2003 – 2017 කතාවක් : ජාතික ඇගයීමේ ආරම්භය විපක්ෂ නායක කාර්‍යාලයෙන් !

Share post:

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජාතික ඇගයීම් කෙටුම්පතට තමන්ගේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පැවසීය.

ඇගයීම් මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා ඇගයීම් සංගමයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී ඔහු මෙම එකඟතාව පළකර තිබේ.

ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක්

2003 වර්ෂයේදී ප්‍රථම වරට ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් සහ පනතක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්වූ නමුත් 2017 වර්ෂය වනතෙක් එය යතාර්ථයක් කරගැනීමට කිසිදු ආණ්ඩුවකට හැකියාව නොලැබිණි. 2017 වසරේදී පැවති මෛත්‍රී-රනිල් ආණ්ඩුව යටතේ ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් සම්බන්ධ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූයේ සංවර්ධනය, ප්‍රතිඵල මත පදනම්ව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ය.

එම වසරේදී ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් කෙටුම්පත් කරන ලද ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එය 2018 අප්‍රේල් මාසයේදී මහජන යෝජනා සඳහා ප්‍රසිද්ධ කරන ලදි.

එම ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව එය ක්‍රියාත්මක කිරීම ආරම්භ විය.

පාර්ලිමේන්තු කමිටුවක්

ඉන් අනතුරුව එම ප්‍රතිපත්තිය පදනම් කරගෙන ජාතික ඇගයීම් පනතක් සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවන ලදි. එවකට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් එය ක්‍රියාත්මක වූ අතර, එහි අරමුණ වූයේ ශ්‍රී ලංකාව තුළ ඇගයීම් පනතක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සහ වටපිටාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම ය.

එම කමිටුවට සුසිල් ප්‍රේමජයන්ත, කබීර් හෂීම් සහ බිමල් රත්නායක යන මන්ත්‍රීවරුන් ද ඇතුළත් වූහ. 2020 වර්ෂයේදී එම කමිටුවේ අතුරු වාර්තාව ඉදිරිපත් කළ අතර, එමගින් ඉදිරිපත් කළ නිර්දේශ අතර ජාතික ඇගයීම් පනතක අවශ්‍යතාව ද ඉස්මතු කර තිබිණි.

විපක්ෂ නායක කාර්යාලයෙන් පටන්ගමු

ජාතික ඇගයීම් පනත සම්බන්ධයෙන් වන යෝජනා සහ එයට අවශ්‍ය පසුබිම සැකසීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඇගයීම් සංගමය, ඇගයීම සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානයේ නියෝජිතයන් අගමැතිවරයා ඇතුළු රජයේ අංශ ගණනාවක් සමග මේ වන විට සාකච්ඡා සිදු කර ඇත.

විපක්ෂ නායකවරයා සමග සිදු කළ සාකච්ඡාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් බුද්ධික පතිරණ සහ තිස්ස අත්තනායක ද, ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය, විගණන නිලධාරීන්ගේ සංගමය, ක්‍රමසම්පාදන නිලධාරීන්ගේ සංගමය, අධ්‍යාපන අමාත්‍යංශ්‍ය, ව්‍යාපෘති කළමණාකරණ සහ නියාමන දෙපාර්තමේන්තුව යන අංශ නියෝජනය කරමින් නිලධාරීහු ද සහභාගි වූහ.

එහිදී විපක්ෂ නායකවරයා ජාතික ඇගයීම් පනතක අවශ්‍යතාව සම්බන්ධයෙන් ඉතා ධනාත්මකව ප්‍රතිචාර දැක්වූ අතර, ඉතාම ඉක්මනින් විපක්ෂ නායක කාර්යාලය තුළ ඇගයීම් අංශයක් පිහිටුවීමට යෝජනා කරන ලදි. එමගින් රජයට සහ දේශපාලන නියෝජිතයන්ට පූර්වාදර්ශයක් සැපයීම මෙන්ම ජාතික ඇගයීම් පනත සහ එහි ඇති අවශ්‍යතාවට සහාය දැක්වීම තම පරමාර්ථය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ඇගයීම හරි තැනින්

ඇගයීම් පනත ක්‍රියාත්මක වීම සිදුවුවහොත් රජය සම්බන්ධ වී ක්‍රියාත්මක වන සියලුම ව්‍යාපෘති, වැඩසටහන් සහ ප්‍රතිපත්ති ඉතාම හොඳින් සැලසුම් කිරීම සහ නියාමනයකට ලක්කිරීම මගින් ඒවායේ අපේක්ෂිත ප්‍රතිඵල ළඟාකරගැනීමට හැකිවනවා මෙන්ම නිසි ඇගයීම් ක්‍රියාවලියක් තුළින් එහි ප්‍රතිඵල ජනතාව වෙත මෙන්ම ආයෝජනවලට මැදිහත් වූ පාර්ශ්ව වෙත සන්නිවේදනය කිරීමට ද හැකියාව පවතී.

එසේම ඇගයීම් ක්‍රියාවලියේ මූලික පරමාර්ථ වන ගිණුම්ගතභාවය සහ ඉගෙනුම් ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය වන පසුබිම ද රට තුළ නිර්මාණය වනු ඇති බව ඇගයීම් මධ්‍යස්ථාන නියෝජිතයෝ මෙහිදී අදහස් දක්වමින් කියා සිටියහ.

Related articles

රසිකාගේ හරි අපුරු ‘‘ කොළඹ වැස්ස ““

වර්ණ රසිකා ගුණවර්ධන සහ මම එකිනෙකට වෙනස් මතයන් සහ කණ්ඩායම් නියෝජන කරන චරිත දෙකක් ඒක සංස්කෘතිමය සමාජීය හා...

උද්දිකගේ නාට්‍යයේ ඒඑස්පී හිටියේ කුප්‍රකට ව්‍යාපාරික තාඹුගල සමග මාලඹේ නිවසේ !

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව...

38න් 1 පරිච්ඡේදය – ව්‍යවස්ථාවේ බලතල යොදාගෙන නීතිවිරෝධී මැතිවරණ අල්ලස් දෙන රනිල් !

ජේ.ආර්. ජයවර්ධන 77 ඡන්දයෙන් ලංකාවේ අගමැතිවරයා විය. අගමැති ධුරයේ දිවුරුම් දුන් ඔහු ඒ වන විට ක්‍රියාත්මක වූ 72...

මිරුසුවිල් සමූහ ඝාතකට දුන් ජනාධිපති සමාවට එරෙහි පෙත්සම් විභාගයට : අපරාධයේ තරම කොතෙක්ද?

මිරුසුවිල් සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි යුද හමුදාවේ කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට...