බන්ධනාගාරය ඇත්තේ පිටත නොව අප තුළමය Love and Lockdown

Share post:

“ලොක්” යනු අගුලක් හෝ වෙනත් තද කිරීමේ යාන්ත්‍රණයක් හෝ එවැනි තදකිරීමකින් වටවෙච්ච අවකාශයක් සඳහා වූ පැරණි ජර්මානු වචනයක් . නූතන ඉංග්‍රීසිය තුළ අගුල ඇළක බාධකයක් වන්නේ එනිසයි. “ඇතුළට දමා අගුලු දැමීම (lock in)” (කුටියක සිටින පුද්ගලයෙකු) හෝ “සිරගත කිරීම (lock up)” (මුලින් කුටිය හෝ දොර ම) 15 වන සහ 16 වන සියවස් වලට අයත් වේ.
“ලොක්ඩවුන්” කියන්නේ බන්ධනාගාරවල හෝ මනෝචිකිත්සක රෝහල්වල රැඳවියන් දීර්ඝ සිරගත කිරීමක් අදහස් කිරීමට පටන් ගත් එකක්. ඉන් පසුව ආරක්ෂාව සඳහා බලහත්කාරයෙන් හුදකලා කිරීමේ කටයුත්ත සඳහා මෙම ලොක්ඩවුන් යන වචනය භාවිත කළේ 1970 ගණන් වලින් පසුවයි. මුලින්, 19 වැනි ශතවර්ෂයේ ඇමරිකාවේ, “ලොක්ඩවුන්” ලෙස හැඳින්වූයේ ගඟෙන් දැව ප්‍රවාහනය කරන විට ඒවා ගඟට වැටීම වළක්වනු පිණිස ඉන්නක් ගසා තදකර තැබීම. පසුගිය කොරෝනා සමය තුළ අපේ සිරගත වීම නම් කර ඇත්තේ වරක් එළිමහනේ ගමන් කිරීමේ විශ්වසනීයත්වය සහතික කළ යාන්ත්‍රණයක් මත වීම විස්මිත සරදමක්.

කොහොම වුණත් කොරෝනා සමඟ යළි කරළියට පැමිණි මේ ලොක්ඩවුන් යන වචනය කලාකරුවෝ සිය නිර්මාණ තුළට යොදාගත්තා. ඉන්දියානු කවියෙකු වූ ශුබ්රාෂංකර් දාස් (Shubrashankar Das) ඔහුගේ an anachronous shower නම් කාව්‍ය සංග්‍රහය තුළ මේ වචනය යොදාගන්නේ මිනිසාගේ අභ්‍යන්තර සිරගත වීම සංකේතවත් කරන්න. එම්. සෆීර් නැමැති ලංකාවේ ප්‍රවීණ නාට්‍යකරුවා Love and Lockdown නමින් වේදිකා නාට්‍යයක් කරමින් මේ සංකල්පය තවත් මාවතකට ගෙනයන අයුරු ඊයේ දැකගන්න ලැබුණා.

ලවු ඇන්ඩ් ලොක්ඩවුන් යනු ප්‍රධාන ඉංග්‍රීසි සහ සිංහල යන ද්වි භාෂා මිශ්‍ර කරමින් කරන ලද මොනොඩ්‍රාමා (ඒකපාත්‍ර) ශෛලියට අයත් වේදිකා නාට්‍යයක්. එනම් මෙහි රඟපාන්නේ එක් නිළියක් සහ එක් චරිතයක් පමණි. කතාවට තේමා වන්නේ ආදරය විසින් සිරගත කරන ලැබූ තරුණියකගේ දුක ශෝකය සහ වේදනාවය. තමන්ගේම ආදරය තුළින් තමන්ම තනාගන්නා බන්ධනාගාරයක් තුළ සිරවන ඇය එයින් පිටතට එන්නට දරන වෑයම නාට්‍යය තුළින් නිර්මාණය කෙරෙන්නේ ඉතාම අලංකාරවත් ලෙසින්. එල්ලෙන කඹ, ලණු ඔංචිල්ලා සහ ලණු ඉණිමඟවල් වේදිකාව තුළ යොදාගෙන ඒවා හරහා මේ බන්ධනාගාරයෙන් පිටමං වීමේ අසීරුකම විදහා දක්වයි. ඒ සඳහා දැරිය යුතු වෙහෙස මෙහි නිළියගේ අසීරු ව්‍යායාමය තුළ ප්‍රේක්ෂකයාට දනවන්නට නාට්‍යකරුවා සමත් වේ. විටෙක ලණු හිණිමගෙන් ගොස් එළියට පනින්නට ඇය දරණ තැත ව්‍යර්ථ වෙයි. ඇද වැටෙයි. පෙරළෙයි.

වේදිකාව තුළ අපට නිළිය ආකාර දෙකකින් හමුවෙනවා. ඒ ඇගේ ජීවි ස්වරූපයෙන් සහ සෙවණැලි ස්වරූපයෙන්. මේ සෙවණැලි ස්වරූපය යොදාගැනීම ඉතා අපූරු නාට්‍යමය උපක්‍රමයක්. එමෙන්ම එය ප්‍රේක්ෂකයා තුළ පාළුව, කාංසාව ගැන හැඟීම වර්ධනය කරවන්නට සමත්. නාට්‍යය පුරාවටම ඒකාකාරී බවෙන් ප්‍රේක්ෂකයා මුදවන්නත් ඒ සෙවණැලි උපක්‍රමය සමත් වෙනවා. ඒක නාට්‍යකරුවාගේ දක්ෂතාවයක්.

නිළියගේ ව්‍යායාමය ගැන යමක් කිව යුතුමයි. ඇත්තටම ඒක අසීරු රංගනයක්. ලණු ඉණිමගවල්, කඹ, ලණු ඔංචිල්ලා වල නගිමින් ගරන රඟපෑම කොහෙත්ම සරල එකක් නෙමෙයි. පියවරක් වරද්දන්ට ඉඩක් නැහැ. එක මොහොතකින් සියල්ල විනාශ වෙන්න පුළුවන්. එමෙන්ම ඇය හැඟීම් ප්‍රකාශනය ඉහළින්ම කරනවා. ගනිවූ තරුණියකගේ, ආදරය ඉල්ලා හඬාවැටෙන තරුණියකගේ, ආදරය නිසා ඇතිවන වේදනාව ප්‍රකාශ කරන මේ සියලු හැඟීම් ඇය තදබල ලෙස නිරූපණය කරනවා. ඇය සුබුද්ධි ලක්මාලි.

මා කලින් පැවසූ අයුරෙන්ම මෙම නාට්‍යයට තේමා වන්නේ ආදරය තුළ සිරගතව සිරකාරියක වූ තරුණියකගේ ආත්ම ප්‍රකාශනය. ඇය තමන් විසින්ම සාදා ගන්නා සිරගෙයකට වී දුක් විඳින බව ඇයට වැටහෙන්නේ නැහැ. ඇය තම හැරගිය පෙම්වතා වෙනුවෙන්, ඔහුගේ ආදරය වෙනුවෙන් බලා හිඳීමෙන්, අවසානයේ දුකට පත්වෙනවා. ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. කෙසේ වුවද නාට්‍යෙය් අවසානයට යන විට තමන් මේ දුක්විඳින්නේ කුමක් නිසාද යන්න ගැන යම් අවබෝධයක් ඇයට ලැබෙන්නට පටන් ගන්නවා. නාට්‍යයේ අවසානය නිර්මාණය වන්නේ එතැනින්. ඒ අවසානය ගැන මා ලියන්නේ නැත්තේ එය ඔබම නරඹා විඳගත යුතු නිසා. ඒ අවසානයේ අපූර්වත්වය ඔබ විඳගත යුතුමය.

නාට්‍යයයේ පිටපත සහ දෙබස් ශෙක්ෂ්පියර් පන්නයේ නාටක සිහිපත්වන කාව්‍යමය බසකින් නිර්මාණය කරලා තියෙනවා. පිටපත නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රසාද් වික්‍රමරත්න. මෙහි වැඩි අවධානයක් ලබාදී ඇත්තේ නිරූපණයට. ඒ කාව්‍යමය ප්‍රකාශන නාට්‍යයට මනා ආලෝකයක් සපයනවා. සමස්තය ලෙස අපූර්ව නාට්‍ය අත්දැකීමක්, වෙනස් නාට්‍ය අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ළඟා කරන්නට සෆීර් ඇතුළු කණ්ඩායම සමත් වෙලා තියෙනවා. ඉතින් නැවත වතාවක් ප්‍රදර්ශනය කළොත් ඔබ බලන්න, Love and Lockdown. නාට්‍යය පුරාම මට ඔල්ගා තොකර්චුක් මතක් වුණා. ඒ මෙන්න මේ නිසා. ඇය මරණයේ රළ නැගුම පොතේ ලියන වැකි කිහිපයක් නිසා.

“බන්ධනාගාරය ඇත්තේ පිටත නොව අප තුළමය. සරලවම එය නොමැතිව ජීවත්වන අයුරු අපි නොදනිමු.”

රශ්මික මණ්ඩාවල

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...