Home Blog Page 241

ජීවිතය දෙස බලන්නට බල කරන, චේත්‍යාගේ ‘නමක් නැති හිතවතෙක්’

0

‘නමක් නැති හිතවතෙක්’- චේත්‍යා විදානපතිරණ
අන් කවරදාටත් වඩා වර්තමානයේ ඇසෙනුයේ අපේක්ෂා භංගත්වය පිලිබඳ වේදනාබර කියුම් ය. රටින් පිටව යාමේ අපේක්ෂාවන්ය. ගුවන් නැවක්, නැවක් නොව වල්ලමක්, කෙසෙල් කොටයක් වුව පහුර සේ ගෙන කරදිය වලල්ලෙන් පනින්නට කැසකවනා තරුණ පරපුර මෙනම ඔවුන්ට අතවනා සමුදෙන්නට සූදානම් වැඩිහිටි පරපුරය. මේ සියළුම දෙනාගේ මුවින් පිටවෙන තේමා පාඨය මෙපරිදිය. මේක හරියන රටක් නෙවෙයි.

ඒ අතර කවියෝ කිවිඳියෝ කවි ලියති. ඒ කවි අතර සැලකිය යුතු ඉඩක් වෙන් වන්නේද මේ ඛේදවාචකය ගැනමය. අපට ඉන් ගැලවීමක් නැති බව ඇත්තය. කවර කාර්යයකට අත ගැසුවද ඇදී එන්නේ මේ කතාවමය. ඉදින් ඒ මැද මට නිතර සිහිවෙන කවියක් තිබේ. ඒ දර්ශන මේදිස් කවියාගේ සංවාදයක් හෙවත් මුලිනුපුටා දැමීමක් නම් අගනා කවියය. ඒ පිළිලයක් සහ ඊට ගොදුරුවන ගසක් සංවාදයයි. ගස එහිදී පල කර සිටිනා යටත් නොවන ස්වභාවය, පිලිලයට අභියෝග කරනා ආකාරය අගනා ජීවිත පාඩමකි.

මේ සියල්ලම ලියැවුනේ චේත්‍යාගේ ‘නමක් නැති හිතවතෙක්’ කාව්‍ය කෘතියෙහි එන කවක් කියවීමත් සමගය. ඇගේ කවියද මේ ආකාරයෙන්ම ජීවිතය දෙස බලන්නට බල කරන්නකි. ඇය අජීවී වස්තුවක කාර්යය කවියට පවරාගෙන අපේක්ෂා විරහිත ලොවකට අරමුණක් සදන්නට තැත් දරයි. ඇය තම කවියට දෙන නම ඉරණම ය. එහෙත් ඒ ඉරණම විනිවිද අපට දනවනුයේ එවන් ඉරණමක් මැද වුව යමකු හට ඇති සමාජ වගකීම පිළිබඳවය. සත්‍ය වශයෙන්ම ගතහොත් අපගේ වර්තමානය යනුද කවියෙහිම එන අජීවී වස්තුව මෙන්ම අවසන් ඉරණමක් දරාගත්තකි. කිසිදු ජයක් නොදැක වුව කොයි මොහොත හෝ අපටද නික්ම යා මට සිදුවනු ඇත. එහෙත් අප කළ යුත්තේ එතෙක් උකටලීව බලා හිඳීමද නැතිනම් අවසාන මොහොත දක්වා අපේ වගකීම ඉටු කිරීමද? අප සිතිය යුතු තැන එයයි.

නොසැළී සදුළඟ මැඩගෙන
නොනිවී අවට එළි කොට‍
තනියෙන්ම දරාගෙන
කෙළින් සිටිනා අතරම
උණුවී ටිකෙන් ටික
කඳුළු වැගිරී අවසන
දැවී කෙලවර විය යුතුය
ඉටිපන්දම!

සැබැවි, ඉටිපන්දම ක අවසන එයය. එහෙත් ඒ අවසන එන්නේ කවර ගැහැට මැද වුව ආලෝකය සපයමිනි. ඇගේ කවිය ඉටිපහන් මෙන් දියව වැගිරෙන අපේ ජීවිතවලට අරමුණක් සිහිගන්වයි.
ඇගේ මේ පාර වන්වේ නොවේ යන කවියද අවධානය ලැබිය යුත්තකි. එය ආදරයේ ඇති අත්කර ගැනීම කෙරෙහිම යොමුවන ස්වභාවයට පටහැනිව අන්‍යෝන්‍ය අවබෝධය හරහා ආදරය සොයා යන්නට කරනු ලබනා ඇරයුමකි. එය කෙසෙවත් කොටු දැලින් වට, ආදර විලංගු, සංඥා පුවරු පිරි මගක් නොවේ. ඒ වෙනුවට එහි ඇත්තේ සීමා මායිම් නැති, විවෘත, අවබෝධයෙන් යුතු පිවිසුමක් සහ පිටවුමකට ඉඩකි.

මේ පාර වන්වේ නොවේ
දෙපසටම ගමන් කල හැකි
මං තීරැ මෙහි තිබේ
ඔබට මට ආ හැකිය
යා හැකිය
ඔබ එද්දි මට යන්නට
මා එද්දි ඔබට යන්නට
නතරවී බලා ඉන්නට
වෙහෙස නම් රැඳෙන්නට
ඉක්මනින් බැරිනම්
පමාවී වුනත් යන්නට…..

ජීවිතයේ ඇති අපේක්ෂා විරහිත බව අපට මැනවින් වටහා දෙන වදනක් බවට අපේක්ෂා යන්නම පත්ව තිබේ. ඒ මරණයේ නදිය ගලා බස්නා රෝහලකට ඒ නම දී ඇති හෙයිනි. එහෙත් ඒ බිම් කඩෙහි විවිධ අන්දර ලියැවෙයි. ඒ අන්දර අතර ජීවිතය හා අසම සම දිරියෙන් පොර බදන කතන්දරද එමටය. කිවිඳිය අපේක්ෂාවේදී ය යන කවියෙන් මේ බිම් කඩෙහි සැලෙන ජීවිතය අල්ලන්නට වෙර දරයි. ඒ සියළු මායිම් සීමා ඉරි මකන බිමකි. පොදු රැහැන්කාරීන් මිනිසුන් බඳින තැනකි.
ඇය ඒ දකින්නේ මෙලෙසිනි

උපන් ආගම කුමක් වූවත්
වට තුනක් බෝධියේ පැන් ලූ
පතා පැතුමන් ඉහල අතුවල
හදේ නම රැඳි ලියා එල්ලූ

කිවිඳිය අහිමි පෙම ගැන ලියන්නීය. එහෙත් ඒ අහිමි පෙම වෙනුවෙන් වලප්නා ස්වරයකින් නොවේ. ඒ වෙනුවට කවියෙන් මතුවන්නේ කම්පාවට යට නොවී ජීවිතය දෙස සවිමත් සිතකින් බලන්නට වෑයම් දරන්නෙකු/ දරන්නියක ගේ හද ගැහෙනා රාවයයි.

මතක අකුණක් දෙකක්
පතිත වෙනවා මිසක
හිතින් අත් හළ බිමට
එයින් පසු වැසි නැතිය
ඔබෙන් හිසුවූ ඉඩේ
පිපෙන්නේ පොපි මල්ය
සිහිවටන ලෙස හදේ
කඩදාසි පොපි මල්ය

මතක අකුණක් දෙකක්- ඒ යෙදුම අහිමි පෙම ගැන මතකයෙහි ඇතිව නැතිව යන නිමේෂයන් ගැන කතා කරයි. ඇය පෙම පිලිබඳව දකිනා ආකාරය හොඳ පෙම්වතෙකි දිනකර නම් කවියෙහිද අපට හසුවෙයි. ඇය අපේ සාහිත්‍ය යේ නිරතුරුවම හමුවන හිර සහ සඳ තම කවියට කැඳවයි. එහෙත් ඇය ව්‍යංගාර්ථවත් ලෙස සංක්ෂිප්ත කවියක් හරහා නවමු හැඟුම් දනවන්නට එහිදී සමත් වෙයි.

හැමදාම රෑ වෙනකොට
මිය යන්න පුළුවන් ඉරකට
හඳට හිනැහෙන්නට
ඉඩදී අහස අතහැර
බොහෝ ඈතින් ඉඳගෙන
එවන එළියෙන් හිනැහෙන
හඳ බලාගෙන සැනසෙන
හොඳ පෙම්වතෙකි දිනකර

ඇගේ කවි වලින් සැලකිය යුතු සංඛ්‍යාවක් වෙන් වන්නේ පෙම සහ වියෝව මාතෘකා කරගන්නටය. එහෙත් ඇය තම කවි ඕලාරික වැකි වල තත්වයෙන් මුදා ගැනීමට සමත්ව සිටින්නීය. එහෙත් ඒ අතර ඇය ජීවිතයෙහි ගැඹුර ස්පර්ශ කරන්නටද කවියෙන් යත්න දරන්නීය. තාත්තාගේ සපත්තු හා සහකම්පනය එවන් කවියකි.

නොතේරෙන දවස
ලොකුම ලොකු ඔබේ
සපත්තුව තුළට බැස
අසීරුවෙන් ඇවිද ගිය
එක කුඩා කෙල්ලකට
අනෙකාගේ සපත්තුව
පතුලටම බැසගෙන
ඔහු ඇවිද ගිය අසීරුව
වටහා ගත යුතු බව
පසුව පසක් විය

මේ චේත්‍යාගේ පළමු කාව්‍ය එකතුවය. එහෙත් ඒ කවි අතර සාර්ථක කිවිඳියක ලෙස පියවර තබන්නට තමන්ට සමත්කම් ඇති බව පෙන්වන පා ලකුණු දැකිය හැකිය. ඇය කළ යුත්තේ කවිය අත නොහැර දිගටම එහි අත්හදාබැලීමහී නිරත වීමයි. එය දීර්ග ගමනකි. වෙහෙස නොබලා යා යුතත්කි. ඇය ඊට සූදානම් බවට මේ කවිය දෙස් දෙයි.
කුණාටුව පසුකළා පමණයි
තෙතබරිත තටු වලට වෙහෙසයි
ගමන තව ගොඩක් ඈතයි
නැවතිලා ඉසිඹුලන මොහොතේ
ජීවිතේ විඩාවෙන් තොරවේ
ඉගිලෙන්න කලින්ටත් වැඩියෙන්
හිත හයිය ගත තුළට පිවිසේ

චූලානන්ද සමරනායක

පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාවට

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය.

තරගයේ පළමු ගෝලය 23 වැනි විනාඩියේදී දඬුවම් පහරකින් රැස් කිරීමට ලියෝනල් මෙසී සමත් විය. දෙවැනි ගෝලය 36 වැනි විනාඩියේදී ඩි මාරියා විසින් වාර්තා කළේය. තරගයේ පළමු අර්ධය නිමා වනවිට ආජන්ටිනාව ගෝල 2 – 0ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

නමුත් තරගයේ 79 වැනි මිනිත්තුවේදී හා 81 වැනි මිනිත්තුවේදී ගෝල දෙකක් වාර්තාකිරීමට සුපිරි ක්‍රීඩක Kylian Mbappé සමත්වීමත් සමඟ තරගය නැවත වරක් කණපිට පෙරලුනේය.

මේ අනුව තරගයේදී නියමිත කාලය තුල ගෝල දෙක බැගින් කණ්ඩායම් දෙකම රැස්කිරීම හේතුවෙන් ජය පරාජය තීරණය කිරීමට අමතර විනාඩි 30ක කාලයක් ලබාදුන් අතර එහිදීද දෙපිලම එක් ගෝලය බැගින් වාර්තා කිරීම හේතුවෙන් මෙවර ලෝක කුසලානයේ අවසන් තීරණය ගනු ලැබුවේ දඬුවම් පහර මගිනි.

ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් සාර්ථක කරගැනීමට ආජන්ටිනාව සමත්වූ අතර ප්‍රංශයට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණි.

ඒ අනුව ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය පරාජයට පත් කරමින් 2022 පාපන්දු ලෝක කුසලානයේ ශූරයින් වීමට සුපිරි ආජන්ටිනා කණ්ඩායම සමත් විය.

ප්‍රංශය සෑහෙන්න ඉදිරියෙන්, ආජන්ටිනාව එන්නෙ මේක මෙසී වෙනුවෙන් දිනන්න

අද තමයි Final එක!

didier deschamps

මාසෙකට ආසන්න කාලයක් බලාගෙන හිටපු පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය පටන් ගන්න ඉතිරි වෙලා තියෙන්නෙ තවත් පැය කිහිපයක් විතරයි. ලොකු ලොකු කතා ඕනි නෑ. මැච් එක ගැන කෙලින්ම කතා කරමු.
ප්‍රංශය, ප්‍රංශය කියන්නේ මෑත ඉතිහාසයේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ සෑහෙන වැඩ කොටසක් දාපු ටීම් එකක්. 2016 යුරෝ අනුශූරතාවය, 2018 පාපන්දු ලෝක ශූරතාවය, අන්තිමට තිබුණ 2020/21 නේෂන්ස් ලීග් ශූරතාවය දිනාගන්නත් ප්‍රංශයට පුළුවන් වුණා. සුපිරි තරු ගොඩක් වගේම ඩිඩියර් ඩෙශැම්ප්ස්(didier deschamps) ගේ පුහුණුකාරිත්වය මේකට ලොකුම හේතුවක්.

ප්‍රංශය ගත්තම එයාලට ඉන්නවා සුපිරිම ඇටෑක් එකක්. ක්‍රිස්ටෝපර් න්කුන්කු (Christopher Nkunku), කරීම් බෙන්සෙමා නැති වුණත් ප්‍රංශයට ඉන්න ඇටෑක් එක මොන වගේද කියලා මේ World Cup එකෙන් බලාගන්න පුළුවන්. ඩෙම්බෙලේ සහ ම්බප්පේ කියන දෙන්නම පට්ට ස්පීඩ් වින්ගර්ස්ලා දෙන්නෙක්. ඒ දෙන්නගේ ස්පීඩ් එක ඩිෆෙන්ස් එකට පට්ට හිසරදයක් වෙනවා. ඔලිවර් ජිරූ කියන්නේ ඕනිම වෙලාවක ඔලුවක් දාන්න, බැරිම වුණොත් බයිසිකල් කික් එකක් හරි ගහන්න පුළුවන් එකෙක්. කොහෙන් හරි ගෝලයක් ගහන්න පුළුවන් ඩයල් එකක්. සෑහෙනම අමාරු ඇටෑක් එකක් ප්‍රංශයට ඉන්නවා. ග්‍රීස්මාන් ගහන්නේ බොක්ස් ටු බොක්ස්. ගෝල් නොගැහුවට ග්‍රීස්මාන් තමයි ෆ්‍රාන්ස් එවුන්ගේ හාට් එක.

ටූනමන්ට් එකට කලින් පොග්බා, කාන්ටේ නැති නිසා මිඩ්ෆීල්ඩ් එක බුල යයි කියලා හිතුවට අවුරෙලියන් ටුචුනෙමි වගේ අය හොඳට මිඩ් එකට සෙට් වුණා. පිටිපස්සේ ඉන්න රෆායෙල් වෙරානේ ට සෑහෙන්න අත්දැකීම් තියෙනවා. තියෝ හර්නැන්ඩස් හොඳටම ගහනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. ඔතන ආජන්ටිනා වලට ලොකුම ඇණයක් වෙන හාදයෙක් වෙන්නෙත් තියෝ. දැනට ඔය තියෝ හර්නැන්ඩස් ගේ දණහිසේ කේස් එකක් අරකයි මේකයි, රෆායෙල් වෙරානේ ටයි කොනාටේ ටයි වයිරස් එකක් කිව්වට් ඕවා එකක් වත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. එයාලා අද මැච් එක ගහනවා.

1998 ෆයිනල් එකට කලින් බ්‍රසීලේ රොනාල්ඩෝ ට හොඳටම උණ හැදෙනවා. ඒත් රොනාල්ඩෝ ෆයිනල් එක ගහනවා. ඕකත් ඒ වගේම සීන් එකක් තමයි. කොහොමත් ෆයිනල් එකකට කලින් පොඩි පොඩි කතා දෙක තුනක් යන එක සාමාන්‍ය දේවල්. ප්‍රංශය දකුණු ඇමරිකානු ප්‍රතිවාදියෙක් ලෝක කුසලාන අවසන් මහා තරගයකදී හමු වෙන්නේ 1998 දි විතරයි. ඔවුන් ඒ අවුරුද්දේ බ්‍රසීලය ගෝල 3-0 ක් විදිහට පරාජයට පත් කළා.

ෆ්‍රාන්ස් ඇටෑක් එකේ තියෙන අතිශය භයානක කම නිසා ආජන්ටිනාව අද සෙන්ටර් බැක්ස්ලා තුනක් ගහන්න ලොකු ඉඩකඩක් තියෙනවා. නිකොලස් ඔටමෙන්ඩි, ක්‍රිස්ටියන් රොමේරෝ එක්ක ලිසන්ඩ්‍රෝ මාර්ටිනෙස් කියන තුන් දෙනාම ස්ටාට් කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මාකස් ඇකුනා සහ ගොන්සාලෝ මොන්සියාල් මේ වෙද්දි යෙලෝ කාඩ් නිසා මැච් එකක් Suspended වුණාට ෆයිනල් එකට ඉන්නවා. එහෙම වුණොත් ඇකුනා එක්ක මොලීනා දෙපැත්තෙන් වින්ග් බැක්ස් දෙකක් ගහයි.

Nicolas Otamendi, Christian Romero, Ro Martinez

ප්‍රශ්නේ වෙන්නේ ඈන්හෙල් ඩි මරියා ස්ටාට් කරනවද නැද්ද කියන එක. ඩි මරියා කියන්නේ ආජන්ටිනා වල ඉන්න බිග් ගේම් ප්ලේයර්. ෆයිනල් වලට එහෙම මිනිහාව අනිවාර්යයෙන්ම ඕනි. ඒත් ස්කැලෝනි සෙන්ටර් බැක් එකේ 3 ක් ගහන්න ගියොත් ඩි මරියා ට ස්ටාට් කරන්න ඉඩක් ලැබෙන එකක් නෑ. ඩි මරියත් ඕනි, ෆ්‍රාන්ස් ඇටෑක් එක නවත්තන්නත් ඕනි. මේක දැනට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් මෑත ඉතිහාසයේ දී ප්‍රංශය හිර වුණේ වේගෙන් ගහපු ටීම් වලදි. විශේෂයෙන්ම අවස්ථා කිහිපයකදීම ඔවුන් ඩෙන්මාර්ක් පේස් එකට අහු වුණා. World Cup එකේදි ගහගත්තත් නේෂන්ස් ලීග් එකේදි එහෙම සෑහෙන්න අහුවෙන විදිහ දකින්න ලැබුණා. ප්‍රශ්නේ කියන්නේ ආජන්ටිනාව එහෙම ස්පීඩ් ගහන ටීම් එකක් නොවෙන එක. ආජන්ටිනාවට මේ වෙලාවෙදි ෆ්‍රාන්ස් ඩිෆෙන්ස් එක කඩන්න පුළුවන් වෙන්නෙ මෙසීගෙන්. එක්කො මෙසීව පාවිච්චි කරලා ඩිෆෙන්ස් එකෙන් වැඩි කොටසක් එතනට ගෙන්වීම. නැත්තන් මෙසීගෙන් මැජික් පාස් එකක්.

Messi

අන්තිමට ඉතින් ස්කොඩ් දෙක බැලුවම විවාදයක් නෑ. ප්‍රංශය සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා. අත්දැකීම්, නවකයෝ මේ ඔක්කොම ප්‍රංශයට ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නෑ. අනිත් පැත්තෙන් ආජන්ටිනාව එන්නෙ මේක මෙසී වෙනුවෙන් දිනන්න. මිරකල්ස් වෙනවා. හැබැයි සමහර වෙලාවට එහෙම වෙන්නෙත් නෑ. ක්‍රොඒෂියාව 2018 ෆයිනල් ආපු එක මතක් කරගන්න. මෑත කාලීනව ඩෙශැම්ප්ස් ගහපු විදිහට වැඩි වාසි තියෙන්නෙ ප්‍රංශයට. ඔවුන්ගේ ස්පීඩ් ඇටෑක් එකටයි සොලිඩ් ඩිෆෙන්ස් එකටයි. එතනින් එහාට වෙන දෙයක් බෝනස් තමා.

අද ප්‍රතිඵලය මොකක් වුණත් මේ ටූනමන්ට් එක හොඳටම එන්ජෝයි කරන්න මෙසී ඇතුළු ආජන්ටිනා බලඇණිය කටයුතු කළා. ගෝල් ඇසිස්ට්ස් වක්කරපු විදිහෙන් මෙසී කියන්නේ කවුද කියලා මුළු ලෝකෙටම බලාගන්න පුළුවන් වුණා. 2014 ත් ෆයිනල් පරාදයි. මේ පාර පරාද වුණොත් කලින්ට වඩා දරාගන්න ටිකක් අමාරු වෙයි. ඒත් සෞදි මැච් එක කෑවට පස්සෙ හිනා වුණ, ට්‍රොල් කරපු හැමෝටම මෙසී කියන්නෙ කවුද ආජන්ටිනා කියන්නේ කවුද කියලා උන් ඔප්පු කරලා ඉවරයි. මේක ෆයිනල් එකක්. වැඩි අමාරුවක් නැතුව ඉවර කරලා දාමු. රිසාල්ට් එක මොකක් වුණත් ආජන්ටිනාව මේ කරපු දේ ගැන පට්ටම සතුටුයි.

ශාමින්ද ජයරත්න

“අරගලකරුවන් ඉක්මනින් ම තමන් හිටපු තැන්වලට ගියා, රට කලින් තිබුණ විදිහට ම ආපහු බෙදුණා”

0

මේ දෙසැම්බර් මාසයේ ඉදිරි දිනක එළි දකින අනුරසිරි හෙට්ටිගේ ගේ අලුත් කෙටිකතා සංග්‍රහයක්..

‘විමුක්තිපාල ගැස්සිල නැවතුණා. පාර මැද්දෙ මග හරස් කරගෙන හිටියෙ කඩුවක් අතින් ගත්තු යෝධයෙක්. ඒ එක්කම මෙන් බොලේ හස්තිරාජයෙකුත් ඉන්නව. තුවක්කු අතින් ගත්තු, කැමා ගහපු මිනිස්සු, සත්තු, මල්, ගස් වැල්, කොළ, ගස් කඳන්, සමනල්ලු, නයි, සිංහයො, කොටි, නරි, බල්ලො, මකරු, දිව්‍යාංගනාවො, යක්කු, දෙවියො, පන්සල්, චයිත්ති, බෝ පැළ, ආදී කී නොකී හැම පාටකමටම අයිති රෑප පාරවල් හතර අතේම. බලන බලනඅත වෛර්ණයි. රටට මොකක් වෙලාද?. ඒ විතරක්යැ.තැනින් තැන මිනිස් පොකුරු. ගෑනු පිරිමි ළමයි බමයි, සාදුල, හිඟන්නො, පුලන්නො, වෙළෙන්දො, සිංහල, දෙමළ, මුස්ලිම් බෞද්ධ අබෞද්ධ හැමෝම මහ පරෙ තැන තැන පැන්සල්, පින්සල් අතේ තියාගෙන ඉන්නෙ සුදු පාට ගාපු තාප්ප ළඟ පොදි කකා. තීන්ත ලොරි ගණන් තැන් තැන්වල ගොඩ බානවා . පාර පුරා සාදුල බණ කියනව. පීකර් කටවල් වලින් පිරිත් වැක්කෙරෙනව. පන්සල්වලට නාග ලෝකෙන් ධාතු වඩම්මන සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ශාක්සාත් නොකර කෙළින් ම බුදු වුණ නෝනාවරු, මහත්තුරු බණ කියද්දි ඒ පස්සෙන් ඉඳන් හාමුදුරුවරු විජිනි පත් සලනවා. මේ ආත්මෙ නිසැක ධාතු වැඳල ඊළඟ ආත්මෙ නිවන් යන්න පෙරුම්පුරණ බාල, තරුණ මහලුගැහැනු පිරිමි හැමෝම පිළිවෙතින් පෙළ ගැහිල දෑත් බැඳගෙන පෝළිම් ගැහිල ඉන්න හැටි.. හැමෝම ඉන්නෙ සතුටින්. ඇයි මං විතරක් මෙහෙම දුකින් ඉන්නෙ?

විමුක්තිපාල දුටු සයාර්ධ සුපින..

‘ඉතින් තාත්තෙ අරගල කරපු අය..? ඒ අයට මොකක්ද උනේ..?’

අරගලයත් එක්ක ඉන්නවයි කියල ජනතාව ඉදිරියෙ දිව්රපු ප්‍රසිද්ධ පුද්ගලයො ඉක්මනින් ම තමන් හිටපු තැන්වලට ම ගිහින් ආපහු සීරුවෙන් හිටගත්තා. තවත් සමහරුන්ට හිරේ විලංගුවෙ වැටෙන්න උනා. ආගමික නායකයො ආපහු ශීල සමාධියෙන් එකත් පස් ව දේශනා කරන්න පටන් ගත්තා. පාක්ෂික අරගලකරුවන් පක්ෂ තීන්දු එක්ක කලින් වගේ ම පාරෙ අරගල කරද්දි නිර්පාක්ෂික අරගලකාරයො නිර්පාක්ෂික නම් තියෙන පක්ෂ අටවගෙන පාක්ෂිකයන් බවට පත් වෙලා ඡන්දවලට ආවා. රට කලින් තිබුණ විදිහට ම ආපහු බෙදුණා. පක්ෂවලට, ආගම්වලට, ගැහැනු පිරිමි විදිහට, පොහොසත් දුප්පත් විදිහට.. ඉතින් එච්චරයි..’

‘එතකොට තාත්තෙ අර කොමනා.. එයාට මොකද උනේ..?’
කොමනා…………….
කොමනා
කෙටිකතා සංග්‍රහය
පිටු 96
මිල රු. 450.00
ගොඩගේ ප්‍රකාශනයක්

යුක්‍රේන ජනපතිගේ ‘සාමයේ පණිවිඩයට’ FIFA පයින් ගසයි

0

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය පැවැත්වෙන අවස්ථාවේදී ලෝක සාමය පිළිබඳ පණිවිඩයක් ප්‍රචාරය කිරීමට යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි කරන ලද ඉල්ලීම ලෝක කුසලානයේ සංවිධානය කරන FIFA මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙහිදී යුක්‍රේන ජනාධිපතිවරයා නිල වශයෙන් ඉල්ලීමක් කර ඇත්තේ පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය අවස්ථාවේ වීඩියෝ පණිවිඩයක් මගින් ජනතාව ඇමතීමට ය. එහෙත් අන්තර්ජාතික පාපන්දු බලධරයා වන FIFA ආයතනය මගින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සෙලෙන්ස්කි විමතිය පළකර ඇතිබව සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ වෙතත් තවදුරටත් මෙම අවස්ථාව ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවද වාර්තා වේ.

ලොව පුරා විවිධ විශේෂ අවස්ථා ගණනාකවදීම ජනතාව ආමන්ත්‍රණය කිරීම සඳහා යුක්‍රේන ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදීම සිදුකරන ලදි. ග්‍රැමී සම්මාන උළෙල, G20 සමුළුව, කැනස් සිනමා උළෙල වැනි අවස්ථා මෙන්ම ඊශ්‍රායල් පාර්ලිමේන්තුව සහ එක්සත් ජනපද සෙනෙට් සභිකයන් ආමන්ත්‍රණයටද සෙලෙන්ස්කිට අවස්ථාව හිමිවිය.

එවැනි වටපිටාවක ඔහුගේ ඉල්ලීම FIFA ප්‍රධානියා වන ඉතාලි ජාතික ගියානි ඉන්ෆැන්ටිනෝ විසින් තරයේ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ලොව පුරා දැඩි අවධානය යොමුවී තිබේ. එසේම මින් පෙරද කටාර් රාජ්‍යය LGBTIQ ප්‍රජාවගේ හිමිකම් දැඩිලෙස උල්ලංඝනය කරද්දී පවා සත්කාරකත්වය ලබාදීම සඳහා මුරණ්ඩු තීරණවලට එළඹීම සම්බන්ධයෙන් දැඩිසේ විවේචනයට ලක්විය.

එසේම ඔහු දැඩිලෙස බටහිර විරෝධ ස්ථාවරයක් අනුගමනය කරන බවට චෝදනා එල්ල වේ. පාපන්දු ලෝක කුසලානය අතරතුර ක්‍රීඩකයන්ට දේදුනු වර්ණ සහිත අත් පළඳනා පැළඳීම, පාපන්දු ක්‍රීඩාකරන රටවල්වලට අදාල ධජයන් හැරෙන්නට වෙන ධජයන් හෝ පණිවිඩ ප්‍රදර්ශනය කිරීමද දැඩි ලෙස තහනම් කර තිබුණද පලස්තීන ධජයට රිසිසේ අවස්ථාව ලබාදීම බටහිර මාධ්‍ය දැඩි පිළිකුලෙන් යුතුව ඉස්මතු කර තිබේ. එසේ වූවද රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හේතුකරගෙන රුසියානු කණ්ඩායමට ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඉඩකඩ ලබා නොදීමට FIFA විසින් කටයුතු කරනු ලැබීය.

ආර්ජන්ටිනාව ලෝකයේ මුදුනටම අරන් ගිය චේ සහ මැරඩෝනා අතරට මෙසී

0

ආර්ජන්ටිනාව මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා ගෙන ඉවරයි, කියා ගන්න බැරි මොකක්දෝ හැඟීමකින් මෙසී ඇතුළු ආර්ජන්ටිනාව ලෝක ශුරයන් වෙනවාට බොහෝ දෙනාගේ හිතේ කැමැත්තක් තියෙනවා. ආර්ජන්ටිනාව කියපු ගමන් මතක් වෙන්නෙ විප්ලවීය ඉතිහාසයේ සදා නොමැකෙන ආත්මීය සංකේතය වූ චේ ගුවේරා. චේ ඉපදුනේ, හැදී වැඩුනේ අධ්‍යාපනය ලැබුවේ ආර්ජන්ටිනාවෙදි. කියුබානු විප්ලවයෙන් පස්සෙ ලෝක ඉතිහාසයේ සදාතනික වීරයෙක් වෙච්ච චේ වගේ මනුස්සයෙක් ලෝකයට දායාද කරපු රටට ආදරයක්, කැමැත්තක් ඇති වන එක නවත්තන්නෙ කොහොමද. අනෙක් කෙනා තමයි ලෝකයක් වසඟ කල විසිවන සියවසේ හොඳම පාපන්දු ක්‍රීඩකයා වුණු මැරඩෝනා. 1986 දි ආජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානය අරන් දීපු මැරඩෝනා කියන්නෙ පාපන්දු ඉතිහාසයේ පුරාවෘත්තයක්. ආර්ජන්ටිනාව ලෝකයේ මුදුනටම අරන් ගියපු මේ දෙන්නම අද ජීවතුන් අතර නැති වුනත් ලෝකයේ කොයි මුල්ලක හිටියත් මිනිස්සු ලෝකයට දීල ගියපු දේවල් එක්ක ඒ ජයග්‍රහණයේ ආශිර්වාදය ගැට ගැහෙන හැටි හරිම ලස්සනයි.

කැලුම් කළුහැන්නැදිගේ

රියා බුල්ලොස් (Rhea Bullos) බැන්ඩේජ් උඩ පෑනෙන් අඳිනව නයික් සමාගමේ සලකුණ

0

රිහාට අවුරුදු එකොලහ ලැබුව විතරයි. පිලිපීනයේ මැනිලා නගරයෙන් ඔබ්බට වෙන්න තියෙන පාසැලක ඉගෙන ගන්න රිහාගෙ දෙමව්පියන් දුප්පත් අය.

මළල ක්‍රීඩාවට දක්‍ෂ වුනත් දුවන්න පලඳින සපත්තු දෙකක් ඒ කියන්නෙ ස්පයික්ස් දෙකක් අරගෙන දෙන්න එයාගෙ දෙම්ව්පියන්ට වත්කමක් නෑ. සපත්තු තියා එදා වේල හම්බ කරගන්නත් එයාගෙ දෙමව්පියන් කරන්නෙ සටනක්.
දුප්පත් වුනත් හිත හයිය රියා අන්තර් පාසැල් තරඟාවලියකට තමන්ගෙ ඉස්කෝලෙ නියෝජනය කරන්න සුදුසුකම් ලබන්නෙ එයාගෙ දක්‍ෂකම නිසාමයි.

නයික්..ඇඩිඩාස්… රීබොක්.. පූමා වගේ මිළ අධික සපත්තු දාගෙන අනිත් ක්‍රීඩිකාවන් ධාවන පතයට එද්දි මේ පොඩි කෙල්ල කීයටවත් පහු බහින්නෙ නෑ.
හේතුව එයාට තියනව එයාගෙම රහස් සැලැස්මක්.

අල්ලපු ගෙදර නර්ස් නෝනාගෙන් ඉල්ල ගත්ත බැන්ඩේජ් පටි තමන්ගෙ පතුල් දෙකේ සපත්තු දෙකක් හැඩේට අලව ගන්න මේ පොඩි කෙල්ල මේ බැන්ඩේජ් උඩ පෑනෙන් අඳිනව නයික් සමාගමේ සලකුණ.
තමන් හදාගත්ත සපත්තු දෙකේ දෙපැත්තෙන්ම ලියනව නයික් කියල.

“දැන් හරි… මටත් තියනව නයික් සපත්තු දෙකක්… දැං මම කාටවත්ම බය නෑ.. මම දැන් ඔට්ටුයි දුවන්න. “
මෙහෙම කියාගන්න පුංචි කෙල්ල ධාවන පතයට බහිද්දි බොහෝ දෙනෙක් හිනා වෙනව.
අවුරුදු පහළවෙන් පහල මීටර් 400, 800 සහ 1500 තරඟ තුනෙන්ම මේ පොඩි එකී දිනන්නෙ තරඟ කාරියන් විතරක් නෙවේ
බලන්න ආපු හැමෝමත් පුදුම කරමින්.
තරඟයකට සහභාගිවෙන්න මොහොතකට කලින් රිහාගෙ මිතුරියක් එයාගෙ ජංගම දුරකථනයෙන් ගන්න මේ පිංතූර දෙක ඉන්ස්ටග්‍රෑම් ගිනුමෙ දාන්නෙ විනෝදයට වගේ.

ඒ පිංතූරය දකින ප්‍රදේශයේ තවත් පාසැලක ක්‍රීඩා ගුරුවරියක් එයාගෙ ට්වීට් ගිණුමෙ මේ පිංතූර දෙක පල කරන්නෙ….
“දහිරිය ඇතිනම් දිනන එක මහ වැඩක් නෙවේ” යන පාඨයත් එක්ක.

මේක දකින පිලිපීනයේ මළල ක්‍රීඩිකාවක් ඒ පිංතූර දෙක රී-ට්වීට් කරන්නෙ “අනාගතය ගැන පිලිපීන මළල ක්‍රීඩාව බය විය යුතු නෑ” කියන වාක්‍ය යටින් ලියල.
මේ පිංතූර දෙක ලෝකෙ පුරාම යන්න ගත වෙන්නෙ පැය කීපයයි.

ඇමරිකානු ප්‍රසිද්ධ මළල ක්‍රීඩිකා දලයිලා මුහම්මද්ගෙ ඉඳල කැලිෆෝනියා ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ අධ්‍යක්‍ෂකගේ ට්වීටර් ගිණුමේ පවා මේ පිංතූර දෙක රී ට්වීට් වෙනව.

ඒ පිංතූර දෙක හරහා නිර්මාණය වෙන දාස් ගණන් උදෘත පාඨ.. දිරි ගැන්වීමේ වාක්‍ය.. ලෝකෙ පුරාම සංචරනය වෙන්නෙ පුදුමාකාර වේගෙකින්.

ලෝකෙ වටේම මිනිස්සු තමන්ගෙ ට්වීට් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වල මේ පිංතූර දෙක පල කරන්නෙ විවිධාකාර දිරි ගැන්වීමේ වාක්‍ය එක්ක.

මේ පිංතූර දකින නයික් සමාගම රිහාට අවශ්‍ය ක්‍රීඩා පාවහන් උපකරණ.. ක්‍රීඩා භාන්ඩ නොමිළේම ලබා දෙන්න ඉදිරිපත් වෙනව. ක්‍රීඩා පාසැල් රිහාට ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබා දෙන්න ඉදිරිපත් වෙනව.

ලෝකෙ වටෙන්ම එන සුභ පැතුම්.. දිරි ගැන්වීම්.. ලිපි වලින් මේ පොඩි කෙල්ලගෙ ලියුම් පෙට්ටිය පිරිල යනව.

බැන්ඩේජ් නයික් සපත්තු දෙකට හිනාවුණු කිසිම කෙනෙක් තව දුරටත් රිහාට හිනා වෙන්නෙ නෑ.
මේක බොහොම පුංචි සිද්ධියක් විතරයි….
ලංකාව පුරාම ඇති මේ වගේ දෛර්‍යවමත් ළමයි.

සමාජ මාධ්‍යයේ අඳුරු පැත්ත වගේම රියා වගේ දුප්පත් දෛර්‍යවන්ත දරුවන්ට ලෝකෙට දොර විවෘත්ත කිරීම වගේ ආලෝකමත් පැත්තකුත් සමාජ මාධ්‍යයේ තියනව.
රියාට සුභ පැතුම්.

Malcolm Sang

මහසෝනා සාක්කි දෙයි….

0

පාළුව හඩා වැලලෙන යම ගං දොලට..
වැරදී මොකෙක්වත් ආවද මගෙ ගුලට…
විලාප හඩ දෙසවන් කෑරුව කලට…
මහ මූකලම් අදුරේ ගෑටුව දොලට…

බලියක් නටනවද බැලුවා ගොස් ළගට…
දැරියක් හඬා මොර දෙනවා පණ බයට…
සී සී කඩ විසිරුණු කෙහෙරැල් තදට..
අල්ලා එකෙකු අඹරා පාගයි බරට…

අල්ලයි උගුරු දණ්ඩෙන් ඈ උඩුබැලිය…
උන් ඇස් තිබුනෙ ගිලගෙන ඇගෙ බද සුලිය…
නයි කන වියරු වැටුණා මගෙ ගත බලිය…
පලා හත් කඩට ගමි තෙපිගෙන් පලිය..

සුර සැප ගන්න තෙපි ආවද ඈ එක්ක..
මරු වැල් පටල පටලා දෙඅතෙත් එක්ක..
උන් වනසන්ට පෙර පතිවත ඈ රැක්ක..
පැන්නා බිමට පොඩිකර එකෙකුගෙ හක්ක..

දුටුවන සෝන කුමරිය වාගෙම පෙනුනා..
පැසවන හිතේ වෙෙරය එලියට ඇදුනා..
පැමිණුණ ලයේ දුක් ගිනි දෙකනින් හැලුනා..
මියගිය පෙමට යලි පණ දෙන්නට හිතුනා..

ගැහුවා එකෙකු අඹරා යටි බඩ රෑන…
දුන්නා පා පහර නෑ තව ඌ පේන…
පරලොව ගැසුමි අවජාතක කොලු රෑන..
දුවහන් දුවෙි මම රිටිගල ජයසේන…

Women’s මයින්ඩ්

නොපෙනෙනා තරමට ම සුන්දරය විඳවීම්

0

නොහිතනා මොහොතක දී හිත රිදුණ රිදවීම්
නොකියනා කුණුහරුප යට උනන පිනවීම්
නොදැනෙනා ලෙස හොරෙන් උහුලනා ඉහිලීම්
නොපෙනෙනා තරමට ම සුන්දරය විඳවීම්

ගැලරියට නෑසෙනා බැල්කනියෙ කෙඳිරීම්
බැල්කනිය නොදකිනා ගැලරියේ පිබිදීම්
ගැලරියේ වාඩිවී බැල්කනිය නැරඹීම්
ලැවරියා තලුමරන අශ්ලීල හැසිරීම්

පටු ඉඟට පුළුලුකුල මටසිලිටි තෙරපීම්
දෙටු කණිටු තිසර තන වටකුරුව ගැලපීම්
කොටු පනින කල රිදෙන ඇටමිඳුළු ඉවසීම්
හොටු පනින ප්‍රීතියකි සටකපට සැනසීම්

තර උදර බිකිනි මස බරසාර මිරිකීම්
හිර ඩෙනිම සුදු වටොර බඳ පටක නෙරපීම්
සුරලොවට සෙම ගලන පැණි කොමඩු තෙරපීම්
පරදාර අහඹුවක මනලෝල හැසිරීම්

දිවාචර නිශාචර කලාබර පැටලීම්
උපාසක බළල් පොර සරාගික වැටලීම්
සහේතුක සුලෝහිත පයෝධර මිරිකීම්
අරාජික සුරාවකි මනෝහර පිපිරීම්

සුකුමාල හාදුවකි සැඟවෙනා කැළැතීම්
මනමාල යාගයකි උතුරනා තෙරපීම්
මධුලෝල සාදයකි නොකියනා කැළැතීම්
සබකෝල ප්‍රීතියකි පුපුරණා හැසිරීම්

වවුලෙකුගෙ හකු දෙකට පුහුලමක ඇඟවීම්
මයිනෙකුගෙ කුහුලකින් අළු පුහුල් නැරඹීම්
සෙයිලමේ පෝලිමක කළු දොදොල් මිරිකීම්
කොයි තරම් සුන්දර ද අශෝබන හැසිරීම්

නොහිතනා මොහොතක දී හිත රිදුණ රිදවීම්
නොකියනා කුණුහරුප යට උනන පිනවීම්
නොදැනෙනා ලෙස හොරෙන් උහුලනා ඉහිලීම්
නොපෙනෙනා තරමට ම සුන්දරය විඳවීම්

කුමාර හෙට්ටිආරච්චි

AkzoNobel වෙතින් 2023 අවුරුද්දට වර්ණයක්

0

ලංකාවේ ප්‍රමුඛතම තීන්ත සහ ආලේපන සමාගමක් මෙන්ම Dulux තීන්ත නිෂ්පාදනය කරන සමාගම වන AkzoNobel එළඹෙන වසර වෙනුවෙන් සිය වර්ණය ලෙස ‘Wild Wonder’ තෝරාගෙන තිබේ.ස්වභාව ධර්මයේ නැවුම් බව හා ජීවය සිහිගන්වන මෙම වර්ණය, අලුත නෙළාගත් අස්වනු වල පැහැයෙන් ආභාසය ලබා නිර්මාණය වූවකි.

ලොවපුරා බොහෝ දෙනෙකු සුවය, සහනය, හිතවත්කම් මෙන්ම ජීවිතයේ සමබරතාව සොයමින් සිටින මේ යුගයේ ඔවුන් ස්වභාව ධර්මය වෙත යොමුවන්නේ නිතැතිනි. මෙම ප්‍රවණතාවන් පිළිබඳව AkzoNobel සමාගමේ තීන්ත හා ආලේපන වර්ණ විශේෂඥයින් සහ ජාත්‍යන්තර නිර්මාණ වෘත්තිකයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද පුළුල් පර්යේෂණයකින් අනතුරුව, ‘Wild Wonder’ වර්ණය AkzoNobel වර්ණ එකතුවට එක් විය.

“Wild Wonder යනු අප සහජයෙන් වටහා ගන්නා සිතිවිලිමය භාෂාවකින් අපට ආමන්ත්‍රණය කරන වර්ණයක්. අප උත්තේජනය කරන්නේත්, අපගේ ජීවිතය හා නිවහන වඩාත් සුන්දර කරන්නේත් ස්වභාව ධර්මයයි. වසර 20 කට පසු පළමු වතාවට, අපගේ සමස්ත වර්ණ එකතුවම ස්වභාව ධර්මයේ ආභාසය ලබා නිර්මාණය වී තිබෙනවා.” AkzoNobel ජාත්‍යන්තර සෞන්දර්ය මධ්‍යස්ථානයේ නිර්මාණ අධ්‍යක්ෂ හෙලීන් වැන් ජෙන්ට් ගේ අදහසයි.

“ලොව පුරා කවුරුත් පාහේ මානසික සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානයක් යොමුකරමින් සිටින පසුබිමක් තුළ, ස්වභාවධර්මයට සමීප ලෙස තම නිවාස අලංකරණය කරගැනීම අතිශයින් කාලෝචිත දෙයක්. දුෂ්කර අවස්ථාවන් වලදී අපට සහනයක් ගෙනෙන, එළිමහනක සැහැල්ලුව සහිත, පරිසරයේ සුන්දරත්වය කැටිකරගත්, සැබැවින්ම අපගේම නිවහනක් මෙන් දැනෙන අවකාශයක් අපට අවශ්‍ය වෙනවා. Wild Wonder සහ ඒ ආශ්‍රිත වර්ණ මගින් පාරිභෝගිකයන්ට ස්වභාවධර්මයේ අරුමය තම නිවහනටත් ජීවිතයටත් සමීප කරගැනීමට අවස්ථාව ලැබේවි.” AkzoNobel Decorative Paints හි අධ්‍යක්ෂ (අග්නිදිග ආසියාව සහ දකුණු ආසියාව) ඔස්කා වෙසන්බීක් පැවසී ය.

“පාරිභෝගිකයන් තම නිවාස වල සැබෑ වෙනසක් සිදුකිරීමට තීරණය කළ විට, ඔවුන් වර්ණ සම්බන්ධයෙන් අප සතු දැනුම සහ අප ලබාදෙන මගපෙන්වීම කෙරෙහි විශ්වාසය තබනවා. 2023 ‘වසරේ වර්ණය’ එළිදැක්වීමට සමගාමීව අප උත්සාහ කරන්නේ, ක්ෂේත්‍රයේ අනෙකුත් සාමාජිකයන් සමග පවතින සම්බන්ධතා ශක්තිමත් කරගනිමින්, නිර්මාණශීලීත්වය හා පර්යේෂණ ක්‍රියාවලිය පුළුල් කරමින්, නිවාස, කාර්යාල හා ප්‍රජාවන් වෙනුවෙන් ඵලදායී මානව කේන්ද්‍රීය විසඳුම් හඳුන්වා දීමටයි.” AkzoNobel Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත හීනටිගල පැවසී ය.

මෙම වසරේදී AkzoNobel හි ගෝලීය සෞන්දර්ය මධ්‍යස්ථානය සුවිශේෂී සන්ධිස්ථාන දෙකක් සනිටුහන් කරයි. එහි ColourFutures ප්‍රවණතා පුරෝකථ වැඩසටහන එහි 20 වන සංවත්සරය මෙම වසරේදී සමරන අතර, AkzoNobel ප්‍රවණතා විශ්ලේෂණ, වර්ණ පර්යේෂණ, වර්ණ නිර්මාණ සහ කලා අධ්‍යක්ෂණ ක්‍රියාවලිය එහි 30 වන සංවත්සරය සමරනු ඇත.