Home Blog Page 252

අපට මගහැරුණු තැන් සොයන්නට සඳුන් අපට යෝජනා කරයි

0

හතර මං හන්දියක වචන‘තර- සඳුන් ප්‍රියංකර විතානගේ

2022 වේගයෙන් අවපසට යමින් සිටියි. පාර්ලිමේන්තු විහිළු, වීදි අරගල, වාද විවාද සංවාද මෙන්ම අවලාදද මැදින් ඉල් මහ උඳුවප් කරා පැන නව වසරක සම්ප්‍රදායික සුබපැතුම් වලට පාර කපනු ඇත. උඳුවප් අවසන් වෙද්දී මිනිසුන්ට උඳුවැල් වෙනුවට බඩවැල් වඩ වඩා සිහිපත් වනු ඇති අතර වෙන්දේසි මේසය සහ මිටිය බලවත්වී ප්‍රජාතන්ත්‍රවාදය යනු අන්කිසිවක් නොව පාලකයාගේ අභිමතය බවත් ඊට එරෙහිව හඬ නැගීම යනු ත්‍රස්තවාදය බවටත් තවත් න්‍යායය ටොන් ගණනින් එළියට එනු ඇත. ඉදින් ඉල් මහේ අනපේක්ෂිත මහ වැසි අවසන, සීතල සමග එන ගිම්හානයද ආර්ථික සිසිරයද දේශපාලන පිලිලද මැද මම සඳුන්ගේ හතර මං හන්දියක වචන මැද අතරමං ව සිටිමි.

කෘතියේ පිට නිමාව කාලයට සාකල්‍යෙයන්ම අදාලය, අනුගතය, එසේම විරෝධීය. කෘතිය මුද්‍රණය වනුයේ පසුගිය කාලයේ පොතක් පල කිරීමේදී හැරීවත් නොබැලූ ඩිමයි කරදාසියෙහිය. පොත පෙරලන විටම රතු පැහැ මුද්‍රාවකි. එහි කියැවෙන්නේ මෙයයි. 2022 ආර්ථික අර්බුද සමයේ මුද්‍රාපිතය. ඉදින් මෙය අභියෝගයකි. පවත්නා තත්වයට විරුද්ධත්වය පෑමකි. යටත් නොවී තවදුරටත් කර්මාන්තයේ රැඳී සිටින්නට උත්සාහයකි. දැන් අප සිටිනුයේ අපේ කුස නොව මනසද හිස්ව යාමේ තර්ජනය වලක්වාගැනීමේ බියකරු අරගලයකය. අපේ මහජන නියෝජිතයන් කියනා එකෙක් රටේ බුද්ධිමය වපසරිය හැකිලී යන එක ගැන කතා නැත. මන්ද එය ඔවුන්ගේද අභිලාෂය බැවිනි.

සඳුන් මේ අර්බුද මැද කෙටි කතා 08ක් සිය කෘතියෙන් ඉදිරිපත් කරයි. ඒ ප්‍රමාණයෙන්ද සැබැවින්ම කෙටිකතාවන්ය. කතා ගණනාවක්ම පිටු හය, හත, අට නොඉක්මවයි. දිගම කෙටි කතාවෙහි පිටු ගනන දහයකි. එහෙත් මේ කතා තුළ සඳුන් කෙටිකතාකරණයට තමන් තුල ඇති සමත්කම පමණක් නොව අවබෝධයෙන් යුතුව එහි නියැලෙන්නට තමන් සතු අභිලාෂයද පල කර සිටියි.

මේ කෙටිකතා කියවාගෙන යන විට මට දැනෙනා පොදු සාම්‍යයක් තිබේ. ඒ මානව බන්ධූත්වයන් හුදු සංකල්ප බවට හරවමින්, හුදෙකලාවේ ගසා යන පොල් ලෙලි වන් මිනිස් ජීවිතවල හිස්කම, අපේක්ෂා භංගත්වය, ‍ඊට එරෙහිව මිනිසුන් තුළ කෙඳිරිගාමින් නැගෙන්නට තනනා විරෝධය සහ යළි කේවල පැවැත්මක් වෙනුවෙන් මිනිසා තමන්වම ගොදුරු කරගන්නා ග්ලැඩියේටර් වලලු තුළ ආදරය විකසිත කරන්නට ලේඛකයා දරනා වෙහෙසයි. මේ සෑම කෙටිකතාවකම පොදු මාතෘකාව වනුයේ ආදරයයි. අහිමි වෙමින් යන ආදරයේ ස්වරූපයන් මෙන්ම ආදරය නොමැතිව ජීවත්වීම අසීරු බව සිහිපත් කිරීමයි. ඒ ආදරය යනු යත්තෙන් කපා ඔප මට්ටම් කල ආදරයක් නොව විවිධ වෙනස්කම් සහිත, විවිධ සමාජ මට්ටම් අතර විවිධ තත්වයන් තුළ පැන නැගෙන්නකි. පැන නැගුණ සැණෙන් යළි නිවී යන්නක්ද විය හැකි ආදරයකි. මන්ද යත් මේ ආදරය සොයනා මිනිසුන් යනු පවත්නා මොහොතෙහි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගොදුරු වන්නවුන් හෙයිනි.

කතා දෙකකදී හැර අන් සියල්ලෙහිම සඳුන් ස්පර්ශ කරනුයේ සමකාලීන රැල් රොසැල්ව ගිය ජීවිත, විශේෂයෙන්ම තරුණ ජීවිතයන් ය. මිත්‍යාවෙහි ගැලෙමින්, එය නඩත්තු කරමින් මෙන්ම ඉන් මිදෙන්නට තැත් දරනාතර යළි එහිම ගොදුරු බවට පත්වෙමින් පල්වෙන, ජාතිවාදය මෙන්ම ආගමික් අන්තවාදයද කටගැස්මට ගත් හුස්ම අහිමි ජීවිතයන්ය. මේ ජීවිත අතර වන හැල හැප්පිලි අතරින් ජීවිතය මේ යයි කියන්නට සඳුන් දරන උත්සාහයේදී පාඨකයාම විටින් විට තම මුහුණද ඒ තුළ පෙනෙන්නේ නම් එය අරුමයක් නොවනු ඇත.

මතු පිටින් බලන විට සඳුන්ගේ කතා සරල, එදිනෙදා අපේ අත්දැකීම්, නැතිනම් අප කියවා, අසා දැනගන්නා සරල තොරතුරු හා සමානය. එහෙත් ඔහු කතාවක් කියා නොකියා විවිධ අවස්ථා සම්බන්ධ කර ජීවිතයේ සංකීර්ණබව මෙන්ම විසුළු ස්වභාවයද මේ යයි පෙන්වා නිහඬ වෙයි. එහිදී ඔහු විවිධ රචනා ශෛලීන් මෙන්ම යෙදුම්ද භාවිතා කරමින් පාඨක අවධානය ගිලිහී යනු නොදී රඳවා ගනියි.

අජානීය අසකු අරා යනු බැලූ බැල්මට හුදු දෙබස් ඛණ්ඩයන් පමණක් ඇති අපිලිවෙල සටහනකි. කතාවෙහි මධ්‍ය ලක්ෂය වනුයේ වැවක ගිලී මිය ගිය කොලුවෙකු ගැන පුවතක් සහ ඒ වටා ගෙතෙනා විශ්වාස පද්ධතියකි. බිලිගන්නා වැව්, නදී ආදිය අපට අරුම නැත. මේ කතා බහ යන්නේද අපූරු තැනක ය. කථකයෝ සිටින්නේ ජොයින්ට් ඔතමිනි. ඒ අතර පිටස්තරයකුද සිටියි. ඔහු දේවල් දෙස බලනුයේ වෙනස් අයුරකිනි. මේ දෙබස් අතර අපට ඉදිරිපත් කෙරෙනා සමාජ කියවීම සිදුවනුයේ කෙටි වාක්‍ය ඛණ්ඩයන්ගෙනි. එහෙත් එය පවත්නා සමාජයෙහි ස්වභාවය පිලිබඳ හරස් කැපුමකි. සිහිනයත් සැබෑ වර්තමානයත් අතර දෝලනය වෙමින් යතුරු පැදියට නගිනා පිටස්තරයා ගේ ගමන අවසන් වනුයේ ඔහුම එරෙහිව කතා කරනා මිථ්‍යාව තවත් තහවුරු වන සේ තෙමේම ඊට බිලි වීමෙනි. එහෙත් ඔහුට එය නිවැරදි කරන්නට අවසරයක් නැත.

මාෂා සහ වලස්සු කෙටිකතාව සඳුන් තුළ ඉන්නා සමාජයට ආදරය කරනා නිර්මාණකරුවාගේ පරිකල්පිත ලෝකයෙහි අඩහෝරාවකි. එහි එන ලිංගික ශ්‍රමික කාන්තාව සහ තම මිතුරා ගේ උදවුකාරයා ලෙස යන කථකයා අතර ගොඩනැගෙන කෙටි සම්බන්ධය තුළ රාගය වෙනුවට ගොඩනගනා ආදරය යනු වෙනත් ජීවිතයක වෙනත් ලෝකයක, වඩා පුළුල් මිනිස් පෙමෙහි අසිරිය දකින්නට තැත් දරන නිමේෂයකි. හෙල්ගාමය හිස් බැල්ම යනු වෙනත් පරිසරයක වෙනත් අවධියක එහෙත් අපට අපේ වර්තමානය සහ සමකාලීන ජීවිතයන්හී අන්ධකාරයම මුණගස්වන්නකි.

සඳුන් සිය කෙටිකතාවන්හී මතු කරන්නට තැත් දරන එක් ස්වභාවයක් වනුයේ අප පැටලී ඉන්නා නූල් බෝලයෙහි රුදු බවයි. සංහිඳියා බයිට් එක මෙන්ම හතර මං හන්දියක වචනතර යන කෙටි කතා දෙක මෙහිලා විශේෂය. එහි එන චරිත අපට එක වර ඉරිගසා බෙදා වෙන් කරන්නට හැකි චරිත නොවේ. එසේම ඒ චරිත යනු එක් මොහොතක වරෙක තමන්ම පෙනී සිටි දේවල් පිලිකෙවු කරන්නට පෙළඹෙන චරිතය. ජාතිවාදයට එරෙහිව කොන්දේසි විරහිතව අවි ඔසවන්නාක් මෙන් පෙනෙනා කෙනෙක් එක් නිමේෂයක් තුළ ජාතිවාදයේම සරණ පතයි. සදාචාරය මිනිස් අයිතිවාසිකම්, ලිංගික හිමිකම්, පීඩිතයාගේ පැවැත්ම වෙනුවෙන් සවස සිදුවන පෙනී සිටීම උදයට අදාල නැත. ඒ වෙනුවට එහිදී අදාල වනුයේ තම ගරුත්වයයි. ඒ අතර වෙනුවට මියෙන දිවියක අරුත යන කතාවෙහිදී බලය, බලය හිමි අයගේ පැවැත්ම වෙනුවෙන් බිලිවෙන ජීවිත වල අසරණබව මෙන්ම ආදරය යනු සැබැවින්ම කවරක්ද යන්න සඳුන් මෙහිදී විමසන්නට තැත් කරයි. ඉතිහාසයේ පරිච්ඡේදයක් මෙන් ඉදිරිපත් කෙරෙන මෙහි එන චරිත සමකාලීන තත්වයන් මත කියවීමටද එලෙසින්ම හැකිය.

ඉදින් සඳුන් සිය කෙටිකතාවන් මගින් නිසල සේ පෙනෙන, පියුම් විකසිත වන්නාක් මෙන් දැවටුම්හී ඔතා අප හමුවේ තබන, පල් වලෙක ගන්ධය එහි ඇති සංකීර්ණ බවද සමගින් ඉදිරිපත් කරයි. සිය කතා කියවා වෛර කරන්නට හේ පෙම් කරන්නට නොව ඔහු අපට යෝජනා කරන්නේ අපට මගහැරුණු තැන් සොයන්නටය.

චූලානන්ද සමරනායක

මේක කලිනුත් සිද්ධ වෙලා තියෙනවා හැබැයි මීට වඩා වෙනස් වෙලාවක!

0

2022 පාපන්දු ලෝක කුසලානයේ තවත් පෙරලිකාර ජයග්‍රහණයක් පෙරේදා වාර්තා වුණා. ඒ සිව් වරක් ලෝක ශූරතාවය දිනාගෙන ඉන්න ජර්මනිය පරාජයට පත් කරලා ජපානය ජයග්‍රහණය කිරීම. මේ ජයග්‍රහණයෙන් පස්සෙ ජපන් ජාතිකයෝ ප්‍රේක්ෂකාගාරය පිරිසිදු කළා විතරක් නෙමෙයි ජපන් ක්‍රීඩකයෝ තමන්ගේ ක්‍රීඩක විවේකාගාරයත් කුණු බිඳක් වත් නැතිවෙන විදිහට පිරිසිදු කරලා ගියේ.

2018 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේදී තරග වැදුණේ බෙල්ජියම සහ ජපානය. තරගයේ දෙවනි අර්ධයේ දී එක් අවස්ථාවක ගෝල 2-0 ක් විදිහට ජපානය තරගයේ ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ඒ වෙද්දි ලෝකයේ අංක 1 පාපන්දු කණ්ඩායම වුණ බෙල්ජියම අවසන් විනාඩියේදී කම්බැක් එකක් සම්පූර්ණ කරලා මේ මැච් එක 3-2 ක් විදිහට ජයග්‍රහණය කළා.

මේ ජයග්‍රහණයත් එක්ක ජපානයට ලෝක කුසලානයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. 2-0 ක් විදිහට ඉදිරියෙන් ඉඳලා ලැබුණ මේ පරාජය ක්‍රීඩාංගනයේ හිටපු ජපන් ක්‍රීඩකයෝ විතරක් නෙමෙයි ප්‍රේක්ෂකයොත් හඬවන්න සමත් වුණා. කොටින්ම සෑහෙන වෙලාවක් යනකන් මොකද වුණේ කියලා හිතාගන්න බැරි වුණ ජපන් ක්‍රීඩකයෝ තැන තැන වැටිලා හිටියා.

ඒ තරම් අනපේක්ෂිත හිත් රිදවපු පරාජයක් ලබලා තිබුණත් ප්‍රේක්ෂකාගාරයේ තිබුණ හැම කුණු බිඳක්ම එකතු කරන්න ජපන් ප්‍රේක්ෂකයෝ කටයුතු කළා. ක්‍රීඩා විවේකාගාරයට ඇවිත් එතන සුද්ධ කරපු ජපන් ක්‍රීඩකයෝ, එදා තමන් ලෝක කුසලානයෙන් ඉවත් වන බව දැනගෙන හිටපු නිසා රුසියානු භාෂාවෙන් ‘ස්තූතියි’ කියලා සටහනක් තියලා යන්නත් අමතක කළේ නෑ.

ශාමින්ද ජයරත්න

පොලිස් නඩුව ප්‍රතික්ෂේපයි : මහාධිකරණයට අභියාචනයක් !

0

සහකාර පොලිස් අධිකාරි නලින් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්ට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ පෞද්ගලික නඩුව විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට එහි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (25) නියෝග කළේය.

මෙම නඩුව අද පෙරවරු 9.50ට පමණ කැඳවූ අවස්ථාවේ චූදිතයන් ලෙස නම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයකු ඇතූළු නීතිඥ මඩුල්ලක් ද, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ නීතිඥ  ශමින්ද වික්‍රම ද පෙනීසිටියහ. 

පැමිණිලිකරු වූ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ උපදෙස් මත නීතිඥ තනුක මාධව නන්දසිරි, නීතිඥ පවිත්‍ර මනුජය ද සිල්වා, නීතිඥ ජගත් කුලරත්න, නීතිඥ ඉනේකා හෙන්දාවිතාරණ ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනීසිටියහ.

නීතිපති අවසර නොගැනීම 

නඩුවට අදාළ නියෝගයේ අවසාන කොටස අධිකරණයේ දී ප්‍රකාශයට පත් කළ අතර, එමගින් කියවුණේ නීතිපතිවරයාගේ අවසරය නොගැනීම බලවත් නීතිමය දෝෂයක් සේ සලකමින් නඩුව ප්‍රතික්ෂේප කරන බවයි. 

මහාධිකරණයට අභියාචනයක් 

මෙම නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් මහාධිකරණයට අභියාචනයක් කිරීමට සූදානම් බව පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරන නීතිඥවරු පැවසූහ.

නීතිපති හැසිරීම

මෙම නඩුවේ මුල් අවස්ථාවේදී කරුණු සලකා බැලූ අධිකරණය චූදිතයන් ලෙස නම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට සිතාසි නිකුත් කිරීමට නියෝග කළේය. ඉන්පසු ව, එනම් නොවැම්බර් 01දා නීතිපති වෙනුවෙන් රජයේ නීතිඥ ශමින්ද වික්‍රම පැමිණිලි පාර්ශ්වයට හෝ ඔහුගේ නීතිඥවරුන්ට දැනුම් නොදී ඒක පාර්ශ්විකව මෝසමක් මගින් නඩුව කැඳවමින් සිතාසි යළි කැඳවන ලෙස කළ ඉල්ලීමක් අනුව සිතාසි යළි කැඳවා තිබිණි.

බරපතළ වරදක්

පසුව නොවැම්බර් 02දා නීතිපතිවරයාට ද දැනුම්දීමක් කරමින් මෝසමක් මගින් නඩුව කැඳවූ පැමිණිලි පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම වැරදි බව පෙන්වා දුන් අතර, නොවැම්බර් 08දා යළි සියලුම පාර්ශ්ව කරුණු දැක්වීම සිදු විය.

නඩුව කුමක්ද ?

සහකාර පොලිස් අධිකාරි නලින් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් විරෝධතාවකදී අයුතු අවහිරයක් කළ බවට, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගම⁣යේ සභාපති ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් මෙම නඩුව පවරා තිබිණි.

මෙම නඩුවේ සම්පූර්ණ තීන්දුව පිළිබඳ විග්‍රහයක් www.thetime.lk ඔස්සේ බලාපොරොත්තු වන්න !

ගොංගල හා කබරගල කන්දේ මහා ඉඩම් සංහාරයකට අජිත් රාජපක්ෂ සූදානම් වෙයි

0

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවගෙඅයින ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ගොංගල කන්ඳ පහළ බෑවුම් කොටසේහේස් වත්තේ (ඒ ඩිවිෂන් ලෙස හඳුන්වන කොටසේ)අක්කර 75 ක තෙත් පතන තෘණ භූමි සහිත සිංහරාජ අඩවියට අයත් සුවිශේෂී ම ජල රැඳවුම් කලාපයක් තේ වගාව සඳහා එළි පෙහෙළි කිරීමට නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති අජිත් රාජපක්ෂ විසින් කටයුතු කරමින් සිටී. මෙම භූමිය ආසන්නයේ හේස් වත්තට අයත් වතු කම්කරු ජනතාව ගේ නිවාස පිහිටා ඇති අතර මෙම ව්‍යාපෘතියට එම ජනතාවගෙන් එල්ලවන බලපෑම් පාලනය කිරීම සඳහා එම ජනතාව අතර ඉඩම් කොටස් කිහිපයක් බෙදා දීමට පියවර ගන්නා බවට ද පොරොන්දු වී තිබේ.

මේ වන විට ගොංගල කන්ඳ ආශ්‍රිත ව පිහිටි යෝශිත රාජපක්ෂට හෝ රෝහිත රාජපක්ෂට අයත් ව තිබූ පසුගිය දා ගිනි තැබීමට ලක් වූ හෝටලය ද මිල දී ගෙන ඇත්තේ අජිත් රාජපක්ෂ විසින් බව වාර්තා වේ. මේ වන විට එම හෝටලය නැවත ගොඩ නගමින් පවතී. මෙම හෝටලය හේතුවෙන් සිංහරාජ වන රක්ෂිතයට 2019 වසරේ දී අලුතින් වනාන්තර එක් කිරීමේ දී රක්ෂිතයට ඇතුළත් කළ යුතු ව තිබූ ඒ ආසන්නයේ පිහිටි විශාල වනාන්තර හා තෘණ භූමි ප්‍රදේශයක් රක්ෂිත තත්ත්වයට පත් නොකර ඉවත් කර දමා ඇති අතර එම සුවිශේෂී පරිසර පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමට මෙම ඉඩම් නැවත පවරා ගැනීමට සකස් කළනව සැලැසුම්වලට ද මේ වන විට බාධා එල්ල වෙමින් පවතී.
ගෝඨාභය රාජපක්ෂ ජනපති ලෙස කටයුතු කළ සමයේ දී අජිත් රාජපක්ෂ හා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි ඇතුළු කිහිපදෙනෙකු විසින් ගොන්ගල කඳුවැටියට ඉදිරියෙන් පිහිටි උල්ලිදුවාව ග්‍රාම නිලධාරී වසමට අයත් පනිල්කන්ඳේ කබරගල වනාන්තර කොටසට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන අක්කර 550 ක් අත් පත් කර ගෙන තිබේ. ඊට අමතර ව එම ඉඩම් අවට වගා කරමින් සිටි ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර පුද්ගලයන් 41 දෙනෙකුට නඩු පවරා එම ඉඩම් අත් පත් කර ගැනීමට ද උත්සාහ කෙරිනි.

මෙම සියලු වනාන්තර හා තෘණ බිම් ප්‍රදේශ ගිං ගගේ ජල පෝෂක ප්‍රදේශ වේ. ඊට අමතර ව මෙම කඳු බෑවුම් ඔස්සේ ගලා එන ජලය ඒ අවට ජනතාව ගේ පානීය ජල අවශ්‍යතාව සඳහා භාවිතයට ගැනේ. එපමණක් නොව මෙම වනාන්තර හා තෘණ බිම් පද්ධතිය සිංහරාජ අඩවියේ ජීවත් වන බොහෝ ජීවීන්ට වාසස්ථාන සපයන සුවිශේෂී පරිසර පද්ධති වේ.

මේ නිසා විවිධ අණ පනත් යටතේ සිංහරාජ ජාතික උරුම වන භූමිය හා සිංහරාජ වන රත්ෂිතය වටා පිහිටි සුවිශේෂී ජෛව කලාප ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ. 1996 අංක 24 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1951 අංක 25 දරණ පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2008 මැයි 22 දින අංක 1550/9 දරණ ගැසට් නිවේදනය මගින් සිංහරාජය හා ඒ වටා විශාල කලාපයක් පස සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

පනතේ 4 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2009 දෙසැම්බර් 21 වන දින අංක 1633/4 දරණ ගැසට් නිවේදනය මගින් 2009 අංක 1 දරණ පස සංරක්ෂණ නියෝග පනවා ඇති අතර ඒ අනුව පස සංරක්ෂණ ප්‍රදේශයක් තුළ අංශක 60 ට වැඩි බෑවුම් සහිත භූමි ප්‍රදේශයක යම් තැනැත්තකු විසින් වාර්ෂික බෝග වගා නොකළ යුතු බවත්, පස සංරක්ෂණ ක්‍රියාමාර්ගවල හෙල්මළු කැපීම හෝ සෑදීම, කුට්ටි කාණු සෑදීම හෝ ගල්වැටි බැඳීම, පාංශු ඛාදනය වැළැක්වීම, ජීව වැටි ඇති කිරීම, ඇළ, දොළ උල්පත් ප්‍රදේශ හා ඉවුරුවල කැලෑ ඇති කිරීම, ඇල, දොළ ඉවුරු දිගේ නියමිත පළලින් යුත් වගා නොකළ බිම් තීරය ඉතිරි කිරීම කළ යුතු බවත් සඳහන් වේ.

මෙම නියෝග කඩ කරන පුද්ගලයකු පනතේ 11 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් වෙත යොමු කර වැරදිකරුවකු කරනු ලැබූ විට රුපියල් 1000 ත් රුපියල් 5000 ත් අතර දඩයකට ලක් කළ හැකි ය. මෙම බලතල ක්‍රියාත්මක කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ ඔහු විසින් බලය පවරන නිලධාරියකුට හැකියාව ඇති අතර නීති ක්‍රියාත්මක කිරීමට බාධා කරන පුද්ගලයකු ද ඉහත දණ්ඩනයන්ට යටත් කළ හැකි ය.

මීට අමතර ව 2000 අංක 53 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වන දින 772/22 අංක දරණ ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර 1 ට වැඩි භූමි ප්‍රදේශයක ඇති කැළෑ, කැළෑ ආශ්‍රිත නොවන ප්‍රයෝජනයක් සඳහා යොදා ගැනීම ප්‍රථම හෝ පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශිත පස සංරක්ෂණ කලාපයක් තුළ ඕනෑ ම ආකාරයක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරු (ඇගයීම්) ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගෙන අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු ය.

ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

පාර්ලිමේන්තුවෙන් සම්මත වූ මෙම අණ පනත් ක්‍රියාවේ යෙදවීම වෙනුවට නියෝජ්‍ය කථානායකවරයා විසින් මෙම නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට සූදානම් වීමෙන් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යය බිඳ දමමින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමට ඇති අවස්ථා ව අහිමි කරන බව ය.

විශේෂයෙන් අප අවධාරණය කරන්නේ සිංහරාජ අඩවිය තුළ පිහිටන සියලූ ම වනාන්තර හා තෘණ භූමි රක්ෂිත තත්ත්වයට ප්‍රකාශයට පත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ය. ඒ අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන වනාන්තර හා පෞද්ගලික වනාන්තර ඉඩම් සියල්ල ම පසුව වන්දි ගෙවීමේ පදනම මත සිංහරාජ වන රක්ෂිතය යටතට ඇතුළත් කළ යුතු ය. එසේ නොමැති වුවහොත් සිදු වන්නේ දේශපාලඥයන් ගේ හා ව්‍යාපාරිකයන් ගේ ග්‍රහණයට මෙම වනාන්තර කඩිනමින් නතු වී ඉතා කෙටි කලකින් විනාශයට ලක් වීම ය.

තීරණාත්මක ඇෆ්ගන් – ශ්‍රී ලංකා තරගය අද

අද තරගයට බොහෝ දුරට දිනේෂ් චන්දිමාල් එක්වනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය සඳහා ඉතා හොඳ මානසික මට්ටමකින් පසුවන බවත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි.

ඔහු ඒ බව පවසා සිටියේ තරගාවලියට ප්‍රථම පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

දෙරට අතර මෙම එක්දින තරග තුන පැවැත්වෙන් අයි සී සි සුපර් ලීග් තරගාවලිය යටතේය.

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානය සමග පැවත්වෙන මෙම තරග තුනම අනිවාර්යයෙන් ජයගත යුතු වෙයි.

මෙම එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (24) නිවේදනය කළේය.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් එම සංචිතයට දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ලක්ෂාන් කැඳවා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර මේ දක්වා එක්දින තරග 4ක් පවත්වා ඇති අතර ඉන් තරග 3ක් ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්වුණි.

තරග තුනකින් සමන්විත තරගාවලිය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතව ඇත.

දුමින්දට සමාව දීමේ ‘අපරාධයෙන්’ ගෝඨාභයට සැඟවෙන්නට හැකි ද? : thetime.lk සම්පූර්ණ වාර්තාවක් !

0

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව දෙසැම්බර් 16දා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (24) නොතීසි නිකුත් කරන ලදි.
මෙම නඩු විභාගය අතරතුර පෙත්සම්කාර සුමනා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළ ව වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස වෙත නොතීසි යැවුවද, එම නොතීසි ආපසු හරවා එවා ඇතැයි සඳහන් කළේය. එම නොතීසි ‘බාරගැනීම ප්‍රතික්ෂේප කරන ලදි’ යනුවෙන් එහි සටහනක් යොදා තිබෙන බව නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

මේ, දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම යුක්ති සහගත ද යන්න පිළිබඳව තීරණයක් ගැනීම සඳහා thetime.lk සපයන සම්පුර්ණ වාර්තාවකි.

භාරත ලක්ෂ්මන්

තම පියාගේ දේශපාලන ළබැඳියාවත් සමඟ දේශපාලනයට පිවිසි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර දේශපාලන ගමන ආරම්භ කළේ කොළොන්නාව නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ය. ඒ 1979 වසරේ ය. 1983 වසරේදී ඔහු කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායකයා විය. පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂයට සම්බන්ධ වූ ඔහු එම පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායකවරයා විය. 1988 දී ශ්‍රී ලංකාවේ පැවැති පළමු පළාත් සභා මැතිවරණයට තරඟ වැදුණු ප්‍රේමචන්ද්‍ර මහතා, මහජන පක්ෂය නියෝජනය කරමින් එක්සත් සමාජවාදී සන්ධානයෙන් පළාත් සභාවට තේරී පත් විය. 1993 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයෙන්ද ඒ මහතා පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය.

අනතුරුව 1994 වසරේ පැවැති මහ මැතිවරණයට තරඟ වැදුණු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ මනාප ඡන්ද 63,421ක් ලබා ගනිමිනි. 2000 වසරේ සහ 2001 වසරේ පැවැති මහ මැතිවරණවලින් ජයග්‍රහණය කළ ප්‍රේමචන්ද්‍ර මහතා, දෙවැනි සහ තෙවැනි වරටත් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර 2004 දී ඔහුගේ පාර්ලිමේන්තු දිවිය නිමා විය. පසුව ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති පිළිබඳ උපදේශක ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.

දුමින්ද සිල්වා

භාරතගේ බල ප්‍රදේශයේ 2010 සිට බලය අල්ලන්නේ අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා ය. ඔහු තම දේශපාලන ගමන ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයෙනි. ඒ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ය. 2004 සහ 2009 වසරවලදී ඔහු පළාත් සභාවට තේරීපත්වූයේ කොළඹින් වැඩිම මනාප ලබාගනිමිනි. අනතුරුව ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ලබාගත්තේය. 2010 වසරේ පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාමයෝජනා ලැබ, කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කර ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ දෙවැනියා වෙමිනි. ඔහු ලබා ගත් මනාප ගණන 146,333කි.

නගර සභා ඡන්දය

මෙම සිද්ධිය සිදුවන වකවානුවේ, එනම් 2011 වසරේදී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති පිළිබඳ උපදේශකයා වූ අතර, දුමින්ද සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම කොළොන්නාව ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආසන සංවිධායකවරයාද විය. එමෙන්ම ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද පත්කර තිබූ බව එකල මාධ්‍ය වාර්තා කළේය.
කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව පිහිටා ඇත්තේ කොළොන්නාව ඡන්ද බල ප්‍රදේශයේ ය. එහි සභාපතිවරයා වූයේ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා ය. 2011 ඔක්තෝබර් අට වැනිදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට සෝලංගආරච්චි මහතා යළිත් වරක් තරඟ වැදුණේය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සෝලංගආරච්චි මහතාගේ ජයග්‍රහණය උදෙසා වැඩ කළ අතර, ඔහුගේ මැතිවරණ ප්‍රචාරක රැළිවලටද සහභාගි වූයේය.

සුමුදු රුක්ෂාන්

එම ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයම නියෝජනය කරමින් සුමුදු රුක්ෂාන් ද තරඟ වැදුණු අතර, සුමුදු රුක්ෂාන් සහ සෝලංගආරච්චි සමඟ තියුණු සටනක් තිබිණි. දුමින්ද සිල්වා සහයෝගය ලබාදුන්නේ සුමුදු රුක්ෂාන්ට ය. ප්‍රාදේශීය සභාවේ සභාපති වීම සඳහා ලැයිස්තුවේ වැඩිම මනාප ගණන ලබාගැනීමට දෙදෙනා අතර උණුසුම් සටනක් තිබිණි. එම සටන මේ දෙදෙනාගෙන් ඔබ්බට ගොස් දුමින්ද සිල්වාගේ සහ භාරත ලක්ෂ්මන්ගේ බලය උරගා බැලෙන සටනක් ද විය.

උදෑසන 6.30 සිට නීතිවිරෝධී වැඩ

අධිකරණයේදී දිගහැරුණු ආකාරයට සිදුවීම මෙසේය.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැති 2011 ඔක්තෝබර් අට වැනිදා කොළොන්නාව එක්සත් ජනතා නිදහස් සන්ධාන සංවිධායක ආර්.දුමින්ද සිල්වා තමිල්නාඩුවත්ත ඡන්දපොළට යෑම සඳහා පෙරවරු 6.30ට නිවසින් පිටත්වී තිබේ. තමිල්නාඩුවත්ත ප්‍රදේශයට දුමින්ද සිල්වා පැමිණි පසු ඔහුගේ ඇමැති ආරක්ෂක අධීක්ෂණ නිලධාරියා වූ ප්‍රියන්ත දිසානායක තවත් නිලධාරීන් පිරිසක් සමඟ එම ස්ථානයට ගොස් ඇත. ඒ යන විට පාරට ආසන්නයේ පුටුවක වාඩිවී සිටි දුමින්ද සිල්වා ඡන්දය දැමීමට යන ඡන්දදායකයන්ගෙන් ඡන්දය දමන්නේ කාටදැයි විමසමින් සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීමට පැමිණෙන අයට එසේ නොකරන ලෙස ඔහු පවසා ඇත. පෙරවරු 11.30ට පමණ දිවා ආහාරය සඳහා දුමින්ද සිල්වා ඇතුළු පිරිස රමේෂ් නම් පුද්ගලයකුගේ නිවසට පැමිණ එහිදී මත්පැන් පානය කර තිබේ. දහවල් 12ට පමණ චමින්ද රවී ජයනාත් ද තමිල්නාඩුවත්තට පැමිණ ඇති අතර, එතැන සිටි පිරිසෙන් කිහිපදෙනෙක් කණ්ඩායමක් ලෙස පස්වරු 2.45ට තමිල්නාඩුවත්තෙන් පිටත් වී තිබේ. ඔවුන් පිටත් වී තිබුණේ සුමුදු රුක්ෂාන් නම් අපේක්ෂකයාගේ නිවසට යෑමට ය.

සුමුදුගේ නිවසට යන අතරතුර කන්දේ විහාරය නම් ස්ථානයේදී වාහන පෙළ නතර කරන ලෙස දුමින්ද සිල්වා මහතා දැනුම් දී ඇත. දුමින්ද සිල්වා ගමන් ගත් ඩිෆෙන්ඩර් රිය මුලින්ද, ආරක්ෂක නිලධාරීන් (එම්එස්ඩී) සිටි වාහනය පිටුපසින්ද තිබී ඇති අතර, දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයක් රැගත් පෙජරෝව පිටුපසින්ම ය. කන්දේ විහාරය අසල වාහන පෙළ නතර කළ පසු දුමින්ද සිල්වාගේ නියෝග මත අනුර තුෂාර ද මෙල් විසින් චමින්ද රවී ජයනාත් වෙත ටී 56 ගිනිඅවියක් ලබා දී ඇත. එය නීතිවිරෝධී ගිනිඅවියකි. ගිනිඅවි හුවමාරුවෙන් පසු පිරිස පිටත්වී අඹතලේට යන ගමනේදී රාජසිංහ විද්‍යාලය අසල නතර කර ඇත. එතැනදී දුමින්ද සිල්වා විසින් සෝලංගආරච්චිට සහයෝගය දක්වන තරුණයකුට පහරදෙනු ලැබ තිබේ.

ප්‍රසන්න සෝලංගආරච්චි

යළිත් වරක් පිටත්වූ පිරිස ඊළඟට වාහන පෙළ නතර කර ඇත්තේ රාහුල විද්‍යාලය අසල ය. ප්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිඳ ද ඡන්දය දැමීමට එම ස්ථානයට පැමිණ තිබුණු අතර, දුමින්ද සිල්වා මහතා එම කාන්තාවට බැණවැදී ඇත. ඇය ඡන්දය භාවිත කළේ කාටදැයි දුමින්ද සිල්වා විමසා ඇති අතර, තම සැමියා වන සෝලංගආරච්චිට ඡන්දය දුන් බව ඇය කියා තිබේ. දුමින්ද සිල්වා ඇය දෙසට එද්දී එතැන සිටි ‘පිංකි අක්කා’ නම් කාන්තාවක විසින් ඇය අනුර කඩය නම් කඩය ළඟට කැඳවාගෙන ගොස් තිබේ. දුමින්ද සිල්වා සමඟ සිටි පිරිස ඡන්ද මධ්‍යස්ථානය අසල සිට ඇත්තේ ටී 56 ගිනි අවි ප්‍රදර්ශනය කරමිනි. එම ස්ථානයේ මද වේලාවක් රැදී සිටි පිරිස පසුව හිඹුටාන හන්දිය දෙසට ගොස් ඇත.

පාර හරස් කර, දුමින්ද භාරතට පහර‌ දෙයි

දුමින්ද ඇතුළු පිරිස ඉදිරියට යද්දී හිඹුටාන හන්දිය අසලදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ වාහනය විරුද්ධ පැත්තෙන් පැමිණ තිබේ. ඒ සමඟම භාරතගේ වාහනයට ඉදිරියට යෑමට නොහැකි වන පරිදි දුමින්දගේ වාහනය පාර හරස් කරමින් නතර කර ඇත. දුමින්ද සිල්වා සහ භාරත ලක්ෂ්මන් අතර වාදයක් හට ගැනිණි. වචන හුවමාරුවට එහා ගොස් දුමින්ද සිල්වා විසින් භාරතට පහරක් එල්ල කර තිබේ.

දුමින්ද විසින් භාරතට පහර දෙනු ලැබීමත් සමඟම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂක නිලධාරියා වූ රාජපුරගේ ගාමිණී විසින් භාරත ලක්ෂ්මන් බේරාගැනීම සඳහා තම ගිනිඅවියෙන් දුමින්ද සිල්වා මහතා දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ සමඟම දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෙකු වූ ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලබොඩ හෙවත් ගලබොඩ ප්‍රියන්ත විසින් පිස්තෝලයකින් භාරතගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා ඇති අතර, ඉන් ඔහු බරපතළ තුවාල ලැබීය.

අනතුරුව දුමින්ද සිල්වාගේ පිරිස අත තිබූ නීතිවිරෝධී ටී56 ගිනිඅවියකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රටත් එම ස්ථානයේ සිටි තවත් පිරිසකටත් වෙඩි තබා ඇත. එම වෙඩිතැබීමෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දමිත දර්ශන ජයතිලක, මොහොමඩ් අෂීම් සහ මනිවේල් කුමාරස්වාමි යන පිරිස ජීවිතක්ෂයට පත්වූහ. මෙම වෙඩි තැබීමට භාවිත කළ නීතිවිරෝධී ගිනිඅවිය පසුව චමින්දගේ අනාවරණයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගැනිණි. එය එල්ටීටීඊය භාවිත කළ ගිනි අවියක් බව පසුව එම දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා තිබිණි.
මෙම සිදුවීමේදී ආර්.දුමින්ද සිල්වාට ද වෙඩි වැදී තිබුණු අතර, ඔහු ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට රැගෙන යනු ලැබීය.

ශානි අබේසේකර

මෙය දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය. ඒ නිසාම මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරිණි. එම දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයෙන් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනය කරන ලෙස එවකට දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා නියෝග කළේය. කෙසේ වෙතත් අදාළ දිනයේදී විශේෂ විමර්ශන ඒකකය අධීක්ෂණය කරන සහකාර පොලිස් අධිකාරීවරයා නොසිටියෙන් එය අධීක්ෂණය කිරීමට එවකට අධ්‍යක්ෂවරයා විසින් සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර පත්කරනු ලැබීය.

ශානි අබේසේකරගේ අධීක්ෂණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් මීට අදාළ විමර්ශන කටයුතු සිදු කළ අතර, විමර්ශන භාර පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා ය. විමර්ශනවලදී සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට පත් විය. කෙසේ වෙතත් සිද්ධියේ නිර්මාතෘ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත්තේ නැත. ඊට හේතුව වූයේ ඔහු ඒ වන විට ලංකාවෙන් පිට සිංගප්පූරුවේ ප්‍රතිකාර ගැනීමයි. මෙම විමර්ශනයේදී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම සහ ඔහුට එරෙහිව වරෙන්තු ලබා නොගැනීම ගැන අගතියට පත් පාර්ශ්වය නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දොස් නැගීය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කළේ සීඅයිඩීය දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගන්නේ පක්ෂග්‍රාහීව කටයුතු කරන නිසා බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ද ඒ දිනවල සීඅයිඩීයට එරෙහිව එවැනි ප්‍රකාශ කළේය. පසුව රංජන් රාමනායක කියා තිබුණේ තමන් එවැනි ප්‍රකාශයක් කළේ මෙම විමර්ශනය ශානි අබේසේකර විසින් දුමින්ද සිල්වාට පක්ෂග්‍රාහීව සිදුකරන බවට පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා ප්‍රකාශ කළ නිසා බවයි. පොලිස් පරීක්ෂක මෙරිල්, භාරත ලක්ෂ්මන්ගේ පවුලේ සාමාජිකයන් මුණගැසී ශානි අබේසේකර දුමින්ද සිල්වාට පක්ෂග්‍රාහීව විමර්ශන කරන බවට ප්‍රකාශ කර තිබිණි.

මේ අතර දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුවූ අතර, එම අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා දැනුම්දුන්නේ ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක දුමින්ද සිල්වා පසුවන බවයි. දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සීඅයිඩීය නියෝජනය කරමින් සිංගප්පූරුවට ගියේ පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතා ය. ඔහු ලබාගත් ප්‍රකාශයෙන් කියැවුණේ අදාළ සිදුවීම ගැන දුමින්ද සිල්වාට මතකයක් නැති බවයි. ඒ සමඟ යළිත් වරක් සීඅයිඩීය පක්ෂග්‍රාහීව විමර්ශන සිදුකරන බවට භාරතගේ පාර්ශ්වය චෝදනා කළේය.
දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගැනීම සහ ඔහුට එරෙහිව වරෙන්තුවක් ලබා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා ශානි අබේසේකර කැඳවා ප්‍රශ්න කළේය.

එම අවස්ථාවේ අබේසේකර මහතා කියා තිබුණේ දුමින්ද සිල්වා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ එන සංඥේය වරදක් කර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි. වරෙන්තුවක් නොමැතිව දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත හැකි බව අබේසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

සිංගප්පූරුවට ගොස් ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි අධිකරණයේදී අගතියට පත් පාර්ශ්ව විසින් ප්‍රශ්න කළ අවස්ථාවක ශානි අබේසේකර කියා තිබුණේ ඔහු සිහියක් නැතිව සිටිනා බව කියන නිසා ඔහු අත්අඩංගුවට ගත නොහැකි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සැකකරුවකු අත්අඩංගුවට ගත යුත්තේ චෝදනා කියාදීමෙන් අනතුරුව බවත්, නිසි සිහියක් නැති කෙනෙකුට චෝදනා කියාදිය නොහැකි බවත්, ඒ නිසා ඔහුට හරි සිහියක් එනතුරු අත්අඩංගුවට ගත නොහැකි බවත් ශානි අබේසේකර මහතා කියා සිටියේය. ‍

කෙසේ වෙතත් සුවය ලැබූ දුමින්ද සිල්වා මහතා ලංකාවට පැමිණි පසු සීඅයිඩීය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු රිමාන්ඩ් බාරයේ සිටි කාලයේ දිගටම සිටියේ නවලෝක රෝහලේ ය. බන්ධනාගාරයේ සිටියේ නැත. නවලෝක රෝහලේ සිටියදී ඔහුට ඇප නියම වූ අතර, ඊට පසුදිනම ඔහු රෝහලේ සිට නිවස බලා ගියේය.

මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව විභාග වනවිට අධිකරණය ඉදිරියේ සීඅයිඩීය වෙනුවෙන් කරුණු දැක්විය යුතු පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතා නඩුවට නොයෑම සම්බන්ධයෙන් අධිකරණයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. මෙම නඩුවට අගතිදායක වන අයුරින් කටයුතු කිරීම මත පසුව ඔහු අදාළ විමර්ශනයෙන් ඉවත් කරනු ලැබීය.

සැකකරුවන්ට නඩු පවරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලින් පසු විමර්ශන ගොනුව නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබීය. එම ලිපිගොනුව අධීක්ෂණය කළ නීතිපතිවරයා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළේය. නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයන් වීම, මනුෂ්‍ය ඝාතනය ඇතුළු චෝදනා 17ක් විත්තිකරුවන්ට එරෙහිව එල්ල විය. මෙය විශේෂ අධිකරණ කටයුත්තක් බැවින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කළේය. එහි සභාපති විනිසුරු වූයේ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ය. අනෙක් විනිසුරුවරුන් දෙදෙනා වූයේ පද්මිණී එම්.රණවක සහ එම්.සී.බී.එස්.මොරායස් යන විනිසුරුවරුන් ය.

මහාධිකරණයේ නඩු විභාගය අතරතුරදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබා දීම සඳහා සාක්කිකරුවෝ 118 දෙනෙක් නම් කරනු ලැබ සිටියහ. දීර්ඝ නඩු විභාගයකින් පසු මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා වන ශිරාන් ගුණරත්න මහතා එක් තීන්දුවකුත්, පද්මිණී එම්. රණවක මහත්මිය තවත් තීන්දුවකුත් ප්‍රකාශයට පත් කරනු ලැබූහ. ශිරාන් ගුණරත්න මහතා නියෝග කළේ මෙම නඩුවේ දුමින්ද සිල්වා ඇතුළු සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

පද්මිණී එම්. රණවක මහත්මිය නියෝග කළේ විත්තිකරුවන් 13 දෙනාගෙන් අට දෙනකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර, දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට මරණීය දණ්ඩනය, ජීවිතාත්තය දක්වා සිරදඬුවම් ඇතුළු දඬුවම් නියම කිරීමටයි. විනිශ්චය මණ්ඩලයේ අනෙක් විනිසුරුවරයා වූ එම්.බී.එස්.මොරායස් මහතා ද පද්මිණී එම්.රණවක මහත්මියගේ තීන්දුවට ඒකඟ විය. ඒ අනුව විනිසුරුවරුන් තිදෙනාගෙන් බහුතර විනිසුරුවරුන්ගේ මතය අනුව දුමින්ද සිල්වා ඇතුළු පිරිසට දඬුවම් නියම විය.

මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට

එසේ දඬුවම් නියම කිරීමට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ කිහිපදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළහ. එම අභියාචනය විභාගයට ගැනුණේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ය. අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එච්.එන්.ජේ.පෙරේරා සහ විජිත් කුමාර මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් එම පංච පුද්ගල විනිසුරු මඬුල්ල සමන්විත විය.
මෙම නඩුවේදී මහාධිකරණ විනිසුරුවරිය සහ මොරායස් විනිසුරුවරයා දුන් තීන්දුව වැරදි බව දිගින් දිගටම විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් කීහ. ශානි අබේසේකරලා විමර්ශනය නිසි ආකාරයට සිදු කර නැති බව ද දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් කියා සිටියහ. දීර්ඝ ලෙස ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුමඬුල්ල තීන්දු කළේ මහාධිකරණ විනිසුරු පද්මිණී එම්.රණවක සහ මොරායස් දුන් තීන්දු නීතියට අනුකූල බවයි.
1946 අංක 53 දරන පළාත් පාලන ආයතන මැතිවරණ පනතේ 81 ඒ, 82 සී (1) යන වගන්ති අනුව පළාත් පාලන මැතිවරණ දිනයකදී ඡන්දදායකයන්ට බලපෑම් කරමින් කටයුතු කළ නොහැකි බවත්, පිරිසක් එකතු වී ගිනිඅවි සමග ඡන්ද පොළවල් අසලට යා නොහැකි බවත්, එලෙස යෑම නීතිවිරෝධී බවත්, එලෙස කටයුතු කරන කණ්ඩායම නීතිවිරෝධී ජනරාශියක් බවත් අධිකරණ තීන්දුවේ සඳහන් වේ.

දුමින්දගේ දඬුවම විනිසුරුවරු පහක් ස්ථිර කරති

නීතිවිරෝධී ජන රාශියක කිසියම් සාමාජිකයකු කරන වරදකට එම නීතිවිරෝධී ජනරාශියේ සියලුම සාමාජිකයන් වගකිවයුතු බවට දණ්ඩනීති සංග්‍රහයේ 146 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබෙන බව එම වගන්තිය උපුටා දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පැහැදිලි කර තිබේ.
දුමින්ද සිල්වාට මෙම අපරාධයට ඇති වගකීම සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ ද සඳහන් තර තිබේ.
”ඔහුගේ (දුමින්ද සිල්වාගේ) හිසට වෙඩි තැබූ මොහොත දක්වාම 11 වන චූදිතයා (දුමින්ද සිල්වා) නීතිවිරෝධී රැස්වීමට නායකත්වය දී ඇත. මෙයින්, පළමු වෙඩි තැබීම සහ ප්‍රතිප්‍රහාරය අතර කාලයේ මිලි තත්පර වෙනසක් පමණක් තිබිය හැකි බවට අදහස් කර ගත හැකිය..
පාර්ශ්වයන් සහ අපරාධ සිදුවීම අතර කාලය හා අවකාශය අතර සැලකිය යුතු වෙනසක් සිදුවී ඇත්නම් හෝ වෙඩි තැබීමේ ක්‍රියාව කර ඇත්තේ මූලික වශයෙන් වෙනස් පුද්ගලයෙක් වූවා නම්, 11 වන චූදිතයා (දුමින්ද සිල්වා) නීතිවිරෝධී එක්රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇති බවට සහ එම ක්‍රියාවන්ගෙන් වෙන්වී ඇති බවට තර්ක කළ හැක.

නමුත් මා කලින් සාකච්ඡා කර ඇති ආකාරයට, ගිනිඅවිවලින් මියයෑම ඔවුන්ගේ අපරාධ වැඩපිළිවෙළ අනුව පූර්ව අනුමාන කළ හැකි ප්‍රතිඵලයකි. තත්පර 60 ක් හෝ ඊට ආසන්න කාලයක් පමණක් ගත වූ මෙම සිද්ධිය ආරම්භ වන විටම 11 වන චූදිතයා (දුමින්ද සිල්වා) එම අයුතු ජනරාශියේ සාමාජිකයෙකු වූ බව සත්‍යයකි.

ඒ අතරම, ඊට පෙර ඕනෑම වේලාවක, 11 වන චූදිතයා (දුමින්ද සිල්වා) රැස්වීමෙන් වෙන්වීමේ අදහසින් ක්‍රියා කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. 11 වන චූදිතයා (දුමින්ද සිල්වා) ආබාධ වනවාත් සමගම වාගේ මියගිය පුද්ගලයාට මාරාන්තික තුවාල සිදුවී ඇත.
ඔහු (දුමින්ද සිල්වා) නිතරම නීතිවිරෝධී එක්රැස්වීමේ ක්‍රියාකාරකම්වල නිරතවෙමින් ඒවාට සහාය ලබා දී තිබේ. එබැවින් නීතිවිරෝධී ලෙස එක්රැස්වීමේ පදනම මත අපරාධ චෝදනා පැවරිය හැකිය. එබැවින් ඔහු වරදකරු කිරීම සහ දඬුවම් නියම කිරීම නීතියට අනුකූල වේ.”

දුමින්දගේ නඩුවේදී පක්ෂග්‍රාහීව කටයුතු කළැයි විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පද්මිණී එම්.රණවක විනිසුරුවරිය ගැන ය. එහෙත් ඇය එම නඩුව විභාග කළ එක් විනිසුරුවරියක් පමණි. මහාධිකරණයේදී දුමින්ද සිල්වා වරදකරුවකු කරමින් ඇයට අමතරව විනිසුරු මොරායස් මහතාද නියෝග ලබා දී තිබේ. ඊට අමතරව මහාධිකරණ තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේදී එය විභාග කළ විනිසුරුවරුන් පස්දෙනාම දුමින්දට එරෙහි නඩු තීන්දුව සහ දඬුවම ස්ථිර කර තිබේ.

එනම් මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් අටදෙනකු දුමින්දගේ නඩුව විභාග කර ඇති අතර, එයින් එක් මහාධිකරණ විනිසුරුවරයකු හැරුණු විට සෙසු විනිසුරුවරුන් හත්දෙනාම දුමින්ද සිල්වා වැරදිකරු කරමින් ඔහුට දඬුවම් පැමිණවීමට නියෝග කර තිබේ. පක්ෂග්‍රාහීයැයි චෝදනා කෙරෙන විනිසුරු පද්මිණී එම්.රණවක මහත්මිය ද ඉවත් කළ විට විනිසුරුවරුන් හයදෙනකු දුමින්ද සිල්වා වැරදිකරු කර දඬුවම් නියම කරන ලෙස නියෝග කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරුණු බලය අවභාවිත කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදුන්නේ එවැනි තත්ත්වයක් තිබියදී ය.

මුලතිව් මාධ්‍ය සමාජයට හමුදාවෙන් තර්ජනයක් : එහෙම වැඩ හමුදාව කරන්නෙ නෑ – මාධ්‍ය අධ්‍යක්ෂ

0

මුලතිව් මාධ්‍ය සමාජය පිහිටි ස්ථානයට ගිය යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (24) එහි සියලු තොරතුරු ඉල්ලා තිබේ.
එහි ප්‍රධානීන්ගේ නම්, දුරකතන අංක, ලිපින ආදී සියලු තොරතුරු ලබාදෙන ලෙස ඔවුන් එහි සිටි මාධ්‍යවේදී කේ. කුමනන්ට බලකර ඇත. සිය බලසේනාංකාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බව ඔවුන්ගෙන් කළ විමසීමේදී පවසා තිබේ.

එහිදී අදාළ ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පවසා ඇත්තේ එසේ තොරතුරු ලබාදිය නොහැකි බවත්, එම තොරතුරු ලබාගැනීමට හේතුව නිශ්චිතව දැනගැනීමට අවශ්‍ය බවත් ය. දිගින්-දිගටම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම හමුදා නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

එම ස්ථානයට හමුදා සාමාජිකයන්ගේ මුල් පැමිණීම සිදු වී ඇත්තේ අද පෙරවරු 10.30ට ආසන්න වේලාවකදී ය. ඉන් පැය 03කට පසු, අද පස්වරු 1.40ට ආසන්න වේලාවකදී ගිනි අවි රැගත් හමුදා සාමාජිකයන් පිරිසක් සහිත යුද හමුදා ජීප් රථයක් වේගයෙන් එහි පැමිණි බවත්, එම රථය වේගයෙන් පිටුපසට ගෙන මොහොතක් නවතා තබා නැවත වේගයෙන් පිටත්ව ගිය බවත් thetime.lk වෙත අදහස් දක්වමින් මාධ්‍යවේදී කේ. කුමනන් පැවසීය.

මුලතිව් හි පිහිටි යුද හමුදා 591 බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් යූ.එස්.එන්.කේ. පෙරේරාගෙන මේ පිළිබඳව විමසීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ විය.

යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත්ගෙන් thetime.lk කළ විමසීමේදී ඔහු පැවසුවේ ප්‍රාදේශීය වශයෙන් මාධ්‍ය ආයතන සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමේ අරමුණෙන් මාධ්‍යවේදීන් සම්බන්ධ කරගැනීමේ කටයුතු මේ දිනවල සිදු වන බවයි.
මෙහිදී සිදු වී ඇත්තේ එවැන්නක් නොවන බව පැහැදිලි කිරීමෙන් පසු ඔහු පැවසුවේ එසේ තොරතුරු එකතු කිරීමේ කිසිදු වැඩසටහනක් යුද හමුදාව පාර්ශ්වයෙන් සිදු නොකරන බවයි.

“මේක ගිරවුන්ට බලෙන් චක්කරේ උගන්වන අධ්‍යාපන ක්‍රමයක් !” – භාග්‍ය සමීර ජයසේකර

0

වෘත්තියෙන් ගුරුවරයෙකු වන භාග්‍ය සමීර ජයසේකර පසුගිය දිනෙක ‘පඬුරු’ නමින් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය සහෘදගත කළේය. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන අප ඔහු සමඟ කළ සංවාදයකි.

සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික ජීවිත ගැට ගැහෙමින් ලොකු අර්බුදයකට ගිය වෙලාවක ඔබ අපිට ‘ජීවිතේ ලිහෙන කවි – පඬුරු’ නමින් කවි පොතක් සංග්‍රහ කරනවා. කවියකින් ජීවිතේ ලිහාගන්න පුළුවන් කියල ඔබ විශ්වාස කරනවද?

කවියකින් ජීවිතේ ලිහා ගන්න පුලුවන් කියල මම හිතනව. ඒකට හොඳම නිදර්ශන සපයන්නෙ මහගම සේකරයන්ගේ සාහිත්‍ය නිර්මාණ අතර අග්‍රඵලය ලෙස සලකන “ප්‍රබුද්ධ” නම් සොඳුරු කවි මංජුසාව.ලොව තුළ මානව ප්‍රේමයෙන් බැඳෙන මිනිස් සංහතිය වියෝගයන්හිදී තම ජීවිත සංසිඳුවා ගනු පිණිස දැනුවත්ව හෝ නොදැනුවත්ව යොදා ගන්නේ කලාව සහ සාහිත්‍ය බිහි කරනු ලබන සියුම් අංගෝපාංගයන් වන කවිය,ගීතය වැනි සෞන්දර්යාත්මක නිමැවුම්. ඒ වගේම අපේ ජීවිත ගැට ගැහෙන විවිධ සමාජ සංස්කෘතික කාරණා ගැන මධ්‍යස්ථ කෝණයක් ඔස්සේ සියුම්ව විග්‍රහ කිරීමට කවිය තුළ ප්‍රබල හැකියාවක් පවතින බව මගේ අදහසයි.මෙවන් පීඩාකාරී ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික වටපිටාවක් තුළ කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවත් මිනිස් වර්ගයා ගැට ගැහී පෙළෙමින් ඇති තැන් මගේ තරමින් පෙන්වා දෙමින් සමාජයේ සංවේදීතාවයන් හා මානව ප්‍රේමයේ ගිළිහුණු තැන් ගැන යළි සමාජ කතිකාවතක් නිර්මාණය කර සුවපත් කිරීමේ පරම අභිලාෂය ඇතිවයි මේ කෘතිය සම්පාදනය කළේ.

‘තමන්ගේම විඳුම් පිළිවෙතකට වැදී මනරම් කවියක් ලියමින් සිටින තරුණ කවියෙකුගේ කවි අසපුවක් ඔහුගෙන් දකිමි’ කියල ටිම්රාම් කීර්ති ඔබේ කවිය ගැන ලියනවා. ඔබේ කවි අසපුවේ සිට බලන විට ඔබට මේ මොහොතෙ කවිය පේන්නෙ කොහොමද, නැත්නම් ඔබ කවිය දකින්න උත්සහ කරන්නෙ කොහොමද?

මට දැනෙන හැඟෙන ආකාරයට නම් කවිය කියන්නෙ ඉතා ප්‍රභල වශයෙන් ජීවිතය සහ සමාජය විවරණය කළ හැකි සොබා දහමට ළඟින්ම නෑකම් කියන කලා අංගය කියල කියන්න පුලුවන්. ඒ වගේම කොයි කවුරු කොහොම කීවත් කවියක් තුළින් සිද්ධ වන්නේ සොඳුරු මානව ප්‍රකාශනයක් බැවින් කවිය විවිධ හැඩ හා රීතීන් තුළ බලහත්කාරකම් වලට ලක් නොකළ යුතුයි යන්න මගේ හැඟීමයි. එමෙන්ම කවිය සමාජ ගත වීමටත්,විවිධ අනුභූතීන් ඒ ආකාරයෙන්ම සම්ප්‍රේෂණයටත් කවියේ බස නූතන ව්‍යවහාරයේ සාධනීය ලක්ෂණ උකහා ගත යුතුයි.ඒ වගේම කවිය තුළ විවිධ ශානරයන් ඔස්සේ ගමන් කරමින් නිරන්තර යාවත්කාලීනවීම් සහිතව අත්දැකුම් ගබඩාව පෝෂණය කර ගනිමින් නිර්මාණකරනයේ යෙදීම ඉතාම වැදගත් මෙවන් කාල වාකවානුවක විශේෂයෙන්ම.

මේ තමයි කවි පොතක් කරන්න හොඳම වෙලාව කියන සංඥාව ඔබට ලැබුණෙ කොහොමද?

ලංකා සමාජය මේ තරම් රෝගී ව අසාධ්‍ය වූ කාලයක් මට නම් මතක නෑ මගේ ජීවිත කාලය තුළ.මේ තත්වයට මේ සොඳුරු දේශය පත් වීමට අනාදිමත් කාලයක පටන් රට පාලනය කළ අමන පාලක රැළ මෙන්ම ඒ පාලක පිරිසට වහල්කම් කළ යැපුම් මානසිකත්වයෙන් තවම මිදීමට නොහැකිව සිටින අපේ මුතුන්මිත්තාගේ සිට මා දක්වා වගකිව යුතුයි.ඒ වගේම මේ දක්වා වූ කලා හා සාහිත්‍ය භාවිතයේ දුර්වලතා ද මේ තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුමයි.ඉතිං මේ වගේ කාලයක ජන මනස නිවරදි දිශානතියක් ඔස්සේ යොමු කරමින් සමාජය සුවපත් කිරීම කවියා විතරක් නොවේ සමස්ථ කලාකාමී හදවත් දැරි සියල්ලන්ගේම යුතුකමක් කියල මම හිතනව.ඒ වෙනුවෙන් තමා මේ පඬුර පාඨකයා වෙත තිළිණ කරන්නේ.

‘ඇම ගිලීම’ හිසින් යුතු කවියෙ ඔබ මෙහෙම ලියනවා. ‘බිලී පිත්තක දෙකෙළවර – එක් පසෙක – ඇමට හසු වූ මිනිසෙකි – අනෙක් පස – මාළුවෙකි…’ කවියා වෙනත් සහ වෙනස් ඇසකින් ලෝකය දෙස බලන්නට දරන උත්සාහය ගැන ඔබේ තක්සේරුව මොකද්ද?

කවියෙක් පමණක් නොවෙයි මේ ලොව වෙසෙන ඕනෑම මනුශ්‍යයෙක් ලෝකය දිහා වෙනස් ඇහැකින් බැලුවොත් පමණයි ලෝකය තුළ ප්‍රගමනයක් සහ විවිධත්වයක් තුළින් නව විචිත්‍රත්වයක් ජනනය වන්නේ. ඉතින් මගේ හැඟීම කවියා මෙන්ම ඕනෑම කලාකරුවෙක් වෙනස් මානයන්ගෙන් ලෝකය දැකීම කලාවේත් සාහිත්‍යයේත් නවතාවයකට හේතු වන බවයි. ඒ වෙනස සමාජගත වීම චින්තන වෙනසකට වුණත් හිතකර අයුරින් බලපාන්න පුලුවන්.

ඔබ කෙටි කවිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බව පේනවා. කෙටි කවිය ගැන ඔබේ අදහස මොකද්ද?

කෙටි කවි ගැන කතා කරද්දි අපේ හැමෝම කතා කරන්නෙ හයිකු නම් ජපන් කවි සම්ප්‍රධාය ගැන. නමුත් හයිකු කවියේ සාධනීය ලක්ෂණ එක්කාසු කරගෙන අපට අනන්‍ය වූ කෙටි කවි කලාවක් බිහි වීම සිදු විය යුත්තක් කියල මම හිතනව. මොක ද ඇතැම් කෙටි කවිවල ප්‍රභලතාවයට තනි මිනිසුන් පමණක් නොව මුළු මහත් ජන සමාජයක චින්තාව සංවේදී අයුරින් නව මානයන් ඔස්සේ කැඳවා ගෙන යාමට හැකි බව මාගේ විශ්වාසයයි. එමෙන්ම නූතන ජන සමාජයේ අති ප්‍රවේගකාරී ජීවන රටාවටත් කෙටි කවිය උචිත වේ යන්න මගේ අදහසයි. ඉතිං මාත් කෙටි කවිය ගැන සාපේක්ෂව වැඩි අවධානයක් යොමු කර තිබෙන බව හැබෑවක්.

ඔබ සමාජ මාධ්‍ය ප්‍රමුඛ කරගෙන ලියන පරම්පරාවේ කෙනෙක්. සමාජ මාධ්‍ය ඔබට කොහොම වැඩබිමක් සහ උත්තේජනයක් වුණාද?

ඔව්, ඔබ හරියටම හරි ! මම සමාජ මාධ්‍ය තුළ “සයිබරේ රහ ම කවි ” නමින් සමූහයක් ද දැනට පවත්වාගෙන යනව. සමාජ මාධ්‍ය හරහා කවිය සහ තම කලාත්මක ප්‍රකාශනයන් ඉතාමත් ලෙහෙසියෙන් ජන ගත කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙනව. ඒ වගේම ඊට සමාජයේ විවිධ තරාතිරමේ සහෘදයන් දක්වන ප්‍රතිචාර ඉදිරි නිර්මාණයන්ට විශාල උත්තේජනයන් බවට පත් වෙනව.ඉතිං මම හිතනව සමාජ මාධ්‍ය හොඳ වැඩබිමක් කියල කවියන්ට මෙන්ම නිර්මාණකරනයේ යෙදෙන ඕනෑම කෙනෙක්ට ජන සමාජය ස්පර්ශ සංවේදීව කිරීමට.

ලියන – කියවන ඔබේ පරම්පරාව ගැන ඔබේ තක්සේරුව මොකද්ද?

ලියන කියවන අපේ පරම්පරාව ඉතා නිර්මාණාත්මකයි සහ යාවත්කාලීනවීම් සහිතයි කියල මට හිතෙනව.නමුත් ගොඩක් අයගෙ අත්දැකීම් ගබඩාව පෝෂණය වී ඇති මට්‍ටම ගැන තෘප්තිමත් විය නොහැකියි. ඒ වගේම අන් නිර්මාණ පරිශීලනයේ ද අඩුවක් දැනෙනව.ඒ වගේම ප්‍රේමය සහ විරහව කියන අනුභූතීන් වැඩි වශයෙන් සුලබ ලෙස ස්පර්ශ කරන බවක් පේනව.කවියා සතු සංවේදී සමාජ වගකීම පැහැර හරින බවක් හෝ පැහැර හැරෙන බවක් අපේ පරම්පරාව තුළ පේනව. ඒක සමාජයේ ගමන් කළ යුතු යහපත් දිශානතියට අහිත පිණිස හේතු විය හැකියි.නමුත් සමස්තයක් විදියට ගත්තම අපේ පරම්පරාවේ නිර්මාණ කෞෂල්‍යය ඉතා හොඳයි කියල මට හිතෙනව.

ඔබ ගුරුවරයෙක්. මේ දවස්වල ගුරුවරියන්ගේ සාරිය ගැන ලොකු සංවාදයක් ගොඩ නැගිලා. අධ්‍යාපනය කියන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් වෙනස් විය යුතු බව තමයි පේන්න තියෙන්නෙ. මේ සමස්ථය ගැන ඔබේ අදහස කොහොමද?

මේ සමස්ථ සමාජ ආර්ථික පරිහානියට වගකිව යුත්තේ මේ යැපුම් වහල් මානසිකත්වය පවත්වගෙන යන්න උල්පන්දම් දෙන කිසිම ප්‍රායෝගිකත්වයක් නැති සාම්ප්‍රදායික අධ්‍යාපන ප්‍රතිපත්තිය කියලයි මට එදා ඉඳලම හිතෙන්නෙ. සිසුන්ගේ කිසිම කුසලතාවයක් හරි හැටි අඳුනා ගත් හැකි අධ්‍යාපන ක්‍රමයක් නොවෙයි අපට තියෙන්නෙ. කොටින්ම කිව්වොත් සිංදු කියන ගිරවුන්ට බලහත්කාරෙන් චක්කරේ උගන්නල අධ්‍යාත්මය මරල දාන බහුබූත නිශ්ඵල ව්‍යායාමයක්. මේ රටාව තුළ බිහි වෙන්නෙ හිතන්න පුලුවන් හැකියාවක් නැති, කොඳු නාරටි කඩා ගත්තු අසංවේදී එහෙයියො, වන්දිභට්ටයො ටිකක් විතරයි. ඒක උදව් වෙන්නෙ අමන පාලක රැළගෙ ප්‍රගමනයට පමණයි, රටට නොවෙයි. ඉතිං ඒ වගේ ග්‍රාම්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ඇති වටපිටාවක ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් වුණත් නැතැත් අවශ්‍ය සිදු විය යුතු සමාජ ප්‍රගමනයට හෝ වෙනස කිසි සේත් සිදු වන්නෙ නෑ කියන එකයි මගේ හැඟීම.

පාසැල තුළ කවියට, සාහිත්‍යට ලැබෙන ඉඩ කොහොමද?

පාසල තුළ කවියට සාහිත්‍යට ලැබෙන්නෙ ඉතා පුංචි අවකාශයක්හ.ර විෂයන් කීපයකට විතරක් බර පටවල දොස්තරලා,ඉංජිනේරුවො විතරක් පැටව් ගස්සන්න හදන අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ නිර්මාණාත්මක පරිකල්පන සහිත දරුවන් බිහි කරන එක ඉතා අසීරු දුෂ්කර කාර්‍යක්.නමුත් කලාවට සාහිත්‍යට පෙම් බඳින නව චින්තන ධාරා ඔස්සේ මනස මෙහෙයවිය හැකි දරු පිරිසක් බිහි උනොත් පමණයි අනාගතයේවත් අප රට නව මාවතකට ගෙන යා හැකි වන්නේ.වර්තමානික අපගේ යුතුකම හා සමාජ වගකීම වන්නේ ද එවන් උත්තර සමාජයකට අවැසි අනාගත පුරවැසි පිරිසක් බිහි කිරීමයි.

ඔබේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ‘පඬුරු’ දැන් සහෘදගත වෙලා තියෙනවා. පොත අවශ්‍ය අයට ඒක ගන්නෙ හෝ ගෙන්වා ගන්නෙ කොහොමද කියල කියමින් අපි මේ සංවාදය අවසන් කරමු?

මගේ කුළුඳුල් කවි පොත “පඬුරු” සහෘද ඔබට ඉතා හෘදයාංගමව බාර කරනව.ඒ වගේම එහි එන නිර්මාණ වල රස,නොරස හා ඔබට දැනුන විදිය ගැන අවංක අදහස් ප්‍රතිචාර මට ඉතාමත් වටිනවා.දැනට “පඬුරු” “සන්ථව” ප්‍රකාශන මැදුරෙන් ඔන්ලයින් මාර්ගයෙන් ගෙදරටම ගෙන්වා ගැනීමට හැකියි.නැතිනම් මගේ වට්සැප් අංකය 0719873706 හරහා විමසීමක් කරන්නත් පුලුවන් පොත අවශ්‍ය අයට.අවසාන වශයෙන් කිව යුත්තේ කවිය යනු ජීවිතයේත් සොබාදමේත් කලාත්මක මුහුණුවරක් බවයි.ඉතින් සබඳ අපට මේ අපූරු චාරිකාව එක්ව යා හැකියි.

සංවාදය – කසුන් සමරතුංග

දුමින්දට සමාව : අධිකරණයේ කරුණු දක්වන්නැයි ගෝඨාභයට නියෝග

0

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ දුමින්ද සිල්වාට ජනාධිපති සමාවදීම සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනිදා කරුණු දක්වන ලෙසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නොතිසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (නොවැ. 24) කැඳවූ අවස්ථාවේදී අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඔහුගේ බිරිඳ වූ සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

අදාළ පෙත්සම් අද (24) මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාල නියෝගය නිකුත් කළේය.

එම පෙත්සම්වලට අදාළව මීට පෙර මෝසමක් ගොනුකළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු එහි වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමට අවසර දුන් අතර එම පෙත්සම් සම්බන්ධයෙන් රාජපක්ෂට දෙසැම්බර් මස 16 වනදා අධිකරණ හමුවේ කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

නොතීසි භාර ගැනීම ප්‍රතික්ෂේප කරලා

එම නඩු විභාගය අතරතුර පෙත්සම්කාර සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළව වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි පුද්ගලික නිවස වෙත නොතීසි යැවුවද එම නොතීසි ආපසු හරවා එවා ඇතැයි සඳහන් කළේය.

එම නොතීසි “භාරගැනීම ප්‍රතික්ෂේප කරන ලදී” යනුවෙන් එහි සටහනක් යොදා තිබෙන බවත් නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු දුමින්ද සිල්වාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කළ බවත් එම මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තහවුරු කළ බවය.

එසේ තිබියදී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කර ඇති බවත් එසේ ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී අනුගමනය කළ යුතු නීතිමය ප්‍රතිපාදන නිසි පරිදි ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නොමැති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

ඒ තුළින් ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් අදාළ ජනාධිපති සමාව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

2011 ඔක්තෝම්බර් 08 වෙනිදා, බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ 2021 ජුනි 24 වෙනිදා නිදහස් කෙරිණි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 2022 මැයි 31 වැනිදා දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති සමාව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2022 ජුනි 01 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දුමින්ද සිල්වා එදින (01) පෙරවරුවේ ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත්කර තිබිණි.

පාඨකයා හට නිවී සැනසිල්ලේ තම වදන් අතර සරන්නැයි සුහද ඇරයුමක් කරන ‘ප්‍රේම සෘතුව’

0

‘ප්‍රේම සෘතුව’ -සුනන්දා රණසිංහ

අසූව දශකයෙහි කවිය මෙන්ම ජීවිතයද එකට වෙලාගත් දෙදෙනෙකි. එහෙයින් ඔවුන්ගේ කවිය වෙන්ව කියවීම අසීරුවිණි. අදටත් මගේ පොත් රාක්කයෙහි මේ දෙදෙන එකම කවි පොතෙහි එකට වෙලී පැටලී සිටිති. ඒ සුනන්දා රණසිංහ සහ විපුල හේවා වලිමුනි ය. එහෙත් දැන් මට සුනන්දාගේ කවි වෙන්ව කියවීමට අවස්ථාවක් ලැබී තිබේ. ඒ ඇගේ අලුත් කවි එකතුව ප්‍රේම සෘතුව නමින් පිටව ඇති හෙයිනි. ඒ කෘතිය පිටවන්නේද ඇය නොසිතූ මොහොතකය. පසුගියදා කවිවර ප්‍රකාශන හතරක් ඔිලුදුට මොහෝතදෙී ඊට සහභාගිව සිටි සුන්නදා විමතියට පත් කරමින් කවි කරුණාරත්න ඇය අත ඇගේ පොත තැබුවාය. මම වහා ඉන් පිටපතක් ගතිමි. මේ ඒ ගැන මගේ අදහස් කිහිපයකි.

සුනන්දාගේ කවි යනු ජීවන තක්සලාවේ මෙන්ම තම වෘත්තීය ජීවිතයට අයත් තක්සලාවෙහිද සෙමින් එහෙත් විමසිලිමත් දෑසින ඇවිද ගිය සැරියක පියසටහන් වැනිය. ඒවා වේගවත් නැත, පාඨක මනසට එක වර කඩාවදින්නේද නැත. ඒ වෙනුවට ඒ කවි පාඨකයා හට නිවී සැනසිල්ලේ තම වදන් අතර සරන්නැයි සුහද ඇරයුමක් කරයි. ඇගේ කවි රිද්මය රැක ගනියි. රිද්මය හරහාම අර්ථය වඩාත් පොහොසත් කරයි. පාඨකයාහට තමන් දන්නා, දකිනා ලෝකය වෙනස් මානයකින් විමසන්නට අත දෙයි.

ඇගේ කවි අතර සිය ගුරු දිවියෙහි ලද අත්දැකීම් ගණනාවක් ශේෂ පත දක්නට ලැබෙයි. එහෙත් ඒ කවි යනු හුදෙක් අතීතාවර්ජන, අතීතකාමී හෝ හුදු අත්දැකීම් එලෙසින්ම පැවසීම් නොවේ. ඒ වෙනුවට ඇය තම අත්දැකීම් හරහා රටේ අධ්‍යාපන පද්ධතියෙහි කාරම් බැඳුන පුවත විවිධ අංශ වලින් ගෙනහැර පායි. හරි පුදුම ඉස්කෝලෙ නම් පරසිදු කතාව ඇසුරින් ඇය අපේ හරි පුදුම ඉස්කෝල සහ බලධාරීන් ගැන කතා කරන්නේ මෙලෙසිනි.

එහෙම වුනත් චොට්ටො චාං
අර බලන්න
තාප්පයෙන් එබෙන මුහුණු
ඉල්ලන්නෙම
දොස්තර ඉංජිනේරු රූප විතරමය
ඔත්තු කාරියන් වෙන්නට
හංස විලේ රඟ දෙන්නට
ටිකට් වෙළෙන්දන් වෙන්නට
දරුවන්ට ඒ සිහින තහනම්ය

සැබැවි, අප කිසිවෙකුට හෝ දැුවන්ගේ චිසිතුරු ලොව අදාල නැත. ඒ වෙනුවට ඔවුන් ටාගට් පසුපස ලුහුබඳින ජීවී කොට්ටාශයක් වීමම සෑහෙයි. ඇය යළිත් තැළුම් කෑ අය යන කවියෙහි අතීත ගුරු ගෝල සබඳතාවක වත්මන් පුවත දිගහරියි. ගෝල තෙමේ පොලේ වෙළඳම් කරන්නෙකි. පාසලේදී තැලුම් කෑවෙකි. අනෙක් අතින් ගුරු තෙමේද ජීවිතයෙහි වියපත් සමය ගත කරන ආර්ථික පීඩනයේ ගොදුරකි. දෙදෙන හමුවනුයේ පොලෙහිදීය. ගුරු තතු සුනන්දා ඉදාිරිපත් කරනුයේ අපූර්ව ආකාරයකටය. ඇය ඒ සඳහා බහු අරුත් දනවන අයුරින් එළවළුම අරගන්නීය.

ටක්කෙටම අද වෙන්නැති
සර්ලට පෙන්ෂන් පඩි
සිලි උරේකුත් අරන්
සර් ඒකයි ඇවිත්
ගන්න එළවළු පහේ මොකවත්

තැළුනේ පොඩිවුනෙ නැති
එළවලු බක්කි වල ඇති
තැළුම් කෑ අය බිම ඇති
ගොඩක් විස්සට දෙත හැකි
එ දවස පංතියේ අපි පිටිපස්සෙ හිටියා වැනි

කාලය ගෙවී ගොසිනි. ජීවිතයෙහි භූමිකා විකෘතව ගොසිනි. අද ගුරුතෙමේ ජීවිතයෙහි සැඳෑ සමය ගෙවනුයේ අසීරුවෙනි. ඇය ඒ පුවත ඉදිරිපත් කරනුයේ ව්‍යංගය පිහිටට ගනිමිනි.

තුනටියට එක අතක් ගහගෙන
අමාරුත් ඇතිනෙ බිම නැමෙනෙක
තැඝුම් කෑ අයටමයි සර්ගෙ හිත
දෙන්න සිලි උරේ මාතට

ඇය ඉන්පසුව ගුරුවරයාගේ ඉරණම සමපාත කරනුයේ සමස්ත සමාජයේම බහුතර කොටක ගේ අත්දැකීමටය.

තැළුනෙ පොඩිවුනෙ නැති
අය බක්කියෙම සිටියද
තැළුණු අයටම හිත ඇති
සර් වගෙ අය මෙතැන හිඟ නැති

ගුත්තිල ඇදුරිඳුගේ පාපෝච්චාරණය අපේ සම්භාව්‍ය සාහිත්‍යෙයෙන් ගත් අත්දැකීම හරහා නූතනය කියවීමට ගන්නා පිවිසුමකි. නූතන ගුත්තිල කියනුයේ තමන් සුරුවෙකු නොව මේ පද්ධතියේම ගොදුරක්ව ජාම බේරාගන්නට වැඩ කල
කුලීකරුවෙකු බවයි.

සිඳ හෝ බඹර තත
නොනැංවී නම් වෙණ නද
ගෙලෙන් සිඳ මගෙ හිස
සොයනු පිණිසම එය
කොමිසමක් පත් කරනු සැක නැත

හිතේ නළියන තරහ නම් කවද අපූරු නිර්මාණයකි. එය අපේ අධ්‍යාපන පද්ධතියෙහි ගුරුවරුන් සහ සිසුන් අතර ඇති අනවබෝධය, යෞවන විය තේරුම් නොගැනීම මෙන්ම ජීවිතය දෙස පුළුල් ඇසකින් බැලීමට වැඩිහිටියනට ඇති නොහැකියාව නැතිනම් සූදානම් නැතිකම විචාරයට ලක් කරයි.

අඹ ගහේ හෙවණට මුවා වී
සොමෙ නංගිගෙ මූණ ඉම්බම
බොරලු මිදුලේ කට්ට අවුවේ
මෙමා දණගැස්සුවට වරුවක්
ගණන් මිස් ඇත්තමයි මගෙ හිතෙ
තිබුණෙ නම් නෑ කිසිම කහටක්

සිසුවා කියන්නේම තමන්ගේ යෞවන පෙමට ඉඩ නොලැබුණ අයුරමය. විනය නීති සහ විනය කමිටු මැද තම යෞවන විය මිලින කරන ලද අන්දමය. එහි අවසානය ය මේ.

එදා මගෙ නම ළඟින් ලියුවුණු
ධන ලකුණු ඔක්කෝම සෘණ කොට
මෙදචා හතළිස් වියෙත්ි මේ ලෙස
තවම තනිකඩ මොකෝ ඇහුවම
හිතේ නළියන තරහ ගැන නම්
කියන්නට මට වචන නෑ මිස

විටෙක ඇය මිනිස් හැඟුම් මෙන්ම ඒ යටපත් කර තබන සම්මතයන් මැද නිහඬව වැලපෙන ආත්මයන්හී තානය අල්ලන්නට උත්සුක වෙයි. අලුත් තරුණ ලේකම්වරිය ළඟ මැදිවියේ ආයතන ප්‍රධානියා ඊට කදිම උදාහරණයකි. එසේම දඩබ්බරයෙක් දෙනන මට නමින් එන කවියද පරිසර සාධක, සොබා දහමේ චලනයන් අතර හිඳ ජීවිතය කියවන්නට දරන සියුම් උත්සාහයකි. කඳු හෙල් අතර සිට පහලට ගලන දිය පහරේ වැදී වටකුරුව එන ගල් යනු මිලක් නියම වෙන, නිවෙස් අලංකරණයට මහත් කැමැත්තෙන් ගනු ලබන දෙයකි. කිවිඳිය මේ යථාර්තය මැදින් ජීවිතයෙහි ගැඹුරක් දකින්නට මාවතක් විවර කරයි.

තලාවේ පතුළතෙහි අතුළ
දුර ගමන් පැමිණි ගල් වටකුරුය
වටමටය කීකරුය පියකරුය
උන් කරා ඇදෙන නෙත් අපමණය

එසේ වුව
දිය පතුළ කිමිදෙමින් සොයමි මම
අකීකරු රළු ගලක්
ඉහිලුවත් රිදුම් පැරදුම් කොතෙක්
තම හැඩය අත් නොහැර ආ මෙතෙක්
සැබෑ සවිමත් ගලක්
අකීකරු දඩබ්බර රළු ගලක්

ඇය පෙම සහ වියෝගය කියවන ආකාරයද සිත් ගන්නාසුළුය. පළමු පෙම්පත නම් කවිය හරහා ඇය අතීත පෙමක සියුම් සංවේදනයන් මතු කරනුයේ එය නූතනය හා බද්ධ කරමිනි. එහි ඇය වත්මනෙහි තාක්ෂණ මෙවලම අතර අසංවේදීව යන ජීවිත දෙසද හැරෙයි. ඇගේ තරුණ යුගයට අයත් පෙම්පත සහ එය නියෝජනය කරනා කරදාසිය පවා වෙනස් අවධියක මතකාවර්ජනයක් මෙන්ම සමාජ විපරිනාමයක හැරවුම් ලක්ෂයක ලකුණකි.

එකල සුවඳැති පතක් වූ මෙහි
රෝස කුසුමක් තිබිණි කෙලවර
කාලයේ දිගු මග විඩාවෙන්
එ මල මිලිනව ගිය ලකුණු වෙත

මේ ඇය වර්තමානයට පිවිසෙන මොහොතයි.

නවා පෙම්පත තබා සුරැකිව
බලමි මෑතින් හිඳින දූ දෙස
හසුව කෙටි පණිවිඩ සුළඟකට
හිඳී ඇය මා නුදුට දෑසින

ඇගේ කෘතියෙහි එන මතක හිටිනා කවි ගණනාවක් අතරින් තවත් එක කවක් වෙසෙසින්ම කියවිය යුතුය. ඒ ඇය පොදු අත්දැකීමක් ඉදිරිපත් කරන්නට භාවිතා කරනා කාව්‍යමය පිවිසුමෙහි ඇති විශේෂත්වය හේතුවෙනි. ඇය කවිය නම් කරන්නේ මටත් වෙන්නෙ ඔය ටිකමයි යනුවෙනි. මෙහිදී කතා කරනුයේ ඉසුරුමුණියෙහි පෙම් යුවළේ පෙම්වතියයි. ඇය කතා කරනුයේ තමන් දෙස බලා විස්සෝපයෙන් යන වියපත් කතකටය. ඇය පසුවන්නී විරහවෙනි. එහෙත් ඇය පෙර දවසක පෙම් යුවළ නරඹන්නට එන්නේ පෙම්වතකුගේ අතේ දැවටී ගෙනය. ඇය කවි අරඹන්නේ වර්තමානයෙනි.

ඉසුරුමුණියට ආපු දවසට නුඹ මෙතෙන්ටම ඇදෙනවා
හොරෙන් අප දෙස බල බලා නුඹ
සුසුම ලන බව දන්නවා

ඇය ඉන්පසු අතීතයට පිවිසෙයි.

බොහොම ඉස්සර ඈත දවසක
ඔහුගෙ අත අරගෙන පෙමින්
නුඹ ගියා මට හොඳට මතකයි
අප දිහා බලමින් හොරෙන්
අපි වගේ හැමදාම ඉන්නට
දුන් පිළිණ කඩකර හෙමින්
යන්න ඇති ඔහු ලිහා අත්වැල
දා වැටුණු තරුවක් ලෙසින්

මෙහි වටනාම කොටස ඇය අවසනට පවසන දෙයයි.

කාත් කවුරුත් නැතුව නුඹ අද
ජීවිතේ තනි මංසලේ
සිටින මුත් ඔහු එනව සතුටින්
ඇයගෙ අත අරගෙන මෙහේ
එදා සිත්තරු මගේ ළඟ මොහු
තබා නොකෙටුව නම් ගලේ
මටත් අද ඔය ටිකම වෙනවට
කිසිම සැකයක් නෑ නගේ

සුනන්දාගේ නව කවි කෘතිය යනු මතක සිටිනා කවි එකතුවකි. ඇගේ දසවන කාව්‍ය කෘතිය ඇය තමන් මෙතෙක් ආ ගමනෙහි තවත් ඉදිරි පියවරක්ම බව අවසානයට පවසමි.

චූලානන්ද සමරනායක