‘නමක් නැති හිතවතෙක්’- චේත්‍යා විදානපතිරණ
අන් කවරදාටත් වඩා වර්තමානයේ ඇසෙනුයේ අපේක්ෂා භංගත්වය පිලිබඳ වේදනාබර කියුම් ය. රටින් පිටව යාමේ අපේක්ෂාවන්ය. ගුවන් නැවක්, නැවක් නොව වල්ලමක්, කෙසෙල් කොටයක් වුව පහුර සේ ගෙන කරදිය වලල්ලෙන් පනින්නට කැසකවනා තරුණ පරපුර මෙනම ඔවුන්ට අතවනා සමුදෙන්නට සූදානම් වැඩිහිටි පරපුරය. මේ සියළුම දෙනාගේ මුවින් පිටවෙන තේමා පාඨය මෙපරිදිය. මේක හරියන රටක් නෙවෙයි.
ඒ අතර කවියෝ කිවිඳියෝ කවි ලියති. ඒ කවි අතර සැලකිය යුතු ඉඩක් වෙන් වන්නේද මේ ඛේදවාචකය ගැනමය. අපට ඉන් ගැලවීමක් නැති බව ඇත්තය. කවර කාර්යයකට අත ගැසුවද ඇදී එන්නේ මේ කතාවමය. ඉදින් ඒ මැද මට නිතර සිහිවෙන කවියක් තිබේ. ඒ දර්ශන මේදිස් කවියාගේ සංවාදයක් හෙවත් මුලිනුපුටා දැමීමක් නම් අගනා කවියය. ඒ පිළිලයක් සහ ඊට ගොදුරුවන ගසක් සංවාදයයි. ගස එහිදී පල කර සිටිනා යටත් නොවන ස්වභාවය, පිලිලයට අභියෝග කරනා ආකාරය අගනා ජීවිත පාඩමකි.
මේ සියල්ලම ලියැවුනේ චේත්‍යාගේ ‘නමක් නැති හිතවතෙක්’ කාව්‍ය කෘතියෙහි එන කවක් කියවීමත් සමගය. ඇගේ කවියද මේ ආකාරයෙන්ම ජීවිතය දෙස බලන්නට බල කරන්නකි. ඇය අජීවී වස්තුවක කාර්යය කවියට පවරාගෙන අපේක්ෂා විරහිත ලොවකට අරමුණක් සදන්නට තැත් දරයි. ඇය තම කවියට දෙන නම ඉරණම ය. එහෙත් ඒ ඉරණම විනිවිද අපට දනවනුයේ එවන් ඉරණමක් මැද වුව යමකු හට ඇති සමාජ වගකීම පිළිබඳවය. සත්‍ය වශයෙන්ම ගතහොත් අපගේ වර්තමානය යනුද කවියෙහිම එන අජීවී වස්තුව මෙන්ම අවසන් ඉරණමක් දරාගත්තකි. කිසිදු ජයක් නොදැක වුව කොයි මොහොත හෝ අපටද නික්ම යා මට සිදුවනු ඇත. එහෙත් අප කළ යුත්තේ එතෙක් උකටලීව බලා හිඳීමද නැතිනම් අවසාන මොහොත දක්වා අපේ වගකීම ඉටු කිරීමද? අප සිතිය යුතු තැන එයයි.
නොසැළී සදුළඟ මැඩගෙන
නොනිවී අවට එළි කොට
තනියෙන්ම දරාගෙන
කෙළින් සිටිනා අතරම
උණුවී ටිකෙන් ටික
කඳුළු වැගිරී අවසන
දැවී කෙලවර විය යුතුය
ඉටිපන්දම!
සැබැවි, ඉටිපන්දම ක අවසන එයය. එහෙත් ඒ අවසන එන්නේ කවර ගැහැට මැද වුව ආලෝකය සපයමිනි. ඇගේ කවිය ඉටිපහන් මෙන් දියව වැගිරෙන අපේ ජීවිතවලට අරමුණක් සිහිගන්වයි.
ඇගේ මේ පාර වන්වේ නොවේ යන කවියද අවධානය ලැබිය යුත්තකි. එය ආදරයේ ඇති අත්කර ගැනීම කෙරෙහිම යොමුවන ස්වභාවයට පටහැනිව අන්‍යෝන්‍ය අවබෝධය හරහා ආදරය සොයා යන්නට කරනු ලබනා ඇරයුමකි. එය කෙසෙවත් කොටු දැලින් වට, ආදර විලංගු, සංඥා පුවරු පිරි මගක් නොවේ. ඒ වෙනුවට එහි ඇත්තේ සීමා මායිම් නැති, විවෘත, අවබෝධයෙන් යුතු පිවිසුමක් සහ පිටවුමකට ඉඩකි.
මේ පාර වන්වේ නොවේ
දෙපසටම ගමන් කල හැකි
මං තීරැ මෙහි තිබේ
ඔබට මට ආ හැකිය
යා හැකිය
ඔබ එද්දි මට යන්නට
මා එද්දි ඔබට යන්නට
නතරවී බලා ඉන්නට
වෙහෙස නම් රැඳෙන්නට
ඉක්මනින් බැරිනම්
පමාවී වුනත් යන්නට…..
ජීවිතයේ ඇති අපේක්ෂා විරහිත බව අපට මැනවින් වටහා දෙන වදනක් බවට අපේක්ෂා යන්නම පත්ව තිබේ. ඒ මරණයේ නදිය ගලා බස්නා රෝහලකට ඒ නම දී ඇති හෙයිනි. එහෙත් ඒ බිම් කඩෙහි විවිධ අන්දර ලියැවෙයි. ඒ අන්දර අතර ජීවිතය හා අසම සම දිරියෙන් පොර බදන කතන්දරද එමටය. කිවිඳිය අපේක්ෂාවේදී ය යන කවියෙන් මේ බිම් කඩෙහි සැලෙන ජීවිතය අල්ලන්නට වෙර දරයි. ඒ සියළු මායිම් සීමා ඉරි මකන බිමකි. පොදු රැහැන්කාරීන් මිනිසුන් බඳින තැනකි.
ඇය ඒ දකින්නේ මෙලෙසිනි
උපන් ආගම කුමක් වූවත්
වට තුනක් බෝධියේ පැන් ලූ
පතා පැතුමන් ඉහල අතුවල
හදේ නම රැඳි ලියා එල්ලූ
කිවිඳිය අහිමි පෙම ගැන ලියන්නීය. එහෙත් ඒ අහිමි පෙම වෙනුවෙන් වලප්නා ස්වරයකින් නොවේ. ඒ වෙනුවට කවියෙන් මතුවන්නේ කම්පාවට යට නොවී ජීවිතය දෙස සවිමත් සිතකින් බලන්නට වෑයම් දරන්නෙකු/ දරන්නියක ගේ හද ගැහෙනා රාවයයි.
මතක අකුණක් දෙකක්
පතිත වෙනවා මිසක
හිතින් අත් හළ බිමට
එයින් පසු වැසි නැතිය
ඔබෙන් හිසුවූ ඉඩේ
පිපෙන්නේ පොපි මල්ය
සිහිවටන ලෙස හදේ
කඩදාසි පොපි මල්ය
මතක අකුණක් දෙකක්- ඒ යෙදුම අහිමි පෙම ගැන මතකයෙහි ඇතිව නැතිව යන නිමේෂයන් ගැන කතා කරයි. ඇය පෙම පිලිබඳව දකිනා ආකාරය හොඳ පෙම්වතෙකි දිනකර නම් කවියෙහිද අපට හසුවෙයි. ඇය අපේ සාහිත්‍ය යේ නිරතුරුවම හමුවන හිර සහ සඳ තම කවියට කැඳවයි. එහෙත් ඇය ව්‍යංගාර්ථවත් ලෙස සංක්ෂිප්ත කවියක් හරහා නවමු හැඟුම් දනවන්නට එහිදී සමත් වෙයි.
හැමදාම රෑ වෙනකොට
මිය යන්න පුළුවන් ඉරකට
හඳට හිනැහෙන්නට
ඉඩදී අහස අතහැර
බොහෝ ඈතින් ඉඳගෙන
එවන එළියෙන් හිනැහෙන
හඳ බලාගෙන සැනසෙන
හොඳ පෙම්වතෙකි දිනකර
ඇගේ කවි වලින් සැලකිය යුතු සංඛ්‍යාවක් වෙන් වන්නේ පෙම සහ වියෝව මාතෘකා කරගන්නටය. එහෙත් ඇය තම කවි ඕලාරික වැකි වල තත්වයෙන් මුදා ගැනීමට සමත්ව සිටින්නීය. එහෙත් ඒ අතර ඇය ජීවිතයෙහි ගැඹුර ස්පර්ශ කරන්නටද කවියෙන් යත්න දරන්නීය. තාත්තාගේ සපත්තු හා සහකම්පනය එවන් කවියකි.
නොතේරෙන දවස
ලොකුම ලොකු ඔබේ
සපත්තුව තුළට බැස
අසීරුවෙන් ඇවිද ගිය
එක කුඩා කෙල්ලකට
අනෙකාගේ සපත්තුව
පතුලටම බැසගෙන
ඔහු ඇවිද ගිය අසීරුව
වටහා ගත යුතු බව
පසුව පසක් විය
මේ චේත්‍යාගේ පළමු කාව්‍ය එකතුවය. එහෙත් ඒ කවි අතර සාර්ථක කිවිඳියක ලෙස පියවර තබන්නට තමන්ට සමත්කම් ඇති බව පෙන්වන පා ලකුණු දැකිය හැකිය. ඇය කළ යුත්තේ කවිය අත නොහැර දිගටම එහි අත්හදාබැලීමහී නිරත වීමයි. එය දීර්ග ගමනකි. වෙහෙස නොබලා යා යුතත්කි. ඇය ඊට සූදානම් බවට මේ කවිය දෙස් දෙයි.
කුණාටුව පසුකළා පමණයි
තෙතබරිත තටු වලට වෙහෙසයි
ගමන තව ගොඩක් ඈතයි
නැවතිලා ඉසිඹුලන මොහොතේ
ජීවිතේ විඩාවෙන් තොරවේ
ඉගිලෙන්න කලින්ටත් වැඩියෙන්
හිත හයිය ගත තුළට පිවිසේ