Home Blog Page 240

“මේ වගේ ගොරහැඩි සමාජයකට මෙච්චර සියුම් කවි මොකටද කියා අපට හිතෙනවා”

0

ලක්ශාන්ත මේ පොතෙන් සමකාලීන සිංහල කවිය පුදුමාකාර තැනකට ඔසවනවා. තමනුත් පූර්ණ ප්‍රවීණත්වයක් කරා එසවී ගන්නවා.

භාෂාව යානයක් කරගෙන මනුෂ්‍ය පැවැත්මේ පෙර නොගිය තැන් කරා අප රැගෙන යනවා. ඒ අඩවිවලට අපි ආවෙ භාෂාවෙන් බව අපට අමතක වෙන තරම් සියුම් සංවේදනා අපට දැනෙනවා. මේ වගේ ගොරහැඩි සමාජයකට මෙච්චර සියුම් කවි මොකටද කියා අපට හිතෙනවා.

දෛනිකත්වයේ ඒකාකාරය හා රාමුගත දෘඪභාවයට එරෙහිව කවියා නගන ඒ කැරැල්ල එවන් සියුම් සංවේදනා දැනෙන අලුත් දෛනිකත්වයක් ලබා දිය හැකි ලෝකයක් ගැන අප තුළ ආසා ඇති කරනවා.

අපේ සංවේදනා කලාපයේ හා භාවමය ධාරිතාවේ සිදුවන ඒ ප්‍රසාරණය ‘දේශපාලනය’ යැයි අපි සාමාන්‍යයෙන් දන්නා දේශපාලනයට වඩා විප්ලවීයයි. එවන් විප්ලවීය භාවයක් දකින්න ඉඩ නොදෙන ‘හදිසි අවශ්‍යතා’ දේශපාලනයකට අපි තල්ලු කරනු ලැබ සිටිනවා. හරියට කෑම වේලක් නැතුව පාසල් එන දරුවන් දහස් ගණනක් සිටින රටක මනුෂ්‍ය සංවාදයට ලක්ශාන්ත ලියන වැනි කවියකුත් එකතු කරන්නේ කොහොමද කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒත් එක තනි මිනිහෙක් හරි ඒ වැඩේ නොකරන රටක් කන්න හොඳ හැටි තිබුණත් දුප්පත් රටක්.

ලක්ශාන්ත අතුකෝරල! මේ කවි බොහොමයක් කවිකාර විස්කම්, වදන් පපඩම් නෙමෙයි. මගේ හදවතේ ඇතැම් සියුම් නාලිකා පළමු වරට නලියවා හොල්ලන්න මේ සමහර කවි, යෙදුම්, වචන හේතු වුණා.

ලියනගේ අමරකීර්ති

දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති විය යුතූ

සිනෙඩීන් සිඩෑන් 98 දි ප්‍රංශයට ලෝක කුසලානය අරන් දුන්නේ ඔලුවෙන් ගහලා. එදා Final match එකේ ප්‍රංශය ගහපු ගෝල් 3න් දෙකක්ම සිඩෑන්ගෙ head ගෝල්. ඒ කාලෙ බ්‍රසීලයේ රොනාල්ඩෝලා, රිවාල්ඩෝලා තමයි පාපන්දු ලෝකය හොල්ලන් හිටියේ. ඒත් Cup එක ගත්තට පස්සේ සිඩෑන් ලෝක පූජිත වුණා. එදා තමයි ප්‍රංශයේ දීර්ඝ කාලීන පාපන්දු හීනය මුලින්ම සැබෑ වුණේ.

එයින් පස්සෙ තිබුණු 2002 World Cup එකේදි ප්‍රංශකාරයො මුල් වටයෙන්ම ගෙදර ගියා. ඒත් 2006 දි සිඩෑන්ගෙ නායකත්වය යටතේ ප්‍රංශය ආයෙම Final ආවා. අනිත් පැත්තෙන් ආවෙ ඒ වෙන කොටත් තුන් පාරක් Cup එක උස්සපු ඉතාලිය. පාපන්දු ලෝකයේදි ප්‍රංශයයි ඉතාලියයි ඒ කාලෙ Final ආවා කියන්නේ ක්‍රිකට් Would Cup එකේ ඉන්දියාවයි පකිස්තානයයි Final සෙට් වුණා වගේ තමයි. විනිසුරුවන්ට කාඩ් උස්සලම එපා වෙනවා.

2006 මැච් එකේදි ලෝක පූජිත Football Legends දෙන්නෙක් දෙපැත්තෙන් සෙල්ලම් කළා. එක්කෙනෙක් අපි කවුරුත් දන්න සිනෙඩීන් සිඩෑන්. ඔහු ප්‍රංශ නායකයා විදියටයි පිටියට ආවේ. ඔහුගේ අනිකා ඉතාලියේ මාර්කෝ මර්තෙරස්සි. ඒ මැච් එක දෙන්නාගේම අවසාන ලෝක කුසලානය. ඒ නිසා world cup එක අරන් ලොකු අයියලා දෙන්නාට හොඳ සමුගැනීමක් ලබා දෙන්න දෙපැත්තේම ක්‍රීඩකයො උනන්දු වුණා. තරඟයේ අතිරේක කාලය හමාර වෙද්දිත් ලකුණු පුවරුව දැක්වුණේ ගෝල 1-1 ක් විදියට. එකක් ගැහුවේ ප්‍රංශයේ සිඩෑන්. අනික ඉතාලියේ මර්තෙස්සි. පට්ටම කරට කර තරඟයක්.

කල්ලන්ට හයිය තියෙනවා. සුද්දන්ට තක්ෂණය තියෙනවා

අවුරුදු අටකට කළින් ප්‍රංශයට දෙවියන් කැඳවූ සිඩෑන්ගේ රත්තරන් ඔලුගෙඩියට මැච් එකේ අන්තිම විනාඩියේ යකා වැහුණා. සිඩෑන්ගේ යක්ෂ හිස ක්‍රියාත්මක වුණා. ඔහු කුළු මීමෙක් වගේ පාත් වෙලා ඔලුවෙන් ඇන්නා. හැබැයි බෝලෙට නෙවෙයි. ප්‍රතිවාදී ඉතාලියේ ලෝක පූජිත මර්තෙස්සිගේ පපුවට. ඒ කරපු නොහොබිනා වැඩේ නිසා සිඩෑන්ව රෙඩ් කාඩ් දීලා එළියට දැම්මා. ඒ ගොං වැඩේ නොවන්නට ප්‍රංශය තමා එදත් ලෝක කුසලානය ගන්නේ. සිඩෑන් සීන් එකෙන් අයින් කළාම ප්‍රංශ team එක මානසිකව වැටුණා. පස්සෙ Penalty වලින් ඉතාලිය ගොඩ ගියා.

කතාව ඒකම නෙවෙයි. එදා ඉතාලි Team එකේ හිටියේ මර්තෙරස්සි, දෙල් පියෙත්‍රෝ, තොත්ති, රොස්සො වගේ ක්‍රීඩකයෝ. ඔක්කොම Original ඉතාලි කාරයෝ. ඒත් ප්‍රංශ Team එකේ බහුතරය කල්ලො. සිඩෑන්ට වුණත් තියෙන්නේ ඇල්ජීරියන් සම්භවයක්. 2018දිත් ප්‍රංශය කප් එක ඉස්සුවේ කලු කොල්ලො සෙට් එකක් දාලා කියලා චෝදනාවක් ආවා. කල්ලන්ට හයිය තියෙනවා. සුද්දන්ට තක්ෂණය තියෙනවා. මේ දෙක එකතු කරලා තමයි ප්‍රංශකාරයා ගේම ගහන්නේ.
එහෙම බැලුවම ආජන්ටිනාව දිනුවේ උන්ගෙම ලේ වලින් කියන්න පුළුවන්. යුරෝපීයන් පාපන්දුවේ ආර්ථික බලය අල්ලාගෙන හිටියාට පාපන්දුවේ විචිත්‍රවත්වය තියෙන්නේ ලතින් ඇමෙරිකාවෙ. ඒක හරියට ක්‍රිකට් වංශකතාවේ ඉන්දියාව දරණ ආධිපත්‍යය වගේ. ප්‍රංශය පාපන්දුවෙන් ක්‍රීඩාවට වඩා එහා ගිය භූ- දේශපාලනික ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා. ප්‍රංශය තමන්ගෙ අසල්වැසියන් එක්ක යුරෝපා නායකත්වය සඳහා සීතල යුද්ධයක පැටලිලා ඉන්නවා. ඉතාලිය කෙසේ වෙතත් ජර්මනිය දැන් ප්‍රංශය අභිබවා වේගයෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. නමුත් යුරෝපා සංගමයේ න්‍යෂ්ටික බලය සහිත එකම රට ප්‍රංශය. රුසියාව සමඟ යුද්ධයක පැටලීමට යුරෝපා න්‍යෂ්ඨික බලවතා ලෙස තමන් අකමැති බව ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් මහත්තයා මෑතකදි කිව්වා. බටහිර ලෝකයේ ප්‍රංශයට තියෙන්නේ වෙනම ගමනක්.

ඕස්ට්‍රේලියාව, එංගලන්තය APL, EPL ගහන්න යන්නෙ නෑ

නූතන ක්‍රිකට් ක්‍රිීඩාවේ තියෙන භූ-දේශපාලනය සියුම්ව නිරීක්ෂණය කරන්න පුළුවන්නම් පාපන්දුවටත් ඒක අදාල කර ගන්න,පුළුවන්. ඉන්දියාව IPL ගහන කොට ඕස්ට්‍රේලියාව, එංගලන්තය APL, EPL ගහන්න යන්නෙ නෑ. ඔවුන් ඉන්දියාවෙ පදේට නටන්න ගිහින් ක්‍රිකට්වලින් තමන් අත්පත් කරගත්ත සම්ප්‍රදායික වටිනාකම් නැති කරගන්න ගියේ නැහැ. අමාරුවෙන් හරි අළු බඳුන වගේ තරඟාවලි තවම පවත්වනවා. පාපන්දුවේ ලෝක සැණකෙළිය ආසියාවේ තියෙද්දී අපි ඉතින් මෙහේ දමාගෙන LPL ගහනවා. ගහන උන්ගෙ පවුල්වල අයවත් ඒව බලනවද සැකයි.

ඉන්දියාව දන්නවා කවදාවත් පාපන්දුවෙන් ලෝකය අල්ලන්න බැරිබව. හින්දු දේවවාදී සම්ප්‍රදායික කැම රටාවට හුරුවෙලා තියෙන පෙරදිග ඉන්දීය ජාන එක්ක පැය 2ක් එකදිගට පිට්ටනියක දුවන්න බැහැ. එළවලු, බත්,මාලු, චිකන් විතරක් කන බහුතරයක් ඉන්න උප මහාද්වීපයකට ඒක හීනයක්. ඉන්දියානු උපාය මාර්ගිකයන් ඒක දන්නවා. සිනමාවෙන් ආසියාව අල්ලලා, IT වලින් උතුරු ඇමෙරිකාව අල්ලලා, Business වලින් යුරෝපය අල්ලලා ඉන්දියාව දැන් එන්නේ ක්‍රිකට්වලින් මැදපෙරදිග තෙල් සල්ලි හොල්ලන්න.

කටාර් රාජ්‍යයට ඕනෙ ඩුබායි අභිබවා යන්න

2010 දී තමයි කටාර් රාජ්‍යයට පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමිවන බව ප්‍රකාශයට පත්වුණේ. පාපන්දුවේ දේශපාලන ආධිපත්‍යය තියෙන යුරෝපීයයන් බෝලය කටාර් පැත්තට යොමු කළේ අත ලෙව කන්න නෙවෙයි. ඇස්තමේන්තු කරපු විදියට ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක් විතර මේ මංගල්‍යයට වියදම් වෙලා තියෙනවා. ලංකාව ගෙවන්න තියෙන සමස්ත ණය ප්‍රමාණයත් ඩොලර් බිලියන 59යි. එහෙව් එකේ මේ සා විශාල මුදල් කන්දරාවක් මෙවුන්දැලා වියදම් කරන්නේ ඇයි?

ලෝකයේ වෙළඳ අගනුවර කාලයෙන් කාලයට වෙනස් වෙනවා. වැනීසිය, කොන්ස්තන්තීනොපලය, ඇම්ස්ටඩෑම් හරහා ඇවිත් දැන් ලෝක වෙළඳාමේ ආධිපත්‍යය දරන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක්. හැබැයි චීනයේ ෂෑන්හයි, සිංගප්පූරුව විතරක් නෙවෙයි ඩුබායි නුවරත් දැන් වේගයෙන් ඉස්මතුවෙලා තියෙනවා. මේ අතරින් ඩුබායි නගරය නිව්යෝර්ක් පවා පසුකරමින් ඉදිරියට ගොස් තිබෙනවා. දැන් කටාර් රාජ්‍යය ඩොලර් බිලියන 200ක් වියදම් කරගෙන මේ අල්ලපු අඩව්ව ගැන අදහසක් ගන්න පුළුවන්. ඔවුන්ට ඕනෑ ඩුබායි අභිබවා ගිහින් මැදපෙරදිග ආර්ථික බලවතා වෙන්න.ඒ සඳහා ඕනෑවටත් වඩා කරුණු දැන් පෙළ ගැහිල තියෙනවා. මුස්ලිම් ලෝකයේ පළමු තේරිම වූ මොරොක්කෝව Semi final ආපු එක කටාර්වරුන්ට ලොතරැයියක් ඇදුණා හා සමානයි. ඒ වගේම ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ පළමු තේරීම වූ ලයනල් මෙසීලාගේ ආජන්ටිනාව ලෝක කුසලානය ගැනීම ඊටත් එහා ගිය අවස්ථාවක්.යුරෝපා රටක් ජයග්‍රහණය කළත් ඒ අමන්දානන්දය යුරෝපයෙන් පිටට යනවා අඩුයි. ඒත් ආජන්ටිනාවේ ජයග්‍රහණය බොහෝ කාලයක් මිනිස්සුන්ට මතකයේ රැඳේවි.

මෙසී ජයග්‍රාහී පුරවෘත්තයක් වෙලා නික්ම ගියා

ආජන්ටිනා ජනතාවටත් මේ ජයග්‍රහණය ඉහටත් උඩින්. එහෙත් ඉතින් සන්තුෂ්ඨි පරමංදනං කියල කට ඇරල කියන්න පුළුවන් ඉතින් දේශපාලනඥයන්ට තමයි. සුද්දො වගේ හිටියට වැඩි දෙනෙක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. උප ජනාධිපතිවරිය දූෂණ චෝදනා ඔප්පු වෙලා හිරෙත් ගියා. ලංකාවට ක්‍රිකට් වගේ ආජන්ටිනාවට පාපන්දු කියන්නේ ඉඳල හිටල හරි මිනිස්සුන්ට සතුටු වෙන්න තියෙන මාතෘකාවක්. හැබැයි ලයනල් මෙසීලා අපේ උන්දැලා වගේ සල්ලි දීලා ෆෑන් බේස් නඩත්තු කරපු අය නෙවෙයි. ඒකයි ඔහු ආජන්ටිනානුවන්ට ආගමක් වෙන්නේ. අවුරුදු 35ක් කියන්නේ පාපන්දුවට නාකි පඩංගුවක්. එත් මෙසී හොම්බ බිම ඇනෙනකම්ම සෙල්ලම් කළා. ඒ අධිෂ්ඨානය, කැපවීම විශිෂ්ඨයි. ප්‍රංශයේ විශිෂ්ට එම්බාප්පේගේ දීප්තියත් අන්තිමට මෙසීලාගේ අත්දැකීම් හමුවේ අඩු වී ගියා. මැරඩෝනාටවත්, පේලේටවත්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝවටවත් මෙසී වගේ ජයග්‍රාහීව විශ්‍රාම යන්න බැරි වුණා. ඒත් මෙසී ජයග්‍රාහී පුරවෘත්තයක් වෙලා නික්ම ගියා.

ශානක ලියනගම

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කාව්‍ය ප්‍රයාණයෙහි දසවන සළාවැටුම ‘ගෙත්තම්පාණ’

0

“ගෙත්තම්පාණ” ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කාව්‍ය ප්‍රයාණයෙහි දසවන සළාවැටුමයි. ජීවිත භක්තියත් ජීවන ලාලසාවත් උත්තුංග මානවීය ප්‍රේමයත් මිටින් ගත් කව් කළඹක් ලෙස “ගෙත්තමපාණ” ගෙත්තම් ව තිබෙයි. රත්න ශ්‍රී කවියාගේ භාවිකාර්ථවත් මිහිරි කව් බසේ සාරයත් ඔහුගේ කාව්‍ය ප්‍රයාණයේ හැම සළාවැටුමකින් ම මතු වූ ඉදිරී වැටෙන ගිලිහෙන වාරයක් පාසා ජීවිතය අත්පසුරෙන් බදා අල්ලා ගැනිමට පොළඹවන මානවවාදයත් යලිදු මෙහි ගෙතෙයි.

තනිකම යනු කැඩපත් වියෙහි අප අම්මාගෙන් වෙන් කරනු ලැබූ නිමේශයේ පටන් අප තුළ තෙපුල් දෙන අනවරත මනෝභාවයයි. එනයින් අම්මා වූ කලී අද්වෛත තනිකමෙහිත් සකල විධ අහිමි වීම්වලත් සංකේතයයි. එබැවින් කවියා තුළ හැම විට ම අම්මා පිළිබඳ සංස්තිථික වන්නේ කැටි ගැසුණු වේදනාවකි. අප පතන සියල්ල ඈ අත තිබියදීත් අපට ඇය මග හැරී යාමේ වේදනාත්මක සාංකාවකි. පහසුකම් ඉතා අඩු වැඩිහිටි නිවාසයක ඇතිරිල්ලකුදු නැති බූරු ඇඳක් මත මිය ගොස් සිටින මවක පිළිබඳ අත්දැකීම කවියා තුළ නිසඟයෙන් නිදන් ව ඇති මේ කාංසා සහගත හැඟුම් ඇහැරවයි. එය ලියා ඇත්තේ ” කුරා කුහුඹු අම්මා” යන හිසිනි.

” මිටි කර ගෙන දෑත
වකුටු වී හොඳට ම
මහලු අම්මා කෙනෙකි ඇය
කළු කුහුඹුවන් පමණකි
සිටියේ ඇගේ තනියට
ඒ පාළු කාමරේ
කිළිටි වැරහැලි අතරේ”

හුදෙකලාව මියගිය ඇගේ නිසල සිරුරෙහි කළු කුහුඹුවන් සැරි සරන අයුරු කවියා දෘශ්‍ය රූප මවයි. ඇගේ සිරුරෙහි සැරිසරන කළු කුහුඹුවන් පමණක් දන්නා සත්‍යක් කෙරෙහි කවියා අපේ අවධානය යොමු කරයි. එහෙත් කවියා මේ අවධානය යොමු කරන්නේ ඇය වෙත නොව තමාගේ ම අහිමි වීමේ වේදනාව වෙතයි. අම්මා අත අප වෙනුවෙන් දෙයක් ඇතැයි සිතෙන්නේ ඒ වේදනාත්මක අහිමි වීම නිසා ම නොවේ ද?

“ ඒ කළු කුහුඹුවන්
දැන සිටියා හොඳට ම
ඈ ළඟ යමක් ඇති බව
කොහේ හෝ ඇති පුතෙකුට
හුරු බුහුටි දුවකට
ගෙනා කඩයප්පන්
පැණි රස කැවිල්ලක්
මැරී ගිය කිරි සුවඳක්
දෙන්න බැරි වුණු හාදුවක්
ඇගේ තුරුල්ලේ ඇති බව”

“කතා නැති දුරකථන” නම් කව ද එහි ම වෙනත් දිගුවකි. යාන්ත්‍රික නවීකරණයන් තුළ විඳවිල්ලක් වූ සමාජයේ දරුවන්ට අම්මා මග හැරීමේ ඛේදය කවියා මතු පිටින් අල්ලා ගන්නා අතර ම තමා තුළ සිටින අහිමි වූ අම්මා ගැන කාංසාමය හැඟුමත් වේදනාවත් මෙබඳු කව් මත තැවරී තිබෙයි.

“අම්මාගේ කටහඬ” නම් කව එහි ම තවත් පර්‍යාලෝකයකි. එක් හැවිරිදි වියේදී අම්මා මිය යාමෙන් තනිවුණු පුතෙකුට අම්මාගේ කටහඬ කෙබඳු වී දැයි සිතා ගැනීමට නොහැකි වීම මෙහි නිමිත්තයි. කැඩපත් වියේදී අම්මා සංකේතියව අහිමි වන්නට පෙර සැබවින් ම අම්මා මිය යාම කවියා තුළ පසු කලෙක පියවිය නොහැකි කුහරයක් නිර්මාණය කර තිබේ. දිරා ගිය කොස් කොළ ගොඩ මැද මේ දැන් පුපුරා ගිය බිජුවටයකින් පිටතට පැමිණි මල් රදනක පැටවුන් ද උන්ගේ අම්මා වූ මල් රදනක සැපිනියගේ කට හඬ ගැන සාවධාන වෙයි.

” දිරා යන කොස් කොළ ගොඩ මැද
මේ දාන් පුපුරා ගිය බිජුවට
අතරින් හිස ඔසවන
මල් රදනක පැටව්
ඉව කරති වට අවට
පොරි අහුරක් සේ ම
ඔසවා හිස අහසට
අසා හිඳිති කම්පන
මේ ළඟ පාත ඇති
මල් රදනක සැපිනිය”

ගෙල බැඳි මිණි වැල නොසලා සීරුවෙන් ළමා වසු පැටවුන් ද සවන් දී සිටින්නේ මවු දෙනගේ කට හඬ කොයි ඉසව්වෙන් මතු වේ දැ යි යන විමසිල්ලෙනි. එහෙත් කථකයාට තම මවගේ කටහඬ මතක නැත.ඈ ගයන්නට ඇතැයි සිතෙන නැළවිලි ගීයක් ඔහු සිතින් මුමුණා බලයි. එහෙත් ඒ. එකකවත් ඔහු සොයන අම්මාගේ සිහින කටහඬ නැත. අම්මා අහිමි කරනු ලැබීමෙන් අප තුළ තැවරෙන සදාතනික කාංසාමය ස්වභාවය කවියා ධ්වනිත කරයි.

” කුඹුරු වතුපිටි දෙණිවල
පාළු කඳු වැටි අතර
සුළඟේ පාව ගිය
කොහි ද ඇගෙ කට හඬ”.

“පුංචි” යන හිසින් යුත් පුංචි අම්මා ගැන ලියූ කව ද අම්මා අහිමි වීමෙන් තනිකම පිරිමැසීමට අනුපූරකයක් ලෙස ආදේශ වූ පුංචි අම්මා ගැන දයනීය හැඟුම් උපදවන නිර්මාණයකි.

“පය රිදී වෙහෙසුණු වෙලාවට
පයින් යන්නට බෑ කියූ විට
අනේ මා උකුලට වඩාගෙන
පාසලට පන්සල්ට ගෙන ගිය
පුංචි අම්මෙක් සිටියාය මට”

තමා කුඩා අවදියේ අම්මා අහිමි වීමෙන් හටගත් හිස්තැන පිරවීමට ආදේශකයක් වූ ඇය පසුකලෙක අත් විඳි දුක් දොම්නස් පිරි විකල් සිහියෙන් ඇවිද ගිය යුගය කවියා සිහිපත් කරයි.කායික මානසික දුක් දුබික් වැළඳූ ඇයට දිවි මග තවදුරටත් සැරිය නොහැකි සේ බෙලහීන තත්ත්වයකට පත් වෙයි.

” වැදී කැට බැට මුගුරු අපමණ
විසන්ධිව ගොස් සන්ධි අතපය
තවත් යන්නට බෑ කියූ ඇය
මට වඩා ගෙන යන්න බැරි විය”

එතැන් සිට දිගින් දිගට ම මහලු ඈ තව තවත් පුංචිවට පෙනුණු බව කථකයා පවසයි. පුංචි අම්මා තව තවත් පුංචිවට පෙනුණු බව අවධාරණය කොට කීම මගින් සිදුවන්නේ පුංචි අම්මා ඔහුගේ සිත තුළ වඩාත් විශාල වීමයි. මෙ ලෙස ගෙත්තම්පාණෙහි කාව්‍ය නිර්මාණ රැසක අම්මාගේ භූමිකාව විශාලනය කොට දැක්වීමෙන් කවියා තම කැඩපත් වියෙහි වූ අහිමි වීම යළි සොයා යාමට වෙර දරන ආකාරය පිළිබිඹු කෙරෙයි.

” සෙල්ලම් වලසා” නම් කව දරුවන් ලිංගිකව අපයෝජනයට ලක්වීමේ නරුම කලාපයක් අනාවරණය කෙරෙන කවකි. “සෙල්ලම් වලසා” යනුවෙන් රූපකයකට නැගී ඇත්තේ මෙහි කථක දැරියව හින්සනයට ලක් කෙරෙන නිමිත්තයි.

” සෙල්ලම් වලසා තමයි
මා සපා කෑවේ
ඇඟිලිවලටත් දනෙනවා
දත් පාරවල් පපුවේ
රිදෙනවා අම්මේ”

ජන මතක මූලාශ්‍ර මත රැලි ගසන අමල් බිසෝ කතාව ද කවියා මෙහිදී ඉවහල් කර ගනී. දූ රකින්නට අමල් බිසෝගේ මව තියා ගිය පූසා ද ගිරවා ද මෙන් ඇයට ද ආදරේ කරන්නට මැටි පූසෙක් සහ ඉරිදා පොළෙන් ගෙන ආ ගිරවෙක් සිටියි. එහෙත් අමල් බිසෝගේ පූසාටත් ගිරවාටත් මෙන් ඇය ව රැක ගන්නට ඇගේ සුරතලුන්ට නොහැකි වී තිබෙයි. තමාට හිංසා කරන නපුරු සෙල්ලම් වලසා කවුරුන් විසින් ගෙනෙන ලද්දේදැයි පවසන අවස්ථාවේ අත්දැකීමේ යටිමඩිය ලෙහෙයි.

” බාප්පා තමයි දවසක
නපුරු සෙල්ලම් වලසා
එක්කගෙන ආවේ
විස්මලන්තය බලන්නට
කැටුව ගිය දවසේ”

අම්මාගේ රැකවරණය දරුවන් වෙතින් ගිලිහී යන පළමු නිමේශයේදී ම ඔවුන් කවර තරමේ අනතුරකට ලක්වන්නට ඉඩ තිබේ ද යන්න ” සෙල්ලම් වලසා” නිර්මාණයෙන් කවියා වැඩිහිටියන්ට අනතුරු අඟවයි. “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසනු ඒ අමාරුව” කීවා සේ වැඩිහිටියන් විසින් ම දරුවන්ගේ ලෝකය බරපතල ලෙස වනසා දැමීම මේ නිර්මාණයෙන් අනාවරණය කෙරෙයි.

” ඒත් මේ වලසා
හරි ම අමුතුයි අම්මේ
තනියෙන් ඉන්නකොට
බය හිතෙනවා හරියට”

මේ කවෙහි අවසන් පේළි දෙක නොතිබිණි නම් එහි කාව්‍යාත්මයට මදකුදු හානියක් වීම වළක්වා ගත හැකිව තිබුණු බව අපගේ හැඟීමයි.

” අනේ සෙල්ලම් වලසා
බැඳ තබනව ද අම්මේ”

ජී. බී. සේනානායක, විසින් එක්දහස් නවසිය හතලිස් හයේදී රචනා කරන ලද ” දෙවියන් මැරීම” කාව්‍ය නිර්මාණය මගින් නිරූපණය වූයේ ශිෂ්ටාරය කරා ගමන් කරන මිනිසාගේ ප්‍රකෘති භාවමය ලෝකය සහ බුද්ධි ගෝචර තර්ක ඥානය අතර අනවරත් ගැටුමයි. රත්න් ශ්‍රී විජේසිංහයන් ඉන් දශක අටකට පමණ පසුව “දෙවියන් මැවීම” යනුවෙන් කවක් ලියයි. මිනිසාගේ සාමූහික උපවිඥානය තුළ ලැගුම් ගෙන සිටින දෙවියන් පිළිබඳ අර්චනකාමීත්වය නූතන පාරිභෝජනවාදය තුළ පිළිම වන්දනය වෙත වර නැගී ඇති ලාමක ස්වරූපය සියුම් උත්ප්‍රාසයකින් නිරූපණය වන නිර්මාණයක් ලෙස ” දෙවියන් මැවීම” හඳුන්වා දිය හැකිය. සිමෙන්ති බදාමෙන් සාදන තවමත් වැඩ නිම නොකළ දෙව් මැදුරක් කවියාට නිමිත්ත වෙයි.

” දේවාලයේ වැඩ ද නිමවුණේ බාගෙට
දේව ප්‍රතිමා තිබේ සැකිලිවල යා කොට
තවත් දෑතක් අඩු ය කතරගම රූපෙට
නිල්පාට ගෑ යුතු ය විෂ්ණු දෙව් මූණට”

පෙදරේරු අනුහසින් විගස නිමවෙන කොන්ක්‍රීට් දෙව් රූ බැති මතුන්ගේ අර්චනකාමය අවුළුවයි. තවමත් වැඩබිමක් ලෙස පවතින දෙවොලෙහි ඒ මේ අත විසිර පවතින කම්බි වැලි ගල් අතර දෙව් රූ මතු වී නැතත් මෙහි දෙව් අණසක ඇති බව කවියා පවසයි. එබැවින් බැතිමතුන් ගෙනා පුදපෙත් සිමෙන්ති බදාම අභියසප් තබා යන ලෙආ කවියා ඉල්ලා සිටින්නේ ඒවා ද අද හෙට ම දෙවි කෙනෙකු බවට පත් වන බව පවසමිනි. එය කදිම උපහාසයකි. පිළි රූ වන්දනාවට යොමු වී සිටින සිංහල – මිථ්‍යාවට එරෙහි ව ගෙනෙන නිර්දය විවේචනයකි.

” බැතිමතුනි ඔබ ගෙනා පුද පෙත් ද පඬුරු ද
නොපුදා ම පසු හැරී ගෙන යාම හරි නැත
තබනු මැන සිමෙන්ති ද බදාම ද අබියස
ඒවා ද අද හෙට ම දෙවි කෙනෙකු වනු ඇත”

” වියපත් නිළිය” යන හිසින් යුත් නිර්මාණය වියපත් වූ නිළියක් තම ඇඳුම් අල්මාරි ඉපැරණි ගමන් මලු අතර තම කුසුමෝපශෝභිත යෞවනය මතු කර ගන්නා නිමේශයක් අනාවරණය කරයි. ඒ අතර ඇති මැරුණු විලවුන් සුවඳ ද යල් පිනූ මෝස්තර සහිත ආයිත්තම් ද සරදම් කරයි. ඇ සොයන්නේ වෙනත් යමකි. ඒ පිරිමි සිතකින් රිදවුම් ලද ඇගේ ආත්මයයි.

” මේ කොහේ හෝ ඇති
චාටු පෙම්බස් සියයක්
ඉටු නොකළ පොරොන්දුවක්
ගුණමකු පිරිමි සුවඳක්”

වියපත් නිළියගේ මේ අතීතකාමී සැමරුම් අතර සැරුම මැදට කවියාගේ අවිඥානය සැණින් පතිත වෙයි. එය පත්න්නේ සියලු මිහිරි අමිහිරි සංවේදනා ලොවින් වසන් කොට සිනාවතක් ම පාන ගැහැනියකි.

” සිඹ බැලූ කොපුලක්
සපා කෑ කන් පෙත්තක්
තැන්පත් කළ වතක්
රැගත් පින්තූරයක්”

ගෙත්තම්පාණෙහි භාවමය ගුණ ඝනීභවනය වී ඇති කව් රැසක් දැක ගත හැකිය. ඒවා සහෘද සිත් සහකම්පනයේ සැතින් පාරා හද ගැබේ යම් නිමල තැනක තෙපුල් දෙන නිර්මාණයි. ” වයසක ඇත්තන්ගේ ඇරයුම” ” බෝනික්කී” ” “ගෙත්තම්පාණ”” සමු නොගත් සෙවණැල්ල” එබඳු නිර්මාණ අතර මුලින් ම මතකයට නැගෙයි. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ දිගු කාව්‍ය ප්‍රයාණය තුළ සියුම් නිරීක්ෂණයට හසුවන ලක්ෂණයක් වන්නේ ඔහු තම නිර්මාණ ඇසුරෙහි නිතැතින් දල්වන්නට උත්සුක වන ජීවිත භක්තිය. අනවරත අප්‍රිය අමනාප තතු නැතක් මැද බෙලසුන් ව පය පැකිල ඇඳ වැටෙන නිමේශයේදී පවා යළිත් ජීවිතය ම තර කොට අල්ලා ගැනීමෙගි ජීවන ලාලසා පුබුදු කරයි. ඒ වූ කලී සුපසන් මානව බැඳුම් මගින් කොන්දේසි විරහිතව විකසිත කරන ජීවන ලාලසාවයි. “රාත්‍රියේ කාංසාව” වේදනාකාරි අඳුරින් වැසී ගිය සිහිවටන මැද යළිත් ජීවිතය පිළිබඳ ව ම කුසුමිත වන පැතුමක් රඳවා තබයි.

” තාරාකාවක් මැරී වැටෙයි දුර කඳු හිසට
රෑ කුරුල්ලෙක් හඬයි එක දිගට නිදි නැති ව
ගොරක ගස් අවතාර කළු ජනේලය අසල
අන්ධකාරය අතන මෙතැන සහ හැම තැන ම”

සියල්ල ම වැහැරී ඉදිරී වැටී තිත්ත මූසල අන්ධකාරයක බියකරු සෙවණැලි රංගනයක අතර මැදත් ජීවත භක්තිය දල්වනු රිසි අල්පමාත්‍ර කිසිවක් සොයා පාදා දෙන්නට කවියා උත්සුක වීම විස්මය දනවන්නකි.

” මිදුල කෙළවරක සෙවණැලි නොමැති බිම්කඩක
පිච්ච වැල පමණි ගිස සලන්නේ පණ ඇති ව
හිනාවකි කට කොනක හෙට පිපෙන මල් දෙකක
අමාරු ම මතු දවස විඳ දරා ගනු පිණිස”

සමාජ විලෝපනයේ විපරීත බව නිර්දය කාව්‍ය දෘෂ්ටියකින් විෂද කර තිබීම ද ගෙත්තම්පාණෙහි සුවිශේෂත්වයකි. “සොහොන් බිම පසු කළ යුතුය” ” සත්‍යාවබෝධය” ” කලියුගයේ සාධු චර්‍යාව” එවැනි නිර්මාණ කිහිපයකි. කවර අරුතින් ගත්ත ද මීට වඩා ආඪ්‍යතර සමාජයක් තම නිර්මාණාත්මක ප්‍රයාණය මගින් අපේක්ෂා කරන රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ” ගෙත්තම්පාණ” තමාගේ අතීත කවිතා අභියෝගයට තමා ම නිබය ව අභිමුඛ වූ අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකිය.

සුජීව සිරිමෙවන්

අප කමා කළ දේ වෙනුවෙන අපේ දරුවන් අප හට සමා නොදෙනු ඇත

0

වරදකිය මුසා බස් පැවසීම යොවුනන්ට
වරදකිය එලෙසින්ම
බොරුව නිබොරු බැව් පැවසීම
දෙවියන් ස්වර්ගයේ වැඩ වසන්නේ යයිද
ලොව කිසිදු ගැහැටකින් තොර යයිද පැවසීම
වරදකිය එලෙසින්ම

දනිති උහු නුඹ කියන දේ අරුත
පවසනුය උනට
නිමක් නැති බවම දුක් ගැහැට
ඉඩ දෙනුය උනට දැක ගන්ට
හෙට දවස ගැන මෙන්ම
අද දවසේ තතුද පැහැදිලිව

පවසනුය උනට
නොවලහා ජයගත යුතුව ඇති බැව්
හමුවන සියළු බාධක
පවසනුය උනට
දුක් ගැහැට උදාවන බවද
දුෂ්කරතාවන් පැන නගිනා බවද
වගකට නොගත යුතු බව ඒ සැම

සතුටෙහි මිල නොදන්නා
නොසිටිනු ඇත්තේය කිසිදා සතුටින
දුටු තැන කවර වරදක් වුව
නොදිය යුතු සමාව නම් ඒ වරදට

පෙනෙනු ඇත නුඹටම
යළි යළි සිදුවන බැව් ඒ වරද
නොනැවතී සිය දහස් වර

ඉදින් ඉන්පසුව නම්
නොදෙනු ඇත කිසි ලෙසකින් හෝ
අපේ දරුවන් අප හට සමා
අප කමා කළ දේ වෙනුවෙන
(1952)

යෙව්ගෙනි යෙවුටුශෙන්කෝ (1933-2017)

චුලානන්ද සමරනායක (fb පිටුවෙන්)

ධර්මසිරි බණ්ඩාරනායක නම් ‘දෙවැනි පුරපුරේ අවසන් පුරුක’

දෙදහස් විස්ස අවුරුද්දේ ප්‍රකට සිනමා විචාරකයෙක් වෙන ජීවන්ත දයානන්ද ලියපු ‘ධර්මසිරි සිනමාවලෝකනය’ කියන පොතේ ධර්මසිරි බණ්ඩාරනායක හඳුන්වලා තිබුණේ ‘වම් ඉවුරේ තෙවැන්නා’ විදිහටයි. එතනදි මොහොතක් කල්පනා කරලා බැලුවම ඒ කතාවට තාර්කික පදනමක් තියනවා. ඒ කියන්නේ ධර්මසේන පතිරාජ සහ වසන්ත ඔබේසේකර පළමුවැන්නා සහ දෙවැන්නා විදිහට හරි අනු පිළිවෙල අනිත් පැත්තට හරි ගත්තම ධර්මසිරි බණ්ඩාරනායක ඒ තුන්වැනි තැනට අවිවාදයෙන්ම නම් කරන්න පුළුවන්.

ප්‍රසන්න විතානගේ වතාවක් බී.බී.සී ය එක්ක පවත්වපු සාකච්ඡාවකදි පතිරාජ සහ ඔබේසේකර හඳුන්වන්නේ දෙවන පරපුරේ පුරෝගාමී සිනමාකරුවන් කියලා. ඒ ලයිස්තුවට ධර්මසිරි බණ්ඩාරනායකගේ නම ඇතුලත් කරන්න දෙපාරක් හිතන්න ඕනද කියන එක සිංහල සිනමා ඉතිහාසය සහ භාවිතාව ගැන අවබෝධයක් තියන හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන දෙයක්. ඇත්තටම පතිරාජ, ඔබේසේකර සහ ධර්මසිරි නිර්මාණය කරපු මාර්ගයක ප්‍රසන්න, අශෝක හඳගම, විමුක්ති වගේ සිනමාකරුවෝ තමන්ට රිසි සේ ඇවිදගෙන ගියා කියන එක තමයි පුද්ගලික මතය.

ධර්මසිරි බණ්ඩාරනායක කියන්නේ කොන්දේසි විරහිතව මේ රටේ පීඩිත ජනතාවගේ පැත්තේ ඉඳගත්ත නිර්මාණකරුවෙක්. විශේෂයෙන්ම බොහෝ අවස්ථාවලදි මේ රටේ දෙමළ ජනතාවගේ වගේම අනෙකුත් අවවරප්‍රසාද ලත් ජන කණ්ඩායම් වෙනුවෙන් පෙනී ඉන්න ඔහු දෙපාරක් හිතුවේ නෑ. තමන්ගේ සෑම නිර්මාණයක් ඇතුලෙම සමාජය ඇතුලේ පීඩාවට පත්වෙන සහ පත්වුණ කුමන හෝ ජන කණ්ඩායමක් විනිවිද දකින්න ප්‍රේක්ෂකයාට අවස්ථාව ලබාදෙනවා. ඒ එක්කම ප්‍රේක්ෂකයාට ඇතිවෙන සහකම්පනය ඇතුලේ ‘ඒ තවකෙක් නොව – ඒ මම මැ’ යන්න කියන සංකල්පය ජනගත කරන්න ධර්මසිරි කියන අසහාය නිර්මාණකරුවාට අපූරු හැකියාවක් තියනවා.

ඒක ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමා නිර්මාණවලින් විතරක් නෙවෙයි, ඔහුගේ ධවල භීෂණ, ට්‍රොජන් කාන්තාවෝ, ඒකාධිපති වැනි වේදිකා නාට්‍ය එක්ක සමාජගත වනවා කියන එකට තර්කයක් නෑ. ධවල භීෂණ තුලින් සෑම මිනිසෙක්ටම ගෞරවණීය ජීවිතයක් හිමි නොවෙන සමාජයක අඩුම තරමේ සෑම මිනිසෙක්ටම ගෞරවණීය මරණයක් ලබාදිය යුතුයි කියන මතවාදය එක්ක හිටගන්නවා. ට්‍රොජන් කාන්තාවෝ වගේ නිර්මාණ එක්ක ඔහුගේ තිබුණු යුද්ධය එක්ක බැදුණු බරපතල සමාජ ගැටළු ගැන පුළුල් සහ සංවේදී අවබෝධය හෝ දැක්ම බොහොම සියුම්ව ගැලපීම ඉතාම විශිෂ්ට මට්ටමේ එකක්.

ඇත්තටම කිව්වොත් ධර්මසිරි බණ්ඩාරනායක අපි එදිනෙදා දකින, එදිනෙදා අත්විඳින වගේම ඇස් මානයට නොපෙනෙන සමාජ දේශපාලනික ප්‍රශ්නවල අපිට දැනෙන සහ නොදැනෙන යථාර්ථයන් ඉස්මතු කරන්නේ පුළුල් දේශපාලනික කෝණයෙන්. ‘බවදුක’ හේ ‘බව කර්ම’ වගේ නිර්මාණ ඇතුලෙන් එළියට බහින ආගමික සහ සංස්කෘතික ගූඨවාදයන් සමහරවිට එදාටත් වඩා අද පැහැදිලිවම දකින්න පුළුවන්. ඒ නිසා ධර්මසිරිගේ නිර්මාණ සියල්ලක්ම වගේ තුන්කල් දකින නිර්මාණ කිව්වොත් වඩාත් නිවැරදියි.

එක පැත්තකින් ධර්මසිරි කියන්නේ ලංකාවේ නිර්මාණකලාවේ එක් සුසමයාදර්ශී පරපුරක අවසාන පුරුක කියන එක පුද්ගලික අදහස. එවැනි නිර්මාණකරුවෙක්ගේ අඩ සියවසක මතක දිගහැරුම ‘ධර්මසිරි – කැරලිකාර නිර්මාණාවේශය’ නමින් 2022 දෙසැම්බර් 21 දා ඒ කියන්නේ අද සවස 3.00 ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වෙනවා.

සමහරවිට මේ සැඳෑවේ ධර්මසිරි නම් නිර්මාණාත්මක ආඥාදායකයාගේ මතක ආවර්ජනය එක්කම නැවත වතාවක් ඔහුගේ නිර්මාණ භාවිතාව කියවන්නට අපිට අවස්ථාවක් හිමිවේවි.

ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර

සැල්ටිකෝවු ෂෙඩ්රින් ගොලොවුල්යෝවු පවුලේ කථාන්තරය

0

“ප්‍රවේණි දාසක්‍රමයේ නරක ම අවස්ථාව දැක බලා ගැනීමට මගේ ළමාවියෙහි දී මට හැකි විය. එය සමාජ ජීවිතයේ හැම ස්තරයකට ම ගලා ගොස් තිබිණ. ඉඩම්හිමි රදලයන් හා වහල් භාවයේ බැඳී සිටි ගොවිජනයා පමණක් නො ව, වරප්‍රසාද හිමි අහිමි කවර සමාජ පන්තියක් වුව ද පරිහානිගත වෙමින් තිබිණ. මුළුමනින් ම අයිතිවාසිකම් අහිමි වූ පරිසරයක් තුළ, වංචාව, කෛරාටික භාවය මුල් තැන ගෙන තිබිණ. කවර මොහොතකට වුව ද කෙනකු තළාපෙළා විනාශ කැර දමනු ඇත යන භීතිය සමාජය පුරා පැතිර තිබිණ” යනුවෙන් ෂෙඩ්රින් තම ළමාවියෙහි අත්දැකීම් ගැන පවසයි.

මිඛායිල් යෙවුග්‍රෆොවිච් සැල්ටිකෝවු ෂෙඩ්රින්

වර්ෂ 1827 ජනවාරි මස 26 වැනි දින ස්පාස්-යුගොල්හි දී උපත ලැබුවේ ය.

ඔහු ගේ චරිතාපදානාත්මක වාර්තා අල්ප වන අතර “මගේ සාහිත්‍ය නිර්මාණ, මගේ ආත්මකථාව වන්නේ ය” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ ය.

ඔහු ඉඩම්හිම් රදල පවුලකින් පැවැත එන අයෙක් විය. ඔහු ගේ ළමාවිය ගම්බද වතුයායක ගත ව ගියේ ය. ඔහු ගේ ම වදනින් ඒ පිළිබඳ ව පවසන්නේ නම්, “මා හැදී වැඩුණේ වැඩවසම් ක්‍රමයේ ඇකයෙහි ය; වහල් කාන්තාවක ගෙන් කිරි බී මම පෝෂණය වීමි. මා හදා වඩා ගත්තේ වහල් සේවිකාවන් විසිනි… වැඩවසම් ක්‍රමයට අයත් දාස භාවයෙහි පැවැති බියකරු බව හා ක්‍රෑර භාවය මම ඇසින් දිටිමි…” යනුවෙන් ඔහු සඳහන් කැර ඇත.
ඔහු ගේ සියලු නිර්මාණවල අරමුණ වූයේ වැඩවසම් ක්‍රමය නිරාවරණය කිරීම හා එය හෙළාදැකීම ය. මේ පිළිබඳ ව ගෝර්කි “19 වැනි සියවසේ දෙ වැනි භාගයේ රුසියානු ඉතිහාසය ෂෙඩ්රින් ගේ පිහිට නොමැති ව ඇගැයීමට ලක් කළ නොහැකි ය” යනුවෙන් සඳහන් කළේ ය.
රුසියානු නවකථා සම්ප්‍රදායයේ ප්‍රමුඛයකු වූ සැල්ටිකෝ ෂෙඩ්රින් 1889 මැයි මස 10 වැනි දින කීර්තිශේෂභාවෝපගත විය.

දෙසැම්බර් 28 නිකුත්වෙයි…
පරිවර්තනය – ආනන්ද අමරසිරි
වැසුම් නිමැවුම – දිනිඳු සිරිවර්ධන
පිටු – 552

චීනයේ කොවිඩ් යළි භයානක තත්වයක

0

කොවිඩ් වෛරසය පැතිරීම ප්‍රථම වරට වාර්තා වී වසර තුනකට පසු යළි චීනය තුළ වෛරස ආසාදන වීමේ භයානක තත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ පනවා තිබූ කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් ගණන සහ කොවිඩ් මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව එම මාධ්‍ය මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

චීන වැසියන්ගෙන් 90% ට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක්ව සිටිය ද බූස්ටර් එන්නත ලබා ගෙන ඇත්තේ වැඩිහිටියන්ගෙන් 57.9%ක් පමණි.

ඒ අනුව, නිවෙස්වලට ගොස් වැඩිහිටියන් එන්නත්කරණයට ලක් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

මේ අතර වසංගත රෝග විශේෂඥයෙකු වන එරික් ෆීගල් ඩිං (Eric Feigl-Ding)අනතුරු ඇඟවූයේ චීනයේ දැනට පවතින කොවිඩ් රැල්ල ඉදිරි දින 90 තුළ රටේ ජනගහනයෙන් 60% කට වඩා ආසාදනය විය හැකි බවයි.

එය එලෙස වූවොත් මරණ සංඛ්‍යාව මිලියන ගණනක් දක්වා ඉහළ යා හැකි බවද බලපෑම චීනයට පමණක් සීමා නොවන අතර එය ගෝලීය වශයෙන් ව්‍යප්ත වනු ඇතැයිද ඔහු අනතුරු අඟවා තිබේ.

මේ අතර කොවිඩ් රෝගීන් ගණන ඉහළ යාම හේතුවෙන් ෂැංහයි හි පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇති අතර මේ වනවිට එම පාසල්වල ගෘහස්ථ ක්‍රීඩාංගන වෛද්‍ය සායන බවට පත්කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

ඇලරික්ස් අයිස් ක්‍රීම් රන් සම්මානයෙන් පිදුම් ලබයි

0

ඇලරික්ස් අයිස් ක්‍රීම් පසුගියදා පැවති SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Best Turnaround Brand of the year’ සහ ‘SME Local Brand of the Year’ කාණ්ඩ වල රන් සම්මාන දිනාගැනීමට සමත් විය. මෑතකදී ඇලරික්ස් සන්නාමය මෙන්ම නිෂ්පාදන එකතුවද නැවුම් වෙනසකට ලක්කරන ලද අතර, ඊට සමගාමීව උසස් ප්‍රමිතියෙන් යුත් අයිස් ක්‍රීම් නිෂ්පාදන පෙළක් සහනදායී මිලගණන් යටතේ වෙළඳපොළට හඳුන්වා දෙන ලදි.

පසුගිය කාලය තුළ, විශේෂයෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය සමග ශීත කළ පැණිරස ආහාරපාන වර්ග පරිභෝජනය අතිශයින් සීමා වීම මෙන්ම ආර්ථික හා සැපයුම් දුෂ්කරතා ඇතුළු නොයෙක් අභියෝග හේතුවෙන් ව්‍යාපාර කටයුතු වලට විශාල බලපෑමක් එල්ල විය. එම බලපෑම් වලින් මිදීම සඳහා නැවුම් ප්‍රවේශයක් සහ සාර්ථක අලෙවිකරණ ක්‍රමෝපායක් අනුගමනය කරමින් යළිත් වෙළඳපොළට තම නිෂ්පාදන හඳුන්වා දී, අතීතයේ ශ්‍රී ලාංකිකයන් තුළ තම නිෂ්පාදන සඳහා පැවති ආදරය හා ආශාව නැවත කුළුගැන්වීමට ඇලරික්ස් සමත්වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇලරික්ස් ඩේරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නුවන් ද සිල්වා, ඇලරික්ස් සමාගමටම ආවේණික වූ වට්ටෝරු සමග ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින්, එහෙත් සහනදායී මිලගණන් යටතේ වෙළඳපොළට නිෂ්පාදන හඳුන්වා දෙමින්, ඇලරික්ස් සන්නාමය නැවතත් මෙරට දොරින් දොර කියවෙන නාමයක් බවට පත්කිරීම සඳහා සමාගමේ කාර්ය මණ්ඩලයත් ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සියලු දෙනාමත් ලබාදුන් දායකත්වය බෙහෙවින් අගය කළේ ය.

අඛණ්ඩ නවෝත්පාදනය ඔස්සේ රසය, නැවුම් බව සහ උසස් තත්ත්වය සුරැකෙන ආකාරයට නිෂ්පාදන සිදුකිරීම ඇලරික්ස් හි මූලික අරමුණ වේ. එමෙන්ම දේශීය කිරි ගොවීන්ට අත්වැලක් වීමටද ඇලරික්ස් සෑම විටම උත්සාහ කරයි. මෙම උත්සාහය ඔස්සේ කිරි ගොවීන් සමග සමීප සම්බන්ධතාවක් ගොඩනංවා ගනිමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටීමට දායක වෙමින්, සමස්තයක් ලෙස සමාජයට කැපීපෙනෙන යහපතක් සිදුකිරීමට ඇලරික්ස් සමත් වී ඇත.

බ්‍රයන් තෝමස්ට මෙසේජ් එක යැව්වේ ෂාෆ්ටර්ගේ ඝාතකයන් ද ?

0

ඝාතනය කෙරුණු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනයෙන් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ දුරකතනයට කෙටි පණිවුඩයක් යොමු කර ඇත්තේ ව්‍යාපාරිකයා, බොරැල්ල පොදු සුසාන භූමියේදී අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්වීමෙන් අනතුරුව බව ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එම කෙටි පණිවුඩය දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයා හෝ ඝාතකයන් විසින් බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකතනයට යොමු කර ඇති බවට විමර්ශන අංශ සැක කරයි.

දිනේෂ් ෂාෆ්ටර් සමඟ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් පවතින ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකතනයට දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනයෙන් ‘ඔයා එනකම් මම ඉන්නවා’ යන අදහස ඇති කෙටි පණිවුඩයක් යොමු වී ඇත.

මෙය සැකසහිත කෙටි පණිවුඩයක් බවට පත්ව ඇත්තේ එම කෙටි පණිවුඩය පස්වරු 2.30න් පසුව යොමුකර ඇති නිසා ය.
එම කෙටි පණිවුඩයට බ්‍රයන් තෝමස් ද පිළිතුරු පණිවුඩයක් යොමු කරමින් ‘මට ඔයා එක්ක කිසි කතාවක් නැහැ. මට ඔයාව හම්බවෙන්න වුවමනාවක් නැහැ’ යන අදහස ඇති කෙටි පණිවුඩයක් ඉංග්‍රීසියෙන් යොමු කර තිබේ.

මෙම ඝාතන සැලසුම්කරුවන් උත්සාහ ගත්තේ බ්‍රයන් තෝමස් ව එම ස්ථානයට ගෙන්වා, ඔහු මේ අපරාධයට කොටුකිරීමට විය හැකි බවට සැකයක් මේ වන විට මතුවී ඇත.

විමර්ශන අංශ වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ කුරුඳුවත්ත, මල්පාරේ පිහිටි සිය නිවසේ සිට පසුගිය 15දා ෂාෆ්ටර් ගමන්ගත් මෝටර් රථය කෙලින් ම පැමිණ ඇත්තේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත බවයි.

සබැඳි පුවත්

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : කෝටි ගණනක් ණයට ගත් ක්‍රිකට් විචාරකයෙක් ?

ලෝක ශූර ‘මෙසී’ තමන්ගේ විශ්‍රාම ගැනීමේ තීරණය ‘රිවර්ස්’ කරයි

ආජන්ටිනා පාපන්දු කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසු ප්‍රකාශයක් සිදුකල එහි නායක සහ සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී, තමන් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමෙන් විශ්‍රාම නොගන්නා බවත්, තව කාලයක් තම රට වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවත් පවසා තිබේ.

35 වැනි වියේ පසුවන මෙසී මාධ්‍යය හමුවේ කියා සිටියේ ‘ලෝක ශුරයෙක්’ ලෙස තවදුරටත් පාපන්දු පිටියේ රැඳී සිටීමට තමන් අපේක්ෂා කරන බවයි. ප්‍රංශයට එරෙහිව 2022 පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරඟයේ ඉතා විශිෂ්ට ජයක් ලබාගැනීමට නායකත්වය ලබාදුන් මෙසීගේ අවසන් තරඟය එය වනු ඇතැයි සිතා ලොවපුරා ඔහුගේ රසිකයන් මෙම ලෝක කුසලානය ආජන්ටිනාව ජයගනු ඇතැයි අපේක්ෂාවෙනු පසුවිය.

මින් පෙර මෙසී විසින් ප්‍රකාශ කර තිබුණේ මෙම ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් පසු තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙන බවය. මෙම ප්‍රකාශයෙන් බොහොමයක් පාපන්දු ලෝලීන් කණගාටුවට මෙන්ම පුදුමයට පත්වූ බව සැකයක් නැත. ඒ මෙසී අවුරුදු 35ක් වැනි ඉතාම අඩු වයසකින් පාපන්දු පිටියට සමුදීම හේතුවෙන් ය.

එහෙත් මෙසී තමන්ගේ තීරණය ‘රිවර්ස්’ කිරීම නිසා තවදුරටත් ජාත්‍යන්තර පාපන්දු පිටියේ මෙසී සලකුණ පවතිනු ඇත. එමෙන්ම ජනප්‍රියත්වය සහ ගෞරවය විසින් පුද්ගලික ප්‍රතිපත්තිමය තීරණ පවා ආපසු හැරවීමට හැකියාවක් ඇති බවද මෙසී මැනවින් පෙන්වාදී තිබේ.