ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයාට කළ නියෝගයක් ලබන මාසයේ 08 වැනිදා වන විට ඉටු කළ යුතු ව තිබේ. එනම් අද සිට ඉතිරිව ඇත්තේ මාසයකි. එම නියෝගයේ දැක්වෙන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම පොලිස් ස්ථානවල පරිවර්තන සේවා ලබාදිය යුතු බවයි. එය මාස 06කට නොඅඩු කාලයක් තුළ කළ යුතු බවට ද අදාළ නියෝගයේ දැක්වේ.
සමාජයේ වැඩි අවධානයකට ලක්නොවූ මේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී තිබුණේ 2025 සැප්තැම්බර් 08 වැනිදා ය. යසන්ත කෝදාගොඩ, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් විසින් මේ නියෝගය ලබාදී තිබිණි. මන්නාරමේ පදිංචිව සිටි ඉරුතයනාදන් අන්නාසිංහම් විසින් ගොනුකර තිබූ SC/FR/326/2024 අංක දරන මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ලබාදෙමින් ය, ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝගය කර ඇත්තේ.
මුලතිව්හි පිහිටි පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් යම් සිදුවීමකට අදාළ ව පෙත්සම්කරුට සහ තවත් පුද්ගලයකුට එරෙහිව පැමිණිල්ලක් සටහන් කරගෙන තිබුණේ සිංහල භාෂාවෙනි. ඔවුන් දෙදෙනා ම දෙමළ භාෂාව කතා කරන, දෙමළ ජනවර්ගයට අයත් පුද්ගලයන් බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වේ. එම ඒකකයේ තොරතුරු සටහන් පොතේ උපුටා ගැනීම් පිළිබඳව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දෙන්නේ මේ පුද්ගලයන් දෙදෙනාම සිංහල භාෂාව කතා නොකරන බවයි. කෙසේ වෙතත් මේ පුද්ගලයන් සමග පොලිස් නිලධාරීන් අදහස් හුවමාරු කරගෙන ඇත්තේ සිංහල භාෂාවෙන් වන අතර, ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ ද සිංහල භාෂාවෙන් ය.
ඉහත කී පැමිණිල්ලට අදාළ ව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අංක B/444/2023 දරන බී මුල් බී වාර්තාව පොලිසිය මගින් ඉදිරිපත් කර ඇත්තේ ද සිංහල භාෂාවෙන් ය. එසේ සිදු කර ඇත්තේ මහෙස්ත්‍රාත්වරයා දෙමළ භාෂාව කතා කරන අයකු වූ තත්ත්වයක් තුළ ය. සැකකරුවන් දෙමළ භාෂාව පමණක් දන්නා තත්ත්වයක් තුළ ය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද දෙමළ භාෂාව කතා කරන පුද්ගලයන් වූ තත්ත්වයක් තුළ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි පරිච්ඡේදයේ සඳහන් වන්නේ භාෂාව සම්බන්ධයෙන් ය. එහි 22 වැනි ව්‍යවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන් උපුටා දක්වා ඇත. එම ව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ.
‘සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාව මුළුල්ලේ ම පරිපාලන භාෂා විය යුත්තේය. රජයේ ආයතන විසින් පොදු වාර්තා තබාගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටුකිරීම සඳහා දෙමළ භාෂාව භාවිත කරන උතුරු සහ නැගෙනහිර පළාත් හැර, ශ්‍රී ලංකාවේ සියලුම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු අතර, ඒ පළාත්වල රජයේ ආයතන විසින් පොදු වාර්තා තබාගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටුකිරීම සඳහා සිංහල භාෂාව භාවිත කළ යුතුය.‘
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාවේ මෙසේ දැක්වේ.
‘ශ්‍රී ලංකාව මුළුල්ලේ ම අධිකරණවල භාෂා සිංහල හා දෙමළ භාෂා විය යුතු අතර, දෙමළ භාෂාව පරිපාලන භාෂාව වන යම් ප්‍රදේශයක හැර ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල පිහිටි අධිකරණවල සිංහල භාෂාව අධිකරණ භාෂාව වශයෙන් භාවිත කළ යුත්තේය. නඩු වාර්තාව සහ නඩු කටයුතු අධිකරණ භාෂාවෙන් විය යුතුය.‘
මේ කරුණු උපුටා දක්වන ශ්‍රේෂ්ඨාධිකරණය, ඉහත අංක දරන නඩුවේදී සිදු වූ භාෂා ප්‍රතිපත්ති උල්ලංඝනය අසතුටුදායක බව ද පෙන්වා දෙයි. එම නිසා මීට අදාළ පරිවර්තන ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීම මාස හයකට නොඅඩු කාලයක් තුළ සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. ඒ මාස හය ලබන මාර්තු 08 වැනිදාගෙන් අවසන් වේ.
ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියක් තිබේ. එයින් සිදු කරන්නේ භාෂා භාවිතය, ඒවා ප්‍රවර්ධනය සහ සංවර්ධනය සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන තීරණ විධිමත් කිරීමයි. බහු-භාෂික, ලංකාව වැනි රටක සංහිඳියාව ඇතිකිරීම සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අතිශය වැදගත් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරන ලද පුරවැසියන්ගේ භාෂා අයිතිවාසිකම් මෙවැනි ප්‍රතිපත්තියක් මගින් විධිමත්ව ක්‍රියාවට නැංවීමෙන් රට තුළ සංස්කෘතික බැඳීම් පුළුල් වීම ද සිදු වේ.
රාජ්‍ය භාෂා යනු ලෝකයේ සෑම රටක් ම ප්‍රමුඛතාව ලබාදෙමින්, හරියටම කියන්නේ නම් හොඳට සලකන පැත්තකි. කැනඩාවේ රාජ්‍ය භාෂා දෙකකි. ඒ, ප්‍රංශ සහ ඉංග්‍රීසි ය. එහි සියලුම රාජ්‍ය ආයතන භාෂා දෙකටම සම තැන් දිය යුතුය. ස්විට්සර්ලන්තයේ ජර්මන්, ප්‍රංශ, ඉතාලි සහ රොමාන්ෂ් යන භාෂා රාජ්‍ය භාෂා වේ. දකුණු අප්‍රිකාවේ භාවිත වන භාෂා 25කින් 11ක් රාජ්‍ය භාෂා වේ. ලෝකයේ වැඩි ම රාජ්‍ය භාෂා ප්‍රමාණයක් ඇත්තේ බොලිවියාවේ ය. එම ප්‍රමාණය 37කි.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් කලින් කලට නිකුත් කළ චක්‍රලේඛ රැසක් තිබේ. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/2003 හි සඳහන් වන්නේ භාෂා පරිවර්තනය සහ භාෂණ පරිවර්තනය සම්බන්ධයෙනි. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2009 හි සඳහන් වන්නේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරීම පිළිබඳව ය. භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම මෙමගින් ආයතන ප්‍රධානීන්ට පවරා තිබේ.
නීතියේ සහ චක්‍රලේඛවල කුමක් සඳහන් වුවද, මෙහි ප්‍රායෝගික ගැටලු ද ඇත. උදාහරණයක් ලෙස පොලිස් ස්ථානවල දෙමළ භාෂාව දන්නා පොලිස් නිලධාරීන්ගේ බරපතළ හිඟයක් තිබේ. රජය මගින් පරිවර්තන සේවා සඳහා ගෙවන ගාස්තු ඉතා අවම මට්ටමක පැවතීම නිසා පරිවර්තකයන් සොයාගැනීම ද ගැටලුවකි. මේ ගැටලු විසඳීම සඳහා ය, ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය 2007 වසරේදී පිහිටුවන ලද්දේ. ඒම ආයතනයේ මුඛ්‍ය පරමාර්ථ ලෙස දක්වා ඇත්තේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ඉගැන්වීමට සුදුසු දක්ෂ ගුරුවරුන් බිහිකිරීම, භාෂා පරිවර්තකයන් සහ භාෂණ පරිවර්තකයන් බිහිකිරීම, ත්‍රෛභාෂා හැකියාව ඇති නිලධාරීන් පුහුණු කිරීම ය. මීට අමතරව 1991 වසරේදී රාජ්‍ය භාෂා කොමිෂන් සභාවක් ද ස්ථාපිත කෙරිණි. එහි ප්‍රධාන අරමුණු 4ක් විය. ඒ අතරින් පළමුවැන්න වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත භාෂා අයිතීන් උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි විභාග කිරීමයි.
පොත්වල කුමක් සඳහන් වුවද, ප්‍රායෝගික තත්ත්වයේදී තවදුරටත් භාෂාව නිසා වෙනස් කොට සැලකීම් සිදු වේ. එය කඩිනමින් වෙනස් කළ යුත්තේ ‘එක රටක්’ හැඟීමෙන් ඉදිරියට යන්නට ය.

