දියගම ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ක්‍රිකට් ගස්සවන්න යයි : ආදායම් වැඩිකරන්නයි ඕනෙ – අධ්‍යක්ෂ ජනරාල්

Share post:

හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ මුල් ක්‍රීඩාංගනය මැද හාරා ක්‍රිකට් තණතීරුවක් ඉදිකිරීමට අදාළ මුල් පියවර තැබීමට ක්‍රීඩා අමාත්‍යංශය ඊයේ (14) කටයුතු කළේය.

පසුව අද (15) දිනයේ එම ක්‍රීඩා පිටියේ ජාත්‍යන්තර පාසැල් ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීම නිසා එහි ගිය මලල ක්‍රීඩා නිලධාරීන් මේ සිදුවීම දැක, මලල ක්‍රීඩා සංගමය දැනුවත් කිරීම හේතුවෙන් අද උදෑසන යළිත් එම ක්‍රිකට් තණතීරුව ඉදිකිරීම තාවකාලිකව නතර කිරීමට කටයතු කර ඇත.

ලංකාවට ම දෙකයි

මෙහි කනගාටුදායක සිදුවීම නම් සුගතදාස ක්‍රීඩාංගනය හැරුණු විට, ලංකාවට ඇති එක ම කෘත්‍රිම ධාවන පථයක් සහිත ක්‍රීඩාංගනය මෙය පමණක් වීමයි. එසේ තිබියදී ක්‍රීඩා අමාත්‍යංශය මලල ක්‍රීඩාවට මෙසේ සැලකීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ බහුතරයකගේ අප්‍රසාදයට හේතු වී තිබේ.

ලෝකයේ අංක එක

මෙම දියගම ක්‍රීඩා සංකීර්ණය තුළ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සඳහා ද කොටසක් වෙන්කර ඉදිකිරීම් අඩක් සිදුකර තිබේ. එවැනි තත්ත්වයක් තිබියදී මලල ක්‍රීඩාවට වෙන්ව ඇති ජාත්‍යන්තර තරග පවා පවත්වා ඇති මෙම ක්‍රීඩාංගනය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට වෙන්කිරීම විහිළු සහගත බව ජ්‍යේෂ්ඨ ක්‍රීඩා පුහුණුකරුවෝ අවධාරණය කරති. අද උදෑසන මෙම දර්ශනය දුටු මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු පැවසුවේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියක ක්‍රිකට් තණතීරුවක් ඉදිකිරිම ලෝකයේ මෙතෙක් සිදුව නොමැති දෙයක් බවයි.

ඇමතිගේ අදහස

පසුගිය ජුනි 15දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට ගිය ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති රොෂාන් රණසිංහ පවසා තිබුණේ මෙහි වර්තමාන තත්ත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තමන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට බලපොරොත්තු වන බවත්, ඉදිරියේදී එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට බාරදී හෝ රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහනක් යටතේ හෝ සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ය.

වගකීම අමාත්‍යාංශය අතේ

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ දියගම ක්‍රීඩා සංකීර්ණයේ සියලු පරිපාලන කටයුතු මේ වන විට සිදුවන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ සෘජු මෙහෙයවීම යටතේ වන බවයි.

‘මම දන්නෙ නෑ’

ඒ අනුව එම කටයුතු බාර ව සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) දීපාල් සිරිබද්දනගෙන් thetime.lk කළ විමසීමේදී ඔහු සඳහන් කළේ තමන් එවැන්නක් පිළිබඳව නොදන්නා බවයි.

‘සල්ලි හොයන්න ඕනෙ’

ඉන්පසු දියගම ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරිගෙන් thetime.lk කළ විමසීමේදී ඔහු එවැනි උත්සාහයක් දැරූ බව තහවුරු කළේය. වල් වැදෙමින් පවතින එම ස්ථානය පෞද්ගලික සමාගම්වල උත්සව අවස්ථා සඳහා ලබාදී ආදායම් ඉපයීමේ අරමුණින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තණතීරුවක් ඉදිකිරීමට සැලසුම් කළ බව ද ඔහු සඳහන් කළේය.

එමගින් අදායම් වැඩිකරගැනීම අරමුණ වුවද, මලල ක්‍රීඩා සංගමයේ සභාපති පාලිත ප්‍රනාන්දු තමන් අමතා, එය දැනට ඉදි කර ඇති ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සිදු කිරීම වඩා සුදුසු බව දැනුම් දුන් බවත්, ඒ අනුව අදාළ කටයුතු නතර කළ බවත් අප වැඩිදුරටත් කළ විමසීමට පිළිතුරු දෙමින් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා පැවසීය.

ඉස්සරහට බලමු

මෙසේ අදාළ ක්‍රීඩා සංකීර්ණයේ කොටස් වල්වැදීමට ඉඩ දීම වෙනුවට එය ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා යොදාගත නොහැකි දැයි විමසීමේදී ඔහු පැවසුවේ තමන් මෙම තනතුර බාරගෙන තවමත් මාස 2ක් පමණක් බවත්, එම කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ය.

මලල ක්‍රීඩා පිටිය මැද හාරා ඇති ආකාරය
හමුදා සෙබළුන් යොදවා පිටිය මැද හාරන අයුරු

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...