පහළ අධිකරණවලට පාඩමක් උගන්වමින් වසර 24ක තෑගි ඔප්පු ප්‍රශ්නයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳයි !

Share post:

නඩුවක තීන්දුවක් ලබාදීමේදී ලේඛනගත වර්තමාන නීතිය පමණක් නොව උඩරට නීතිය වැනි සාම්ප්‍රදායික නීතිමය රාමු ද සූක්ෂ්මව ගලපා ගත යුතු බව අවධාරණය කෙරෙන නඩු තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අද (09) ලබාදී තිබේ.

SC/Appeal/172/2014 අංක දරන මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ කුමුදුනී වික්‍රමසිංහ අවධාරණය කර ඇත්තේ නඩුවක් කොතරම් සූක්ෂ්ම ලෙස විභාග කළ යුතු ද යන්නයි. කෑගල්ල ප්‍රදේශයේ වසර 24ක් පුරා පැවැති ඉඩම් ආරවුලකට අදාළ ව මේ අභියාචනය ගොනුකර තිබිණි.

තෑගි ඔප්පුවක්, පසුව එය ලබාදුන් තැනැත්තා විසින් ම වෙනත් අයෙකුට විකිණීමට එරෙහිව මේ නඩුව මුලින්ම ගොනුකර තිබුණේ කෑගල්ල දිස්ත්‍රික් අධිකරණයේ ය. එම නඩුවට අදාළ ව ලබාදුන් තීන්දුව මගින් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ මේ තෑගි ඔප්පුව වලංගු නොවන බවයි. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ අදාළ තෑගි ඔප්පුව ලබාගත් බවට එහි අත්සනක් නොමැති බවයි. කෙසේ වෙතත් මේ තර්කය විවෘත නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය විසින් කිසිදු අවස්ථාවක මතු නොකරන ලද තර්කයකි. එම නිසා එය අධිකරණ පද්ධතියේ මූලික හරයට පටහැනි වේ. එනම් විනිසුරුවරයා විසින් එය සොයාගෙන, තීන්දුව ලබාදීමට භාවිත කර ඇත.

මේ නියෝගයට එරෙහිව පැමිණිලිකරු විසින් කෑගල්ල මහාධිකරණයට අභියාචනයක් යොමුකර තිබේ. එහිදී මහාධිකරණය මුල් අවස්ථාවේදී ම දිස්ත්‍රික් අධිකරණයේ දෝෂය හඳුනාගෙන ඇත. ඉන්පසු මහාධිකරණය නියෝග කර ඇත්තේ මේ නඩුව යළි මුල සිට විභාග කිරීමට ය. ඊට එකඟ නොවූ පැමිණිලි පාර්ශ්වය මේ සම්බන්ධයෙන් අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ අභියාචනා විභාගයේදී පැරණි නඩු තීන්දු සහ උඩරට නීතිය පිළිබඳව ලියැවුණු කෘති උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ ලංකාවේ භාවිත වන රෝම ලන්දේසි නීතියේ සහ උඩරට නීතියේ තෑග්ගක් බාරගැනීම ආකාර දෙකකින් විග්‍රහ කළ හැකි බවයි. රෝම ලන්දේසි නීතියේදී තෑග්ගක් බාරගැනීම තාක්ෂණික වශයෙන්, එනම් අත්සනක් හෝ එවැන්නක් ආකාරයෙන් සිදුවිය යුතු වුවද, උඩරට නීතියට අනුව ප්‍රසිද්ධියේ ලබාදෙන තෑග්ගකට අදාළ ව එවැනි තාක්ෂණික ලියවිල්ලක් අවශ්‍ය නැත.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී පෙන්වා දෙන්නේ මේ තෑගි ඔප්පුව ලබාදී ඇති මාමා විසින් සිය බෑනාට එය අතටම ලබාදී ඇති බවයි. පැමිණිලි පාර්ශ්වය විසින් සඳහන් කරන ලද එම කරුණ, විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් ප්‍රතික්ෂේප කර නැත. උඩරට නීතියට අනුව තෑග්ග පිළිගත් බව තහවුරු කිරීමට මෙය ප්‍රමාණවත්ය යන්න අධිකරණයේ මතයයි. එම නිසා දිස්ත්‍රිත් අධිකරණය විසින් වලංගු නොවන බව සඳහන් කළ අදාළ තෑගි ඔප්පුව, වලංගු ඔප්පුවක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

එම වලංගු තෑගි ඔප්පුව විධිමත් නෛතික ක්‍රියාවලියක් මගින් අවලංගු නොකර, වෙනත් අයකුට විකුණා ඇති බවත්, එම විකිණීමේ කිසිදු වලංගුභාවයක් නැති බවත් අධිකරණය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...