‘සරසවි ශිෂ්‍යයාගේ මරණය’ කතා සංග්‍රහය ගැන දළ කියවීමක්

Share post:

නවකතාවක් නැත්නම් කෙටිකතාවක් පටන් අරන් තියෙන වාක්‍යය ගැන, පටන්ගත්ත විදිය ගැන වගේ ම කතාව අවසාන කරන විදියත් වෙන ම මාතෘකා අරන් කතාබහ කරන්න පුලුවන් තේමා කියල මම විශ්වාස කරනවා.

ලේඛකයො කෙටිකතා විවිධ විදියට අවසන් කරනවා. ඇතැමෙක් නිශ්චිත අවසානයක් දීලා කතාව අවසන් කරනවා. ගානට මුල, මැද, අග වෙන්කළ හැකි, ක්‍රමිකව අවසාන කරන, යම් සිදුවීමකින් අන්තිම තිත තිබ්බා වගේ දැනෙන, එතනින් එහාට යන්න තැනක් නැහැ, කිසිවක් ඉතිරි නොකරන, බිල්ඩින් බ්ලොක්ස්වලින් නියමිත ගොඩනැගිල්ල හරියට හැදුවා වගේ, ෆ්‍රේම් එකට තිතටම බස්සන කතා ඒ. නිශ්ශංක විජේමාන්නගේ සහ ලියනගේ අමරකීර්තිගෙ ඇතැම් කෙටිකතා මේ වගේ.

තවත් පිරිසක් කතාවට නිශ්චිත අවසානයක් නොදී ඉවර කරනවා. ඒකියන්නෙ කතාව ගලාගෙන යාම නතරවෙන්නෙ නෑ, දිගටම ගලායනවා, නිශ්චිත සිද්ධියකින් නෙමෙ කතාව ඉවරවෙන්නෙ, මැදින්. බිල්ඩින් බ්ලොක්ස්වලින් යමක් හැදුවට ඕනැනම් තව අපිට හදාගන්න කොටස් කතුවරයා ඉතුරුකරලා තියෙනවා. කතාව දිගටම කන්ටිනුව් වෙනවා අපි කතාව කියවලා ඉවරකළාට. මට මතක්වෙන්නෙ අජිත් තිලකසේනගේ, ප්‍රභාත් ජයසිංහගේ සහ ගාෂියා මාකේස්ගේ ඇතැම් කතා.

තවත් පිරිසක් කතාව අවසන් කරන්නෙ ටුවිස්ට් එකකින්, පීක් එකකින්, කන්ද උඩ ඉඳන් ගලක් පෙරළළා, කොට්ට උරේ කනපිට ගහලා, කතාව මුල සිට තියන් ආව කුතුහලය අවසානෙදි ඉවරකරලා, හිතන් උන්නු දේ නෙමේ අගතා ක්‍රිස්ටි වගේ වෙන උත්තරයක් දීලා, නොසිතූ විදියකින්. ‘යදණ්ඩෙන් ගැසූ ඝණ්ටාවක් මෙන් අනුරා දෙවමින්’ කියල බුත්සරණේ නාලාගිරි දමනේ තියෙන වැකිය මට සිහිවෙනවා. සහන් කසීර ප්‍රියකරන්නෙ මේකෙන් තුන්වෙනි වර්ගයට කියලා හිතෙනවා. ඔහුගේ කෙටිකතා පොතේ හැම කතාවක් ම මෙහෙම අවසන් නොවෙන බව ඇත්ත. හැබයි පොදුවේ සැලකුවොත් ඔහුගේ සෙසු ලිවීම්වල වගේ ම කෙටිකතාවලත් අර පොපියන යමක්, රාව දෙන බවක් ඇතුළත් බවක් තේරෙනවා, ඒක කතාව මුලදි වෙන්නත් පුලුවන්, කතාව අවසානේ වෙන්නත් පුලුවන්. ගී ද මෝපසාං, ඇලන් පෝ , ජී.බී.සේනානායක, වෙඩිවර්ධන වගේ ලේඛකයන්ගෙ කතා අවසන් වෙන්නෙ මේ ක්‍රමයට බොහෝවෙලාවට. හැබැයි, හැම කෙටිකතාකරුවාගෙ ම හැම කතාවක් ම එකී එක ම විදියකට අවසාන වෙනවා කියල දෙයකුත් නෑ. මේ විදි කිහිපයට ම කෙටි කතාපොතක කතා අවසාන වෙන්න පුලුවන්.

අවසානය පැත්තක තියලා මේ කතා සංග්‍රහයේ කතා ඇතුළට ගියොත්, මේවා රසවත්, ආකර්ෂණීයයි. කෙටිකතාවල ශිල්පීය ලක්ෂණ ගැන දැනුවත්ව නමුත්, ඒවා කතාවට ගන්න ගිහින් නිර්මාණය යටයවන වගේ වැඩ ඔහු නොකරන නිසා ටෙක්නික් ඔලුවට වදයක් නොකරගෙන කතාව කියවන්න පුලුවන්. තමන්ගෙ ම ක්‍රමයක් ඒවයින් පේනවා. ඔහු ආකෘති අත් හදා බලනවා සහ ඒවා සාර්ථක බව පේනවා. ‘රේල්ලුව’ කතාව එවැන්නක්. නගරයෙන් නගරයට කෝච්චිය යන පාර පාවිච්චි වෙනවා කතාව ගොඩනගන්න. ‘සරසවි ශිෂ්‍යයාගේ මරණය’ කෙටිකතාවෙදි එක් එක් කෙනාගේ කට උත්තර එකතු කරමින් කතාව ගොඩනගනවා, අකුතගවගේ කතාවක් වගේ.

අනෙක් අතින් මේ කෙටිකතා ඇතුළෙ සිදුවීමක් ගානෙ, චරිත ජීවත්වන පසුබිමක් ගානෙ කතුවරයා විසු යුගය, ඒ ජෙනරේශන් එකට අදාළ ලකුණු තියෙනව. ඒ ජෙනරේෂන් එක ස්ථරවලට බෙදුවොත්, කතුවරයා අයිති ස්ථරය අපිට පැහැදිලි වෙනවා මේ කතාවලින්. එය කියවන්නාගෙ හිත්ගන්නවා. කෙටිකතා සංග්‍රහයේ අවසන් කතා දෙක ම, අනෙක් කතාවලින් රචකයා ඔසොවා තබන, පැතිරුණු, තීක්ෂණ සමාජ නිරීක්ෂකයෙකුගේ ලකුණු පෙන්වනවා.

‘සරසවි ශිෂ්‍යයාගේ මරණය’ කතා සංග්‍රහය ගැන දළ කියවීමක් පමණයි මේ. ආයෙ ම කියවන්න ඕනා, නමුත් කෙටි විරාමයක් අරන් !

දිල්ශානි චතුරිකා දාබරේ

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...