මලික් ගේ කවි පුරාවට කිසියම් අතීත පහසක, සුවඳක දැවටෙන්නට යත්න දැරීමක් දැකිය හැකියි

Share post:

‘සිරීපාදේ ෆොටෝවක් කතා කරනා ටටාවක්’ – මලික් තුසිත ගුණරත්න

කවියක් යනු නෙක දිශාවන්ට විවර වූ කවුළු රැසක් වැන්නකි. එකී කවුළු විවර කරගැනීම පිණස පාඨකයාගේ සමත්කම මත කවියෙහි අර්ථ විවිරණයෙහි දිග පලලද තීරණය වෙයි. ඇතැමෙක් කවියක එක් අරුතක් දැක කවිය මේ යයි කියයි. ඒ අතරම වෙනත් රසිකයෙක් කවියෙහි තමන් දකිනා අරුත එය නොව වෙනකකැයි කියයි. මෙසේ කවිය විවිධ පිවිසුම් වෙත මග විවර කිරීමේදී ඒ අල්ලා ගැනීමට රසිකයා තුළ වන සමත්කම මත කවිය පෙරලා පොදු වින්දන කලාපයකට ඇතුළු වෙයි. කවිය යනු සැබැවින්ම තනි තනිව කියවා විඳීමටත් වඩා සමූහ වශයෙන්ද කියවන නිර්මාණ බවට පත් කරගැනීම සමාජයක හරවත් බවට වැදගත් වෙයි.

මලික්ගේ නව කවි එකතුව කියවන්නට ගත් අවස්ථාවේ මගේ සිත එක්වරම නතරවූ කවියකින් මේ සටහන ඇරඹිය යුතු යයි සිතමි. ඔහු ඒ කවිය නම් කරනුයේ අපේ ඇසුරට පස් වසයි යනුවෙනි. කවිය බෙහෙවින් සරල සේ මතුපිටින් බලන විට හැඟෙයි. එහි ව්‍යංගාර්ථ නැතැයි සිතෙන තරම්ය. සරල දෙබසකි. ඒ දෙබසද වාහනයක යන තුරුණු යුවළකගේය. කථකයා දෙබස සිහිකරයි. එය එක්තරා ආකාරයක ආත්ම වධයකින් ගැලවෙන්නට දරන තැතක් වැනිය. අතීතාවර්ජනයක් හරහා කථකයා තමන් ගැන මෙනෙහි කරයි. දෙදෙනා සහ දෙදෙන අතර වන සම්බන්ධය එහි දිග පලල ගැන මෙනෙහි කරයි. ආදරය, එහි පදනම ආදරයයි. එහෙත් ඒ ආදරයට ඒ අයුරින්ම පවතින්නට හැකිද? ඔවුන් දෙදෙන යනු තම රිස්සක් කල හැකි ජීවීන් දෙදෙනකුද නැතිනම් සමාජයේ විලංගු වලින් ගැලවීගත නොහී එහිම සිරව සිටින්නන්ද?
කවිය ඇරඹෙනුයේ මෙලෙසිනි.

ඕනිමද
ඔයා ඇහුවා
ඇත්තටම ගෙනාවෙ නැද්ද
නෑ.. මංජ එච්චරටම හිතුවෙ නෑ
ඕනිමද ඇත්තට
එයා ආයෙ ඇහුවා
සුදු රිබන් දෙක ඔතාගෙන සිරුරේ
මල් පොකුර පසු අසුන අසුනේ
මට නං නෙවෙයි …. ඒත් අම්මට

කවියා අපට ගෙන එනුයේ විවාහවී මධු සමය ගත කිරීමට යන යුවලකගේ කතාවකි. මනාළිය තීරණාත්මක සුදු රෙදි කඩ ගෙනවිත් නැත. මනාළයා කියන්නේ තමන්ට නොව එය ඇවැසි තම මවට බවකි. එසේ කවියෙහිදී ඔහු වරකාපොලදී කාරය නවතා සුදු රෙදි කඩක් ගෙන එන්නට බස්සවන්නේද සිය මනාලියමය. ඒ ඔෙවුන් දෙදෙනාගේ සම්බන්ධයෙහි තීරණාත්මක හැරවුමකි. ඉන්පසුව යළි ජීවිතය ඇරඹෙනුයේ පරණ පෙම්වතුන් දෙදෙනා අතර නොවේ. එය වෙනමම සම්බන්ධයකි. පස් වසරක පෙමකට පසුවත් ජීවියට බාධා පමුණුවන් පැරණි දම්වැල් සහ ඉන් මහිදෙන්නට ඇති අපහසුව මෙහි බරපතල ලෙස මතු කෙරෙයි. මලික්ගේ කවි අතර මට තදින් දැනුන මේ කවියෙහි විවිධ මානයන් අදත් අපට විවාහ මංගල යෝජනා තීරයන් මෙන්ම දෙයියෝ සාක්කි වැනි විශේෂාංඝ යයි කියනා හෑලි තුළින් දැකිය හැකිය. මලික් ගේ කවිය බෙහෙවින් සංවේදී ලෙස කූටප්‍රාප්තිය කරා එළඹෙයි. එය රසිකයා හට පෙර කී පරිදි විවිධ කවුළුවලින් පිවිසිය හැකි කවියකි.

මලික් ගේ කවි පුරාවටම වාගේ කිසියම් අතීත පහසක, සුවඳක දැවටෙන්නට යත්න දැරීමක්, අහිමි වූ නිමේෂයන් කෙරේ සිත තුළ වන සංකාසහගත වැලපුමක් වැනි යමක් දැකිය හැකිය. ඒ හැඟුම් අතර ඒ ලෙවල් ගුරුතුමිය යනු වෙන ලෙවල් එකක කවියකැයි කිව යුතුය. එය යෞවනය ගැන සියුම් කියවීමකි. උසස් පෙල පංතියක ඉන්නා යොවුනන් හට උපාධිය සමත් වූ අලුත පළමු ගුරු පත්වීම ලැබ එන ගුරුවරියක යනු මල් වෙඩිල්ලකි. දෙපිරිස අතර වන වයස් පරතරයෙහි අඩු බව මෙන්ම දෙපිරිසම පසුවන වයස් සීමාවන් මත මේ ජීවිතයේ වෙනම සුන්දර අවධියකි. ජීවිතයෙහි මේ අත්දැකීම යනු ලෙහෙසියෙන් අමතක කළ නොහැක්කකි. මලික් මතු කරනුයේ ඒ හැඟුම් කලාපයයි. මේ කවිය ව්‍යංගාර්ථවත් නිමවුමකි.

වැසි වැටී ගඟ උතුරපු කාලයකයි
ඇය ආවෙ ඒ ලෙවල් පංතියට
සරසවියෙන් නික්ම පළවෙනි පත්වීම
කෝල ගතියම තමයි හිතේ රත්වීම
පිට්ටනියෙ වෙරළ ගහත්
ඒ කාලෙම වගෙයි මල් වලින් සැරසුනේ

කවියා යෞවන සිතෙහි ඇති චකිතය මුසු සුන්දර පිබිදීම ස්පර්ශ කරයි.

ඒ දිනවල
පාඩම් කරනකොට
වාණිජ පොත මත
වත!

ඔහු එතනින් නතර නොවෙයි. ජීවිතයේ ගමන් තාලය තුළ ඔහු යළි තම පුතු හරහා අතීතය වෙත පියමනියි.

පුතා උගනිද්දී වාණිජ ධාරාව
නම කියූ සැණින් පීදිණි මල් පැලය
නින්දෙන් අවදිවී හෙමිහිට තටුගැසුව
හැඟුම පාවවිත් වැසුවා හද පපුව

කවියා ප්‍රින්සිපල් සර් නම් කවෙහිද මෙය ආසන්නයෙන්ම යන තවත් කලාපයක් වෙත පිවිසෙයි. එහි අපට හමුවන්නේ විදුහල්පතිගේ අවමගුලට යන පලැරණි සිසුවකු තම අතීත පෙමාතුර අත්දැකීමක් සහ ඒ හමුවේ තම දිවිය සසලව යළි රිද්මය අරඹන ආකාරය ගැන මතකාවර්ජනයකි. එහෙත් කථකයා තුළ තවමත් හොල්මන් කරනා අතීත සේයාවන් වරින් වර මතු වෙයි. ඔහු පෙම් බැඳ ඇත්තේ විදුහල්පති දියණියටය. මේ කවිය තුළ මලික් යොවුන් පෙම මෙන්ම ඒ හමුවේ වැඩිහිටියන්ගේ පරිණත බවද විමසන්නට උත්සුක වෙයි.

කෘතියට නම සදන කවියෙහිදීද මලික්ගේ කවියෙහි මා මුලින් කී සංකා සහගත ආපසු හැරී බැලීම මෙන්ම ඒ තුළ වන වියෝගී බවද දැකිය හැකිය.

ඉල් මහ මතක යන කවියද අවධානය යොමු කළ යුත්තකි. ඉල් මහ යනු ලංකාවෙහි දේශපාලනය තුළ බෙහෙවින් වැදගත් මාසයකි. විජේවීර ඝාතනය ඇතුළු අසූව දශකය තුළ මරා දමන ලද තරුණයන් සිහි කීරීම වෙනුවෙන් කැපවෙන ඉල් මාසයේ දේශපාලන අරුත ඝාතනයට එරෙහිවීම සහ නව ලොවකට එරෙහි මර්ධනය වෙනුවෙන් හඬ නැගීම ලෙස ගත හැකිය. එහෙත් කවියා මේ මහතකයන් සමග සිය පුද්ගලික මැමරුම් ද එක් කරයි. ඔහු ඉල් මහ තුළ වෙනම මතක ගබඩාවයක්ද ඇත. ඒ සිය මවගේ අහිමිවීම මෙන්ම විවාහ දිවියට එළඹීම යන්නයි. මේ සතුට සහ දුක දෙකම අත්විඳි මාසයකි. කවියා මේ පුද්ගලික අත්දැකීම් සමග පොදු අත්දැකීම පාස්සයි.

මලික් ගේ කවි තුළ ස්වකීය අත්දැකීම් හරහා පුද්ගල මනස මෙන්ම සමාජ ගතිකයන්ද කියවඹිට තැත් දරන කවියෙක් සිටී. ඔහු සිය කවි අතර ගද්‍ය පාඨයන්ද යොදමින් අත්හදා බැලීමකට උත්සාහ බදරයි. එහෙත් මලික් හට ගද්‍ය පාඨ වෙනුවට කවියම වඩාත් සූක්ෂම කරමින් තම නිර්මාණ වඩාත් දියුණු තලයකට ගෙන ඒමට හැකියාව තිබිණැයි යන්න මගේ පුද්ගලික අදහසයි.
ඔහු මෙසේ කෙටි කවියක් රචනා කරයි.

සමසමාජ
පක්ෂ කාර්යාලය
අභියස
ඔබ, මා
යතුර අහිමිව
නැත, තත්වය ඊටත් වඩා බරපතලය. එය පොදු වමේම යතුර අහිමිවීමක් නොවේදැයි සිතන්නට කාලය අපට බල නොකන්නේද?

චූලානන්ද සමරනායක

Related articles

‘ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැණු’ – කුමුදු කුමාරසිංහ

කුමුදු ගෙ ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු එක්ක ටික දවසක් තිස්සෙ කරළ ගමන අදින් අවසන් කරගත්තා. එතකොට මං...

ඉන්දියාවෙන් පාඩමක්

ටාටා ස්ටීල් චෙස් තරගාවලිය අවසන් වුණා. ටාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉන්දියාවේ පැවැති එම තරගාවලියට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගී...

පාර්ලිමේන්තු ඉතිහාසයට නව පිටුවක් – කාන්තාවන් 22ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලෙස දිවුරුම් දෙති !

හෙට (21) ආරම්භ වන දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදී පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩි ම මන්ත්‍රීවරියන් පිරිසක් දිවුරුම් දීමට නියමිත...

ජුලම්පිටියෙ අමරෙගේ මරණ දඬුවම අභියාචනාධිකරණයෙන් ස්ථිර කරයි – මහ මොළකරුවන් නිදොස් කොට නිදහස් ද?

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ...