වහලුන් ලෙස ජීවත් වෙන්න එපා, ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න : අත්අඩංගුවට ගැනීමට පෙර ඉම්රාන් ඛාන් කියයි

Share post:

චෝදනා පිට චෝදනා එල්ලවුණු පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්හට ඉස්ලාමාබාද් නුවර දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර තුනක සිරදඬුවමක් නියම කර තිබේ.

සිරදඬුවමට අමතරව රුපියල් 100,000ක දඩයකටද ඔහු යටත් වන අතර එය නොගෙවන්නේ නම් තවත් මාස හයක් සිරදඬුවම් විඳීමට ඉම්රාන් ඛාන්ට සිදුවනු ඇත.

එමෙන්ම වසර තුනක සිරදඬුවමට අමතරව ඉදිරි වසර පහක කාලසීමාවකට ඔහුට කිසිදු දේශපාලන කටයුත්තක නිරත විය නොහැකි වන බවටද අධිකරණය ප්‍රකාශ කර තිබේ.

ඉම්රාන් ඛාන්ගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු හුමායුන් දිල්වාර් ප්‍රකාශ කර ඇත්තේ හිටපු අගමැතිවරයාගේ වංකභාවය සැකයෙන් තොරව ඔප්පු වූ බවයි.

ඒ අනුව හිටපු අගමැතිවරයාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය පොලිසියට නියෝග කළේය.

පසුව ලාහෝර් නුවර පිහිටි ඉම්රාන් ඛාන්ගේ නිවස පොලිසිය විසින් වටකර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජනතාව වීදී බැස විරෝධතා පැවැත්වීම ආරම්භ කර තිබේ.

ඉම්රාන් ඛාන්ට වසර 2018 සිට 2022 දක්වා කාලය තුළ අගමැති ධුරයේ කටයුතු කරමින් සිටියදී විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ලැබුණු රාජ්‍ය සතු මිල අධික ත්‍යාග අනිසි ලෙස භාවිත කිරීම මෙන්ම අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවිණි.

විදෙස් මාධ්‍ය වල සඳහන් ආකාරයට ඉම්රාන් ඛාන් බලයේ සිටි කාලයේදී පාකිස්තාන රුපියල් මිලියන 140කට වඩා උපයා ඇතැයි පැවසෙන අතර වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේදී මුදල් උපයාගත්තේ කෙසේද යන්න කරුණු දැක්වීමට හිටපු අගමැතිවරයා අපොහොසත් වී ඇත.

කෙසේවෙතත් නඩු තීන්දුවට එරෙහිව මහාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව ඛාන්ගේ නීතීඥ ඉන්ටෙසාර් පන්ජෝතා මාධ්‍ය වෙත පවසා ඇත.

ඉම්රාන් ඛාන්ට නඩු තීන්දුව දුන් විනිසුරු දිල්වාර් ඊයේ (06) රාත්‍රී ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් ඇතැයි ද ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

එමෙන්ම පාකිස්තානයේ වත්මන් අගමැති ශෙබාස් ෂරීෆ්ගේ වැඩිමල් සොහොයුරා වන නවාස් ෂරීෆ් දූෂණ සහ වංචා කිහිපයකටම වරදකරු වෙමින් සිරදඬුවම් ලබමින් සිටි අතර එහිදී රෝගාතූර වීම නිසා ලන්ඩන් නුවරට ගොස් ප්‍රතිකාර ගැනීමටවිශේෂ අධිකරණ අවසරයක් ලැබිණි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලන්ඩන් නුවරට ගිය නවාස් ෂරීෆ් යළි පාකිස්තානයට නොපැමිණි අතර මේ වන විට ඔහු පදිංචිව සිටින්නේ ලන්ඩන් නුවරය.

මෙවැනි කරුණු කාරණා හේතුවෙන් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සැලසුමක් බවට ද ජනතාව සහ ඇතැම් දේශපාලන විශ්ලේෂකයින් චෝදනා කර තිබේ.

කෙසේවෙතත් ඉම්රාන් ඛාන්ව අත්අඩංගුවට ගැනීමට පෙර පටිගත කරන ලද වීඩියෝවක් X හි පළ කර තිබිණි.

එහි සඳහන් වන ආකාරයට “මට ඔබෙන් එක ඉල්ලීමක්, එක ආයාචනයක් කරන්න තියෙනවා. ඔබ ඔබේ නිවෙස් තුළ නිශ්ශබ්දව වාඩි වී නොසිටිය යුතුයි. මම මේ කරන අරගලය මම වෙනුවෙන් නෙවෙයි, මගේ ජාතිය වෙනුවෙන්, ඔබ වෙනුවෙන්. ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්,” ඔහු පැවසීය.

“ඔබ ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින්නේ නම්, ඔබ වහලුන් ලෙස ජීවිත ගත කරනු ඇත. වහලුන්ට ජීවිතයක් නැත” වැඩිදුරටත් ඔහු පවසා ඇත.

හිටපු අගමැති සහ විපක්ෂ නායකවරයාව මෙම වසර තුලදී අත්අඩංගුවට ගත් දෙවැනි අවස්ථාව මෙයයි.

වෙනත් නඩුවක් සම්බන්ධයෙන් පසුගිය මැයි 09 වැනිදා ඉම්රාන් ඛාන් අධිකරණයේ පෙනී සිටිමට පැමිණි අවස්ථාවේ පැරාමිලිටරි හමුදා විසින් අධිකරණ සංකීරණයට ඇතුලු වෙද්දීම ඔහු අත්අඩංගුවට ගෙන දින කිහිපයක් රඳවා තබා ගැනීමට කටයුතු කළේය.

ඒ හේතුවෙන් ඉම්රාන් හිතවාදීන් සහ පොලිසිය අතර මාරාන්තික ගැටුම් හටගත් අතර හමුදා ස්ථාන කිහිපයකටද ප්‍රහාල එල්ල විය.

සිදුවීම් වලින් පසුව අල් ජසීරා වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඛාන් පවසා තිබුණේ තමා නොමැතිව රට නොනැසී පවතිනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.

“මගේ අරගලය වසර 27 ක් පුරා පැවතුන එකක්, මෙම අරගලයේ ප්‍රධාන හරය වන්නේ නීතියේ ආධිපත්‍යය. නීතියේ ආධිපත්‍ය නොමැති රටවල් සමෘද්ධිමත් නොවන බව,” ඔහු පැවසීය.

“ශිෂ්ට සමාජයක් යනු නීතිය ඉදිරියේ සියල්ලෝම සමාන වන තැනයි. නමුත් පාකිස්තානයේ අවාසනාවට මුල සිටම අපට තිබුණේ කැලෑ නීතියයි.”

මේ අතර පසුගිය කාලය පුරාවටම පාකිස්තානයේ වත්මන් පාලකයින් ඉම්රාන් හිතවාදින් ඉලක්ක කර ගනිමින් විවිධ මර්දනයන් දියත් කළේය.

සබැඳි පුවත්

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...