“අජිත් තිලකසේන තරම් සුවිශිෂ්ට කෙටිකතාකරුවෙක් මම කියවලා තියෙන – ඉංග්‍රීසියෙන් කියවලා තියෙන බටහිර ලේඛකයො අතරෙවත් නැහැ. ඒකත් ආශ්චර්යයක්.” මේ අජිත් තිලකසේන නම් අග්‍රගණ්‍ය නිර්මාණකරුවා පිළිබඳ ව එවැනි ම විශිෂ්ට නිර්මාණකරුවෙකු වන කේ. කේ. සමන් කුමාර මහතා ගේ අදහස යි.
මේ දිනවල මා අජිත් තිලකසේනයන් ගේ නිර්මාණ කියැවීමට හුරු ව සිටින්නෙමි. අද දිනය වන විට අජිත් තිලකසේනයන් ගේ සියලුම නිර්මාණ මා කියවා නොමැති වුව ද, ඔහු සැබැවින් ම විශිෂ්ට නිර්මාණකරුවෙකු යැයි කීමට තරම් ඔහුගේ නිර්මාණ මම කියවා ඇතැයි මම විශ්වාස කරමි. එතුමා ගේ නිර්මාණ ප්‍රතිභාව කෙතරම්දැයි අයෙකුට දැන ගැනීමට ඔහු ලියනු ලැබූ ‘සුන්නද්දූලි’ නම් කෙටිකතා එකතුව ම පමණක් ප්‍රමාණවත් ය. එහි එන ‘රතු මල නොහොත් චාලිද්දරය – ගුරුවරයෙක්ගේ කතාවක්’ නම් කෙටිකතාවේ ආරම්භක කොටස සලකා බලන්න: “සඳැල්ලේ බැම්මට මුවා වී ඉඳිමින් මම බලා හිටියා ඔබ දිහා. එහා පැත්තෙ පදිකාව දිගේ එමින් සිටි ඔබ දිහා. ඔබ හේතුකොටගෙන පදිකාව දිගට උන් මිනිසුන් අතර විවිධ චලන ඇති වනු මම බලාගෙන. මගේ දර්ශන පථය වරින්වර කැඩී ගියේ පාරේ එහා මෙහා ගිය තට්ටු දෙකේ බස් නිසා. ඇලේකට යමින් තිබුනු කාර් එකක් පෙනුනු මට සමහර බල්ලො දුවන්නෙත් ඔය වගෙයි හිතුනා. ගිගුරුමක්වත් මොකක්වත් නැතුව හිටපු ගමන් ඇදහැලෙන්න උනා වැස්සක්. වැහිකබායක්වත් නැතුව ඔබ දුවගන එද්දි වැස්සේ ඉරිවලට ඔබේ ගවුමේ රතු පැහැය රෝස පැහැයකට හැරෙනු මම බලාගන.” මෙම කොටස චිත්ත රූ ගංගාවකි. භාෂා ශෛලිය අතිශය සරල වුව ද, චිත්ත රූ ගොන්නක් මැවීමට තරම් එය ප්‍රබල ය. ඇලයකට ගමන් ගත් වාහනයකට ‘සමහර බල්ලන්’ සමාන කරමින් තිලකසේනයන් පාඨකයාගේ මනසේ කිසිදා නොමැකෙන සිත්තමක්, චිත්ත රුවක් අඳින්නට වෙයි. ඇවිද එන යුවතියගේ ගවොමේ රක්ත පැහැය කෙමෙන් කෙමෙන් රෝස පැහැයට පෙරළෙන ඒ මායාකාරී ස්වභාවය ඔහු විස්තර කර තිබෙනා’යුරු සැබැවින් ම මනහර ය. නමුත් මෙම කෙටි ලිපිය වෙන් ව ඇත්තේ ඔහුගේ කෙටිකතා ඇගයීමට නොවේ. ඔහුගේ ‘මාරියාව’ නම් කාව්‍ය සංග්‍රහයේ එන ‘මන්දා’ නමැති කවිය සඳහා ය.
‘මාරියාව’ සංයුක්ත කවි 10 ක් ද, ප්‍රේමණීය කවි 20 ක් ද ඇතුළත් කාව්‍ය සංග්‍රහයකි. ප්‍රේමය ආශ්‍රිත කවි සියල්ලම පාහේ අතිශයින් ම රමණීය ය. උදාහරණයක් ලෙස, එහි එන ‘කියන්න’ නම් කවිය ද ඉතා සුවිශේෂ කවියකි. එහි මනහර භාවය කෙතරම්දැයි දැනගැනීමට පහත උපුටනය සලකා බලන්න.
“පොල් අතු වහලෙක ඉරටු පෑදුනු තැනින්
හඳ දිහා බලාගන
ලුනු වැඩියෙන් ඇති කැඳිත්තක් බිබී
නොකා
තවමත් බහක් නුදුන් යුවතිය ගැන හිත හිතා
සුසුම් හෙලා මිනිහෙක් මදුරුවො කකා
ලනු ඇඳක බොකුට්ටෙ වැතිරීගෙන ඉන්න බව
හඳේ කියන්න මුළු ලෝකෙටම
උඩත් බිමත් ඉන්න හැම කොට්ඨාසෙකටම
යන ගමන් ලොව වටා”
බහක් නුදුන් යුවතියක පිළිබඳ සිතමින් සිටිනා තරුණයෙකු ගේ සිතිවිලි ධාරාව කවියා මනාව ඉදිරිපත් කරන්නට සාර්ථක ව ඇත. මාරියාව, කවියට පෙම් බඳින සැවොම කියවිය යුතු ය. මාරියාව කියවා සැළකිය යුතු දින ගණනක් ගත වුව, මට මාගේ මතකයෙන් බැහැර කිරීමට නොහුණු එක්තරා කවියකි. එය නමින් ‘මන්දා’ වෙයි. මෙම කවිය කූඩැල්ලෙකු විලස මා මතකයේ ඇලී ගැලී සිටින හෙයින්, එය පිළිබඳ යමක් ලියන්නට ඉටා ගත්තෙමි.
කවිය මෙසේ යි:
“අපේ කසාදය කටුගාලා ගෙවුණු දෙවසර තුලදි
අපි මුන ගැහුනා කීප විටක් කඩමන්ඩියෙදි
පාර පනිද්දි ඔබ එක් වරක් මා දිහා බැලුවා
අපේ දරුවවත් ඇදගෙන ඔබ දුවනව දැකල බස් එකට
මම ඔහුව උස්සල තිබ්බා පා පුවරුවෙන් උඩට
ඉක්මනට ගැන්නෙන්න
ඔබේ තුරුලට
වරක් මම
පදිකාව දිගේ එමින් සිට
නිකමට
ඔබ ඉන්නවද බලන්ඩ
තැපැල් පෙට්ටිය ඉදිරිපිට
රේන්ද සලුපිලි හලට එබුනා
වේගයෙන් ගසාගෙන ගිය බස් එකක
දවසක්
ඔබේ හිනහව
රිදී ඉරක් සේ ඇදී ගියා හරහට
මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගනද මන්දා
මගේ දෙවන බිරිඳ
ඇගෙන් මට දරුවො නැහැ
ඊයෙ රෑ කෑම පිහද්දි
මට දැනුනා අතීත සුවඳක්
මතකයට ආවා
කුස්සියේ ඉස්සර හැඩය
හැඳි අලුව කලින් එල්ලුනු තැන
දිය මැස්ස වට්ටි ආන එදා තිබුනු පිලිවෙල
මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගනද මන්දා”
කටු ගාන ලද කසාදයක සැමියා ගේ සිතුවිලි ධාරාව මනෝරම්‍ය ආකාරයෙන් ඉදිරිපත් කිරීමට තිලකසේනයන් සමත් ව ඇත. මනුෂ්‍ය චිත්ත සන්තානයේ අපූරු බව ඉදිරිපත් කිරීමට නිර්මාණකරුවා සමත් ව ඇත. කසාදයක් කටු ගා දැමීමට බොහෝ විට හේතු වනුයේ සැමියා සහ බිරිඳ අතර උත්පත්තිය ලබන මොනයම්ම හෝ ප්‍රශ්නයකි. එම ප්‍රශ්නය බරපතළ වුව, නොවුව, දික්කසාද වීමට තීරණය කරනා අඹු-සැමි දෙපළ අතර ඇති වූ කුඩා ගැටලුවක් වුවත්, දික්කසාදයකට පාර කැපිය හැක. කවිය කියවන විට මා හට හැඟෙනුයේ මේ ජෝඩුව එවැනි ජෝඩුවක් කියා යි. උත්තම පුරුෂයෙන් කවිය රචනා කර ඇති හෙයින්, කවියා “පාර පනිද්දි ඔබ එක් වරක් මා දිහා බැලුවා” යන වැකිය යොදා තිබෙන අයුරු කවිය කියවන්නාට ද තරමක් ප්‍රහර්ෂාත්මක හැඟුම් අත් පත් කර දෙන්නට සමත් වෙයි.
දික්කසාදයෙන් පසු දරුවාගේ අයිතිය ලැබී ඇත්තේ බිරිඳට ය. ඉඳ හිට, එහෙ මෙහෙ යනෙන විට සැමියා ද, අඹුව ද බස් නැවතුමක හමු ව ඇත. ඔහු ‘ඔවුන්ගේ දරුවා’ දෑතින් ඔසොවා බසයේ පා පුවරුවෙන් තබන්නේ මවට දරුවා තුරුලට ගැනීමට හැකි වන පරිදි ය. එක් අවස්ථාවක මෙම සැමියා, පදිකාව දිගේ ඇවිද එමින් සිට ඇය ඉන්නවද බලන්න රේන්ද සලු පිළි හලට එබී ඇත. මෙයින් පවා කවියා පෙන්වන්නට තනා ඇත්තේ දික්කසාද වී සිටිය ද ඔහු ඇය පිළිබඳ ව සිතනා වග ය.
ඉන්පසු කවියා අපූර්ව චිත්ත රුවක් ගෙත්තම් කරයි. ඒ මෙලෙස ය:
“වේගයෙන් ගසාගෙන ගිය බස් එකක
දවසක්
ඔබේ හිනහව
රිදී ඉරක් සේ ඇඳී ගියා හරහට”
සමහරවිට ඔහුගේ මෙම හැසිරීම බිරිඳට ද දැනගන්නට ලැබෙන්නට ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ කසාදය කටු ගා ඇති වග ඇයට අමතක ව ඇත. මන්ද, ඇය ඔහුට මන්දස්මිතයකින් සංග්‍රහ කර ඇත. එය ද ඔහුට පෙනුණේ රිදී ඉරක් ලෙසිනි. මෙම පේළිය කියවන කෙණෙහි, මනසේ ලෙහෙසියෙන් නොමැකෙන චිත්ත රුවක් සටහන් වේ.
ඉන්පසු, සැමියා දෙගිඩියාවෙන් මෙවැන්නක් කිය යි:
“මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගෙනද මන්දා”
නියතව ම මනුෂ්‍යයා අපූර්ව සත්වයෙකි. කසාදය කල් ඉකුත් ව ඇත. ඔහු තුළ ඇය කෙරෙහි හටගත් ආලය කල් ඉකුත් ව නැත. ඊට ඔවුන්ගේ දරුවා ද එක් හේතුවකි. කවියේ අවසන් භාගයට කියවන්නා ළං වෙත්ම, කියවන්නාට පැහැදිලි වන්නේ දෙවැනි බිරිඳ ඔහුගේ දරුවෙකුට මවක නොවන නිසා ඔහු සිය පළමු බිරිඳට තව තවත් ළං ව ඇති වග ය. ඔහු දැන් ඔහුගේ පළමු බිරිඳ හා දෙවන බිරිඳ සහ ඔවුන් ගේ ක්‍රියා සසඳන්නට වෙයි. අවසන ඔහු එළඹෙන නිගමනය මෙය ය:
“මම ආයෙත් ඔබට පෙම් කරන්ඩ පටන්අරගෙනද මන්දා”
මම උසස් පෙළ සඳහා ඉංග්‍රීසි සාහිත්‍යය විෂය හදාරන්නෙක්මි. එහෙයින් විශිෂ්ට කවියන්ගේ විශිෂ්ට කවි මා හට අධ්‍යනය කිරීමට සිදුවේ. මෙතෙක් කල් මා කියවා තිබූ කවි අතරින් ඉහළින් ම වැජඹුණු කවිය එඩ්ගා ඇලන් පෝ ගේ ‘ඇනබෙල් ලී’ ය. එය එඩ්ගා ඇලන් පෝ ගේ දුක්ඛිත ආදර කතාවට සම්බන්ධ එක්තරා කවියකි. එය මා විෂය නිර්දේශයේ අඩංගු නොවන කවියකි. එහෙත් මම එම කවියට බෙහෙවින් ප්‍රිය කරමි. අදටත් එය එසේ ම ය. එහෙත්, පුද්ගලිකව මා මෙතෙක් කියවා ඇති කවි අතරින් මේ වන විට ඉහළින් ම වැජඹෙන කවිය තිලකසේනයන් ගේ ‘මන්දා’ ය. සමහරවිට මම කවි බොහෝමයක් කියවා නොමැති හෙයින් මෙය ඉදිරියේ දී වෙනස් වීමේ ඉඩ ප්‍රස්ථාව ඇත. එනමුදු, මේ වන විට, ඒ තැන ගත් කවිය අජිත් තිලකසේනයන් ගේ ‘මන්දා’ ය.
කාව්‍ය තත්සර
2023 – 03 – 29