එරික් ඉලයප්ආරච්චි නම් නවකතාකරුවා ලාංකේය සමාජ දේහය සංගීතය නම් සැතින් සියුම් ව පිරික්සන්නේ ය.
“නකුල මුනි”
එරික් ඉලයප්ආරච්චිගේ දසවන නවකතාව වන නකුල මුනි ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ගමන් මග පිළිබඳ ව පෘථුල ලෙස විමර්ශනය කරයි. එය වාද්‍ය ඛණ්ඩයක් වැනි ය. විටෙක හෘද්‍යග්‍රාහී ස්වරවලින් ද විටෙක ලයාන්විත ස්වරවලින් ද විටෙක කර්ණරසායනය නොපුබුදවන ඝෝෂාකාරී අවිධිමත් ස්වරවලින් ද හැඩ ගැන්වී ඇත. නවකතාකරුවා බොහෝ ලෙසින් මෙහි පාඨකයාට නවකතාවේ පූර්ණත්වය කරා ගමන් කරන්නට මං සලසා පසෙකට වෙයි.
” ලලිත සමය” නම් එරික් ඉලයප්ආරච්චිගේ සතරවැනි නවකතාවේ එන චරිත ද්විත්වයක් වන දීප්ත හා සමදරා පාඨකයා මෙහිදී ද මුණ ගැසේ. නමුත් නකුල මුනි කියවන්නට ලලිත සමය කියවිය යුතු නොවේ. එය තනිව රසවිඳ හැකි කෘතියකි. දීප්ත සහ සමදරා පාඨකයා වෙත මුණ ගැසෙන්නේ ස්විට්සර්ලන්තයේ විට ලංකාවට පැමිණි තරුණ සංගීඥයෙකුගේ ආචාර්‍ය උපාධි නිබන්ධනය හරහා ය.
“දේවේන්ද්‍ර මාස්ටර් නම් අවතාරයක් දේවාර් සූරසේන පිළිබඳව සුවිස් භාෂාවෙන් ලියන ලද මගේ ආචාර්ය උපාධි නිබන්ධනයෙන් මතු වී එයි. ඒ අවතාරය සැරසී සිටින්නේ අත්තටු සහිත සුදු කමිසයකිනි. එය ලෝකාන්තයෙන් පනින පෙම්වතෙකු මැසූ කමිසයක් වැනි ය. දෙපය වැසී ඇත්තේ ගුප්ත සන්නාලිය කෝ ඉතිං මසන ලද කුරුලු කලිසමකිනි. අන්ධකාරයේ හෝ සමහර විට මහ දවාලේ හෝ ගැයෙන වැයෙන සංගීත ස්වර සමග මතු වන ඒ අවතාරය සිංහල ගායක ගායිකාවන් පසුපස පැමිණේ. අඳුරු කුටියෙ වංගුවේ තුන්මං හන්දියේ මුණගැසෙන ඒ අවතාරය මෝහිනීගේ දරුවා මෙන් බටනලාවක්, රවිකිඤ්ඤයක්, හොරණෑවක්, තම්මැට්ටමක් ඔබේ අතට දෙයි. ඔබේ උගුර ඔබට කරදර කරයි නම් හොරෙන් ඔබට ළංවී වැල්මී සූකිරි ආදිය දෙයි. පාළු කාමරවල රැඳී සිටියි. සඳ ඇබින්දක් තිබුණත් වලා පටින් එබෙයි. දේවදාර ගස් මුලදී පියානාවද නා ගස් මුල දී වීණාව ද නෙළුම් පොකුණේදී බෙරය ද වයයි. සොහොන් පිටිය පිට්ටනියේ දී දබරය හා දවුල වයයි. ප්‍රවේශම් වන්න! ඒ අවතාරයට බිය වූවන් හට කටහඬ නැති වෙයි. “
කතුවරයාගේ මා මීට පෙර කියවා ඇති නවකතාවලට වඩා භාෂාව රසවත් ය. භාෂාව තුළින් නගන්නා වූ උපහාස රසය නවකතාවේ මුල කොටසේ ජීව ගුණය ආරක්ෂා කරයි. එම භාෂා ලක්ෂණය බොහෝ දුරට නවකතාවේ මධ්‍යස්ථය වන විට ලේඛකයාටද නොදැනෙන්ට මග හැරී ගොස් ඇත.
“සංගීත භාණ්ඩවලට රටින් රටට යන්නට පාස්පෝට් ඕනෑ නැත. සරස්වතී වීණා ගහනවා වුණත් අපි වීණා ගහන්නේ නැත. සරස්වතී පර දෙමළියක් වුණත් සංගීතකාරයෝ දෙවඟනකොට සලකන්නේ ඇය යි. වීණා ගහන සරස්වතීට ගිටාර් ගහන්න බැරි වෙන්නට හේතුවක් නැත. සරස්වතී ලන්සි ගෑනියක් වුණා නං කොහෙත් ම වීණාව ගහන්නේ නැත. “
(පිටුව 45)
සංගීතය නම් විෂය කෙරෙහි මාගේ එතරම් ම ප්‍රියතාවයක් නොවුණද නවකතාවට කෙරෙහි නම් ඇලී ගැලී සිටින්නට සිදු වූයේ කතුවරයාගේ සියුම් බන්ධනය නිසාවෙනි. අයෙකුට එක විස්තර කතනයක් විය හැකි නමුත් දෙබස් , සංවාද දුලබ වාර්තාවන් තුළ සමාජ සන්දර්භය කෙරෙහි කතුවරයා හෙළන්නා වූ දෘෂ්ටිය ඉමහත් ය. සියුම් තැන් පවා අමතක නොකරමින් සමාජය තුළ වැඩෙන පිළිල පිළිබඳ ව කුණු ගස ගසමින් පල් වෙමින් පවතින සමාජ සංස්ථාවේ විවිධ පැතිකඩයන් පිළිබඳවත් මධ්‍යස්ථ ආකල්පයක පිහිටා රචනා කරන්නට වග බලා ඇත.
“එතකොට ලංකාව බිත්තරයක්. මෙහෙම කුණු වෙලා නැහැ. කටුව බිඳිලත් නැහැ… රං කිකිළි ඒක දැම්මා විතරයි … කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ… එහෙම කිව්වට අමරදේව මාස්ටර් මැරෙද්දී බිත්තරේ කුණු වෙලා. කිකිළි බොයිලර් වෙලා.”
(පිටුව 61- 62)
නකුල මුනි නවකතාව ලාංකීය සංගීතයේ වර්තමානය පිළිබඳ ව කතා වුවද ලංකාවෙන් එපිට දේශ දීපංකරයන් වෙතට පාඨකයා කැඳවා යයි. සත්‍යපෝල් හා සමදරා නම් විවාහක යුවල ලාස් වේගාස්වල ගත කරන කාලය තුළින් පාඨකයා නොදුටු ඉමක් ස්පර්ශ කරයි සත්‍යපෝල් සූදුවෙන් ලබන අන්ත පරාජයත් සමදරාට හමුවන නේපාල මිතුරිය අයෝධ්‍යා තුළින් සංස්කෘතිමය විවිධත්වයක් ජනිත කරයි.
” ඒ භෝජනාගාරයේ විශේෂ සිරිතක් විය. ඒ සිරිතට අනුව තරු පනහ හා රතු ඉරි දහතුනේ අමෙරිකානු කොඩියද, ත්‍රිකෝණ දෙකේ නේපාල කොඩියද , ශ්‍රී ලංකාවේ සිංහ කොඩිය තබා තිබුණි. “
(පිටුව 120)
අනුකරණය ලාංකිකයන් ලබා ගන්නේ අවිචාරශීලීව ය. එම අවිචාරශීලී අනුකරණය පිළිබඳව කතුවරයා මෙසේ සඳහන් කරයි.
“යටත්විජිත ලංකාවේ ඉහළ පන්ති වල වැසිකිලි ද සුදු ගල් අල්ලන ලද විශාල ඒවා වූ බව ඔහු දැන සිටියේ ය. ඒවායේ ඡායාරූප එල්ලන සිරිතක් ද විය. යම් යම් දේවල් ලියන්නට පුටුවක්, මේසයක් හා පෑනක් වැසිකිළියේ තිබුණි. ඒ සිරිතෙන් ඉතුරු වී තිබෙන්නේ නාන කාමරයේ දී සින්දු කීම පමණක් බව ඔහුට සිතුණි. වෝල්ටෙයාර් උදෑසන ඇඳෙන් නැගිට ඇඳුම් මාරු කරන අතරේ ද ලියා ගත ගතයුතු යමක් තම ලියන මහත්තයට පවසන චිත්‍රයක් ඔහු ප්‍රංශයේ දී දැක තිබුණි. “
(පිටුව 161)
නවකතාව තුළින් සාම්ප්‍රදායික සිංහල නවකතාව තුළ සිදුවන සාමාන්‍ය විවාහ බන්ධනයට එහා ගිය ලිවින් ටුගෙද(ර්) සම්බන්ධයත් ඊට එහා ගිය මනෝමය ලෛංගික සම්ප්ල්බන්ධයන්ද හෙළිදරවු කරයි. මන්දෝදරී හා දූතිකා තුළින් ගෙන එන්නා වූ කායික ,මානසික ,සමාජීය හා ආධ්‍යාත්මික බන්ධයන්හි ගැඹුර මෙතැකැයි කීම අපහසු ය. විටෙක පාඨකයාට දීප්ත විරාගයේ අරවින්ද ලෙසත් මන්දෝදරී බතී ලෙසත් සිතිය හැකි ය. නමුත් ඔවුන්ගේ බැඳීම අකුරුවලට පවා පෙරළිය නොහැකි බන්ධනයකි. ඇතැම් විට එය ඔහුන් දෙදෙනා අතරින් පිතෘ දුහිතෘ ප්‍රේමයකුත් විටෙක පෙම්වතුන් දෙදෙනෙකුගේ ප්‍රේමයකුත් මවා ලයි. එම ප්‍රේමයේ දිග පළල මනින්නට පාඨකයා භාරය.
කතුවරයා මේ සියලු ම සමාජමය ගැටලු ඉදිරිපත් කරන්නේ සංගීතය නම් පදනම මත පිහිටා ය. ඔහු කිසිවිටෙක සංගීතය නවකතාවෙන් ගිලිහෙන්නට ඉඩ නොදෙයි. සංගීතයේ වර්තමාන ඉරණමට වගකිව යුත්තෝ කවරහුද යත්;
” ……සිංහල සංගීත යුද්ධයේ මූලස්ථානය තිබුණේ ටොරින්ටන් චතුරශ්‍රයේ ය. ගුවන්විදුලි මූලස්ථානය හමුදා මූලස්ථානය විය. යුද්ධය මැද දී උතුරු ඉන්දියාවෙන් හා බෙංගාලයෙන් මහත්මා ගාන්ධි, තාගෝර්, සරෝජිනී නායිදු ආදීන්ගේ මුද්‍රාසහිත ආහාර පොදි කොළඹට දමන ලදී. යුද පුහුණුවද ලබා දෙන ලදි.”
නකුල යන්නෙහි අර්ථ විවිධ ය. මුගටියා , වීණාව මෙන් ම බුදු දහමේ නකුල පිතු ද නවකතාවේ විටින් විට හොල්මන් කරයි. නවකතාව පුරාවට දිවෙන සංකේත තුළින් සංගීතයේ ස්වභාවය විග්‍රහ කරයි.
“සංගීත පුරුක්වල දරදඬු ගතියක් තිබුණි.”
නමුත් නවකතාව අවසන් වන විට එම පුරුක් දස දෙසට නැවෙන දරදඬු බව ගිලිහුණු අදින ඕනෑ ම දෙසකට ඇදෙන රබර් පටි මෙන් බව වටහා ගත හැකි ය.
සමදරා , දීප්ත , මන්දෝදරී , මනම්පේරි ,රසල් , චිත්‍රා , විජේසිංහ බ්‍රෝකර්, දූතිකා , රූබන් විජේසිංහ යනාදී වූ චරිත තුළින් සංගීතය විකිණෙන විකුණා කන ආරක්ෂා කරන ගණිකා වෘත්තියේ යොදවන අයුරු සියුම් ලෙසත් උපහාසාත්මක ලෙසත් පෙන්වා දෙයි.
සංගීතයේ ඉරණම අවසානයේ සරසා ගෞරවයෙන් භූමිදානය කරන නකුල මළ සිරුර මෙන් ය. සංගීතය මිනිදන් කරන්නේ ද බොහෝ ම ගෞරවාදරයෙනි.
නකුල මුනි මාගේ සිත් ගත් නවකතාවක් විය. කතුවරයා වෙනත් කෘතිවලදී ඉල්ලා සිටින තරම් ම පුහුණු පාඨකයෙක් මෙහිදී ඉල්ලා නොසිටීමත් ක්‍රමවත්ව ගොඩනගන්නා වූ නවකතාව තුළ පාඨකයා රඳවා ගනිමින් සියුම් මනෝභාව හෙළිදරවු කරමින් සංගීතයේ මළගම සමරන්නට සූදානම් ලාංකික සමාජය තුළ අම්බලම් බඳු තැන්හි වෙසෙහ දීප්තත් සංගීතය තුළින් දියුණුව උදා කරගත් සමරදා යන චරිත ද්විත්වය හා අවශේෂ චරිත තුළින් ගෙන ඒමත් නවකතාවේ සාර්ථකත්වය කරා පියමං කරවයි. විටෙක කතුවරයාගේ සුවිසල් දැනුම නවකතාවේ කරණම් ගසමින් තමා සන්නත කරගන්න උත්සාහ කළද ඊට සංගීතය බාධා වන්නේ ය. විවිධ අයුරේ සංගීත ඛණ්ඩ එක් වරම පිවිසෙන්නේ ය.
මෙවර සම්මාන නිර්දේශිත නවකතාවන් අතර මුල් පෙළ සිටින මෙම කෘතිය මා හට අනෙක් සියලු නවකතාවන් අබිබවා ඉදිරියෙන් තැබිය හැකි ය. එනිසාවෙන් මෙතෙක් කලක් එහි රැඳි සන්ධ්‍යානන්දය දෙවැනි අසුනට කැඳන්නට එරික් ඉලයප්ආරච්චි සමත් වූ බැව් කිව යුතු ය.
(රාජ්‍ය සාහිත්‍ය සම්මානය ස්වර්ණ පුස්තක අවසන් ග්‍රන්ථ පහට නිර්දේශිත විද්‍යෝදය සාහිත්‍ය සම්මාන නිර්දේශිත)