වලාකුළු සාගරේ පාවෙලා මෙහි ආව
අඬාගෙන දොඩාගෙන වැටෙන හිරිකඩ ගාව
උහුලගන්නේ කොහොම අලුයමේ සංකාව
ජිනදාස වත් ද මේ ඇදවැටෙන වරුසාව
විලාපය කියාගෙන පොල් කරටි අඹරවන
කුණාටුව කැරකුණා දෙස්දෙවොල් කියාගෙන
කණාටුව ගිය ගසක කරටියෙන් සිනාසෙන
හඳ පළුව බොඳවුණා මං දිහා බලාගෙන
කිරල කඩොලාන වදුලක ලගින කිඹුලන්ට
තව තියෙනව ද දුකක් පපුවකින් අහගන්ට
ගලන කොග්ගල ඔයේ බඩවතේ දියවෙන්ට
කඳුළු උල්පත් මදි ද ඔය දෑල බොරවෙන්ට
දිය සෙවෙල පෙඳ පාසි පාවෙනා මිරිදියක
වෙරළ වැලි අත ගගා සිනාසෙන කරදියක
බිඳුණු කැඩපත දිගේ ඉහිරෙනා වඩදියක
මතක නටබුන් වැටී බොඳව යයි බාදියක
කොප්පරා සුවඳකින් පිරෙන හිරිගල් දෙවොල
සෙක්කුවක කෙඳිරියෙන් උනන පොල්තෙල් වගුල
පත්තුකළ පහනකින් ගලන කහ එළිය තුළ
ඇස් දෙකක පළිඟු එළියකි සිංහලේ දිදුල
ගින්දරෙන් දිය බිබී සිනාසෙන ලෝකයට
නින්දගම් උඩ ගලන දෛවයේ සරදමට
ගෙන්දගම් පොළොව උඩ ඉරිතලන ඉරණමට
වන්දනා කරමි මම සංසාර ගත පෙමට
කඳුළු මිටියාවතක අකුරු පැලවෙන දාක
නැවතීමෙ තිත ගාව මතක ඉකිලන රෑක
අඳුරු කොග්ගල ඔයට ගලන ලෝදිය සෝක
සොඳුරු යටගිය දවස යමහලක අභිෂේක
සාංකාවට උඩින් රන් රිදී ඇන්දාට
ඉංගිරිසි හුස්ම යට හුළැඟිල්ල බැන්දාට
වාන් දානා ළයක කඳුළු උතුරන රෑට
හීන් අඩහඳ පලුව මොනවට ද නන්දාට