නවතින්න ගිය නඩුවට ශානි කැඳවයි : මතක් කළාට ස්තූතියි !

Share post:

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කැඳවීමට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ.

ඊයේ (30) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවිණි. එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසුවේ මෙම සිදුවීමට අදාළ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ ශානි අබේසේකර නඩුවේ සාක්ෂි සඳහා නොකැඳවීම තම පාර්ශ්වයට බරපතළ පාඩුවක් බවයි.

විමර්ශනය පිළිබඳ සියලු තොරතුරු දන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා බව ද නීතිඥවරයා විවෘත අධිකරණයේදී පෙන්වා දුන්නේය.

‘ස්තූතියි’

මීට පිළිතුරු දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ එම කරුණ අවධාරණය කිරීම පිළිබඳව අගතියට පත් පාර්ශ්වයට ස්තූතිවන්ත වන බවයි. ඉන්පසු නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා විශ්‍රාමලත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර කැඳවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

නඩුව ඉදිරියට !

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුව තවදුරටත් පවත්වාගෙන යන බව මීට පෙර නීතිපතිවරයා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේය.

සාක්ෂිකරුවන් දෙදෙනකු පරස්පර සාක්ෂි ලබාදීමෙන් පසු මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් නීතිපතිගේ ස්ථාවරය දැනුම්දීමට තීරණය වී තිබිණි. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව තවදුරටත් නඩුව පවත්වාගෙන යන බව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මීට පෙර නඩු වාරයකදී අධිකරණයට දැනුම් දුන්නේය.

සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්වේ.

පරස්පර සාක්ෂි

සුමතිපාල සුරේෂ් කුමාර් නම් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු සහ රණ්බණ්ඩා නම් හිටපු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා සාක්ෂි ලබාදෙමින්, මීට පෙර ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මහේස්ත්‍රාත් ඉදිරියේ දුන් ප්‍රකාශවලට පරස්පර ප්‍රකාශ ලබාදීම නිසා ඔවුන් පැමිණිල්ලට අගතිදායක සාක්ෂිකරුවන් ලෙස නම් කර, බොරු සාක්කි ලබාදෙමින් අධිකරණයට අපහාස කිරීම ගැන නඩු පවරන බව නීතිපති පාර්ශ්වයෙන් එදින වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

2010 ගිරිතලේ

2010 ජනවාරි 24දා එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ගිරිතලේ සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ තබාගෙන සිට, පසුව ඝාතනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් යුද හමුදාවේ සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ මේ වන විට නඩු විභාගය පැවැත්වේ.

නීතිපති උපදෙස්

පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පරස්පර වීම නිසා මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගත යුතුව ඇතැයි මීට පෙර නඩු වාරයකදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙහෙයවූයේ කවුද ?

‘අධිකරණය විසින් යුක්තිය ඉටුකිරීමේදී සියල්ලන්ට සාධාරණයක් කිරීමට අවශ්‍ය වේ. සාක්ෂිකරු අගතිදායක ලෙස සාක්ෂි ලබාදුන්නේ යැයි ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළ පමණින් වින්දිතයන්ට හෝ පැමිණිල්ලට සාධාරණයක් ඉෂ්ඨ වන්නේ නැත. සාක්ෂිකරුගේ සාක්ෂි ලබාදීමේ ක්‍රමවේදය සලකා බැලීමේදී කවුරුන් හෝ විසින් ඔහු මෙහෙයවා ඇති බවට සැක මතු වේ.’ අධිකරණය පාර්ශ්වයෙන් මීට පෙර නඩු වාරවලදී එසේ ද අවධාරණය කෙරිණි.

සුමතිපාල තිරුකුමාර්ගේ සාක්ෂිය

නඩුවේ 4 වන සාක්ෂිකරු වන සුමතිපාල තිරුකුමාර් මීට පෙර විවෘත අධිකරණයේදී මෙසේ සාක්ෂි ලබාදුන්නේය. එය යළිත් සටහන් කිරීම වැදගත් ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

ඔබ දැන් සෑහෙන කාලයක සිට රක්ෂිත බන්ධනාගාරයේ සිටිනවා. ඔබ බලන්න කවුද පැමිණියේ?

සාක්ෂිකරු:

කවුරුත් පැමිණියේ නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

ඔබ මීට කලින් ලබාදුන් ප්‍රකාශයේ තියෙනවා, මේක ආරක්ෂක ලේකම්වරයාගේ වැඩක් හරියට කරන්න ඕනෙ කියලා මේ නඩුවේ පළවෙනි විත්තිකරු කිව්වා කියලා.

සාක්ෂිකරු:

ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

එතකොට 2009 හිටපු ආරක්ෂක ලේකම්වරයා කවුද කියලා ඔබට මතකද?

සාක්ෂිකරු:

ඔව් ස්වාමීනි. ගෝඨාභය රාජපක්ෂ මහතා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

සාක්ෂිකරු ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකයට සිම් කාඩ් කීයක් අරන් තියෙනවද මේ වෙනකොට?

සාක්ෂිකරු:

එකයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

මා ඔබට යෝජනා කරනවා ඔබ මේ වනවිටත් ඩයලොග් ආයතනයෙන් සිම්පත් අටක් ද, එයාර්ටෙල් ආයතනයෙන් සිම්පත් හතරක් ද ලබාගෙන භාවිතා කර තිබෙන බවට.

ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් සාක්ෂිකරුගේ දුරකතන වාර්තා එදින අධිකරණයට ඉදිරිපත් කර සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

සාක්ෂිකරු ඔබ විසින් ගියවර අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා ඔබ විදේශගත වූ බවට. අවසානයේ ඔබ ගියේ කුමන රටටද ?

සාක්ෂිකරු:

මා තුර්කියට ගියා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා:

ඔබ පසුගිය දින තුර්කිය පිළිබඳව අධිකරණයට පවසා සිටියේ නෑ. ඔබ දැන් අද දින අධිකරණයට තුර්කියට ගියා කියලා පවසනවා.
මා යෝජනා කර සිටිනවා තමා මේ නඩුවේ සාක්ෂි ලබාදීමෙන් වැළකී සිටින්න තමයි මෙම විදේශ ගමන ගියේ කියලා.

සාක්ෂිකරු:

ස්වාමීනි, මම මේ පිළිබඳව ප්‍රේමතිලක මහත්තයට කියලා තමයි ගියේ.

ඉන්පසු විත්තියේ හරස් ප්‍රශ්න වාරය විය.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔබව කොපමණ කාලයක් ප්‍රකාශ ලබාදීමට පෙර රඳවාගෙන සිටියාද?

සාක්ෂිකරු:

මාස තුනක් පමණ.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔබ ප්‍රකාශ ලබාදීමෙන් පසු කොපමණ කාලයක් රඳවාගෙන සිටියාද?

සාක්ෂිකරු:

රඳවාගෙන සිටියේ නෑ. ඉන්පසු මාව මුදාහැරියා.

එහිදී මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වය විසින් වසර 11ක පමණ සිට අධිකරණය හමුවට පැමිණෙන බවත් යුක්ති සාධාරණය මේ වන තෙක් ඉටුවී නොමැති බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරිණි.

අධි චෝදනා 17ක්

2010 ජනවාරි 25 හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව, රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම සහ මරණය සිදු කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා 17ක් ගොනු කර තිබේ.

විත්තිකරුවන් කවුද ?

එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා බුද්ධි කඳවුරේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්.රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්‍රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නවදෙනා නීතිපතිවරයා විසින් නම් කර ඇත.

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...