දුමින්දට සමාව : අධිකරණයේ කරුණු දක්වන්නැයි ගෝඨාභයට නියෝග

Share post:

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ දුමින්ද සිල්වාට ජනාධිපති සමාවදීම සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනිදා කරුණු දක්වන ලෙසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නොතිසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (නොවැ. 24) කැඳවූ අවස්ථාවේදී අධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඔහුගේ බිරිඳ වූ සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

අදාළ පෙත්සම් අද (24) මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාල නියෝගය නිකුත් කළේය.

එම පෙත්සම්වලට අදාළව මීට පෙර මෝසමක් ගොනුකළ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු එහි වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමට අවසර දුන් අතර එම පෙත්සම් සම්බන්ධයෙන් රාජපක්ෂට දෙසැම්බර් මස 16 වනදා අධිකරණ හමුවේ කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

නොතීසි භාර ගැනීම ප්‍රතික්ෂේප කරලා

එම නඩු විභාගය අතරතුර පෙත්සම්කාර සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළව වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂගේ මිරිහානේ පිහිටි පුද්ගලික නිවස වෙත නොතීසි යැවුවද එම නොතීසි ආපසු හරවා එවා ඇතැයි සඳහන් කළේය.

එම නොතීසි “භාරගැනීම ප්‍රතික්ෂේප කරන ලදී” යනුවෙන් එහි සටහනක් යොදා තිබෙන බවත් නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු දුමින්ද සිල්වාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කළ බවත් එම මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තහවුරු කළ බවය.

එසේ තිබියදී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කර ඇති බවත් එසේ ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේදී අනුගමනය කළ යුතු නීතිමය ප්‍රතිපාදන නිසි පරිදි ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නොමැති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

ඒ තුළින් ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් අදාළ ජනාධිපති සමාව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

2011 ඔක්තෝම්බර් 08 වෙනිදා, බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී සිරගතව සිටි දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ 2021 ජුනි 24 වෙනිදා නිදහස් කෙරිණි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 2022 මැයි 31 වැනිදා දුමින්ද සිල්වාට ලබා දුන් ජනපති සමාව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2022 ජුනි 01 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දුමින්ද සිල්වා එදින (01) පෙරවරුවේ ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත්කර තිබිණි.

Related articles

යසස් සමන්ත වීරසිංහගේ ‘වැහි පීල්ලක අතරමංව’

ආර්ථික ක්‍රියාකාරිත්වය නතර වන මොහොතක ඊට සාපේක්ෂව පුද්ගල සිතීම සහ චර්යාව ද වෙනස් වන බව රහසක් නොවේ. එය...

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...