2009 සැප්. 02 – 2017 පෙබරවාරි 08 : ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයෙන් සහ අයුතු ඇතුළුවීමෙන් මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස් !

Share post:

ඇත්ත යළිත් දිනුවේය. ඇත්ත ඉදිරියේ, සාධාරණත්වය ඉදිරියේ යළිත් ඔවුහු පරාජයට පත් වූහ. ජනතා සටන් ඉදිරියේ පාලකයන්ට සියල්ල අකුලාගෙන ගොස් ‘ජනෙල් පඩි උඩ’ නගින්නට සිදු වන බව ඔය නටන කොයි කවුරුත් මතක තබා ගත යුතුය.

2009 මැයි 19 වැනිදා යුද්ධය අවසන් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ ලා හිටියේ වලාකුළු වල ගෑවෙන සයිස් එකෙන් ය. ජනතාව ද කිරිබත් කමින් ඔවුන් ව තවත් ඉහළට ඔසවා තබමින් සිටියේය. එවැනි තත්ත්වයක් තුළ ය, ‘ලංකා’ පුවත්පතේ මාධ්‍යවේදීන් වන ශාලික විමලසේන, දයා නෙත්තසිංහ සහ රවීන්ද්‍ර පුෂ්පකුමාර දෙනියායට ගියේ. රට ම තමන්ගේ අල්ලේ නටවමින් සිටින විට ඔවුහු මහින්ද රාජපක්ෂලාගේ රාජධානියේ සිදු කෙරෙමින් තිබූ හොරකමක් හෙළිදරව් කරන්නටය.

එවකට ‘ලංකා’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වූ චන්දන සිරිමල්වත්තගේ උපදෙස් පිට මාධ්‍යවේදීන් මෙසේ දෙනියායට ගියේ රාජ්‍ය මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කරන්නට ය. මග නැගුම රජයේ ව්‍යාපෘතියේ දේපොළ භාවිත කරමින් එවකට රටේ ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ නැගණිය වන ගාන්ධනී රාජපක්ෂත්, ඔහුගේ ස්වාමි පුරුෂයා වන තුසිත රණවකත් දෙනියාය, නාථගල වත්ත නමැති ප්‍රදේශයේ ගෙයක් හදමින් සිටියහ. ඒ වැඬේ මේ මාධ්‍යවේදීහු ඇසින් දුටුවහ.

රාජපක්ෂලාගේ වැයික්කියේ සිට මෙවැනි අභියෝගයක් කිරීම යනු ඔවුන්ට යවුලකින් ඇන්නාක් මෙන් විය. දෙනියාය පොලීසියේ සේවය කළ තමන්ගේ ගැත්තකු වූ, එය තවත් පැහැදිලි කරන්නේ නම් මැදමුලන වලව්වට පොලීසියේ පැමිණිලි පොත ගෙන ගොස් පැමිණිලි ලියන බවට ප්‍රසිද්ධ ව සිටි විතානගේ නම් පොලිස් නිලදාරියා ලවා මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නේත්, ඔවුන් ව හැකි තරම් හිර කරන්නට දත කන්නේත් ඒ නිසා ය.

එවකට රටේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද රඳවා තබා ගැනීමේ නියෝග මත අදාළ මාධ්‍යවේදීන් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන්නට නියෝග කර තිබිණි. ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ප්‍රභූන් ඝාතනයට අදාළ කුමන්ත්‍රණයක් කරන්නට සැලසුම් කළේ ද යන සැකය මත මේ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගත් බව පැවසුවද, රෙදි නැතුව රාජපක්ෂලාට කඩේ ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක පසුව මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට කිව්වේ මොවුන් කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නැති බවකි.

ඉන් පසු නිවසකට අයුතු ඇතුළු වීම යන කාරණය පදනම් කරගෙන චෝදනා ගොනු කෙරිණි. සුළු චෝදනාවක් වූ එය සමථ මණ්ඩලය හරහා විසඳා ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග කෙරිණි. එහි දී සමථ මණ්ඩලයේ ලොකු පුටු වල අත් දිගට ඇඳ වාඩි වී සිටි මහත්තුරුන් කිව්වේ ‘තුසිත මහත්තයා එක්ක හැප්පෙන්නෙ නැතුව මේක බේරුමක් කරගන්න. සමථ වෙන්න’ කියා ය. ලංකා පුවත්පතේ කළමනාකාරීත්වයේ උපදෙස් මත ඊට එකඟ නොවූ නිසා අදාළ මාධ්‍යවේදීන්ට අදාළ නඩුව නැවත අධිකරණය ඉදිරියට ආවේය.

2009 සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වූ මේ අත්තනෝමතික ක්‍රියාවලිය අවසන් වූයේ පසුගිය බදාදා (පෙබ. 01)ය. මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් තනි කර දමන මාධ්‍ය සංස්කෘතියක් තුළ ‘ලංකා’ කළමනාකාරීත්වය අවුරුදු අටක් තිස්සේ ඔවුන් රැකීම අගය කළ යුතුය.

නාථගල වත්ත ප්‍රදේශයේ සිදු කළ අදාළ ගවේෂණාත්මක වාර්තාකරණයෙන් පසු පහළට එද්දී මාර්ග සංවර්ධන අධිකාරියේ නිල වාහනයකින් පැමිණි පුද්ගලයකු විසින් කළ තර්ජනය හා ඒ සම්බන්ධ සියලූ සිදුවීම් නිසා මාධ්‍යවේදීන්ට ආරක්ෂිත උපායමාර්ග සොයන්නට සිදු විය. ත්‍රීරෝද රථයකින් පහළට පැමිණි ඔවුහු තමන් සොයා ගත් තොරතුරු, වීඩියෝ දර්ශන හිතවතකුගේ නිවසේ හාල් මල්ලක් තුළ සැඟවූහ. තමන්ගේ ගැලවීම සඳහා අම්මා අප්පා වුවද පාවා දෙන සංස්කෘතියක් තුළ ත්‍රීරෝද රථයේ රියැදුරා වූ රංජි මේ සියල්ල පොලීසියට වහන් කළේය. ඔහුට කිසිවක් කියා නොතිබුණද, ඉවෙන් මෙන් ඔහු යමක් තේරුම්ගෙන තිබිණි. ඒ නිසා තමන්ගේ දවසේ රස්සාව නැති කරමින් පොලීසිය ඇතුළේ දින ගණන් රස්තියාදු කරවන අතරතුරේදීත් ඔහු මේ රහස් රැක්කේය.

හාල් මල්ලේ සැඟවුණු තොරතුරු සොයා දෙනියාය පොලීසියත්, ත්‍රස්ත විමර්ශන කාර්යාංශයත් ප්‍රදේශය පීරූහ. එහෙත් ඔවුන්ට කිසිවක් සොයාගත නොහැකි විය. අවසානයේ දී ඔවුහු මාධ්‍යවේදීන් විසින් වීඩියෝගත කළා යැයි කියමින් ඔවුන් විසින් වීඩියෝ කරන ලද දර්ශන පෙළක් පෙන්වන ලදි. එය අධිකරණය හමුවේ පෙන්වන්නට සිදු වුණේ නම් ඔවුන්ගේ රෙදි ගැලවෙන්නේය. ඊට හේතුව ආධුනික වීඩියෝ කැමරා ශිල්පියකු ලවා සිදු කළ ඒ වැඬේ අතරතුර පොලිස් සපත්තු, පොලිස් කලිසම් ද වීඩියෝගත වී තිබීම ය.

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් මරා දමන්නට උත්සාහයක් ක්‍රියාත්මක විය. පොලීසියේ ඇතැම් නිලධාරීන් විසින් ම පසුව වැමෑරූ ආකාරයට දෙනියාය පොලීසියේ සිට ගැටබරු පෙරහැරේ මාර්ග තදබදය අස්සේ කොස්මෝදර පොලිස් මුරපොළට ඔවුන් ව ගෙන යන ලද්දේ අත්අඩංගුවෙන් පැන යන්නට අවස්ථා රැසක් ලබා දෙමිනි. වරෙක පොලිස් නිලධාරීහු ජීප් රථයේ මාධ්‍යවේදීන් තනි කර මුත්‍රා කරන්නට පවා ගියහ. ඒත් ඒ යන විටත් ඔවුන්ගේ කලිසම් සාක්කු වල පිස්තෝල මෙන් ම වෙනත් තියුණු ආයුධ ද තිබී ඇත.

කෙසේ වෙතත් එවකට දෙනියාය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ බන්දුල ප්‍රියන්ත විසින් මාධ්‍යවේදීන්ට අවශ්‍ය ඉහළ ම රැකවරණය ලබා දෙන ලදි. ඒ වෛද්‍ය නිලධාරියකු ළඟට ඉදිරිපත් කර ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමත්, නිල වශයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවට සටහන් යෙදීමත් ය. එසේ නොකළේ නම් රාජපක්ෂලාගේ බලූ ගැත්තන්ට අවශ්‍ය දේවල් රැසක් දෙනියාය පොලීසිය තුළ දී සිදු වන්නට ඉඩ තිබිණි.

දයා නෙත්තසිංහගේ බිරිඳ තම අත දරුවාත් රැගෙන පැමිණ කූඩුවේ යකඩ කූරු අල්ලාගෙන සද්දෙට කී කතාවෙන් පසු පොලිස් නිලධාරීහු අමුතු ඇහැකින් ඔවුන් දෙස බලන්නට පටන් ගත්හ. ‘ඔයා ඔය දේ නොකළා නම් මම කරනවා. ඇත්ත කවදා හරි දිනනවා’ ඈ එසේ කීවාය.

‘අපිට නෑනෙ බං ඔහොම ගෑනු. උඹ ආඩම්බර වෙයන්.’ එහෙම කියන්නට පොලිස් නිලධාරීන්ට සිදු වී තිබිණි.

මාධ්‍යවේදීන් පොලිස් කූඩුව තුළ සිටින විට කවුදෝ පැමිණ ඔවුන්ට කෑම පාර්සල් තබා ගොස් තිබිණි. ඒ පොලීසියේ පිළිගැනීමේ කවුන්ටරය උඩ ය. ඇඳුම් තබා ගොස් තිබිණි. පොලීසියේ ඇතැම් ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන්ට ගෝරනාඩු කළේ ‘ඔය කෑම, ඇඳුම් තියන එකා ව හොයා ගන්නවා’ යනුවෙන් තර්ජනය කරමිනි. ඒත් ඔහු අහුවුණේ නැත.

එවකට ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාර ව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක දෙනියාය පොලීසියට පැමිණ ඔහුට අවශ්‍ය පරිදි අදාළ මාධ්‍යවේදීන් ත්‍රස්තවාදීන් කරමින් මාධ්‍ය නිවේදන සකස් කළේය. ඒ අතරවාරයේ එහි පැමිණි මහින්ද රාජපක්ෂගේ නැගණිය වන ගාන්ධනී රාජපක්ෂ පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ පුටුවේ වාඩි වී අණ දෙන විට ඊට ඉදිරිපස පුටුවේ වාඩි වී අනුර සේනානායක ඒ සියල්ල අනුමත කළේය. පොලීසියේ ඇත්ත ස්ථානාධිපතිවරයා කාමරයේ මුල්ලක හිටගෙන මේ සියල්ල බලා සිටියේය.

‘ලංකා’ පුවත්පතේ සෝදුපත් අංශයේ පැට්‍රික් මහත්තයා, පැටී අන්කල්ගේ යෝජනාවකට අනුව පුවත්පතේ සති මැද විශේෂ කලාපයක් මුද්‍රණය කිරීමත්, ඒ සමග ම මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයන්ගෙන් එල්ල වූ බලපෑමත් නොවන්නට අදාළ මාධ්‍යවේදීන්ට රැඳවුම් නියෝග මත දින අනූවක් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ මේස මත ගත කිරීම අනිවාර්ය වී තිබිණි.

මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ දී සාක්ෂි වෙනස් කිරීම, චෝදනා වෙනස් කිරීම ඇතුළු කල් මැරිය හැකි සියලූ උපක්‍රම යොදමින් රාජපක්ෂලා මාධ්‍යවේදීහු රස්තියාදු කළහ. දකුණු පළාත් සභා මන්ත්‍රී නීතීඥ ජයන්ත පතිරණ සිනහ වෙමින් බලා සිටියදී මේ අවුරුදු අට ට විනිසුරුවරුන් අට දෙනෙක් ද මාරු වූහ. එහෙත් එක් තීරණාත්මක මොහොතකදී ඔහු තමන්ගේ වෘත්තීය පළපුරුද්ද විදහා දැක්වීය.

අයුතු ඇතුළු වීමක් සිදු වී තිබේ නම්, එමගින් අදාළ නිවසේ අයිතිකරුට කිසියම් හෝ අප්‍රසන්නතාවයක් ඇති වී තිබිය යුතුය යන්න නීතියේ සඳහන් කාරණයයි. එහෙත් නීතීඥ ජයන්ත පතිරණගේ හරස් ප්‍රශ්න අතරතුරේ අසන ලද ඒ ප්‍රශ්නයට එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන තුසිත රණවකගේ උත්තරය වූයේ ‘නැත’ යන්න ය.

සියල්ල අවසානයේ දී අදාළ මාධ්‍යවේදීන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන්නට අධිකරණයට සිදු විය. මහින්ද රාජපක්ෂලාගේ අත්තනෝමතික පාලන කාලයේ උච්චතම අවධිය පුරා ‘ලංකා’ කළමනාකාරීත්වයේ සෘජු සහයෝගය මත ඔවුහු නඩුව ඇදගෙන ගියහ.

අවුරුදු අටක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ සිදු වූ සියල්ල අපි එක පෙළට ලියන්නට සූදානම් ය. එහි දී හුඟක් අයගේ රෙදි ගැලවෙනු ඇත. නඩුවේ දී හෙළි නොකළ හාල් ගෝනිය වැනි තවත් රහස් ඔවුන් මේ පිටු තුළ හෙළි කරන්නට සූදානම් ය. උසාවිය ඉදිරිපස තේ කඩයේ සුදු මාමාගේ හෘදයාංගමභාවය ගැන මෙන් ම රෑ පුරා බස් එකේ රස්තියාදු වී එන මේ තිදෙනා උණුසුම් තේ කෝප්පයකින් පිළිගත් ලාල් අයියාගේ සහෝදරත්වය ගැන ද ලිවිය යුතුය. මේ දිනුම අප සැමට අයිති ය.

ඒ, මෙය ඇත්ත විසින් ලබා ගත් දිනුමක් වන නිසා ය. මාධ්‍ය ආයතන විසින් මාධ්‍යවේදීන් තනි කර දමන, ආණ්ඩු කරන පාලකයන්ගේ වුවමනාවට සියල්ල කණපිට පෙරළන කාලයක එය මෙසේ අවසන් වීම වැදගත් කාරණයකි. එසේ ම මාධ්‍යකරණයට ලැබුණු නව ජවයකි. ඒ ජවය ගැන, එවන් ජවයක් පසුපස සැඟවුණු කතා ගැන අප දිගටම ලියන්නට සූදානම් ය.

මහින්ද රාජපක්ෂලා තමන්ගේ බලයෙන් හිස උදුම්මවාගෙන කළ අත්තනෝමතික ක්‍රියා වහන්නට හදන මේ ආණ්ඩුවේ ඩීල් මහත්තුරුන් ද මේවා ගැන හොඳට ඇස් ඇර බැලිය යුතුය. ඔවුන්ට ද මේවා හොඳ පාඩම් වනු ඇත. ලේ සාගරයක ගිල්වා හෝ ඇත්ත මරා දමන්නට බැරි බවට ගෝර්කි කී කතාව තවත් වටයකින් එළියට පැමිණ තිබේ.

තවත් කතාවක් කිව යුතුය. ඒ මේ වෙලාවේ සාධාරණය ඉටු කළා කියා අධිකරණයට සීයට සීයක් ලකුණු දිය නොහැකි බව ය. අධිකරණයේ දී සිදු වූ නඩුවට අදාළ ඒ අත්තනෝමතික කම් පිළිබඳව ද ඉදිරියේදී ම් පිටු අතර ලියැවෙනු ඇත. මේ ඔවුන්ට එසේ ලියන්නට පෙර ලියැවෙන පූර්ව සටහනකි.

හිමාෂි කරුණාරත්න

(2017 පෙබ. 12 ‘ඉරුදින’ පුවත්පතට ලියන ලද ලිපියකි.)

Related articles

පරිවර්තන පහසුකම් හදන්නට පොලිස්පතිට ඇත්තේ තවත් මාසයක් පමණයි !

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයාට කළ නියෝගයක් ලබන මාසයේ 08 වැනිදා වන විට ඉටු කළ යුතු ව තිබේ. එනම් අද...

‘චෙම්මීන්’ – තකලි ශිව ශංකර පිල්ලෙයි

ඉන්දියානු සාහිත්‍යය ඇසුරු කරනා වාරයක් පාසා මා හදවත විශ්මයටත් ආහ්ලාදයටත් පත් කරයි. පෞරාණික ඉතිහාසයක් හිමි ඉන්දියානු සාහිත්‍ය වරින්...

අම්බුළුවාව දූෂණ ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි : අපි වරදක් කරලා නෑ – පා.ම. අනුරාධ ජයරත්න

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කළ පනතකින් පිහිටවනු ලැබූ අම්බුළුවාව දිසානායක මුදියංසේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ...

ප්‍රභාකරන්ගේ පාරම්පරික නිවස සහ වර්ගවාදී ජනමාධ්‍ය අතේ පැළ කළ බොරුව !

‘ප්‍රභාකරන්ගේ නිවස ප්‍රතිසංස්කරණය කර ඔහුගේ සහෝදරියට භාරදීමට නියමිතයි!‘ පසුගිය සතියේ මුලදී සිංහල පුවත්පතක ශීර්ෂ පාඨයක් එසේ පළ විය....