අංගුලිමාලගෙ ඇඟිලි කැපුවෙ රනිල්

Share post:

අංගුලිමාලගෙ ඇඟිලි කැපුවෙ රනිල්

මේ දවස්වල පාර්ලිමේන්තුවේ හුගක් අය බණ කියන්න පටන් අරන්. ජනපති රනිල් තමයි ප්‍රධානම දේශකයා. ඔහු කියපු බණ පදයක් අල්ලගෙන අනික් අය වසල සූත්‍රයෙන් හරි පරාභව සූත්‍රයෙන් හරි තම තමන් දන්න දෙයක් කියනවා. සමහරු ගෙදර ගිහින් ධම්මපදය, අට්ඨ කතා එහෙමත් බලලා ඇවිල්ලා සෙට්වෙලා ඇට්ටි හලනවා.

කොහොම වුණත් මේ දවස් වල බණ පප්පා රනිල්. හරියට බණ පදයක් කිව්වත්, වරද්දලා කිව්වත්, කොහොම කිව්වත් ඇවිලිලා යනවා. මේ සමාජෙටත් ඕනේ මොකක් හරි කමක් නෑ පත්තු වෙලා යන්නයි.
අන්තිමට රනිල්ගේ පත්තු වෙලා ගිය කතාව තමයි අංගුලිමාල කතාව.
රනිල්ටත් අංගුලිමාල කෙනෙක් හිටියා.ඒ තමයි අර්ජුන මහේන්ද්‍රන්. ඇත්තටම අංගුලිමාල ඇඟිලි නමසිය අනූ නමයක් කැපුවට රටට අවුලක් වුනේ නෑ. මහේන්ද්‍රන්ගේ කැපිල්ල නිසා රට නන්නත්තාර වීම ඇරඹුනා. ඊට පස්සේ රාජපක්ෂලාගේ කැපිල්ලෙන් ඒ නන්නත්තාරවීම සම්පූර්ණ වුණා.

හරි, රනිල් අන්තිමට කිව්වේ අංගුලිමාල සිවුර ඇඳගෙන බුදුන්ට කරදර කරන්න ආවා කියලයි. ඇත්තටම අංගුලිමාල ඔහේ හිටු හොර මහන! කියමින් තමයි බුදුන් පස්සේ පන්නලා තියෙන්නෙ. ඒක වුණේ සිවුර දරන්න කලින් කියලා රනිල් නෙමෙයි රනිල්ගේ ගෙදර පූසාගෙන් ඇහුවත් කියයි. ඒ කියන්නේ රනිල්ගේ විෂය දැනුම හරිම ෂාප්.
සාහිත්‍යයේ බෞද්ධ දර්ශනයේ දුර්ලභ තැන්වලින් නිදසුන් අරන් රනිල් කතා කරනකොට ප්‍රශ්න අහන ජර්නලිස්ට්ලා කොර වෙනවා. අපි කියන්නේ මේ පාර අංගුලිමාල කතාව රනිල් කිව්වේ දැනුවත්ව කියලයි. සිවුර ඇඳගෙන බුදුන්ට හිරිහැර කළේ දේවදත්ත කියලා රනිල්ට බුදුන්ටත් වඩා මතක ඇති. අපි ඉතිපිසෝ ගාථාව දන්න තරම්ම හොඳින් රනිල් ඒක දන්නවා. ඇයි එහෙනම් රනිල් මේක පැටලෙව්වෙ.

ආතර් ෂෝපැන්හූවර් කියන දාර්ශනිකයා කියනවා වස්තූන් දෙකක් අතර නොගැලපීමෙන් හාස්‍යය මතු වෙනවා කියලා. රනිල්ට ඕන වුණේ අංගුලිමාල සහ දේවදත්ත කියන වස්තූන් දෙක නොගැළපෙන ලෙස යොදවලා හාස්‍යය මතු කරන්න. හාස්‍යය විතරක් නෙවෙයි අපිව ටික දවසක් ගඟේ යවන්න. ඒ මොකටද?

ඇයි මේ දවස්වල රනිල්ට හිට්ලර් කිය කියා නෙලනවා. අරගල මර්දනය කරන්න හමුදාව එවන බව රනිල් කියනවා. හාමුදුරුවරුන්ට බට්ටෝ කියනවා. ආසන්න දවස්වල සෑහෙන්න බ්ලැක් මාර්ක් වද්දා ගත්තා. අංගුලිමාල සහ දේවදත්ත ෂෝපැන්හූවර්ගේ තියරියට අනුව යොදා ගත්තට පස්සේ අර කියපු චෝදනා කවුරුවත් රනිල්ට කරන්නෙ නෑ.එහෙම නැත්නම් කරනවා අඩුයි. හැබැයි අංගුලිමාල අල්ලගෙන තඩි බානවා. ඒක තමයි රනිල්ටත් ඕනෙ. එයා අපට කියන්නේ අංගුලිමාල මාවතේම වරෙල්ලා, හිට්ලර්ව අමතක කරලා කියලයි. මේවා දේශපාලන උපක්‍රම හැටියට නියමයි.

රනිල්ගෙත් අප්සට් වැඩ සෑහෙන්න තියෙනවා තමයි. ඒත් පට්ට ඔලුවකුත් තියෙන නායකයෙක්. අංගුලිමාල කතාවත් එහෙම ප්‍රවාදයක් කියල තමයි හිතන්න වෙන්නේ. නැත්නම් , රඩ්යාඩ් කිප්ලිංගෙ “ඉෆ්” කියන කවිය ඉතා නිවැරදිව මතකයෙන් කියපු රනිල්ට අංගුලිමාලයි දේවදත්තයි පැටලෙන්න විදිහක් නෑ.

වඳින්න ඕනෙ රනිල්ටද, ගෝඨටද?

යූටියුබ් කරන අරගල කාරයන් දෙන්නෙක් ජනාධිපති රනිල් සහ ඇමති ටිරාන් හම්බවෙලා වැඳලා සමාව ගත්තයි කියලා නිව්ස් එකක් ගිහින් තිබුණා. ආපහු ජනාධිපතිට රනිල් රාජපක්ෂ කියල අපහාස කරන්නේ නෑ කියලලු ඒ දෙන්නා සමාව අරන් තියෙන්නේ. ඒක ඇත්තටම අපහාසයක් නෙමෙයි. රනිල් සහ රාජපක්ෂ එකතුවට “රනිල් රාජපක්ෂ ආණ්ඩුව” කියන්න පුළුවන්.
අපි මේ ගැන සොයා බලනකොට වෙලා තියෙන්නේ මේකයි කෝනාර නමැත්තෙකුගේ youtube නාලිකාවට ඉරාජ් වීරරත්න සම්මුඛ සාකච්ඡාවක් දීලා මෙහෙම කතාවක් කිව්වයි කියලා වෙබ් මාධ්‍යයක පළ වෙලා තියෙනවා. තවත් අරගල නායකයෙක් වෙච්ච රැට්ටා the time අඩවියට කිව්වේ එක ලොකු බොරුවක්. අරගලයත් එක්ක තරහ වෙච්ච අය දැන් ඒකට ගහන විදිය තමයි මේ කියලයි. ඊට පස්සෙ රැට්ටා අපෙන් ප්‍රශ්නයක් අහනවා ඇත්ත අරගලකාරයො කවදාවත් ජනාධිපතිට වඳියි කියලා හිතනවද කියලා.
අපි කිව්වා ගෝඨා එළවපු නිසා සොරි කියලා වැන්දත් රනිල්ට වඳින එකේ නං කිසිම තේරුමක් නෑ කියලා. මිනිහා හිනාවෙලා ඒක නම් ඇත්ත අයියා කිව්වා.

මනමාල කෝච්චියෙ කළේ
මනමාලකම් විතරක් නෙමෙයි
යදාමිණී ගුණවර්ධන

පුංචි කෝච්චිය යයි හරි හයියෙන්
පැයකට සැතපුම් හතරක වේගෙන්
කොල්ලයි කෙල්ලයි නැග්ගම කොටුවෙන්
දරුවකු බිහිවෙයි ඕපනායකින්

මේ කවිය අහලා තියෙනවද? මේක කැලණිවැලි දුම්රිය ගැන ජන වහරේ එන කවියක්. කැළණිවැලි දුම්රිය ගමන ගැන උපහාස රසයක් මේකෙන් මතු කරනවා. ඒ කියන්නේ කෝච්චිය යන්නේ හරිම හෙමින්. කොච්චර හෙමින්ද කියනවානම් දසමාසෙන් සිදුවන දරුවකු ලැබීම මේ කාලය තුළ සිද්ධ වෙන්න පුළුවන්.

පුංචි කෝච්චිය ගැන කතා කරන්න නිමිත්ත පහළ වුණේ මෙහෙමයි. පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන නොවැම්බර් 28 වැනිදා අයවැය විවාදයට එක්වෙමින් කැළණිවැලි දුම්රිය කාර්යක්ෂම කිරීම ගැන වැදගත් අදහස් ගණනාවක් පළ කළා. ඔහු කිව්ව එක දෙයක් තමයි කොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා දුර කි.මී 65 යි.ඒ දුර යන්න පැය තුනක් ගත වෙනවා කියන එක. ඇත්තටම පැය තුන කියන්නේ තරමක් හොඳ කාලයක්. ඉහත කවිය ජනප්‍රවාදයක් විදිහට මතුවන කාලයේ කොළඹ සිට ඕපනායකට මේ කෝච්චිය ගිහින් තියෙන්නේ ගොළුබෙලි ගමනේ.

යදාමිණී පාර්ලිමේන්තුවේදී කිව්ව තව අදහසක් තමයි මේ කෝච්චියෙන් උදේ හවස මගින් විසි දහසක් පමණ ගමන් පහසුව සලසා ගන්නවා, නවීකරණය කළ හොත් 2023 වන විට ඒ ප්‍රමාණය ලක්ෂය දක්වා වැඩි කරන්න පුලුවන් කියන එක. ඒ සඳහා මාකුඹුරේ සිට අවිස්සාවේල්ල දක්වා පොළොව මතින් ද්විත්ව මාර්ගයක් එළන්න ඕනෑ තරම් ඉඩ තියෙන බවත් යදාමිණී කියනවා. එහෙම බැරිනම් කණු මත දුම්රිය දුවවන්න පුළුවන්. මුම්බායි ඉඳලා ගෝව දක්වා කි.මී 400 ක් දුර දුවන දුම්රිය සූර්ය බලයෙන් යනවා වගේ අපිටත් පුංචි කෝච්චිය සූර්ය බලයෙන් දුවන්න පුළුවන් කියලයි මන්ත්‍රීවරයා කිව්වෙ. කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය සඳහා සොයා බැලීමට පාර්ලිමේන්තු අනුකමිටුවක් පත් කරන ලෙසද ඔහු යෝජනා කළා. කැලණිවැලි දුම්රිය කාර්යක්ශම කළොත් පැය තුනක කාලය පැය දක්වා අඩු කරගන්න පුලුවන් කියන එකයි මන්ත්‍රීවරයාගේ ගණන් බැලීම වෙලා තිබුනේ.

එතකොට අර කවියට මොකද වෙන්නේ. ඒකේ කර්තෘට කවිය ඉල්ලා අස්කර ගන්න වෙනවා. නැත්නම් අලුත් කවියක් ලියන්න වෙනවා. අලුත් කවිය මෙහෙම ලිව්වොත් මොකද?

පුංචි කෝච්චිය යයි හරි හයියෙන්
යදා මිණී මැති තුමාගෙ වේගෙන්
කොල්ලයි කෙල්ලයි බැස යයි තරහින්
හිතාගන්නවත් කාලය නැතියෙන්.

පුංචි කෝච්චියේ ඉතිහාස කතාව හරිම රසවත්. මේකට මනමාල කෝච්චිය කියලත් ඒ කාලේ කිව්වා. මනමාල කෝච්චිය ආරම්භ වුණේ එක්දහස් නවසිය දෙකේදී. කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ලට ගිහින් එතනින් යටියන්තොටට හා ඕපනායකට ගියා. ඇත්තටම මේක ඒ කාලයේ පාඩුවට දුවපු කෝච්චියක් කියලයි කියන්නේ. එනිසා සමගි පෙරමුණු රජය 1973 වෙද්දී මේ කෝච්චිය ඕපනායක වෙනකම් ගිය ගමන නවත්තලා කොටුවේ ඉඳලා පාදුක්ක දක්වා විතරක් දුවන්න තීරණය කළා. ඒක කඩිනම් කරන්න තවත් හේතුවක් තමයි කෝච්චි පාර වැටිලා තිබුණු ඉඩම් වල අයිතිකාරයෝ කෝච්චිය නතර කරන්න ප්‍රයත්න දැරීම. එක්කෙනෙක් තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මදාස වන්නිආරච්චි. පැල්මඩුල්ලේ එයාට අයිති ඉඩකඩම් මතින් කෝච්චි පාර ගිහින් තිබුණා. වන්නිආරච්චිට මේ වැඩේට නන්ද එල්ලාවල සහ ගාමිණී අතුකෝරල ගේ පියා උදව් කළා.

නිවිතිගල, දෑල, කිරිබත්ගල, කහවත්ත, වටාපොත,එරබද්ද ඇතුළු ප්‍රදේශ ගණනාවක රබර් ප්‍රවාහනය කළෙත් ඔය මනමාල කෝච්චියෙන්. ඊළඟට දෙල්කඳ පොළට ,තොටළඟ පොළට වෙළෙන්දෝ බඩු ප්‍රවාහනය කළා. රබර් කියන්නේ ප්‍රධාන නිෂ්පාදන සහ අපනයන බෝගයක්.ඒ මුළු කලාපයම රබර් වගා කළා.රබර් සමග බැඳුණු දිවි පැවැත්මට එවකදී කෝච්චිය ඉමහත් සහනයක් වුණා. එහෙම බලනකොට මනමාලකම් විතරක් නෙවෙයි පුංචි කෝච්චියෙ කෙරුණේ කියන එක පැහැදිලියි.

යූ.ජී.එස් විමලරත්න

කොහොම වුණත් ප්‍රාදේශීය ප්‍රභූන්ට පොදු ගමනාගමනයට වඩා තමතමන්ගේ ඉඩකඩම් වැදගත් වුණා. කොහොමහරි 1973 කෝච්චිය නතර කරන දවසත් එළඹුණා.

ඔන්න අන්තිම ගමන ඕපනායකට ගිහින් කෝච්චි එන්ජිම ආපහු කොටුවට එන ගමන ආරම්භ කළා. කැළණිවැලිය ට ආදරය කළ මිනිස්සුන්ගේ ඇස්වලින් කඳුළු වැටුණා. දුම්රිය නියාමකවරයා සිටියේත් හදවත බර කරගෙන. ලංකා සම සමාජ පක්ෂයේ කරුණාපාල කියලා සහෝදරයෙක් හිටියා.එයා ජනතාව එකතු කරගෙන දුම්රිය නියාමක වරයාත් සම්බන්ධ කරගෙන ආණ්ඩුවේ මේ තීරණයට විරෝධය පළ කරන්න අදිටන් කර ගත්තා. කෝච්චියට ආපහු එන්න ලැබුණේ එරබද්දට විතරයි. එතනදි මේ සේරම එකතුවෙලා පීලි පන්නවා දුම්රිය පෙරළුවා. එන්ජිම අවුරුදු තුනක් තිස්සේ මලකඩ කකා එරබද්දේ නිදාගෙන හිටියා.76 දි තමයි ඒක අස් කෙරුනේ.

අන්තිම දුම්රිය ස්ථානය වෙච්ච ඕපනායක ස්ටේෂන් එකේ තමයි දැන් ඕපනායක පොලිසිය ස්ථාපිත කරලා තියෙන්නෙ.

වසර දෙදාහ වනතුරු හැල හොල්මනක් නැතුව කාලය ගත වුණා.2001 දි රත්නපුර වේවැල්වත්තේ පදිංචි උඳුපිටිය ගමගේ සරත් විමලරත්න හෙවත් යූ.ජී.එස් විමලරත්න නමැති බැංකු කලමනාකරුවෙකු “අපිත් කෝච්චියකින් කොළඹ යමු” කියල ලිපියක් ලිව්වා. මේ අත්පත්‍රිකාව මිනිස්සු අතරට ඉගිලිලා ගියා. විමලරත්නගේ ෆයිට් එක ආපහු රත්නපුරයට කෝච්චිය ගෙන එමු කියන එකයි. විමලරත්න ඊට පස්සේ යන යන තැන මේ ගැන මිනිස්සු දැනුවත් කළා. එයා කෝච්චි මහත්තයා නමින් පළාතේ ප්‍රසිද්ධ වුණා.

හැබැයි මේ වෙනකොට මිනිස්සු රේල්පාර අල්ලගෙන ගෙවලුත් හදලා. ඒ අය නන්ද එල්ලාවල සහ ඩී. එම් සෙනෙවිරත්න කියන මන්ත්‍රීවරුන්ට කිව්වා කෝච්චිය ආපහු දාන්න එපා කියලා. ආතාවුද සෙනවිරත්න සබරගමුවේ මහ ඇමති වුණා එයා කෝච්චිය ආපහු ගේන්න උනන්දු වෙච්ච කෙනෙක්. ඒ වෙනකොට කෝච්චිය අවිස්සාවේල්ල දක්වා දුවනවා. ඒකෙ ගෞරවය යන්න ඕනේ 77 එජාප ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වෙච්ච ප්‍රේමරත්න ගුණසේකරට.

කෝච්චි මහත්තයා දිගටම සටනේ හිටියා එයා ගැන වතාවක් රාවය පත්තරේ ලිපියක් පළ වුණා “කෝච්චියක් එන තුරු බලා සිටින මිනිහෙක්” කියලා.

ඒක ලියපු ලේඛකයා අන්තිමට කෝච්චි මහත්තයාගෙන් අහලා තිබුණු ප්‍රශ්නය මේකයි.
කවදාහරි රත්නපුරයට කෝච්චිය එන දවසක කෝච්චි මහත්තයා මොකද කරන්නේ?
පිළිතුර සරළයි.
මේ සිද්ධිය ඓතිහාසික වෙන්නත් එක්ක මම ඒ කෝච්චියට පනිනවා.
තාම කෝච්චිය රත්නපුරයට ආවෙ නෑ. කෝච්චි මහත්තයාට දැන් වයස 73යි. ඒත් තාමත් සටන අතහැරලා නෑ. තව තරුණ පිරිසකුත් දැන් ඒ කෝච්චි අරගලයේ ඉන්නවා. යදාමිණී මන්ත්‍රීවරයා වගේ මේ අවශ්‍යතාව දැක්ක, ඒ කෝච්චියෙන් ගමන් බිමන් යන අය කෝච්ච් මහත්තයා විතරක් නෙවෙයි අලුතින්ම කෝච්චිය වෙනුවෙන් අරගල කරන තරුණ පිරිස එක්ක එකතු වෙන්න ඕනේ. එතකොට අවිස්සාවේල්ලට පැයකින් යන දුම්රිය නිර්මාණය කරන්න අපිට බැරි වෙන එකක් නෑ. ඊට පස්සේ තව පැය භාගෙකින් රත්නපුරයට යන්නත් පුළුවන්.

විමලනාත් වීරරත්නගේ ‘පුංචි පුංචි සටහන්

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...