දේශබන්දු – ටිරාන්ට අභියෝග කළ SSPට මාරුවක් ඉල්ලයි : SSPටත් රැකවරණ රැසක් !

Share post:

කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් ප්‍රදේශයකට මාරුකරන ලෙස බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලිඛිත ව කළ දැනුම්දීමක් පොලිස්පතිවරයා නොතකා හැර තිබේ.

ඉහළ නිලධාරීන් ලබාදෙන නියෝග නොතකා හැරීම නිසා මෙසේ අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මාරුකරන ලෙස දේශබන්දු තෙන්නකෝන් ඉල්ලීමක් කර ඇත. එහෙත් පොලිස්පතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන්ගෙන් පෙරළා විමසා ඇත්තේ ඔහු විසින් නොතකා හරින ලද නියෝග මොනවාද යනුවෙනි. පොලිස්පතිවරයාගේ ප්‍රතිචාරයට දේශබන්දු තෙන්නකෝන් විසින් මෙතෙක් පිළිතුරක් ලබාදී නැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි.

දේශබන්දු තෙන්නකෝන්ගේ මෙම ඉල්ලීම පොලිස්පතිවරයා විසින් ඔහු යටතේ ඇති විශේෂ විමර්ශන ඒකකය වෙත යොමු කර ඇති බවත්, එමගින් මෙම නිලධාරියා පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙනු ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණද, එවැන්නක් මෙතෙක් සිදුව නැති බව ද අදාළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මීට පෙරත් උත්සාහයක්

කෙසේ වෙතත් මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙනත් පළාතකට මාරු කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මීට පෙර ද එක් වරක් උත්සාහ කර තිබේ. එහෙත් පොලිස් කොමිසමේ ක්‍රියාකාරිත්වය මත එය අසාර්ථක වී ඇත.

SSPටත් හයියක්

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය සමග සමීප සම්බන්ධකම් පවත්වන්නෙකු වන බවයි. පොලිසිය බාර ඇමතිවරයාට අභියෝග කළ ද, ඔහු අදාළ ප්‍රදේශයේ ම රාජකාරි කිරීමට එය ද හේතුවක් වන්නට ඇතැයි පොලිසිය අභ්‍යන්තරයේ කතාබහක් පවතී.

සිදුවීම කුමක්ද?

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන යනු පොලිසිය බාර ඇමති ටිරාන් අලස්ට පසුගිය දිනෙක ප්‍රසිද්ධියේ අභියෝග කළ පොලිස් නිලධාරියා ය.

පසුගිය නොවැම්බර් 15දා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී බස්නාහිර පළාත බාර ඉහළ පොලිස් නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. විෂය බාර ඇමති ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී කොළඹ නගරයේ පවත්වන සියලු විරෝධතා විසුරුවා හරිය යුතු බවට නියෝගයක් ලබාදී ඇත. පොලිස්පති චන්දන වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

අනෙකුත් නිලධාරීන් සියලුදෙනා නිහඬව සිටියදී, කොළඹ දකුණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගයන්ත මාරපන පවසා ඇත්තේ නීත්‍යනුකුල ව සිදුකරන විරෝධතා විසුරුවා හරිය නොහැකි බවයි. එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ කොළඹ නගරයේ පවත්වන සියලු විරෝධතා විසුරුවා හැරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, එය අනිවාර්යයෙන් ඉටු කළ යුතු බවත් ය.

එසේ කරන්නේ කුමන නීති ප්‍රතිපාදන යටතේදැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් ඇමතිවරයාගෙන් විමසීමත් සමග සංවාදය උණුසුම් වී තිබූ අතර, එහිදී ඇමතිවරයා පවසා ඇත්තේ මෙය ජනාධිපතිවරයාගේ තීරණයක් බවයි. ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ද මෙහිදී අදාළ නිලධාරියා පවසා තිබේ.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...