ඩොලර් ගේන්න තවත් පුණ්‍යායතනයක් : නීතිඥ හිජාස් හිරකරන්න ත්‍රස්ත සංවිධානයක් කළ කටාර් චැරිටි !

Share post:

නීතිඥ හිජාස් හිස්බුල්ලා සිරකර තැබීම සඳහා භාවිත කළ කටාර් චැරිටි (Qatar Charity) නම් පුණ්‍යායතනය යළිත් ඊයේ (11) සිට එහි ශ්‍රී ලංකා ශාඛාවේ කටයුතු ආරම්භ කරන ලදි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එය තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදි. එවකට මහජන ආරක්ෂක ඇමති ධුරය දැරූ සරත් වීරසේකර විසින් මෙම ආයතනය හඳුන්වන ලද්දේ ත්‍රස්තවාදය සඳහා අනුබල ලබාදුන් සංවිධානයක් ලෙසයි. මෙම ආයතනයේ මූල්‍ය අනුග්‍රහය සේව් ද පර්ල් (Save the Pearl) මෙරට සංවිධානයකට ලබාදී ඇති බවත්, එම සංවිධානය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සෘජු ව සහාය දක්වා ඇති බවත් ආණ්ඩුව පාර්ශ්වයෙන් අවධාරණය කළ අතර, නීතිඥ හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවා තබාගෙන සිටියේ මෙම සංවිධානයට සම්බන්ධ බවට චෝදනා කරමිනි.

සාක්ෂි නෑ

එහෙත් නීතිඥවරයා ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් විමර්ශන කණ්ඩායම් විසින් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නැත. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුත්තලම මහාධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ ඒ පිළිබඳව මෙසේ සඳහන් වේ.

බී වාර්තාව

‘ප්‍රහාරයේ ප්‍රධානතම ස්වයං ඝාතකයෙකු වන ඉන්ෂාෆ් අහමඩ් විසින් ලබාදුන් ලක්ෂ 19ක මුදලින් මිලදීගෙන ඇති බවත්, ප්‍රබල ත්‍රස්ත සංවිධානයන් සමග සබඳතා පැවැත්වීම හේතුවෙන් එක්සත් අරාබි එමිරේටය තුළ තහනමට ලක්වූ Qatar Charity වැනි සංවිධානයක් මගින් ලබාගෙන ඇති මුදල් යොදවා මෙම ඉඩමේ ගොඩනැගිලි සකස් කර ඉහත පරිදි පුහුණුවීම් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.’

කටාර් ගොස් කළ දැනුම් දීම

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙම තහනම යළිත් සලකා බැලීමට කටයුතු කරන ලදි. සහනදායී පදනම මත මෙරටට ඉන්ධන ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට කටාර් රාජ්‍යය බලා ගිය අවස්ථාවේ විදුලිබල ඇමති කාංචන විජේසේකර එරට රජයට දැනුම් දී තිබුණේ කටාර් චැරිටි පුණ්‍යායතනයට පනවා තිබූ තහනම ඉවත් කළ බවයි. මේ බව දේශීය මෙන්ම විදේශීය මාධ්‍යවල ද වාර්තා කෙරිණි.

ඩොලර් මිලියන 11.7ක්

ඊයේ (11) සිට යළි මෙරට මෙහෙයුම් කටයුතු ආරම්භ කළ කටාර් චැරිටි ආයතනය, 2023 වසර සඳහා මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 11.7ක මානුෂීය ආධාර ලබාදීමට කටයුතු කර තිබේ.

මෙරට ලියාපදිංචි සංවිධානයක්

මෙම කටාර් චැරිටි නම් ආයතනය රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සංවිධානයක් බව අප කළ සොයාබැලීමේදී තහවුරු විය. මෙම කාර්යාලයේ ලියාපදිංචි කරනු ලබන්නේ ආරක්ෂක බුද්ධි අංශ නිර්දේශ මත ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය මත බව සඳහන් ය. මෙය ශ්‍රී ලංකා රජය නිල වශයෙන් පිළිගත් සංවිධානයක් බව නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ නුවන් බෝපෙගේ ඇතුළු නීතිඥවරුන් ද දිගටම අධිකරණයට කරුණු දක්වා තිබිණි. අධිකරණයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව මෙම ආයතනය රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලයේ FL162614 අංකය යටතේ ලියාපදිංචි කර ඇත.

සජිත් අරඹයි

2018 මාර්තු 03දා මෙම කටාර් චැරිටි ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය විවෘත කර ඇත්තේ එවකට නිවාස ඇමති, වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ය. එම අවස්ථාවට එවකට ජාල සම්පාදන ඇමති කාදර් මස්තාන් සහ ශ්‍රී ලංකාවේ කටාර් තානාපති රෂීඩ් බින් ෂෆි අල් මාරිඇතුළු පිරිසක් සහභාගී වී ඇත. මෙහිදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස එවකට ඇමතිවරයා සඳහන් කර තිබුණේ මෙම සංවිධානය ලංකාවට පැමිණීම පිළිබඳව සතුටු වන බවත්, නිවාස අමාත්‍යංශයේ වෙනම ඒකකයක් ආරම්භ කර නිවාස ගැටළු පිළිබඳ මෙම ආයතනය සමග සම්බන්ධීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බවත් ය.

1993 සිට

මෙහිදී අදහස් දක්වමින් කටාර් තානාපතිවරයා පවසා තිබුණේ මෙම ආයතනය 1993 සිට ලංකාවට සහාය වන බවයි. 2018 වන විට එම ආයතනය හරහා මෙරටට රියාල් මිලියන 14කට වැඩි වටිනාකමකින් යුත් ව්‍යාපෘති හඳුන්වා දී ඇතැයි ද ඔහු සඳහන් කර තිබිණි.

රජය සමග එක්ව

යුද්ධයෙන් අවතැන් දරුවන් 1,000කට අධික සංඛ්‍යාවකට පහසුකම් සැපයීම, යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට නිවාස ලබාදීමේ බහු සේවා මධ්‍යස්ථාන ව්‍යාපෘති 4ක් රජය සමග එක්ව ක්‍රියාත්මක කිරීම, මඩකලපුව, ඔඩ්ඩමාවඩි. ත්‍රීකුණාමලය. කින්නියා, පොළොන්නරුව, එරාවුර් යන ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සමාජ නිවාස ඒකක, සෞඛ්‍ය මධ්‍යස්ථාන, පෙර පාසල් ඇතුළු ව්‍යාපෘති රැසක් මෙම ආයතනය මගින් රජය සමග එක්ව ක්‍රියාත්මක කර තිබේ. මෙම ව්‍යාපෘති විවෘත කිරීම් සඳහා රජයේ ඇමතිවරුන් ද සහභාගි වී ඇති බව ඊට අදාළ ඡායාරූපවලින් තහවුරු වේ.

තානාපති කටයුතු

එසේ ම කටාර්හි වෙසෙන මෙරට පුරවැසියන්ට සහන සැලසීම සඳහා එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග ද මෙම ආයතනය කටයුතු කළ බව තානාපති කාර්යාලය නිල වශයෙන් නිවේදනය කර ඇත. කටාර්හි අභ්‍යන්තර සහ විදේශ අමාත්‍යංශය සහ කටාර් චැරිටි ලාංකිකයන්ට අවශ්‍ය වියළි ආහාර පාර්සල් 5,000ක් බෙදාහැරීමට කටයුතු කළ බව ද තානාපති කාර්යාල නිවේදනවල දැක්වේ.

එක්සත් ජාතීන් සමග

මෙම ආයතනය ආරම්භ කර ඇත්තේ 1992 වසරේදී ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක සංවිධාන සමග එක්ව දිළිඳු ප්‍රජාව නගාසිටුවීමේ අරමුණින් සිය ආයතනය කටයුතු කරන බව කටාර් චැරිටි වෙබ්අඩවියේ දැක්වේ. අවතැන්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා වන ව්‍යාපෘති ගිවිසුම් 32කට මෙම ආයතනය අත්සන් තබා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහා කොමසාරිස් කාර්යාලය සමග ය.

අරමුණ කුමක්ද ?

මෙම ආයතනය සහ ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කළ වැඩසටහන් පිළිබඳ තවත් කරුණු රැසක් ලිවිය යුතුය. එසේ වුවත් එසේ කටයුතු කරන අතර, ත්‍රස්ත සංවිධානවල මෙරට ක්‍රියාකාරකම් සඳහා සහාය ලබාදීමට ද මෙම සංවිධානවලට හැකියාව තිබේ.

එහෙත් මෙම කටාර් චැරිටි එසේ කළ බවක් විමර්ශන අංශ මෙතෙක් අධිකරණයට වාර්තා කර නැත. අධිකරණයට වාර්තා කර ඇත්තේ එය එක්සත් අරාබි එමිරේටයේ තහනම් බවකි. නමුත් කාංචන විජේසේකර ඇමතිවරයා මැද පෙරදිග රටවල් සමග සහන පදනම මත ඉන්ධන ලබාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමේදී එම රටවල රාජ්‍ය නියෝජිතයන් සමග මෙම සංවිධානයේ නියෝජිතයෝ ද වූහ.

2018 ඔක්තෝබර් 26 සිට

මෙම ලිපිය අප විසින් පළකරන ලද්දේ දේශපාලන අරමුණු වෙනුවෙන් හිජාස් හිස්බුල්ලා සිරකර තැබීම සඳහා භාවිත කරන ලද තවත් උපක්‍රමයක් පිළිබඳව අනාවරණය කිරීම සඳහා ය. හිජාස් හිස්බුල්ලා යනු 2018 ඔක්තෝබර් 26 දින ව්‍යවස්ථා විරෝධී ලෙස මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත්කිරීමට එරෙහි සටනේ කැපීපෙනෙන භූමිකාවක් ඉටු කළ නීතිඥයෙකි. මේ නිසා ඔහුට තර්ජන රැසක් ද එල්ල වී තිබිණි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...