බර්ලින් නගරයේ වීදියක

Share post:

බර්ලින් නගරය ප්‍රසිද්ධ යුද්ධය හෝ හිට්ලර් හේතුවෙන් පමණක්ම නෙවෙයි. සංගීතය සහ කලාවට කැමති හැමෝම එකතුවෙන්නෙත් බර්ලින් නගරයට.
චිත්‍ර හා මූර්ති.. නූතන කලාවේ ඉන්ස්ටොලේශන්ස්.. සම්භාව්‍ය සංගීතය.. ස්ට්‍රිප්ටීස් ක්ලබ් හා සෙක්ස්.. සංවාද.. වයින්.. බීර මේ හැමදේකටම බර්ලින් නගරය කදිම අවකාශයක්.

කවුරුත් නෑ විනිශ්චය කරන්න. බර්ලින් නගරයේදී තමන්ට තමන්වම වෙන්න පුළුවන්. රඟපෑම කොහෙත්ම අවශ්‍ය නෑ.
දැනට වසර දහයකට දොලහකට කලින් බර්ලින් නුවර ෆිල්හාර්මනී කියන ප්‍රසිද්ධ ශාලාවේ පැවැත්වුනා බීතෝවන්ගේ සංගීතය ඇසුරින් පවත්වන සංගීත සංදර්ශණයක්. සම්භාව්‍ය බටහිර සංගීතය ගැන උනන්දුවක් ඇතිවුනු ඒ කාලයේ අවස්ථාව ලැබුනු හැමවිටම සංගීත සැඳෑවන්ට සහභාගි වුනේ අපේ මිත්‍රයන් කීප දෙනෙක් එක්ක. රොජ‍ර් ෆෙඩරර් සහභාගිවන ටෙනිස් තරඟාවලි .. යුරෝපයේ ඩයමන්ඩ්ලීග් මලල ක්‍රීඩා තරඟවලට අමතරව සම්භාව්‍ය සංගීතය හා ජිප්සි සංගීතය ගැන මේ කාලෙ තිබුනෙ ලොකු උනන්දුවක්. අපේ කන්ඩායමේ හිටපු එක මිත්‍රයෙක් ඉඳහිට මැසිවිලි කියන්න පුරුදුවෙලා හිටියා එයාගෙ දෙමව්පියන් ප්‍රසිද්ධ හෝ ධනවත් නොවීම ගැන.
එයාට ඕනෙවෙලා තිබුනේ ප්‍රසිද්ධ පියානෝ වාදකයෙක් වෙන්න.
බීතෝවන්ගේ 13වන සිම්පනිය ඇසුරින් නිර්මාණය වුනු මේ සජීවී සංගීත සැදෑව බොහොම රසවත්.

අපි අතරෙ වාදයක් ඇතිවෙනවා බීතෝවන්ගේ මේ සංගීත ඛාන්ඩ මිඩ් නයිට් බ්ලූස් ( Midnight Blues) ගීතයට යොදාගෙන තියනවා කියන අදහසින්. සංගීත සංදර්ශණය අවසන්වෙද්දි රෑ දොලහට විතර ඇති. එතනින් පස්සෙ අවන්හලකට එකතුවුනු අපි අතරෙ තවමත් කතාව මිඩ් නයිට් බ්ලූස් ගීතය ගැන.
අද වගේ හැමදේකටම උත්තර දෙන්න චැට් ජීපීටී ඒ කාලෙ තිබුනෙ නැහැ. ගූගල් වුනත් දෙන උත්තර පරස්පරයි. එක නිගමනයකට එන්න බොහොම අමාරුයි.

ඒ ගිම්හානයේ දවසක්. අවට වාතය උණුසුම්. බර්ලින් වැසියෝ එහෙ මෙහෙ යනවා නිදහසේ. ඕස්ට්‍රේලියානු සංචාරකයන් ඝෝශාකාරීයි. කොරියානු සංචාරකයන් දකින දකින හැම තැනම පිංතූර ගන්නවා.

බීර.. වයින් එක්ක හැමෝම දොඩමළුයි. කිසි කෙනෙක්ට උවමණාවක් නෑ මවා පෙන්වන්න. එක එක විදිහේ සංගීතය ඇහෙනවා වටපිට.
පාන්දර දෙකට විතර බර්ලින් වීදියක් අයිනෙ බිම වාඩිවෙලා අපි සංවාද කරමින් හිටියෙ සංගීතය හා ජීවිතය ගැන. පාරෙන් එහා පැත්තෙ අතුරු වීදියක තරුණ‍යන් දෙදෙනෙක් හා තරුණියක් බිම වාඩිවෙලා සිංදුවක් කියමින් හිටියෙ කදිම රිද්මයකට. මේ අය අවුරුදු 17 -18 වගේ තරුණ වයසෙ.
ගිටාරය වාදනය කරන තරුණයා බැලූ බැල්මට හිපියෙක් වගේ. කැරලි ගැහුනු කොන්ඩෙ හා අපිලිවෙළ ඇඳුම් එයාගෙ පෞරුශත්වයේ කොටස් වගේ. අනෙත් අයගෙ වුනත් ඇඳුම් පැලඳුම් රෙගේ උප සංස්කෘතියේ පරන ඇඳුම් වගේ දකින්න තිබුනෙ.
අපේ මිත්‍රයෙක්ගෙ අතේ තිබුනු සිගරට් හෝ ජොයින්ට් එකක් නිසා මේ කන්ඩායම අපි ඉන්න තැනට ඇවිත් බිම වාඩිවෙනවා. ආගිය තොරතුරු කතා කරන ගමන් අතේ තිබුනු වයින් වීදුරු.. අතින් අතට මාරුවෙනවා.
මේ තරුණ කණ්ඩායම බොහොම ලස්සනට සිංදු කියනවා මේ අතරෙ.
Red Red wine ගීතය කියන්න හැමෝම එකතුවෙනවා.
UB 40 .. අමතක නොවන සංගීත කණ්ඩායමක්.

මෙතැනදි මිඩ්නයිට් බ්ලූ ගීතය ගැන ආයෙත් වාදය ඇතිවෙනවා. ගිටාරය වාදනය කරන තරුණයා කියනවා
“උඹලා මේ කතා කරන ලුයිස් ටුකර්ගෙ මිඩ් නයිට් බ්ලූස් සිංදුව සහ බීතෝවන් අතර සම්භන්ධයක් නැහැ. උඹලා සංගීතය ගැන හරියටම දන්නෙ නැත්තං ඒ ගැන තීරණ දෙන්න එපා. මිඩ් නයිට් බ්ලූස් නෙවෙයි.. මිඩ් නයිට් බ්ලූ. ඒ සිංදුව කියන්නෙ ටුකර් නෙවෙයි මෙලිසා මැන්චෙස්ටර්.. අන්න ඒ උන්දෑ බීතෝවන්ගේ පැතටික් පාවිච්චි කරනවා”. ” සංගීතය ගැන නොදන්නවා වුනත් උඹලගෙ සංවාදය පැතටික් නෑ”
තරුණයාගේ පෙනුම හිපියෙක්ගේ වගේ වුනත් කතාව පැහැදිලියි. එයාගෙ දැනුම පුදුමාකාරයි. “නෝආ”.. මේ තරුණයාගේ නම.
පැය ගානක් ගතවෙලාත් ගූගල් සෙවුම් යන්ත්‍රයට පැහැදිලි කරන්න බැරිවුනු කතාව නෝවා පැහැදිලි කරනවා විනාඩියකින්. පුදුමයි.
” නෝවා… උඹ නැවක් හදපු දවසට මමත් එනවා .. උඹගෙ සංගීතය අහන්නයි.. කතාවලට ඇහුම්කන් දෙන්නයි.. නෝආ… නෝවා… උඹට කදිමට ගැලපෙන නමක්” අපේ මිත්‍රයෙක් කියනවා.

” ඒ නම ගැන මට විශේෂ බැඳීමක් නැහැ.. අම්මා හෝ තාත්තා දීපු නම හැරෙන්න නෝවා මගේ ලෝකෙ වීරයෙක් නෙවෙයි” තරුණයා උත්තර දෙනවා.
“මෙයා ඔනෑවට වඩා මොඩස්ට්.. ජීවත්වෙන්නෙ පොඩි ෆ්ලැට් එකක.. මෙයා නොකීවට මෙයාගෙ තාත්තා ලෝකෙම ප්‍රසිද්ධ වීරයෙක්”.. නොවාගෙ කණ්ඩායමේ හිටපු තරුණිය කියනවා ඒ විදිහට.

නෝවා උත්තර දෙන්නෙ කලකිරුණු විදිහට. “ඇයි අලීන් මේ කතාව ඇදලා ගන්නෙ.. මට ඒවා අදාල නැහැ. මේ මගේ ජීවිතේ. මට ඕනෙ නෑ කවුරුවත්.. අඩුම තරමෙ මගෙ අම්මා හෝ තාත්තාවත් මගෙ ජීවිතේ ගැන තීරණය කරනවාට. ඒ අය ප්‍රසිද්ධ හෝ ධනවත්වීම මට අදාල නෑ කොහෙත්ම.”
කවුද නෝවාගේ තාත්තා..?
ඒක මෙතෙන්ට අදාල නෑ.
“එයාගෙ තාත්තගේ නම බොරිස් බෙකර්” තරුණිය උත්තර දෙනවා.

අද කාර්ලෝර්ස් අල්කරාස් තරම්ම අනූව දශකයේ බොරිස් බෙකර් ජනප්‍රියයි.. ඒ කාලයේ තරුණියන්ගෙ සිහින කුමාරයා බෙකර්. ඇන්ඩෘ ඇගාසි තරමටම බොරිස් බෙකර් ධනවත් වගේම ප්‍රසිද්ධයි. ධනය.. ප්‍රසිද්ධිය.. පිලිගැනීම .. සැප පහසුව පැත්තකින් තියන නෝවා ජීවත්වෙන්නෙ රාත්‍රී සමාජශාලාවල සිංදු කියමින්. ජීවත්වෙන්න මුදල් හොයාගන්න මෙ තරුණයා මහන්සි වෙනවා. පුදුමයි.. මේ වයසේ තරුණයෙක්ට ස්වාධීනත්වය ගැන හෝ තමන්ගෙ අනන්‍යතාවය ගැන මේ තරම් ඉක්මනින් වැටහෙන්නෙ කොහොමද?
මොකද්ද උඹලා මට කියන්නෙ.. තාත්තා ටෙනිස් ක්‍රීඩකයෙක් නිසා මටත් ටෙනිස් ගහන්නද? නැත්තං එයාගෙ සල්ලිවලින් ෆෙරාරි එකක් අරන් නගරෙ වටේ රවුම් ගහන්නද?

මට එයාගෙ වෙස් මූණවත් .. නමවත්.. සල්ලිවත් ඕනෙ නෑ. මට ඕනෙ මම වෙන්න.. මට ඕනෙ දේ කරන්න. දෙයියනේ.. මේක මගෙ ජීවිතේ. ටීවී ඉස්සරහා මේකප් උලාගෙන ගිහින් තාත්තා ගැන තොඳොල් කතා කියන්න මම නයෝමි කැම්බල් නෙවෙයි.

නෝවා කතා කරන්නෙ වේගයෙන්. කතාව දුරදිග යන්න නොදී වෙනත් පැත්තකට අරගෙන ගියේ තමන්ගෙ දෙම්ව්පියන් ගැන මැසිවිලි කියන අපේ මිත්‍රයා විසින්.
එදා පාන්දර තුන විතර වෙනකල් අපි පාර අයිනෙ සිංදු කීවා මතකයි.

නෝවාගෙ වෙස්මූණු කතාව ජීවිතේ තියනකල් මතක තියන විදිහේ කතාවක්.
තමන්ගෙ මව හෝ පියා ප්‍රසිද්ධ නළුවෙක් හෝ නිලියෙක් වූ නිසා දරුවෙක්ට පුළුවන් රඟපෑමට යොමුවෙන්න. ඒත් එතකොට එයාට මගෑරෙන එයාගෙ හැබෑම ජීවිතයට මොකද වෙන්නෙ? කලාව කෙසේ වෙතත් දේශපාලනය නිසා වුනත් මගෑරෙන ජීවිත කොයිතරම්ද?
සමහරෙක් තමන්ගෙ දෙමව්පියන් අනුගමනය කරනවා.. අනුකරණය කරනවා.

එතන ඇති වරදක් නැහැ. නමුත් ඒ අතරින් කීයෙන් කී දෙනෙක් දැනුවත්ද තමන්ට අහිමිවෙන තමන්ගෙ හැබෑම ජීවිතය ගැන.. තමන්ගෙ අනන්‍යතාවය ගැන.
දෙමව්පියන් විසින් තීරණය කරන අනාගතයේ හෝ එලිපෙහෙලි කරන මාවතේ ගමන් කරන්න කෙනෙක්ට පුළුවන්.
නමුත් එතනදි අහිමිවෙන්නෙ තමන්ගෙම මාවතේ.. තමන් විසින් හොයාගන්න පාරෙදි හමුවිය හැකි අනපේක්ශිත පුදුම.. බලාපොරොත්තු නොවන මැජික්.
ඒ ගැන කතා කරන්න වැඩි දෙනෙක් සූදානම් නෑ.
බර්ලින් නගරයේ හැන්දෑව .. ඒක බොහොම සුන්දර හැන්දෑවක්.

Malcolm Sang

Related articles

අමරකීර්ති අතුකෝරල එදා කොළඹ ආවේ ෂොපින් යන්නද?

පොහොට්ටුවේ අමරකීර්ති අතුකෝරල එදා කොළඹ එන්න ඇත්තේ ෂොපින් යන්න වෙන්න බැහැනේ. එදා එයා එන්නේ අරලිය ගහ මන්දිරයේ තිබ්බ...

පහළ අධිකරණවලට පාඩමක් උගන්වමින් වසර 24ක තෑගි ඔප්පු ප්‍රශ්නයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳයි !

නඩුවක තීන්දුවක් ලබාදීමේදී ලේඛනගත වර්තමාන නීතිය පමණක් නොව උඩරට නීතිය වැනි සාම්ප්‍රදායික නීතිමය රාමු ද සූක්ෂ්මව ගලපා ගත...

2009 සැප්. 02 – 2017 පෙබරවාරි 08 : ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයෙන් සහ අයුතු ඇතුළුවීමෙන් මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස් !

ඇත්ත යළිත් දිනුවේය. ඇත්ත ඉදිරියේ, සාධාරණත්වය ඉදිරියේ යළිත් ඔවුහු පරාජයට පත් වූහ. ජනතා සටන් ඉදිරියේ පාලකයන්ට සියල්ල අකුලාගෙන...

පරිවර්තන පහසුකම් හදන්නට පොලිස්පතිට ඇත්තේ තවත් මාසයක් පමණයි !

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පොලිස්පතිවරයාට කළ නියෝගයක් ලබන මාසයේ 08 වැනිදා වන විට ඉටු කළ යුතු ව තිබේ. එනම් අද...