2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත් රාජධානියට ගොස් තිබුණේ මෙරට මුදල් විශුද්ධිකරණය, ආගමික අපහාස ඇතුළු චෝදනා කිහිපයකට අදාළ ව පරීක්ෂණ පැවැත්වෙන පසුබිමක ය. ජෙරොම් ප්‍රනාන්දුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඒ දිනවල පළකර තිබූ සටහනකට අනුව ඔහු එක්සත් රාජධානියේ දේව මෙහෙයක් සඳහා සහභාගි වේ. ‘ජෙරොම් ප්‍රනාන්දු දේවගැති ජූලි 06 බ්‍රහස්පතින්දා සිට දින 03ක එක්සත් රාජධානියේ භෞතිකව දේවසේවයේ යෙදෙනු ඇත’ යනුවෙන් එම සටහනේ දැක්විණි.
ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා එල්ල වන විට ඔහු ලංකාවෙන් පිට විය. ඔහු පිටත් වූ දින පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගැනීමට කටයුතු කරන ලදි.
නතාෂා !
මේ දිනයේ ම (2023 ජූලි 06) රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නතාෂා එදිරිසූරියට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබිණි. නතාෂාට සහ ජෙරොම් ප්‍රනාන්දුට සමාන ආකාරයේ චෝදනා එල්ල වූ පසුබිමක, දෙදෙනාට අදාළ ව නීතිය ක්‍රියාත්මක වූයේ දෙයාකාරයකට ය. නතාෂාව අත්අඩංගුවට ගත්තේ ගුවන් තොටුපොළේදී ය.
ICCPR !
ඇයට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබුණේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ඇයට එරෙහිව එල්ල කර තිබූ චෝදනාවලට මහාධිකරණයෙන් ඇප ලැබුණු පසුව ය. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මේ ඇප නියෝගය නිකුත් කරනු ලැබීය. මෙහිදී නතාෂා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පවසා තිබුණේ ඇය ප්‍රහසන වැඩසටහන් ශිල්පිනියක් බවත්, ඇය විසින් කළ ප්‍රකාශය තුළින් බුදු දහමට හෝ බුද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් ඇය තුළ නොතිබූ බවත් ය. කෙසේ වෙතත් ඇයගේ ප්‍රකාශයෙන් කිසියම් ආගමික කණ්ඩායමකට හෝ ජන කණ්ඩායමකට සිත් රිදීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් ඇය සමාව අයැද සිටින බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණි.
නීතිපති !
“ස්වාමීනී.. මෙම තැනැත්තිය ‘මෝඩාභිමානය‘ වැඩසටහන් තුනක් පවත්වා තිබෙනවා. තුන්වැනි වැඩසටහන ඇය යොදා ගත්තේ බුදු දහමට නිග්‍රහ කිරීමටයි. ඇය ආගම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඇය කුරුණෑගල …….. විද්‍යාලයේ උගත් තැනැත්තියක්. ඇය 2017 වසරේ සිට විශාදය නමැති රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා බවටත් සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයෙන් පෙළෙන බවටත් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා. මෙවැනි තැනැත්තියක් ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත් කිරීමට යාම කොයිතරම් භයානක ද කියලා ඒකෙන් පේනවා. ඇය මුළු වැඩසටහන පුරාම ඉදිරිපත් කර තිබෙන වචන අසභ්‍ය මෙන්ම අශ්ලීල බවින් යුක්තයි. අසභ්‍ය හා අශ්ලීල බව සරල කරමින් සමාජගත කිරීම තමයි ඇය සිදු කර තිබෙන්නේ. එපමණක් නෙවෙයි මේ වගේ වීඩියෝ පට යූ ටියුබ් නාලිකාවට උඩුගත කරලා ඇය වාර්ෂිකව රුපියල් ලක්ෂ 14ක පමණ ආදායමක් උපයාගෙන තිබෙනවා.‘
නීතිවිරෝධී ද ?
‘ඕනෑම පුද්ගලයෙකුට යූටියුබ් නාලිකාවට වීඩියෝ උඩුගත කරන්න පුළුවන්. ඒ තුළින් උපයාගන්නා ආදායම නීතිවිරෝධී කියලා කොහේ හරි නීතියක් තිබෙනවද?‘ යනුවෙන් මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් එසේ ප්‍රශ්න කර තිබිණි.
ඊට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සඳහන් කර තිබුණේ එසේ මුදල් උපයා ගැනීම නීතිවිරෝධී නොවන බවයි.
මෙම පුද්ගලයන් ද්වේෂ සහගත තොරතුරු ඇතුළත් වීඩියෝ යූ ටියුබ් නාලිකාවට මුදා හැර මුදල් උපයාගන්නා බව මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබිණි.
වෛරී ප්‍රකාශයක් ද ?
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඇමතූ විනිසුරුවරයා ‘මේ තැනැත්තිය ඉදිරිපත් කරන වචන සම්බන්ධයෙන් මටත් ගැටලුවක් තිබෙනවා. නමුත් යම්කිසි දෙයක් ඉදිරිපත් කළ පමණින් ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? විද්‍යාව ගැන තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තිබෙන ඇතැම් කාරණා ප්‍රායෝගික දැයි ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොමද? යම් යම් ප්‍රකාශවලින් විවිධ පුද්ගලයින්ගේ හා ජන කණ්ඩායම්වල සිත් රිදීම් හා සිත් තැවුල් ඇතිවෙන්න පුළුවන්. ඒත් ඒ සියල්ලක්ම වෛරී ප්‍රකාශ යන්නට ඇතුළත් කරන්න බැහැ.‘ යනුවෙන් පවසා තිබිණි.
බුදුරජාණන් වහන්සේ පවා තමා යමක් කී පමණින් එය විශ්වාස නොකරන ලෙසත් හොඳින් සොයා බලා යමක් විශ්වාස කරන ලෙසත් දේශනා කර ඇති බවත් මෙහිදී විනිසුරුවරයා සඳහන් කර ඇත.
‘එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා විසින්. එසේ ඉදිරිපත් කරමින් එම පනත් කෙටුම්පතේ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය යහපත් කිරීම සඳහා මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත තුළ අන්තර්ගත අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් වශයෙන් පිළිගෙන නොමැති අයිතිවාසිකම් මෙරට තුළ තහවුරු කිරීම සඳහා තමයි අදාළ පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකය සම්මත කළේ.
ඉතින් ඒ පනත් කෙටුම්පතේ 3 (1) වගන්තියේ සඳහන් වෙනවා “වෛරී ප්‍රකාශ” පිළිබඳව. මේ වෛර ප්‍රකාශ මොනවාද? යන්න එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ වෛරී ප්‍රකාශ පිළිබඳ වැඩසටහනේ සඳහන් වෙනවා. එක්සත් ජාතීන්ගේ නිර්ණායකයට අනුව වෛරී ප්‍රකාශ වර්ග තුනක් තිබෙනවා. සමූල ඝාතන පිළිබඳ වෛරී ප්‍රකාශ, මධ්‍යම මට්ටමේ වෛරය ප්‍රකාශ සහ හුදු නඩු පැවරීම්වලට හේතු වන වෛරී ප්‍රකාශ. ඒ අනුව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ සඳහන් “වෛරී ප්‍රකාශ” යන්න අර්ථකථනය කිරීමට සිදු වන්නේ එක්සත් ජාතීන්ගේ නිර්ණායක සමඟයි. එසේ නොකොට භික්ෂූන් වහන්සේ නමක් හෝ බලවත් පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පමණින් “වෛරී ප්‍රකාශ” යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න හැකියාවක් තිබෙනවාද යන ප්‍රශ්නය මතුවෙනවා. මොකද මෙරටට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත හඳුන්වා දීමේදී ව්‍යවස්ථාදායකයේ අරමුණ වුණේ මෙරට මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීම. ඊට පටහැනිව මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු කළහොත් ව්‍යවස්ථාදායකයේ අරමුණු බිඳ වැටෙන්න පුළුවන්” යනුවෙන් විනිසුරුවරයා දීර්ඝ වශයෙන් මෙහිදී සඳහන් කර තිබිණි.
යුද්ධය නැවතත් ?
එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව දැනටමත් තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ ජාතියක් සිටින රටක් බවයි. මෙවැනි ප්‍රකාශ හරහා ආගමික යුද්ධයක්ද මතු වීමට ඉඩකඩ පවතින නිසා බැලූ බැල්මටම වරදක් අනාවරණය වන හෙයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පරීක්ෂණ ආයතනවලට සිදුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කර තිබිණි.
කෙසේ වෙතත් සැකකාරිය තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පශ්චත්තාපයට පත්ව සමාව අයදින බව ප්‍රකාශ කරන නිසා ඇයට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සඳහන් කර තිබිණි.
මහජන කැළඹීම !
ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා කියා තිබුණේ සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක් ඇති වූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් ඇය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බවයි.
ඒ අනුව බැලූ බැල්මටම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනතේ 3(1) වගන්තියෙන් සඳහන් වැරදි සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවන හෙයින් සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය නොවන බවත් ඒ අනුව ඇය රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහරින ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කරෙන ලදි.
සීඅයිඩි !
සැකකාර නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න 2023 ජුනි 7දා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… මාගේ සේවාදායිකාව කළ ප්‍රකාශයක් නිසා බෞද්ධයින් කලබලයට පත්වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. මෙවැනි සිද්ධීන්වලින් බෞද්ධයින් කවදාවත් කලබලයට පත්වෙන්නේ නෑ. මෙවැනි ප්‍රකාශ නිසා බෞද්ධයින් කවදාවත් වෛරය පතුරුවන්නෙත් නෑ. වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන කරුණ තමයි බෞද්ධයාගේ මූලික පදනම. ඒ නිසා මාගේ සේවාදායිකාවගේ ප්‍රකාශය හේතුවෙන් බෞද්ධයින් ප්‍රචණ්ඩත්වයට යොමු විය හැකි බවට පොලිසිය කරන ප්‍රකාශය පිළිගන්න බැහැ.” යනුවෙන් පවසා තිබිණි.
ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දී තිබුණේ “මෙම ප්‍රකාශය අප්‍රේල් මස පළමුවැනිදා “මෝඩාභිමානය” නැමැති වැඩසටහනක දී සිදුකරන ලද්දක්. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රය දේශනා කරමින් සඳහන් කර තිබෙනවා තමන් වහන්සේ කියන දෙයක් පවා එකවරම පිළිගන්න එපා කියලා. හොඳට හොයලා බලලා පිළිගන්න කියලයි උන්වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. මේ සැකකාරිය සිදු කළ ප්‍රකාශයෙන් බුදුරජාණන් වහන්සේට හෝ බෞද්ධ දර්ශනයට අපහාසයක් සිදුවී නෑ. එම ප්‍රකාශය නිසා බෞද්ධයින් අතර කැළඹීමක් ඇති වෙලත් නෑ. ඒ නිසා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යන්න බැහැ” යනුවෙනි.
රහත් බව !
මෙහිදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනි… ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආගමක් සම්බන්ධයෙන් මත පළකරන්න පුළුවන්. ඒත් අපහාස කරන්න බැහැ. මෙම සැකකාරියගේ ප්‍රකාශයෙන් බුදුදහමට දැඩි අපහාසයක් සිදුවී තිබෙනවා. බුදු දහම කියන්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා සුරක්ෂිත කොට පෝෂණය කර තිබෙන ධර්මයක්. ලංකාවේ වැඩි පිරිසක් බෞද්ධ බව ඇත්ත. ඒත් ඒ හැමෝම රහත් වෙලා නැහැ. මෙම ප්‍රකාශය නිසා බෞද්ධයින් අතර කැළඹීම් ඇතිවෙන්න පුළුවන්. මිනීමැරීම් වැනි අනතුරු පවා ඇතිවීමට හැකියාව තිබෙනවා”යනුවෙන් පවසා තිබිණි.
ඇප නියෝගයේදී සඳහන් කළ රබාත් ක්‍රියාකාරී සැලැස්ම යනු කුමක්ද ?
2012 වසරේ ඔක්තෝබර් 05 දින මොරොක්කෝවේ රබාත් නගරයේදී සම්මත කරන ලද රබාත් ක්‍රියාකාරී සැලැස්ම අදහස් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.
එහි සඳහන් වන්නේ යම් ප්‍රකාශයක් සාපරාධී වරදක් ලෙස සැලකීම සඳහා නිශ්චිත කරුණු 6ක් සම්පූර්ණ විය යුතු බවයි.
01.සන්දර්භය : නිශ්චිත ප්‍රකාශයන් හරහා ඉලක්කගත කණ්ඩායමකට එරෙහිව වෙනස්කම් කිරීම්, සතුරුකම් හෝ ප්‍රචණ්ඩත්වය ඇති කළ හැකිද යන්න තක්සේරු කිරීමේදී සන්දර්භය ඉතා වැදගත් වන අතර, එය අභිප්‍රාය හා හේතුව යන දෙක සමග සෘජු ව සම්බන්ධ විය හැකිය.
02.කථිකයා : කථිකයාට සමාජයේ තිබෙන තත්ත්වය හෝ තැන, විශේෂයෙන් කතාව යොමුකෙරෙන ලද ප්‍රේක්ෂකයාගේ සන්දර්භය තුළ පුද්ගලයාගේ හෝ සංවිධානයේ ස්ථාවරය සැලකීමට භාජනය කළ යුතුය.
03.අභිප්‍රාය : ICCPR හි 20 වගන්තිය යටතේ යම් ක්‍රියාවක් වරදක් ලෙස නම් කිරීමට නම් නොසැලකිල්ල සහ නොසැලකිලිමත්කම පමණක් ප්‍රමාණවත් නොවේ. මෙම වගන්තිය හුදෙක් ද්‍රව්‍යමය බෙදාහැරීම හෝ සංසරණයට එහා ගිය පෙනීසිටීම හා පෙළඹවීමක් සඳහන් කරයි.
04.අන්තර්ගතය සහ ස්වරූපය : කතාවක අන්තර්ගතය අධිකරණ විශ්ලේෂණයන්හිදී ප්‍රධාන අංගයක් ලෙස සැලකෙන අතර, එය පෙළඹවීමකදී ද තීරණාත්මක අංගයකි.
05.කථන පනතෙහි පරිමාණය : කථන පනතෙහි පැතිරීම, එහි පොදු ස්වභාවය, එහි විශාලත්වය සහ ප්‍රේක්ෂක ප්‍රමාණය වැනි ඇඟ පරිමාණයට ඇතුළත් වේ.
06.සමීපස්ථය ඇතුළු ව සම්භාවිතාව : නිර්වචනයානුකූල ව පෙළඹවීම අසම්පූර්ණ අපරාධයකි. ඒ අනුව පෙළඹවීමේ කතාවක් මගින් යම් ක්‍රියාවක් ප්‍රවර්ධනය කරන විට එය අපරාධයක් ලෙස නම් කිරීමට එම ක්‍රියාව නියත වශයෙන් සිදුවීම අත්‍යවශ්‍ය නොවේ. කෙසේ වුවද එමගින් තරමක හානියක් වීමේ අවදානම හඳුනාගත යුතුය. එයින් ගම්‍ය වන්නේ ඉලක්කගත කණ්ඩායමට එරෙහිව සත්‍ය ක්‍රියාමාර්ගයක් ගැනීමට එම කතාව සමත් වනු ඇති බවට සාධාරණ සම්භාවිතාවක් ඇති බව අධිකරණය විසින් තීරණය කළ යුතු අතර, එවැනි හේතු සෘජු විය යුතු බව ද පිළිගැනීමයි.
අද සිදු වූයේ කුමක්ද?
නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම් එම් යූ සුබසිංහ අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඇයට ලිඛිතවම කණගාටුව පළකළේය.
එසේම මෙම පනත යටතේ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් සිදුවීම වැලැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන්ට චක්‍රලේඛයකින් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට ද කටයුතු කරන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. එම චක්‍රලේඛය සති දෙකක් තුළ නිකුත් කරන බවත්, පෙත්සම්කාර නතාෂා එදිරිසූරිය එම මාර්ගෝපදේශ පරීක්ෂා කර බලා ඊට එකඟත්වය පළ කළ බවත් නීතිපතිප දෙපාර්තම්න්තුව දැනුම් දුන්නේය.
තමන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව අද (19) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙසේ කණගාටුව පළකිරීමත්, පොලිස් චක්‍රලේඛය නිකුත් කිරීම ගැන දැනුම්දීමත් සිදු විය. ඒ අනුව අදාළ පොලිස්පති චක්‍රලේඛය නිකත් කර සති දෙකක් ඇතුළත මෝසමක් මගින් අධිකරණයට දැනුම් දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියම කළ අධිකරණය ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට ද නියෝග කළේය.
නතාෂා එදිරිසූරිය අද විවෘත අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, නඩු කටයුතු මෙසේ අවසන් කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා නතාෂා අමතමින් අධිකරණය එය අගයකිරීමට ලක් කරන බව සඳහන් කළේය.
‘අත්අඩංගුවට ගත් නිලධාරියා ලෙස, සමස්ත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, 2023 මැයි මස 27 වන දින සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම සහ ඒ හේතුවෙන් 2023 ජූලි මස 5 වන දින දක්වා ඔබ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සම්බන්ධයෙන් මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි. එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔබගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදුවූ හානිය මෙන්ම ඔබට ඇති වූ මානසික හා චිත්තවේගීය පීඩාවන් සම්බන්ධයෙන් ද මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.‘ යනුවෙන් කණගාටුව පළකිරීමේ ලිපියේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් විය.

