දෙදහස් විස්ස අවුරුද්දේ ප්‍රකට සිනමා විචාරකයෙක් වෙන ජීවන්ත දයානන්ද ලියපු ‘ධර්මසිරි සිනමාවලෝකනය’ කියන පොතේ ධර්මසිරි බණ්ඩාරනායක හඳුන්වලා තිබුණේ ‘වම් ඉවුරේ තෙවැන්නා’ විදිහටයි. එතනදි මොහොතක් කල්පනා කරලා බැලුවම ඒ කතාවට තාර්කික පදනමක් තියනවා. ඒ කියන්නේ ධර්මසේන පතිරාජ සහ වසන්ත ඔබේසේකර පළමුවැන්නා සහ දෙවැන්නා විදිහට හරි අනු පිළිවෙල අනිත් පැත්තට හරි ගත්තම ධර්මසිරි බණ්ඩාරනායක ඒ තුන්වැනි තැනට අවිවාදයෙන්ම නම් කරන්න පුළුවන්.
ප්‍රසන්න විතානගේ වතාවක් බී.බී.සී ය එක්ක පවත්වපු සාකච්ඡාවකදි පතිරාජ සහ ඔබේසේකර හඳුන්වන්නේ දෙවන පරපුරේ පුරෝගාමී සිනමාකරුවන් කියලා. ඒ ලයිස්තුවට ධර්මසිරි බණ්ඩාරනායකගේ නම ඇතුලත් කරන්න දෙපාරක් හිතන්න ඕනද කියන එක සිංහල සිනමා ඉතිහාසය සහ භාවිතාව ගැන අවබෝධයක් තියන හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන දෙයක්. ඇත්තටම පතිරාජ, ඔබේසේකර සහ ධර්මසිරි නිර්මාණය කරපු මාර්ගයක ප්‍රසන්න, අශෝක හඳගම, විමුක්ති වගේ සිනමාකරුවෝ තමන්ට රිසි සේ ඇවිදගෙන ගියා කියන එක තමයි පුද්ගලික මතය.
ධර්මසිරි බණ්ඩාරනායක කියන්නේ කොන්දේසි විරහිතව මේ රටේ පීඩිත ජනතාවගේ පැත්තේ ඉඳගත්ත නිර්මාණකරුවෙක්. විශේෂයෙන්ම බොහෝ අවස්ථාවලදි මේ රටේ දෙමළ ජනතාවගේ වගේම අනෙකුත් අවවරප්‍රසාද ලත් ජන කණ්ඩායම් වෙනුවෙන් පෙනී ඉන්න ඔහු දෙපාරක් හිතුවේ නෑ. තමන්ගේ සෑම නිර්මාණයක් ඇතුලෙම සමාජය ඇතුලේ පීඩාවට පත්වෙන සහ පත්වුණ කුමන හෝ ජන කණ්ඩායමක් විනිවිද දකින්න ප්‍රේක්ෂකයාට අවස්ථාව ලබාදෙනවා. ඒ එක්කම ප්‍රේක්ෂකයාට ඇතිවෙන සහකම්පනය ඇතුලේ ‘ඒ තවකෙක් නොව – ඒ මම මැ’ යන්න කියන සංකල්පය ජනගත කරන්න ධර්මසිරි කියන අසහාය නිර්මාණකරුවාට අපූරු හැකියාවක් තියනවා.
ඒක ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමා නිර්මාණවලින් විතරක් නෙවෙයි, ඔහුගේ ධවල භීෂණ, ට්‍රොජන් කාන්තාවෝ, ඒකාධිපති වැනි වේදිකා නාට්‍ය එක්ක සමාජගත වනවා කියන එකට තර්කයක් නෑ. ධවල භීෂණ තුලින් සෑම මිනිසෙක්ටම ගෞරවණීය ජීවිතයක් හිමි නොවෙන සමාජයක අඩුම තරමේ සෑම මිනිසෙක්ටම ගෞරවණීය මරණයක් ලබාදිය යුතුයි කියන මතවාදය එක්ක හිටගන්නවා. ට්‍රොජන් කාන්තාවෝ වගේ නිර්මාණ එක්ක ඔහුගේ තිබුණු යුද්ධය එක්ක බැදුණු බරපතල සමාජ ගැටළු ගැන පුළුල් සහ සංවේදී අවබෝධය හෝ දැක්ම බොහොම සියුම්ව ගැලපීම ඉතාම විශිෂ්ට මට්ටමේ එකක්.
ඇත්තටම කිව්වොත් ධර්මසිරි බණ්ඩාරනායක අපි එදිනෙදා දකින, එදිනෙදා අත්විඳින වගේම ඇස් මානයට නොපෙනෙන සමාජ දේශපාලනික ප්‍රශ්නවල අපිට දැනෙන සහ නොදැනෙන යථාර්ථයන් ඉස්මතු කරන්නේ පුළුල් දේශපාලනික කෝණයෙන්. ‘බවදුක’ හේ ‘බව කර්ම’ වගේ නිර්මාණ ඇතුලෙන් එළියට බහින ආගමික සහ සංස්කෘතික ගූඨවාදයන් සමහරවිට එදාටත් වඩා අද පැහැදිලිවම දකින්න පුළුවන්. ඒ නිසා ධර්මසිරිගේ නිර්මාණ සියල්ලක්ම වගේ තුන්කල් දකින නිර්මාණ කිව්වොත් වඩාත් නිවැරදියි.
එක පැත්තකින් ධර්මසිරි කියන්නේ ලංකාවේ නිර්මාණකලාවේ එක් සුසමයාදර්ශී පරපුරක අවසාන පුරුක කියන එක පුද්ගලික අදහස. එවැනි නිර්මාණකරුවෙක්ගේ අඩ සියවසක මතක දිගහැරුම ‘ධර්මසිරි – කැරලිකාර නිර්මාණාවේශය’ නමින් 2022 දෙසැම්බර් 21 දා ඒ කියන්නේ අද සවස 3.00 ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වෙනවා.
සමහරවිට මේ සැඳෑවේ ධර්මසිරි නම් නිර්මාණාත්මක ආඥාදායකයාගේ මතක ආවර්ජනය එක්කම නැවත වතාවක් ඔහුගේ නිර්මාණ භාවිතාව කියවන්නට අපිට අවස්ථාවක් හිමිවේවි.
ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර