නව අස්වද්දන්නවුන් වෙහෙසව වැඩ කරන බිමක් බවට කවිය පත්ව තිබිම සතුටකි

Share post:

‘හතලිස් වරක් දෙක’ – රසිකා ප්‍රනාන්දු

සිංහල කවි කෙත නිසරු යයි තවදුරටත් මැසිවිලි නගන්නට නොහැකිය. එහි නව කරල් පූදිමින් තිබේ. පරිණත අස්වද්දන්නන්ට අමතරව නව අස්වද්දන්නවුන් වෙහෙසව වැඩ කරන බිමක් බවට කවිය පත්ව තිබිම සතුටකි. සැබැවි, හැම ලියැද්දකම හැම කරලක්ම සරු නැත. බොල් කරල්ද හමුවන බව පිලිකෙව් කළ නොහැකිය. එහෙත් ඒ අතර සිත පහදන සරු කරල් කෙසේ මග හැර යන්නද.

රසිකා ප්‍රනාන්දු එවැනි බලාපොරොත්තු තැබිය හැකි කිවිඳියකැයි කියමි. ඇගේ කවි පාඨකයන් අතට පත්වනුයේ ගොඩගේ ව්‍යාපෘතිය හේතුවෙනි. ඇගේ කෘතිය එහි අනුමැතිය ලත් කවි එකතුවකි. ඒ අනුමැතිය අසාධාරණ යයි කියන්නට නොහැකි තරමට ඇගේ කවි පොහොසත්ය.

රසිකා ගේ කවියෙහි එන බොහෝ කවි නිමිති අලුත් ඒවා නොවේ. එය අද දවසේ කවියට පොදු ය. අලුත්ම අත්දැකීම් ඉතා දුලබ ය. අප සියල්ලෝම පැහෙනුයේ එකම නරදකාදියක හෙයිනි. එහෙයින් කවිය සුවිශේෂී වනුයෙ කවියා හෝ කිවිඳිය එය ඉදිරිපත් කිරීමේදී දක්වන කුසලතාව අනුවය. රසිකා සාර්ථක වනුයේ මෙහිදීය. ඒ නිසාම ඇගේ කවිය අපට නවතාවක් දනවයි. සියුම් සංවේදනයක් දනවයි.

අනාවරණ නමින් එන කවිය මීම හොඳ උදාහරණයකි. කවියෙහි නිමිත්ත වෙන්වීමකි. පෙම්වතකුගෙන් වෙන්ව යන නැතිනම් පෙමෙහි අවසන් නිමේෂය ඇය විස්තර කරයි. එහි ඇති කුරිරු බව රැවටිලි සහගත බව මෙන්ම පෙම්වතියට එය දැනෙන ආකාරය ඇය සියුම් ලෙස ඉදිරිපත් කරන්නීය.

අවසන්ම හමුවීම දවසට
ඝනකම්ම වැහි වරැසාවක්
ඔබ ඇණවුම් කළ බව
මද්දකින් මුදා ලීමෙන් මතු
හිත මිතුරුවූ වැහිළිහිණියෙක් කීවේය

ඔහු මේ අවස්ථාවට සූදානම් වනුයේම ව්‍යාජ වෙස් වලාවකිනි. එහෙත් එය ඇයට සැඟවිය නොහැක්කකි. ඇය තමන් අවසන් මොහොතේ ලද සානුකම්පාවද ව්‍යාජයක් බව පවසන්නීය.

ඒ මහා වරැසාවේ
සැණින් සේදී වැනසී යද්දී
ඔබ මවෙත හෙළූ
සානුකම්පිත ආදරණීය බැල්මද
කුලී පදනමට
පැයකට
නළුවෙකුගෙන් ලබාගත්තක් බව
මම දැන් දනිමි

ඇය බිරිඳකගේ කට උත්තරය ලියන්නී ද එපරිද්දෙන්මය. කුටුම්භයේ ඛේදය නැතිනම් බිරිඳකගේ ශෝක ගීතය ඇය ලියනුවේද එවන් උත්ප්‍රාසවත් බසකිනි.

නැත
ඔහු මට පහර දුන්නේ නැත
අත් පා
ඒ මේ අත වැනුවා පමණි
බඩු මුට්ටු
ඒ මේ අත තබන්නට උත්සාහ කළා පමණි

කාන්තාවන්ට අපහාස කිරීම අප සමාජයෙහි හොඳ කළ නොහැකි රෝගයකි. එය බස් ඇතුළු පොදු ප්‍රවාහන මාධ්‍යයන්ගේ අලවනු ලබනා ස්ටිකරයේ සිට විවිධ අවස්ථාවලදී අපට දැකිය හැකිය. මේ වන විට එය භික්ෂූන් යයි කියා ගන්නා ඇතැම් චීවරධාරීන් විසින් මහත් උත්කර්ෂයෙන් පවත්වාගෙන යනු ලබනා පිලිවෙතක් තරමටම දුර ගොසිනි. කාන්තාව දුර්වල යයිද, ඇය වරදට නැමෙනසුළු යයිද, ඇයට බුදුවීමට නොහැකි යයිද, පව්කාරියකැයිද, සැමියා ඇයට තේ හදා දීම පව්කාර වැඩකැයිද ආදී වශයෙන් මේ උන්නැහේලා කාන්තාවට හැකි උපරිම අපහාස කරති. අද දවසේ මේ වැදි බණ කාන්තාවන්ගේම ප්‍රහර්ෂයට ලක්වීම මහත් ඛේදයකි. රසිකා මේ කරන මැදිහත්වීම අපූරුය. ඇයගේ කවියෙහි කේන්තියක් නැත, ඒ වෙනුවට ඇය සියුම් ලෙස සමාජයට කවියකින් සිතුවිලි මාවතක් විවර කරයි. මේ ඇගේ කෙටි කවියකි. එහෙත් එය ඉතා දීර්ඝ කතා බහකට මග පාදන්නකි.

බුදු වෙතොත් පළමුවෙන්
ඒ පුතෙක් වනැති මවකි
සිදුහත්ගෙ හදවතෙත්
ඉන්න ඇත්තේ දුවකි

අද අපේ ජීවිතයම වේගී තරගයකි. එහි ඉසිඹුවක් ඇත්තේම නැති තරම්ය. පාලකයන් අපට යෝජනා කරන්නේද අමතර කීයක් හෝ හොයා ගැනීමට මිස ජීවිතය විඳින්නට නොවේ. එහෙයින්ම ජීවිතය වෙහෙසකරය. සාමාන්‍යෙයන් ඉරිදාව යනු විවේකී විය යුතු දවසයි. මේ රසිකාගේ ඉරිදාවය.

කරන්ට් කැපුවොත් මිසක
නතර වීමක් නොවෙන
සික්ස් එයිට් රිද්මයට
අසල්වැසියා අඳෝනා නගන දාය
සැබෑවකි. පන්සලේ සිට අප කාටත් අනෙකා ගේ මානසික විවේකය අදාල නැත. පන්සල ලවුඩ්ස්පීකරයේ ගෙල මිරිකද්දී බොහෝ ගෙවල සෙටප් මොර දෙන්නේ අසල්වැසි ඉන්දියාවටද සංගීතය බෙදන රිසියෙනි.

ඔක්කාරයට නංවන දුම්රොටු
හතරවටින් වා තලය හා මුසුවන
මළ කැළි කසල
ආදාහනය වන දාය

රසිකා තුළ ඉන්නා නිරීක්ෂක චරිතය ජීවිතයේ ගොරහැඩි රිද්මයන් අල්ලා ගන්නේ සියුම් උපහාස රසයක් දනවමනි. එහෙත් ජීවිතය යනු කෙතරම් කඨෝර පැවැත්මක් දැයි ඇය අපෙන් විමසයි. සෑම කෙනකුම ගොදුරු බවට පත්ව ඇති සමාජයක ගෙවෙනා හැම නිමේෂයක්ම වදයකි. මානව සම්බන්ධතා පවා විටෙක මානසික වධයක් වන තරමටම විඩා දනවයි. පෙර මියුරු විය හැකි ඥාති ඇසුර පවා දවසේ විඩාවත් සමගින් වදයක් ව යයි.

සදහටම බස්වල නිදි කිරා වැටෙන මට
දවාලක ඩිංගක් නිදියන්න හදනකොට
නෑයින්ට අප දකින්නට
එන්නට හිතෙන දාය

ඉදින් ඇය අවම තරමින් කවි පොතක හෝ සහනය පතන්නීය. එහෙත් ජීවිතය යනු ගැලවිය නොහැකි කාල සටහනකි. ඒ කාල සටහනේ අම්මාද කොටස් කාරියකි. ඇගේ ඉරිදාවේ ඇත්තේ වෙනස් සැලසුමකි.

තේ කෝප්පයක්
කවි පොතක් එක්ක
තනි වෙන්න යද්දි
අම්මාට මිදුලේ
වල් වැවී ඇති බව පෙනෙන දාය

රසිකාගේ කෘතියට නම සදන කවියද අවධානයට ලක්විය යුත්තකි. පාසල සහ වේවැල යනු නිතර කතා බහට ලක් වන්නකි. ශාරීරික දඬුවම් ඇතැමුන්ගේ උත්කර්ෂයට ලක් වෙද්දී ගුරු පෞරුෂය යනු වේවැලද යන මාතෘකාව ඉදිරියට ආ යුතුව තිබේ. රසිකා හතලිස් වරක් දෙක යන කවියෙන් මතු කරනුයේ වේවැල සහ ගුරු ආකල්ප අතර ඇති විකෘති සබඳතාවක තතු සහ ඉන් ගොදුරු බවට පත්වන සිසු හදක වේදනාවය. ඇය වේවැලෙන් තැලෙන හිත්වල රිදුම කවියට නගන්නී ඉන් සිතට වන තුවාලයන්හී බරපතලකම ගෙන එන්නීය. ඇය තම කවිය අවසන් කරනුයේ මේ අයුරිනි.

බිළිඳු හිත් බෝමයක
හිත් පතුල් පලාගෙන
ක්ෂණයකින් ඇවිත් යන
රූපමය නිදසුන
‘අමනුස්ස‘
යන්නට කියන

මතකද
මහතම මහත වේවැලක් අත දරන
වට කෙස්
මැද හිස් තිබ්බ
රූපෙක කටු සටහන

රසිකාගේ කවි පාඨක අවධානය මෙන්ම විචාරයද ඉල්වන ලියවිලි බව යළිත් සඳහන් කරමි. ඇතැම් තැනෙක කාව්‍යාත්මක බවින් තව පොහොසත් විය යුතු ඇගේ කවියෙහි සරු බවට උදාහරණ ලෙස මේ කෙටි කවිය ඉදිරිපත් කරමින් නවතිමි.

යන ගමන මග
ඔබේ උර මත
පුලුන් ගෝනිය තබා
සිය උර මතින්
ලුණු ගෝනිය ඔසවා ගත්
පුද්ගලයා පිළිබඳව
සීමා මායිම් නොවූ
ළෙන්ගතු හිතකින්
හිතනු ඇත,

ගඟ තරණයට මුහුණ දෙන තුරු ඔබ

චූලානන්ද සමරනායක

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...