තාත්තා ගෙනා බෝනික්කා

Share post:

ඔබ වැඩ ඇරී ආ
මගේ පස්වැනි උපන්දා සවස
නිල්වන් දෑස් ඇති
කහවන් කෙස් කලබැති
රන්වන් බෝනික්කෙකු
මට ලැබිණ

ඇගේ කෙහෙරැලි අල්ලා
එවන් කෙහෙරැලි පැතූ මම
ඇගේ ඇසි පිය දැක
මගේ ඇසි පියන් ද එසේ යැයි මවා ගතිමි
ළා රත් ඒ කොපුල් පිරිමැද
ඈ වඩාගෙන ගොස් කැඩපතෙන්
මා වගේදැයි ඇසීමි

ළමා කල ගතවෙත් ම
කුටියෙහි බිත්ති අල්මාරියේ මුඳුනෙහි මැදට වී
සිට ගත් ඇය
මගේ හැම ඉරියව්වුවක් ම
බලා සිටියාය
ඔබේ ඔත්තුකාරියක මෙන්

මුල්වරට පෙම්පතක් ලැබුණ දින
මා ඇය පිටුපසට හරවා හිඳුවා
එය පොතක කවරයක් තුළ හෙවූයෙමි
එහෙත්
පසුවදා උදයේ
එය ඔබ අතෙහි විය

සොළොසැවිරිදි යොවුනියකට
බෝනික්කන් කුමටදැයි සිතුණු සවසක
ඇය බිත්ති රාක්කයෙන් ගත් මම
එතැන ටයිටැනික් චිත්‍රපටයේ ජැක් සහ රෝස්ගේ
පින්තූරයක් තැබුවෙමි
එදා ඔබ කෑම කෑවේ
වදනකුදු නො දොඩා නිහඬව ය

විසි දෙකේ උපන්දිනය දා මට
හංස යුවළක් තෑගි ලැබිණ
බෝනික්කා දෙවැනි තට්ටුවේ මුල්ලකට කර
හස යුවළ පළමු තට්ටුවේ තැබීමි
ඇය එදා මා අතේදී
ඇසිපිය නො ගසා ම උන්නා ය

සත්විසි වියේදී ඉරණම් ගමනට පෙර
මම ඇය අවසන් වරට අත ගා බැලීමි
ඇගේ හිස කෙස් වියැළී
නිල්පෑ දෙනෙත් මළානික වී තිබිණ
දෙවෙනි තට්ටුවේ මුල්ලෙන් ගෙන
ඇය මා සමඟ ගෙනියන්නට
මට එදා නො සිතිණ

සතළිස් එක්වැනි උපන්දාවට දෙමසකට පසු
ඔබේ නිශ්චල මුහුණ දකිනු පිණිස ආ මට
බෝනික්කා සිහි විය
එහෙත් ඇය
බිත්ති අල්මාරියේ දෙවෙනි තට්ටුවෙහි
මා තැබූ තැන නො සිටියාය
ඇය සිටියේ කොහේදැයි
දැන උන්නේ ඔබ පමණක් ම බව මම දනිමි.

ලක්මාලී හේවාවසම්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...