සඳුන් ප්‍රියංකර විතානගේගේ ‘හතරමං හංදියක වචන’තර’ කියවන අතරෙදි වෙනත් විදෙස් කතුවරයෙකුගේ කතාවකුත් කියවන්න මෑතකදි මට වැඩසැලසුණා. ඒ කියැවීම නිසා මේ ලිවීම ලේසි වුණා. කතුවරයා ගේබ්‍රියෙල් ගර්සියා මාකේස්. ඔහුගේ Strange Pilgrims කෙටිකතා එකතුවේ එන ‘I only came to use the phone’ මැයෙන් යුතු කෙටිකතාව කියවන්න අරන්, ඔලුව කනපිට ගැහුවා වගේ දෙයක් සිද්ධ වුණේ පෙරේදා. කතාව කියවීමෙන් උපන් ශොක් එක ඊළඟ දවස වෙනකම් ම දිග්ගැස්සෙමින් තිබිලා, පහුවෙනිදා ඒකිව්වෙ අද උදේ වෙද්දි කතාවෙ ටෙක්නික්, ගැජමැටික්, එපික් තැන් යන්තම් තේරෙන මට්ටමකට ආවා. කුලියට ගත්ත කාර් එක කාන්තාරයක් ගාවදි කැඩුණු නිසා කාන්තාවක් පිහිටක් හොයන් එතනින් යන බස් එකකට ගොඩවෙනවා. අන්තිමේ ඒ බස් එක මානසික රෝහලකට ඇයව බස්සලා තියෙන්නෙ කියල දැනගද්දි පරක්කු වැඩියි. ඇයට ඕනෙවෙන්නෙ ගෙදරට කෝල් එකක් ගන්න දුරකථනයක් හොයන්න විතරයි. ඇය මානසික රෝගියෙක් කියල හිතන එතන දොස්තරලා ඇයට ඉන්ජෙක්ෂන් ලබා දීලා ඇයව එහි ම තියාගන්නවා. එතැනින් එළියට පැනල එන්න ඇය දඟලන දැඟලිල්ලෙන් වැඩක් වෙන්නෙ නෑ. ජිජැක් කියන “උමඟෙ කෙළවර එළියක් තියෙනව කියල හිතල අපි ගියාට ඒ එන්නෙ (ඔයාවත් කුඩුකරලා දාගෙන යන්න පුලුවන්) කෝච්චියෙ හෙඩ් ලයිට් එකක්” කියල හිතෙන කතාවක් මේ. ලොමුදැහැගැන්වෙන එක පැත්තකින් තිබ්බොත්, කතාවෙ ශිල්පීය ලක්ෂණ මගෙ හිත්ගත්තා.
නවකතාවක් වෙනුවෙන් වෙන වෙහෙස තරමෙම වෙහෙසක් කෙටිකතාවක් වෙනුවෙන් දරන කෙනෙක් මාකේස්. මේක සූක්ෂම කලා මාධ්‍යයක්. ඔහු පට පට ගාලා කතාව කියලා අවසන් කරන්නෙ නෑ, එකදිගට දෙබස් දාලා කතාව පුරවන්නෙ නෑ, අතීත සිද්ධි ටික කියන්නෙ කතාවෙ ම කොටසක් විදියට හොඳින් පණ පිහිටුවලා සැලකිය යුතු බරක් තියමින් පදාස පිටින් එළලා. ඔහුගෙ අනන්‍යතාවය ඒක වෙන්න ඇති. අර කතාවෙ තුන්වෙනි පිටුවට යද්දි ම පීක් එකට ඇවිත්, කියවන්නාගේ භාව කම්පනය(කැතාසිස්)වෙලා ඉවරයි. අන්තිම හරියට එද්දි ආයෙ ම උදම් රළක් වගේ ටුවිස්ට් එකක් ගේන මාකේස් අපිට බලාපොරොත්තු දල්වමින් අර කාන්තාවගේ සැමියව රෝහලට එව්වත්, ඇයව රෝහලෙන් එළියට නොයවන අදිටනින් කතාව ගොතමින් පාඨකයාව පීඩාවට පත්කරනවා. කියෙව්වට පස්සෙ භීතියකින් තක්කු මුක්කු වුණත් කතාවෙ බර දැනෙන්න ගන්නවා. ‘කෙටිකතා කලාව’ කෘතියෙදි ලියනගේ අමරකීර්ති පාඨකයා ඇඳ බැඳ තබාගෙන කතා කීමේ දක්ෂතාවය ගැන කියන තැනදි මාකේස්ගෙ නමත් යොදාගන්නෙ මේ නිසා වෙන්න පුලුවන්.
මාකේස්ගේ කෙටිකතාව කියව්වට පස්සෙ හතරමං හංදියෙ කතාවල ලක්ෂණ වඩාත් පැහැදිලිව පේන මට්ටමට ඔලුව ටියුන් වෙන්නගත්තා. මේ පොතේ කෙටි කතා කිහිපයක් ම ප්‍රබල සුලකුණු සහිතයි. කියෙව්වම අපිට අලුත් මොකක්දෝ හැඟෙනව. ඒ ටෙක්නික් මට වෙනත් කතාවලදි හමුවෙලා තිබුණේ නැහැ. කියැවීමේ සන්තෝසෙන් බඩ පිරෙන, කියැවීමේ බර දැනෙන, එක කතාවක් කියෙව්වම ඒ වේලට ප්‍රමාණවත් බව දැනෙන, මුල් කතාවේ අඩුව පුරවන්න ඊළඟ කතාව කියවන්න වුවමනා නොවෙන, එක ම තැන ඇඹරෙන්නෙ නැතිව සිද්ධි තෝරාබේරගෙන කතාව ඉදිරියට අරන් යන, සිනමැටික් මොහොතවල් මවන, ඇත්තට ම ජීවිතේ අංශුය කියල හිතෙන, මම ප්‍රියකරන ම කතා දෙක ගැන කියන්න දැන් ඉඩදෙන්න. කතා දෙකේ නම,’හද සන්තානේ විඳි සන්තෝසේ’ සහ ‘හෙල්ගාමය හිස් බැල්මක්’. මේ කතා දෙක පොත ම ටෙක්නිකලි එළිය කරනවා කියල මං විශ්වාස කරනවා.
මේ කෙටිකතාකරුවා කාව්‍යමය භාෂාවෙනුත් ශිල්පීය පක්ෂයෙනුත් අත්හදා බැලීම් කරන්න ගන්න උත්සාහයක්, ‘හද සන්තානේ – විඳි සන්තෝසේ’. ගුණදාස අමරසේකරගේ, ලෝරන්ස්ගේ කතන්දර තරම් ප්‍රමාණයෙන් දිග කතාවක් නොවුණත්, කතාවෙ ෆ්ලෝ එක නිරායාසයෙන් වෙලා වගේ දැනෙන කතාවක් මේ. A කියන සිදුවීමෙ ඉඳන් B කියන සිදුවීම ඔස්සේ C කියන සිදුවීමට යන කතුවරයා, අතීතෙ මතක් වුණයි කියල හරි, වෙන දෙයක් නිසා හරි, ආයෙ A සිදුවීම ගැන නිකමටවත් කතාව ඇතුළෙදි කියන්න යන්නෑ. එක මොහොතක් අනෙක් මොහොත එක්ක ලණුදාලා බඳින්නෙ නෑ.ඒවා කේවලයි. ස්වාධීනයි. තනි තනිව නිදහස්වයි හැසිරෙන්නෙ, මිනිස් ජීවිත වගේ. මේ විදියට එක තැන ටැග්ගැහෙන්නෙ නැතිව කතාව ගලායාම කලාත්මක බවක් කතාවට එකතුකරනවා. ඇන්ටන් චෙකොෆ් වරක් සඳහන් කරනව, ‘කතාව පටන්ගද්දි ඉස්තෝප්පු බිත්තියෙ තුවක්කුවක් හේත්තු කරල තියෙනව කියල සඳහන් වුණොත්, කතාව අවසන් වෙන්න කලින් ඒක පත්තුවෙන්න ඕනෙ” කියල. ඔහු ඒක කියන්නෙ කතාවෙ ඒකීය ධාරණාව ගැන කියන්නයි. නමුත් සඳුන්ගෙ මේ කෙටිකතාවෙ ලස්සන තමයි, කතුවරයා චෙකොෆ් කියන විදියට තුවක්කුව පත්තු කරන්න නොයෑම. ඔහු ඒ වෙනුවට කරන්නෙ, තුවක්කුව ගැන කියල, එතනින් තුවක්කුව හේත්තු කරල තිබුණු බිත්තිය ගැන කියල, බිත්තියෙ එල්ලලා තිබුණු පින්තූරේ ගැන කියල, එතනින් පින්තූරෙ හිටි කාන්තාව දාගෙන උන්නු මාලෙ ගැන කියල… මේ විදියට නොනැවතී එක තැන පල් නොවී ඉදිරියට යන එකයි. මේ ක්‍රමය මට කොච්චර ඇල්ලුවද කියනව නම් මටත් කතාවක් මේ විදියට අත් හදා බලන්න හිතුණා.
“හෙල්ගාමය හිස් බැල්මක්” කෙටිකතාව සඳුන් ප්‍රියංකරගේ නම නැතිව වෙන ම කොළයකින් කියවන්න ලැබුණා නම්, හිතෙන්නෙ විදෙස් කෙටිකතාකරුවෙක්ගෙ කතාවක පරිවර්තනයක් කියලා. භාෂාව ක්‍රිස්ටල් ක්ලියර්. දියමන්තියක් වගේ දිස්නෙ දෙන මුවහත්බවකින් යුක්තයි. කියවල ඉවරකරන්න ලෝබකමක් ඇතිවෙන කතාවක්. කතාවේ ඉන්න කාන්තාවගෙ චරිත නිරූපණය කතාව එක්ක ම බද්ධ කරල කියන විදිය සූක්ෂමයි. ඒ වැඩේට කතුවරයා නිපුණයි. කතාව මවලා ගොතලා කියන දෙයක් ය කියල නොතේරෙන තරම්. චරිත විස්තරයට නොයා චරිත නිරූපණයට ඔහු හෙමින් අඩිය තියන්නෙ. සිදුවීම් තෝරගන්න විදිය, ඒවා දිගටම විස්තර කරනවද නැද්ද කියල තීරණය කරන විදිය, අරපරිස්සමින් කතාව ගොතන විදිය, කතාවට දරපු වෙහෙස අපිට පේනවා. මේ කතාවල ජීවිත පණගැහෙන හැටි, ඒ පසුබිම්, පය තියන් ඉන්න බිම ගැන ලංකාවෙ අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.
මාර්ටින් වික්‍රමසිංහ මුල්කාලෙ ලිවු කෙටිකතාවල, කතුවරයා ඉස්මතුවී පෙනීම, එනම් වාදකාරයා මතුවීම මේ කෙටිකතා කිහිපයක ම දකින්න ලැබුණු දෙයක්. සඳුන් ප්‍රියංකර විතානගේ අනුදත්, අනුගමන කරන සහ පෙනී සිටින සමාජ දේශපාලන මතවාද සහ දැක්ම, චරිත මගින් මතුවීම ඇතැම්විට පමණ ඉක්මවා සිදුවීමෙන්දෝ නිර්මාණශීලීබව දෙවනුව පැමිණ අර කී දෙයින් උපන් රෙඩිමේඩ් බවක් පළමුව දැනෙන තැන් ද දකින්න පුලුවන්. ‘අබිං’ කෙටිකතාව ලීවේ අබිං කාලාදැයි අසන්නට නොසිතුණා නෙමේ. මගේ අවංක අදහස නම්, ඒ කතාව තව වවන්න, වඩන්න පුලුවන් බවයි. කතුවරයා ලියන්න සමතෙක් නිසා ඒක අපහසු නෑ. ඇතැම් කෙටිකතාවකට දෙකකට කතුවරයාගේ සවි පමණින් බරදීලා නැති බවකුත් දැනුණා. ඒනිසා, ඒ කතාවක් දෙකක් සංස්කරණ කාලයක් ඉල්ලා සිටි කතා ලෙස හඳුන්වන්න පුලුවන්. ඒ හැරුණම ‘මාෂා සහ වලස්සු’ කතාව මට සිංහල කෙටිකතා කලාවේ විකාශනය මතක් කළ කෙටිකතාවක්.
පොදුවේ මේ කෙටිකතා එකතුව සමාජයේ එක් එක් තීරු තව ක්ෂුද්‍ර අණුවලට කඩලා බිඳලා ඒ පොඩි කැබැලිත්තක් ගානෙ අරන් ‘මෙහෙම ඒවත් ලෝකෙ සිද්ධවෙනවා, ඇස් ඇරන් ඉඳපල්ලා’ කියල අපිට පෙන්වන විදියෙ කතා. මේ පොත කියෙව්ව ම, මාව පෝෂණය වුණා නේද, අලුතෙන් ඉගෙනගන්න දෙයක් තිබුණා නේද, හිත පිරුණා නේද කියල මගෙ ඔළුව තාම මට මතක් කරනවා!
දිල්ශානි චතුරිකා දාබරේ