හතර මං හන්දියක වචන‘තර- සඳුන් ප්‍රියංකර විතානගේ
2022 වේගයෙන් අවපසට යමින් සිටියි. පාර්ලිමේන්තු විහිළු, වීදි අරගල, වාද විවාද සංවාද මෙන්ම අවලාදද මැදින් ඉල් මහ උඳුවප් කරා පැන නව වසරක සම්ප්‍රදායික සුබපැතුම් වලට පාර කපනු ඇත. උඳුවප් අවසන් වෙද්දී මිනිසුන්ට උඳුවැල් වෙනුවට බඩවැල් වඩ වඩා සිහිපත් වනු ඇති අතර වෙන්දේසි මේසය සහ මිටිය බලවත්වී ප්‍රජාතන්ත්‍රවාදය යනු අන්කිසිවක් නොව පාලකයාගේ අභිමතය බවත් ඊට එරෙහිව හඬ නැගීම යනු ත්‍රස්තවාදය බවටත් තවත් න්‍යායය ටොන් ගණනින් එළියට එනු ඇත. ඉදින් ඉල් මහේ අනපේක්ෂිත මහ වැසි අවසන, සීතල සමග එන ගිම්හානයද ආර්ථික සිසිරයද දේශපාලන පිලිලද මැද මම සඳුන්ගේ හතර මං හන්දියක වචන මැද අතරමං ව සිටිමි.
කෘතියේ පිට නිමාව කාලයට සාකල්‍යෙයන්ම අදාලය, අනුගතය, එසේම විරෝධීය. කෘතිය මුද්‍රණය වනුයේ පසුගිය කාලයේ පොතක් පල කිරීමේදී හැරීවත් නොබැලූ ඩිමයි කරදාසියෙහිය. පොත පෙරලන විටම රතු පැහැ මුද්‍රාවකි. එහි කියැවෙන්නේ මෙයයි. 2022 ආර්ථික අර්බුද සමයේ මුද්‍රාපිතය. ඉදින් මෙය අභියෝගයකි. පවත්නා තත්වයට විරුද්ධත්වය පෑමකි. යටත් නොවී තවදුරටත් කර්මාන්තයේ රැඳී සිටින්නට උත්සාහයකි. දැන් අප සිටිනුයේ අපේ කුස නොව මනසද හිස්ව යාමේ තර්ජනය වලක්වාගැනීමේ බියකරු අරගලයකය. අපේ මහජන නියෝජිතයන් කියනා එකෙක් රටේ බුද්ධිමය වපසරිය හැකිලී යන එක ගැන කතා නැත. මන්ද එය ඔවුන්ගේද අභිලාෂය බැවිනි.
සඳුන් මේ අර්බුද මැද කෙටි කතා 08ක් සිය කෘතියෙන් ඉදිරිපත් කරයි. ඒ ප්‍රමාණයෙන්ද සැබැවින්ම කෙටිකතාවන්ය. කතා ගණනාවක්ම පිටු හය, හත, අට නොඉක්මවයි. දිගම කෙටි කතාවෙහි පිටු ගනන දහයකි. එහෙත් මේ කතා තුළ සඳුන් කෙටිකතාකරණයට තමන් තුල ඇති සමත්කම පමණක් නොව අවබෝධයෙන් යුතුව එහි නියැලෙන්නට තමන් සතු අභිලාෂයද පල කර සිටියි.
මේ කෙටිකතා කියවාගෙන යන විට මට දැනෙනා පොදු සාම්‍යයක් තිබේ. ඒ මානව බන්ධූත්වයන් හුදු සංකල්ප බවට හරවමින්, හුදෙකලාවේ ගසා යන පොල් ලෙලි වන් මිනිස් ජීවිතවල හිස්කම, අපේක්ෂා භංගත්වය, ඊට එරෙහිව මිනිසුන් තුළ කෙඳිරිගාමින් නැගෙන්නට තනනා විරෝධය සහ යළි කේවල පැවැත්මක් වෙනුවෙන් මිනිසා තමන්වම ගොදුරු කරගන්නා ග්ලැඩියේටර් වලලු තුළ ආදරය විකසිත කරන්නට ලේඛකයා දරනා වෙහෙසයි. මේ සෑම කෙටිකතාවකම පොදු මාතෘකාව වනුයේ ආදරයයි. අහිමි වෙමින් යන ආදරයේ ස්වරූපයන් මෙන්ම ආදරය නොමැතිව ජීවත්වීම අසීරු බව සිහිපත් කිරීමයි. ඒ ආදරය යනු යත්තෙන් කපා ඔප මට්ටම් කල ආදරයක් නොව විවිධ වෙනස්කම් සහිත, විවිධ සමාජ මට්ටම් අතර විවිධ තත්වයන් තුළ පැන නැගෙන්නකි. පැන නැගුණ සැණෙන් යළි නිවී යන්නක්ද විය හැකි ආදරයකි. මන්ද යත් මේ ආදරය සොයනා මිනිසුන් යනු පවත්නා මොහොතෙහි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගොදුරු වන්නවුන් හෙයිනි.
කතා දෙකකදී හැර අන් සියල්ලෙහිම සඳුන් ස්පර්ශ කරනුයේ සමකාලීන රැල් රොසැල්ව ගිය ජීවිත, විශේෂයෙන්ම තරුණ ජීවිතයන් ය. මිත්‍යාවෙහි ගැලෙමින්, එය නඩත්තු කරමින් මෙන්ම ඉන් මිදෙන්නට තැත් දරනාතර යළි එහිම ගොදුරු බවට පත්වෙමින් පල්වෙන, ජාතිවාදය මෙන්ම ආගමික් අන්තවාදයද කටගැස්මට ගත් හුස්ම අහිමි ජීවිතයන්ය. මේ ජීවිත අතර වන හැල හැප්පිලි අතරින් ජීවිතය මේ යයි කියන්නට සඳුන් දරන උත්සාහයේදී පාඨකයාම විටින් විට තම මුහුණද ඒ තුළ පෙනෙන්නේ නම් එය අරුමයක් නොවනු ඇත.
මතු පිටින් බලන විට සඳුන්ගේ කතා සරල, එදිනෙදා අපේ අත්දැකීම්, නැතිනම් අප කියවා, අසා දැනගන්නා සරල තොරතුරු හා සමානය. එහෙත් ඔහු කතාවක් කියා නොකියා විවිධ අවස්ථා සම්බන්ධ කර ජීවිතයේ සංකීර්ණබව මෙන්ම විසුළු ස්වභාවයද මේ යයි පෙන්වා නිහඬ වෙයි. එහිදී ඔහු විවිධ රචනා ශෛලීන් මෙන්ම යෙදුම්ද භාවිතා කරමින් පාඨක අවධානය ගිලිහී යනු නොදී රඳවා ගනියි.
අජානීය අසකු අරා යනු බැලූ බැල්මට හුදු දෙබස් ඛණ්ඩයන් පමණක් ඇති අපිලිවෙල සටහනකි. කතාවෙහි මධ්‍ය ලක්ෂය වනුයේ වැවක ගිලී මිය ගිය කොලුවෙකු ගැන පුවතක් සහ ඒ වටා ගෙතෙනා විශ්වාස පද්ධතියකි. බිලිගන්නා වැව්, නදී ආදිය අපට අරුම නැත. මේ කතා බහ යන්නේද අපූරු තැනක ය. කථකයෝ සිටින්නේ ජොයින්ට් ඔතමිනි. ඒ අතර පිටස්තරයකුද සිටියි. ඔහු දේවල් දෙස බලනුයේ වෙනස් අයුරකිනි. මේ දෙබස් අතර අපට ඉදිරිපත් කෙරෙනා සමාජ කියවීම සිදුවනුයේ කෙටි වාක්‍ය ඛණ්ඩයන්ගෙනි. එහෙත් එය පවත්නා සමාජයෙහි ස්වභාවය පිලිබඳ හරස් කැපුමකි. සිහිනයත් සැබෑ වර්තමානයත් අතර දෝලනය වෙමින් යතුරු පැදියට නගිනා පිටස්තරයා ගේ ගමන අවසන් වනුයේ ඔහුම එරෙහිව කතා කරනා මිථ්‍යාව තවත් තහවුරු වන සේ තෙමේම ඊට බිලි වීමෙනි. එහෙත් ඔහුට එය නිවැරදි කරන්නට අවසරයක් නැත.
මාෂා සහ වලස්සු කෙටිකතාව සඳුන් තුළ ඉන්නා සමාජයට ආදරය කරනා නිර්මාණකරුවාගේ පරිකල්පිත ලෝකයෙහි අඩහෝරාවකි. එහි එන ලිංගික ශ්‍රමික කාන්තාව සහ තම මිතුරා ගේ උදවුකාරයා ලෙස යන කථකයා අතර ගොඩනැගෙන කෙටි සම්බන්ධය තුළ රාගය වෙනුවට ගොඩනගනා ආදරය යනු වෙනත් ජීවිතයක වෙනත් ලෝකයක, වඩා පුළුල් මිනිස් පෙමෙහි අසිරිය දකින්නට තැත් දරන නිමේෂයකි. හෙල්ගාමය හිස් බැල්ම යනු වෙනත් පරිසරයක වෙනත් අවධියක එහෙත් අපට අපේ වර්තමානය සහ සමකාලීන ජීවිතයන්හී අන්ධකාරයම මුණගස්වන්නකි.
සඳුන් සිය කෙටිකතාවන්හී මතු කරන්නට තැත් දරන එක් ස්වභාවයක් වනුයේ අප පැටලී ඉන්නා නූල් බෝලයෙහි රුදු බවයි. සංහිඳියා බයිට් එක මෙන්ම හතර මං හන්දියක වචනතර යන කෙටි කතා දෙක මෙහිලා විශේෂය. එහි එන චරිත අපට එක වර ඉරිගසා බෙදා වෙන් කරන්නට හැකි චරිත නොවේ. එසේම ඒ චරිත යනු එක් මොහොතක වරෙක තමන්ම පෙනී සිටි දේවල් පිලිකෙවු කරන්නට පෙළඹෙන චරිතය. ජාතිවාදයට එරෙහිව කොන්දේසි විරහිතව අවි ඔසවන්නාක් මෙන් පෙනෙනා කෙනෙක් එක් නිමේෂයක් තුළ ජාතිවාදයේම සරණ පතයි. සදාචාරය මිනිස් අයිතිවාසිකම්, ලිංගික හිමිකම්, පීඩිතයාගේ පැවැත්ම වෙනුවෙන් සවස සිදුවන පෙනී සිටීම උදයට අදාල නැත. ඒ වෙනුවට එහිදී අදාල වනුයේ තම ගරුත්වයයි. ඒ අතර වෙනුවට මියෙන දිවියක අරුත යන කතාවෙහිදී බලය, බලය හිමි අයගේ පැවැත්ම වෙනුවෙන් බිලිවෙන ජීවිත වල අසරණබව මෙන්ම ආදරය යනු සැබැවින්ම කවරක්ද යන්න සඳුන් මෙහිදී විමසන්නට තැත් කරයි. ඉතිහාසයේ පරිච්ඡේදයක් මෙන් ඉදිරිපත් කෙරෙන මෙහි එන චරිත සමකාලීන තත්වයන් මත කියවීමටද එලෙසින්ම හැකිය.
ඉදින් සඳුන් සිය කෙටිකතාවන් මගින් නිසල සේ පෙනෙන, පියුම් විකසිත වන්නාක් මෙන් දැවටුම්හී ඔතා අප හමුවේ තබන, පල් වලෙක ගන්ධය එහි ඇති සංකීර්ණ බවද සමගින් ඉදිරිපත් කරයි. සිය කතා කියවා වෛර කරන්නට හේ පෙම් කරන්නට නොව ඔහු අපට යෝජනා කරන්නේ අපට මගහැරුණු තැන් සොයන්නටය.