වෘත්තියෙන් ගුරුවරයෙකු වන භාග්‍ය සමීර ජයසේකර පසුගිය දිනෙක ‘පඬුරු’ නමින් සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහය සහෘදගත කළේය. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන අප ඔහු සමඟ කළ සංවාදයකි.
සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික ජීවිත ගැට ගැහෙමින් ලොකු අර්බුදයකට ගිය වෙලාවක ඔබ අපිට ‘ජීවිතේ ලිහෙන කවි – පඬුරු’ නමින් කවි පොතක් සංග්‍රහ කරනවා. කවියකින් ජීවිතේ ලිහාගන්න පුළුවන් කියල ඔබ විශ්වාස කරනවද?
කවියකින් ජීවිතේ ලිහා ගන්න පුලුවන් කියල මම හිතනව. ඒකට හොඳම නිදර්ශන සපයන්නෙ මහගම සේකරයන්ගේ සාහිත්‍ය නිර්මාණ අතර අග්‍රඵලය ලෙස සලකන “ප්‍රබුද්ධ” නම් සොඳුරු කවි මංජුසාව.ලොව තුළ මානව ප්‍රේමයෙන් බැඳෙන මිනිස් සංහතිය වියෝගයන්හිදී තම ජීවිත සංසිඳුවා ගනු පිණිස දැනුවත්ව හෝ නොදැනුවත්ව යොදා ගන්නේ කලාව සහ සාහිත්‍ය බිහි කරනු ලබන සියුම් අංගෝපාංගයන් වන කවිය,ගීතය වැනි සෞන්දර්යාත්මක නිමැවුම්. ඒ වගේම අපේ ජීවිත ගැට ගැහෙන විවිධ සමාජ සංස්කෘතික කාරණා ගැන මධ්‍යස්ථ කෝණයක් ඔස්සේ සියුම්ව විග්‍රහ කිරීමට කවිය තුළ ප්‍රබල හැකියාවක් පවතින බව මගේ අදහසයි.මෙවන් පීඩාකාරී ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික වටපිටාවක් තුළ කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවත් මිනිස් වර්ගයා ගැට ගැහී පෙළෙමින් ඇති තැන් මගේ තරමින් පෙන්වා දෙමින් සමාජයේ සංවේදීතාවයන් හා මානව ප්‍රේමයේ ගිළිහුණු තැන් ගැන යළි සමාජ කතිකාවතක් නිර්මාණය කර සුවපත් කිරීමේ පරම අභිලාෂය ඇතිවයි මේ කෘතිය සම්පාදනය කළේ.
‘තමන්ගේම විඳුම් පිළිවෙතකට වැදී මනරම් කවියක් ලියමින් සිටින තරුණ කවියෙකුගේ කවි අසපුවක් ඔහුගෙන් දකිමි’ කියල ටිම්රාම් කීර්ති ඔබේ කවිය ගැන ලියනවා. ඔබේ කවි අසපුවේ සිට බලන විට ඔබට මේ මොහොතෙ කවිය පේන්නෙ කොහොමද, නැත්නම් ඔබ කවිය දකින්න උත්සහ කරන්නෙ කොහොමද?
මට දැනෙන හැඟෙන ආකාරයට නම් කවිය කියන්නෙ ඉතා ප්‍රභල වශයෙන් ජීවිතය සහ සමාජය විවරණය කළ හැකි සොබා දහමට ළඟින්ම නෑකම් කියන කලා අංගය කියල කියන්න පුලුවන්. ඒ වගේම කොයි කවුරු කොහොම කීවත් කවියක් තුළින් සිද්ධ වන්නේ සොඳුරු මානව ප්‍රකාශනයක් බැවින් කවිය විවිධ හැඩ හා රීතීන් තුළ බලහත්කාරකම් වලට ලක් නොකළ යුතුයි යන්න මගේ හැඟීමයි. එමෙන්ම කවිය සමාජ ගත වීමටත්,විවිධ අනුභූතීන් ඒ ආකාරයෙන්ම සම්ප්‍රේෂණයටත් කවියේ බස නූතන ව්‍යවහාරයේ සාධනීය ලක්ෂණ උකහා ගත යුතුයි.ඒ වගේම කවිය තුළ විවිධ ශානරයන් ඔස්සේ ගමන් කරමින් නිරන්තර යාවත්කාලීනවීම් සහිතව අත්දැකුම් ගබඩාව පෝෂණය කර ගනිමින් නිර්මාණකරනයේ යෙදීම ඉතාම වැදගත් මෙවන් කාල වාකවානුවක විශේෂයෙන්ම.
මේ තමයි කවි පොතක් කරන්න හොඳම වෙලාව කියන සංඥාව ඔබට ලැබුණෙ කොහොමද?
ලංකා සමාජය මේ තරම් රෝගී ව අසාධ්‍ය වූ කාලයක් මට නම් මතක නෑ මගේ ජීවිත කාලය තුළ.මේ තත්වයට මේ සොඳුරු දේශය පත් වීමට අනාදිමත් කාලයක පටන් රට පාලනය කළ අමන පාලක රැළ මෙන්ම ඒ පාලක පිරිසට වහල්කම් කළ යැපුම් මානසිකත්වයෙන් තවම මිදීමට නොහැකිව සිටින අපේ මුතුන්මිත්තාගේ සිට මා දක්වා වගකිව යුතුයි.ඒ වගේම මේ දක්වා වූ කලා හා සාහිත්‍ය භාවිතයේ දුර්වලතා ද මේ තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුමයි.ඉතිං මේ වගේ කාලයක ජන මනස නිවරදි දිශානතියක් ඔස්සේ යොමු කරමින් සමාජය සුවපත් කිරීම කවියා විතරක් නොවේ සමස්ථ කලාකාමී හදවත් දැරි සියල්ලන්ගේම යුතුකමක් කියල මම හිතනව.ඒ වෙනුවෙන් තමා මේ පඬුර පාඨකයා වෙත තිළිණ කරන්නේ.
‘ඇම ගිලීම’ හිසින් යුතු කවියෙ ඔබ මෙහෙම ලියනවා. ‘බිලී පිත්තක දෙකෙළවර – එක් පසෙක – ඇමට හසු වූ මිනිසෙකි – අනෙක් පස – මාළුවෙකි…’ කවියා වෙනත් සහ වෙනස් ඇසකින් ලෝකය දෙස බලන්නට දරන උත්සාහය ගැන ඔබේ තක්සේරුව මොකද්ද?
කවියෙක් පමණක් නොවෙයි මේ ලොව වෙසෙන ඕනෑම මනුශ්‍යයෙක් ලෝකය දිහා වෙනස් ඇහැකින් බැලුවොත් පමණයි ලෝකය තුළ ප්‍රගමනයක් සහ විවිධත්වයක් තුළින් නව විචිත්‍රත්වයක් ජනනය වන්නේ. ඉතින් මගේ හැඟීම කවියා මෙන්ම ඕනෑම කලාකරුවෙක් වෙනස් මානයන්ගෙන් ලෝකය දැකීම කලාවේත් සාහිත්‍යයේත් නවතාවයකට හේතු වන බවයි. ඒ වෙනස සමාජගත වීම චින්තන වෙනසකට වුණත් හිතකර අයුරින් බලපාන්න පුලුවන්.
ඔබ කෙටි කවිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති බව පේනවා. කෙටි කවිය ගැන ඔබේ අදහස මොකද්ද?
කෙටි කවි ගැන කතා කරද්දි අපේ හැමෝම කතා කරන්නෙ හයිකු නම් ජපන් කවි සම්ප්‍රධාය ගැන. නමුත් හයිකු කවියේ සාධනීය ලක්ෂණ එක්කාසු කරගෙන අපට අනන්‍ය වූ කෙටි කවි කලාවක් බිහි වීම සිදු විය යුත්තක් කියල මම හිතනව. මොක ද ඇතැම් කෙටි කවිවල ප්‍රභලතාවයට තනි මිනිසුන් පමණක් නොව මුළු මහත් ජන සමාජයක චින්තාව සංවේදී අයුරින් නව මානයන් ඔස්සේ කැඳවා ගෙන යාමට හැකි බව මාගේ විශ්වාසයයි. එමෙන්ම නූතන ජන සමාජයේ අති ප්‍රවේගකාරී ජීවන රටාවටත් කෙටි කවිය උචිත වේ යන්න මගේ අදහසයි. ඉතිං මාත් කෙටි කවිය ගැන සාපේක්ෂව වැඩි අවධානයක් යොමු කර තිබෙන බව හැබෑවක්.
ඔබ සමාජ මාධ්‍ය ප්‍රමුඛ කරගෙන ලියන පරම්පරාවේ කෙනෙක්. සමාජ මාධ්‍ය ඔබට කොහොම වැඩබිමක් සහ උත්තේජනයක් වුණාද?
ඔව්, ඔබ හරියටම හරි ! මම සමාජ මාධ්‍ය තුළ “සයිබරේ රහ ම කවි ” නමින් සමූහයක් ද දැනට පවත්වාගෙන යනව. සමාජ මාධ්‍ය හරහා කවිය සහ තම කලාත්මක ප්‍රකාශනයන් ඉතාමත් ලෙහෙසියෙන් ජන ගත කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙනව. ඒ වගේම ඊට සමාජයේ විවිධ තරාතිරමේ සහෘදයන් දක්වන ප්‍රතිචාර ඉදිරි නිර්මාණයන්ට විශාල උත්තේජනයන් බවට පත් වෙනව.ඉතිං මම හිතනව සමාජ මාධ්‍ය හොඳ වැඩබිමක් කියල කවියන්ට මෙන්ම නිර්මාණකරනයේ යෙදෙන ඕනෑම කෙනෙක්ට ජන සමාජය ස්පර්ශ සංවේදීව කිරීමට.
ලියන – කියවන ඔබේ පරම්පරාව ගැන ඔබේ තක්සේරුව මොකද්ද?
ලියන කියවන අපේ පරම්පරාව ඉතා නිර්මාණාත්මකයි සහ යාවත්කාලීනවීම් සහිතයි කියල මට හිතෙනව.නමුත් ගොඩක් අයගෙ අත්දැකීම් ගබඩාව පෝෂණය වී ඇති මට්‍ටම ගැන තෘප්තිමත් විය නොහැකියි. ඒ වගේම අන් නිර්මාණ පරිශීලනයේ ද අඩුවක් දැනෙනව.ඒ වගේම ප්‍රේමය සහ විරහව කියන අනුභූතීන් වැඩි වශයෙන් සුලබ ලෙස ස්පර්ශ කරන බවක් පේනව.කවියා සතු සංවේදී සමාජ වගකීම පැහැර හරින බවක් හෝ පැහැර හැරෙන බවක් අපේ පරම්පරාව තුළ පේනව. ඒක සමාජයේ ගමන් කළ යුතු යහපත් දිශානතියට අහිත පිණිස හේතු විය හැකියි.නමුත් සමස්තයක් විදියට ගත්තම අපේ පරම්පරාවේ නිර්මාණ කෞෂල්‍යය ඉතා හොඳයි කියල මට හිතෙනව.
ඔබ ගුරුවරයෙක්. මේ දවස්වල ගුරුවරියන්ගේ සාරිය ගැන ලොකු සංවාදයක් ගොඩ නැගිලා. අධ්‍යාපනය කියන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් වෙනස් විය යුතු බව තමයි පේන්න තියෙන්නෙ. මේ සමස්ථය ගැන ඔබේ අදහස කොහොමද?
මේ සමස්ථ සමාජ ආර්ථික පරිහානියට වගකිව යුත්තේ මේ යැපුම් වහල් මානසිකත්වය පවත්වගෙන යන්න උල්පන්දම් දෙන කිසිම ප්‍රායෝගිකත්වයක් නැති සාම්ප්‍රදායික අධ්‍යාපන ප්‍රතිපත්තිය කියලයි මට එදා ඉඳලම හිතෙන්නෙ. සිසුන්ගේ කිසිම කුසලතාවයක් හරි හැටි අඳුනා ගත් හැකි අධ්‍යාපන ක්‍රමයක් නොවෙයි අපට තියෙන්නෙ. කොටින්ම කිව්වොත් සිංදු කියන ගිරවුන්ට බලහත්කාරෙන් චක්කරේ උගන්නල අධ්‍යාත්මය මරල දාන බහුබූත නිශ්ඵල ව්‍යායාමයක්. මේ රටාව තුළ බිහි වෙන්නෙ හිතන්න පුලුවන් හැකියාවක් නැති, කොඳු නාරටි කඩා ගත්තු අසංවේදී එහෙයියො, වන්දිභට්ටයො ටිකක් විතරයි. ඒක උදව් වෙන්නෙ අමන පාලක රැළගෙ ප්‍රගමනයට පමණයි, රටට නොවෙයි. ඉතිං ඒ වගේ ග්‍රාම්‍ය අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ඇති වටපිටාවක ගුරුවරුන්ගේ ඇඳුම වෙනස් වුණත් නැතැත් අවශ්‍ය සිදු විය යුතු සමාජ ප්‍රගමනයට හෝ වෙනස කිසි සේත් සිදු වන්නෙ නෑ කියන එකයි මගේ හැඟීම.
පාසැල තුළ කවියට, සාහිත්‍යට ලැබෙන ඉඩ කොහොමද?
පාසල තුළ කවියට සාහිත්‍යට ලැබෙන්නෙ ඉතා පුංචි අවකාශයක්හ.ර විෂයන් කීපයකට විතරක් බර පටවල දොස්තරලා,ඉංජිනේරුවො විතරක් පැටව් ගස්සන්න හදන අධ්‍යාපන ක්‍රමය ඇතුළෙ නිර්මාණාත්මක පරිකල්පන සහිත දරුවන් බිහි කරන එක ඉතා අසීරු දුෂ්කර කාර්‍යක්.නමුත් කලාවට සාහිත්‍යට පෙම් බඳින නව චින්තන ධාරා ඔස්සේ මනස මෙහෙයවිය හැකි දරු පිරිසක් බිහි උනොත් පමණයි අනාගතයේවත් අප රට නව මාවතකට ගෙන යා හැකි වන්නේ.වර්තමානික අපගේ යුතුකම හා සමාජ වගකීම වන්නේ ද එවන් උත්තර සමාජයකට අවැසි අනාගත පුරවැසි පිරිසක් බිහි කිරීමයි.
ඔබේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ‘පඬුරු’ දැන් සහෘදගත වෙලා තියෙනවා. පොත අවශ්‍ය අයට ඒක ගන්නෙ හෝ ගෙන්වා ගන්නෙ කොහොමද කියල කියමින් අපි මේ සංවාදය අවසන් කරමු?
මගේ කුළුඳුල් කවි පොත “පඬුරු” සහෘද ඔබට ඉතා හෘදයාංගමව බාර කරනව.ඒ වගේම එහි එන නිර්මාණ වල රස,නොරස හා ඔබට දැනුන විදිය ගැන අවංක අදහස් ප්‍රතිචාර මට ඉතාමත් වටිනවා.දැනට “පඬුරු” “සන්ථව” ප්‍රකාශන මැදුරෙන් ඔන්ලයින් මාර්ගයෙන් ගෙදරටම ගෙන්වා ගැනීමට හැකියි.නැතිනම් මගේ වට්සැප් අංකය 0719873706 හරහා විමසීමක් කරන්නත් පුලුවන් පොත අවශ්‍ය අයට.අවසාන වශයෙන් කිව යුත්තේ කවිය යනු ජීවිතයේත් සොබාදමේත් කලාත්මක මුහුණුවරක් බවයි.ඉතින් සබඳ අපට මේ අපූරු චාරිකාව එක්ව යා හැකියි.