කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

Share post:

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ වැඩි අවධානය යොමුවනවා. ප්‍රධාන චරිතය කැපීපෙනෙන්නෙ, අර කී සෙසු චරිතවල පැවැත්ම සහ කැපවීම හින්දයි. ඒ නිසා, ප්‍රධාන චරිතය තරම් ම, අනෙක් චරිත නගාසිටුවීමත් කතාවකදි අතිශය අදාළ වෙනවා.

Mother Mary comes to me චරිතාපදානය කියවන දවස්වල මගේ ඇසට, එය ලියූ ප්‍රකට ඉන්දීය ලේඛිකාවක වන අරුන්දතී ‌රෝයි සහ එතරම්ම ප්‍රකට තුර්කි ලේඛිකාවක වන එලීෆ් ශෆාක් අතර වන සංවාදයක් ඇතුළත් youtube videoවක් හසුවනවා. මෙහිදී වැඩසටහන මෙහෙයවන කාර්යය කරන්නේ, ෂෆාක් විසිනුයි. රෝයි සිය පොත ගැන කතාකරන්නට එහි ඇරයුම් ලැබ සිටිනවා. ඔවුන්ගේ සංවාදය අසා සිටින සභාවක් ඔවුන් දෙදෙනා ඉදිරියෙන් අසුන්ගෙන සිටිනවා.

මේ සටහනෙන් මම කියන්නට අදහස් කරන්නේ, ඔවුන් දෙදෙනා කතා බහ කළ දේ ගැන නොවේ. එය අසන්නට මම අදාළ ලින්කුව කමෙන්ටුගත කරන්නම්. සැබවින්ම මගේ අවධානය යොමුවුණේ වෙනත් යමක් සම්බන්ධවයි. එනම්, ප්‍රධාන දේශකයා(Keynote speaker) වන රෝයි නොව, මෙහෙයවන කාර්යය කරන ෂෆාක්(Moderator) තමන්ගේ භූමිකාව කෙතරම් හොඳින් හඳුනාගෙන සිටිනවාද, ඊට කොතරම් වගවී තිබෙනවාද යන්න පිළිබඳවයි.

මේ වීඩියෝව පුරා වැඩි වෙලාවක් කතාකරන්නේ අරුන්දතී රෝයි වුවත්(ඇය සැලකිය යුතු කාලයක් අරන් පොතේ පළවෙනි පරිච්ඡේදය කියවනවා), රෝයිට වඩා කැපීපෙනෙන්නේ, වැඩසටහන මෙහෙයවමින් ප්‍රශ්න අසන ෂෆාක්වයි. ඇය ඇතැම් නිවේදකයන් මෙන් පැමිණ සිටින්නා කතාකරනවිට පැන පැන බාධාකරමින් තම මතය දක්වන්නට යන්නේ නැහැ. තමන්ට කතාකරන්න එම අවස්ථාව ඉඩක් කරගන්නේ නැහැ. තමන්ව ඉස්මතු කරන්නට උත්සාහ ගන්නේ නැහැ. තම පාණ්ඩිත්‍ය පෙන්වන්නට ඇයට අදහසක් නැහැ. පැමිණ සිටින සහෝදර ලේඛිකාව අපහසුතාවට පත්කරන ප්‍රශ්න අසන්නේ නැහැ. රෝයි කාන්තාවක් වීම නිසා ම (පුරුෂ මූලික සමාජයක කාන්තාවන්ගෙන් නිතරම අසන එකම ප්‍රශ්න ටික) අසන්නෙ නැහැ. වැදගත් ආකාරයට, වියත් ආකාරයට, විධිමත් ආකාරයට සංවාදය මෙ‌හෙයවනවා. ඇගේ හඬ, ඉරියව්, කතාව ඒ සියල්ල හෙළිකරනවා.

ඇය පැමිණ ඇත්තේ පොත මෙන්ම, රෝයිවවද කියවාගෙනයි. අනෙක් කුදුමහත් දෑ ගැන ද සවිඥානිකවයි. ඇය ප්‍රධාන ආරාධිත ලේඛිකාව තරමටම පරිණත කෙනෙක් බව එම සංවාදය අසා සිටීමේ දී අපට වැටහෙනවා. ෂෆාක් කලක් පුරා සංවාද සභාවන්හි රැඳී හිඳිමින්, podcast සහ වීඩියෝ කරමින්, පොතපත ගැන කතාබහ කරමින්, නිතර මේ ක්ෂේත්‍රයේ සක්‍රීයව ගැවසුණු, අදහස් බෙදගත් ලේඛිකාවක්. ඇගේ බුද්ධිමත් බව මෙහිදී කැපී පෙනෙනවා.

ඇය රෝයිව දිරිමත් කරනවා, නිර්ලෝභීව සහ යුහුසුළුව අගය කරනවා. කළ යුතු නිසා අගයනවා නොව, ඒ අගය කිරීමට නිශ්චිත හේතු ද දක්වනවා. රෝයිගෙන් හොඳම සාරය ගැනුමට සුදුසු පැන අසනවා. තමනුත් ඇතැම්වාට පිළිතුරු දීමෙන්, ඇයට පිළිතුරු දීමට මාර්ගයක් සකසා දෙනවා. ඇයට සංවාදය තුළ සුවපසුව සලසනවා.

මෙතනදි තමන්ගේ භූමිකාව වෙන්නේ, වැඩි කාලයක් ගෙන කතාකිරීම නොවේ, ඒ වෙනුවෙන් විශේෂයෙන් රෝයි පැමිණ සිටිනවා, තමන්ගේ භූමිකාව ඇයව ‘කූද්දාගැනීම බව’ ෂෆාක් දන්නවා.

කතා කළ යුතු තැන සහ කතා නොකළ යුතු තැන ෂෆාක් හඳුනනවා. කතා කළ යුතු පමණ ඇය දැන සිටිනවා. කතා කළ යුතු විදිය ගැන දැනුමක් ඇයට තිබෙනවා. වැඩසටහනක් මෙයෙවනවා කියන්නෙ කුමකටද කියා එලීෆ් ෂෆාක්, අපිට කියාදෙනවා!

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...

බර්ලින් නගරයේ වීදියක

බර්ලින් නගරය ප්‍රසිද්ධ යුද්ධය හෝ හිට්ලර් හේතුවෙන් පමණක්ම නෙවෙයි. සංගීතය සහ කලාවට කැමති හැමෝම එකතුවෙන්නෙත් බර්ලින් නගරයට.චිත්‍ර හා...