Home Blog Page 242

නිහාල් නෙල්සන්: අපේ නව යෞවනයේ තවත් දුෂ්ටයෙක්!

0

අපි සින්දුවලට, ඒව කියන, ලියන, තනු දාන අයට පිස්සු වැටිල හිටියෙ අපේ ගැටවර සන්දියෙදි.
ඒ කාලෙ නිහාල් නෙල්සන් කියන්නෙ අපට පෙන්නන්ඩ බැරි හාදයෙක්.

සාහිත්‍යයේ, සිනමාවේ, වේදිකාවෙ, ජනමාධ්‍යයේ වගේම සින්දුවේත් (සංගීතයේ නොවේ) අපිට අපේම වීරයො හිටියා. (වීරවරියො හිටියෙ අන්තිම අඩුවෙන්. මොන ක්ෂේත්‍රයක වුණත් මතක එකම නම නන්දා මාලිනී. ස්වර්ණල, මාලිනීල වගේ අයට ‘වීරවරියො’ කියන වචනෙ ගැලපුණේ නෑ. ඔව්, අපි ඒ පැත්තෙන් මහ අගතිගාමී මිනිස්සු වෙලා තමයි හිටියෙ.)
හැබැයි නිහාල් නෙල්සන් කියන්නෙ අපේ ලොකුම දුෂ්ටයෙක්. භ්‍රෂ්ටයෙක්.

මට මතක හැටියට ඒක නිහාල් නෙල්සන් පීක් එකේම හිටපු කාලයක්. මතකය නිවැරැදි නම් ‘නිහාල් නයින්ටි නයින්’ ද කොහෙද කියලා නිහාල් එයාගෙ 99වැනි කැසට් එක ගහන්නෙත් ඔය කාලෙ. ඒ එක්කම සෙන්චරියත් ගැහුවද කොහෙද. “සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි”, “එපා එපා මස් කන්නට කිරිඅම්මාගේ”, “මේ කුඩු ගැහුවොත් අපෙ රට කුඩේ කුඩු” කියන්නෙ ඒ කාලෙ නැගලම ගිය නිහාල්ගෙ සින්දු කියල මතකයයි.

හැබැයි අපිටනම් ඒව කණකට ඇහෙන්න බෑ.
ඒව නිතර දෙවේලෙ පිස්සුවෙන් වගේ අහන උං පේන්නත් බෑ.
‍ඒ කාලෙ අපේ හැටි එහෙම තමයි.

මං මේ කියන කාල රාමුව ගැන හිතුවොත් මේ කියන කාරණේ වඩා හොඳට පැහැදිළි වෙයි. ඒ 80 දශකයේ අන්තිම අවුරුදු පහ වගේ.

මේ කාලෙම හිටපු අපේ වයසෙ ගැටවර ගැටවරියො කොටසක් නිහාල් නෙල්සන්ලට පිස්සු වැටිල හිටපු බවත්, අපිට හිනාවෙච්ච බවත් ඇත්තක් තමයි.

ඒත් අර උඩින් කිව්වෙ, එහෙම නොවුණු කට්ටියක් වෙච්ච අපේ හැටි.

අපට එදා පෙනුණෙ නැතිවුණාට, අපි නිසැකවම ඉතා සුළුතර කුලකයක් වෙලා ඉන්න ඇති.

90 දශකයට පා තබද්දි නිහාල් නෙල්සන්ලව පෙන්නන්න බැරුව හිටපු අපේ සුළුතර කුලකය අඩියටම හිඳිල ගිහිල්ල හිටියා. පාරවල් ගානෙ ටයර්උඩ යවලයි, කොහේ අරං ගියාද කියල හිතාගන්න බැරි විදියට දෘෂ්‍යමාන ලෝකෙන් අයින්කරලයි, වද කඳවුරුවල ගාල්කරලයි, ඔන්න ඔය විදියට.

අනූව දශකෙ මැදක් වෙනකොට, ඒ හිඳිල ගිය සුළුතරයෙනුත් කැඩිලා ආයෙ සුළුතරයක් වුණු මා අයත් පිරිසේ, අර වීරයන් සොයායාමේ අමාරුව හොඳටම වගේ හොඳවෙලයි තිබුණෙ. වීර ප්‍රතිරූප ඇදවෙලා, කොරවෙලා, වැහැරිලා ඇස් ඉදිරිපිට කඩාගෙන වැටිලා.

තමන්ගෙ වීරයො ඇදවැටුණාම වීරයො නඩත්තුකරන හුඟක් අය කරන්නෙ වීරයන්ටයි, උන්ගෙ හත්මුතු පරම්පරාවටමයි විතරක් නෙමෙයි, තමන්ටමත් වෛර කරගන්න එක. අන්තිමට ඒක සමාජ වෛරයක් වෙනවා. ඒ විදියට තමන් අදහපු වීරයින්ගෙ ප්‍රතිරූප පිටිපස්සෙ වීරයො නෑ කියල දැනගෙන ක්ෂතියට පත්වූ අය අතරින් ඇතැමුන් අදටත් මේ අවකාශයෙම පවා හැසිරෙන හැටි ටිකක් කල්පනාවෙන් බලාගෙන ඉන්න අපූරු දෙයක්. ඒ සමහරුන්ට නැතිවෙලා තියෙන්නෙ වීරයො විතරක් නෙවෙයි. තමන්ගෙ දෘෂ්ටිවාදී පීතෲවරු. සමහර දෘෂ්ටිවාදී පියෙක් එක්තරා මොහොතක අර පුත්‍රයාව දරුකමින් අතැරලා දාලා. කොච්චර අඬල දොඩල ඉල්ලුවත් ආපහු දරුකමට අරන් නෑ. ඒ වෛරය දැන් මුළුමහත් සමාජය පිටින්ම යනවා, එක එක විදියට‍. සමහර වෙලාවට ඕනැවට වැඩි ප්‍රේමයක්, වගකීමක්, වගවීමක් විදියට! හැබැයි ඒකෙනුත් යටින් ඉල්ලන්නෙ ගේම.
‍ඒත් ඒක වෙනම කතාවක් නිසා, ඒක නිහාල් නෙල්සන්ලගෙයි අපෙයි කතාවට මෙතනින් එහාට එහෙමකට අදාළ නැති නිසා, ඒක පැත්තකින් තියමු.

වීරයො ඇස් ඉදිරිපිට පජාත වුණාම අපි කෙරුවෙ ‘වීරයො කියල ජාතියක් ලෝකෙ නෑ, වීරයො කියන්නෙ හෙලවෙන මනසට පුතා,’ කියල අපටම කියාගත්තු එක.

එදා අපට පෙන්නන්න බැරුව හිටපු එම් එස් ප්‍රනාන්දු කියන්නෙ අගනාගරික කවියෙක්ය, අපි ව්‍යක්ත කියල හිතාගෙන හිටපු බාසාවකින් තටම තටමා කියන්න දඟලපු සමහර ඒවා ඒ හාදයා අමුවෙම්ම කියල දාලය කියලත්, ජොතිපාල කියන්නෙ සින්දු කියපු නෙමෙයි දියකරල වක්කරපු යෝදයෙක්ය කියලත්, නිහාල් නෙල්සන් කියන්නෙ අමුම අමු සක්ක කෑලි මැදට දාල, දෙක දාපුවාම නැටවෙන ලදරන් සද්දවලින් එක සමාජ පදාසයකම බොක්කෙ දේවල් අමු අමුවෙ එළියට දාපු යස්සයෙක්ය කියලත් අපි හිමින් හිමින් තේරුම් ගත්තා.

මං ලංකාවෙ හිටපු අන්තිම අවුරුදු පහ දහයෙදි කවදාහරි දවසක නිහාල් නෙල්සන්ව හම්බ වුණානං ‘අයියෙ’ කියල පටන් අරන්, පස්සෙ ‘මචං’ කියලා, අන්තිමට හොඳ පිස්සුවකුත් නටන්න ඉඩතිබුන්නෑ කියල කියන්න පුළුවන් මොන සක්කරයටද? අර ඇදවැටිච්ච බොහොමයක් වීරයො එක්කයි, ද්‍රෝහියො එක්කයි, දුෂ්ටයො – භ්‍රෂ්ටයො එක්කයි… හැමෝ එක්කම කළා වග‍ේ?
ඒත් මට කවදාවත් නිහාල් නෙල්සන් හම්බවුණේ නෑ.
දැන් ඉතින් ආයෙ කවදාවත් හම්බවෙන්නෙත් නෑ.‍‍

මට මාවමවත් ආයෙ ලංකාවෙදි හම්බවෙයිද කියල හිතාගන්න බැරුව ඉන්නකොට ඉතින්, එකඅතකට ආයෙ ඕක මොකද්ද?
ඒත් එදා අපට දිරෙව්වෙ නැතිවුණාට ලංකාවෙ සංස්කෘතික භූ සිත්තමේ නිහාල් නෙල්සන් කියන්නෙ අයින් කරන්න බැරි තරම් යෝද සලකුණක් කියන එක අමුතුවෙන් කියන්න ඕනැ නෑනෙ!

සනත් බාලසුරිය

HIV ස්වයං පරීක්ෂණ කට්ටල නිවසටම

0

වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු සහ නොවැම්බර් මාසය තුළ පමණක් ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසයි.

HIV පරීක්ෂා කිරීමේ ස්වයං පරීක්ෂණ කට්ටල හඳුන්වා දීමත් සමග එලෙස ආසාදිතයින් හඳුනා ගැනීම ඉහළ ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසා සිටියාය.

මේ වනවිට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර කොළඹ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අධිඅවදානම් ප්‍රදේශවල ද රෝග පාලනය සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද වෛද්‍යවරිය පැවසූවාය.

විශේෂයෙන්ම අනාරක්ෂිත ලිංගික හැසිරීම් අධිඅවදානම් කණ්ඩායම් සිටින ප්‍රදේශවලදී නොමිලේ කොන්ඩම් ලබා ගත හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම දිවයින පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලින් ස්වයං පරීක්ෂණ කට්ටල ලබා ගත හැකි අතර සායන සඳහා පැමිණිමට අකමැති පිරිස්වලට know4sure.lk වෙබ් අඩවිය හරහා ඇනවුම් කිරීම මගින් මෙම ස්වයං පරීක්ෂණ කට්ටලයක් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.

හඬින් රටක් වශී කළ නිවේදක නිවේදිකාවෝ..

0

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ පළමු නිත්‍ය ම සිංහල නිවේදකයා වීමේ වාසනාව ලැබුණේ ඩී. එම් කොළඹගේ මහතාටයි. ඔහු “කොළඹින් කතා කරමි” යැයි සඳහන් කරමින් ඇරඹුණු සිංහල ගුවන් විදුලි නිවේදක ගමනට පසු කලක බොහෝ ආධුනිකයන් එකතු වුණා. තමන් පළමු සිංහල නිවේදකයා වීම නිසා කිසිදිනක ආඩම්බරයට පත් නොවුණු එතුමා තමන්ගෙන් පසු පරපුරක් බිහි කිරීමට තමන්ගේ උපරිම දායකත්වය ලබා දුන්නා. මේ නිසා පසු කලක දී එතුමා ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස පමණක් නොව ගුවන් විදුලි නිවේදකයන් පුහුණු කරන සම්පත් දායකයෙකු ලෙසත් මහත් වැඩ කොටසක් ඉටු කළා. ඔහුගේ කැපවීමේ ප්‍රතිඵල ඔහු ජීවතුන් අතර සිටියදීම ඔහුට ම දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණා.

  1. සිරි අයියා

අද මාධ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව විවිධ ක්ෂේත්‍ර වල දස්කම් පාන ​ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකුගේ දක්ෂතා නිරූපණය කිරීමට මුල් අඩිතාලම ලැබුනේ ළමා පිටිය තුළින්. මේ ළමා පිටියේ ප්‍රධානියා වූයේ ළමයින්ගේ ආදරණීය සිරි අයියායි. නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස ජීවිතය ආරම්භ කළ එතුමා පසුකලෙක නීතිඥවරයෙකු ලෙසත් රාජතාන්ත්‍රිකයෙකු ලෙසත් කටයුතු කළා. එතුමා සැබෑ ජීවිතයේ භාවිතා කළ නම යූ. ඒ. එස් පෙරේරා යන්නයි. කවියෙකු වූ එතුමා රචනා කළ “සුරතල් නංගියේ අපෙ අම්මා” ගීතය අද දක්වාම දරුවන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර ද එක සේ ජනප්‍රියයි.

  1. අමරබන්දු රූපසිංහ

අමරබන්දු රූපසිංහ කියන නම අපේ පරම්පරාව අතර ජනප්‍රියත්වයට පත් වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශ කළ විහිළු කතාවක් හේතුවෙන්. ඒ කතාවට අනුව අමරබන්දු රූපසිංහ මහතා වෙරි මතින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සාරියට වමනය කොට තිබෙනවා. ඒ කතාව කොහොම වුණත් පැරැන්නන් කියන විදිහට විදිහට අමරබන්දු රූපසිංහ මහතා මනා පෞරුෂයකින් යුතු ව ප්‍රවෘත්ති ඉදිරිපත් ක​ළ දක්ෂ නිවේදකයෙක්. නමුත් යාපනයට යන අතරතුරදී ඔහු ගමන්ගත් හෙලිකොප්ටරයට එල්ල වූ එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක් නිසා අකාලයේ ජීවිතයෙන් සමු ගැනීමට අමරබන්දු රූපසිංහ මහතාට සිදු වුණා.

  1. ආරියදාස පීරිස්

ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවයේ පළමු නිත්‍ය සිංහල නිවේදකයා විදිහට සැලකෙන්නේ ආරියදාස පීරිස් මහතායි. තමන්ගේ හඬ පෞරුෂයෙන් පමණක් නොව නිර්මාණශීලීත්වයෙන් වෙළඳ සේවය වෙනත් මගකට ගෙන යෑමට ඔහු සමත් වුණා. විශේෂයෙන් ‘ආධුනික පැය’ වැනි වැඩසටහන් හරහා ​මෙතෙක් ගුවන් විදුලියේ දොර විවෘතව නොතිබුණු ගායක ගායිකාවන්ට නව දොරටුවක් විවෘත කිරීමට ඔහු සමත් වුණා. ඒ හරහා වෙළඳ සේවයට වාර්තාගත ආදායමක් උපයා දීමටත් දීමටත් ඔහුට හැකියාව ලැබුණා. ඒ වගේම තම දියණිය වන චරිතා ප්‍රියදර්ශනී පීරිස් වත් ගුවන් විදුලියට හඳුන්වා දීමට ඔහු කටයුතු කළා.

  1. කරුණාරත්න අබේසේකර

මහින්ද රාජපක්ෂ වරක් අපූරු ප්‍රකාශයක් සිදු කළා. ඒ තමයි එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා මිය යන විට එම රජය දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත්ව තිබුණත් බණ්ඩාරනායක මහතාගේ මරණය ගුවන් විදුලිය මගින් විකාශනය කරද්දී කරුණාරත්න අබේසේකර මහතා සිදුකළ වැඩසටහන් කථනය නිසා බණ්ඩාරනායක මහතා කෙරෙහි තිබුණු විරෝධය සමනයට පත්වීම සිදුවුණා කියලා. කරුණාරත්න අබේසේකරගේ නිවේදන හැකියාව ගැන මේක හොඳම උදාහරණයක්. කරුණාරත්න අබේසේකර මහත්මයාගේ ගී පද රචනාත් එතුමා​ගේ හඬ වගේම සුමිහිරියි කියන දේත් ආපහු මතක් කරන්න අවශ්‍ය නැහැයි කියල අපි හිතනවා.

  1. ප්‍රේමකීර්ති ද අල්විස්

කරුණාරත්න අබේසේකර මහත්මයා වගේම ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාත් ගී පද රචකයෙක් වගේම සුපිරි ග​ණයේ නිවේදකයෙක්. මේ නිසාම යම් දිනක ප්‍රේමදාස රජයෙන් ඔහුට ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධූරය ලැබෙනු ඇතැයි කියා කතාවක් තිබුණා කියලත් කියවෙනවා. ඇතැම් පාර්ශ්ව කියන විදිහට ඔහුගේ මරණයට හේතු වෙන්නෙත් මේ කතාව. කොහොම වුණත් බොහෝ මුල්කාලීන ගුවන් විදුලි නිවේදකයන්ට නොලැබුණු භාග්‍යයක් ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාට ලැබුණා. ඒ තමයි ඔහුට රූපවාහිනී සංස්ථාව ඇරඹීමත් සමඟ රූපවාහිනී නිවේදකයකු වීමටත් අවස්ථාව ලැබීම.

  1. නිමල් ලක්ෂපතිආරච්චි

ගුවන්විදුලි සංස්ථා මහ ගෙදර ඉඳන් ලංකාවේ පළවෙනි පෞද්ගලික ගුවන්විදුලි නාලිකා​ව අරඹන්න ප්‍රමුඛත්වය ගත්​ත නිමල් ලක්ෂපතිආරච්චි ගැඹුරු හඬ පෞරුෂයක් තිබුණු දක්ෂ නිවේදකයෙක්. නමුත් ජීවිතයේ මැදි වයසේ ඉඳන් අවසාන මොහොත දක්වාම ඔහු සීමා වුණේ ගුවන් විදුලි සහ රූපවාහිනී සේවා පරිපාලනයට. නමුත් අතරින් පතර ඔහු වැඩසටහන් මෙහෙයවීමටත් සම්බන්ධ වුණා. ජීවිතයේ අවසාන කාලයේ දී තමන් නිර්මාණය කළ හෝ ඇතැම් වැඩසටහන් සංස්කෘතියට නොගැලපෙන බවත්, ඒ ගැන තමන් අවංකවම කණගාටු වන බවත් ඔහු ප්‍රකාශ කළා.

(lifie blogger වාර්තා තුලින් උපුටා පල කරනලදී)

වත්මන් පාලනයට එරෙහිව තුර්කියේ දහස් ගණනින් ජනතාව වීදි බසිති

0

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර එරට වැසියන් දහස් ගණනක් විරෝධතාවල නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉස්තාන්බුල් නගරාධිපති වන එක්රම් ඉමාමොග්ලු සිරගත කිරීමට එරෙහිවයි.

එරට ජනාධිපති රිසෙප් තායිප් එර්ඩර්ගොන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ, ඉස්තාන්බුල් නගරාධිපතිවරයාට අධිකරණයෙන් වසර 02යි මාස 07ක සිරදඩුවමක් ලබා දීමට එරට අධිකරණය නියෝග කර තිබිණි.

මැතිවරණ නිලධාරීන්ට සිදුකළ අපහාසයක් මුල් කරගනිමින් අධිකරණය එම නියෝගය ලබා දී තිබුණු අතර විරෝධතාකරුවන් පාලක පක්ෂය සහ ජනාධිපතිවරයාව විවේචනය කරමින් විරෝධය පළ කරන බව සඳහන් ය.

විරෝධතාකරුවන් පවසන්නේ අධිකරණය ලබා දුන් තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කිරීමක් බවයි.

මේ අතර එළඹෙන වසරේ ජූනි මාසයේදී එරට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත බවටද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : කෝටි ගණනක් ණයට ගත් ක්‍රිකට් විචාරකයෙක් ?

0

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ෂාෆ්ටර්ගෙන් රුපියල් කෝටි ගණනක ණයක් ලබාගත් ක්‍රිකට් විස්තර විචාරකයෙකු මූලික කරගෙන මෙම විමර්ශන පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව බොරැල්ල පොලීසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය අදාළ ව්‍යාපාරිකයා මෝටර් රථය තුළ යම් ශාරීරික හිරහැරයකට ලක්ව ඇති බවයි.

රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයෙකු හමුවීම සඳහා පිටව යන බව බිරිඳට පවසා ඔහු නිවසින් පිටත්ව ගොස් තිබෙන බව පොලිස් විමර්ශන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පෙරේදා (14) දහවල් කුරුඳුවත්ත, මල්පාර ප්‍රදේශයේ පිහිටි සිය නිවසින් ඔහු පිටත්ව ගොස් තිබූ අතර, මඳ වේලාවකින් ඔහුගේ බිරිඳ දුරකතන ඇමතුමක් ලබාගෙන ඇත. එහෙත් දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනය ක්‍රියාවිරහිත වී තිබූ බව ඇය පොලිසියට පවසා ඇත.
පසුව දුරකතන හරහා ලැබුණු GPS සංඥා අනුව ඔහුගේ දුරකතනය බොරැල්ල කනත්ත අසල තිබෙන බවට අනාවරණය කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් සැක සිතූ ඔහුගේ බිරිඳ ෂාෆ්ටර්ගේ සමාගමේ ඉහළ නිලධාරියෙකුට මේ බව දැනුම් දී, බොරැල්ල කනත්ත වෙත ගොස් පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබේ.

පසුව ඔහු පැමිණ කළ සොයාබැලීමේදී ව්‍යාපාරිකයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත්දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා ඇති බව දැක තිබේ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ විධායක නිලධාරියා බොරැල්ල කනත්තේ සේවකයෙකුගේ සහාය ඇතිව ව්‍යාපාරිකයාගේ අත් දෙක සහ ගෙලට දමා තිබූ වයර් ඉවත් කර, ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
කනත්තේ සේවය කරන සේවකයෙක් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ ෂාෆ්ටර්ගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයෙක් පිටත්ව යන බව දුටු බවයි.

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනක ණය මුදලක් ෂාෆ්ටර්ගෙන් ලබාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 3ක් ද ඔහු සිදු කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

පොලිස් සැරයන් පපුවට වෙඩි තැබූ බවට සාක්ෂි 03ක් : පොලිසිය සටහන් ටිපෙක්ස් කළ බව අධිකරණයේදී ඔප්පු වෙයි !

0
ඇඳුම් ගලවා දමා සිදු කළ පරීක්ෂා කිරීමක් සම්බන්ධයෙන් ඇතිවූ වචන හුවමාරුවකින් පසු නාඋල පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් පිස්තෝලයකින් පුද්ගලයකුගේ පපුවට වෙඩි තැබූ බව නාඋල මහේස්ත්‍රාත් අධිකරණයේදී පෙරේදා (13) පැවති මරණ පරීක්ෂණයකදී සාක්කි ලබාදෙමින් සාක්කිකරුවෝ තිදෙනෙක් ප්‍රකාශ කළහ.
එසේම මෙම සිදුවීමට අදාළ සටහන් සහිත තොරතුරු පොතේ පිටු 02ක කොටස් ටිපෙක්ස් කර මකා දමා ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.
 
හදපු කතාව
 
මෙසේ වෙඩි තැබීමෙන් මරණයට පත්වී තිබුණේ අලුත්ගෙදර තුෂාර චන්ද්‍රරත්න හෙවත් රාල නම් 39 හැවිරිදි පුද්ගලයෙකි. පොලිසිය ප්‍රකාශ කර තිබුණේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර සිදුවූ බහින්බස්වීමකින් පසු මිය ගිය පුද්ගලයා පොලිස් නිලධාරීන් සතු ගිනිඅවිය පැහැරගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කරද්දී ගිනි අවිය ක්‍රියාත්මක වී ඔහුට ම වෙඩි වැදුණු බවයි.
 
වින්දිත පාර්ශ්වය
 
කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කර තිබුණේ පොලිසිය ඇඳුම් ගලවා එක් වරක් පරීක්ෂා කර, දෙවැනි වර ද පරීක්ෂා කරද්දී ඊට විරෝධය දැක්වීම නිසා ගිනි අවිය රැගෙනවිත් පොලිස් නිලධාරියකු ඔහුට වෙඩි තබා මරා දැමූ බවයි. මිය ගිය පුද්ගලයා නාඋල, ඇළහැර පාරේ දෙකේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි අතර, මෙම සිදුවීම සිදුවී තිබුණේ ඔහුගේ නිවස ආසන්නයේදී ම ය.
 
පොලිසියේ හැසිරීම
 
2022 මාර්තු 03දා මෙම සිදුවීම සිදු වී ඇති අතර, පොලිසිය මුලින්ම මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ‘ඒආර්’ වාර්තාවකිනි. ඉන්පසු ව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම මත මාස ගණනාවකට පසු ‘බී’ වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. 2022 මාර්තු 03දා වූ මෙම සිදුවීමට අදාළ මරණ පරීක්ෂණයේ සාක්කි සටහන් කරගැනීම පෙරේදා (13) සිදුවූයේ දෙවැනි දිනට ය.
බී 674/22 දරණ මෙම පැමිණිල්ල පෙරේදා (13) පෙරවරු 10ට පමණ නාඋල මහේස්ත්‍රාත් ආර්.එන්.කේ. චන්ද්‍රවංශ ඉදිරියේ කැඳවූ අතර, මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා නඩුව පසුව ගැනීමට කල් තැබිණි. ඒ අනුව යළිත් වරක් පෙරවරු 11.10ට පමණ පැමිණිල්ල විවෘත අධිකරණයේ කැඳවිණි.
 
මරණ පරීක්ෂණ ගැන නඩු
 
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වයෙන් කරුණු දක්වමින් නීතිඥ චාරක ධර්මසිරි ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළ ව මීට පෙර අවස්ථා කිහිපයකදී අධිකරණය ලබා දුන් නියෝග පොලිසිය පැහැර හැර ඇති බවයි.
‘මරණ පරීක්ෂණයකදී මහේස්ත්‍රාත්වරයාගේ කාර්යභාරය ගැන 2017 මාර්තු දෙවැනිදා අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන විසින් ලබා දුන් පිටු 43ක නඩු තීන්දුවක් තිබෙනවා. ඒ වගේම සෙනෙහෙරත්න එදිරිව නීතිපති නඩු තීන්දුව ගැනත් එහි සඳහන් වෙනවා. මරණ පරීක්ෂණයේදී මහේස්ත්‍රාත්වරයකු කටයුතු කළ යුත්තේ කෙසේද යන්න එහි පැහැදිලිව සඳහන් වෙනවා. නීතිඥ රුවන්ට ඕන විදිහට සාක්කි මෙහෙයවන්න දෙන්න බෑ. පොලිසිය වෙඩි තියලා තියෙන්නේ. ඇසින් දුටු සාක්කි නැතුව පොලිසියේ පිරිසක් සාක්කිකරුවන් විදිහට ගෙන්වන්න උත්සාහ කළා.
 
‘මනුෂ්‍යයෙක් මැරිලා’
 
ඒ වගේම මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ තිබෙන විශේෂ ඒකකයකින් විමර්ශන කරන්න කියලා අධිකරණය නියෝග කළාම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යටතේ විමර්ශන කරනවා. මුලින් බී වාර්තාවක් ඉදිරිපත් කළේ නෑ. පසුව අධිකරණය නියෝග කළා බී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස. දැන් බී වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. එහි අදාළ වගන්ති සඳහන් කරලා නෑ. ඒ වගේම සැකකරුවන් අත්අඩංගුවට ගන්න කිව්වා. එය සිදුකරලත් නෑ. ශ්‍රී ලංකා පොලිසිය අධිකරණය හෑල්ලු කිරීම පුරුද්දක් කරගෙන තිබෙනවා. වෙඩි වැදුණු පුද්ගලයා කවර තරාතිරමක වුවත් ඔහු මනුෂ්‍යයෙක්. ඔහු මැරිලා තියෙනවා.
 
පොලිසියේ කැපවීම
 
මම නීතිපති දෙපාර්තමේන්තුවේ අවුරුදු 15ක් පමණ රාජකාරි කරලා තියෙනවා. අපි දන්නවා අධිකරණ කටයුත්තකට අදාළ ව පොලිස් ස්ථානාධිපතිවරයෙක් අධිකරණයට ගෙන්වාගන්න තියෙන අමාරුව. නමුත් මේ නඩුවට අදාළ ව පොලිස් නීතිඥවරුන් 06ක්, මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු ඉහළ නිලධාරීන් රැසක් අධිකරණයට ඇවිත් ඉන්නවා. මෙම අධිකරණය දුන්නු නියෝගවලට එකඟ නැත්නම් පොලිසිය කළ යුත්තේ ඉහළ අධිකරණයට යන එක. එහෙම නැතුව නියෝග ක්‍රියාත්මක නොකර වෙන වෙන දේවල් කරන්න බෑ. සාක්කිකරුවන්ට පැමිණෙන්න කියලා කළ දැනුම්දීමේ තිබෙන්නේ නාඋල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින්න කියලා නීති අධ්‍යක්ෂ රුවන් ගුණසේකර ඉදිරියේ.’ යැයී නීතිඥ චාරක ධර්මසිරි මෙහිදී ප්‍රකාශ කළේය.
 
‘වරදක් නෑ’
 
ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ මෙම සිදුවීමට අදාළ ව නීතිපතිවරයාට මැදිහත් වන ලෙස මුලින්ම ඉල්ලිම් කර ඇත්තේ අගතියට පත් පාර්ශ්වයෙන්ම බවයි. ‘අගතියට පත් පාර්ශ්වයෙන් නීතිපතිට ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් නීති කොට්ඨාසයට පිටපත් සහිතව පොලිස්පතිට ලිපි දෙකක් යොමු කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය මට දුරකතනයෙන් කතා කරලත් කිව්වා මැදිහත් වෙන්න කියලා. ඒ වගේම මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් ඉල්ලීමක් කරලා තියෙනවා පොලිස්පතිගෙන්. ඒ අනුව තමයි පොලිස් නීති කොට්ඨාසය මේකට ආවේ. මම අද සාක්කි ලැස්තුවක් ඉදිරිපත් කරනවා.
මම ඉදිරිපත් වෙලා ඉන්නේ අධිකරණයට සහාය වෙන්න. මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ තිබෙන විශේෂ විමර්ශන ඒකකය කියන්නේ මේ විදිහේ විමර්ශන කරන එකක් නෙමෙයි. ඒක විනය ගැන කටයුතු කරන එකක්. විමර්ශන නිලධාරීන් කියනවා මේ වන තෙක් කළ විමර්ශන අනුව වරදක් අනාවරණය වෙලා නෑ කියලා. ‘
 
භයානක තත්ත්වයක්
 
නීතිඥ චාරක ධර්මසිරි – මුලින් නාඋල පොලිසියෙන් විමර්ශන කළා. දැන් තෙල්දෙණියට දීලා විමර්ශන කරනවා. රුවන් ගුණසේකර ඩුවල් කැපෑසිටි එකකින් මෙතන ඇවිත් පෙනී සිටිනවා. පොලිසිය නීතිය හෑල්ලු කිරීම දැන් ට්‍රෙන්ඩ් එකක් බවට පත්වෙලා තියෙනවා. මෙහෙම ගියොත් මිනිස්සුත් නීතිය අතට ගන්න භයානක තත්ත්වයක් වෙන්න පුළුවන්. අපට තියෙන්නේ මේ අධිකරණයේ රැකවරණය විතරයි. මේක අපි මෙතනින් නතර කරන්නේ නෑ. අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් මේ ගැන දැනුම් දෙනවා. මේක සීරියස් කේස් එකක්. අපි මේ විදිහට බලාගෙන හිටියොත් ඊළඟ දවසේ කාට තුවක්කුව එල්ලවෙයිද කියලා බරපතළ සැකයක් තිබෙනවා.’
දෙපාර්ශ්වය කරුණු දැක්වීමෙන් පසු රුවන් ගුණසේකර ඉදිරිපත් කළ සාක්කි ලැයිස්තුව අනුව සාක්කි ලබාගැනීමට විරෝධයක් ඇත්දැයි අගතියට පත් පාර්ශ්වයෙන් විමසා සිටි අතර, එලෙස විරෝධයක් නැතැයි දැනුම්දීමෙන් පසු සාක්කි ලබාගැනීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
 
පළමු සාක්කිය
 
නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත මුලින්ම සාක්කි ලබාදුන්නේ අමරතුංගගේ තිස්ස කුමාර නම් පුද්ගලයකු වන අතර, ඔහු මිය ගිය පුද්ගලයාගේ මස්සිනා බව කියැවිණි. රුවන් ගුණසේකර කෙටි ප්‍රශ්න විමසද්දී සාක්කිකරුට දීර්ඝ ලෙස පිළිතුරු දිය හැකි වන පරිදි ප්‍රශ්න විමසන ලෙස මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය. රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබා දුන් තිස්ස කුමාර නම් තරුණයා මෙසේ ද පැවසීය.
‘2022 මාර්තු 03 වෙනිදා උදේ 9.30ට විතර මස්සිනා එක්ක සුනඛයාට බෙහෙත් විදින්න යන්න පිටත් වුණා. මස්සිනා කියන්නේ මියගිය පුද්ගලයා. අපි ත්‍රීරෝද රියෙන් තමයි යන්න හැදුවේ. ත්‍රීරෝද රථයේ රියදුරු අල්ලපු ගෙදර අයියා. මම ත්‍රීවිල් එක හොයන්න යන්න යද්දි මස්සිනා ගෙදර ඉස්සරහා අම්මා එක්ක බල්ලා තියාගෙන හිටියා. අයියා සුනඛයා එක්ක ඇවිත් ත්‍රීරෝද රියට ගොඩ වුණා. ත්‍රීරෝද රිය ඇළහැර පැත්තට මුහුණ දාලා තිබුණේ. නාඋල සිට ඇළහැරට යද්දි ත්‍රීවිල් එක නතර කරලා තිබුණේ වම් පැත්තේ. ත්‍රීවිල් එකේ ඉස්සෙල්ලම සුනඛයා නැග්ගුවා. ඊට පස්සේ අයියා නැග්ගා. ඊට පස්සේ මම නැග්ගා. ත්‍රීරෝද රියෙන් බහින පැත්තෙ මුලින්ම හිටියේ මම.
– – –  දෙසට යන්න ත්‍රීරෝද රථය හරවන්න යද්දි පොලිසියේ දෙන්නෙක් ස්කූටරයකින් ඇවිත් වීල් එක ඉදිරියෙන් හරස් කරලා නතර කළා. පොලිසියේ දෙන්නා ආවේ නාඋල පැත්තේ ඉඳන්. මාව මුලින්ම බැස්සුවා. දෙවැනියට අයියව එළියට ගත්තා. ඊට පස්සේ අපි දෙන්නාව සෝදිසි කළා. පොලිසියේ දෙන්නා හිටියේ නිල ඇඳුමෙන්. අපිව සෝදිසි කරන්න හේතුව දන්නේ නෑ. ඒ වන විට ත්‍රීරෝද රියදුරු ත්‍රීරෝද රියේ ඇතුළෙ ම හිටියේ. සෝදිසි කරලා ඇඳුම් ගලවලා පාතට කරලා ආයේ මාව සෝදිසි කළා.
 
‘වෙඩි තියලා දාපං’
 
සෝදිසි කළාට මොනවත් හොයගත්තේ නෑ.  ඇඳුම් ගලවලා ආයේ සෝදිසි කරන නිසා එහෙම කරන එක ප්‍රතික්ෂේප කළා. එක් නිලධාරියෙක් පරුෂ වචනයක් කියලා වෙඩි තියලා දාපං කිව්වා. ඊට පස්සේ පොලිස් නිලධාරියා යතුරුපැදියට ගිහින් යතුරුපැදියෙන් පිස්ටල් එක අරගෙන ආවා. පිස්ටල් එක අරං වෙඩි තියන්න යද්දි අපේ අම්මා මගේ කොල්ලො දෙන්නට වෙඩිතියන්න එපා කියලා කිව්වා. පොලිසියේ කෙනා එන ගමන් බිමට වෙඩිල්ලක් එල්ල කළා. ඉන්පස්සේ මගේ පිටිපස්සේ හිටපු අයියට වෙඩි තියලා යතුරුපැදියෙන් යන්න ගියා. මස්සිනා බිමට ඇදවැටුණා. ඉන් පස්සේ අයියව ත්‍රීවිල් එකේ දාගෙන රෝහලට ගෙනිච්චා. ඔහු මිය ගියා කියලා පස්සේ ආරංචි වුණා. මම මෘත දේහය දැක්කා. අපි රෝහලට යද්දි අපිට ඉස්සරහින් ඒ පොලිසියෙ දෙන්නා බයික් එකේ ගිය එක මම වීඩියෝ කළා. ’
ඉන් අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ චාරක ධර්මසිරි අධිකරණයේ අවධානයට යොමු කරමින් මෙම සාක්කිකරුගෙන් තවදුරටත් කාරණා කිහිපයක් අනාවරණය කරගැනීමට අත්‍යවශ්‍ය බැවින් ප්‍රශ්න යොමුකිරීමට අවශ්‍ය බව දැන්වීය. ඊට රුවන් ගුණසේකර විරෝධය දැක්වූ අතර, මහේස්ත්‍රාත්වරිය එම ප්‍රශ්න යොමුකිරීමට ඉඩ දුන්නාය.
ඒ අනුව පිළිතුරු ලබාදෙමින් එම සාක්කිකරු (මස්සිනා) මෙසේ ද ප්‍රකාශ කළේය.
 
කටඋත්තරය
 
‘එදා රෝහලට ඇවිත් නාඋල පොලිසියට එන්න කිව්වා. නාඋල පොලිසියෙදි කටඋත්තර ලියාගත්තා. ඒ වෙලාවේ පොලිසියේ ලයිට් තිබ්බේ නෑ. ලියාගත්තු කටඋත්තරය කියවලා දුන්නෙත් නෑ. ආයෙත් මාතලෙනුත් කටඋත්තර ගන්න එනවා කියලා තියාගත්තා. මාතලේ පොලිසියත් ඇවිත් කටඋත්තර ගත්තා. මාතලෙන් කටඋත්තර අරං ඉවර වෙනකොට රෑ 12 විතර වුණා. කටඋත්තරේ කියා දුන්නේ නෑ.’
 
තුන්වැනි සාක්කිය
 
ඉන්පසුව මිය ගිය පුද්ගලයාගේ බිරිඳගේ මව වන ජුවානිස්ගේ සුමනලතා (53) තුන්වැනි සාක්කිකරු ලෙස නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබාදුන්නාය.
‘මියගියේ මගේ බෑණා. ඔහු මගේ දියණිය විවාහ කරගෙන ඉන්නවා. මිය ගිය කෙනාගේ නම ඒ.පී.තුෂාර චන්ද්‍රරත්න. එදා සුනඛයා ගෙනියන්න ත්‍රීවිල් එක ගේන්න පුතා ගියා. ඒ වෙනකං අපි බලං හිටියා. ත්‍රීවිල් එක එද්දි බල්ලව අරගෙන ඉස්සරහට ගියා. ත්‍රීවිල් එකට ගොඩවෙනතුරු මම පාර අයිනේ හිටියා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් නාඋල පැත්තේ ඉඳන් ඇවිත් ත්‍රීවිල් එක ඉස්සරහින් නැවැත්තුවා. පුතයි බෑණයි දෙන්නව ත්‍රීවිල් එකෙන් බැස්සුවා. ඊට පස්සේ එයාලා දෙන්නව සෝදිසි කළා.
 
‘බෑ කියද්දිත් ගත්තා’
 
සෝදිසි කළාට පස්සේ කලිසං පාතට දාලා ටී ෂර්ට් උඩට දාලා දෙවැනි පාර පරීක්ෂා කරන්න ගියා. මේක මහ පාර. මෙතන එහෙම කරන්න එපා කියලා බෑණා කිව්වා. පොලිස් නිලධාරීන් කිව්වා කට වැඩී කියලා. එක පොලිසියෙ එක්කෙනෙක් ස්කූටියේ කැබින් එකේ තිබිලා පිස්තෝලයක් ගත්තා. ඒක අරං එන ගමන් බිමට වෙඩි තිබ්බා. මං කෑගැහුවා වෙඩි තියන්න එපා කියලා. පුතයි බෑණයි මට පිටිපස්සෙන් හිටියේ. දෙවැනි වෙඩිල්ල අපි ඉස්සරහින් තිබ්බා. ඒකෙන් බෑණට තුවාල වුණා. වෙඩි තියලා එයාලා යන්න ගියා. රෝහලට ගෙනිහින් ටික වෙලාවකින් බෑණා නැතිවුණා කියලා ආරංචි වුණා. පුතා ආවේ නෑ බලන්න කියලා ත්‍රීරෝද රියදුරුගේ අම්මා කිව්වා. ඊට පස්සේ මම ගියා පොලිසියට. මගෙනුත් කටඋත්තර ගන්න ඕන කිව්වා. මං කිව්වා දැන් කරුවලයි, මගේ කොලස්ට්‍රෝලුත් වැඩියි ඒ නිසා බෑ කියලා. බෑ කියද්දිත් කටඋත්තර ගත්තා.’
 
දෙවැනි සාක්කිය
 
ඉන්පසුව නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබාදුන්නේ මිය ගිය පුද්ගයාගේ බිරිඳ වන දිනූෂා කුමාරයි.
‘මිය ගිය කෙනා මගේ සැමියා. 2022 මාර්තු 03 වැනිදා මං හිටියේ වැඩ කරන තැන, – – – කොට්ඨාස කලාප කාර්යාලයේ. මගේ මහත්තයට පොලිසියෙන් වෙඩි තිබ්බා කියලා අම්මා කතා කරලා කිව්වා. මම වැඩකරන තැනට දැනුම්දීලා ආවා. මං යද්දි සිද්ධිය වෙච්ච තැනින් හොස්පිටල් අරං ගිහින්. රෝහලේදි කිව්වා නැතිවෙලා කියලා. මම ඉල්ලන්නේ මට සාධාරණයක් කරලා දෙන්න කියලා.’
 
පස්වැනි සාක්කිය
 
ඉන් අනතුරුව සාක්කි ලබාදුන්නේ ඉබ්බාගමුවේ පදිංචි නාලක ප්‍රදීප් කුමාර නම් 33 හැවිරිදි පුද්ගලයෙකි. පස්වැනි සාක්කිකරු ලෙස ඔහු සාක්කි ලබාදුන්නේ ද නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම අනුව ය.
‘මම ටයිල් වැඩ කරන්නේ. මාතලේ ටයිල් වැඩක් කරලා 2022 මාර්තු 03 වෙනිදා අඹනට යන්න ගියා සල්ලි ගන්න. යතුරුපැදියෙන් මමයි වැඩකරපු අනිත් කෙනයි ගියේ. අනිත් කෙනා රුවන් කියලා කෙනෙක්. සම්පූර්ණ නම මතක නෑ. මම ඒ පැත්තට ගියේ පළවෙනි පාරට. පාර අහගෙන අහගෙන තමයි ගියේ. මම යනකොට සිද්ධිය වුණ තැන දුරට පේනවා. එතන බල්ලෙක් හිටියා. පොලිසියේ දෙන්නෙක් හිටියා. ඒ නිසා බලාගෙන ගියා මොකද කියලා.
 
‘අත දන්න පටං ගත්තා’
 
ඒ සිද්ධිය වෙන්නේ පාරේ වම් අත පැත්තේ. පොලිසියේ දෙන්නා නිල ඇඳුමෙන් හිටියේ. ත්‍රීවිල් එක හරහට බයික් එකක් දාලා තිබ්බා. ගැහැනු කෙනෙක් එළියේ හිටියා. තවත් එක්කෙනෙක් එළියේ හිටියා. කලබලේ දඟලනවා වගේ හිටියේ. කෑගහන සද්දේ තිබ්බා. කවුද කෑගැහුවේ කියලා හරියට කියන්න බෑ. ඉස්සරහට ටික දුරක් යද්දි වෙඩි සද්දයක් ආවා. ටික දුරක් යද්දි අත දන්න පටං ගත්තා. අත බලනකොට උණ්ඩ කෑල්ලක් ඇලිලා තිබුණා. ඊයම් කෑල්ලක් වගේ ඇලිලා තිබ්බේ.
යතුරුපැදිය පැදගෙන ගියේ මම. වම් අතෙයි දැවිල්ල ආවේ. මං බලනකොට අතෙන් ලේ එනවා. බයිසිකලෙන් බැහැලා එතන හිටපු පොලිසියේ කෙනාට කිව්වා. එහා පැත්තේ එක්කෙනෙක් වැටිලා හිටියා. මට වෙඩි වැදුණා කියලා පොලිසියට ඊයම් කෑල්ල බාරදුන්නා.  මම තුවාලයට ගෙදර ගිහින් බෙහෙත් දාගත්තා.’
 
ව්‍යාජ සාක්කිකරුවෙක් ද?
 
මෙම සාක්කිකරු පොලිසිය විසින් හඳුන්වා දුන් ව්‍යාජ සාක්කිකරුවකු ද යන්න පරීක්ෂා කිරීමට ඔහුගෙන් මෙම මරණයට අදාළ ව තවත් කරුණු අනාවරණය කර ගත යුතු බව අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ චාරක ධර්මසිරි ප්‍රකාශ කළ අතර, ඊට ඉඩ දිය නොහැකි බව නීතිඥ රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය. නීතිඥවරයකු ලෙස තමන්ට ඊට අවස්ථාව නැත්නම් නීතිඥවරයකු ලෙස රුවන් ගුණසේකරට ද ඊට අවස්ථාව ලබාදීමට හැකියාවක් නැති බව නීතිඥවරයා ප්‍රකාශ කළේය.
 
ළබැඳියාවන් අතර ගැටුමක්
 
පුද්ගලයන් මරා දමා සටහන් පොත් වෙනස් කළ ඉතිහාසයක් පොලිසියට ඇති බවත්, මෙය ද එවැන්නක්දැයි සැකසහිත සිදුවීමක් බවත්, පොලිසිය යම් යම් කරුණු වසං කරන බවත්, පොලිස් නිලධාරියකු වන රුවන් ගුණසේකර නීතිඥවරයකු ලෙස පැමිණ ප්‍රශ්න ඇසීම ළබැඳියාවන් අතර ගැටුමක් ඇති කරවන බවත් නීතිඥවරයා සඳහන් කළේය.
අධිකරණයේ අවසරය මත යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්කි ලබාදෙමින් සිටි පුද්ගලයා පැවසුවේ වෙඩි සද්දයෙන් පසු අතේ දැවිල්ල ආ බවයි.  දැවිල්ල ආවේ පළවෙනි වෙඩිල්ලෙන් පසුව බවත්, ගෙදර ගොස් ඩිස්පැන්සරියකින් බෙහෙත් දමා ගත් බවත්, සිද්ධියෙන් පසු කටඋත්තර ගැනීම සඳහා පොලිසියෙන් කැඳවීමක් ලැබුණු බවත් ඔහු ප්‍රකාශ කළේය.
 
යතුරුපැදියේ පිටුපස පුද්ගලයා
 
ඔහු සමඟ යතුරු පැදියේ පිටුපසින් ගිය බව කියන රුවන්සිරි පුෂ්පකුමාර නම් 42 හැවිරිදි ගොකරැල්ලේ පුද්ගලයකු ඉන් අනතුරුව නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබාදුන්නේය.
‘මම ටයිල් වැඩ කරන්නේ. මාතලේ වැඩක් ඉවර වෙලා සල්ලි ගන්න අඹනට එන්න කිව්වා. අඹනට යන්න මාතලේ ඉඳන් පිටත් වුණා. මාත් එක්ක වැඩ කරන අනිත් මල්ලිගේ යතුරුපැදියෙන් ගියේ. මම ඒ අයට කියන්නේ රාල කියලා. අපි යද්දි පොලිසියේ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගලක් අරං වෙඩි තියන්න කියලා ඉස්සරහට ආවා. ඒ රාලහාමි මහත්තයා බිමට වෙඩි තිබ්බා. ඊට පස්සේ තව වෙඩිල්ලක් පපුවට තිබ්බා.’
 
කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට්
 
එම සාක්කිකරුගෙන් නීතිඥවරයාට ඇති ප්‍රශ්න යොමුකිරීමට සූදානම් වෙද්දී නීතිඥවරයා හරස් ප්‍රශ්න ස්වරූපයෙන් ප්‍රශ්න අසන බවට සටහන් කරන්නැයි නීතිඥ රුවන් ගුණසේකර ඉල්ලා සිටියේය. රුවන් ගුණසේකරගේ හැසිරීම කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් බවට ද සටහන් තබා ගන්නැයි නීතිඥවරයා ප්‍රකාශ කළේය. සාක්කි ලබාදෙමින් එම පුද්ගලයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘මම වැඩ කරපු සල්ලි ගන්න ගියේ. මං දැක්කා වෙඩි තියනවා. පළවෙනි වෙඩිල්ල තියද්දියි මං එතනින් පාස් වුණේ. මුලින්ම වෙඩිල්ල තිබ්බේ බිමට. මීටර් 20ක් 30ක් යද්දි තමයි දෙවැනි වෙඩිල්ල තිබ්බේ. ඒක තිබ්බේ පපුවට. මං එක්ක ගියපු කෙනාගේ අතට කෑල්ලක් වැදුණේ පළවෙනි වෙඩිල්ලේ. දෙවැනි වෙඩිල්ල පපුවට තියනවා දැක්කා. යතුරු පැදිය නතර කරලා ආයිත් සල්ලි ගන්න ගියා. සල්ලි ගන්න ගිය කෙනා පොලිසියට කිව්වා කියලා මං හිතන්නේ. සතියකට විතර පස්සේ කටඋත්තර ගන්න එන්න කිව්වා.’
එම සාක්කියෙන් පසු පස්වරු 1.00ට අධිකරණ කටයුතු පැය බාගයකට කල් තැබිණි. නැවත පස්වරු 1.35ට අධිකරණ කටයුතු ආරම්භ කළ අතර, පස්වරු 1.50ට පමණ නැවත මරණ පරීක්ෂණයේ සාක්කි විභාගය ඇරැඹිණි. සාක්කි අංක 06 ලෙස නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත ඊළඟට සාක්කි ලබාදුන්නේ 58 හැවිරිදි ජයතිලක බණ්ඩා නම් අඹන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
 
වෙඩි 01යි
 
‘සිද්ධය වෙච්ච දවසේ අඹන සේනාගම නිවසේ සිට නාඋලට බඩු ගෙනියන්න ආවා. අඹන සිට නාඋලට එන්න තියෙන අඹන හංදියෙන් හැරිලා ඇළහැර පාරේ ආවේ. මම නාඋලට එද්දි – – – හංදියේ කන්ද පාමුල මම එනකොට පොලිසියෙන් මහත්තුරු වගයක් පොර බැදුවා. මං එද්දි දකුණු පැත්තේ පොලිසියේ ඇඳුමෙන් දෙන්නෙක් හිටියා. අනිත් මහත්තයා සිවිල් හිටියේ. ඒ තුන්දෙනා තමයි පොර බැදුවේ. ඒ වෙලාවේ ත්‍රීවිල් එකක්, බයිසිකල් එකක් වගේ තිබ්බා, හරියට මතක නෑ. මම බයිසිකලය ස්ලෝ කරලා බැලුවා. වෙන මුකුත් මං දැක්කේ නෑ. මං ටවුමට ආවා. මට වෙඩි ශබ්දයක් වගේ ඇහුණා. එච්චරයි. වෙඩි 01යි ඇහුණේ.’
ඉන්පසුව මරණ පරීක්ෂණයේ සාක්කි ලබාදුන්නේ මෙම සිද්ධියට අදාළ පොලිස් නිලධාරියෙකි. මේ වන විට මාතලේ පොලිසියේ සේවය කරන, එම සිදුවීම සිදු වන අවස්ථාව වන විට නාඋල පොලිසියේ සේවය කරමින් සිටි පොලිස් සැරයන් 36705 අංක දරන විජේතුංග බණ්ඩාර නම් 56 හැවිරිදි පොලිස් නිලධාරියා නීතිඥ රුවන් ගුණසේකරගේ මෙහෙයවීම මත සාක්කි ලබාදෙමින් මෙසේ ද පැවසීය.
 
පොලිසියේ සාක්කි
 
‘1988 දෙසැම්බර් 08 වැනිදා මම පොලිසියට බැඳුණේ. දැන් අවුරුදු 34කට ආසන්න වෙනවා. 2022 මාර්තු 03 නාඋල පොලිසියට අනුයුක්තවයි රාජකාරි කළේ. එදා දිවා ජංගම රාජකාරි පැවරිලා තිබුණා.  මම උදේ 6.35ට රාජකාරියට වාර්තා කළා. ස්ථානාධිපතිතුමා විසින් ලිඛිතව නියෝග ලබා දී තිබුණා එම රාජකාරි සඳහා.’
 
ඉදිරි ක්‍රියාමාර්ග අවශ්‍යයි
 
එම නියෝගයේ පිටපතක් පැ.09 ලෙස ඉදිරිපත් කරන බව රුවන් ගුණසේකර අධිකරණයට දැනුම් දුන්නේය. එම අවස්ථාවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ චාරක ධර්මසිරි ප්‍රකාශ කළේ නාඋල පොලිසියේ පොත් ඉදිරිපත් කරමින් පොලිස් නිලධාරියාගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමට උත්සාහ කිරීම ළබැඳියාවන් අතර ගැටුමක් ඇති කරන බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.
කෙසේ වෙතත් ඉන්පසු තොරතුරු සටහන් පොත ලබාදී අදාළ නියෝගවල පළමු නියෝගය සහ පස්වැනි නියෝගය කියවන ලෙස රුවන් ගුණසේකර දැනුම් දුන් අතර, ඒ අනුව එම නියෝගය කියැවීම සිදුවිය.
‘මා පිටවීමේ සටහන් යොදලා පොලිස් සැරයන් 4832 ජනක සහ පොලිස් සැරයන් 27076 වීරසේකර යන නිලධාරීන් සමග ඩබ්ලිව් පී ඒබීබී 2332 දරණ ත්‍රීරෝද රියෙන් අංක 02 නිල ඇඳුමෙන් යන්න ගියා. 600837 අංක දරණ පිස්තෝලයක් පතුරම් 10ක් සහිත පතුරම් ගැබ් එකක් මා රැගෙන ගියා. යන්න යද්දී පොලිස් සැරයන් තෙන්නකෝන් නිලධාරියා දැනුම් දුන්නා, නාඋල පොලිස් ස්ථානයේ නඩු මෙහෙයුම් අංශයේ සැකකරුවකු අධිකරණයට රැගෙන යෑමට ජංගම රථය ලබාගැනීමට අවශ්‍ය බව. ඒ ගැන ස්ථානාධිපති දැනුවත් කළ බවත් ඔහු කිව්වා. ඉන්පසු ස්ථානාධිපති හමුවී මේ ගැන දැනුම් දුන්නා. ඉන් අනතුරුව පොලිස් සැරයන් ජනක නිලධාරියා සමග යතුරුපැදියෙන් සංචාරය කරන්න නියෝග ලබාදුන්නා.
ගිනිඅවිය සහ පතුරම් මා සතුව තිබ්බේ. මම පිස්තෝල රඳවනය ඉණ බඳපටියේ රඳවාගෙන තමයි පිටව ගියේ. අපි මුලින්ම – – –  සහ – – – ප්‍රදේශවලට  සංචාරය කළා. එහෙට ගියේ කිහිපදෙනකු අත්අඩංගුවට ගන්න. ඒත් අත්අඩංගුවට ගත්තේ නෑ. ඉන්පස්සේ නාඋල නගරයේ හෝටලයකින් උදේ ආහාරය ලබාගත්තා. කෑම කාලා ඉවර වෙලා — ප්‍රදේශයට සංචාරය කරන්න තීරණය කළා. මම කාලා එද්දි තොරතුරක් ලබා දුන්නා, නාඋල ඇළහැර – – – කන්ද පාමුල පුද්ගලයන් දෙන්නෙක් ත්‍රීවිල් එකකින් විෂ මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් අලෙවි කරනවා කියලා. එම තොරතුරු ලැබුණු බවට මගේ සාක්කු සටහන් පොතේ සටහන් යොදලා තිබෙනවා. මාර්තු 03 පැ09.45ට නාඋල ඇළහැර මාර්ගයේදී මෙම සටහන යොදලා තියෙනවා. (සාක්කු සටහන් පොත අධිකරණයේ අවධානයට යොමු කරයි.)
එම අවස්ථාවේ මා සමඟ සිටි පොලිස් සැරයන් ජනක නිලධාරියාට දැනුම් දුන්නා ඒක පරීක්ෂා කරන්න කන්ද පාමුලට යමු කියලා. ඒ අනුව ඒ දෙසට ගියා. නාඋල සිට ඇළහැර මාර්ගයේ ගමන් කළා. – – –  කන්ද පාමුල පල්ලම බහිනවත් එක්කම මීටර් 75ක් පමණ දුරින් මට තොරතුරු දුන් විදිහටම දෙන්නෙක් ත්‍රීවිල් එකට නගිනවා දැක්කා. ත්‍රීවිල් එක පාරේ වම් පැත්තේ නවත්වලා තිබ්බේ. පාරේ වම් පැත්තේ ඇළහැර දෙසට මුහුණලා නතර කර තිබුණේ. පුද්ගලයන් දෙන්නෙක් දුවගෙන ඇවිත් වීල් එකට නැග්ගා. මම ඒ අවස්ථාවේ සැරයන් ජනකට දැනුම් දුන්නා ඉක්මනින් යතුරුපැදිය ගිහින් ත්‍රීවිල් එක ඉදිරියේ නතර කරන්න කියලා. ත්‍රීවිල් එකට ඉස්සෙල්ල නැංග කෙනා අඳුරන්නේ නෑ. දෙවැනියට නැග්ගේ තිස්ස කියලා මම අඳුනගත්තා.
ජනක නිලධාරියාට මං කිව්වා අනිත් පැත්තෙන් එන්න කියලා. මං යතුරුපැදිය වම් පසින් ත්‍රීවිල් එකේ පිටුපසින්  පරීක්ෂා කරන්න ළඟා වුණා. ජනක නිලධාරියා ත්‍රීවිල් එකේ වම් පැත්තෙන් ඉන්න කෙනාට බහින්න කියලා කතා කළා. ඔහුව පරීක්ෂා කරන්න කියලා මං දැනුම් දුන්නා. ඒ වෙලාවේ ත්‍රීවිල් එකේ පිටිපස්සේ දෙන්නයි රියදුරුයි එක්ක 03යි. මුලින්ම ත්‍රීවිල් එකෙන් බිමට බැස්සෙ තිස්ස කියන කෙනා. තිස්ස කියන කෙනාව පරීක්ෂා කරන්න ජනකට කියලා මං දෙවැනි පුද්ගලයා පරීක්ෂා කරන්න කතා කළා. එයා ඒක ප්‍රතික්ෂේප කළා. අරයත් පරීක්ෂා කරන්න ඉඩදෙනවා, ඔයත් ඉඩදෙන්න කියලා පිටට තට්ටුවක් දාලා මං කිව්වා. එයා බයවෙලා වගේ කලබල වෙලා වගේ සාක්කුවට අත දාගෙන බැස්සා.
ඒ වෙනකොට මගේ අවිය තිබුණේ මගේ දකුණුපස පිස්තෝල රඳවනයේ. මම වම් පැත්තේ සාක්කුව පරීක්ෂා කළා. එහි ලොකු ජංගම දුරකතනයක් තිබුණා. දකුණු පස සාක්කුව පරීක්ෂා කරන්න දුන්නේ නෑ. ඔහු කලිසම් සාක්කුවේ අත දාගෙන හිටියේ. ඔහුගේ විරෝධය මත දකුණු සාක්කුවට අත දැම්මා. එවිට ඔහු මා සමඟ පොරබැදුවා. ඔහුගේ සාක්කුවේ තිබිලා යම් දෙයක් අහුවුණා. පොර බදද්දි කොටසක් බිමට වැටුණා. ඒක ගන්න බිමට නැමෙනකොටම මගේ යටි බඩට දණිස්සෙන් ඇන්නා. ඊටපස්සේ එකපාරටම පිස්තෝලය උදුරලා ගත්තා. යටි බඩට වැදුණු නිසා මං ඒ වන විට දැඩි වේදනාවෙන් සිටියේ. ඒ වන විට රියදුරා රියදුරු අසුනේ වාඩිවෙලා හිටියේ. තිස්ස කියන පුද්ගලයා ඒ ආසන්නයේ ත්‍රීවිල් එකේ ඉදිරිපිටට වෙන්න සයිඩ් එකේ හිටියා.
පිස්තෝලය උදුරගත්තේ තුන්වැනි පුද්ගලයා. ඒ අවස්ථාවෙදි මා සමග සිටි ජනක නිලධාරියා එකපාරටම රාල කියලා එතනට පැනලා. රාල කියන පුද්ගලයා දකුණු සාක්කුවේ අත දැමුවට පස්සේ අහුවුණේ හෙරොයින් කියන මත්ද්‍රව්‍ය. ඉන් කොටසක් තමයි බිම වැටුණේ. බිම වැටුණු ඉතුරුටිකත් මං බාරයට ගත්තා. ඒ අවස්ථාවෙදි ජනක නිලධාරියාගේ අතිනුත් පිස්තෝලය උදුරගෙන පැන්නා. ජනක කියන නිලධාරියා වෙපන් එක ලෝඩ් කරලා බිමට වෙඩි තිබ්බා, දඟලන්න එපා කියලා. එයා ඇහුවේ නැතුව පොර අල්ලන්න පටංගත්තා.’
 
සිද්ධියට අදාළ ප්‍රශ්න
 
පිස්තෝලයක් වෙඩි තැබීමට සූදානම් කරන තුරු ආරක්ෂිත ද යන්න සහ ඒ ආශ්‍රිත ව රුවන් ගුණසේකර ප්‍රශ්න කරද්දී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා නැගී සිට ඊට විරෝධය පළ කළ අතර, මරණ පරීක්ෂණයේදී මෙම නිලධාරියාගෙන් සිදුවීම ගැන ප්‍රශ්න කරනවා වෙනුවට මතයක් විමසීම වැරදි බව ප්‍රකාශ කළේය. මෙම නිලධාරියා ගිනිඅවි සම්බන්ධ විශේෂඥයකු නොවන බැවින් විශේෂඥ මත මෙම නිලධාරියාගෙන් විමසීමෙන් ඵලක් නැති බවත්, සිද්ධියට අදාළ ප්‍රශ්න පමණක් අසන ලෙසත් මහේස්ත්‍රාත්වරිය රුවන් ගුණසේකරට දැනුම් දුන්නේය.
ඉන්පසු නැවතත් සාක්කි ලබාදෙමින් පොලිස් නිලධාරියා මෙසේ ද ප්‍රකාශ කළේය.
‘එකපාරට නැවත වතාවක් වෙඩිල්ලක් පත්තු වුණා. ඒකෙන් රාල කියන පුද්ගලයා තුවාල වුණා. රාල තමයි පිස්තෝලය උදුරගන්න පොරබැදුවේ. ඒ වෙලාවේ 10ට විතර ඇති. ඒ වෙලාවේ අවාසනාවන්ත සිද්ධියක් වුණා. හොස්පිටල් එකට තුවාලකරු අරං යන්න කියලා ත්‍රීවිල් රියදුරුට කිව්වා. ඒ වෙලාවේ එතන ආරක්ෂාව ප්‍රශ්නයක් නිසා අපි ඉස්සෙල්ලා ආවා. මම ඒ වෙලාවේ ස්ථානයට ඇවිත් පොලිස් ස්ථානාධිපතිතුමා දැනුවත් කරලා රෝහලට බලන්න යවන්න කිව්වා. පිස්තෝලය උදුරාගන්න වෙලාවේ පිස්තෝලය තිබුණේ රඳවනයේ.’
 
රහස් සංඥා
 
ඉන් අනතුරුව පිස්තෝල රඳවනය පරීක්ෂා කිරීමට නඩු භාණ්ඩ විවෘත කරද්දී ඊට අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා විරෝධය පළ කළ අතර, අදාළ නඩු භාණ්ඩය විවෘත කර පෙන්වා සිටීමට අධිකරණයේ අවසරය ලැබිණි. එය පරීක්ෂා කර බලා පොර බැදූ අවස්ථාවේ ඉරුණු බව කියමින් තැනක් පොලිස් සැරයන්වරයා පෙන්වා සිටියේය. පෙන්වා සිටිමින් කරුණු විස්තර කියද්දී පරීක්ෂණ බාරව සිටි සහකාර පොලිස් අධිකාරීවරයා නැගිට ගොස් විමර්ශන කරන ස්ථානාධිපතිට යමක් ප්‍රකාශ කළ අතර, එවිට එම ස්ථානාධිපතිවරයා සාක්කිකාර පොලිස් සැරයන්වරයාට රහසේ අතින් සංඥාවක් කරමින් නතර කරන ලෙස ඉඟිකරනු දක්නට ලැබිණි.
එම නඩු භාණ්ඩ පරීක්ෂා කර නැවත රුවන් ගුණසේකර ප්‍රශ්න විමසද්දී නඩු විභාගයේදී කරන කටයුතු සහ ඇසිය යුතු ප්‍රශ්න රුවන් ගුණසේකර මෙම අවස්ථාවේදී විමසන බවත්, මෙය මරණ පරීක්ෂණයක් බැවින් සාක්කි මෙහෙයවිය යුත්තේ මරණ පරීක්ෂණය සඳහා පමණක් බවත් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.
ඔහුගේ හැසිරීමෙන් නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය වන බවත් නීතිඥවරයා කීවේය. ඒ අනුව මරණයට හේතුව අනාවරණය කරගැනීමට අදාළ දේවල් පමණක් විමසන ලෙස අධිකරණය දැනුම් දුන්නේය. රුවන් ගුණසේකර සාක්කි මෙහෙයවීම අවසන් කිරීමෙන් පසු අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයේ අවසර ඇතිව යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් සැරයන්වරයා කීවේ තොරතුරු ලැබුණේ තොරතුරුකරුවකුගෙන් බවයි. අපරාධ සටහන් පොත් රැගෙන නොගිය බවත්, සිදුවීමෙන් පසු නැවත එද්දී රත්තරන් බඩු කඩයකින් හෙරොයින් කිරාගත් බවත් ප්‍රකාශ කළ අතර, එම වේලාව මතක නැති බව සඳහන් කළේය.
ඒ අනුව තොරතුරු පොත පරීක්ෂා කර වේලාව ප්‍රකාශ කරන ලෙස දැනුම් දුන් අතර, තොරතුරු පොත මිනිත්තු 7ක් පමණ පරීක්ෂා කර බලා ඊට අදාළ වේලාව සටහන් කර නැතැයි දැනුම් දුන්නේය. මෙතරම් සිදුවීමක් සිදුවී තිබියදී ජුවලරි කඩයකට ගියාදැයි ඇසූ විට පොලිස් සැරයන්වරයා කීවේ ස්ථානාධිපතිට දැනුම් දී එහි ගිය බවයි. ස්ථානාධිපතිට සිද්ධිය ගැන දුරකතනයෙන් දැනුම් දුන්නාදැයි ඇසූ විට එලෙස දුරකතනයෙන් දැනුම් දුන් බව ඔහු ප්‍රකාශ කළේය. ඉන්පසු සටහන් දැමුවේ පොලිසියට පැමිණ බවත්, නැවත පොලිසියට පැමිණියේ 11.05ට පමණ බවට සටහන් වී ඇති බවත් සැරයන්වරයා ප්‍රකාශ කළේය.
 
ටිපෙක්ස්
 
එම තොරතුරු පොතේ ඇතැම් ස්ථාන ටිපෙක්ස් කර ඇති බව අධිකරණයට දැනුම් දුන් අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා, මෙම තොරතුරු පොත නැවත පොලිසිය අතට පත්වුවහොත් තවත් වෙනස්කම් කරනු ඇතැයි සැකසහිත බැවින් එය අධිකරණය බාරයේ තබාගන්නා ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට විරෝධය නොදක්වන බව රුවන් ගුණසේකර ද ප්‍රකාශ කළ අතර, ඒ අනුව එම තොරතුරු පොත අධිකරණය බාරයේ තබාගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
වැඩිදුර සාක්කි මෙහෙයවීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස නීතිඥ රුවන් ගුණසේකර ඉල්ලා සිටි අතර, ඒ අනුව වැඩිදුර මරණ පරීක්ෂණයේ සාක්කි විභාගය ජනවාරි 11 තෙක් කල් තැබිණි. එදිනට මෙම විමර්ශනවලට අදාළ ව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥවරුන් වන චාරක ධර්මසිරි, සුරේන් ඩී පෙරේරා, හෂානි පතිරණ, මාධව ඊරියගම සහ මනුෂිකා කුරේ පෙනී සිටි අතර, මරණ පරීක්ෂණයේ සාක්කි මෙහෙයවීම සඳහා පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර, මධ්‍යම පළාත් නීති ඒකකයේ සහකාර පොලිස් අධිකාරී නීතිඥ නිලුපුල් සෝමසිංහ, පොලිස් නීති කොට්ඨාසයේ නීතිය බල ගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ වසන්ත කුමාර, මධ්‍යම පළාත් නීති ඒකකයේ නීතිඥ දිලීප මාගම්මන සහ නීතිඥ දයා කුමාරසිංහ ඇතුළු නීතිඥවරු පිරිසක් අධිකරණයේ පෙනී සිටියහ.

දියගම ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ක්‍රිකට් ගස්සවන්න යයි : ආදායම් වැඩිකරන්නයි ඕනෙ – අධ්‍යක්ෂ ජනරාල්

හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ මුල් ක්‍රීඩාංගනය මැද හාරා ක්‍රිකට් තණතීරුවක් ඉදිකිරීමට අදාළ මුල් පියවර තැබීමට ක්‍රීඩා අමාත්‍යංශය ඊයේ (14) කටයුතු කළේය.

පසුව අද (15) දිනයේ එම ක්‍රීඩා පිටියේ ජාත්‍යන්තර පාසැල් ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීම නිසා එහි ගිය මලල ක්‍රීඩා නිලධාරීන් මේ සිදුවීම දැක, මලල ක්‍රීඩා සංගමය දැනුවත් කිරීම හේතුවෙන් අද උදෑසන යළිත් එම ක්‍රිකට් තණතීරුව ඉදිකිරීම තාවකාලිකව නතර කිරීමට කටයතු කර ඇත.

ලංකාවට ම දෙකයි

මෙහි කනගාටුදායක සිදුවීම නම් සුගතදාස ක්‍රීඩාංගනය හැරුණු විට, ලංකාවට ඇති එක ම කෘත්‍රිම ධාවන පථයක් සහිත ක්‍රීඩාංගනය මෙය පමණක් වීමයි. එසේ තිබියදී ක්‍රීඩා අමාත්‍යංශය මලල ක්‍රීඩාවට මෙසේ සැලකීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ බහුතරයකගේ අප්‍රසාදයට හේතු වී තිබේ.

ලෝකයේ අංක එක

මෙම දියගම ක්‍රීඩා සංකීර්ණය තුළ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සඳහා ද කොටසක් වෙන්කර ඉදිකිරීම් අඩක් සිදුකර තිබේ. එවැනි තත්ත්වයක් තිබියදී මලල ක්‍රීඩාවට වෙන්ව ඇති ජාත්‍යන්තර තරග පවා පවත්වා ඇති මෙම ක්‍රීඩාංගනය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට වෙන්කිරීම විහිළු සහගත බව ජ්‍යේෂ්ඨ ක්‍රීඩා පුහුණුකරුවෝ අවධාරණය කරති. අද උදෑසන මෙම දර්ශනය දුටු මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු පැවසුවේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියක ක්‍රිකට් තණතීරුවක් ඉදිකිරිම ලෝකයේ මෙතෙක් සිදුව නොමැති දෙයක් බවයි.

ඇමතිගේ අදහස

පසුගිය ජුනි 15දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට ගිය ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති රොෂාන් රණසිංහ පවසා තිබුණේ මෙහි වර්තමාන තත්ත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට බලපොරොත්තු වන බවත්, ඉදිරියේදී එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට බාරදී හෝ රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් යටතේ හෝ සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ය.

වගකීම අමාත්‍යාංශය අතේ

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ දියගම ක්‍රීඩා සංකීර්ණයේ සියලු පරිපාලන කටයුතු මේ වන විට සිදුවන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ සෘජු මෙහෙයවීම යටතේ වන බවයි.

‘මම දන්නෙ නෑ’

ඒ අනුව එම කටයුතු බාර ව සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) දීපාල් සිරිබද්දනගෙන් thetime.lk කළ විමසීමේදී ඔහු සඳහන් කළේ තමන් එවැන්නක් පිළිබඳව නොදන්නා බවයි.

‘සල්ලි හොයන්න ඕනෙ’

ඉන්පසු දියගම ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරිගෙන් thetime.lk කළ විමසීමේදී ඔහු එවැනි උත්සාහයක් දැරූ බව තහවුරු කළේය. වල් වැදෙමින් පවතින එම ස්ථානය පෞද්ගලික සමාගම්වල උත්සව අවස්ථා සඳහා ලබාදී ආදායම් ඉපයීමේ අරමුණින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තණතීරුවක් ඉදිකිරීමට සැලසුම් කළ බව ද ඔහු සඳහන් කළේය.

එමගින් අදායම් වැඩිකරගැනීම අරමුණ වුවද, මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු තමන් අමතා, එය දැනට ඉදි කර ඇති ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සිදු කිරීම වඩා සුදුසු බව දැනුම් දුන් බවත්, ඒ අනුව අදාළ කටයුතු නතර කළ බවත් අප වැඩිදුරටත් කළ විමසීමට පිළිතුරු දෙමින් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා පැවසීය.

ඉස්සරහට බලමු

මෙසේ අදාළ ක්‍රීඩා සංකීර්ණයේ කොටස් වල්වැදීමට ඉඩ දීම වෙනුවට එය ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා යොදාගත නොහැකි දැයි විමසීමේදී ඔහු පැවසුවේ තමන් මෙම තනතුර බාරගෙන තවමත් මාස 2ක් පමණක් බවත්, එම කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ය.

මලල ක්‍රීඩා පිටිය මැද හාරා ඇති ආකාරය
හමුදා සෙබළුන් යොදවා පිටිය මැද හාරන අයුරු

ධර්මසිරි නම් සුසමාදර්ශීය මිනිසා: වම් ඉවුරේ හංස විල (දෙසැ. 21 දා)

0

1974 ආචාර්‍ය ධර්මසේන පතිරාජ ‘අහස් ගව්ව’ මගින් ලාංකේය සිනමාවේ ලෙස්ටෝරියානු සුසමාදර්ශය පරිවර්තනය කරමින් නව අඩවියකට චිත්‍රපටය ගෙන යනවා. ඒ මාත්‍රාව මගින් අපේ සමාජයේ දේශපාලන ආර්තිකය සිනමානුරූපී ව පරීක්ෂා කෙරෙනවා. එතනින් එළඹෙන දනව්ව තුළ ධර්මසිරි බණඩාරනායක, වසන්ත ඔබේසේකර, එච්. ඩී. ප්‍රේමරත්න අතුරු සුසමාදර්ශ කිහිපයක් ගැඹුරු මුද්‍රා තබනවා. සිනමා අධ්‍යක්ෂණය, රංගනය, වේදිකා නාට්‍ය, වාර්තා චිත්‍රපටය, පසුබිම් කතනය වගේ ම සමාජ දේශපාලන ක්‍රියාව හා මැදිහත් වීම ආදී අඩවි රැසක ධර්මසිරිගේ සලකුණ බලගතු ලෙස සටහන් වෙනවා. ඊට අමතර ව ඔහු උතුර හා දමිළ හදවත් සමග ලේ නෑයෙකු සේ හිට ගන්නවා. වළක්වා ගත හැකි ව තිබූ අර්තුරෝ උයීලාගේ නැගීම් දුර සිට ම දැක යෝධයෙකු සේ මැදිහත් වෙනවා. ඒ තමයි ධර්මසිරි අයියා. දෙසැම්බර් 21 දා තරංගනී පරිශ්‍රයේ දී ඔබට දිගාසිරි පතා වැළඳ ගන්න
එන්න.

හිනිඳුම සුනිල් සෙනෙවි

බන්ධනාගාරය ඇත්තේ පිටත නොව අප තුළමය Love and Lockdown

0

“ලොක්” යනු අගුලක් හෝ වෙනත් තද කිරීමේ යාන්ත්‍රණයක් හෝ එවැනි තදකිරීමකින් වටවෙච්ච අවකාශයක් සඳහා වූ පැරණි ජර්මානු වචනයක් . නූතන ඉංග්‍රීසිය තුළ අගුල ඇළක බාධකයක් වන්නේ එනිසයි. “ඇතුළට දමා අගුලු දැමීම (lock in)” (කුටියක සිටින පුද්ගලයෙකු) හෝ “සිරගත කිරීම (lock up)” (මුලින් කුටිය හෝ දොර ම) 15 වන සහ 16 වන සියවස් වලට අයත් වේ.
“ලොක්ඩවුන්” කියන්නේ බන්ධනාගාරවල හෝ මනෝචිකිත්සක රෝහල්වල රැඳවියන් දීර්ඝ සිරගත කිරීමක් අදහස් කිරීමට පටන් ගත් එකක්. ඉන් පසුව ආරක්ෂාව සඳහා බලහත්කාරයෙන් හුදකලා කිරීමේ කටයුත්ත සඳහා මෙම ලොක්ඩවුන් යන වචනය භාවිත කළේ 1970 ගණන් වලින් පසුවයි. මුලින්, 19 වැනි ශතවර්ෂයේ ඇමරිකාවේ, “ලොක්ඩවුන්” ලෙස හැඳින්වූයේ ගඟෙන් දැව ප්‍රවාහනය කරන විට ඒවා ගඟට වැටීම වළක්වනු පිණිස ඉන්නක් ගසා තදකර තැබීම. පසුගිය කොරෝනා සමය තුළ අපේ සිරගත වීම නම් කර ඇත්තේ වරක් එළිමහනේ ගමන් කිරීමේ විශ්වසනීයත්වය සහතික කළ යාන්ත්‍රණයක් මත වීම විස්මිත සරදමක්.

කොහොම වුණත් කොරෝනා සමඟ යළි කරළියට පැමිණි මේ ලොක්ඩවුන් යන වචනය කලාකරුවෝ සිය නිර්මාණ තුළට යොදාගත්තා. ඉන්දියානු කවියෙකු වූ ශුබ්රාෂංකර් දාස් (Shubrashankar Das) ඔහුගේ an anachronous shower නම් කාව්‍ය සංග්‍රහය තුළ මේ වචනය යොදාගන්නේ මිනිසාගේ අභ්‍යන්තර සිරගත වීම සංකේතවත් කරන්න. එම්. සෆීර් නැමැති ලංකාවේ ප්‍රවීණ නාට්‍යකරුවා Love and Lockdown නමින් වේදිකා නාට්‍යයක් කරමින් මේ සංකල්පය තවත් මාවතකට ගෙනයන අයුරු ඊයේ දැකගන්න ලැබුණා.

ලවු ඇන්ඩ් ලොක්ඩවුන් යනු ප්‍රධාන ඉංග්‍රීසි සහ සිංහල යන ද්වි භාෂා මිශ්‍ර කරමින් කරන ලද මොනොඩ්‍රාමා (ඒකපාත්‍ර) ශෛලියට අයත් වේදිකා නාට්‍යයක්. එනම් මෙහි රඟපාන්නේ එක් නිළියක් සහ එක් චරිතයක් පමණි. කතාවට තේමා වන්නේ ආදරය විසින් සිරගත කරන ලැබූ තරුණියකගේ දුක ශෝකය සහ වේදනාවය. තමන්ගේම ආදරය තුළින් තමන්ම තනාගන්නා බන්ධනාගාරයක් තුළ සිරවන ඇය එයින් පිටතට එන්නට දරන වෑයම නාට්‍යය තුළින් නිර්මාණය කෙරෙන්නේ ඉතාම අලංකාරවත් ලෙසින්. එල්ලෙන කඹ, ලණු ඔංචිල්ලා සහ ලණු ඉණිමඟවල් වේදිකාව තුළ යොදාගෙන ඒවා හරහා මේ බන්ධනාගාරයෙන් පිටමං වීමේ අසීරුකම විදහා දක්වයි. ඒ සඳහා දැරිය යුතු වෙහෙස මෙහි නිළියගේ අසීරු ව්‍යායාමය තුළ ප්‍රේක්ෂකයාට දනවන්නට නාට්‍යකරුවා සමත් වේ. විටෙක ලණු හිණිමගෙන් ගොස් එළියට පනින්නට ඇය දරණ තැත ව්‍යර්ථ වෙයි. ඇද වැටෙයි. පෙරළෙයි.

වේදිකාව තුළ අපට නිළිය ආකාර දෙකකින් හමුවෙනවා. ඒ ඇගේ ජීවි ස්වරූපයෙන් සහ සෙවණැලි ස්වරූපයෙන්. මේ සෙවණැලි ස්වරූපය යොදාගැනීම ඉතා අපූරු නාට්‍යමය උපක්‍රමයක්. එමෙන්ම එය ප්‍රේක්ෂකයා තුළ පාළුව, කාංසාව ගැන හැඟීම වර්ධනය කරවන්නට සමත්. නාට්‍යය පුරාවටම ඒකාකාරී බවෙන් ප්‍රේක්ෂකයා මුදවන්නත් ඒ සෙවණැලි උපක්‍රමය සමත් වෙනවා. ඒක නාට්‍යකරුවාගේ දක්ෂතාවයක්.

නිළියගේ ව්‍යායාමය ගැන යමක් කිව යුතුමයි. ඇත්තටම ඒක අසීරු රංගනයක්. ලණු ඉණිමගවල්, කඹ, ලණු ඔංචිල්ලා වල නගිමින් ගරන රඟපෑම කොහෙත්ම සරල එකක් නෙමෙයි. පියවරක් වරද්දන්ට ඉඩක් නැහැ. එක මොහොතකින් සියල්ල විනාශ වෙන්න පුළුවන්. එමෙන්ම ඇය හැඟීම් ප්‍රකාශනය ඉහළින්ම කරනවා. ගනිවූ තරුණියකගේ, ආදරය ඉල්ලා හඬාවැටෙන තරුණියකගේ, ආදරය නිසා ඇතිවන වේදනාව ප්‍රකාශ කරන මේ සියලු හැඟීම් ඇය තදබල ලෙස නිරූපණය කරනවා. ඇය සුබුද්ධි ලක්මාලි.

මා කලින් පැවසූ අයුරෙන්ම මෙම නාට්‍යයට තේමා වන්නේ ආදරය තුළ සිරගතව සිරකාරියක වූ තරුණියකගේ ආත්ම ප්‍රකාශනය. ඇය තමන් විසින්ම සාදා ගන්නා සිරගෙයකට වී දුක් විඳින බව ඇයට වැටහෙන්නේ නැහැ. ඇය තම හැරගිය පෙම්වතා වෙනුවෙන්, ඔහුගේ ආදරය වෙනුවෙන් බලා හිඳීමෙන්, අවසානයේ දුකට පත්වෙනවා. ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. කෙසේ වුවද නාට්‍යෙය් අවසානයට යන විට තමන් මේ දුක්විඳින්නේ කුමක් නිසාද යන්න ගැන යම් අවබෝධයක් ඇයට ලැබෙන්නට පටන් ගන්නවා. නාට්‍යයේ අවසානය නිර්මාණය වන්නේ එතැනින්. ඒ අවසානය ගැන මා ලියන්නේ නැත්තේ එය ඔබම නරඹා විඳගත යුතු නිසා. ඒ අවසානයේ අපූර්වත්වය ඔබ විඳගත යුතුමය.

නාට්‍යයයේ පිටපත සහ දෙබස් ශෙක්ෂ්පියර් පන්නයේ නාටක සිහිපත්වන කාව්‍යමය බසකින් නිර්මාණය කරලා තියෙනවා. පිටපත නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රසාද් වික්‍රමරත්න. මෙහි වැඩි අවධානයක් ලබාදී ඇත්තේ නිරූපණයට. ඒ කාව්‍යමය ප්‍රකාශන නාට්‍යයට මනා ආලෝකයක් සපයනවා. සමස්තය ලෙස අපූර්ව නාට්‍ය අත්දැකීමක්, වෙනස් නාට්‍ය අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ළඟා කරන්නට සෆීර් ඇතුළු කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ඉතින් නැවත වතාවක් ප්‍රදර්ශනය කළොත් ඔබ බලන්න, Love and Lockdown. නාට්‍යය පුරාම මට ඔල්ගා තොකර්චුක් මතක් වුණා. ඒ මෙන්න මේ නිසා. ඇය මරණයේ රළ නැගුම පොතේ ලියන වැකි කිහිපයක් නිසා.

“බන්ධනාගාරය ඇත්තේ පිටත නොව අප තුළමය. සරලවම එය නොමැතිව ජීවත්වන අයුරු අපි නොදනිමු.”

රශ්මික මණ්ඩාවල

FIFA : 2022 – මවිතකළ මොරොක්කෝවට අවසන් මහා තරගය අහිමිවෙයි!

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අළුයම (15) මොරොක්කෝව සහ ප්‍රංශය අතර පැවැති අතර එය 2ට 0ක් ලෙස ජය ගැනීමට ප්‍රංශය සුදුසුකම් ලැබීය.

ඒ අනුව එළැඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට ඔවුන් සුදුසුකම් ලබා ගත් අතර තරගය ප්‍රබල ආජන්ටිනාව සහ පසුගිය ලෝක කුසලාන ශූරයින් වන ප්‍රංශය කණ්ඩායට අතර පැවැත්වෙනු ඇත.

තරගය ආරම්භ වී 5 වැනි විනාඩියේදී ප්‍රංශය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට theo hernández සමත්විය.

අනතුරුව තරගයේ පළමු අර්ධය නිමවනතුරු දෙපාර්ශවයම පාපන්දු පිටිය උණුසුම් කරමින් තරග වැදුනද එය ගෝලයක් බවට පත්කර ගැනීමට කණ්ඩායම් දෙකටම නොහැකි විය.

තරගයේ පළමු අර්ධය නිමා වනවිට 1ට 0ක් ලෙස ප්‍රංශය පෙරමුණ පසුවිය.

දෙවන අර්ධයේදී යළි ක්‍රියාත්මක වූ ප්‍රබල ප්‍රංශ ක්‍රීඩක Randal Kolo Muani 79 වැනි විනාඩියේදී තවත් ගෝලයක් වාර්තා කළේය.

මොරොක්කෝව අවසන් පූර්ව තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත්තේ පළමු වතාවට වීමද විශේෂත්වයකි.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයින් වන ක්‍රොඒෂියාව පරදා ආජන්ටිනාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර එය අංන්ටිනාව අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත් 6 වන අවස්ථාව වේ.

අංන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගවල‍ට සුදුසුකම් ලබා ඉන් දෙවරක් ලෝක ශූරයන් වී ඇති අතර තෙවරක් අනුශුරයින් වී තිබේ.

1930 වසරේදී සමාරම්භක තරගාවලියේ අනුශූරතාව දිනාගත් ආජන්ටිනානුවන් 1978 වසරේදී ශූරතාවයට හිමිකම් කීමට සමත්විය.

අජන්ටිනානුවන් අවසන් වතාවට පාපන්දු ලෝක කුසලාන ශූරතාවයක් දිනා ගනු ලැබුවේ 1986 වසරේදීය. ඒ ඩියේගෝ මැරඩෝනාගේ නායකත්වය යටතේය.

ඒ අනුව වසර 36කින් ඔවුන් ලෝක කුසලාන ශූරතාවලියක් ජයග්‍රහනය කර නොමැත.

එමෙන්ම ප්‍රබල ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 4වන වරටය.

මීට පෙර තුන් වරක් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගවල‍ට සුදුසුකම් ලබා ඉන් දෙවරක් ලෝක ශූරයන් වී ඇති අතර එක් වරක් අනුශුරයින් වී තිබේ.