සුගත් හා දම්මි ගිය ඉස්කෝලෙ ළඟට යමි
මා දකින පුවක් ගස් අත වනනවා දකිමි
විමතියෙන් මම හනික පුවක් ගස් ළඟට යමි
පුවක් වෙනුවට වෙරළු පිරී ඇති බව දකිමි
හදවතක් ගොළු වුණොත් අහිමිවීමෙන් සද්ද
ආදරය උනනකොට කොයි තරම් දුක ඇද්ද
එදා ගොළු හදවතේ නුහුරු නුපුරුදු යුද්ද
දැනුණා ම පුවක් ගස් වුණත් දුක උහුලද්ද
දම්මි වෙන්වුණ දවස සුගත් තනියම වින්ද
සුන්දරත්වය සිඳුණ පපුව යට ගිනි කන්ද
අන්ධකාරය තුළින් පුන්සඳට පෙම් බැන්ද
පුවක් ගහකට වුණත් නොහඬන්න පුළුවන් ද
තරු එළිය පුවක් පිති කිතිකවන වෙලාවේ
පුවක් මල් නටනවැති වෙලී පෙම් අමාවේ
අල්පයෙන් අල්පයට බොඳව යන නිමාවේ
කල්පයකි ඉකිබිඳින විරාමය ගෙනාවේ
දම්මි මිට මොලවගෙන සුගත් වෙත ගෙන ආව
වෙරළු ගෙඩි දන්නවැති ප්‍රේමයේ මායාව
බිම වැටුණ වෙරළු ඇට සීත සඳ දිය නෑව
පුවක් ගස් උඩ පවා අද වෙරළු පලදාව
එදා කරුණාසේන ජයලත් ගෙ හුස්ම පොද
උරාගත් පුවක් ගස් වැඩී ගම්දොරක හිඳ
හඳේ හඳ එළිය හා වෙලී උඩුවියන් බැඳ
වෙරළු ඕනෑ තරම් තියෙන බව කියනවද
කුමාර හෙට්ටිආරච්චි
“ගොළු හදවත” පළමු මුද්‍රණයේ පිට කවරය
Chulabhaya Shantha Kumara Herath ගේ FB පිටුවෙන්