ගම්පෙරළියේ නන්දාගේ කවිය

Share post:

වලාකුළු සාගරේ පාවෙලා මෙහි ආව
අඬාගෙන දොඩාගෙන වැටෙන හිරිකඩ ගාව
උහුලගන්නේ කොහොම අලුයමේ සංකාව
ජිනදාස වත් ද මේ ඇදවැටෙන වරුසාව

විලාපය කියාගෙන පොල් කරටි අඹරවන
කුණාටුව කැරකුණා දෙස්දෙවොල් කියාගෙන
කණාටුව ගිය ගසක කරටියෙන් සිනාසෙන
හඳ පළුව බොඳවුණා මං දිහා බලාගෙන

කිරල කඩොලාන වදුලක ලගින කිඹුලන්ට
තව තියෙනව ද දුකක් පපුවකින් අහගන්ට
ගලන කොග්ගල ඔයේ බඩවතේ දියවෙන්ට
කඳුළු උල්පත් මදි ද ඔය දෑල බොරවෙන්ට

දිය සෙවෙල පෙඳ පාසි පාවෙනා මිරිදියක
වෙරළ වැලි අත ගගා සිනාසෙන කරදියක
බිඳුණු කැඩපත දිගේ ඉහිරෙනා වඩදියක
මතක නටබුන් වැටී බොඳව යයි බාදියක

කොප්පරා සුවඳකින් පිරෙන හිරිගල් දෙවොල
සෙක්කුවක කෙඳිරියෙන් උනන පොල්තෙල් වගුල
පත්තුකළ පහනකින් ගලන කහ එළිය තුළ
ඇස් දෙකක පළිඟු එළියකි සිංහලේ දිදුල

ගින්දරෙන් දිය බිබී සිනාසෙන ලෝකයට
නින්දගම් උඩ ගලන දෛවයේ සරදමට
ගෙන්දගම් පොළොව උඩ ඉරිතලන ඉරණමට
වන්දනා කරමි මම සංසාර ගත පෙමට

කඳුළු මිටියාවතක අකුරු පැලවෙන දාක
නැවතීමෙ තිත ගාව මතක ඉකිලන රෑක
අඳුරු කොග්ගල ඔයට ගලන ලෝදිය සෝක
සොඳුරු යටගිය දවස යමහලක අභිෂේක

සාංකාවට උඩින් රන් රිදී ඇන්දාට
ඉංගිරිසි හුස්ම යට හුළැඟිල්ල බැන්දාට
වාන් දානා ළයක කඳුළු උතුරන රෑට
හීන් අඩහඳ පලුව මොනවට ද නන්දාට

කුමාර හෙට්ටිආරච්චි

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...