ඒ 1981 ඔක්තෝබර මාසය යි.
ගුවන් විදුලියේ අපි බරපතල වැඩ කන්දරාවක පැටලී සිටියෙමු.
එවක මා සේවය කළ ක්‍රීඩා අංශයේ වැඩ රාජකාරිවලට අමතරව ඒ වැඩ මට පැවරූයේ සිංහල වැඩසටහන් පාලක ලෙස කටයුතු කළ තිලක සුධර්මන් ද සිල්වා හෙවත් ලොකු මාස්ටර් ය.
මොකද්ද මේ වැඩේ?
දෙවැනි එලිසබෙත් මහරැජින ගේ දෙවැනි ලංකා ගමනය ට අදාළ රාජකාරි ය. බොහෝ නිලධාරීන් මේ සදහා යොදවා තිබුණේ ඒ නිමිත්තෙන් සජීවී සහ පටිගත කළ වැඩසටහන් රැසක් ලංකා ගුවන් විදුලිය ඔස්සේ විකාශයට සැලසුම් කර තිබුණු බැවිනි. ඊට අමතරව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් විදුලි සේවාවන් නියෝජනය කරමින් පැමිණි මාධ්‍යවේදීන්ට සහය වීම හා පහසුකම් සැලසීමද ලංකා ගුවන් විදුලියට පැවරී තිබිණි.
සනත් අයියා (සනත් නන්දසිරි) මහා කඩිමුඩියකින් ගුවන් විදුලියට ආවේ රැජිනගේ ලංකා ගමන අතරතුර ඔන්න ඔය වැඩ රාජකාරි කප්පරකට අපි දගලමින් සිටින අවස්ථාවක දී ය.
“වරෙල්ලා, වරෙල්ලා ඉක්මණට පාරට යන්න.”
ඔහු අපිට බල කළේ ය.
වැඩ ගොඩක පැටලී සිටි බැවින් අපි අදිමදි කළෙමු.
“බෑ කියන්න එපා. මොකද මේක අපි කරන්න ම ඕනෑ වැඩක්.”
ඔහු නැවතත් කීය.
අපි අන්දුන් කුන්දුන්ව සනත් අයියාගේ මුහුණ දෙස බැලුවෙමු.
“මල්ලි මේකයි ප්‍රශ්නෙ. තව ටිකකින් ප්‍රින්ස් පිලිප් මේ ඉස්සරහ බුලර්ස් රෝඩ් එකෙන් යනවා. රැජින පාරෙ යද්දි අත වනන්න ඕනෑ තරම් සෙනග. ඒත් පිලිප්ට අත වනන්න බල්ලෙක් වත් නෑ. ඒ හින්දා අපි පිරිමි හැටියට පිලිප්ට උපරිම සහයෝගෙ දෙන්න ඕනෑ. අපි පෙන්නන්න ඕනෑ ලංකාවෙ රැජිනට අත වනන්න විතරක් නෙවෙයි, පිලිප්ට අතවනන්නත් කට්ටිය ඉන්නවා කියලා. හා හා වරෙල්ලා වරෙල්ලා…”
කොහොම හරි ගුවන් විදුලියෙන් පණහක හැටක පිරිසක් එක්කාසු කර ගැනීමට සනත් අයියා සමත් විය.
අපි බුලර්ස් පාර අද්දර ගියෙමු.
සනත් අයියා කී කතාව හරියට ම හරි ය. අපි බුලර්ස් පාර අද්දරට යද්දී දෙපැත්තේ හිටියේ පොලිස් භටයෝ පමණකි. මීට කලින් ඒ පාර ඔස්සේ ම රැජින ගිය අවස්ථාවේ දෙපැත්තේ සෙනග පිරී ඉතිරී සිටියහ. නිකම් නොවේ. එංගලන්ත කොඩි හා ලංකා කොඩි වන වනා..!
එක පාරට ම සෙනග පණහක් හැටක් පාර අද්දරට රොද බඳිනු දැක පොලිස් නිලධාරීහු ද කලබල වූයේ තව මොහොතකින් පිලිප් කුමරු රැගත් රිය පෙරහැර එතැන පසුකිරීමට නියමිත හෙයිනි.
නමුත් කණ්ඩායම් නායකයා සනත් නන්දසිරි බව එතැන සිටි උසස් පොලිස් නිලධාරියෙකු හදුනා ගත් නිසා අවුලක් වූයේ නැත.
සනත් අයියා නිකම් සිටියේ නැත. දඩිබිඩි ගා සටන් පාඨයක් ද නිර්මාණය කළේ ය.
“Long live” සනත් අයියා අත උස්සා මොර දෙයි.
“Prince Philip” අපි අත් දෙකම උස්සා බෙරිහන් දෙමු.
රිය පෙරහැර ළග ළග ම ය.
අපි තව තව සද්දෙට කෑ ගසන්නෙමු.
පිළිවෙතට අනුව වාහන පෙළ එන්නේ සෙමෙන් සෙමෙන් ය.
නිල රථයේ පිටුපස අසුනේ පිලිප් කුමරු ය. ඔහු එන්නේ ජනෙල් වීදුරුව ඇර ගෙන ය. පාර අයිනේ පොලිස් නිලධාරීහු සැලියුට් ගසති. පිලිප් කුමරුවෝ ප්‍රතිආචාර දක්වති.
අපේ සද්දය දුරදී ම කුමරුට ඇසෙන්නට ඇත.
සනත් අයියා ගේ විධානය අනුව අප තාලය සුරකිමින් කෑ ගසන බැවින් කියන්නේ කුමක් දැ යි ඉතා පැහැදිලි ය.
“Long live…!!
Prince Philip…!!!”
අනේ පිලිප් කුමරු අපේ කණ්ඩායමට අත වැනුවේ ඉතා සතුටිනි. ආරක්ෂක නිලධාරීන් ඉඩ දුන්නේ නම් වාහනයෙන් බහිනවා ම ය. බුලර්ස් පාරේ නොපෙනී යන තුරු ම ඔහු ජනේලයෙන් බෙල්ල එළියට දමා ආපසු හැරි හැරී අපට අත වැනීය.
වාහන පෙළ නොපෙනී යන තුරු අපි කෑ ගැසුවෙමු.
“ඔන්න මල්ලි මුළු ලංකාවෙම පුරුෂ පක්ෂය වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටු කළා.”
වාහන පෙළ නොපෙනී ගිය පසු සනත් අයියා සිය නාසික ස්වරය ලෙළව ලෙළවා කීවේ ය.
සනත් අයියාගේ ජීවිතය පුරා එවන් රස කතා කප්පරකි.
ඔහුගේ ගීත තරමටම ඒ කතා රස ය. අපූරු ය..!!
සනත් අයියා අප හැර ගිය ද, ඒ මතක අප ළඟ ය..!!!
සමන් අතාවුදහෙට්ටි
අවසන් ගමන් ගියමුත් හෙට දින සෑයේ
මතකය තිබේ වගෙ හරියට අද ඊයේ
හමුවෙමු ඉඩක් ලැබුණොත් හෙම අප ආයේ
බිම් තීරුවක මල් පීදුණු එක යායේ
ගී කෙත රස කතා තොගයක් සනත් සතූ
සෑහෙන ඇත්ත මුත් ඇත එක දෙකක් ගෙතූ
ඒවා අහන්නට ඇත්නම් හොදයි සිතූ
ඔබ මළගෙදර නයිටක් නම් ගැසිය යුතූ
ප්‍රියන්ත කොඩිප්පිලි
(සමන් අතාවුදහෙට්ටි සහ ප්‍රියන්ත කොඩිප්පිලි මුහුණු පොතෙහි තමන ලද සටහන් දෙකක්)