කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

Share post:

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, ‘ලේ හුරු සුවඳ’ යි. ලේඛක පාලිත ගණේවත්ත එහි කතුවරයායි. එය විදෙස් රටකට, එනම් ඕස්ට්‍රේලියාවට ගිය ලාංකිකයන් විඳි විවිධ අත්දැකීම්, තේමාකරගනිමින් ලියූ කෙටිකතා එකතුවක්.

ඔවුන් වෙනත් රටකට හැඩගැහෙන විදි, නොරට ගිය අලුත ඔවුන්ට දැනුණ හැඟුණු විදි, තම මුදුන්මුල් අතහැරගනු නොහැකිව හිටි විදි, එරට පත්තියම් වූ විට එයින් නොමිදුණු විදි ආදිය ගැන මට පළමුවර පැහැදිලි අදහසක් ගෙනාවේ ඒ පොතයි.

මෑතකදී, ඇෆ්ගනිස්ථානය, විශේෂයෙන් එහි කාබුල් නුවර තේමා කරගනිමින් එහි යන ලාංකිකයන් ඇසුරින් ලියූ කෙටිකතා එකතුවක් (එසේ නොවන කතාත් තිබෙනවා) කියවන්නට ලැබෙනවා. ඒ, රසිකගේ ‘කාබුල් දස්තාන්’. මේ කෙටි සටහන ඒ ගැනයි.

සිත් ගත් කතා

මේ කතා එකතුවේ, මගේ සිත් ගත් කෙටි කතා 3ක් නම්කළොත්, ඒ මේවායි.

  1. ගල්පාඬියාගේ සවාරිය
  2. රන් සුරය
  3. පෙරහාන් අරූස්

මේ කතා තුන, රසික හොඳින් වවා, වියා, ගොතා, මනාව හනා වනා තිබෙනවා. කෙටිකතාවක් නිසා කෙටියෙන් ලියා ඉක්මනින් ගැලවී යන්නේ නැහැ. කෙටිකතාවේ ආකෘතියට වඩා ලියා ඇති ආකාරයට ඔහු අවධානය දෙනවා. විශේෂයෙන් කතාවේ ප්‍රධාන නිමිත්තට අවධානය දෙනවා. ගල් පාඬියාගේ සවාරියේ දී කතුවරයා තනිකර ගල්පාඬියා එනම් මත්සයා බවට පත්වනවා.

මිනිස් දිවි අරුත්

අපට වැඩියෙන් දක්නට නොලැබෙන, මිනිසුන් පිළිබඳව කතාවට නගනවා. විදෙස් රටවල තානාපති කාර්යාලවල සේවය කරන්නන්, කෙටි සවාරි සඳහා රට යන්නන්ගේ ජීවිතවලින් අංශු මාත්‍රයක් ද ගෙන එනවා. වරෙක ඔහු ලංකාවට එනවා. යළිත් රට යනවා. විශේෂයෙන් ‘කාබුල්’ කතාවේදී, කාබුල් මිනිසුන්, කාබුල් වෙළඳසැල්, කාබුල් නීති රීති, කාබුල් ගොඩනැගිලි, කාබුල් ඇඳුම් පැළඳුම් මේ සියල්ලේ එකතුවක්, ඔහු කතාවක් බවට පත්කරනවා.

පරිසර විස්තර

මේ කෙටි කතා එකතුවේ දුටු අනෙක් වැදගත්ම ලක්ෂණය නම්, පරිසර වර්ණනා ඉදිරිපත් කිරීමේ දී රචකයා සතු වියත් සහ මැදහත් භාෂා භාවිතයයි. ඔහුටම අනන්‍ය ක්‍රමයක් ඔහු එතැනදි සකසා ගන්නවා.

කාබුල් නුවර විසීමෙන්, ලංකාව තරමටම එරට පත්තියම් වුණ රසික, කාබුල් කාලගුණය ගැන කියන ආකාරය මට සිහිකළේ, අරුන්දතී රෝයිගේ The god of small things හි පළවෙනි පිටුවේ එන පරිසර වර්ණනයි. (ඒ ගැනත් වෙනම සටහනක් ළඟදිම ලියනවා). සුළං හමන කාලයට, වැසි වසින කාලයට, වියළි කාලගුණයෙන් පීඩිත කාලයට නොරට නගරයක් හැසිරෙන විදිය ඔහු නිරීක්ෂණය කර ලියන ආකාරය මනරම්.
කාබුල්හි කතන්දර කියන්නා, මෙතැනින් පසුව කියන කතන්දරය කුමක් වේදැයි කියා අපි බලාගෙන හිඳිනවා.

ඩිල්ශානි චතුරිකා දාබරේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...