Home Blog Page 192

තිලකසේනයන් ගේ ‘මන්දා’ පිළිබඳ යමක්

0

“අජිත් තිලකසේන තරම් සුවිශිෂ්ට කෙටිකතාකරුවෙක් මම කියවලා තියෙන – ඉංග්‍රීසියෙන් කියවලා තියෙන බටහිර ලේඛකයො අතරෙවත් නැහැ. ඒකත් ආශ්චර්යයක්.” මේ අජිත් තිලකසේන නම් අග්‍රගණ්‍ය නිර්මාණකරුවා පිළිබඳ ව එවැනි ම විශිෂ්ට නිර්මාණකරුවෙකු වන කේ. කේ. සමන් කුමාර මහතා ගේ අදහස යි.
මේ දිනවල මා අජිත් තිලකසේනයන් ගේ නිර්මාණ කියැවීමට හුරු ව සිටින්නෙමි. අද දිනය වන විට අජිත් තිලකසේනයන් ගේ සියලුම නිර්මාණ මා කියවා නොමැති වුව ද, ඔහු සැබැවින් ම විශිෂ්ට නිර්මාණකරුවෙකු යැයි කීමට තරම් ඔහුගේ නිර්මාණ මම කියවා ඇතැයි මම විශ්වාස කරමි. එතුමා ගේ නිර්මාණ ප්‍රතිභාව කෙතරම්දැයි අයෙකුට දැන ගැනීමට ඔහු ලියනු ලැබූ ‘සුන්නද්දූලි’ නම් කෙටිකතා එකතුව ම පමණක් ප්‍රමාණවත් ය. එහි එන ‘රතු මල නොහොත් චාලිද්දරය – ගුරුවරයෙක්ගේ කතාවක්’ නම් කෙටිකතාවේ ආරම්භක කොටස සලකා බලන්න: “සඳැල්ලේ බැම්මට මුවා වී ඉඳිමින් මම බලා හිටියා ඔබ දිහා. එහා පැත්තෙ පදිකාව දිගේ එමින් සිටි ඔබ දිහා. ඔබ හේතුකොටගෙන පදිකාව දිගට උන් මිනිසුන් අතර විවිධ චලන ඇති වනු මම බලාගෙන. මගේ දර්ශන පථය වරින්වර කැඩී ගියේ පාරේ එහා මෙහා ගිය තට්ටු දෙකේ බස් නිසා. ඇලේකට යමින් තිබුනු කාර් එකක් පෙනුනු මට සමහර බල්ලො දුවන්නෙත් ඔය වගෙයි හිතුනා. ගිගුරුමක්වත් මොකක්වත් නැතුව හිටපු ගමන් ඇදහැලෙන්න උනා වැස්සක්. වැහිකබායක්වත් නැතුව ඔබ දුවගන එද්දි වැස්සේ ඉරිවලට ඔබේ ගවුමේ රතු පැහැය රෝස පැහැයකට හැරෙනු මම බලාගන.” මෙම කොටස චිත්ත රූ ගංගාවකි. භාෂා ශෛලිය අතිශය සරල වුව ද, චිත්ත රූ ගොන්නක් මැවීමට තරම් එය ප්‍රබල ය. ඇලයකට ගමන් ගත් වාහනයකට ‘සමහර බල්ලන්’ සමාන කරමින් තිලකසේනයන් පාඨකයාගේ මනසේ කිසිදා නොමැකෙන සිත්තමක්, චිත්ත රුවක් අඳින්නට වෙයි. ඇවිද එන යුවතියගේ ගවොමේ රක්ත පැහැය කෙමෙන් කෙමෙන් රෝස පැහැයට පෙරළෙන ඒ මායාකාරී ස්වභාවය ඔහු විස්තර කර තිබෙනා’යුරු සැබැවින් ම මනහර ය. නමුත් මෙම කෙටි ලිපිය වෙන් ව ඇත්තේ ඔහුගේ කෙටිකතා ඇගයීමට නොවේ. ඔහුගේ ‘මාරියාව’ නම් කාව්‍ය සංග්‍රහයේ එන ‘මන්දා’ නමැති කවිය සඳහා ය.

‘මාරියාව’ සං‍යුක්ත කවි 10 ක් ද, ප්‍රේමණීය කවි 20 ක් ද ඇතුළත් කාව්‍ය සංග්‍රහයකි. ප්‍රේමය ආශ්‍රිත කවි සියල්ලම පාහේ අතිශයින් ම රමණීය ය. උදාහරණයක් ලෙස, එහි එන ‘කියන්න’ නම් කවිය ද ඉතා සුවිශේෂ කවියකි. එහි මනහර භාවය කෙතරම්දැයි දැනගැනීමට පහත උපුටනය සලකා බලන්න.

“පොල් අතු වහලෙක ඉරටු පෑදුනු තැනින්
හඳ දිහා බලාගන
ලුනු වැඩියෙන් ඇති කැඳිත්තක් බිබී
නොකා
තවමත් බහක් නුදුන් යුවතිය ගැන හිත හිතා
සුසුම් හෙලා මිනිහෙක් මදුරුවො කකා
ලනු ඇඳක බොකුට්ටෙ වැතිරීගෙන ඉන්න බව
හඳේ කියන්න මුළු ලෝකෙටම
උඩත් බිමත් ඉන්න හැම කොට්ඨාසෙකටම
යන ගමන් ලොව වටා”

බහක් නුදුන් යුවතියක පිළිබඳ සිතමින් සිටිනා තරුණයෙකු ගේ සිතිවිලි ධාරාව කවියා මනාව ඉදිරිපත් කරන්නට සාර්ථක ව ඇත. මාරියාව, කවියට පෙම් බඳින සැවොම කියවිය යුතු ය. මාරියාව කියවා සැළකිය යුතු දින ගණනක් ගත වුව, මට මාගේ මතකයෙන් බැහැර කිරීමට නොහුණු එක්තරා කවියකි. එය නමින් ‘මන්දා’ වෙයි. මෙම කවිය කූඩැල්ලෙකු විලස මා මතකයේ ඇලී ගැලී සිටින හෙයින්, එය පිළිබඳ යමක් ලියන්නට ඉටා ගත්තෙමි.

කවිය මෙසේ යි:

“අපේ කසාදය කටුගාලා ගෙවුණු දෙවසර තුලදි
අපි මුන ගැහුනා කීප විටක් කඩමන්ඩියෙදි
පාර පනිද්දි ඔබ එක් වරක් මා දිහා බැලුවා

අපේ දරුවවත් ඇදගෙන ඔබ දුවනව දැකල බස් එකට
මම ඔහුව උස්සල තිබ්බා පා පුවරුවෙන් උඩට
ඉක්මනට ගැන්නෙන්න
ඔබේ තුරුලට

වරක් මම
පදිකාව දිගේ එමින් සිට
නිකමට
ඔබ ඉන්නවද බලන්ඩ
තැපැල් පෙට්ටිය ඉදිරිපිට
රේන්ද සලුපිලි හලට එබුනා

වේගයෙන් ගසාගෙන ගිය බස් එකක
දවසක්
ඔබේ හිනහව
රිදී ඉරක් සේ ඇදී ගියා හරහට

මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගනද මන්දා

මගේ දෙවන බිරිඳ
ඇගෙන් මට දරුවො නැහැ

ඊයෙ රෑ කෑම පිහද්දි
මට දැනුනා අතීත සුවඳක්
මතකයට ආවා
කුස්සියේ ඉස්සර හැඩය
හැඳි අලුව කලින් එල්ලුනු තැන
දිය මැස්ස වට්ටි ආන එදා තිබුනු පිලිවෙල

මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගනද මන්දා”

කටු ගාන ලද කසාදයක සැමියා ගේ සිතුවිලි ධාරාව මනෝරම්‍ය ආකාරයෙන් ඉදිරිපත් කිරීමට තිලකසේනයන් සමත් ව ඇත. මනුෂ්‍ය චිත්ත සන්තානයේ අපූරු බව ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවා සමත් ව ඇත. කසාදයක් කටු ගා දැමීමට බොහෝ විට හේතු වනුයේ සැමියා සහ බිරිඳ අතර උත්පත්තිය ලබන මොනයම්ම හෝ ප්‍රශ්නයකි. එම ප්‍රශ්නය බරපතළ වුව, නොවුව, දික්කසාද වීමට තීරණය කරනා අඹු-සැමි දෙපළ අතර ඇති වූ කුඩා ගැටලුවක් වුවත්, දික්කසාදයකට පාර කැපිය හැක. කවිය කියවන විට මා හට හැඟෙනුයේ මේ ජෝඩුව එවැනි ජෝඩුවක් කියා යි. උත්තම පුරුෂයෙන් කවිය රචනා කර ඇති හෙයින්, කවියා “පාර පනිද්දි ඔබ එක් වරක් මා දිහා බැලුවා” යන වැකිය යොදා තිබෙන අයුරු කවිය කියවන්නාට ද තරමක් ප්‍රහර්ෂාත්මක හැඟුම් අත් පත් කර දෙන්නට සමත් වෙයි.

දික්කසාදයෙන් පසු දරුවාගේ අයිතිය ලැබී ඇත්තේ බිරිඳට ය. ඉඳ හිට, එහෙ මෙහෙ යනෙන විට සැමියා ද, අඹුව ද බස් නැවතුමක හමු ව ඇත. ඔහු ‘ඔවුන්ගේ දරුවා’ දෑතින් ඔසොවා බසයේ පා පුවරුවෙන් තබන්නේ මවට දරුවා තුරුලට ගැනීමට හැකි වන පරිදි ය. එක් අවස්ථාවක මෙම සැමියා, පදිකාව දිගේ ඇවිද එමින් සිට ඇය ඉන්නවද බලන්න රේන්ද සලු පිළි හලට එබී ඇත. මෙයින් පවා කවියා පෙන්වන්නට තනා ඇත්තේ දික්කසාද වී සිටිය ද ඔහු ඇය පිළිබඳ ව සිතනා වග ය.
ඉන්පසු කවියා අපූර්ව චිත්ත රුවක් ගෙත්තම් කරයි. ඒ මෙලෙස ය:

“වේගයෙන් ගසාගෙන ගිය බස් එකක
දවසක්
ඔබේ හිනහව
රිදී ඉරක් සේ ඇඳී ගියා හරහට”

සමහරවිට ඔහුගේ මෙම හැසිරීම බිරිඳට ද දැනගන්නට ලැබෙන්නට ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ කසාදය කටු ගා ඇති වග ඇයට අමතක ව ඇත. මන්ද, ඇය ඔහුට මන්දස්මිතයකින් සංග්‍රහ කර ඇත. එය ද ඔහුට පෙනුණේ රිදී ඉරක් ලෙසිනි. මෙම පේළිය කියවන කෙණෙහි, මනසේ ලෙහෙසියෙන් නොමැකෙන චිත්ත රුවක් සටහන් වේ.
ඉන්පසු, සැමියා දෙගිඩියාවෙන් මෙවැන්නක් කිය යි:

“මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගෙනද මන්දා”

නියතව ම මනුෂ්‍යයා අපූර්ව සත්වයෙකි. කසාදය කල් ඉකුත් ව ඇත. ඔහු තුළ ඇය කෙරෙහි හටගත් ආලය කල් ඉකුත් ව නැත. ඊට ඔවුන්ගේ දරුවා ද එක් හේතුවකි. කවියේ අවසන් භාගයට කියවන්නා ළං වෙත්ම, කියවන්නාට පැහැදිලි වන්නේ දෙවැනි බිරිඳ ඔහුගේ දරුවෙකුට මවක නොවන නිසා ඔහු සිය පළමු බිරිඳට තව තවත් ළං ව ඇති වග ය. ඔහු දැන් ඔහුගේ පළමු බිරිඳ හා දෙවන බිරිඳ සහ ඔවුන් ගේ ක්‍රියා සසඳන්නට වෙයි. අවසන ඔහු එළඹෙන නිගමනය මෙය ය:

“මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගෙනද මන්දා”

මම උසස් පෙළ සඳහා ඉංග්‍රීසි සාහිත්‍යය විෂය හදාරන්නෙක්මි. එහෙයින් විශිෂ්ට කවියන්ගේ විශිෂ්ට කවි මා හට අධ්‍යනය කිරීමට සිදුවේ. මෙතෙක් කල් මා කියවා තිබූ කවි අතරින් ඉහළින් ම වැජඹුණු කවිය එඩ්ගා ඇලන් පෝ ගේ ‘ඇනබෙල් ලී’ ය. එය එඩ්ගා ඇලන් පෝ ගේ දුක්ඛිත ආදර කතාවට සම්බන්ධ එක්තරා කවියකි. එය මා විෂය නිර්දේශයේ අඩංගු නොවන කවියකි. එහෙත් මම එම කවියට බෙහෙවින් ප්‍රිය කරමි. අදටත් එය එසේ ම ය. එහෙත්, පුද්ගලිකව මා මෙතෙක් කියවා ඇති කවි අතරින් මේ වන විට ඉහළින් ම වැජඹෙන කවිය තිලකසේනයන් ගේ ‘මන්දා’ ය. සමහරවිට මම කවි බොහෝමයක් කියවා නොමැති හෙයින් මෙය ඉදිරියේ දී වෙනස් වීමේ ඉඩ ප්‍රස්ථාව ඇත. එනමුදු, මේ වන විට, ඒ තැන ගත් කවිය අජිත් තිලකසේනයන් ගේ ‘මන්දා’ ය.

කාව්‍ය තත්සර

2023 – 03 – 29

පාවාදීමේ වන්දිය ගෙවන්න සූදානම් වන්න, ක්‍රිකට් පොටෝ මානසික මෙහෙයුමක් – පොදුජන පෙරමුණු වෘත්තීය සමිති සභාපති : 20ක් අනිවාර්ය නිවාඩු යැව්වා, තෙල් හිඟයක් නෑ – ඛනිජ තෙල් ඇමති

වෘත්තීය සමිති නායකයන් මර්දනය කර ඛනිජ තෙල් සම්පත අහිමි කිරීමේ මහා පාවාදීමේ වටිනාකම බලශක්ති ඇමති කාංචන විජේසේකර ඇමතිවරයා ඇතුළු වගකිවයුත්තන්ට ගෙවීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ක්‍රියාත්මක ඛනිජ තෙල්, වාණිජ සේවා, කර්මාන්ත ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර thetime.lk වෙත පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතියේ ප්‍රධානියා ලෙස තමන් සහ සංස්ථාවේ තම වෘත්තීය සමිතියේ අනෙකුත් සාමාජිකයන් 2019 ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා කළ කැපකිරීම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සියලු පාර්ශ්ව දන්නා බවත්, එසේ තිබියදී මෙසේ තමන් කියන දේට ඇහුම්කන් නොදී සිටීම දැඩි කණගාටුවක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

පොදුජන පෙරමුණ දේශපාලන පක්ෂය පිහිටුවීමටත් පෙර සිට තමන් ප්‍රමුඛ වෘත්තීය සමිති නායකයන් පොදුජන පෙරමුණු ප්‍රගතිශීලි බලවේගය ගොඩනැගූ බවත්, එහි අරමුණ වූයේ ජාතික සම්පත් සුරක්ෂිත කොට රට දියුණු කිරීම බවත් පෙන්වා දුන් ඔහු, එසේ කළ තමන්ට මෙසේ සැලකීම කිසිසේත්ම අපේක්ෂා නොකළ බව ද අවධාරණය කළේය.

සභාපතිවරයා මෙසේ පැවසුවේ ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති නායකයන් අනිවාර්ය නිවාඩු යැවීමත්, ඔවුන්ට ආයතන පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීමත් සම්බන්ධයෙන් කළ විමසීමකදී ය.

සත්‍යග්‍රහයේ සිට වර්ජනය දක්වා

සංස්ථාවේ කොටස් විදේශ සමාගම් 03කට වසර 20ක කාලයක් සඳහා පවරා දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබාදීමට එරෙහිව සංස්ථ වෘත්තීය සමිති ඊයේ (28) උදෑසන සත්‍යග්‍රහයක් ඇරඹීය. බලධාරීන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා සත්‍යග්‍රහය වර්ජනයක් දක්වා පුළුල් කිරීමට ඊයේ පස්වරුවේ එම වෘත්තීය සමිති තීරණය කළේය.

ඒ අනුව ඉන්ධන බෙදාහැරීම නතර කෙරිණි. ඉන්පසු ආරක්ෂක හමුදා යොදවා බලහත්කාරයෙන් බවුසර්වලට තෙල් පිරවීමටත්, ඒවා පිටත් කිරීමටත් කටයුතු කෙරිණි. එම උත්සාහයේදී තෙල් බවුසර් 10ක් පමණ පිටතට යැවීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

කෙසේ වෙතත් මේ සඳහා සහයෝගය නොදුන් සහ සංස්ථා සේවකයන්ට රාජකාරියට වාර්තා කිරීමට ඉඩනොදුන් වෘත්තීය සමිති නායකයන්ට එරෙහිව පියවර ගන්නා බව ඊයේ රාත්‍රියේ ඛනිජ තෙල් විෂය බාර ඇමති කාංචන විජේසේකර පැවසීය.

උදෑසන ලිපිය

ඒ අනුව අද (29) උදෑසන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා වන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ සේවාවල යෙදී සිටි සේවකයන්ට බලපෑම් කරමින් එම සේවා අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයන් අනිවාර්ය නිවාඩු යැවීමට සංස්ථා කළමනාකාරිත්වය තීරණය කර ඇති බවයි.

එසේ ම ඔවුන්ට සංස්ථා පරිශ්‍රවලට ඇතුළු වීම තහනම් කරන බව ද එම නිවේදනයේ සඳහන් විය.

‘20ක් අනිවාර්ය නිවාඩු යැව්වා’

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පැවසුවේ අද (29) දින සේවයට වාර්තා නොකළ තෙල් සංස්ථා සේවකයන් 20ක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බවයි. මෙම සේවකයන්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා භූමියට ඇතුළු වීම තහනම් කර ඇති බව ද ඔහු පැවසීය.

මේ අතර රට තුළ ඉන්ධන හිඟයක් ඇති වේ යැයි කිසිදු අනියත බියක් ඇති කරනොගන්නා මෙන් ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ක්‍රිකට් පොටෝ මානසික මෙහෙයුමක්

වර්ජනය අතර සංස්ථා සේවකයන් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින බවට මාධ්‍ය මගින් පළකළ වීඩියෝවේ සිටින්නේ සංස්ථා සේවකයන් නොවන බවත්, එය සංස්ථා සේවකයන් ජනතාව අතර අප්‍රසාදයට පත්කිරීමට සිදු කළ මෙහෙයුමක් බවත් ඒ පිළිබඳව අප කළ විමසීමකදී වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනෙක් ම තහවුරු කළහ. එවැනි ඡායාරූප රැසක් සමාජ මධ්‍යයේ අද උදෑසන සිට සංසරණය විය.

හේතුව කුමක්ද?

විදේශීය සමාගම් 3කට මෙරට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව පෙරේදා (27) විදුලිබල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර සඳහන් කළේය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමතිවරයා පැවසුවේ Hell PLC සමග එක්ව චීනයේ Sinopec, United Petroleum of Australia සහ USA RM Parks යන සමාගම් සඳහා මෙම අනුමැතිය ලැබී ඇති බවයි. ඒ අනුව අදාළ සමාගම්වලට වසර 20ක බලපත්‍රයක් හිමිවීමට නියමිත ය. මෙරටට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම යන කාර්යයන් සඳහා ඔවුන්ට මෙම බලපත්‍රය හිමි වේ.

නියෝජිත ඉන්ධන පිරවුම්හල්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක නියෝජිත ඉන්ධන පිරවුම්හල් 450ක් රට පුරා තිබේ. එම නියෝජිත පිරවුම්හල් 450, අදාළ සමාගම් 3ට 150 බැගින් ලබාදීමට සැලසුම් කර තිබේ.

එදා තීරණය

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව පැවති කාලයේදී ඉදිරිපත් වූ ලංකා ඛනිජ තෙල් සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අනුව සංස්ථාව කොටස් 03කට වෙන්කෙරිණි. ඒ අනුව සංස්ථාවේ කොටස්වලින් සියයට 33ක් සංස්ථාවට හිමි විය. ඉන්දියන් ඔයිල් සමාගමට සංස්ථා කොටස්වලින් සියයට 33ක් හිමි විය. ඉතිරි සියයට 33 නියෝජිත මට්ටමේ පැවති අතර, එය ලබාගැනීම සඳහා චීනයේ Sinopec සමාගම ඒ කාලයේදී ද ටෙන්ඩර් ඉදිරිපත් කළේය. එහෙත් එය සිදු වූයේ නැත.

පෞද්ගලිකකරණයක් නෙමෙයි’

මෙම කැබිනට් තීරණය සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමේදී ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ සභාපති සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කළේ මෙය පෞද්ගලිකකරණය කිරීමක් ලෙස හැඳින්විය නොහැකි වුවද, මේ හරහා සිදුකිරීමට උත්සාහ දරන ක්‍රියාවලිය අතිශය බරපතළ බවයි.

ලාභාංශ අහිමි වෙයි

මෙම ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික ඒවා වුවද, ඒවායින් සංස්ථාවට ලැබුණු ලාභාංශ මෙමගින් අහිමි වේ. එසේ ම ඇමතිවරයා සඳහන් කළ ආකාරයට මෙම තීරණය මගින් ඉන්ධන මිල අඩුවීමක් හෝ සංස්ථාවේ සේවක ප්‍රමාණය අඩුවීමක් ද සිදුනොවන බව ආනන්ද පාලිත පෙන්වා දෙයි.

ඉන්දියන් ඔයිල් උදාහරණය

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්දියන් ඔයිල් සමාගමට මෙරට ඉන්ධන ව්‍යාපාර සිදුකිරීමට අවස්ථාව ලබාදෙන විට එයින් තරගකාරීත්වයක් ඇතිවන නිසා ජනතාවට වාසි සැලසිය හැකි බව පැවසුණද, එවැන්නක් සිදු නොවූ බවයි. ඉන්පසු ක්‍රමයෙන් ඉන්දියන් ඔයිල් සමාගම මෙරට ඉන්ධන අලෙවිය වර්ධනය කරගත් බවත්, මේ වන විට එම සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 140 ද ඉක්මවන බවත් ඔහු පැවසීය.

එසේ ම උතුරු – නැගෙනහිර පළාත්වල ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් 35ක් එම සමාගමට ලබාදීමට ද තීරණය කර තිබේ.

අවදානම මෙන්න !

මේ ආකාරයට ම මෙම කැබිනට් තීරණය මගින් ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් අක්‍රීය වන බවත්, ඉන්පසු සංස්ථාවේ ඉතිරි කොටස් ද සමාගම්වලට ලබාදීමට පසුබිම නිර්මාණය කරගනු ඇති බවත් අප වෙත අදහස් දක්වමින් ප්‍රකට වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත අවධාරණය කළේය.   

‘ඔක්කොම හරි’

මේ අතර අද (29) උදෑසන හයෙන් පසු ගතවූ මුල් පැය 03 තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ඉන්ධන බවුසර් 208ක් නිකුත් කර ඇතැයි ඇමති කාංචන විජේසේකර  ට්විටර් ගිණුමේ සටහනක් යොදමින් සඳහන් කරයි.

මේ අනුව ඔක්ටේන් 92 ලීටර් 6,600 ධාරිතාවෙන් යුත් බවුසර් 122ක් සහ ලංකා ඔටෝ ඩීසල් ලීටර් 6,600 ධාරිතාවෙන් යුත් බවුසර් 86ක් නිකුත් කර තිබේ.

සාමාන්‍ය පරිදි තෙල් සැපයුම සිදුකරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මාධ්‍ය වෙත පවසා තිබිණි.

ලසන්ත වික්‍රමතුංග චරිතාපදානය : The Lasantha Wikremathunge – Biography : Unbowed & Unafraid !

The Lasantha Wikremathunge – Biography : Unbowed & Unafraid නමින්, ඝාතනය කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග චරිතාපදානය එළිදැක්වීම පසුගිය 27දා කොළඹ, පදනම් ආයතනයේදී සිදුකෙරිණි.

මෙම කෘතිය රචනා කරන ලද්දේ ඔහුගේ බිරිඳ වූ රේන් වික්‍රමතුංග (Raine Wikremathunge) විසිනි.

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භකයා වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ එහි විමර්ශන වෙනතක ගෙන ගියේ කෙසේද යන්න පිළිබඳ සකස් කෙරුණු ලිපියකි, මේ.

ඝාතකයන් !

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන තෙක් එකදු නිශ්චිත සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නැත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයෙන් පසු එහි සාක්ෂි විනාශ කිරීම සම්බන්ධයෙන් පමණි.

මැතිවරණ කාලයට උඩට මතු කරන – යළිත් පස්වලට යට කර දමන එම අපරාධයට අදාළ ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු මත පදනම් ව මෙම ලිපිය සකස් කෙරිණි.

2009

2009 වන විට ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ පුවත්පත් දෙකක් මුද්‍රණය විය. එකක් ඉරුදින පුවත්පතයි. අනෙක් පුවත්පත වූයේ සන්ඩේ ලීඩර් පුවත්පතයි.

සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූයේ ලසන්ත වික්‍රමතුංග ය. ඒ වන විට ඔහු සිය පුවත්පත මගින් ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධයෙන් හෙළිකරමින් සිටියේය. මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු කළ හෙළිදරව්වකට නඩුවක් ද වැටී තිබුණු අතර, ජනවාරි මස දෙවැනි සතියේ එළඹෙන නඩු දිනයක දී එම ගනුදෙනුව ගැන වැදගත් තොරතුරු හෙළිකරන බවට ඔහු සිය සගයන් සමග කියා තිබිණි.

ලසන්ත ඝාතනය

එදා 2009 ජනවාරි 08දා ය. වේලාව උදේ 8.10ට පමණ ඇත. පූර්වාරාම පාරේ කන්දේවත්ත ටෙරන්ස් පාරේ ලසන්තගේ නිවසට මදක් නුදුරින් පිහිටි සිල්ලර බඩු කඩයක් අසල ත්‍රීරෝද රියක් නතර කර තිබිණි.

එය එහි නිතර තිබෙන ත්‍රීරෝද රථයකි. රියදුරු පත්තරයක් බලමින් සිටියේය. ත්‍රිරෝද රියට ඉදිරියෙන් යතුරුපැදියක් නතර කර තිබුණු අතර, ෆුල්ෆේස් හෙල්මට් පැළඳි පුද්ගලයෙක් යතුරුපැදියටම වී සිටියේය. තවත් පුද්ගලයෙක් හිස් ආවරණය අතට ගෙන සිගරට්ටුවක් බොමින් පාර දෙස බලා සිටියේය.

උදෑසන 8.20ට පමණ ලසන්ත වික්‍රමතුංග ටෙරන්ස් පාරේ නිවසින් පිටත් විය. වංගුව හැරී කඩය පාස් වනවාත් සමඟම ‘අන්න එනවා.. අන්න එනවා..‘ යැයි සිගරට්ටුව අතේ තියාගෙන සිටි පුද්ගලයා කී අතර ඒ සමග ම ඔහු ද යතුරුපැදියට නැග වික්‍රමතුංගගේ වාහනය පසුපස යන්නට විය.

මෙම සිදුවීම ගැන සැක සිතුණු ත්‍රීරෝද රියේ රියදුරා ඒ ගැන කඩයේ සිටි පිරිසට දැන්වීය. ලසන්තගේ රියදුරු එම කඩයට නිතර ආව ගිය නිසා රියදුරුගේ අංකය කඩයේ මුදලාලි ළඟ විය. ඔහු රියදුරුට ඇමතුමක් ගත්තත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ වන විට රියදුරුගේ ජංගම දුරකතනය තිබුණේ ලසන්තගේ වාහනයේ ය. රියදුරු නිවසේ සිටියදී වාහනය පදවාගෙන ගියේ ලසන්ත ම ය.

ඉන් මිනිත්තු කිහිපයකට පසු යමක් ගැනීමට ලසන්තගේ රියදුරා කඩයට පැමිණියේය. කඩයේ පිරිස සිද්ධිය විස්තර කළ පසු, ඔහු වහාම ලසන්තගේ සන්ඩේ ලීඩර් ආයතනයට ගියත් ඔහු පැමිණ සිටියේ නැත. වහාම ඔහු සිද්ධිය ආයතනයේ කළමනාකරුවකුට කී විට ඔහු ලසන්තට දුරකතන ඇමතුමක් ගෙන රියදුරාට දුන්නේය.

‘බයික්එකේ අංකේ හොයාගන්න බලන්න.’ ලසන්ත රියදුරුට කීවේය.

ලසන්ත වික්‍රමතුංග එදින ගියේ බත්තරමුල්ලේ නිවසට ය. එම නිවසේ සේවකයකුට අසනීප වී තිබුණු අතර, ලසන්ත හිතවත් වෛද්‍යවරයකුගෙන් බෙහෙත් අසාගෙන බිරිඳ සමග බෙහෙත් මිලදී ගැනීමට ගියේය. ඒ යද්දී සහ එද්දී යතුරු පැදි හඹා එන අයුරු ඔවුහු දුටහ.

වහාම වාහනය ගේට්ටුවෙන් ඇතුළට දැමූ අතර, යතුරු පැදි ලසන්තගේ ගේට්ටුව පසුකරගෙන ගියේය. මද වේලාවක් එහි සිටි ලසන්ත යළි වාහනයට නැග්ගේ සන්ඩේ ලීඩර් ආයතනයට යෑමට ය. ඒ අතරමගදී අසාත් සාලි, මලික් සමරවික්‍රම ඇතුළු පුද්ගලයන් විවිධ වැඩ සඳහා ලසන්තට ඇමතුම් ගත් අතර, තමන් පසුපස යතුරු පැදි ලුහුබඳින බව ඔහු කීවේය. වහාම ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දුරකතන ඇමතුම් දුන් පුද්ගලයෝ ලසන්තට දැනුම් දුන්හ.

සන්ඩේ ලීඩර් ආයතනයට යන අතරතුර ජපන් මිත්‍රත්ව පාරට ගොස් නීතීඥවරයෙකු හමු වූ ලසන්ත ඉන් පිටත්වී ආපසු යද්දී සුපුරුදු පරිදි යතුරු පැදි දෙකක් ඔහු ලුහුබැඳ එනු දැක්කේය. ලසන්ත පසුපස යතුරු පැදි ලුහුබඳින බව කී නිසා මලික් සමරවික්‍රම වරින්-වර ඔහුට කතාකරමින් ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දැනුම් දුන්නේය. උදේ 10.21ට පමණ ලසන්තට යළිත් කතා කළ මලික් සමරවික්‍රමට, තමන් පසුපස ලුහුබඳින යතුරු පැදි ගැන ලසන්ත දැනුම් දුන් අතර, ලසන්ත සමරවික්‍රම සමග කතාකරමින් වාහනය පදවාගෙන ගියේය.

අත්තිඩිය මලගල කනිෂ්ඨ විද්‍යාලය අසල කහ ඉරට ඔබ්බෙන් බස් රථයක් කතර කළේය. එම නිසා ලසන්තගේ වාහනය ද එතැන මදක් නතර කිරීමට සිදු විය. යතුරු පැදි දෙකක් ලසන්තගේ වාහනය හරස් කර නතර කෙරිණි. තවත් යතුරු පැදි දෙකක් පැත්තෙන් නතර විය. ඉන් බැසගත් පිරිස ලසන්ත වෙත ගොස් යමකින් ඇන පළා ගියහ. ඒ සමග ම ලසන්ත හා මලික් සමරවික්‍රම අතර දුරකතන සංවාදය ද නිමා විය. යතුරු පැදි දෙකක් මලගලින් පිළියන්දල දෙසටත්, අනෙක් යතුරු පැදි දෙක ගල්කිස්ස දෙසටත් විදුලි වේගයෙන් ගොස් නොපෙනී ගියේය.

ඇසින් දුටුවන්

‘බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන්පස්සේ එයාලා ගියා.’ එසේ කීවේ සිද්ධිය ඇසින් දුටුවෙකි. ඉන්පසු ඒ අසල මුද්‍රණ ආයතනයක පුද්ගලයෙක් හා තවත් පුද්ගලයෙක් පැමිණ වෑන් රථයක් නවත්වාගෙන ලසන්ත ඊට පටවා ගත්තේය. මුද්‍රණ ආයතනයේ පුද්ගලයා වාහනයේ ඇතුළේ සිටි අතර, අනෙක් පුද්ගලයා ලසන්තව තම ඔඩොක්කුවේ තබාගෙන පිටුපස සිටියේය.

මද දුරක් වාහනයෙන් ලසන්ත ගෙනයද්දී ලසන්තගේ දුරකතනය යළින් නාද වූ අතර, ලසන්ත ඔඩොක්කුවේ තබාගෙන සිටි පුද්ගලයා ඊට ප්‍රතිචාර දැක්වීය. ලසන්තට වූ දේ ඔහු ඇමතුම දුන් පුද්ගලයාට විස්තර කළේය. ඇමතුම දී තිබුණේ මලික් සමරවික්‍රම ය.

‘වහාම කළුබෝවිලට මෙයාව ගෙනියන්න’ යැයි උපදෙස් දුන් මලික් සමරවික්‍රම අනෙක් අයට පණිවුඩය ලබාදුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය මොහාන් සිල්වා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ඒ මොහොතේ ම කළුබෝවිල රෝහලට පැමිණි අතර, ලසන්ත ගෙන ආ ගමන් ප්‍රතිකාර ආරම්භ කළහ. තත්ත්වය දරුණු නිසා මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායම ශල්‍යකර්මයක් ද සිදුකළත් සාර්ථක වූයේ නැත. එදින දහවල් ලසන්ත වික්‍රමතුංග මිය ගියේය.

වෙඩි තැබීම සහ ඇනීම

ලසන්තගේ ශල්‍ය කර්මය කළ මහාචාර්යවරයා සිය මතය සඳහන් වාර්තාවක් 2009 ජනවාරි 12දා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරයාට යොමුකළේය. එමගින් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ ශරීරයේ උණ්ඩ කොටස් තිබුණේ නැති බවයි. වෙඩි පිටවූ තැනක් ද නොතිබූ බවත්, වෙඩි තැබීමක සලකුණක්වත් නැති බවත් සඳහන් කළ මහාචාර්යවරයා, මෙය වෙඩිතැබීමකින් සිදුවී නැති බව සිය වාර්තාවේ සඳහන් කළේය.

එම ස්ථානයට රජයේ රස පරීක්ෂක ද පැමිණ පරීක්ෂණයක් සිදු කළ අතර, ඔහු ද වාර්තා කළේ මෙය වෙඩි තැබීමක් නොවන බවයි. මේ දෙදෙනා ම මෙය වෙඩි තැබීමක් නොවන බව කියද්දී සහ ලසන්තට යමකින් ඇන්න බව ඇසින් දුටුවන් කියද්දී පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලැබුණේ මෙය වෙඩි තැබීමකින් වූ මරණයක් ලෙසයි. ඒ අතරතුර කාලයේ එම වාර්තාව දුන් අධිකරණ වෛද්‍යවරයාට පැමිණි දුරකතන ඇමතුම් ගැන ද විමර්ශන අංශ වෙත තොරතුරු ලැබී තිබිණි. මෙම පශ්චාත් මරණ පරීක්ෂණයත් සමග වාර්තා පරස්පර වීම නිසා පරීක්ෂකයෝ අවුලෙන් අවුලට පත්වූහ.

විමර්ශන ආරම්භය

ලසන්ත ඝාතනය වූ ස්ථානයෙන් වෙනත් රාජකාරියකට යමින් සිටි බොරලැස්ගමුව ස්ථානාධිපති ඇපලකොටුව මෙය දැක වහාම ගල්කිස්ස පොලිසිය දැනුවත් කළේය. එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ජයන්ත වික්‍රමරත්න ය.

ගල්කිස්ස දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේ ප්‍රසන්න නානායක්කාර ය. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස හේමන්ත අධිකාරි කටයුතු කරද්දී, සහකාර පොලිස් අධිකාරි එල්.සී. ගුණවර්ධන ගල්කිස්ස පොලිසිය අධීක්ෂණය කළේය. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා ද, ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල ද කටයුතු කළහ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලද ස්ථානය අයත් වන්නේ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයට බැවින් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති තිස්සසිරි සුගතපාල විමර්ශන ආරම්භ කළේය. ඔහු එම ස්ථානයට ගොස් පරීක්ෂණ සිදු කළ අතර, පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ ද සාක්ෂි සටහන් කරගනිමින් විමර්ශනයට සම්බන්ධ විය. ලසන්ත වික්‍රමතුංගගේ වාහනයේ තිබූ ඔහු භාවිත කරන ලද ක්ෂේත්‍ර සටහන් පොත ඇතුළු දේපොළ සොයා ගත් පොලිස් පරීක්ෂක වීරසිංහ, සැකකරු දේපොළ කුවිතාන්සි අංක 101/09 යටතේ එය ඇතුළත් කළේය.

සටහන් පොත

උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල එම සටහන් පොත පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ එම සටහන් පොතේ පිටු 160කින් පිටු 126ක ම ලසන්ත වික්‍රමතුංග ඉංග්‍රීසියෙන් යම් යම් දේ සටහන් කර ඇති බවයි. පොතේ මුල පිටුවේ සහ පසුපස පිටුවේ වාහන අංක දෙකක් තිබූ අතර, පවුලේ සාමාජිකයන්ගෙන් කියැවුණු දෑ සමග මෙම අංක දෙක ලසන්ත ලුහු බැඳ ආ යතුරුපැදි අංක බවට සුගතපාල සැකකළේය. ඒ අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතේ ඒ බව සටහන් තැබීය.

ඉන්පසු නඩු භාණ්ඩ කුවිතාන්සි ලේඛනයට අංක 154/09 යටතේ සටහන් පොත ඇතුළත් කළ සුගතපාල

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එම අංක ගැන විමසීය. ඉන් එක් යතුරු පැදි අංකයක් බොරලැස්ගමුවේ බවත්, අනෙක ජා-ඇල බවත් තහවුරු කර ගත් සුගතපාල මුලින්ම බොරලැස්ගමුවට ගියේය.

සටහන් විනාශ කිරීම

එසේ යද්දී ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති පරිදි ඒ කතාව මෙසේ ය.

ඒ දුරකතන ඇමතුම එන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙනි. ඔහු කියන්නේ වහාම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හමුවීමට එන ලෙස දැනුම් දුන් බැවින් එහි යෑමට පැමිණෙන ලෙසයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ උප පොලිස් පරීක්ෂක සුගතපාල අදාළ නියෝජ්‍ය පොලිස්පති හමුවීමට ගියහ. ඔහු ලසන්තගේ සටහන් පොත බලා එහි තිබූ දෑ එවකට පොලිස්පතිට දුරකතනයෙන් දැන්වීය. පොලිසිය සැකකරන අන්දමට එහි තිබී ඇත්තේ ඉදිරි නඩු වාරයකදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබූ තොරතුරු ය.

ඉන්පසු ටික වේලාවකින් නියෝජ්‍ය පොලිස්පති විසින් උප පොලිස් පරීක්ෂකට කියා ඇත්තේ ලසන්තගේ සටහන් පොත තමන්ට ලබාදෙන ලෙසයි. සටහන් පොත ගැන බල අපරාධ තොරතුරු පොතේ සටහන් යොදා ඇති බව උප පොලිස් පරීක්ෂක කියද්දී, ඒවා ඉරා තමන්ට දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති ඉල්ලා ඇතැයි පැවසේ. මේ අනීතික ක්‍රියාව කිරීමට මුලින් උප පොලිස් පරීක්ෂක සුගතපාල අකමැති විය.

‘මේවා ලියලා හොයන්න ගිහින් මැරුම් කන්නද හදන්නේ? තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නවා නේද? අරුන්ගෙන් මැරුම් කන්නේ නැතුව තමුසේගේ සටහනුයි නෝට් පොතයි මට දීපන්.’

යනුවෙන් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා උප පොලිස් පරීක්ෂකට කියා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයා බල අපරාධ සටහන් පොතේ අදාළ පිටුවල මෙන්ම ලසන්තගේ සටහන් පොතේ මුල් සහ අවසන් පිටුවල ඡායා පිටපත් ගෙන ඒවා සඟවා තබා මුල් පිටපත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඉදිරිපිට නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දී ඇත.

ලසන්තගේ ඝාතනයෙන් පසු එම පරීක්ෂණ විධිමත් කරන ලෙස එවකට ආණ්ඩුවට දිගින්-දිගටම බලපෑම් පැමිණි අතර, 2009 නොවැම්බර් 25 දා එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරිණි. ඔවුන්ට එම පරීක්ෂණ කරගෙන යෑමට හැකි වූයේ මාස කිහිපයක් පමණි. එවකට පොලිස්පති මහින්ද බාලසූරිය විසින් 2010 පෙබරවාරි 07දා පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨගේ අධීක්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් සිදුකරන ලෙස දැනුම් දුන්නේය. ඒ වන විට සීඅයිඩියෙන් කළ විමර්ශන ද ත්‍රස්ත විමර්ශන අංශය සැලකිල්ලට ගෙන තිබිණි.

පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන අංශයට

ලසන්ත වික්‍රමතුංගගේ ගමන් මග ඔස්සේ දිගින්-දිගටම දුරකතන අංක 5ක් සංසරණය වූ බව විමර්ශන කණ්ඩායම සොයාගත්හ. 811, 812, 831, 861 සහ 951 අංකවලින් අවසන් වන එක ළඟ අංක නිසා මේ ගැන සැක සිතී ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ විය. ඒවා මිලදීගෙන තිබුණේ 2018 නොවැම්බර් 12, 13 සහ දෙසැම්බර් 01දා ය. කොළඹ, ඕල්කට් මාවතේ කමියුනිකේෂන් එකකින් එම සිම් කාඩ් ලබාගෙන තිබුණේ නුවරඑළියේ ජේසුදාසන් නම් පුද්ගලයකුගේ හැඳුනුම්පතකට ය. ඒ අනුව ත්‍රස්ත විමර්ශන අංශය 2010 පෙබරවාරි 26 දා ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය.

රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කළ ත්‍රස්ත විමර්ශන අංශය ඊළඟට අත්අඩංගුවට ගන්නේ යුද හමුදා බුද්ධි නිලධාරියෙකි. ඔහු සේවය කර තිබුණේ ට්‍රිපෝලි කඳවුරට අනුයුක්තව ය. ජේසුදාසන් යනු ගරාජ් වැඩපොළක සේවකයෙකි. ඔහුට මත්පැන් බීමට දී ඔහුගේ හැඳුනුම්පත ලබාගෙන, එම සිම් කාඩ් මිලදීගත්තේ යැයි අනාවරණය වුවත්, ජේසුදාසන් මුදාහැරියේ ද නැත. ඔහු අවසානයේ මරුමුවට පත් විය. එය ස්වභාවික මරණයක්ද, නැතහොත් මරා දැමීමක්ද යන්න අබිරහසකි.

2010 ජනාධිපතිවරණය පැවතියේ ද මේ අතර ය. ජනාධිපතිවරණය නිමවීමත් සමග 2010 පෙබරවාරි 26 දා ලසන්ත ඝාතනයට අදාළව යැයි කියමින් කොහුවල යුද හමුදා කඳවුරේ 11 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිණි. ඊට පසු දින තවත් 06 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිණි. මේ සියලුදෙනා එවකට සරත් ෆොන්සේකාගේ ආරක්ෂක රාජකාරියේ ආවේක්ෂණ රාජකාරි කළ පිරිසකි. රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට රැඳවුම් නියෝග ගත්තද, මේ පිරිසෙන් 09 දෙනෙක් දින 06කට පසු පොලිස් ඇප මත මුදා හැරිණි. ඉතිරි 08 දෙනා දින 11කට පසු පොලිස් ඇප මත මුදා හැරිණි. ට්‍රිපෝලි කඳවුරේ යුද හමුදා බුද්ධි සාමාජිකයා නීතිපති උපදෙස් පිට නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

පරීක්ෂණ යළිත් සීඅයිඩියට

මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 2015 පෙබරවාරි 25 දා යළිත් මෙහි පරීක්ෂණ සීඅයිඩියට පැවරිණි. ඒ අනුව එවකට සීයිඩිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එවකට එහි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ලගේ අධීක්ෂණයෙන්, එවකට සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරි බී.එස්.තිසේරාගේ උපදෙස් පරිදි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු පිරිසක් විමර්ශන ආරම්භ කළහ.

පරීක්ෂකයන්ට මුලින්ම ගැටළුව වූයේ ලසන්ත ඝාතනයට පත්වූ ආකාරය ගැන ඉදිරිපත් වූ පරස්පර අදහස් ය. ඒ අනුව අධිකරණ නියෝගයක් මත ලසන්තගේ දේහය 2016දී යළි ගොඩ ගත් අතර, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් ඇතුළු අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් යළි දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළහ. එහි නිගමනය වූයේ ලසන්ත ඝාතනය කර ඇත්තේ වෙඩි තැබීමකින් නොවන බවයි. හිසට එල්ල කළ ප්‍රහාරයකින් (ඇනීමකින්) ලසන්ත ඝාතනය කර ඇති බව නිගමනය විය. එම වාර්තාව සහ ලසන්ත මිය ගිය අවදියේ ම රස පරීක්ෂක දුන් වාර්තාවත්, ශල්‍යකර්මය කළ මහාචාර්යවරයා දුන් වාර්තාවත් සමාන විය.

ලසන්ත ඝාතනය කිරීමට යොදාගෙන තිබුණේ වෙනත් රටවල බැටළුවන් මැරීමට යොදාගන්නා නවීන උපකරණයක් බවට සැක කෙරේ. එම උපකරණය හිස මත තබා බොත්තම තද කළ විට උල් කටුවක් හිස පසාරු කරගෙන ගොස් නැවත ආයුධය ඇතුළට එයි.

දෙවැනි වර, අලුතින් පරීක්ෂණ ආරම්භ කළ සීඅයිඩිය මුලින්ම කළේ පොලිසියේ අයගේ සාක්ෂි සටහන් කරගැනීමයි. 2015 ඔක්තෝබර් 12 දා සහ 2015 නොවැම්බර් 04 දා උප පොලිස් පරීක්ෂක සුගතපාල ගෙන්වා ප්‍රකාශ සටහන් කරගත්තේය. එම ප්‍රකාශ සහ අනෙක් පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශවල පරස්පරතා තිබුණු අතර, ඔහුගේ ප්‍රකාශ අසත්‍ය බව දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව ද පෙනීගියේය. ඒ ගැන යළිත් ප්‍රකාශයක් සටහන් කරගැනීමට 2017 ජනවාරි 31 දා උප පොලිස් පරීක්ෂක සුගතපාල කැඳවනු ලැබීය. ප්‍රකාශය අඩක් ලබාගෙන සුගතපාලට දහවල් ආහාරයට ආපන ශාලාවට යෑමට ඉඩ දුන් අතර, ඉන් ප්‍රයෝජන ගත් උප පොලිස් පරීක්ෂකවරයා සීඅයිඩියෙන් පැන ගොස් තිබිණි.

සැකකරුගේ පැන යෑම ගැන සැක සිතුණු සීඅයිඩිය එදින මධ්‍යම රාත්‍රියේ කළුතර පොලිසියේ ද සහාය ඇතිව කළුතර, කටුකුරුන්දේ සැකකරුගේ නිවසක සිටියදී ඔහු අත්අඩංගුවට ගත්තේය. ඉන්පසු පෙබරවාරි 01දා සීඅයිඩියේ සහකාර පොලිස් අධිකාරි බී.එස්.තිසේරාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළ සීඅයිඩියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 48ක කාලයක් සැකකරු රඳවා ගැනීමට අවසර දෙන ලෙසයි. ඊට අධිකරණයෙන් අවසර ලැබිණි.

ඒ අනුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගය අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතෙන් ඉරා ගත් පිටුවල ඡායා පිටපත් වසර 09කට පසු සීඅයිඩිය සොයාගත්තේය. ඒ සැකකාර උප පොලිස් පරීක්ෂකගේ නිවසේ සඟවා තිබියදී ය.

යතුරු පැදි නාටකය

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පැමිණි යතුරු පැදි අත්තිඩිය ඇළේ ඇති බවට එවකට පොලිස්පතිට පෙත්සමක් ලැබුණු බවත් ඒ ගැන විමර්ශනය කරන ලෙසත් උසස් පොලිස් නිලධාරීන් උප පොලිස් පරීක්ෂක සුගතපාලට දැනුම් දී තිබිණි. එම ඇළේ කිඹුලන් ඇති නිසා කිමිදුම්කරුවන් යෙදවීමට තීරණය කළ ඔහු එවැනි අය සොයා බැලීය. කිමිදුම්කරුවන් යොදා සෙවූවත් කිසිවක් හමුනොවීය. ඉන්පසු සෝදිසි මෙහෙයුම් යළි ආරම්භ කළ අතර, උප පොලිස් පරීක්ෂකට ලද දුරකතන ඇමතුමකින් පසු ‘අර අට්ටික්කා ගහ ළඟ බලන්ඩ’ යැයි ඔහු කිමිදුම්කරුවන්ට උපදෙස් දී තිබේ. එම උපදෙස් අනුව සොයා බලද්දී අට්ටික්කා ගහ ළඟ තිබූ යතුරු පැදි 02 සොයාගෙන ඇත.

ඒවායේ එන්ජින් අංක සහ චැසි අංක පරීක්ෂා කරද්දී පෙනීගොස් ඇත්තේ එය වවුනියාවේ පුද්ගලයකුට අයිති බවයි. වවුනියාවට ගොස් හිමිකරු හමුවූ විට කියා ඇත්තේ ඊට වසරකට පමණ පෙර එය වවුනියාවේ රත්තරන් බඩු කඩ හිමිකරුවකුට විකිණූ බවයි. එම දෙවැනි ගැනුම්කරු ගැන සෙවූ විට තොරතුරු ලැබුණේ දෙවැනි ගැනුම්කරු අතුරුදන්ව ඇති බවයි. ඒ ගැන සොයන්නට එපා යැයි ඉහළින් උප පොලිස් පරීක්ෂකට උපදෙස් ලැබිණි. ඒඅනුව කතාවක් ගෙතිණි. ඒ, යතුරු පැදි වවුනියාවේ එල්ටීටීඊ පුද්ගලයකුට අයිති බවටයි. මෙය එල්ටීටීඊ ඝාතනයක් බවට ප්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත වූයේ ද නැත.

සීඅයිඩිය විමර්ශන ආරම්භ කළ පසු යතුරු පැදියේ දෙවැනි හිමිකරු සොයා ගියේය. දෙවැනි හිමිකරු විෂ්ණු කුමාර් පූන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු එල්ටීටීඊයට සම්බන්ධ පුද්ගලයකු නොවූ අතර, රත්තරන් බඩු කඩයක් කරගෙන ගිය පුද්ගලයෙකි. 2009 ජනවාරි 18දා ඔහු සහ මිතුරකු යතුරුපැදියෙන් යද්දී කොළ පාට ජීප් රියකින් පැමිණි පිරිසක් මේ දෙදෙනා සහ යතුරුපැදිය, ඊට පටවා ගත් බවට ඇසින් දුටු සාක්ෂි හමු විය. ඊට පසු දින, එනම් ජනවාරි 19දා මේ දෙදෙනාගේ සිරුරු අනුරාධපුරය ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබිණි. ඔවුන් මරා දමා තිබුණේ හිසට වෙඩි තැබීමෙන් ය.

එනම්, ලසන්ත ඝාතනයට යොදාගත්තේ යැයි කී යතුරුපැදිය වවුනියාවෙන් පැහැරගෙන තිබුණේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර දින 10කට පසුව ය.

එසේ නම් එය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට යොදාගත් යතුරුපැදියක් නොව ලසන්ත ඝාතන පරීක්ෂණ වෙනතකට යොමුකිරීමට උපයෝගී කර ගත් යතුරුපැදියක් බව අනුමාන කළ සීඅයිඩිය පොලිස්පතිට ලැබුණු ඉහත කී පෙත්සම ගැන සොයාබැලීය. පෙත්සම ලැබී තිබුණේ 2009 ජනවාරි 26දා ය. නමුත් යතුරුපැදිය සොයන ලෙස උපදෙස් දී තිබුණේ ජනවාරි 25දා ය. ඒ අනුව යතුරුපැදි නාටකය එයින් නිමා වූයේ තවත් අපරාධයක (යතුරු පැදි හිමිකරු සහ සගයා ඝාතනය) තොරතුරු හෙළිදරව් කරමිනි.

නාටක නැවතුණු තැන

මේ ආකාරයේ දීර්ඝ ව ලිවිය හැකි තවත් නාටක රැසක් ලසන්ත ඝාතන විමර්ශන අතර තිබේ. ලසන්ත ඝාතනයට අදාළ ව මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සාක්ෂි වසන් කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම යටතේ ය. එනම්, ලක්ෂ්මන් කදිරගාමර් වැනි තීරණාත්මක ඝාතන මෙන්ම ලසන්ත අපරාධයේ සැබෑ ඝාතකයන් ද තවමත් නිදහසේ ය.

මේ අපරාධය පිළිබඳ විමර්ශන කළ ප්‍රධාන විමර්ශකයා වූ ශානි අබේසේකරගෙන් පළිගැනීම්, අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම් නඩු පැවරීම් රැසකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ විගස කරන ලද්දේ මෙවැනි තීරණාත්මක විමර්ශන ශානි අබේසේකරගෙන් ඉවත් කොට, ධුරයෙන් පහත හෙළීම ය. ඔහු යටතේ විමර්ශන කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා තර්ජන හේතුවෙන් රට හැර ගියේය.

එහෙත් අප යළි-යළිත් මේ කරුණු ලිවිය යුතුය. යුක්තිය වෙනුවෙන් බලපෑම් කළ යුතුය. අත්හරින්නට අයිතියක් නැත.

(2023 ජනවාරි 10දා මෙම ලිපිය ‘සත්‍යය වැළලූ සම්පූර්ණ මිලිටරි නාටකය : ලසන්ත වික්‍රමතුංග’ යන ශීර්ෂය යටතේ www.thetime.lk, එනම් මෙම වෙබ්අඩවියේ ම පළකෙරුණකි.)

‘නිර්මාණයක් ගෙනදෙන කම්පනය වගේම කම්පනයක් ඒ ගැන ලියවුනු හොඳ ලියවිල්ලකිනුත් ගෙන දෙනවා. ‘

0

සුරේඛා මේ ලිපිය ලස්සනට ලියලා තියෙනවා. මට මේක ඔබත් එක්ක බෙදා ගන්න හිතුනේ මේක කියවපු මගේ යාළුවෙක් කියපු කතාවක් නිසා.
‘නිර්මාණයක් ගෙනදෙන කම්පනය වගේම කම්පනයක් ඒ ගැන ලියවුනු හොඳ ලියවිල්ලකිනුත් ගෙන දෙනවා. ‘

  • අසෝක හඳගම

ඇන්ටික් කඩයක…

අම්මා එක්ක නිරුවතින් නාලා පුරුදු කොල්ලෙක් ගෑනියෙක් ගන්න හදනවා, එයා එක්ක නිරුවතින් නාන්න… ඉන් එහාට ගිය ෆැන්ටසියක් නැද්ද කොහෙද ඒ කොල්ලට… අම්මගෙ තනේ අහිමි වුණු කාංසාවට, පාර්වතී පිළිමෙ තනේ එල්ලුණු ඒ කොල්ලා වැඩිම වුණොත්, කූඩැල්ලෙක් වගේ ඒ කෙල්ලගෙ තනේ එල්ලිලා ඉන්න ආසා වෙයි… මට බය හිතෙනවා හඳගම, අපේ පරම්පරාවේ වැඩිපුරම ඉන්නෙ අසරණ ඊඩිපස් – කොල්ලො…

අර කොල්ලා පුරුෂ ලිංගයෙන්, මුත්‍රා කරනවාට වඩා වැඩි ප්‍රයෝජනයක් ගන්න දන්නෙ නෑ වගේ… ඊට සාපේක්ෂව වයසක ජෝසප් තාමත් කොච්චර වැඩ ගන්නවද ඒකෙන්… කොල්ලා කියන්නෙ තවදුරටත් පුරුෂ ලිංගයෙන් ආස්වාදනය වෙන එකෙක් නෙවෙයි… ඒ මදිවට ඌ එකට බයයි… පුංචි කාලෙ ‘සිප් එකට අහුවුණාම’ත් රිදෙන්න ඇති… ඊට පස්සෙ පරිවාසෙ දි ‘ඕක’ හින්දා පුක පැලෙන්නත් ඇති… ඒ ට්‍රෝමා එකෙන් ගැලවිල්ලක් නෑ වගෙයි, ඌට… උගෙ අම්මයි, සමාජයයි ඒකට වගකියන්න ඕන…

සාමාන්‍යයෙන්, මීට කලින් අපේ නිර්මාණ ගණනාවක ම මං දැකලා තිබුණෙ පුරුෂ ලිංගයෙන් පීඩාවට පත්වන ගැහැනු… ඒ්ත් කාලයත් එක්ක දේවල් වෙනස් වෙලා තියෙන බවට හඳගම කර යෝජනාවට මං සම්පූර්ණයෙන් ම එකඟයි… පුරුෂලිංගයෙන් ගැහැනිය පීඩාවට පත් නොවීමේ යථාර්ථයක් නිර්මාණය වීම හොඳයි… ඒත් උන් (පිරිමි) ‘නෂ්ටකාමයේ’ ගොදුරු බවට පත්වෙන එක කිසිම ගැහැනියක් ඉවසන එකක් නෑ… ඒ හින්දා හරියට බය හිතෙනවා, හඳගම…

අර කෙල්ල ගෙ ‘ආශාවන්’ වලට මොකද වෙන්නෙ… සමහරවිට රෑ එළි වෙනකන් බලන් හිටියත් කිසිම දෙයක් වෙන එකක් නෑ… අවුරුදු ගණන් බලං හිටියත් එච්චර ම තමයි…
ඒ අතරෙ සමහරු කලු සුදු හීන වල හිර වෙලා… මොන කෙහෙල්මලක්ද කියලා හිතෙනවා, හඳගම…

කොහොම වුණත්, අර කෙල්ල ‘වේදිකාවෙන් මහපොළොවට’ බැහැලා, කෑ ගහලා, ‘ජීවිතය’ ගයන තැන තමයි, මගේ ගැහැනු ආත්මයේ ‘ක්ලයිමැක්ස්’ එක… ඒක මාරයි… කියල වැඩක් නෑ, හඳගම…

දැනටමත් කුණු කාණු පල්ලේ අත ගගා ජීවිතය හොයන්න පටන් අරං තියෙන අයට ‘ටෝච්’ අල්ල අල්ල ‘සමහර තැන්’ පෙන්නුවාට ස්තූතියි…

ඔයා කියන එක හරි, හඳගම… ජීවිතේ තිබුණෙ/ තියෙන්නෙ අපි හොඳට ‘ප්ලෑන්’ කරලා ගියපු/ යන තැන් වල නෙවෙයි… අහම්බ මොහොතවල් වල… නොහිතපු/නොහිතන අහු මුළු වල…

අන්තිමේදි නාට්‍ය ඉවර කරලා ඔයා වේදිකාවට නඟිනකොට ‘ආදරෙයි හඳ…’ කියලා කෑගහන්න තරමට අනුරාගය අවදි වෙලා තිබුණත්, මගේ වම්පැත්තෙ හිටපු ‘ගැහැනිය’ එහෙම කරන්න එපා කිව්වා…

සුරේඛා සමරසේන

ඔවුන්ගේ සිනහව ඒ සියල්ල කියාපායි…

0

මේ ඡායාරූපයේ සිටින වයසක යුවල වන්නේ මෙවර ඔස්කාර් සම්මානලාභී වාර්තා චිත්‍රපටයක් වන “The Elephant Whisperers” හි ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන බොම්මන් (Bomman) සහ බෙලී (Bellie) යුවලයි… දකුණු ඉන්දියාවේ දුෂ්කර වනාන්තර ප්‍රදේශයක ජීවත්වන බොම්මන් සහ බෙලී යුවළ, රඝු නම් අනාථ අලි පැටවෙකු රැකබලා ගැනීම සඳහා තවමත් තම ජීවිතය කැප කරමින් සිටියි… ඔවුන්ගේම දරුවෙක් විදියට මේ අලි පැටවා හදාවඩා ගනිමින් අන් කිසිවකුට නොගැලපෙන පවුලක් බිහි කරමින් මිනිසා සහ සත්ව ලෝකය අතර බාධකය නොමැති බව ඔවුන් පෙන්වා දෙයි…

ඔවුන්ගේ ජීවිත කතාව ඇතුළත් වාර්තා චිත්‍රපටය රූපගතකිරීම් වළින් පසු ඔවුන් ප්‍රථම වරට මෙම ප්‍රශංසනීය ඔස්කාර් සම්මානය අතැතිව මෙම ඡායාරූපයට පෙනී සිටියි… මෙම වසරේ ඇකඩමි සම්මාන උළෙලේදී ඔවුන්ගේ ඉතිහාසය මෙසේ නිර්මාණය විය… අධ්‍යක්ෂ ‘කාර්තිකි ගොන්සාල්වෙස්’ මෙම ඡායාරූපය ජනමාධ්‍ය සමඟ බෙදා ගත්තේ ඇය විසින් සංවිධානය කරන ලද විශේෂ දර්ශනයකදීය… මොවුන් දෙදෙනා මෙම වාර්ථා වැඩසටහන ප්‍රථම වරට දැක ඇත්තේ එහිදිය… එයට හේතුව ඔවුන් තවමත් ජීවත් වන්නේ දුෂ්කර වනාන්තර ප්‍රදේශයක වන අතර එමනිසා ඔවුන්ට රූපවාහිනියට ප්‍රවේශයක් නොමැති වීමයි… මෙම වාර්තා චිත්‍රපටය මාර්තු 13 වන දින හොඳම වාර්තා චිත්‍රපට කෙටි විෂය කාණ්ඩයේ ඔස්කාර් සම්මානය දිනා ගත්තේය.

ධම්මික සමරතුංග

පිලිප් කුමරු සහ සනත් අයියා..!!

0

ඒ 1981 ඔක්තෝබර මාසය යි.
ගුවන් විදුලියේ අපි බරපතල වැඩ කන්දරාවක පැටලී සිටියෙමු.
එවක මා සේවය කළ ක්‍රීඩා අංශයේ වැඩ රාජකාරිවලට අමතරව ඒ වැඩ මට පැවරූයේ සිංහල වැඩසටහන් පාලක ලෙස කටයුතු කළ තිලක සුධර්මන් ද සිල්වා හෙවත් ලොකු මාස්ටර් ය.

මොකද්ද මේ වැඩේ?
දෙවැනි එලිසබෙත් මහරැජින ගේ දෙවැනි ලංකා ගමනය ට අදාළ රාජකාරි ය. බොහෝ නිලධාරීන් මේ සදහා යොදවා තිබුණේ ඒ නිමිත්තෙන් සජීවී සහ පටිගත කළ වැඩසටහන් රැසක් ලංකා ගුවන් විදුලිය ඔස්සේ විකාශයට සැලසුම් කර තිබුණු බැවිනි. ඊට අමතරව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් විදුලි සේවාවන් නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීන්ට සහය වීම හා පහසුකම් සැලසීමද ලංකා ගුවන් විදුලියට පැවරී තිබිණි.

සනත් අයියා (සනත් නන්දසිරි) මහා කඩිමුඩියකින් ගුවන් විදුලියට ආවේ රැජිනගේ ලංකා ගමන අතරතුර ඔන්න ඔය වැඩ රාජකාරි කප්පරකට අපි දගලමින් සිටින අවස්ථාවක දී ය.

“වරෙල්ලා, වරෙල්ලා ඉක්මණට පාරට යන්න.”
ඔහු අපිට බල කළේ ය.
වැඩ ගොඩක පැටලී සිටි බැවින් අපි අදිමදි කළෙමු.

“බෑ කියන්න එපා. මොකද මේක අපි කරන්න ම ඕනෑ වැඩක්.”
ඔහු නැවතත් කීය.
අපි අන්දුන් කුන්දුන්ව සනත් අයියාගේ මුහුණ දෙස බැලුවෙමු.

“මල්ලි මේකයි ප්‍රශ්නෙ. තව ටිකකින් ප්‍රින්ස් පිලිප් මේ ඉස්සරහ බුලර්ස් රෝඩ් එකෙන් යනවා. රැජින පාරෙ යද්දි අත වනන්න ඕනෑ තරම් සෙනග. ඒත් පිලිප්ට අත වනන්න බල්ලෙක් වත් නෑ. ඒ හින්දා අපි පිරිමි හැටියට පිලිප්ට උපරිම සහයෝගෙ දෙන්න ඕනෑ. අපි පෙන්නන්න ඕනෑ ලංකාවෙ රැජිනට අත වනන්න විතරක් නෙවෙයි, පිලිප්ට අතවනන්නත් කට්ටිය ඉන්නවා කියලා. හා හා වරෙල්ලා වරෙල්ලා…”

කොහොම හරි ගුවන් විදුලියෙන් පණහක හැටක පිරිසක් එක්කාසු කර ගැනීමට සනත් අයියා සමත් විය.
අපි බුලර්ස් පාර අද්දර ගියෙමු.

සනත් අයියා කී කතාව හරියට ම හරි ය. අපි බුලර්ස් පාර අද්දරට යද්දී දෙපැත්තේ හිටියේ පොලිස් භටයෝ පමණකි. මීට කලින් ඒ පාර ඔස්සේ ම රැජින ගිය අවස්ථාවේ දෙපැත්තේ සෙනග පිරී ඉතිරී සිටියහ. නිකම් නොවේ. එංගලන්ත කොඩි හා ලංකා කොඩි වන වනා..!
එක පාරට ම සෙනග පණහක් හැටක් පාර අද්දරට රොද බඳිනු දැක පොලිස් නිලධාරීහු ද කලබල වූයේ තව මොහොතකින් පිලිප් කුමරු රැගත් රිය පෙරහැර එතැන පසුකිරීමට නියමිත හෙයිනි.

නමුත් කණ්ඩායම් නායකයා සනත් නන්දසිරි බව එතැන සිටි උසස් පොලිස් නිලධාරියෙකු හදුනා ගත් නිසා අවුලක් වූයේ නැත.
සනත් අයියා නිකම් සිටියේ නැත. දඩිබිඩි ගා සටන් පාඨයක් ද නිර්මාණය කළේ ය.

“Long live” සනත් අයියා අත උස්සා මොර දෙයි.
“Prince Philip” අපි අත් දෙකම උස්සා බෙරිහන් දෙමු.

රිය පෙරහැර ළග ළග ම ය.
අපි තව තව සද්දෙට කෑ ගසන්නෙමු.
පිළිවෙතට අනුව වාහන පෙළ එන්නේ සෙමෙන් සෙමෙන් ය.
නිල රථයේ පිටුපස අසුනේ පිලිප් කුමරු ය. ඔහු එන්නේ ජනෙල් වීදුරුව ඇර ගෙන ය. පාර අයිනේ පොලිස් නිලධාරීහු සැලියුට් ගසති. පිලිප් කුමරුවෝ ප්‍රතිආචාර දක්වති.
අපේ සද්දය දුරදී ම කුමරුට ඇසෙන්නට ඇත.
සනත් අයියා ගේ විධානය අනුව අප තාලය සුරකිමින් කෑ ගසන බැවින් කියන්නේ කුමක් දැ යි ඉතා පැහැදිලි ය.

“Long live…!!
Prince Philip…!!!”

අනේ පිලිප් කුමරු අපේ කණ්ඩායමට අත වැනුවේ ඉතා සතුටිනි. ආරක්ෂක නිලධාරීන් ඉඩ දුන්නේ නම් වාහනයෙන් බහිනවා ම ය. බුලර්ස් පාරේ නොපෙනී යන තුරු ම ඔහු ජනේලයෙන් බෙල්ල එළියට දමා ආපසු හැරි හැරී අපට අත වැනීය.
වාහන පෙළ නොපෙනී යන තුරු අපි කෑ ගැසුවෙමු.

“ඔන්න මල්ලි මුළු ලංකාවෙම පුරුෂ පක්ෂය වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කළා.”
වාහන පෙළ නොපෙනී ගිය පසු සනත් අයියා සිය නාසික ස්වරය ⁣ලෙළව ලෙළවා කීවේ ය.
සනත් අයියාගේ ජීවිතය පුරා එවන් රස කතා කප්පරකි.
ඔහුගේ ගීත තරම⁣ටම ඒ කතා රස ය. අපූරු ය..!!
සනත් අයියා අප හැර ගිය ද, ඒ මතක අප ළඟ ය..!!!

සමන් අතාවුදහෙට්ටි

අවසන් ගමන් ගියමුත් හෙට දින සෑයේ
මතකය තිබේ වගෙ හරියට අද ඊයේ
හමුවෙමු ඉඩක් ලැබුණොත් හෙම අප ආයේ
බිම් තීරුවක මල් පීදුණු එක යායේ

ගී කෙත රස කතා තොගයක් සනත් සතූ
සෑහෙන ඇත්ත මුත් ඇත එක දෙකක් ගෙතූ
ඒවා අහන්නට ඇත්නම් හොදයි සිතූ
ඔබ මළගෙදර නයිටක් නම් ගැසිය යුතූ

ප්‍රියන්ත කොඩිප්පිලි

(සමන් අතාවුදහෙට්ටි සහ ප්‍රියන්ත කොඩිප්පිලි මුහුණු පොතෙහි තමන ලද සටහන් දෙකක්)

හමුදාවට බාර වූයේ කවුද – බාරගත්තේ කවුද ? : තොරතුරු කොමිසම විමර්ශන අවසන් කරයි : වව්නියා මහාධිකරණයේ නඩුවත් ඉදිරියට !

යුද්ධයේ අවසන් වකවානුවේදී යුද හමුදාවට බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ගොනුකරන ලද අභියාචනයක විමර්ශන අවසන් කිරීමට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව අද (28) තීරණය කළේය.

ඒ අනුව අවශ්‍ය ලිඛිත වාර්තා ගොනුකිරීමට දෙපාර්ශ්වයට කාලය ලබාදුන් කොමිසම, ඉන්පසු අභියාචනයට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරන බව දැනුම්දුන්නේය.

Tamil Mirror පුවත්පතේ මාධ්‍යවේදී පී. නිරෝෂ් කුමාර් විසින් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අදාළ තොරතුරු ඉල්ලා තිබිණි. එම තොරතුරු නොලැබීම නිසා ඔහු කොමිසමට අභියාචනා කළ අතර, RTIC App/No: 1111/2022 යටතේ මෙම අභියාචනය විභාග කෙරිණි.

ඉල්ලුවේ මොනවාද ?

යුද්ධයේ අවසාන කාලයේදී යුද හමුදාවට බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් කවුද සහ ඔවුන්ගේ තොරතුරු, ඔවුන් බාරගත්තේ කවුද, ඔවුන් බාර වුණේ කොහේදීද, එසේ බාර වූ එල්ටීටීඊ නායකයන්ට විරුද්ධව ගත් පියවර මොනවාද යන තොරතුරු අදාළ මාධ්‍යවේදියා විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා තිබිණි.

හමුදාවේ ප්‍රතිචාර

කොමිසම මගින් සිදු කළ විමර්ශනයේදී හමුදාව පාර්ශ්වයෙන් මුලින්ම පැවසුවේ එහිදී කිසිවකු හමුදාවට බාර වූයේ නැති බවයි. ඉන්පසු ඔවුන් සඳහන් කර තිබුණේ බාර වූ පුද්ගලයන් එල්ටීටීඊ සාමාජිකයන් ද යන්න හඳුනාගත නොහැකි වූ බවත්, බාර වූ සියල්ලන් අවතැන් කඳවුරු වෙත යොමු කළ බවත් ය.

මාධ්‍ය වාර්තා සහ ලේඛන ආශ්‍රයෙන් තොරතුරු ඉල්ලුම්කරුගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු හමුදාව හෙවත් පොදු අධිකාරිය පාර්ශ්වයෙන් සඳහන් කළේ බාර වූ පුද්ගලයන්ගේ තොරතුරු ලබානොගත් බවයි.

තොරතුරු ඉල්ලුම්කරුගේ පාර්ශ්වයෙන් නීතිඥ කේ.එස්.රත්නවේල්, නීතිඥ ස්වස්තිකා අරුලිංගම් සහ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කොමිසම ඉදිරියේ පෙනීසිටියහ.

යුද හමුදාව පාර්ශ්වයෙන් නීතිඥවරුන් ලෙස බ්‍රිගේඩියර් ආර්.ඩි.ඕ. පතිරණගේ ප්‍රමුඛ ලුතිනන් කමාන්ඩර් ඩි.සී.කේ.ඩබ්ලිව්. රණසිංහ සහ මේජර් බී.ඩි.ජේ. යායවීර කොමිසම ඉදිරියේ පෙනීසිටියහ.

තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න සමග විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන, නීතිඥ ජගත් ලියන ආරච්චි සහ ඒ.එම්. නාහියා යන කොමසාරිස්වරුන් ඉදිරියේ මෙම අභියාචනය විභාග කෙරිණි.

අධිකරණ නියෝගයක්

මේ අතර යුද්ධයේ අවසාන කාලයේදී 2009 මැයි මාසයේ මුලතිව් යුද හමුදා කඳවුරට බාර වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් තිදෙනෙකු මාර්තු 22 දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර නියෝගයක් ලබාදෙන ලදි.

වව්නියා මහාධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ එම සාමාජිකයන්ගේ භාර්යාවන් විසින් ඉදිරිපත් කරන ලද හේබියස්කෝපුස් (habeas corpus) පෙත්සම් 03ක් සලකාබැලීමෙන් පසුව ය.

පසුගිය පෙබරවාරි 23දා මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම්කරුවන් අධිකරණයට දැනුම් දුන්නේ 2009 මැයි 18දා සිය ස්වාමිපුරුෂයන් යුද හමුදාවට බාර වූ බවත්, එදින සිට ඔවුන් අතුරුදන් බවත් ය. මෙම පෙත්සම විභාගයට ගැනීමට අධිකරණය මීට පෙර තීන්දු කළේය. එය සමාජයේ දැඩි කතාබහට ලක්විය.

යුද හමුදාපතිවරයා, 58 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා සහ මුලතිව් යුද හමුදා කඳවුරේ ප්‍රධාන අණදෙන නිලධාරියා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

අතුරුදන් කවුද ?

පොන්නම්බලම් කන්දස්වාමි, සින්නතුරෙයි සසිදරන් හෙවත් එලිලන් සහ රුද්‍රකුමාර් ක්‍රිෂ්නකුමාර් වෙනුවෙන් මෙම රීට් පෙත්සම් ඉදිරිපත් කර තිබේ. මහාධිකරණයෙන් මීට පෙර මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබුණේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

කිසිවෙකු නෑ’

58 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී තිබුණේ කිසිවෙකු අත්අඩංගුවේ හෝ රඳවා තබාගෙන නොමැති බවයි. කෙසේ වෙතත් 2009 මැයි 17, 18 සහ 19 යන දින තුනේදී මුලතිව් යුද හමුදා කඳවුරට බාර වූ පුද්ගලයන් පිළිබඳ ලේඛනයක් හමුදාව සතු බව ද ඔහු මීට පෙර සඳහන් කර තිබිණි.

එම ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වව්නියාව මහාධිකරණයෙන් නියෝග කර තිබිණි.

ස්ථානීය වාර්තාවක් නෑ ?

කෙසේ වෙතත් මේජර් ජෙනරාල් ගුණවර්ධන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා විසින් සකස් කළ වාර්තාවක් පමණි. හමුදාව විසින් ඒ මොහොතේ සකස් කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් නොකිරීම සැලකිය යුතු කාරණයක් බව අධිකරණය පාර්ශ්වයෙන් මෙහිදී අවධාරණය කෙරිණි.

සාක්ෂි තියෙනවා’

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙහිදී අධිකරණයට පෙන්වා දුන්නේ අදාළ පුද්ගලයන් ශ්‍රී ලංකා යුද හමුදා අත්අඩංගුවේ සිටින බව දුටු සාක්ෂි ඇති බවයි. එම සාක්ෂි ලිඛිත ව ගොනුකිරීමට ද පෙත්සම්කාර පාර්ශ්වය කටයුතු කර ඇත.

අධිකරණය සෑහීමකට පත්වෙයි

මෙහිදී මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් සඳහන් කළේ පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති සාක්ෂි පිළිබඳ අධිකරණය සෑහීමට පත්වන බවයි. එම නිසා අදාළ පුද්ගලයන් ඉදිරිපත් කිරීමේ වගවීමක් වගඋත්තරකරුවන්ට ඇති බව ද අධිකරණය අවධාරණය කර ඇත.

ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස්. රත්නවේල් සමග ජී. රනීතා සහ එම්. කේතීශ්වරන් යන නීතිඥවරුන් පෙත්සම්කරුවන් වෙනුවෙන් මෙදින අධිකරණයේ පෙනී සිටි අතර, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අබේවික්‍රම වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටියේය.

තවත් 1 වසරක් අද අරඹයි : ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය උල්ලංඝනය කරයි !

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කරගත් ළමුන්ට පන්ති ආරම්භ කිරීම අද (28) සිට සිදු වේ.

පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් සංවාදයක් පවතින අතර, මෙවරත් බොහෝ ජනප්‍රිය පාසල්වල එක් පන්තියකට සිසු-සිසුවියන් 35කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් කරගෙන තිබේ. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදී ඇති තීන්දුවකට අනුව මේ වන විට එක පන්තියකට ඇතුළත් කරගත හැක්කේ සිසු-සිසුවියන් 35ක් පමණි.

අධ්‍යාපනඥයන් ද අවධාරණය කරන්නේ පාසලක එක් පන්තියක ළමුන් 35කට වඩා නොසිටිය යුතු බවයි. ඊට හේතු ලෙස ඔවුන් දක්වන්නේ පන්ති කාමරවල තදබදය අවම කිරීම සහ නිදහස් ඉගෙනුම් පරිසරයක් ගොඩනැගීම  ය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

289/2007, 235/2011, 232/2011 යන අංක දරන නඩු තීන්දු එකක් ලෙස ගෙන ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ 2016 වසරේ සිට පන්තියක සිටිය යුතු මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 35ක් විය යුතු බවයි.

අංක 14/1745/580/060 දරන අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවෙන් ද ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය තහවුරු කර තිබේ. ඉන්පසු ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යංශයෙන් 23/2013/2 දරන චක‍්‍රලේඛයක් ද නිකුත් කර තිබේ. මේ සියල්ලට අනුව, එනම් නීතියට අනුව කටයුතු කරන්නේ නම් දැන් පාසලක එක වසරට ළමුන් 35කට වඩා ගත නොහැකිය.

උපක්‍රම

2015 ඔක්තෝබර් 21දා එවකට පැවති කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තේය. 15/1490/742/003 අංක දරන ඒ කැබිනට් තීන්දුවට අනුව එක වසරට ළමුන් 40ක් ගත හැකිය. ඒ 2016 වසරේදී ය. 2016 දී 40 ක්, 2017 දී 39 ක්, 2018 දී 38 ක්, 2019 දී 37 ක්, 2020 දී 36 ක්, 2021 දී 35 ක් ලෙස එක වසරට ගන්නා ළමුන් සංඛ්‍යාව අඩු කරන්නට එමගින් තීරණය කෙරිණි. ලංකා ගුරු සංගමය මගින් මීට එරෙහිව මානව හිමිකම් කොමිසමේ HRC/398/16 දරන අංකය යටතේ පැමිණිල්ලක් ද සිදුකළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය 2021 සිට ක්‍රියාත්මක කිරීම එහි අරමුණ විය. 2015 – 2019 ආණ්ඩුවේ තීරණය එය විය.

යළිත් අනුමතයි !

2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ද අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අදාළව පන්ති කාමරයක සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 35ක් බව පිළිගත්තේය. 2016 වසරේ සිට ක්‍රියාත්මක පෙර සඳහන් කළ චක‍්‍රලේඛයට අනුව 2021 වසරේ දී පන්තියකට ඇතුළත් කර ගත යුතු සිසුන් සංඛ්‍යාව 35ක් විය. අධ්‍යාපන අමාත්‍යශංයේ එවකට ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් 2020 දෙසැම්බර් 04 දිනැතිව නිකුත් කළ ඊඩී/12/11/02/02 ලිපිය මගින් ද 2021 වසරේ සිට පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35ක් බව අවධාරණය කෙරිණි.

නැවත වෙනස් වෙයි !

නමුත් කඩිමුඩියේ එම ස්ථාවරය වෙනස් කරමින් 2021 මැයි 31දා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පුවත්පත් නිවේදනයක් නිකුත් කළේය. ඒ 2022 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට අදාළ විධිවිධාන හා උපදෙස් නිකුත් කරමිනි. එ් අනුව පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 35ක් නොව 40ක් බවට ප්‍රකාශ කෙරිණි. ඒ අතරින් සිසුන් 35ක් සම්මුඛ පරීක්ෂණ මගින් ද, 5ක් ක්‍රියාන්විත රාජකාරියේ යෙදුණු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන්ගේ ළමයින් අතරින් ද තෝරාගැනීමට තීරණය කෙරිණි.

මේ වසරට අදාළවත් කිසිදු වෙනසක් සිදුනොවීය. අප පෙනීසිටින්නේ සෑම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවෙනි. එය පසෙක තබා, ජනප්‍රිය පාසල් තරගය තවදුරටත් වැඩිකරමින් ඒ හරහා අල්ලස් සහ ගනුදෙනු විශාල වශයෙන් සිදුකිරීමට ඉඩ සකස් කර දීම අධ්‍යාපනයට අදාළ ආණ්ඩුවේ කාර්යභාරය වී ඇත.

ලෝක සිනමාවේ සොඳුරු අත්තම්මා

0

එංගලන්ත ජාතික අසූඅටවැනි වියෙහි ජූඩි ඩෙන්චි ( Judi Dench 1934 ) මැතිනිය වර්තමාන ලෝක සිනමාවේ සිටින අතිදක්ෂ හා අත්දැකීම්වලින් පිරිපුන් විශිෂ්ටතම සිනමා රංගවේදියක් වන්නේ ය .ඇය විසින් තම අද්විතීය රංගනය උදෙස එදා මෙදාතුර විවිධ ජාත්‍යන්තර සම්මාන දිනාගෙන තිබේ. ඒ අතරින් Academy Award, / Tony Award / Golden Globe Awards / British Academy Television Awards / s British Academy Film Awards and Olivier Awards යනාදිය ප්‍රධාන වේ. එපමණක්ද නොව ඇය අට වතාවක් වසරේ හොදම නිළිය ( Best Actress if the Year ) සදහා වූ ඇකඩමි සම්මානය සම්මානය සදහා නිර්දේශ වී ඇත්තේ ය.
කෝපය ,සතුට , සෙනෙහස , වෛරය , හා වැළපීම නම් කවර හෝ මානවීය චිත්තාවේගයක් වුවද තම රංගනය ගැඹුරු,පෞරුෂය හා චමත්කාරය වෙනුවෙන් ඉතා මැනවින් මුසු කිරීමට ඇති අපූරු හැකියාවද ? එසේම තම රූපය හා කටහඩ චරිතයේ විවිධ මනෝභාවයන්ට අනුව ඉතා සියුම් ඒකාග්‍රතාවයකින් මුසු කිරීමට ඇති ඉහළ හැකියාව ද ? ඇයගේ සිනමා රංගනයේ ඇති අසමසම අනන්‍යතාවය හා හැඩතලය වන්නේ ය.

හොලිවුඩ් හා යුරෝපීය සිනමාවේ අධ්‍යක්ෂකවරුන්ගේ සිට සෑම ක්ෂේත්‍රයකම කොයි කවුරුත් මෙතුමියට දක්වන්නේ ඉමහත් ආදරයකි. එසේම ඉහළ ගෞරවයකි. මෙතුමිය දර්ශන තුලයට පිවසෙත්ම එම දර්ශන තල කිසියම් වූ චමත්කාරයකින් පිරි ඉතිරී යන බව කියැවේ. මෙතුමිය ඉතා විහිළු තහළු කිරීමට ඉතා ප්‍රයතාවයක් දක්වන අතර දර්ශන තලය තුළ විහිළු තහළුවෙන් ගතකොට ඉතා ක්ණිකව තම චරිතයේ වූ මනෝභාවයට ප්‍රවිෂ්ට වීමට ඇයට ඉහළ හැකියාවක් තිබෙව කියැවේ. මෙම කාරණාව තවත් ආකාරයකින් දක්වන්නේ නම් මෙතුමියට තත්පර කීපයක තම රංගන වෙනුවෙන් වුවද සම්මානයක් දිනාගැනීමට හැකිය . ඊට කදීම උදාහරණයකි, Joha Madden විසින් අධ්‍යක්ෂණය කරන ලද Shakespeare in Love – 1998 චිත්‍රපටයේ මෙතුමියගේ ඉතා සුළු රංගනය.

මෙරට තුරණු රංගනවේදීන් විශ්ව සිනමා රංගනය පිළිබඳව හදාරන්නේ ද මෙතුමිය එහිලා සුවිශේෂී චරිතයක් වනු ඇත. කෙටියෙන් කිවහොත් මෙතුම රංගනය පිළිබඳව මහා තක්ෂිලාවක් වන්නේ ය. ඊට මෙතුමියගේ රංගනය කෞෂල්‍යය පිළිබඳව දත් උදවිය මා සමගින් එකඟවනු ඇත.
එම විශිෂ්ට චරිත අට මෙසේ දක්වමි.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

ගම්පෙරළියේ නන්දාගේ කවිය

0

වලාකුළු සාගරේ පාවෙලා මෙහි ආව
අඬාගෙන දොඩාගෙන වැටෙන හිරිකඩ ගාව
උහුලගන්නේ කොහොම අලුයමේ සංකාව
ජිනදාස වත් ද මේ ඇදවැටෙන වරුසාව

විලාපය කියාගෙන පොල් කරටි අඹරවන
කුණාටුව කැරකුණා දෙස්දෙවොල් කියාගෙන
කණාටුව ගිය ගසක කරටියෙන් සිනාසෙන
හඳ පළුව බොඳවුණා මං දිහා බලාගෙන

කිරල කඩොලාන වදුලක ලගින කිඹුලන්ට
තව තියෙනව ද දුකක් පපුවකින් අහගන්ට
ගලන කොග්ගල ඔයේ බඩවතේ දියවෙන්ට
කඳුළු උල්පත් මදි ද ඔය දෑල බොරවෙන්ට

දිය සෙවෙල පෙඳ පාසි පාවෙනා මිරිදියක
වෙරළ වැලි අත ගගා සිනාසෙන කරදියක
බිඳුණු කැඩපත දිගේ ඉහිරෙනා වඩදියක
මතක නටබුන් වැටී බොඳව යයි බාදියක

කොප්පරා සුවඳකින් පිරෙන හිරිගල් දෙවොල
සෙක්කුවක කෙඳිරියෙන් උනන පොල්තෙල් වගුල
පත්තුකළ පහනකින් ගලන කහ එළිය තුළ
ඇස් දෙකක පළිඟු එළියකි සිංහලේ දිදුල

ගින්දරෙන් දිය බිබී සිනාසෙන ලෝකයට
නින්දගම් උඩ ගලන දෛවයේ සරදමට
ගෙන්දගම් පොළොව උඩ ඉරිතලන ඉරණමට
වන්දනා කරමි මම සංසාර ගත පෙමට

කඳුළු මිටියාවතක අකුරු පැලවෙන දාක
නැවතීමෙ තිත ගාව මතක ඉකිලන රෑක
අඳුරු කොග්ගල ඔයට ගලන ලෝදිය සෝක
සොඳුරු යටගිය දවස යමහලක අභිෂේක

සාංකාවට උඩින් රන් රිදී ඇන්දාට
ඉංගිරිසි හුස්ම යට හුළැඟිල්ල බැන්දාට
වාන් දානා ළයක කඳුළු උතුරන රෑට
හීන් අඩහඳ පලුව මොනවට ද නන්දාට

කුමාර හෙට්ටිආරච්චි