නිහාල් නෙල්සන්: අපේ නව යෞවනයේ තවත් දුෂ්ටයෙක්!

Share post:

අපි සින්දුවලට, ඒව කියන, ලියන, තනු දාන අයට පිස්සු වැටිල හිටියෙ අපේ ගැටවර සන්දියෙදි.
ඒ කාලෙ නිහාල් නෙල්සන් කියන්නෙ අපට පෙන්නන්ඩ බැරි හාදයෙක්.

සාහිත්‍යයේ, සිනමාවේ, වේදිකාවෙ, ජනමාධ්‍යයේ වගේම සින්දුවේත් (සංගීතයේ නොවේ) අපිට අපේම වීරයො හිටියා. (වීරවරියො හිටියෙ අන්තිම අඩුවෙන්. මොන ක්ෂේත්‍රයක වුණත් මතක එකම නම නන්දා මාලිනී. ස්වර්ණල, මාලිනීල වගේ අයට ‘වීරවරියො’ කියන වචනෙ ගැලපුණේ නෑ. ඔව්, අපි ඒ පැත්තෙන් මහ අගතිගාමී මිනිස්සු වෙලා තමයි හිටියෙ.)
හැබැයි නිහාල් නෙල්සන් කියන්නෙ අපේ ලොකුම දුෂ්ටයෙක්. භ්‍රෂ්ටයෙක්.

මට මතක හැටියට ඒක නිහාල් නෙල්සන් පීක් එකේම හිටපු කාලයක්. මතකය නිවැරැදි නම් ‘නිහාල් නයින්ටි නයින්’ ද කොහෙද කියලා නිහාල් එයාගෙ 99වැනි කැසට් එක ගහන්නෙත් ඔය කාලෙ. ඒ එක්කම සෙන්චරියත් ගැහුවද කොහෙද. “සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි”, “එපා එපා මස් කන්නට කිරිඅම්මාගේ”, “මේ කුඩු ගැහුවොත් අපෙ රට කුඩේ කුඩු” කියන්නෙ ඒ කාලෙ නැගලම ගිය නිහාල්ගෙ සින්දු කියල මතකයයි.

හැබැයි අපිටනම් ඒව කණකට ඇහෙන්න බෑ.
ඒව නිතර දෙවේලෙ පිස්සුවෙන් වගේ අහන උං පේන්නත් බෑ.
‍ඒ කාලෙ අපේ හැටි එහෙම තමයි.

මං මේ කියන කාල රාමුව ගැන හිතුවොත් මේ කියන කාරණේ වඩා හොඳට පැහැදිළි වෙයි. ඒ 80 දශකයේ අන්තිම අවුරුදු පහ වගේ.

මේ කාලෙම හිටපු අපේ වයසෙ ගැටවර ගැටවරියො කොටසක් නිහාල් නෙල්සන්ලට පිස්සු වැටිල හිටපු බවත්, අපිට හිනාවෙච්ච බවත් ඇත්තක් තමයි.

ඒත් අර උඩින් කිව්වෙ, එහෙම නොවුණු කට්ටියක් වෙච්ච අපේ හැටි.

අපට එදා පෙනුණෙ නැතිවුණාට, අපි නිසැකවම ඉතා සුළුතර කුලකයක් වෙලා ඉන්න ඇති.

90 දශකයට පා තබද්දි නිහාල් නෙල්සන්ලව පෙන්නන්න බැරුව හිටපු අපේ සුළුතර කුලකය අඩියටම හිඳිල ගිහිල්ල හිටියා. පාරවල් ගානෙ ටයර්උඩ යවලයි, කොහේ අරං ගියාද කියල හිතාගන්න බැරි විදියට දෘෂ්‍යමාන ලෝකෙන් අයින්කරලයි, වද කඳවුරුවල ගාල්කරලයි, ඔන්න ඔය විදියට.

අනූව දශකෙ මැදක් වෙනකොට, ඒ හිඳිල ගිය සුළුතරයෙනුත් කැඩිලා ආයෙ සුළුතරයක් වුණු මා අයත් පිරිසේ, අර වීරයන් සොයායාමේ අමාරුව හොඳටම වගේ හොඳවෙලයි තිබුණෙ. වීර ප්‍රතිරූප ඇදවෙලා, කොරවෙලා, වැහැරිලා ඇස් ඉදිරිපිට කඩාගෙන වැටිලා.

තමන්ගෙ වීරයො ඇදවැටුණාම වීරයො නඩත්තුකරන හුඟක් අය කරන්නෙ වීරයන්ටයි, උන්ගෙ හත්මුතු පරම්පරාවටමයි විතරක් නෙමෙයි, තමන්ටමත් වෛර කරගන්න එක. අන්තිමට ඒක සමාජ වෛරයක් වෙනවා. ඒ විදියට තමන් අදහපු වීරයින්ගෙ ප්‍රතිරූප පිටිපස්සෙ වීරයො නෑ කියල දැනගෙන ක්ෂතියට පත්වූ අය අතරින් ඇතැමුන් අදටත් මේ අවකාශයෙම පවා හැසිරෙන හැටි ටිකක් කල්පනාවෙන් බලාගෙන ඉන්න අපූරු දෙයක්. ඒ සමහරුන්ට නැතිවෙලා තියෙන්නෙ වීරයො විතරක් නෙවෙයි. තමන්ගෙ දෘෂ්ටිවාදී පීතෲවරු. සමහර දෘෂ්ටිවාදී පියෙක් එක්තරා මොහොතක අර පුත්‍රයාව දරුකමින් අතැරලා දාලා. කොච්චර අඬල දොඩල ඉල්ලුවත් ආපහු දරුකමට අරන් නෑ. ඒ වෛරය දැන් මුළුමහත් සමාජය පිටින්ම යනවා, එක එක විදියට‍. සමහර වෙලාවට ඕනැවට වැඩි ප්‍රේමයක්, වගකීමක්, වගවීමක් විදියට! හැබැයි ඒකෙනුත් යටින් ඉල්ලන්නෙ ගේම.
‍ඒත් ඒක වෙනම කතාවක් නිසා, ඒක නිහාල් නෙල්සන්ලගෙයි අපෙයි කතාවට මෙතනින් එහාට එහෙමකට අදාළ නැති නිසා, ඒක පැත්තකින් තියමු.

වීරයො ඇස් ඉදිරිපිට පජාත වුණාම අපි කෙරුවෙ ‘වීරයො කියල ජාතියක් ලෝකෙ නෑ, වීරයො කියන්නෙ හෙලවෙන මනසට පුතා,’ කියල අපටම කියාගත්තු එක.

එදා අපට පෙන්නන්න බැරුව හිටපු එම් එස් ප්‍රනාන්දු කියන්නෙ අගනාගරික කවියෙක්ය, අපි ව්‍යක්ත කියල හිතාගෙන හිටපු බාසාවකින් තටම තටමා කියන්න දඟලපු සමහර ඒවා ඒ හාදයා අමුවෙම්ම කියල දාලය කියලත්, ජොතිපාල කියන්නෙ සින්දු කියපු නෙමෙයි දියකරල වක්කරපු යෝදයෙක්ය කියලත්, නිහාල් නෙල්සන් කියන්නෙ අමුම අමු සක්ක කෑලි මැදට දාල, දෙක දාපුවාම නැටවෙන ලදරන් සද්දවලින් එක සමාජ පදාසයකම බොක්කෙ දේවල් අමු අමුවෙ එළියට දාපු යස්සයෙක්ය කියලත් අපි හිමින් හිමින් තේරුම් ගත්තා.

මං ලංකාවෙ හිටපු අන්තිම අවුරුදු පහ දහයෙදි කවදාහරි දවසක නිහාල් නෙල්සන්ව හම්බ වුණානං ‘අයියෙ’ කියල පටන් අරන්, පස්සෙ ‘මචං’ කියලා, අන්තිමට හොඳ පිස්සුවකුත් නටන්න ඉඩතිබුන්නෑ කියල කියන්න පුළුවන් මොන සක්කරයටද? අර ඇදවැටිච්ච බොහොමයක් වීරයො එක්කයි, ද්‍රෝහියො එක්කයි, දුෂ්ටයො – භ්‍රෂ්ටයො එක්කයි… හැමෝ එක්කම කළා වග‍ේ?
ඒත් මට කවදාවත් නිහාල් නෙල්සන් හම්බවුණේ නෑ.
දැන් ඉතින් ආයෙ කවදාවත් හම්බවෙන්නෙත් නෑ.‍‍

මට මාවමවත් ආයෙ ලංකාවෙදි හම්බවෙයිද කියල හිතාගන්න බැරුව ඉන්නකොට ඉතින්, එකඅතකට ආයෙ ඕක මොකද්ද?
ඒත් එදා අපට දිරෙව්වෙ නැතිවුණාට ලංකාවෙ සංස්කෘතික භූ සිත්තමේ නිහාල් නෙල්සන් කියන්නෙ අයින් කරන්න බැරි තරම් යෝද සලකුණක් කියන එක අමුතුවෙන් කියන්න ඕනැ නෑනෙ!

සනත් බාලසුරිය

Related articles

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...

‘මව්වත් හදවත්’ ඇත්තටම සුවදායී පොතක්

"අපිට වුණු සමහර දේවල් අනුව අපි හිතනවා, මේ දේ නොවුනා නම්, ජීවිතේ මෙහෙම වෙන්න ඉඩ තිබුණා කියලා. අපරාදේ...

දේශපාලන සමාජ සංස්කෘතිය නිර්මාණාත්මකව කියවීම…තුනුවිල…නින්නාද…..

හර්ෂනී පුෂ්පමාලා ආරච්චි "තුනු විල" හා "නින්නාද .." යන නිර්මාණාත්මක ප්‍රකාශනයන් හරහා ලාංකික දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික සිදුවීම්...