‘ප්‍රේම සෘතුව’ -සුනන්දා රණසිංහ
අසූව දශකයෙහි කවිය මෙන්ම ජීවිතයද එකට වෙලාගත් දෙදෙනෙකි. එහෙයින් ඔවුන්ගේ කවිය වෙන්ව කියවීම අසීරුවිණි. අදටත් මගේ පොත් රාක්කයෙහි මේ දෙදෙන එකම කවි පොතෙහි එකට වෙලී පැටලී සිටිති. ඒ සුනන්දා රණසිංහ සහ විපුල හේවා වලිමුනි ය. එහෙත් දැන් මට සුනන්දාගේ කවි වෙන්ව කියවීමට අවස්ථාවක් ලැබී තිබේ. ඒ ඇගේ අලුත් කවි එකතුව ප්‍රේම සෘතුව නමින් පිටව ඇති හෙයිනි. ඒ කෘතිය පිටවන්නේද ඇය නොසිතූ මොහොතකය. පසුගියදා කවිවර ප්‍රකාශන හතරක් ඔිලුදුට මොහෝතදෙී ඊට සහභාගිව සිටි සුන්නදා විමතියට පත් කරමින් කවි කරුණාරත්න ඇය අත ඇගේ පොත තැබුවාය. මම වහා ඉන් පිටපතක් ගතිමි. මේ ඒ ගැන මගේ අදහස් කිහිපයකි.
සුනන්දාගේ කවි යනු ජීවන තක්සලාවේ මෙන්ම තම වෘත්තීය ජීවිතයට අයත් තක්සලාවෙහිද සෙමින් එහෙත් විමසිලිමත් දෑසින ඇවිද ගිය සැරියක පියසටහන් වැනිය. ඒවා වේගවත් නැත, පාඨක මනසට එක වර කඩාවදින්නේද නැත. ඒ වෙනුවට ඒ කවි පාඨකයා හට නිවී සැනසිල්ලේ තම වදන් අතර සරන්නැයි සුහද ඇරයුමක් කරයි. ඇගේ කවි රිද්මය රැක ගනියි. රිද්මය හරහාම අර්ථය වඩාත් පොහොසත් කරයි. පාඨකයාහට තමන් දන්නා, දකිනා ලෝකය වෙනස් මානයකින් විමසන්නට අත දෙයි.
ඇගේ කවි අතර සිය ගුරු දිවියෙහි ලද අත්දැකීම් ගණනාවක් ශේෂ පත දක්නට ලැබෙයි. එහෙත් ඒ කවි යනු හුදෙක් අතීතාවර්ජන, අතීතකාමී හෝ හුදු අත්දැකීම් එලෙසින්ම පැවසීම් නොවේ. ඒ වෙනුවට ඇය තම අත්දැකීම් හරහා රටේ අධ්‍යාපන පද්ධතියෙහි කාරම් බැඳුන පුවත විවිධ අංශ වලින් ගෙනහැර පායි. හරි පුදුම ඉස්කෝලෙ නම් පරසිදු කතාව ඇසුරින් ඇය අපේ හරි පුදුම ඉස්කෝල සහ බලධාරීන් ගැන කතා කරන්නේ මෙලෙසිනි.
එහෙම වුනත් චොට්ටො චාං
අර බලන්න
තාප්පයෙන් එබෙන මුහුණු
ඉල්ලන්නෙම
දොස්තර ඉංජිනේරු රූප විතරමය
ඔත්තු කාරියන් වෙන්නට
හංස විලේ රඟ දෙන්නට
ටිකට් වෙළෙන්දන් වෙන්නට
දරුවන්ට ඒ සිහින තහනම්ය
සැබැවි, අප කිසිවෙකුට හෝ දැුවන්ගේ චිසිතුරු ලොව අදාල නැත. ඒ වෙනුවට ඔවුන් ටාගට් පසුපස ලුහුබඳින ජීවී කොට්ටාශයක් වීමම සෑහෙයි. ඇය යළිත් තැළුම් කෑ අය යන කවියෙහි අතීත ගුරු ගෝල සබඳතාවක වත්මන් පුවත දිගහරියි. ගෝල තෙමේ පොලේ වෙළඳම් කරන්නෙකි. පාසලේදී තැලුම් කෑවෙකි. අනෙක් අතින් ගුරු තෙමේද ජීවිතයෙහි වියපත් සමය ගත කරන ආර්ථික පීඩනයේ ගොදුරකි. දෙදෙන හමුවනුයේ පොලෙහිදීය. ගුරු තතු සුනන්දා ඉදාිරිපත් කරනුයේ අපූර්ව ආකාරයකටය. ඇය ඒ සඳහා බහු අරුත් දනවන අයුරින් එළවළුම අරගන්නීය.
ටක්කෙටම අද වෙන්නැති
සර්ලට පෙන්ෂන් පඩි
සිලි උරේකුත් අරන්
සර් ඒකයි ඇවිත්
ගන්න එළවළු පහේ මොකවත්
තැළුනේ පොඩිවුනෙ නැති
එළවලු බක්කි වල ඇති
තැළුම් කෑ අය බිම ඇති
ගොඩක් විස්සට දෙත හැකි
එ දවස පංතියේ අපි පිටිපස්සෙ හිටියා වැනි
කාලය ගෙවී ගොසිනි. ජීවිතයෙහි භූමිකා විකෘතව ගොසිනි. අද ගුරුතෙමේ ජීවිතයෙහි සැඳෑ සමය ගෙවනුයේ අසීරුවෙනි. ඇය ඒ පුවත ඉදිරිපත් කරනුයේ ව්‍යංගය පිහිටට ගනිමිනි.
තුනටියට එක අතක් ගහගෙන
අමාරුත් ඇතිනෙ බිම නැමෙනෙක
තැඝුම් කෑ අයටමයි සර්ගෙ හිත
දෙන්න සිලි උරේ මාතට
ඇය ඉන්පසුව ගුරුවරයාගේ ඉරණම සමපාත කරනුයේ සමස්ත සමාජයේම බහුතර කොටක ගේ අත්දැකීමටය.
තැළුනෙ පොඩිවුනෙ නැති
අය බක්කියෙම සිටියද
තැළුණු අයටම හිත ඇති
සර් වගෙ අය මෙතැන හිඟ නැති
ගුත්තිල ඇදුරිඳුගේ පාපෝච්චාරණය අපේ සම්භාව්‍ය සාහිත්‍යෙයෙන් ගත් අත්දැකීම හරහා නූතනය කියවීමට ගන්නා පිවිසුමකි. නූතන ගුත්තිල කියනුයේ තමන් සුරුවෙකු නොව මේ පද්ධතියේම ගොදුරක්ව ජාම බේරාගන්නට වැඩ කල
කුලීකරුවෙකු බවයි.
සිඳ හෝ බඹර තත
නොනැංවී නම් වෙණ නද
ගෙලෙන් සිඳ මගෙ හිස
සොයනු පිණිසම එය
කොමිසමක් පත් කරනු සැක නැත
හිතේ නළියන තරහ නම් කවද අපූරු නිර්මාණයකි. එය අපේ අධ්‍යාපන පද්ධතියෙහි ගුරුවරුන් සහ සිසුන් අතර ඇති අනවබෝධය, යෞවන විය තේරුම් නොගැනීම මෙන්ම ජීවිතය දෙස පුළුල් ඇසකින් බැලීමට වැඩිහිටියනට ඇති නොහැකියාව නැතිනම් සූදානම් නැතිකම විචාරයට ලක් කරයි.
අඹ ගහේ හෙවණට මුවා වී
සොමෙ නංගිගෙ මූණ ඉම්බම
බොරලු මිදුලේ කට්ට අවුවේ
මෙමා දණගැස්සුවට වරුවක්
ගණන් මිස් ඇත්තමයි මගෙ හිතෙ
තිබුණෙ නම් නෑ කිසිම කහටක්
සිසුවා කියන්නේම තමන්ගේ යෞවන පෙමට ඉඩ නොලැබුණ අයුරමය. විනය නීති සහ විනය කමිටු මැද තම යෞවන විය මිලින කරන ලද අන්දමය. එහි අවසානය ය මේ.
එදා මගෙ නම ළඟින් ලියුවුණු
ධන ලකුණු ඔක්කෝම සෘණ කොට
මෙදචා හතළිස් වියෙත්ි මේ ලෙස
තවම තනිකඩ මොකෝ ඇහුවම
හිතේ නළියන තරහ ගැන නම්
කියන්නට මට වචන නෑ මිස
විටෙක ඇය මිනිස් හැඟුම් මෙන්ම ඒ යටපත් කර තබන සම්මතයන් මැද නිහඬව වැලපෙන ආත්මයන්හී තානය අල්ලන්නට උත්සුක වෙයි. අලුත් තරුණ ලේකම්වරිය ළඟ මැදිවියේ ආයතන ප්‍රධානියා ඊට කදිම උදාහරණයකි. එසේම දඩබ්බරයෙක් දෙනන මට නමින් එන කවියද පරිසර සාධක, සොබා දහමේ චලනයන් අතර හිඳ ජීවිතය කියවන්නට දරන සියුම් උත්සාහයකි. කඳු හෙල් අතර සිට පහලට ගලන දිය පහරේ වැදී වටකුරුව එන ගල් යනු මිලක් නියම වෙන, නිවෙස් අලංකරණයට මහත් කැමැත්තෙන් ගනු ලබන දෙයකි. කිවිඳිය මේ යථාර්තය මැදින් ජීවිතයෙහි ගැඹුරක් දකින්නට මාවතක් විවර කරයි.
තලාවේ පතුළතෙහි අතුළ
දුර ගමන් පැමිණි ගල් වටකුරුය
වටමටය කීකරුය පියකරුය
උන් කරා ඇදෙන නෙත් අපමණය
එසේ වුව
දිය පතුළ කිමිදෙමින් සොයමි මම
අකීකරු රළු ගලක්
ඉහිලුවත් රිදුම් පැරදුම් කොතෙක්
තම හැඩය අත් නොහැර ආ මෙතෙක්
සැබෑ සවිමත් ගලක්
අකීකරු දඩබ්බර රළු ගලක්
ඇය පෙම සහ වියෝගය කියවන ආකාරයද සිත් ගන්නාසුළුය. පළමු පෙම්පත නම් කවිය හරහා ඇය අතීත පෙමක සියුම් සංවේදනයන් මතු කරනුයේ එය නූතනය හා බද්ධ කරමිනි. එහි ඇය වත්මනෙහි තාක්ෂණ මෙවලම අතර අසංවේදීව යන ජීවිත දෙසද හැරෙයි. ඇගේ තරුණ යුගයට අයත් පෙම්පත සහ එය නියෝජනය කරනා කරදාසිය පවා වෙනස් අවධියක මතකාවර්ජනයක් මෙන්ම සමාජ විපරිනාමයක හැරවුම් ලක්ෂයක ලකුණකි.
එකල සුවඳැති පතක් වූ මෙහි
රෝස කුසුමක් තිබිණි කෙලවර
කාලයේ දිගු මග විඩාවෙන්
එ මල මිලිනව ගිය ලකුණු වෙත
මේ ඇය වර්තමානයට පිවිසෙන මොහොතයි.
නවා පෙම්පත තබා සුරැකිව
බලමි මෑතින් හිඳින දූ දෙස
හසුව කෙටි පණිවිඩ සුළඟකට
හිඳී ඇය මා නුදුට දෑසින
ඇගේ කෘතියෙහි එන මතක හිටිනා කවි ගණනාවක් අතරින් තවත් එක කවක් වෙසෙසින්ම කියවිය යුතුය. ඒ ඇය පොදු අත්දැකීමක් ඉදිරිපත් කරන්නට භාවිතා කරනා කාව්‍යමය පිවිසුමෙහි ඇති විශේෂත්වය හේතුවෙනි. ඇය කවිය නම් කරන්නේ මටත් වෙන්නෙ ඔය ටිකමයි යනුවෙනි. මෙහිදී කතා කරනුයේ ඉසුරුමුණියෙහි පෙම් යුවළේ පෙම්වතියයි. ඇය කතා කරනුයේ තමන් දෙස බලා විස්සෝපයෙන් යන වියපත් කතකටය. ඇය පසුවන්නී විරහවෙනි. එහෙත් ඇය පෙර දවසක පෙම් යුවළ නරඹන්නට එන්නේ පෙම්වතකුගේ අතේ දැවටී ගෙනය. ඇය කවි අරඹන්නේ වර්තමානයෙනි.
ඉසුරුමුණියට ආපු දවසට නුඹ මෙතෙන්ටම ඇදෙනවා
හොරෙන් අප දෙස බල බලා නුඹ
සුසුම ලන බව දන්නවා
ඇය ඉන්පසු අතීතයට පිවිසෙයි.
බොහොම ඉස්සර ඈත දවසක
ඔහුගෙ අත අරගෙන පෙමින්
නුඹ ගියා මට හොඳට මතකයි
අප දිහා බලමින් හොරෙන්
අපි වගේ හැමදාම ඉන්නට
දුන් පිළිණ කඩකර හෙමින්
යන්න ඇති ඔහු ලිහා අත්වැල
දා වැටුණු තරුවක් ලෙසින්
මෙහි වටනාම කොටස ඇය අවසනට පවසන දෙයයි.
කාත් කවුරුත් නැතුව නුඹ අද
ජීවිතේ තනි මංසලේ
සිටින මුත් ඔහු එනව සතුටින්
ඇයගෙ අත අරගෙන මෙහේ
එදා සිත්තරු මගේ ළඟ මොහු
තබා නොකෙටුව නම් ගලේ
මටත් අද ඔය ටිකම වෙනවට
කිසිම සැකයක් නෑ නගේ
සුනන්දාගේ නව කවි කෘතිය යනු මතක සිටිනා කවි එකතුවකි. ඇගේ දසවන කාව්‍ය කෘතිය ඇය තමන් මෙතෙක් ආ ගමනෙහි තවත් ඉදිරි පියවරක්ම බව අවසානයට පවසමි.
චූලානන්ද සමරනායක