බරීස් පස්තර්නාක් 20 සියවසේ නූතන කාව්‍ය ලෝකයේ විශිෂ්ටතම රුසියානු නියෝජිතයා විය හැකියි.
සැබෑ කවියෙක් වීම උදෙසා අනුගමනය කළයුතු ආචාරධර්ම කේතයක් තිබේද ? සිය ජීවිතයේ සැඳෑ සමයේදී තරුණ පරම්පරාව අමතා ඔහු ඒ ගැන යමක් කියන්නට සිතයි.
එසේම කිසියම් කාව්‍ය සම්ප්‍රදායක් එසවීමට ඔබට අවශ්‍ය නම් රංචුවේ මාර්ගය වෙනුවට විශිෂ්ටයන්ගේ මාර්ගයත් , ප්‍රමාණය වෙනුවට ගුණයත්, ව්‍යාජබව වෙනුවට අව්‍යාජත්වයත් තෝරාගත යුතු නොවේද ?
ගිම්හානේ යන්න ගිහින් ‘ සංග්‍රහයේ එන පරිවර්තනයක් ඔබේ අවධානය උදෙසා ,,,,,
නමක් හදා ගන්නට නිදි මැරුවට
එයින් නොවේ එසවෙන්නේ ඉහළට.
පැසසුම් සහතික මිටි බැඳ කුමටද
අත් පිටපත් හා කළ මැන අරගල.
කිවිඳුන් දිවි හර – තම දිවි පැවරුම ;
පුහු ගොස , කිතුලිය, ඔටුනු නොවේමය ,
අරුතක් නොමැතිව රැව්දෙන විට නම
නොහඟිමි ඒ සා නින්දාවක් වෙන .
ගෙවන්න දිවි පතිරූ ගැන නොතැවී ,
සියල්ල සලකා නිසි සේ විමසා ,
ඔබ වෙත ඇදෙන සෙයින් සක්වළ පෙම
අනාගතේ හඬ අසනුව වෙසෙසා.
හිදැස් ඉරණමේ තිබේවි නිසැකින්,
එකලස් කළ මැන එනමුත් නිමැවුම් ,
පිටුවක් පාසා වුව මත දිවි ඉම්
යන්න නොනැවතී තබමින් සටහන්.
සැඟවෙනු මැන පැසසුම් රුදු එළියෙන්.
ඔබ පියවර එලෙසම සඟවනු මැන,
මේ මේ යැයි කිසි ලකුණු නොපෙන්වන
අදිසි බිමක් මෙන් වැසුණු මීදුමෙන්.
යාවි අනෙක් අය ඔබ පියවර දිග
අඟලින් අඟලට සොයමින් ගිය මග,
එනමුත් සකි සඳ දිනුම පැරදුමින්
ඔබම වෙන් කළොත් , ගිලිහෙයි එය’තින් .
ඉදින් , අබ මලේ රේණුවකින් වුව
ඔබේම මුහුණින් නොයන්න ඉවතට,
සදිව් – සදිව් ලෙස , ගෙවන්න දිවි සුඟ ,
සදිව් ලෙසම – යනතෙක් කෙළවරකට.
(1956)