Home Blog Page 246

තාත්තා ගෙනා බෝනික්කා

0

ඔබ වැඩ ඇරී ආ
මගේ පස්වැනි උපන්දා සවස
නිල්වන් දෑස් ඇති
කහවන් කෙස් කලබැති
රන්වන් බෝනික්කෙකු
මට ලැබිණ

ඇගේ කෙහෙරැලි අල්ලා
එවන් කෙහෙරැලි පැතූ මම
ඇගේ ඇසි පිය දැක
මගේ ඇසි පියන් ද එසේ යැයි මවා ගතිමි
ළා රත් ඒ කොපුල් පිරිමැද
ඈ වඩාගෙන ගොස් කැඩපතෙන්
මා වගේදැයි ඇසීමි

ළමා කල ගතවෙත් ම
කුටියෙහි බිත්ති අල්මාරියේ මුඳුනෙහි මැදට වී
සිට ගත් ඇය
මගේ හැම ඉරියව්වුවක් ම
බලා සිටියාය
ඔබේ ඔත්තුකාරියක මෙන්

මුල්වරට පෙම්පතක් ලැබුණ දින
මා ඇය පිටුපසට හරවා හිඳුවා
එය පොතක කවරයක් තුළ හෙවූයෙමි
එහෙත්
පසුවදා උදයේ
එය ඔබ අතෙහි විය

සොළොසැවිරිදි යොවුනියකට
බෝනික්කන් කුමටදැයි සිතුණු සවසක
ඇය බිත්ති රාක්කයෙන් ගත් මම
එතැන ටයිටැනික් චිත්‍රපටයේ ජැක් සහ රෝස්ගේ
පින්තූරයක් තැබුවෙමි
එදා ඔබ කෑම කෑවේ
වදනකුදු නො දොඩා නිහඬව ය

විසි දෙකේ උපන්දිනය දා මට
හංස යුවළක් තෑගි ලැබිණ
බෝනික්කා දෙවැනි තට්ටුවේ මුල්ලකට කර
හස යුවළ පළමු තට්ටුවේ තැබීමි
ඇය එදා මා අතේදී
ඇසිපිය නො ගසා ම උන්නා ය

සත්විසි වියේදී ඉරණම් ගමනට පෙර
මම ඇය අවසන් වරට අත ගා බැලීමි
ඇගේ හිස කෙස් වියැළී
නිල්පෑ දෙනෙත් මළානික වී තිබිණ
දෙවෙනි තට්ටුවේ මුල්ලෙන් ගෙන
ඇය මා සමඟ ගෙනියන්නට
මට එදා නො සිතිණ

සතළිස් එක්වැනි උපන්දාවට දෙමසකට පසු
ඔබේ නිශ්චල මුහුණ දකිනු පිණිස ආ මට
බෝනික්කා සිහි විය
එහෙත් ඇය
බිත්ති අල්මාරියේ දෙවෙනි තට්ටුවෙහි
මා තැබූ තැන නො සිටියාය
ඇය සිටියේ කොහේදැයි
දැන උන්නේ ඔබ පමණක් ම බව මම දනිමි.

ලක්මාලී හේවාවසම්

නව අස්වද්දන්නවුන් වෙහෙසව වැඩ කරන බිමක් බවට කවිය පත්ව තිබිම සතුටකි

0

‘හතලිස් වරක් දෙක’ – රසිකා ප්‍රනාන්දු

සිංහල කවි කෙත නිසරු යයි තවදුරටත් මැසිවිලි නගන්නට නොහැකිය. එහි නව කරල් පූදිමින් තිබේ. පරිණත අස්වද්දන්නන්ට අමතරව නව අස්වද්දන්නවුන් වෙහෙසව වැඩ කරන බිමක් බවට කවිය පත්ව තිබිම සතුටකි. සැබැවි, හැම ලියැද්දකම හැම කරලක්ම සරු නැත. බොල් කරල්ද හමුවන බව පිලිකෙව් කළ නොහැකිය. එහෙත් ඒ අතර සිත පහදන සරු කරල් කෙසේ මග හැර යන්නද.

රසිකා ප්‍රනාන්දු එවැනි බලාපොරොත්තු තැබිය හැකි කිවිඳියකැයි කියමි. ඇගේ කවි පාඨකයන් අතට පත්වනුයේ ගොඩගේ ව්‍යාපෘතිය හේතුවෙනි. ඇගේ කෘතිය එහි අනුමැතිය ලත් කවි එකතුවකි. ඒ අනුමැතිය අසාධාරණ යයි කියන්නට නොහැකි තරමට ඇගේ කවි පොහොසත්ය.

රසිකා ගේ කවියෙහි එන බොහෝ කවි නිමිති අලුත් ඒවා නොවේ. එය අද දවසේ කවියට පොදු ය. අලුත්ම අත්දැකීම් ඉතා දුලබ ය. අප සියල්ලෝම පැහෙනුයේ එකම නරදකාදියක හෙයිනි. එහෙයින් කවිය සුවිශේෂී වනුයෙ කවියා හෝ කිවිඳිය එය ඉදිරිපත් කිරීමේදී දක්වන කුසලතාව අනුවය. රසිකා සාර්ථක වනුයේ මෙහිදීය. ඒ නිසාම ඇගේ කවිය අපට නවතාවක් දනවයි. සියුම් සංවේදනයක් දනවයි.

අනාවරණ නමින් එන කවිය මීම හොඳ උදාහරණයකි. කවියෙහි නිමිත්ත වෙන්වීමකි. පෙම්වතකුගෙන් වෙන්ව යන නැතිනම් පෙමෙහි අවසන් නිමේෂය ඇය විස්තර කරයි. එහි ඇති කුරිරු බව රැවටිලි සහගත බව මෙන්ම පෙම්වතියට එය දැනෙන ආකාරය ඇය සියුම් ලෙස ඉදිරිපත් කරන්නීය.

අවසන්ම හමුවීම දවසට
ඝනකම්ම වැහි වරැසාවක්
ඔබ ඇණවුම් කළ බව
මද්දකින් මුදා ලීමෙන් මතු
හිත මිතුරුවූ වැහිළිහිණියෙක් කීවේය

ඔහු මේ අවස්ථාවට සූදානම් වනුයේම ව්‍යාජ වෙස් වලාවකිනි. එහෙත් එය ඇයට සැඟවිය නොහැක්කකි. ඇය තමන් අවසන් මොහොතේ ලද සානුකම්පාවද ව්‍යාජයක් බව පවසන්නීය.

ඒ මහා වරැසාවේ
සැණින් සේදී වැනසී යද්දී
ඔබ මවෙත හෙළූ
සානුකම්පිත ආදරණීය බැල්මද
කුලී පදනමට
පැයකට
නළුවෙකුගෙන් ලබාගත්තක් බව
මම දැන් දනිමි

ඇය බිරිඳකගේ කට උත්තරය ලියන්නී ද එපරිද්දෙන්මය. කුටුම්භයේ ඛේදය නැතිනම් බිරිඳකගේ ශෝක ගීතය ඇය ලියනුවේද එවන් උත්ප්‍රාසවත් බසකිනි.

නැත
ඔහු මට පහර දුන්නේ නැත
අත් පා
ඒ මේ අත වැනුවා පමණි
බඩු මුට්ටු
ඒ මේ අත තබන්නට උත්සාහ කළා පමණි

කාන්තාවන්ට අපහාස කිරීම අප සමාජයෙහි හොඳ කළ නොහැකි රෝගයකි. එය බස් ඇතුළු පොදු ප්‍රවාහන මාධ්‍යයන්ගේ අලවනු ලබනා ස්ටිකරයේ සිට විවිධ අවස්ථාවලදී අපට දැකිය හැකිය. මේ වන විට එය භික්ෂූන් යයි කියා ගන්නා ඇතැම් චීවරධාරීන් විසින් මහත් උත්කර්ෂයෙන් පවත්වාගෙන යනු ලබනා පිලිවෙතක් තරමටම දුර ගොසිනි. කාන්තාව දුර්වල යයිද, ඇය වරදට නැමෙනසුළු යයිද, ඇයට බුදුවීමට නොහැකි යයිද, පව්කාරියකැයිද, සැමියා ඇයට තේ හදා දීම පව්කාර වැඩකැයිද ආදී වශයෙන් මේ උන්නැහේලා කාන්තාවට හැකි උපරිම අපහාස කරති. අද දවසේ මේ වැදි බණ කාන්තාවන්ගේම ප්‍රහර්ෂයට ලක්වීම මහත් ඛේදයකි. රසිකා මේ කරන මැදිහත්වීම අපූරුය. ඇයගේ කවියෙහි කේන්තියක් නැත, ඒ වෙනුවට ඇය සියුම් ලෙස සමාජයට කවියකින් සිතුවිලි මාවතක් විවර කරයි. මේ ඇගේ කෙටි කවියකි. එහෙත් එය ඉතා දීර්ඝ කතා බහකට මග පාදන්නකි.

බුදු වෙතොත් පළමුවෙන්
ඒ පුතෙක් වනැති මවකි
සිදුහත්ගෙ හදවතෙත්
ඉන්න ඇත්තේ දුවකි

අද අපේ ජීවිතයම වේගී තරගයකි. එහි ඉසිඹුවක් ඇත්තේම නැති තරම්ය. පාලකයන් අපට යෝජනා කරන්නේද අමතර කීයක් හෝ හොයා ගැනීමට මිස ජීවිතය විඳින්නට නොවේ. එහෙයින්ම ජීවිතය වෙහෙසකරය. සාමාන්‍යෙයන් ඉරිදාව යනු විවේකී විය යුතු දවසයි. මේ රසිකාගේ ඉරිදාවය.

කරන්ට් කැපුවොත් මිසක
නතර වීමක් නොවෙන
සික්ස් එයිට් රිද්මයට
අසල්වැසියා අඳෝනා නගන දාය
සැබෑවකි. පන්සලේ සිට අප කාටත් අනෙකා ගේ මානසික විවේකය අදාල නැත. පන්සල ලවුඩ්ස්පීකරයේ ගෙල මිරිකද්දී බොහෝ ගෙවල සෙටප් මොර දෙන්නේ අසල්වැසි ඉන්දියාවටද සංගීතය බෙදන රිසියෙනි.

ඔක්කාරයට නංවන දුම්රොටු
හතරවටින් වා තලය හා මුසුවන
මළ කැළි කසල
ආදාහනය වන දාය

රසිකා තුළ ඉන්නා නිරීක්ෂක චරිතය ජීවිතයේ ගොරහැඩි රිද්මයන් අල්ලා ගන්නේ සියුම් උපහාස රසයක් දනවමනි. එහෙත් ජීවිතය යනු කෙතරම් කඨෝර පැවැත්මක් දැයි ඇය අපෙන් විමසයි. සෑම කෙනකුම ගොදුරු බවට පත්ව ඇති සමාජයක ගෙවෙනා හැම නිමේෂයක්ම වදයකි. මානව සම්බන්ධතා පවා විටෙක මානසික වධයක් වන තරමටම විඩා දනවයි. පෙර මියුරු විය හැකි ඥාති ඇසුර පවා දවසේ විඩාවත් සමගින් වදයක් ව යයි.

සදහටම බස්වල නිදි කිරා වැටෙන මට
දවාලක ඩිංගක් නිදියන්න හදනකොට
නෑයින්ට අප දකින්නට
එන්නට හිතෙන දාය

ඉදින් ඇය අවම තරමින් කවි පොතක හෝ සහනය පතන්නීය. එහෙත් ජීවිතය යනු ගැලවිය නොහැකි කාල සටහනකි. ඒ කාල සටහනේ අම්මාද කොටස් කාරියකි. ඇගේ ඉරිදාවේ ඇත්තේ වෙනස් සැලසුමකි.

තේ කෝප්පයක්
කවි පොතක් එක්ක
තනි වෙන්න යද්දි
අම්මාට මිදුලේ
වල් වැවී ඇති බව පෙනෙන දාය

රසිකාගේ කෘතියට නම සදන කවියද අවධානයට ලක්විය යුත්තකි. පාසල සහ වේවැල යනු නිතර කතා බහට ලක් වන්නකි. ශාරීරික දඬුවම් ඇතැමුන්ගේ උත්කර්ෂයට ලක් වෙද්දී ගුරු පෞරුෂය යනු වේවැලද යන මාතෘකාව ඉදිරියට ආ යුතුව තිබේ. රසිකා හතලිස් වරක් දෙක යන කවියෙන් මතු කරනුයේ වේවැල සහ ගුරු ආකල්ප අතර ඇති විකෘති සබඳතාවක තතු සහ ඉන් ගොදුරු බවට පත්වන සිසු හදක වේදනාවය. ඇය වේවැලෙන් තැලෙන හිත්වල රිදුම කවියට නගන්නී ඉන් සිතට වන තුවාලයන්හී බරපතලකම ගෙන එන්නීය. ඇය තම කවිය අවසන් කරනුයේ මේ අයුරිනි.

බිළිඳු හිත් බෝමයක
හිත් පතුල් පලාගෙන
ක්ෂණයකින් ඇවිත් යන
රූපමය නිදසුන
‘අමනුස්ස‘
යන්නට කියන

මතකද
මහතම මහත වේවැලක් අත දරන
වට කෙස්
මැද හිස් තිබ්බ
රූපෙක කටු සටහන

රසිකාගේ කවි පාඨක අවධානය මෙන්ම විචාරයද ඉල්වන ලියවිලි බව යළිත් සඳහන් කරමි. ඇතැම් තැනෙක කාව්‍යාත්මක බවින් තව පොහොසත් විය යුතු ඇගේ කවියෙහි සරු බවට උදාහරණ ලෙස මේ කෙටි කවිය ඉදිරිපත් කරමින් නවතිමි.

යන ගමන මග
ඔබේ උර මත
පුලුන් ගෝනිය තබා
සිය උර මතින්
ලුණු ගෝනිය ඔසවා ගත්
පුද්ගලයා පිළිබඳව
සීමා මායිම් නොවූ
ළෙන්ගතු හිතකින්
හිතනු ඇත,

ගඟ තරණයට මුහුණ දෙන තුරු ඔබ

චූලානන්ද සමරනායක

මර්වින් පෙරේරට දී මම කෝල් එකක් – හමුවෙමු ඉන්ටර්විව් එකකට උදේ ටිකක්

0

මර්වින් සමුඅරන් අවුරුදු දාහතර
ගෙවුණත් දැනෙන්නේ අද ඊයේ විතර
ඔහු හා මතක දේ මැද අතරින් පතර
රසවත් කතාවක් ඇත ඒ හැම අතර

හිතමින් ලැබෙන පිළිතුර වේවිදැයි මොකක්
මර්වින් පෙරේරට දී මම කෝල් එකක්
හමුවෙමු ඉන්ටර්විව් එකකට උදේ ටිකක්
ඇහුවා දිනක් උදයෙක ඇති වුණත් සැකක්

ඉන්නේ ගෙදර අද නම් සොමියෙන් දවස
බර සංවාද අද බැහැ ගන්නට ඉවස
කයියක් ගහන්නට නම් නිවමින් පවස
එනවා නම් වරෙන් මේ පැත්තට හවස

එහෙනං ඉන්ටර්විව් එක පැත්තකින් තියා
⁣අපි ලොකු කතාබහකට වැඩි දුරට නොයා
එක සිංදුවක් ගැනවත් කියනවද ඔයා
එය හැක තබන්නට මට පත්තරේ ලියා

මා සනසා ගැනයි විමසන්නට හිතුවේ
මේ ගැන හිතලු සමහර උදවිය ගෙතුවේ
එක එක කතා එක එක අයගෙන් මතුවේ
ඒ පිළිබඳව හරි තතු දැනගත යුතුවේ

ඒ ගැන එහෙම නම් පවසන්නම ඕනේ
කියමින් හතර මායිම දිග ඇරියානේ
තව කුකුසක් උඹට ඒ පිළිබඳ නෑනේ
කියලා මෙහෙම ඇහුවා ඔහු අවසානේ

බැඳලද නැද්ද කියපං මට උඹ තාම
නෑ කිව් සැනින් කිව්වේ “කදිමයි බෝම”
හනිමුන් දවසෙ සිංදුව අහපන් රෑම
සිංදුව අර්ථෙ තේරෙයි බොට හොදටෝම

මර්වින් අයියගේ ඒ රස හඬ පටය
ඇත්තේ මගේ ළග තව සුරුකුම්කොටය
එන්නේ දුකක් ඒ හඬ ඇහෙනා විටය
අදටත් වඩා එහි වටිනාකම හෙටය

ප්‍රියන්ත කොඩිප්පිලි

‘සරසවි ශිෂ්‍යයාගේ මරණය’ කතා සංග්‍රහය ගැන දළ කියවීමක්

0

නවකතාවක් නැත්නම් කෙටිකතාවක් පටන් අරන් තියෙන වාක්‍යය ගැන, පටන්ගත්ත විදිය ගැන වගේ ම කතාව අවසාන කරන විදියත් වෙන ම මාතෘකා අරන් කතාබහ කරන්න පුලුවන් තේමා කියල මම විශ්වාස කරනවා.

ලේඛකයො කෙටිකතා විවිධ විදියට අවසන් කරනවා. ඇතැමෙක් නිශ්චිත අවසානයක් දීලා කතාව අවසන් කරනවා. ගානට මුල, මැද, අග වෙන්කළ හැකි, ක්‍රමිකව අවසාන කරන, යම් සිදුවීමකින් අන්තිම තිත තිබ්බා වගේ දැනෙන, එතනින් එහාට යන්න තැනක් නැහැ, කිසිවක් ඉතිරි නොකරන, බිල්ඩින් බ්ලොක්ස්වලින් නියමිත ගොඩනැගිල්ල හරියට හැදුවා වගේ, ෆ්‍රේම් එකට තිතටම බස්සන කතා ඒ. නිශ්ශංක විජේමාන්නගේ සහ ලියනගේ අමරකීර්තිගෙ ඇතැම් කෙටිකතා මේ වගේ.

තවත් පිරිසක් කතාවට නිශ්චිත අවසානයක් නොදී ඉවර කරනවා. ඒකියන්නෙ කතාව ගලාගෙන යාම නතරවෙන්නෙ නෑ, දිගටම ගලායනවා, නිශ්චිත සිද්ධියකින් නෙමෙ කතාව ඉවරවෙන්නෙ, මැදින්. බිල්ඩින් බ්ලොක්ස්වලින් යමක් හැදුවට ඕනැනම් තව අපිට හදාගන්න කොටස් කතුවරයා ඉතුරුකරලා තියෙනවා. කතාව දිගටම කන්ටිනුව් වෙනවා අපි කතාව කියවලා ඉවරකළාට. මට මතක්වෙන්නෙ අජිත් තිලකසේනගේ, ප්‍රභාත් ජයසිංහගේ සහ ගාෂියා මාකේස්ගේ ඇතැම් කතා.

තවත් පිරිසක් කතාව අවසන් කරන්නෙ ටුවිස්ට් එකකින්, පීක් එකකින්, කන්ද උඩ ඉඳන් ගලක් පෙරළළා, කොට්ට උරේ කනපිට ගහලා, කතාව මුල සිට තියන් ආව කුතුහලය අවසානෙදි ඉවරකරලා, හිතන් උන්නු දේ නෙමේ අගතා ක්‍රිස්ටි වගේ වෙන උත්තරයක් දීලා, නොසිතූ විදියකින්. ‘යදණ්ඩෙන් ගැසූ ඝණ්ටාවක් මෙන් අනුරා දෙවමින්’ කියල බුත්සරණේ නාලාගිරි දමනේ තියෙන වැකිය මට සිහිවෙනවා. සහන් කසීර ප්‍රියකරන්නෙ මේකෙන් තුන්වෙනි වර්ගයට කියලා හිතෙනවා. ඔහුගේ කෙටිකතා පොතේ හැම කතාවක් ම මෙහෙම අවසන් නොවෙන බව ඇත්ත. හැබයි පොදුවේ සැලකුවොත් ඔහුගේ සෙසු ලිවීම්වල වගේ ම කෙටිකතාවලත් අර පොපියන යමක්, රාව දෙන බවක් ඇතුළත් බවක් තේරෙනවා, ඒක කතාව මුලදි වෙන්නත් පුලුවන්, කතාව අවසානේ වෙන්නත් පුලුවන්. ගී ද මෝපසාං, ඇලන් පෝ , ජී.බී.සේනානායක, වෙඩිවර්ධන වගේ ලේඛකයන්ගෙ කතා අවසන් වෙන්නෙ මේ ක්‍රමයට බොහෝවෙලාවට. හැබැයි, හැම කෙටිකතාකරුවාගෙ ම හැම කතාවක් ම එකී එක ම විදියකට අවසාන වෙනවා කියල දෙයකුත් නෑ. මේ විදි කිහිපයට ම කෙටි කතාපොතක කතා අවසාන වෙන්න පුලුවන්.

අවසානය පැත්තක තියලා මේ කතා සංග්‍රහයේ කතා ඇතුළට ගියොත්, මේවා රසවත්, ආකර්ෂණීයයි. කෙටිකතාවල ශිල්පීය ලක්ෂණ ගැන දැනුවත්ව නමුත්, ඒවා කතාවට ගන්න ගිහින් නිර්මාණය යටයවන වගේ වැඩ ඔහු නොකරන නිසා ටෙක්නික් ඔලුවට වදයක් නොකරගෙන කතාව කියවන්න පුලුවන්. තමන්ගෙ ම ක්‍රමයක් ඒවයින් පේනවා. ඔහු ආකෘති අත් හදා බලනවා සහ ඒවා සාර්ථක බව පේනවා. ‘රේල්ලුව’ කතාව එවැන්නක්. නගරයෙන් නගරයට කෝච්චිය යන පාර පාවිච්චි වෙනවා කතාව ගොඩනගන්න. ‘සරසවි ශිෂ්‍යයාගේ මරණය’ කෙටිකතාවෙදි එක් එක් කෙනාගේ කට උත්තර එකතු කරමින් කතාව ගොඩනගනවා, අකුතගවගේ කතාවක් වගේ.

අනෙක් අතින් මේ කෙටිකතා ඇතුළෙ සිදුවීමක් ගානෙ, චරිත ජීවත්වන පසුබිමක් ගානෙ කතුවරයා විසු යුගය, ඒ ජෙනරේශන් එකට අදාළ ලකුණු තියෙනව. ඒ ජෙනරේෂන් එක ස්ථරවලට බෙදුවොත්, කතුවරයා අයිති ස්ථරය අපිට පැහැදිලි වෙනවා මේ කතාවලින්. එය කියවන්නාගෙ හිත්ගන්නවා. කෙටිකතා සංග්‍රහයේ අවසන් කතා දෙක ම, අනෙක් කතාවලින් රචකයා ඔසොවා තබන, පැතිරුණු, තීක්ෂණ සමාජ නිරීක්ෂකයෙකුගේ ලකුණු පෙන්වනවා.

‘සරසවි ශිෂ්‍යයාගේ මරණය’ කතා සංග්‍රහය ගැන දළ කියවීමක් පමණයි මේ. ආයෙ ම කියවන්න ඕනා, නමුත් කෙටි විරාමයක් අරන් !

දිල්ශානි චතුරිකා දාබරේ

FIFA අර්ධ අවසන් පූර්ව තරග අද සිට

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග අද(09) ආරම්භ වීමට නියමිතයි.

එහි පළමු තරගය පැවැත්වෙන්නේ ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය අතර පැවැත්වෙන අතර තරගය දෝහාහි එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදී අද (09) රාත්‍රී 8.30ට ආරම්භ වේ.

එමෙන්ම අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන තරගය නෙදර්ලන්තය සහ ආජන්ටිනාව අතර මෙරට වේලාවෙන් අලුයම 12.30ට පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ තෙවැනි සහ සිව්වැනි තරග හෙට රාත්‍රී 8.30 ට අළුයම 12.30 ට පැවැත්වීමට නියමිතව ඇති අතර එම තරග පිළිවෙළින් මොරොකෝව – පෘතුගාලය අතර , එංගලන්තය – ප්‍රංශය අතර පැවැත්වීමට නියමිතය.

තරගවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් සංඛ්‍යාව 8 ක් වන තර සියළු තරග පිළිමළුන් පිටුදැකීම (knockout)ආකාරයට පැවැත්වේ.

තව වැසි, සුළං, වායූ දූෂණයෙන් පරිස්සම් වෙන්න

0

තද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. උතුරු, උතුරු – මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත් සඳහා මෙම නිවේදනය වලංගු වෙයි. අද (දෙසැම්බර් 09) පෙරවරුවේ නිකුත් කළ මෙම නිවේදය හෙට පෙරවරු 10 තෙක් වලංගු වෙයි.

මැන්ඩාවුස් සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

එසේම උතුරු, උතරු – මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 60-70 දක්වා තද සුළං බලාපොරොත්තු වන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

මේ අතර ශ්‍රී ලංකාවට එල්ලවූ වායු දූෂණ බලපෑම ක්‍රමයෙන් බැහැරව යනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

එම ආයතනය වැඩිදුරටත් පවසන්නේ ඊයේ (08) දිනයේ මෙරටින් වාර්තා වූ වායු දූෂණ මට්ටමට වඩා මේ වනවිට වායු දූෂණ මට්ටම විශාල අඩුවීමක් දක්නට ලැබෙන බවය.

ඉන්දියාවේ වායු දූෂණය ඉහළයාමෙන් බෙංගාල බොක්කේ අඩුපීඩන තත්ත්වයත් සමග, ශ්‍රී ලංකාව ඊයේ දිනය වනවිට අතිශය අයහපත් මට්ටමේ වායු දූෂණයකට ලක්විය.

මේ අතර තවමත් පවතින වායු දූෂණය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට ළගා වී ඇති හෙයින් හැකිතාක් නිවෙස්තුළටම වී සිටින ලෙස සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

යම් හෙයකින් නිවෙස්වලින් බැහැරව යන්නේ නම් මුව ආවරණයක් පළඳින ලෙසද ‌සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කාන්තා චිත්‍රපට නිර්මාපකයින් කාන්තා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම

0

“කාන්තාවන් චිත්‍රපට නිෂ්පාදනය පුහුණු කිරීම වැදගත්. චිත්‍රපට නිර්මාණ කලාව කාන්තාවන් සවිබල ගන්වන බවට සැකයක් නැත. වැඩමුළුවක් ආරම්භයේදී, මම කතා කිරීමට ඉතා ලැජ්ජාශීලී තරුණ මුස්ලිම් ගැහැණු ළමයෙකු නිරීක්ෂණය කළෙමි. ඇගේ අදහස් ප්‍රකාශ කිරීමට අකමැති වීම සහ ඇගේ සිතුවිලි විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කිරීමට අපහසු වීම. කොහොම වුණත් ඇය චිත්‍රපට නිෂ්පාදනයට සම්බන්ධ වෙලා ඉන්නකොට මට තේරුණා ඇය කලා අධ්‍යක්ෂණයට සහය දෙන්න කණ්ඩායමේ ඉන්න සුවිශේෂී දක්ෂතාවක්. ඇයට පුදුමාකාර ලෙස කතන්දර පුවරුවක් ඇඳීමට හැකි විය. සම්පූර්ණ පිටපතම පින්තූර බවට පරිවර්තනය කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇයට තිබුණි. ඇය ඉතා නිර්මාණශීලීව රූගත කිරීම් පසුතලය සංවිධානය කළාය. පුහුණුව අවසන් වන විට ඇය ඉතා විශ්වාසයෙන් යුතුව යෝජනා සහ අදහස් ඉදිරිපත් කළාය. කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරියක සහ නිෂ්පාදකවරියක වන සුමුදු මලල්ගම මඩකලපුවේ දී චිත්‍රපට නිෂ්පාදකවරියන් සඳහා දින හතරක පුහුණු වැඩමුළුවක් අවසන් කිරීමෙන් අනතුරුව සිය නිරීක්ෂණය බෙදා ගත්තාය.

මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතා මධ්‍යස්ථානය (CMIL) විසින් යාපනයේ (නොවැම්බර් 24-27) සහ මඩකලපුවේ (දෙසැම්බර් 1-4) තරුණ කෙටි චිත්‍රපටකරුවන් 50 දෙනෙකුගේ (උතුරෙන් 26ක් සහ 24ක්) ධාරිතාවය ගොඩනැගීම සඳහා ජංගම කෙටි චිත්‍රපට පුහුණුවීම් දෙකක් පවත්වන ලදී. නැඟෙනහිර) ආන්තික පරිසරයක ජීවත් වන කාන්තාවන්ට බලපාන විවිධ මානව හිමිකම් ගැටලු ආමන්ත්‍රණය කරමින් ආකර්ෂණීය කෙටි චිත්‍රපට නිෂ්පාදනය කිරීමට ස්මාර්ට්ෆෝන් භාවිතා කිරීම.

“සමානාත්මතාවය සඳහා චිත්‍රපටය” යටතේ මෙම පුහුණුවීම් සංවිධානය කර ඇති අතර, ආන්තික පසුබිමක සිටින කාන්තාවන්ගේ ජීවත්වන යථාර්ථය ග්‍රහණය කර ගනිමින්, ඔවුන්ගේ මානව හිමිකම් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරමින්, ආකර්ෂණීය කෙටි චිත්‍රපට නිෂ්පාදනය කිරීම සඳහා ස්මාට් ජංගම දුරකථන භාවිත කිරීමට තරුණ කාන්තාවන්ගේ හැකියාව වැඩි කිරීමට සැලසුම් කර ඇත.ක්‍රමානුකූලව උල්ලංඝනය කර ඇත.

මඩකලපුවේ පැවති වැඩමුළුව පිළිබඳ කෙටි වීඩියෝව: https://youtu.be/CFwCskJvlvk

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීම
පුහුණුවීම් දෙකේදීම, කුඩා දැරියන් ජංගම දුරකථන ආශ්‍රිත කෙටි චිත්‍රපට නිෂ්පාදනය තුළින් ආර්ථික අසමානතාවය, GBV, දේශගුණික අසාධාරණය, ඩිජිටල් ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන සහ සිවිල් සහභාගීත්වය නොමැතිකම වැනි ගැටළු විසඳීම සඳහා කෙටි චිත්‍රපට නිෂ්පාදනය කරන ආකාරය ඉගෙන ගත්හ. යාපනයේ තරුණියන් විසින් ලිංගික අතවර පිළිබඳ ප්‍රායෝගික චිත්‍රපටයක් නිර්මාණය කරන ලද අතර එහිදී තරුණ කාන්තාවන් ආයතනික සහ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට හසු වන ආකාරය සාකච්ඡා කළහ. චිත්‍රපටය නරඹමින් එම දැරියන් කියා සිටියේ ලිංගික හිංසනය පිටුදැකීම සඳහා ශුන්‍ය ඉවසීමේ සංස්කෘතියක් අවශ්‍ය බවයි.

ගැහැණු ළමයින් සාමූහිකව තහවුරු කළේ ලිංගික හිරිහැරවලට ඇති බිය කාන්තාවන්ට තම හැකියාවන් සොයා ගැනීමෙන් අධෛර්යමත් කරන බවයි. ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කිරීම. තරුණ චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ විශ්වවිද්‍යාල උපාධිධාරිනියක් වන තනුෂියා පැවසුවේ “යාපනය සමාජයේ කෙටි චිත්‍රපටය LGBTQ ප්‍රජාවගේ සහ තරුණ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව තරුණ තරුණියන් අතර වැඩි අවබෝධයක් ඇති කර තිබෙනවා. කෙසේ වෙතත්, ගෞරවය සහ පිළිගැනීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීම ජීවිත කාලය පුරාම අභියෝගයකි. ඇය තවදුරටත් පැවසුවේ, “ගැහැණු ළමයින් නිශ්ශබ්දව සිටින විට, සමානාත්මතාවය සඳහා නිරන්තර පිළිගැනීමක් ඇති කිරීම අතිශයින් දුෂ්කර වනු ඇත.

Kinemaster™ වැනි නොමිලේ ලබා ගත හැකි ජංගම යෙදුම් භාවිතයෙන් වීඩියෝ රූගත කිරීම සහ සංස්කරණය කිරීම ඔවුන් ඉගෙන ගත්හ. සෑම සහභාගිවන්නෙකුම චිත්තවේගීය වශයෙන් බලවත් චරිත සංවර්ධනය කිරීම, කථා අදහස් සහ ඒවා කාන්තා හඬ පිළිබිඹු කරන අර්ථවත් චිත්‍රපට බවට පරිවර්තනය කිරීම පිළිබඳ තනි පුද්ගල පුහුණුවක් ලබා ගත්හ.

යාපනයේ පැවති වැඩමුළුව පිළිබඳ කෙටි වීඩියෝව: https://youtu.be/PV_ZJjtDeps

නිශ්ශබ්දතාවය බිඳීම

“ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (GBV) සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව කාන්තාවන්ගේ නිශ්ශබ්දතාව බිඳ දැමීම සහ කාන්තාවන්ට සහ තරුණ ගැහැණු ළමයින්ට එරෙහිව ක්‍රමානුකූලව සිදුවන පීඩාවන්ට අභියෝග කිරීමට කාන්තාවන්ට අතිශයින්ම වැදගත් වේ. මෙය සිදු කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමයක් වන්නේ ඔවුන්ගේ ජීවත්වන යථාර්ථයන් ප්‍රකාශ කරමින් විවේචනාත්මක ආඛ්‍යාන නිෂ්පාදනය කිරීමට කාන්තාවන් සවිබල ගැන්වීමයි.

ඇය මේ බව කියා සිටියේ උතුරු පළාතේ කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පීන් අතරේ ය. බහුතරයක් කාන්තාවන් GBV ට එරෙහිව වැඩි නිහඬතාවක සිටින බව අයේෂා පැවසූ විට, පැමිණ සිටි සියලුම කාන්තාවන් පාහේ එය අනුමත කළහ. බොහෝ දෙනෙක් ඇගේ ප්‍රකාශය ඔවුන්ගේ පෞද්ගලික කතා සමඟ සම්පුර්ණ කළහ.

අයේෂාගේ ප්‍රකාශය සනාථ කරමින් උතුරු පළාතේ ගැහැනු ළමයින් බහුතරයක් පැවසුවේ ලිංගික අල්ලස්, පොදු ප්‍රවාහනයේදී ලිංගික හිරිහැර, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් වෙනස්කම් කිරීම, සයිබර්-මිත්‍ර ද්‍රෝහීකම සහ පොදු ක්ෂේත්‍රයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීම වැනි ගැටලු ඔවුන් දිනපතා මුහුණ දෙන ප්‍රශ්න කිහිපයකි. ජීවිතය. එහෙත් බොහෝ කාන්තාවන් යුක්තිය පතා තම ජීවිත අත්දැකීම් ගැන හඬ නඟා කතා කරන්නේ නැත.

ආරක්ෂිත ගබ්සා කිරීමේ අයිතිවාසිකම්

නැඟෙනහිර පළාතේ ගැහැණු ළමයින් ගැහැණු ළමයින්ගේ විවාහ කැමැත්තට ඇති අයිතිය සහ ආරක්ෂිත ගබ්සා කිරීමේ අයිතිය කේන්ද්‍ර කර ගනිමින් අභ්‍යාස චිත්‍රපට දෙකක් නිර්මාණය කළහ. නව යොවුන් වියේ ගැහැණු ළමයින්ට කතා සංවර්ධනය සඳහා දායක වීමට අවස්ථාව ලබා දී ඇති අතර එහිදී ඔවුන් තම තිර රචනය සැකසීමේදී ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් බෙදාහදා ගන්නා ලදී. ආරක්ෂිත ගබ්සාවට ඇති අයිතිය පිළිබඳ කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සහභාගිවන්නියක සහ කෙටි චිත්‍රපට නිෂ්පාදකවරියක වන කේෂායිනී එඩ්මන්ඩ් මහත්මියයි. සමහර පියවරුන් සහ පවුල් ගැහැනු ළමයින්ට තම අභිමතය පරිදි සහකරුවෙකු තෝරා ගැනීමේ අයිතිය කඩාකප්පල් කරන බව තරුණ ගැහැණු ළමයින් පෙන්වා දුන්නේය. සමහර ගැහැණු ළමයින් පැවසුවේ විවාහය සම්බන්ධයෙන් තරුණ ගැහැණු ළමයින්ගේ කැමැත්ත බොහෝ විට අගය නොකරන බවයි.

ජාතික හා ජාත්‍යන්තර සම්මානලාභී ශ්‍රී ලාංකේය නාට්‍ය වෘත්තිකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ සහ චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ සුමුදු මලල්ගම විසින් පුහුණුවීම් පවත්වන ලදී. “සමානාත්මතාවය සඳහා චිත්‍රපට ඉන්කියුබේටර්” වැඩසටහනට කොළඹ රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ලැබේ.

පුහුණුව අතරතුර, එම කාන්තා කෙටි චිත්‍රපට නිෂ්පාදකයින් GBV ක්‍රමානුකූලව සාමාන්‍යකරණය වන ආකාරය පිළිබඳව ඔවුන්ගේම අවබෝධය බෙදා ගත්හ.

තරුණ කෙටි චිත්‍රපට නිෂ්පාදකවරියක් වන දිව්‍යා රාසතුරෙයි ප්‍රකාශ කළේ “කාන්තාවන්ගේ සජීවී යථාර්ථය මත චිත්‍රපට නිෂ්පාදනය කිරීමේදී රූපක ප්‍රවේශයන් භාවිත කිරීම සහ ප්‍රේක්ෂකයින් චිත්තවේගීය, බුද්ධිමය, අධ්‍යාත්මික හා ශාරීරිකව සම්බන්ධ කර ගැනීම වැදගත් වේ. කාන්තාවන් බල රහිත, අසරණ, හඬක් නැති සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ලෙස නිරූපණය නොකළ යුතුය.

නැගෙනහිර සහ දකුණු පළාත්වල ද එම පුහුණුවීම් සිදු කෙරේ. සමානාත්මතාවය සඳහා වූ චිත්‍රපට ඉන්කියුබේටරය යටතේ, වැඩි සමානාත්මතාවය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව තරුණ කාන්තා චිත්‍රපට නිෂ්පාදකයින් 76 දෙනෙකු පුහුණු කරනු ලැබේ.

CMIL යාපනය විශ්ව විද්‍යාලය, ත්‍රිකුණාමල විශ්ව විද්‍යාලය සහ කොළඹ දෘශ්‍ය හා රංග කලා විශ්ව විද්‍යාලය සමඟ සමීපව කටයුතු කරමින් ස්මාර්ට්ෆෝන් හරහා චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ ඩිජිටල් විෂය මාලාවක් සැලසුම් කිරීම සහ කාන්තාවන්ට බලපාන මානව හිමිකම් ගැටළු විසඳීම සඳහා කටයුතු කරයි. ඩිජිටල් පාඨමාලාව ශ්‍රී ලංකාවේ සියලුම චිත්‍රපට ලෝලීන්ට නොමිලේ

සන්ධ්‍යා නිසා ප්‍රගීත් එක්නැළිගොඩ ගැන ලෝකය දැනගන්නවා. ඒක තමයි ගොඩනැගීමක ප්‍රථිපලය.

0

මගෙ ”මිනිහා” නැසූ එකා – දදය ඔබගෙ පාළුය කා – තව එක බුද දිනක් තකා – ඉන්නට ඉඩ නොදී මකා…
ප්‍රගීත් එක්නැළිගොඩ නිසා සන්ධ්‍යා එක්නැළිගොඩ ගැන දන්නවා නෙවෙයි දැන් සන්ධ්‍යා එක්නැළිගොඩ නිසා ප්‍රගීත් එක්නැළිගොඩ ගැන ලෝකය දැනගන්නවා. ඒක තමයි වෙන්න ඕනි. ඒක තමයි ගොඩනැගීමක ප්‍රථිපලය.

ඉස්සර මට මතකයි කවුරුහරි කියනව තාත්ත නිසා පුතා දැනගන්නවා නෙවෙයි පුතා නිසා තාත්ත ලෝකය විසින් දැනගන්න ඕනි කියල. ඒ කියන්නේ තාත්ත ගොඩ නගාගත්ත නම නිසා ”ආ ඒ අහවලාගේ පුතා නේ” කියනකොට ඉන්නේ තාත්ත.
එයින් කියවෙන දේ තමයි තාත්ත යම් නමක් දිනාගෙන තියනවා. ඒත් පුතා එයා පහුකරගෙන ගිහිල්ල නැහැ කියන එක. ඒ කියන්නේ පුතා (හෝ දුව) තවමත් ලෝකයේ විකසිත විය යුතු බව.

”ආ මේ අර අහවලාගේ තාත්ත නේ”. අන්න එතකොට තියනවා තාත්ත පසුකරගෙන ගිය පුතෙකුගේ පණිවිඩය.
අර්ජුන් තෙන්ඩුල්කාර් ගැන දැන් අපි දන්නේ සචින් තෙන්ඩුල්කාර්ගේ පුතා හැටියට. හැබැයි කවදාහරි අර්ජුන් සචින් තෙන්ඩුල්කාර්ට වඩා දක්ෂ ලෝ සුපතල ක්‍රිකට් ක්‍රීඩකයෙක් උනොත් අපි එතකොට කියන්නේ අර්ජුන්ගේ තාත්ත සචින් හැටියට. ”ආ මේ අර අර්ජුන්ගේ තාත්ත නේ”. අන්න එතැනට අර්ජුන්ට එන්න වෙනවා එයාගේ නම මේ ලෝකයේ තහවුරු කරගන්න.

මෙයින් කියන්නේ සන්ධ්‍යා එයාගේ නම තහවුරු කරගන්න සෙලෙබ්‍රටි ගේමක් ගැහුවා වගේ කතාවක් නෙවෙයි.
මින් කියවෙන්නේ සන්ධ්‍යා තමන්ගේම විදියකට අරගලයක් – සටනක් – යුක්තිය වෙනුවෙන් මුරගෑමක් කළා කියන එක. පෙරදිග ගැහැණියක් හැටියට මේ කරන සන්ධ්‍යාගේ අරගලය ප්‍රත්‍යෙක අධ්‍යයනයක් සඳහා සුදුසුයි (case study). එයා එකතැනකදී ප්‍රගීත් පහුකරලා ගිහිල්ල තියනවා. සමහර විට ලෝකයේම මෙවන් අවාසනාවන්ත දේවල් වලට මුහුණ දුන් අයගේ අරගලයක ආරම්භයක් විදියට.

එයාගේ අරගලය මාක්ස්වාදී -භෞතිකවාදී එකක් නෙවෙයි. එයා ආගම – වතාවත් – චාරිත්‍ර – ගුප්ත විශ්වාස – මැජික් – පාර භෞතික ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එයා එයාගේ යුක්තිය හොයන්නේ ඒවා අස්සේ රිංගල. ගැහැණියක් හැටියට කාලිට පුද පුජා කරලා. තට්ටේ ගාල . රතු ඇඳලා. පළිගහල. මට මතක් වෙන්නේ රැපියෙල් තෙන්නකෝන්ගේ ”හැවිල්ල”.

මගෙ ”මිනිහා” නැසූ එකා
දදය ඔබගෙ පාළුය කා
තව එක බුද දිනක් තකා
ඉන්නට ඉඩ නොදී මකා …

මාක්ස්වාදීන්ට ඩාම් වෙන්න ඩූම් වෙන්න පුළුවන් සන්ධ්‍යාගේ අරගලය දෘෂ්ටිවාදී කියල. හැබැයි එයා දෙන පෝස්ට්මොඩන් සංඥාව ප්‍රභලයි (postmodern sign). එකම දේ එයා කරපු දේ වෙනුවෙන් මාර විදියට භක්තිමත් වෙච්ච එක. ඒ ඇති.

වෙන කිසිම පිළිසරණක් නැතිකොට මිනිස්සු පාර භෞතික වෙතට ඇදවැටෙන්න පුළුවන්. බිත්තියට හේත්තු වුණාම අතට අහුවෙන දෙයින් ගහල දමන්නත් පුළුවන්. ඒ ගහන එකක් ඇත්තටම වදින්නත් පුළුවන්.

ලොකු දේවල් පටන් ගන්නේ පොඩි දේවල් වලින්. ඒ නිසා තමන් කරන දේ මොකක් වුණත් කමක් නෑ ඒ දේ විශ්වාස කරන්න. භක්තිමත් වෙන්න…
මේ තියන විදියට නම් හරියට එකක් වැදුණත් ඇති…

මහේෂ් හපුගොඩ

පුංචි ඡන්දය මාර්තුවේ? – වැලැක්වූවොත් උසාවි යන්න!

0

මැතිවරණ කොමිසම විසින් එළඹෙන වසරේ ජනවාරි 5 වැනිදා පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කිරීමට සැලසුම් කරමින් සිටින බවත්, එම වසරේ මාර්තු 20 වැනිදා මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින බවත් මැතිවරණ කොමිසමේ සභෘපති නීතීඥ නිමල් පුංචිහේවා thetime.lk වෙත පැවසීය.

මාස දෙකක කාලය තුළ දිස්ත්‍රික්ක විසිහතරම ආවණය වන පරිදි පළාත් පාලන ඡන්දය පිළිබඳ අදාල අංශ දැනුවත් කිරීම් සිදුකර ඇතති බවත්, එළඹෙන දෙසැම්බර් 13 සහ 14 දෙදින පුත්තලම සහ ගම්පහ යන ප්‍රදේශ ආවරණය කිරීමෙන් අනතුරුව ඉතිරිවන්නේ කොලඹ දිස්ත්‍රික්කය පමණක් බවත් කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වලක්වාලීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමේ උත්සහයක් පවතින අතර, එයට එරෙහිව යම් පාර්ශවයක් අධිකරණයේ සහය පැතීම සිදුකළහොත්, SCFR/35/2016 යන නඩු තීන්දුව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළි තීන්දුවක් ලබාගැනීමට හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ඒ නිසා පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වීමට සිදුවන බවද හෙතෙම පැවසීය.

අවසන් වරට පළාත් පාලන මැතිවරණයක් පවත්වනු ලැබූයේ 2018 වර්ෂයේ පෙබරවාරි මාසයේදී ය. ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයෙන් බෙන්තර-ඇල්පිටිය ප්‍රාදේශිය සභාව ඇරෙන්නට සෙසු ප්‍රාදේශිය සභාවල ධූර කාලය අවසන්වීම සිදුවිය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 340ක් සඳහා වන පළාත් පාලන මැතිවරණය ලබන වසරේදී බොහෝ දුරට පැවැත්වෙනු ඇති අතර එහිදී මහනගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශිය සභා 275කට අදාලව නියෝජිතයන් පත්කරගැනීම සිදුවනු ඇත. එය 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත අනුව පැවැත්වීම සිදුවනු ඇත.

අපි මේ වෙලාවේ ලංකාවට උදව් කළේ නැත්නම්, අපේ වගකීම මගහැරියා වෙනවා – එස්. ජායිශංකර්

0

ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක ඊට සහයෝගය දැක්වීමට හැකිවීම පිළිබඳ තමන් සතුටු වන බවත් මේ මොහොතේ එසේ සිදුනොකළේ නම් රජය සිය වගකීම පැහැර හැරියා සේ වන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිසංකර් ඊයේ (07) එරට පාර්ලිමේන්තුව මේ බව ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දමිල ප්‍රජාවට යම් අසාධාරණයක් සිදුවනවානම් ඊට මැදිහත් වන බවද, නමුත් අර්බුදකාරී අවස්ථාවේදී ජන වර්ගයක් පදනම් නොකරගෙන දමිල ජනතාවට පමණක් නොව සිංහල සහ අනෙකුත් ජනතාවටද රජය සිය සහයෝගය ලබාදීමට කටයුතු කිරීම ඉතා අගයකරන බව ඔහු පෙන්වාදෙයි.

සිය රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඊයේ දිනයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ අතර එහිදී වයිකෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවේදී ඉන්දීයාව අදාළ යෝජනාවට ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සඳහන් කළේ, ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණියේ ඉන්දීයාවේ දීර්ඝකාලීන ස්ථාවරයට අනුව බවය.