ පෞද්ගලික කරුණක් මිස පුවත්පතට අදාළ දෙයක් නොවන බවයි.

අසත්‍ය සත්‍ය වූ හැටි !

මෙම හෝටලය සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය කළ පරිසරවේදී සජීව චාමිකර, ඒ අවස්ථාවේදී තහවුරු කරමින් සඳහන් කළේ මෙම හෝටලය රාජපක්ෂ පවුලට අයත් යැයි තහවුරු කළ හැකි බවයි.

2003 – 2017 කතාවක් : ජාතික ඇගයීමේ ආරම්භය විපක්ෂ නායක කාර්‍යාලයෙන් !

0

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ඇගයීම් කෙටුම්පතට තමන්ගේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පැවසීය.

ඇගයීම් මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ඇගයීම් සංගමයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී ඔහු මෙම එකඟතාව පළකර තිබේ.

ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක්

2003 වර්ෂයේදී ප්‍රථම වරට ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් සහ පනතක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්වූ නමුත් 2017 වර්ෂය වනතෙක් එය යතාර්ථයක් කරගැනීමට කිසිදු ආණ්ඩුවකට හැකියාව නොලැබිණි. 2017 වසරේදී පැවති මෛත්‍රී-රනිල් ආණ්ඩුව යටතේ ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් සම්බන්ධ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූයේ සංවර්ධනය, ප්‍රතිඵල මත පදනම්ව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ය.

එම වසරේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් කෙටුම්පත් කරන ලද ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය 2018 අප්‍රේල් මාසයේදී මහජන යෝජනා සඳහා ප්‍රසිද්ධ කරන ලදි.

එම ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව එය ක්‍රියාත්මක කිරීම ආරම්භ විය.

පාර්ලිමේන්තු කමිටුවක්

ඉන් අනතුරුව එම ප්‍රතිපත්තිය පදනම් කරගෙන ජාතික ඇගයීම් පනතක් සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවන ලදි. එවකට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් එය ක්‍රියාත්මක වූ අතර, එහි අරමුණ වූයේ ශ්‍රී ලංකාව තුළ ඇගයීම් පනතක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සහ වටපිටාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම ය.

එම කමිටුවට සුසිල් ප්‍රේමජයන්ත, කබීර් හෂීම් සහ බිමල් රත්නායක යන මන්ත්‍රීවරුන් ද ඇතුළත් වූහ. 2020 වර්ෂයේදී එම කමිටුවේ අතුරු වාර්තාව ඉදිරිපත් කළ අතර, එමගින් ඉදිරිපත් කළ නිර්දේශ අතර ජාතික ඇගයීම් පනතක අවශ්‍යතාව ද ඉස්මතු කර තිබිණි.

විපක්ෂ නායක කාර්යාලයෙන් පටන්ගමු

ජාතික ඇගයීම් පනත සම්බන්ධයෙන් වන යෝජනා සහ එයට අවශ්‍ය පසුබිම සැකසීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඇගයීම් සංගමය, ඇගයීම සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානයේ නියෝජිතයන් අගමැතිවරයා ඇතුළු රජයේ අංශ ගණනාවක් සමග මේ වන විට සාකච්ඡා සිදු කර ඇත.

විපක්ෂ නායකවරයා සමග සිදු කළ සාකච්ඡාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් බුද්ධික පතිරණ සහ තිස්ස අත්තනායක ද, ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය, විගණන නිලධාරීන්ගේ සංගමය, ක්‍රමසම්පාදන නිලධාරීන්ගේ සංගමය, අධ්‍යාපන අමාත්‍යංශ්‍ය, ව්‍යාපෘති කළමණාකරණ සහ නියාමන දෙපාර්තමේන්තුව යන අංශ නියෝජනය කරමින් නිලධාරීහු ද සහභාගි වූහ.

එහිදී විපක්ෂ නායකවරයා ජාතික ඇගයීම් පනතක අවශ්‍යතාව සම්බන්ධයෙන් ඉතා ධනාත්මකව ප්‍රතිචාර දැක්වූ අතර, ඉතාම ඉක්මනින් විපක්ෂ නායක කාර්යාලය තුළ ඇගයීම් අංශයක් පිහිටුවීමට යෝජනා කරන ලදි. එමගින් රජයට සහ දේශපාලන නියෝජිතයන්ට පූර්වාදර්ශයක් සැපයීම මෙන්ම ජාතික ඇගයීම් පනත සහ එහි ඇති අවශ්‍යතාවට සහාය දැක්වීම තම පරමාර්ථය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ඇගයීම හරි තැනින්

ඇගයීම් පනත ක්‍රියාත්මක වීම සිදුවුවහොත් රජය සම්බන්ධ වී ක්‍රියාත්මක වන සියලුම ව්‍යාපෘති, වැඩසටහන් සහ ප්‍රතිපත්ති ඉතාම හොඳින් සැලසුම් කිරීම සහ නියාමනයකට ලක්කිරීම මගින් ඒවායේ අපේක්ෂිත ප්‍රතිඵල ළඟාකරගැනීමට හැකිවනවා මෙන්ම නිසි ඇගයීම් ක්‍රියාවලියක් තුළින් එහි ප්‍රතිඵල ජනතාව වෙත මෙන්ම ආයෝජනවලට මැදිහත් වූ පාර්ශ්ව වෙත සන්නිවේදනය කිරීමට ද හැකියාව පවතී.

එසේම ඇගයීම් ක්‍රියාවලියේ මූලික පරමාර්ථ වන ගිණුම්ගතභාවය සහ ඉගෙනුම් ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය වන පසුබිම ද රට තුළ නිර්මාණය වනු ඇති බව ඇගයීම් මධ්‍යස්ථාන නියෝජිතයෝ මෙහිදී අදහස් දක්වමින් කියා සිටියහ.

“ලාංකේය සමාජ දේහය සංගීතය නම් සැතින් සියුම් ව පිරික්සන නවකතාකරුවා”

0

එරික් ඉලයප්ආරච්චි නම් නවකතාකරුවා ලාංකේය සමාජ දේහය සංගීතය නම් සැතින් සියුම් ව පිරික්සන්නේ ය.
“නකුල මුනි”

එරික් ඉලයප්ආරච්චිගේ දසවන නවකතාව වන නකුල මුනි ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ගමන් මග පිළිබඳ ව පෘථුල ලෙස විමර්ශනය කරයි. එය වාද්‍ය ඛණ්ඩයක් වැනි ය. විටෙක හෘද්‍යග්‍රාහී ස්වරවලින් ද විටෙක ලයාන්විත ස්වරවලින් ද විටෙක කර්ණරසායනය නොපුබුදවන ඝෝෂාකාරී අවිධිමත් ස්වරවලින් ද හැඩ ගැන්වී ඇත. නවකතාකරුවා බොහෝ ලෙසින් මෙහි පාඨකයාට නවකතාවේ පූර්ණත්වය කරා ගමන් කරන්නට මං සලසා පසෙකට වෙයි.

” ලලිත සමය” නම් එරික් ඉලයප්ආරච්චිගේ සතරවැනි නවකතාවේ එන චරිත ද්විත්වයක් වන දීප්ත හා සමදරා පාඨකයා මෙහිදී ද මුණ ගැසේ. නමුත් නකුල මුනි කියවන්නට ලලිත සමය කියවිය යුතු නොවේ. එය තනිව රසවිඳ හැකි කෘතියකි. දීප්ත සහ සමදරා පාඨකයා වෙත මුණ ගැසෙන්නේ ස්විට්සර්ලන්තයේ විට ලංකාවට පැමිණි තරුණ සංගීඥයෙකුගේ ආචාර්‍ය උපාධි නිබන්ධනය හරහා ය.

“දේවේන්ද්‍ර මාස්ටර් නම් අවතාරයක් දේවාර් සූරසේන පිළිබඳව සුවිස් භාෂාවෙන් ලියන ලද මගේ ආචාර්ය උපාධි නිබන්ධනයෙන් මතු වී එයි. ඒ අවතාරය සැරසී සිටින්නේ අත්තටු සහිත සුදු කමිසයකිනි. එය ලෝකාන්තයෙන් පනින පෙම්වතෙකු මැසූ කමිසයක් වැනි ය. දෙපය වැසී ඇත්තේ ගුප්ත සන්නාලිය කෝ ඉතිං මසන ලද කුරුලු කලිසමකිනි. අන්ධකාරයේ හෝ සමහර විට මහ දවාලේ හෝ ගැයෙන වැයෙන සංගීත ස්වර සමග මතු වන ඒ අවතාරය සිංහල ගායක ගායිකාවන් පසුපස පැමිණේ. අඳුරු කුටියෙ වංගුවේ තුන්මං හන්දියේ මුණගැසෙන ඒ අවතාරය මෝහිනීගේ දරුවා මෙන් බටනලාවක්, රවිකිඤ්ඤයක්, හොරණෑවක්, තම්මැට්ටමක් ඔබේ අතට දෙයි. ඔබේ උගුර ඔබට කරදර කරයි නම් හොරෙන් ඔබට ළංවී වැල්මී සූකිරි ආදිය දෙයි. පාළු කාමරවල රැඳී සිටියි. සඳ ඇබින්දක් තිබුණත් වලා පටින් එබෙයි. දේවදාර ගස් මුලදී පියානාවද නා ගස් මුල දී වීණාව ද නෙළුම් පොකුණේදී බෙරය ද වයයි. සොහොන් පිටිය පිට්ටනියේ දී දබරය හා දවුල වයයි. ප්‍රවේශම් වන්න! ඒ අවතාරයට බිය වූවන් හට කටහඬ නැති වෙයි. “

කතුවරයාගේ මා මීට පෙර කියවා ඇති නවකතාවලට වඩා භාෂාව රසවත් ය. භාෂාව තුළින් නගන්නා වූ උපහාස රසය නවකතාවේ මුල කොටසේ ජීව ගුණය ආරක්ෂා කරයි. එම භාෂා ලක්ෂණය බොහෝ දුරට නවකතාවේ මධ්‍යස්ථය වන විට ලේඛකයාටද නොදැනෙන්ට මග හැරී ගොස් ඇත.
“සංගීත භාණ්ඩවලට රටින් රටට යන්නට පාස්පෝට් ඕනෑ නැත. සරස්වතී වීණා ගහනවා වුණත් අපි වීණා ගහන්නේ නැත. සරස්වතී පර දෙමළියක් වුණත් සංගීතකාරයෝ දෙවඟනකොට සලකන්නේ ඇය යි. වීණා ගහන සරස්වතීට ගිටාර් ගහන්න බැරි වෙන්නට හේතුවක් නැත. සරස්වතී ලන්සි ගෑනියක් වුණා නං කොහෙත් ම වීණාව ගහන්නේ නැත. “
(පිටුව 45)

සංගීතය නම් විෂය කෙරෙහි මාගේ එතරම් ම ප්‍රියතාවයක් නොවුණද නවකතාවට කෙරෙහි නම් ඇලී ගැලී සිටින්නට සිදු වූයේ කතුවරයාගේ සියුම් බන්ධනය නිසාවෙනි. අයෙකුට එක විස්තර කතනයක් විය හැකි නමුත් දෙබස් , සංවාද දුලබ වාර්තාවන් තුළ සමාජ සන්දර්භය කෙරෙහි කතුවරයා හෙළන්නා වූ දෘෂ්ටිය ඉමහත් ය. සියුම් තැන් පවා අමතක නොකරමින් සමාජය තුළ වැඩෙන පිළිල පිළිබඳ ව කුණු ගස ගසමින් පල් වෙමින් පවතින සමාජ සංස්ථාවේ විවිධ පැතිකඩයන් පිළිබඳවත් මධ්‍යස්ථ ආකල්පයක පිහිටා රචනා කරන්නට වග බලා ඇත.
“එතකොට ලංකාව බිත්තරයක්. මෙහෙම කුණු වෙලා නැහැ. කටුව බිඳිලත් නැහැ… රං කිකිළි ඒක දැම්මා විතරයි … කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ… එහෙම කිව්වට අමරදේව මාස්ටර් මැරෙද්දී බිත්තරේ කුණු වෙලා. කිකිළි බොයිලර් වෙලා.”
(පිටුව 61- 62)

නකුල මුනි නවකතාව ලාංකීය සංගීතයේ වර්තමානය පිළිබඳ ව කතා වුවද ලංකාවෙන් එපිට දේශ දීපංකරයන් වෙතට පාඨකයා කැඳවා යයි. සත්‍යපෝල් හා සමදරා නම් විවාහක යුවල ලාස් වේගාස්වල ගත කරන කාලය තුළින් පාඨකයා නොදුටු ඉමක් ස්පර්ශ කරයි සත්‍යපෝල් සූදුවෙන් ලබන අන්ත පරාජයත් සමදරාට හමුවන නේපාල මිතුරිය අයෝධ්‍යා තුළින් සංස්කෘතිමය විවිධත්වයක් ජනිත කරයි.
” ඒ භෝජනාගාරයේ විශේෂ සිරිතක් විය. ඒ සිරිතට අනුව තරු පනහ හා රතු ඉරි දහතුනේ අමෙරිකානු කොඩියද, ත්‍රිකෝණ දෙකේ නේපාල කොඩියද , ශ්‍රී ලංකාවේ සිංහ කොඩිය තබා තිබුණි. “
(පිටුව 120)

අනුකරණය ලාංකිකයන් ලබා ගන්නේ අවිචාරශීලීව ය. එම අවිචාරශීලී අනුකරණය පිළිබඳව කතුවරයා මෙසේ සඳහන් කරයි.
“යටත්විජිත ලංකාවේ ඉහළ පන්ති වල වැසිකිලි ද සුදු ගල් අල්ලන ලද විශාල ඒවා වූ බව ඔහු දැන සිටියේ ය. ඒවායේ ඡායාරූප එල්ලන සිරිතක් ද විය. යම් යම් දේවල් ලියන්නට පුටුවක්, මේසයක් හා පෑනක් වැසිකිළියේ තිබුණි. ඒ සිරිතෙන් ඉතුරු වී තිබෙන්නේ නාන කාමරයේ දී සින්දු කීම පමණක් බව ඔහුට සිතුණි. වෝල්ටෙයාර් උදෑසන ඇඳෙන් නැගිට ඇඳුම් මාරු කරන අතරේ ද ලියා ගත ගතයුතු යමක් තම ලියන මහත්තයට පවසන චිත්‍රයක් ඔහු ප්‍රංශයේ දී දැක තිබුණි. “
(පිටුව 161)

නවකතාව තුළින් සාම්ප්‍රදායික සිංහල නවකතාව තුළ සිදුවන සාමාන්‍ය විවාහ බන්ධනයට එහා ගිය ලිවින් ටුගෙද(ර්) සම්බන්ධයත් ඊට එහා ගිය මනෝමය ලෛංගික සම්ප්ල්බන්ධයන්ද හෙළිදරවු කරයි. මන්දෝදරී හා දූතිකා තුළින් ගෙන එන්නා වූ කායික ,මානසික ,සමාජීය හා ආධ්‍යාත්මික බන්ධයන්හි ගැඹුර මෙතැකැයි කීම අපහසු ය. විටෙක පාඨකයාට දීප්ත විරාගයේ අරවින්ද ලෙසත් මන්දෝදරී බතී ලෙසත් සිතිය හැකි ය. නමුත් ඔවුන්ගේ බැඳීම අකුරුවලට පවා පෙරළිය නොහැකි බන්ධනයකි. ඇතැම් විට එය ඔහුන් දෙදෙනා අතරින් පිතෘ දුහිතෘ ප්‍රේමයකුත් විටෙක පෙම්වතුන් දෙදෙනෙකුගේ ප්‍රේමයකුත් මවා ලයි. එම ප්‍රේමයේ දිග පළල මනින්නට පාඨකයා භාරය.

කතුවරයා මේ සියලු ම සමාජමය ගැටලු ඉදිරිපත් කරන්නේ සංගීතය නම් පදනම මත පිහිටා ය. ඔහු කිසිවිටෙක සංගීතය නවකතාවෙන් ගිලිහෙන්නට ඉඩ නොදෙයි. සංගීතයේ වර්තමාන ඉරණමට වගකිව යුත්තෝ කවරහුද යත්;
” ……සිංහල සංගීත යුද්ධයේ මූලස්ථානය තිබුණේ ටොරින්ටන් චතුරශ්‍රයේ ය. ගුවන්විදුලි මූලස්ථානය හමුදා මූලස්ථානය විය. යුද්ධය මැද දී උතුරු ඉන්දියාවෙන් හා බෙංගාලයෙන් මහත්මා ගාන්ධි, තාගෝර්, සරෝජිනී නායිදු ආදීන්ගේ මුද්‍රාසහිත ආහාර පොදි කොළඹට දමන ලදී. යුද පුහුණුවද ලබා දෙන ලදි.”

නකුල යන්නෙහි අර්ථ විවිධ ය. මුගටියා , වීණාව මෙන් ම බුදු දහමේ නකුල පිතු ද නවකතාවේ විටින් විට හොල්මන් කරයි. නවකතාව පුරාවට දිවෙන සංකේත තුළින් සංගීතයේ ස්වභාවය විග්‍රහ කරයි.
“සංගීත පුරුක්වල දරදඬු ගතියක් තිබුණි.”

නමුත් නවකතාව අවසන් වන විට එම පුරුක් දස දෙසට නැවෙන දරදඬු බව ගිලිහුණු අදින ඕනෑ ම දෙසකට ඇදෙන රබර් පටි මෙන් බව වටහා ගත හැකි ය.

සමදරා , දීප්ත , මන්දෝදරී , මනම්පේරි ,රසල් , චිත්‍රා , විජේසිංහ බ්‍රෝකර්, දූතිකා , රූබන් විජේසිංහ යනාදී වූ චරිත තුළින් සංගීතය විකිණෙන විකුණා කන ආරක්ෂා කරන ගණිකා වෘත්තියේ යොදවන අයුරු සියුම් ලෙසත් උපහාසාත්මක ලෙසත් පෙන්වා දෙයි.

සංගීතයේ ඉරණම අවසානයේ සරසා ගෞරවයෙන් භූමිදානය කරන නකුල මළ සිරුර මෙන් ය. සංගීතය මිනිදන් කරන්නේ ද බොහෝ ම ගෞරවාදරයෙනි.

නකුල මුනි මාගේ සිත් ගත් නවකතාවක් විය. කතුවරයා වෙනත් කෘතිවලදී ඉල්ලා සිටින තරම් ම පුහුණු පාඨකයෙක් මෙහිදී ඉල්ලා නොසිටීමත් ක්‍රමවත්ව ගොඩනගන්නා වූ නවකතාව තුළ පාඨකයා රඳවා ගනිමින් සියුම් මනෝභාව හෙළිදරවු කරමින් සංගීතයේ මළගම සමරන්නට සූදානම් ලාංකික සමාජය තුළ අම්බලම් බඳු තැන්හි වෙසෙහ දීප්තත් සංගීතය තුළින් දියුණුව උදා කරගත් සමරදා යන චරිත ද්විත්වය හා අවශේෂ චරිත තුළින් ගෙන ඒමත් නවකතාවේ සාර්ථකත්වය කරා පියමං කරවයි. විටෙක කතුවරයාගේ සුවිසල් දැනුම නවකතාවේ කරණම් ගසමින් තමා සන්නත කරගන්න උත්සාහ කළද ඊට සංගීතය බාධා වන්නේ ය. විවිධ අයුරේ සංගීත ඛණ්ඩ එක් වරම පිවිසෙන්නේ ය.

මෙවර සම්මාන නිර්දේශිත නවකතාවන් අතර මුල් පෙළ සිටින මෙම කෘතිය මා හට අනෙක් සියලු නවකතාවන් අබිබවා ඉදිරියෙන් තැබිය හැකි ය. එනිසාවෙන් මෙතෙක් කලක් එහි රැඳි සන්ධ්‍යානන්දය දෙවැනි අසුනට කැඳන්නට එරික් ඉලයප්ආරච්චි සමත් වූ බැව් කිව යුතු ය.

(රාජ්‍ය සාහිත්‍ය සම්මානය ස්වර්ණ පුස්තක අවසන් ග්‍රන්ථ පහට නිර්දේශිත විද්‍යෝදය සාහිත්‍ය සම්මාන නිර්දේශිත)

අකලංක මාතරගේ

ගොළු හදවත සහ පුවක් ගස්

0

සුගත් හා දම්මි ගිය ඉස්කෝලෙ ළඟට යමි
මා දකින පුවක් ගස් අත වනනවා දකිමි
විමතියෙන් මම හනික පුවක් ගස් ළඟට යමි
පුවක් වෙනුවට වෙරළු පිරී ඇති බව දකිමි

හදවතක් ගොළු වුණොත් අහිමිවීමෙන් සද්ද
ආදරය උනනකොට කොයි තරම් දුක ඇද්ද
එදා ගොළු හදවතේ නුහුරු නුපුරුදු යුද්ද
දැනුණා ම පුවක් ගස් වුණත් දුක උහුලද්ද

දම්මි වෙන්වුණ දවස සුගත් තනියම වින්ද
සුන්දරත්වය සිඳුණ පපුව යට ගිනි කන්ද
අන්ධකාරය තුළින් පුන්සඳට පෙම් බැන්ද
පුවක් ගහකට වුණත් නොහඬන්න පුළුවන් ද

තරු එළිය පුවක් පිති කිතිකවන වෙලාවේ
පුවක් මල් නටනවැති වෙලී පෙම් අමාවේ
අල්පයෙන් අල්පයට බොඳව යන නිමාවේ
කල්පයකි ඉකිබිඳින විරාමය ගෙනාවේ

දම්මි මිට මොලවගෙන සුගත් වෙත ගෙන ආව
වෙරළු ගෙඩි දන්නවැති ප්‍රේමයේ මායාව
බිම වැටුණ වෙරළු ඇට සීත සඳ දිය නෑව
පුවක් ගස් උඩ පවා අද වෙරළු පලදාව

එදා කරුණාසේන ජයලත් ගෙ හුස්ම පොද
උරාගත් පුවක් ගස් වැඩී ගම්දොරක හිඳ
හඳේ හඳ එළිය හා වෙලී උඩුවියන් බැඳ
වෙරළු ඕනෑ තරම් තියෙන බව කියනවද

කුමාර හෙට්ටිආරච්චි

“ගොළු හදවත” පළමු මුද්‍රණයේ පිට කවරය
Chulabhaya Shantha Kumara Herath ගේ FB පිටුවෙන්

ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසන් පන්දුවාරයේ ජය ගෙනෙති

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම අතර පැවති තරග තුනකින් යුත් එක්දින තරඟාවලිය 1-1 ලෙස සමකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(30) සමත්විය. ඒ තුන්වැනි සහ අවසන් තරඟයෙන් සංචාරක ඇෆ්ගන් කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින් ය.

පිට පිට තෙවැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගන් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන් අතර පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් බිඳවැටී ලකුණු 313ක ප්‍රබල ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඔවුන් සමත්විය.එය දකුණු ආසියානු කණ්ඩායමකට එරෙහිව ඇෆ්ගන් කණ්ඩායම ලබාගත් ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව වේ.

එහිදී ඊබ්‍රාහිම් සාර්දාන් ලබාගත් ලකුණු 162 ඇෆ්ගන් ක්‍රීඩකයෙක් එක්දින පිටියේ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්විය. ඔහුට අමතරව නජිබුල්ලා සාර්දාන් ලකුණු 77ක් ලබාගත්හ. පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 60කට කඩුලු 3ක් සහ වනිඳු හසරංග ලකුණු 67කට කඩුලු 2ක් බිඳදමන ලදි.

පිළිතුරු ලෙස පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතා හොඳින් ලකුණු ඉලක්කය හඹා ගියද අවසන් මොහොතේදී තරගය තියුණු එකක් බවට පරිවර්තනය විය. එහෙත් අවසන් පන්දුවාරයේ හතරවැනි පන්දුවට අසලංක එල්ලකල හයේ පහර සමගින් ශ්‍රී ලංකාවට කඩුලු 4ක තියුණු ජයක් හිමිවිය.

එහිදී චරිත අසලංක නොදැවී ලකුණු 83ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 67ක්, නායක දසුන් ශානක ලකුණු 43ක් සහ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 31ක් ලබාගැනීමට සමත්විය. පන්දු යැවීමේදී රශීඩ් කාන් ලකුණු 37කට කඩුලු 4ක් බිඳ හෙලීය.

තරඟයේ වීරයා ලෙස චරිත් අසලංක නම්කරනු ලැබූ අතර තරඟාවලියේ විරයා ලෙස තරඟ තුනේදී පිත්තෙන් ලකුණු 278ක් ලබාගත් ඊබ්‍රහිම් සාර්දාන් සම්මාන දිනාගන්නා ලදි.