Home Blog Page 222

පේරාදෙණි පෙම්වතියක්

0

ගමේ හිටියට මාත් දැන් පවුලක් වෙලා
උඹේ කටහඬ ඇවිත් හිත අවුලක් කළා
මහත්තයටත් හොරෙන් උඹ ගැන සිහිකළා
රහත් විය යුතු හිතක් උඹ මට පුදකළා

එදා සරසවි බිමේ ගිනි සිළුවක් වෙලා
ඇවිලි ඇවිලී උඹ ගියා පෙරමුණ බලා
හැඬූ මොහොතක් දුටුවෙ නැතුවට තනිවෙලා
කොයි වෙලාවෙත් උඹේ ඇස් දෙක රතුවෙලා

ගමේ ගිය විට උඹට මා සිහිපත් වෙලා
හම්බෙගමුවෙන් ගෙනා බත්මුල දිගු කළා
රාමනාදන් පියස උඩ තරුවක් වෙලා
උඹ මගේ හද එදා රඟමඬලක් කළා

දිනක් මහ රෑ නුවරදී උඹ කොටුවෙලා
වරක් බෝගම්බරත් සතුටින් ගත කළා
යළිත් නිදහස් වෙලා ඇවිදින් පියඹලා
මහත් සතුටින් කෑව ගුටි ගැන සිහිකළා

පරිප්පුව කන දනන්ගේ දහ දුක බලා
වෙඩිල්ලක් සේ ගියා උඹෙ හිත උණුවෙලා
දෑස් හැර ගත් මළ මිනී යට ගුලිවෙලා
උඹත් ඉන්නැති ටයර් සෑයක අළුවෙලා

එදා ගෙම්බා කැන්ටිමේ දී හමුවෙලා
නගෝ එන්නම් කීවෙ නුඹ වෙනතක බලා
ඈත පේරාදෙණියෙ අහස ම ගොළුවෙලා
මෙදා බැලුවත් නුඹේ ඇස් දෙක දැල්විලා

උඹේ උණුසුම් හුස්ම ඇති අවතැන් වෙලා
සොහොන් කොත් නැති සුසානෙක සුවඳක් වෙලා
බඩේ පිළිසිඳ වැඩුණු දරුවන් ලොකු වෙලා
මගේ දරුවන් අතර උඹ දරුවෙක් වෙලා

ගමේ හිටියට මාත් දැන් පවුලක් වෙලා
උඹේ කටහඬ ඇවිත් හිත අවුලක් කළා
මහත්තයටත් හොරෙන් උඹ ගැන සිහිකළා
රහත් විය යුතු හිතක් උඹ මට පුදකළා

කුමාර හෙට්ටිආරච්චි

සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නෑ : මැතිවරණ කොමිසමේ තුන්වැනියාටත් මරණ තර්ජන !

0

ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි මැතිවරණ කොමිසමේ සාමාජික එම්.එම්. මොහොමඩ්ට මරණ තර්ජන එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව එම්.එම්. මොහොමඩ් සඳහන් කරයි.

072-948—— යන දුරකතන අංකයෙන් තමන්ට ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙකු මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම්දෙමින් මරණ තර්ජන එල්ල කළ බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

ඔහුට මෙම තර්ජනාත්මක දුරකතන ඇමතුම ලැබෙන විට ඔහු රැඳී සිට ඇත්තේ නිට්ටඹුව, කහටෝවිට පිහිටි සිය නිවසේ ය.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන කේ.පී.පී. පතිරණ සහ සෙනෙවිරත්න බණ්ඩාර දිවාරත්න යන මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනාට ද පසුගිය 18දා මේ ආකාරයෙන් මරණ තර්ජන එල්ල වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ද දැඩි කතාබහක් ඇති විය. ඒ සමග ම පොලිස්පතිවරයා විසින් එම තර්ජනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය. එම තර්ජනයට ලක්වූ කොමිසමේ සාමාජිකයන්ගේ ආරක්ෂාවට සන්නද්ධ පොලිස් නිලධාරීන් ද යොදවනු ලැබිණි.

මෙසේ තිබියදීත් කොමිසමේ තෙවැනි සාමාජිකයාටත් තර්ජන එල්ලවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශන ඔස්සේ කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබෙන පසුබිමක් තුළදී ය.

යුක්තිය නැති අපරාධ : කළු ජනවාරි සැමරුම මඩකලපුවේදී !

0

නැගෙනහිර මාධ්‍ය සමාජය සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව කළු ජනවාරි සැමරුම අද (28) මඩකලපුව ගාන්ධි උද්‍යානයේ පිහිටි මාධ්‍ය ස්මාරකය අසලදී සිදුකෙරිණි.

ඝාතනයට ලක්කළ මාධ්‍යවේදීන් අනුස්මරණය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යවේදීන්ගේ එකමුතුව විසින් මෙම ස්මාරකය ස්ථාපිත කර ඇත.

ජනවාරි මාසය යනු මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ වැඩියෙන් ම සිදුකර ඇති මාසයයි. එම නිසා මෙසේ කළු ජනවාරි සැමරුම සෑම වසරක ම සිදුකරනු ලබයි.

මෙසේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ කිසිදු අපරාධයකට සෘජුව වගකිවයුතු කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. අත්අඩංගුවට ගෙන හෝ අධිකරණයට ඉදිරිපත් කර හෝ ඇත්තේ එම අපරාධවලට අදාළ සාක්ෂි වෙනස් කිරීම හෝ විකෘති කිරීම හෝ සම්බන්ධයෙන් වන සැකකරුවන් පමණි.

වනජීවී රක්ෂිත භූමි පෞද්ගලික අංශයට : නීතියේ ආධිපත්‍යය කුණු කූඩයට දැමූ 23දා කැබිනට් තීරණය !

0

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමති පවිත්‍රා වන්නිආරච්චි විසින් පසුගිය 23දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව මෙරට රක්ෂිත වනාන්තරවල පැවැත්මට තීරණාත්මක ලෙස බලපෑම් කරනු ඇතැයි පරිසරවේදීහු අවධාරණය කරති.

‘වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වනාන්තර සම්බන්ධව පවතින ගැටළු නිරාකරණය’ යනුවෙන් සඳහන් මෙම කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත්තේ වන රක්ෂිතවල පිහිටි පෞද්ගලික හෝ භුක්ති විඳින ඉඩම් හිමිකරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් ය. ඒ පිළිබඳ දින වකවානු සහිත වැඩසටහනක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු අතර, මුල් වටයේදී යාපනය, වව්නියාව, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, මඩකලපුව, ත්‍රීකුණාමලය, අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල යන දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් මෙම වැඩසටහන සකස් කිරීමට අදාළ උපදෙස් දැනටමත් ලැබී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ කැබිනට් පත්‍රිකාව මගින් ඉලක්ක කරන ඉඩම් මොනවාද යන්න සම්බන්ධයෙන් නිල වශයෙන් දැනගැනීමට එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර සම්බන්ධ කර ගැනීමට thetime.lk  දින 02ක් උත්සාහ කළ ද, ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

එස්. ජායිශන්කර්

කැබිනට් රැස්වීමට දිනකට පෙර පළකෙරුණු 22දා Sunday Times පුවත්පත වාර්තා කර තිබුණේ ඊට පෙර සිකුරාදා (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම කැබිනට් පත්‍රිකාව වහාම සකස් කොට ඉදිරිපත් කරන ලෙස පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරියට උපදෙස් දී ඇති බවයි. ඩග්ලස් දේවානන්දා ඇතුළු ඇමතිවරුන් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගි වී ඇති බවත්, උතුරු පළාත්වල මෙම ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී මූලිකත්වය දිය යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කර ඇත.

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර් සමග පැවති සාකච්ඡාවේදී ද මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමුකෙරුණු බව ජනාධිපතිවරයා මෙම රැස්වීමේදී පවසා තිබේ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමතිවරයා සහ ජනාධිපතිවරයා සාකච්ඡා කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත් උතුරු පළාතේ ජනතාවගේ ඉඩම් රක්ෂිත ප්‍රදේශවලට ඇතුළත් කර නැති අතර, පසුගිය කාලයේ සිදු කළ සමීක්ෂණයක් මගින් අනාවරණය වූයේ එම ඉඩම් සියල්ල යුද හමුදාව සහ ගුවන් හමුදාව භාවිත කරමින් සිටින බවයි. එම ඉඩම් ජනතාවට නිදහස් නොකර, මෙවැනි උපක්‍රම මගින් රක්ෂිත වනාන්තර ඉඩම් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට පැවරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවට පරිසරවේදීහු චෝදනා කරති.

ජනතාවගේ ඇස් බොඳ කරයි !

1977න් පසු බලයට පත්වූ සියලු ආණ්ඩු අඩු-වැඩි වශයෙන් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තියකි, රටේ සමස්ත ජීවීන්ගේ සියලු පොදු ස්වභාවික සම්පත් ඔවුන්ට අහිමි කිරීමේ ප්‍රතිපත්තිය. සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති, අණ-පනත් මෙහිදී අදාළ නොවේ. ස්වභාවික සම්පත් වෙළෙඳ භාණ්ඩ කිරීම පමණක් ඔවුහු සිදුකරති. ඔවුන්ටත් කොටසක් සහිතව ලාබය යන්නේ වෙනත් තැනකට ය. ඒ ලාබය යනු කෙටිකාලීන මුදල්ම නොවේ. දීර්ඝකාලීන සැලසුම් ය.

ජනතාවගේ ආහාර ස්වෛරීභාවය තහවුරු කරන ගොවීන්, ධීවරයන්, කිරි නිෂ්පාදකයන් ඇතුළු සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයන්ගේ භූමිය හා ඔවුන්ගේ පොදු ස්වභාවික සම්පත් වන ජලය, බීජ ඇතුළු සියල්ල අහිමි කිරීමට සංවර්ධන ව්‍යාපෘති, වාණිජ වගා, සංචාරක ව්‍යාපෘති, ආයෝජන ව්‍යාපෘති, කර්මාන්තපුර මහා පරිමාණයෙන් බිහිවෙමින් තිබේ. එමගින් ස්වභාවික පරිසර පද්ධති බොහොමයක් මේ වනවිටත් විනාශ මුඛයේ ය.

වනාන්තර වනසන පරපුර !

දීර්ඝ කාලයක් ආරක්ෂා කළ වනාන්තර ඇතුළු ස්වභාවික පරිසර පද්ධති සංවර්ධන හා ආයෝජන ව්‍යාපෘති සඳහා යොදාගැනීම ගෝඨාභය වේගවත් කළේය. ඒ, මහින්ද රාජපක්ෂ ආරම්භ කළ විනාශයේ දිගුව සඳහා ය. මේ නිසා අද වන විට ලංකාවේ ස්වභාවික වනාන්තර ආවරණය සියයට 17කටත් වඩා අඩු වී තිබේ.

යාන් ඔය වාරි ව්‍යාපෘතිය සඳහා වනාන්තර අක්කර 15,000ක්, මොරගහකන්ද හා කළු ගඟ බහුකාර්ය වාරි ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25,000ක්, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපොළ, දකුණු අධිවේගී මාර්ගය පුළුල් කිරීම, ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඇතුළු භෞතික සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර අක්කර 25,000ක් මෙසේ විනාශ කළ ස්වභාවික සම්පත් තවත් කොතෙක් ද… යුද්ධයේ අවසානයෙන් පසු නැවත පදිංචි කිරීමේ කටයුතු නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම හා ජනතාව භාවිත කළ ඉඩම් වෙනත් සංවර්ධන ව්‍යාපෘති, සංචාරක ව්‍යාපෘති සහ අධිආරක්ෂක කලාප පවත්වාගෙන යෑම සඳහා භාවිත කිරීම නිසා අලුතින් ජනාවාස ගොඩනැගීමට වනාන්තර අක්කර කොපමණක් විනාශ කළේද…

මේ විනාශයට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ ප්‍රධානීන් සහ සැලසුම් සකස්කරන්නන් වනාන්තරවල වැදගත්කම තේරුම් නොගැනීමයි. ජල මූලාශ්‍ර, ජල පෝෂක, වනාන්තර භූමි ප්‍රදේශ පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති මේ පාර්ශ්ව ජාතික භෞතික සැලැස්මේ සඳහන් කර ඇත්තේ මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීමෙන් මෙරට සමස්ත ජල සුරක්ෂිතතාව ඇති කරගත හැකි බවයි. නමුත් මධ්‍යම කඳුකරයෙන් පමණක් නොව වියළි හා අතරමැදි කලාප දෙකෙන් ආරම්භ වන ගංගා රාශියක් වියළි කලාපය පෝෂණය කරන බව ඔවුන් නොදනී.

බොන්න වතුර නැති හෙටක්

ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610කි. වර්ග කිලෝමීටර් 59,217ක් පුරා ගංගා ද්‍රෝණි 103කි. වර්ග කිලෝමීටර් 6,393ක මතුපිට ජල ද්‍රෝණි කිසිවක් නැත. වර්ග කිලෝමීටර් 100ක පමණ වර්ෂා කාලයේදී පමණක් සක්‍රීය වන ජල ද්‍රෝණිය. ඒවායේ ජලය පවතින්නේ වර්ෂා කාලයේදී පමණි. මේ සියල්ලේම පැවැත්ම වනාන්තර ය.

ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය හෙක්ටයාර් මීටර් මිලියන 12ක් පමණකි. ඉන් 55%කට වැඩි ජල ප්‍රමාණයක් වාෂ්පීකරණය හා ශාකවලින් උත්ස්වේදනය නිසා ඉවත්වේ. 15%ක පමණ ජල ප්‍රමාණයක් භූගත ජලය ලෙස තැන්පත් වේ. වාරි කර්මාන්තය ඇතුළු අනෙකුත් සියලු කටයුතු සඳහා ඉතිරිවන්නේ සියයට 30ක ජලප්‍රමාණයකි. එනම් හෙක්ටයාර් මිලියන 3.5ක ජල පරිමාවකි. මෙරට භූමි – ජල අනුපාතය වර්ග කිලෝමීටරයකට (නැතහොත් හෙක්ටයාර් 100කට) හෙක්ටයාර් 3කි. එය ලෝකයේ රටවල් අතර ඇති ඉහළම අගයකි. ලංකාවේ මිරිදිය පවතින මතුපිට භූමි පැතිරුම හෙක්ටයාර් 2,60,000කි. වසරේ කිසිදු දිනක නොසිඳෙන ජලාශ හා වැව්වල මතුපිට ජල පැතිරුම හෙක්ටයාර් 1,55,000කි. සෘතුමය වශයෙන් පිරී යන වැව්වල මතුපිට ජල පැතිරුම හෙක්ටයාර් 1,00,000කි. ජලගැලුම් නිම්නය වැනි විල්ලු පරිසර පද්ධතිවල ජල පැතිරුම හෙක්ටයාර් 5,000කි. මේ ආකාරයෙන් පවතින මතුපිට ජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කෘෂි කර්මාන්තය හා ජල විදුලිබල උත්පාදනය සඳහා භාවිත වේ. අද වන විට භූගත ජලයෙන් විශාල ප්‍රමාණයක් පානීය ජල බෝතල් සඳහා සහ කර්මාන්ත ශාලාවල භාවිතය සඳහා යොදාගනී.

වැඩියෙන් වටින්නේ කවුද ?

අලි – ඇතුන් ඇතුළුව බොහෝ වන සතුන්ගේ වාසස්ථාන මහා පරිමාණ සංවර්ධනයේ නාමයෙන් අහිමි කෙරිණි. අලි – මිනිස් හා වන සතුන් සමඟ මිනිසුන් අතර ගැටුම් වර්ධනය විය. මේ නිසා සුළු පරිමාණ ගොවීන් වගාබිම්වලින් ඉවත්වෙමින් සිටී. ඒ වගාබිම් මහා පරිමාණ වාණිජ වගාවන් සඳහා විවිධ සමාගම්වලට ලබාදෙමින් සිටී. 1990 වසරේ සිට 2000 වසර දක්වා කාලය තුළදී අලි – මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව අලින් 150ක් හා මිනිසුන් 40ක් පමණ මරණයට පත්විය. 2010 සිට 2018 දක්වා කාලය තුළ අලි – මිනිස් ගැටුම නිසා වසරකට මිය යන මිනිසුන්ගේ ප්‍රමාණය 80කි. අලි- ඇතුන්ගේ ප්‍රමාණය 275කි. ඒ තත්ත්වය ඉතා උග්‍ර මට්ටමකට පත්කරමින් 2019 වර්ෂය මෙතෙක් ඉතිහාසයේ අලි – මිනිස් ගැටුම වැඩිම වර්ෂය විය. එම වසරේදී හානිකර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි මරණ 406කි. අලින්ගේ පහරදීම් නිසා 122ක් මියගොස් ඇත. 2020 වසරේදී අලි මරණ 317කි. අලින්ගේ පහරදීම් නිසා සිදු වූ මිනිස් මරණ 112කි. මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අලි – ඇතුන්ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් විනාශ කිරීම, එම වාසස්ථාන කොටස්වලට බෙදෙන පරිදි හානිකර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, රක්ෂිත වනාන්තර තුළ හානිකර මිනිස් ක්‍රියාකාරකම් සිදු කිරීම හා රක්ෂිත වනාන්තර තුළ ආක්‍රමණික ශාක පැතිරීම වැනි හේතු නිසා රක්ෂිත තුළ ගුණාත්මක තත්ත්වය පිරිහී යෑම ය.

විනාශයේ විපාකය

වර්ෂ 1881 වන විට මෙරට වනාන්තර ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 84%කි. වර්ෂ 1900දී එය 70% දක්වා පහළ වැටී ඇත. ඊට හේතුව කෝපි හා තේ වගාවන් ව්‍යාප්ත කිරීමට තෙත් කලාපයේ වනාන්තර එළි කිරීමයි. ඉන්පසු වනාන්තර පිළිබඳව පුළුල් සමීක්ෂණයක් සිදුකෙරුණේ 1956 – 1961 දී ය. ඒ වනවිට රටේ වනආවරණය 44.2%ක් නැතහොත් හෙක්ටයාර් 28,98,842ක් විය. වනාන්තර මහ සැලැස්ම සැකසීම සඳහා 1982 – 1985 වසරවල ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් සිදුකරන ලද දෙවැනි වනාන්තර සමීක්ෂණයට අනුව ලංකාවේ වන ආවරණය 37.5%ක් නැතහොත් හෙක්ටයාර් 24,58,250ක් විය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සකස් කළ පරිපාලන වාර්තාවලට අනුව වර්ෂ 1992 වන විට ලංකාවේ වන ආවරණය 31.2%ක් නැතහොත් හෙක්ටයාර් 20,46,599ක් විය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1996 වසරේ වාර්තාවලට අනුව වන ආවරණය 29.6%කි. 2010 වසරේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ලංකාවේ වන ආවරණය 29.7%කි. මෙම එක්-එක් අධ්‍යයනවලදී වනාන්තර හා වනාන්තර දර්ශක පිළිබඳව එක් නිර්ණායකයක් මත පදනම්ව අධ්‍යයන සිදු කර නොමැත. ඒ නිසා ප්‍රතිශතය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත නොහැකිය.

2010 වසරේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ජල පෝෂක වනාන්තර ලෙස වැදගත් වන පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ 1.9%කි. එනම් හෙක්ටයාර් 1,23,302 කි. ඉහළ කඳුකර වනාන්තර ප්‍රතිශතය 0.7%කි. එහි ප්‍රමාණය හෙක්ටයාර් 44,758කි. උප කඳුකර වනාන්තර ප්‍රතිශතය 0.4%කි. එහි ප්‍රමාණය හෙක්ටයාර් 28,513කි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර හෙක්ටයාර් 11,21,392ක් නැතහොත් 17.1%කි. 2010න් පසු වනාන්තර විනාශය තව-තවත් වේගවත් විය.

70%ක් අර්බුදයට !

2011 – 2030 ජාතික භෞතික සැලැස්ම සහ 2018 – 2050 ජාතික භෞතික සැලැස්මේ දිගුව ක්‍රියාත්මක කිරීමේදී මෙන්ම වාණිජ වගා ලෙස කටුපොල්, බඩඉරිඟු හා උක් වැනි වගාබිම් මහා පරිමාණයෙන් ව්‍යාප්ත කිරීම හේතුවෙන් මෙරට ඉතිරිවීමට නියමිත ජල පෝෂක බිම් ප්‍රමාණය ඉතාම සුළුය. එය 10%කටත් වඩා අඩු වනු ඇත. එම තත්ත්වයට පත්වුවහොත් ලංකාවේ සමස්ත ජනගහනයෙන් 70%කට වැඩි ප්‍රතිශතයක් ජලය සම්බන්ධයෙන් වන අර්බුදවලට ගොදුරුවේ. ජල අර්බුද පමණක් නොව ජෛව විවිධත්වය විනාශ වීම, පාංශු ඛාදනය උග්‍රවීම, කාලගුණික හා දේශගුණික විපර්යාස වර්ධනය වීම, නාය යෑම් හා ගංවතුර වැනි ආපදා වර්ධනය වීම, කෘෂි කාර්මික අර්බුද උග්‍රවීම, අලි – මිනිස් ගැටුම වර්ධනය වීම වැනි තත්ත්වයන් ද මේ නිසා පාලනය කරගත නොහැකි මට්ටමකට පරිවර්තනය වේ.

ලෝක බැංකුවේ ආදරය දිනූ කැබිනට්

ලෝක බැංකුව විසින් 1996 වසරේදී මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සකස් කළ Sri Lanka Nonplantation Crop Sector Policy Alternatives නම් වාර්තාවේ සඳහන් වන්නේ ලංකාවේ සුළු පරිමාණ ගොවීන් විසින් සිදුකරන කුඩා පරිමාණ කෘෂි කර්මාන්තය අවාසිසහගත බැවින් ඒ සඳහා විකල්පයක් ලෙස මහා පරිමාණ වාණිජ වගා සඳහා පිවිසීම වැදගත් වන බව ය. ලෝක බැංකුව විසින් 2015 වසරේදී ප්‍රකාශයට පත් කළ Sri Lanka Ending Poverty and promoting shared prosperity (A systematic country diagnostic නම් වාර්තාවට අනුව රජය විසින් ඉදිරියේදී මෙරට දුප්පත්කම දුරලීම සඳහා ගත යුතු උපායමාර්ග පිළිබඳව අවධාරණය කර ඇත.

වාර්තාවෙන් පෙන්වන්නේ මෙරට සංකීර්ණ වූ ඉඩම් නීති හා විදේශිකයන්ට ඉඩම් ලබාගැනීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් නීතියෙන් අහුරා තිබීම ආයෝජන අවස්ථා වර්ධනය නොවීමට බලපා ඇති බව ය. ඒ සඳහා පිළියම් වශයෙන් ඉඩම් නිදහස් වෙළෙඳපොළ යාන්ත්‍රණයට ලක් කළ යුතු බව කියයි. ඊට පළමු පියවර තබමින් පසුගිය ආණ්ඩුව විසින් 2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සංශෝධනය කර විදේශිකයන්ට, විදේශීය සමාගම්වලට හා විදේශීය කොටස් හිමිකාරිත්වයක් ඇති ආයතනවලට ඉඩම් ලබාගැනීමේදී පනවා තිබූ සීමා හා බදු 2017 අංක 3 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ – සංශෝධන) පනතේ 5(අ) වගන්තිය සංශෝධනය කිරීම මගින් අහෝසි කෙරිණි.

ලෝක බැංකුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම 2018 අයවැයේ මූලික ඉලක්කයකි. අයවැය ප්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ 1958 අංක 1 දරන කුඹුරු පනත හා 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කර කුඹුරු ඉඩම් වගා නොවන වෙනත් භාවිතාවන් සඳහා පනතේ වගන්ති සංශෝධනය සිදුකරන බව ය. මීට අමතරව 2017 නොවැම්බර් 14 වැනි දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥා පනත සංශෝධනය කර, ආයෝජන සඳහා පහසුවනු පිණිස කඩිනම් ඉඩම් නිදහස් කරගැනීමේ ක්‍රමවේදයක් සැලසුම් කිරීමට ය. මේ ඉතා අතළොස්සකි.

අයවැයත් අපේ නෙමෙයි !

2015 ලෝක බැංකු වාර්තාවට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2016 ජුනි 03 වැනි දින වසර තුනක් සඳහා ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් අනුමත කිරීමේදී ප්‍රධාන කරුණු 6ක් යටතේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා කොන්දේසි ඉදිරිපත් කෙරිණි. ඒ යටතේ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව, ආදායම් බලමුළුගැන්වීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය, මූල්‍ය ප්‍රතිපත්ති ඉහළ නැංවීම සහ වෙළෙඳ හා ආයෝජන පහසුකම් සැපයීම සිදු කළ යුතු විය.

2015 ලෝක බැංකු වාර්තාවට අනුව එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කොන්දේසි ක්‍රියාත්මක කිරීම සඳහා 2018 අයවැය ප්‍රකාශනය හා පසුගිය ආණ්ඩුවේ ආර්ථික දර්ශනය වන ‘2025 දැක්ම හා පොහොසත් රටක්‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙන්කර තිබිණි. 2018 අයවැය ප්‍රකාශනයේ ඉඩම් හා කෘෂිකාර්මික අණ-පනත් සංශෝධනය කර ඉඩම් නිදහස් වෙළෙඳපොළ යන්ත්‍රණයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

සිංහරාජයේ උදාහරණය

මෙරට වන රක්ෂිත වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වේ. එනිසා රක්ෂිත ප්‍රදේශ භාවිත කර, ආදායම් ඉපයිය නොහැකි බව ලෝක බැංකුව දිගින්-දිගට අවධාරණය කරයි. ඔවුන් පවසන්නේ මෙරට රක්ෂිත ප්‍රදේශ පාලනය වන සංකීර්ණ නීති පද්ධතිය ලිහිල් කර රක්ෂිත ප්‍රදේශ තුළ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වැඩි අවධානයක් ලබාදිය යුතු බව ය. පරිසර පද්ධති කළමනාකරණයට අදාළ ව ලෝක බැංකුව මගින් 2016 වර්ෂයේදී සකස් කළ Ecosystem Conservetion and Management Project – ESCAMP නම් වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාව පදනම් කරගත් ණය ආධාර ව්‍යාපෘතිය යටතේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය, නකල්ස් සංරක්ෂණ වනාන්තරය, කන්නෙළිය වන රක්ෂිතය ඇතුළු වනාන්තර ප්‍රධානව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වේ. හෝර්ටන් තැන්නේ යෝජිත නව මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ද ඊට හොඳ උදාහරණයකි.

එම්සීසී අත්සන් කරන්නම ඕනෙ ද?

Millennium Challenge Corporation (MCC) මගින් 2017 වසරේදී සකස් කළ Sri Lanka Constraints Analysis Report නම් වාර්තාවට අනුව ලංකාවේ සංකීර්ණ ඉඩම් නීති පද්ධතිය සංශෝධනයට ලක්කර පහසුවෙන් ආයෝජන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබාදීමට හැකි වන පරිදි නීති පද්ධතිය සංශෝධනයට පියවර ගත යුතු ආකාරය පෙන්වා දී ඇත. මෙහිදී භාවිත වන මූලික සිද්ධාන්තය වන්නේ පහසුවෙන් පැවරිය හැකි ඔප්පු ජනතාව වෙත ලබාදී වාණිජ කෘෂිකර්මාන්තය සඳහා සමාගම්වලට පහසුවෙන් ඉඩම් ලබාගත හැකි ක්‍රමවේදයක් සකස්කිරීමයි. ඒ සඳහා විවිධ අණ-පනත් හා චක්‍රලේඛ මෙන්ම ගැසට් නිවේදන ද සංශෝධනය කිරීමට යෝජනා කෙරිණි. MCC ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීමක් සිදුනොකළද, එහි අරමුණු ක්‍රියාත්මක කිරීම අනෙක් හැමෝම වගේම ගෝඨාභය ද සාර්ථකව සිදු කළේය.

අවශේෂ වනාන්තර චක්‍රලේඛය අහෝසි කිරීම එහි එක් පියවරකි. වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2001 අගෝස්තු 10 වැනි දින අංක 05/2001 දරන චක්‍රලේඛය මගින් රජයේ අවශේෂ කැලෑ ලෙස හැඳින්වූ වනාන්තර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් කළ චක්‍රලේඛය සංශෝධනය කළේය. එම භූමිය දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම් යටතට පවරා හේන් ගොවිතැන් සඳහා ලබාදීමට වර්තමාන කැබිනට් මණ්ඩලය විසින් 2020 ජූලි මස 01 වැනි දින තීරණය කළේය.

2020 නොවැම්බර් මස 4 වැනි දින අංක MWFC/1/2020 නව චක්‍රලේඛය මගින්, අංක 05/2001 දරන චක්‍රලේඛය සංශෝධනය කර රජයට අයත් වනාන්තර ඉඩම්, බොහෝ ඇමතිවරුන්ගේ බලපෑම් මත මේ වන විට මහා පරිමාණයෙන් එළි කරයි. වාණිජ වගාවන් සඳහා අත්පත් කරගනියි.

මීට අමතරව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත 2020 සැප්තැම්බර් 10 වැනි දින අංක 2192/36 දරන ගැසට් නිවේදනයට අනුව ආයෝජන අවස්ථා පුළුල් කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම, දේශීය ආහාර බෝග නිෂ්පාදනය සඳහා රජයේ ඉඩම් ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීම යටතේ රජයේ ඉඩම් අවිධිමත්ව භුක්ති විඳින පුද්ගලයන් ක්‍රමවත්ව හඳුනාගෙන සුදුසුකම් පරීක්ෂා කර බලා නීත්‍යනුකූල ලේඛන ලබාදීමට ආණ්ඩුව සූදානම් වේ.

ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි

මෙරට වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත් ජනතාවට අහිමි කර සමාගම්වලට ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම හා නීතිය ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය සර්ව සාධාරණව සිදුවිය යුතුය යන්න ද උල්ලංඝනය කිරීමකි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් මස 10 වැනි දින සම්මත කරගත් වගන්ති 30කින් යුත් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 7 වැනි වගන්තියට අනුව සියල්ලෝම නීතිය ඉදිරියේ සමානය යන්න ද උල්ලංඝනය කිරීමකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් සිදු කර ඇත්තේ ජනතාවට ජීවත් වීමට ඇති අයිතිය අහිමි කරමින් පරිසරය විනාශ කර අවතැන් කිරීමට හා පරිසරයේ සුරක්ෂිතතාව බිඳ දැමීමට වනාන්තර හා තෘණ භූමි සමාගම්වලට ලබාදීම ය. මේ නිසා ආණ්ඩුවේ වුවමනාව මත රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම උල්ලංඝනය කර ඇත. ආණ්ඩුව හා පෞද්ගලික සමාගම් විසින් සිදු කරන මෙම ස්වාභාවික සම්පත් අයුතු භාවිතයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත.

භූමිය විකිණු ගෝඨා

මොනරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක දෙකේ ගොවීන්ට හා වන සතුන්ට අයත් අක්කර 75,000ක් පමණ ගිවිසුම් මගින් අත්පත් කරගෙන සිටින පෞද්ගලික සමාගමකට කන්තලේ ප්‍රදේශයේ බඩඉරිඟු වගාවට අක්කර 2,000ක්, අම්පාර, පොල්ලෙබැද්ද-රඹකැන්ඔය ඉඩම් අක්කර 5,426ක් සමාගම් 15කට බඩඉරිඟු වගාවට, මොනරාගල, අනුරාධපුරය හා බදුල්ල දිස්ත්‍රික්ක තුනේ වනාන්තර ඉඩම් අක්කර 80,000ක් බඩඉරිඟු වගාවට, පැල්වත්ත සීනි සමාගම සඳහා දෙමළිය හා වන්දම ප්‍රදේශයෙන් වනාන්තර අක්කර 7,000ක් උක් වගාවට, මාගම්පුර වරාය ආශ්‍රිත වනාන්තර අක්කර 15,000ක් චීන කර්මාන්ත ශාලාවක් තැනීමට, අයි.එම්.එස්. හෝල්ඩින් පුද්ගලික සමාගමේ හා ගැසල් වෙන්චර්ස් පෞද්ගලික සමාගමේ උක් වගා ව්‍යාපෘතියක් සඳහා බිබිල ප්‍රදේශයේ අක්කර 62,500ක්, ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම හා අනුබද්ධ ඇවන්ට් ඇග්‍රෝ පෞද්ගලික සමාගමේ අක්කර 40,000ක බඩඉරිඟු වගා ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා අක්කර 5,000ක්, ඇමෙරිකානු සමාගමක් හා අනුබද්ධ මෙරට පෞද්ගලික සමාගමකට කෝමාරිකා වගා ව්‍යාපෘතියක් සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයක් ලබාදීමට සැලසුම් කිරීම හා එහි නියමු ව්‍යාපෘතියක් සඳහා අක්කර 150ක් සහ පොළොන්නරුව, කන්දකාඩුව ප්‍රදේශයේ අක්කර 8,500ක් පෞද්ගලික සමාගම්වලට ලබාදීම වැනි ව්‍යාපෘති රැසකට ආණ්ඩුව මැදිහත් වී ඇත. මේ ඉතාම අතළොස්සකි.

මේ අතර 2021 අයවැය ප්‍රකාශනය මගින් මෙරට ජනතාවගේ බදු මුදල්වලින් රුපියල් ලක්ෂ 35,000ක්, අක්කර 15,000ක භූමියක ගස් සිටුවීමට වෙන්කෙරුණේ ද ගෝඨාභයගේ උපදෙස් මත ය.

පරිසරය හිලව් කොට ණය ගැනීම

මෙහි අලුත් ම උපක්‍රම දෙකෙන් කැබිනට් පත්‍රිකාව හැර අනෙක් උපක්‍රමය වන්නේ පරිසරය හිලව් කොට ණය ගැනීමේ උත්සාහය යි. (Debt to Nature) පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ thetime.lk වෙත අදහස් දක්වමින් එවැනි සාකච්ඡාවක් පවතින බව තහවුරු කළේය. එහෙත් එය මෙතෙක් අවසන් කඩඉමක් දක්වා පැමිණ නැති බවත්, මෙය ලංකාවේ අර්බුදයට දැනෙන විසඳුමක් බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

(මේ පිළිබඳ දීර්ඝ ලිපියක් thetime.lk ඔස්සේ ඉදිරියේදී පළ වේ.)

ඔක්කොම යාළුවෝ !

එම නිසා ගෝඨාභය රාජපක්ෂ වෙනුවට රනිල් වික්‍රමසිංහ පත්වීමේ හෝ එම ක්‍රමයේ හෝ කිසිදු වෙනසක් නැත. පාර වැටී ඇත්තේ එක ම තැනට ය.

පාර්ලිමේන්තුව කල්තැබීම අද මධ්‍යම රාත්‍රියේ : නව සැසිවාරයේදී අලුත් ඇමතිවරු සහ පිල් මාරු ?

0

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් නිවේදනය අද (27) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු ලබන මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ පාර්ලිමේන්තුවේ මීළඟ වරයා ආරම්භ වන දිනය නිශ්චිත ව සඳහන් කළ යුතු වේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ අනෙකුත් කමිටු කටයුතු ද ස්වයංක්‍රීයවම අක්‍රිය වන්නේය. එම කමිටු අහෝසි වී නව සැසිවාරයේදී නැවතත් එම කමිටුවලට නව සාමාජිකයන් පත්කළ යුතු වේ.

ඒ අනුව විශේෂයෙන් ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මේ දක්වා සිදුකරන ලද විමර්ශනවලට ද මෙමගින් බලපෑම් එල්ල වේ.

මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත බලය පැවරී තිබේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබාගැනීමයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) විධිවිධානයට අනුව ඒ සඳහා ජනාධිපතිවරයාට බලය පැවරේ.

මෙහිදී, වාරාවසාන කිරීම මාස 02කට නොවැඩි විය යුතු අතර, එය සිදුකළ යුත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මගිනි. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේදී පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය එම ප්‍රකාශයේ සඳහන් විය යුතුය.

වාර අවසාන කර ඇති අවස්ථාවල කතානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (4) :

‘යථා පරිදි පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිමකරනු ලැබ නොමැති යම් කාරණා ඇත්තේද, ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේ දී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය.’

නව සැසිවාරයක් ආරම්භ කිරීමේදී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතුය. එහෙත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව වාර අවසාන කර ඇති අවස්ථාවක වුවද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

අනෙක් කාරක සභාවල තත්ත්වය පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැති බැවින්, ඒවා ක්‍රියාත්මක වීම නතර වේ. සම්ප්‍රදායානුකූලව සෑම නව සැසිවාරයක් ආරම්භයේ දී ම එම කාරක සභා නැවත පත්කරනු ලැබේ.

වාර අවසාන කිරීම අවසන් වී ආරම්භ වන නව සැසිවාරය විවෘත කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙනි එහිදී ජනාධිපතිවරයාට තම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ හැක.

නැවත කැඳවීම

පාර්ලිමේන්තුව නැවත කැඳවීම නියමිත දිනට පෙර වුවද සිදුකිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. ඒ සඳහා නැවත කැඳවන දිනය ඇතුළත් තවත් ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ යුතුය. මෙයට අමතරව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ ලිඛිත ඉල්ලීම පරිදි සුවිශේෂී අවස්ථාවලදී කතානායකවරයාට පාර්ලිමේතුව නැවත කැඳවිය හැකිය.

1958 මැයි 27 දින වාර අවසාන කර තිබූ කාලසීමාව තුළ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක පාර්ලිමේන්තුව නැවත කැඳවීය. ඒ ජනවාර්ගික කෝලාහල පැනනැගුණු බැවින් හදිසි අවස්ථා නීතිය ප්‍රකාශයට පත් කළ බව පාර්ලිමේන්තුවට දැනුම් දීම සඳහා ය. ඒ අනුව 1958 ජූනි 04 දින පාර්ලිමේන්තුව රැස් විය. එය සුවිශේෂී අවස්ථාවකි.

නව සැසිවාරයක් ආරම්භයේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අතීතයේදී එය හැඳින්වුණේ රාජාසන කතාව නමිනි. එකල එය අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කෙරිණි.

පාර්ලිමේන්තුවේ කමිටු

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 114 යටතේ තේරීම් කාරක සභාවක් පත් කෙරේ. ඒ අනුව විශේෂ කාර්යයන් සඳහා පත්කරනු ලබන කාරක සභා, වාර අවසාන කිරීමත් සමග අක්‍රීය වේ.

නව සැසිවාරයක් ආරම්භ කිරිමත් සමග උසස් නිලතල පිළිබඳ කාරක සභා, අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර සෙසු කමිටු නැවත පත්කළ යුතු වේ.

  • පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
  • ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
  • ගෘහ්‍ය කාරක සභාව
  • ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
  • ව්‍යවස්ථාදායක කාරක සභාව
  • අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව
  • රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
  • පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
  • රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව
  • මහජන පෙත්සම් කාරක සභාව
  • පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව

අලුත් ඇමති ධුර සහ පිල් මාරු !

මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති කාලසීමාව තුළ ජනාධිපතිවරයා විසින් නව ඇමතිවරුන් පිරිසක් පත්කරනු ඇති බවයි. එසේ ම නව සැසිවාරය ආරම්භ කරන දිනයේදී පක්ෂ මාරුකිරීම් කිහිපයක් සම්බන්ධයෙන් කතාබහක් පවතින බව ද වාර්තා වේ.

ඔක්ටාවියෝ පාස් ගේ කවියේ දීප්තිය සිංහල කවියට රැගෙන එන ලක්ශාන්ත අතුකෝරල

0

Since my adolescence I have written poems ,and have never ceased writing them.My ambition was to be a poet and nothing but a poet In my books in prose it was my intention to serve poetry ,to justify and defined it,to explain it to others and to myself.
_Octavio Paz

එසේ වුවද කලාව සහ දර්ශනය යන ව්‍යායාම අතර වෙනස්කම් සහ පස මිතුරුතා යන දෙකෙහිදීම ඒ ව්‍යායාම දෙක ම එකිනෙකට සමාන ද එකිනෙකට සම්බන්ධ ද වේ. එනම් කලාව සහ දර්ශනය එකිනෙකට සමාන වන අවස්ථා ද ,එකක් අනෙක වෙත සම්බන්ධ වන අවස්ථා ද ඇත. කලාකරුවා හුදෙක් කලාවෙහි ප්‍රතිභා ශක්තිය ඇත්තෙකු හෝ ශිල්පීයකුසලතාවය ඇත්තෙකු සේ පමණක් නොසිට තේමා තෝරා ගැනීමේ දී ද ,අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දී ද ,සිය කලාවේ සමස්ත ඵලාප්තියේ දී ද ජීවිතය සහ පැවැත්ම පිළිබඳ විවරණ සපයන්නකු බවට පත් වේ නම් ඔහු දාර්ශනිකයෙකි .
කලාව සහ මිනිසා ලියනගේ අමරකීති
(අර්වින් එඩ්මන් ගේ කෘතියක පරිවර්තනය)

ලක්ශාන්ත ලෝකයේ දැවැන්ත කවියකුගේ කවි හැටක පරිවර්තනයක් සහිතව අප වෙතට එන්නේ ඒ කවියා සහ කවි ගැන ඉතා සිත්ගන්නා සුළු හැඳින්වීමක් ද කරමිනි .මීට පෙර ලක්ශාන්ත කළ සිපුම් සීරුම් කොනිත්තුම් සහ ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතාවක් යන පරිවර්තන කෘති දෙකටත් වඩා ගැඹුරු සම්ප්‍රදානයක් මේ කෘතිය ඔස්සේ කරන බව පෙනේ. කවියා යනු කෙතරම් සංකීර්ණතා පෙන්විය හැකි මිනිසෙක් ද ඔහුගේ මුල් කෙතරම් මහ පොළොව ගැඹුරට විහිදෙන්නේ ද අතු ඉති අනන්ත අහස වෙත යොමු වන්නේ ද යන්න ලක්ශාන්ත ඉඟි කරන්නේ ව්‍යාජ පණ්ඩිතමානී බවකින් තොරව ය .

මිනිස් ජීවිතයේ සංකීර්ණතා ,මිනිස් සබඳතා, ලෝක විෂය වෙත හෙළන මුනිවර බැල්ම වැනි ලක්ෂණ පාස්ගේ කවියේ ඉතා සියුම් ලෙස දක්නට ලැබෙයි .පාස් කවිය බහුවිධ ස්වරූපවලින් පැවතිය හැකි දෙයක් බව පසක් කරගත් කෙනෙකු බව ලක්ශාන්ත කරනු ලබන පරිවර්තන ඇසුරෙන් වුව ද වටහා ගත හැකි ය .ලක්ශාන්ත ඉඟිය යන හිසින් යුතුව සිංහල බසට කරනු ලබන පරිවර්තනය මිනිස් ජීවිතයේ සංකීර්ණතාවය ඉතා සියුම් ලෙස ස්පර්ශ කරනු ලබනවා.කවියේ බහුශාබ්දික බව පෙන්නුම් කරන කවියක් ලෙසත් ඒ කවිය ගැඹුරු සාකච්ඡාවකට ගන්න පුළුවන් .ලක්ශාන්ත ඒ කවිය උපුටා දක්වා මෙබඳු අදහස් දැක්වීමක් ද කරනු ලබනවා.

“මේ කවිය යමකුගෙ ස්වභාවයකට දක්වන ප්‍රතිවිරුද්ධ චලනයක් ගැනයි කියන්නෙ.එක් ආකාරයකින් ජීවිතයේ තියන ප්‍රතිවිරෝධතා පිළිබඳ ගැඹුරු අදහසක් මෙහි ගැබ්ව ඇති බව දැනෙනවා.පුද්ගලයින්,සමාජය,මතවාද…මේ සෑම දෙයක ම දෙපැත්තක් තිබෙනවා. කවියා කියන්නෙ මේ දෙපැති ස්වභාවය ගැන ද? “

මේ සමාජය තුළ මිනිසාගේ ජීවිතය ගෙවෙන ආකාරය ගැඹුරින් ස්පර්ශ කිරීම සදහා පාස් රූපකය යොදා ගන්නා අයුරු ලක්ශාන්ත” වීදිය ” නමින් පරිවර්තනය කරනු ලබන කවිය ඇසුරෙන් සියුම් ලෙස විග්‍රහ කරනු ලබනවා.

වීදිය

වීදියක් එය දිගු නිහඬ
ඇවිද යනවා අඳුරේ මම
වැටෙනවා පා පැකිලී,නැගිටිනවා නැවත
ඇවිද යනවා අඳ ලෙස

තෙරපෙනවා මා දෙපයට,
වියළි පත් සහ නිහඬ සෙල් කැට
කවුරුන් හෝ එනවා මා පසු පස
තෙරපමින් පත් සහ සෙල් කැට
නවතිනවා ඔහුත් මා නවතින විට
දිව්වොත් මා දුවන්නට ගන්නවා ඔහු ද
හැරී බලනවා මම:
නෑ,කවුරුත් නෑ

කළුයි සැම දෙය නෑ පිටවුම් විවර
මේ මුළු අතර මං කැරකෙනවා හැරෙනවා නැවත
කිසිවකුත් බලා නොසිටින,හඹා නොඑන
වීදිය වෙත ම විහිදෙන තැනක
මම සොයනවා ඔහු ,පැකිලෙන නැවත නැගිටින
මා දුටු විට කතා කරන:
ඒත් නෑ.කවුරුවත් නෑ.

පසුගිය සමයේ අප අතරට පැමිණි සුනිල් විජේසිරිවර්ධනගේ ගිම්හානේ යන්න ගිහින් නම් කෘතිය මගින් ද රුසියානු කවියන් එකිනෙකා වෙත ආමන්ත්‍රණය කරමින් ලියූ කවි ගැන සාකච්ඡා කරනු ලැබුවා. ඔක්ටාවියෝ පාස් ද එබඳු භවීතයක යෙදුණුබව ලක්ශාන්ත තරමක් දිගු පෙරවදනේ දි අපේ අවධානයට ලක්කරනවා.

පළඟැටියකුගෙ නාදයකින් පවා අචින්ත්‍ය විශ්වයේ ස්වරමාලාවන්ට සවන් දීමට මේ විශිෂ්ට කවියාට තිබුණු හැකියාව ලක්ශාන්ත ඉතා සිත් ගන්නා ලෙස මේ කෘතියෙදී සාකච්ඡා කරනවා .පහත දැක්වෙන්නෙ එබඳු උද්ධෘතයක් .

“පළඟැටියකු නගන ලොහමය ශබ්දය මට ඇසුණා.රාත්‍රි අහසේ දෝංකාරය සහ කුඩා කෘමියාගේ සංගීතය අතර අමුතු සන්නිවේදනයක් එහි සිදු වුණා. මං මගෙ පේළි ටික ලිව්වා.

අහස හරි විශාලයි
එහි ඉහළට ලෝකය විසිරී යනවා
මෙතරම් රාතියකිනුත් නොසැලී
පළඟැටියා, කුරුමිණියා, තරු,කඳු ,වලාකුළු
ගස්, කුරුල්ලන්, කිකිළියන්, මිනිසුන්
පවතිනවා. “

සිංහල කවියට දැඩි සත්කාරයක් අවශ්‍යවන බව පරාක්‍රම කොඩිතුවක්කු කවියා වරක් පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියා තිබුණා .ලක්ශාන්ත ඒ දැඩි සත්කාරය ලබා දිය හැකි ආකාර නොයෙක් ආකාරයෙන් සොයා බලන පර්‍යේෂණකාමී කවියෙක් . ඔහුගේ මේ ගැඹුරු ප්‍රයත්නය අපේ වැඩිහිටි කවියන්ගේ අවධානයට ලක්වේවා!

ප්‍රියංකර නිවුන්හැල්ල

මියන්මාර හමුදාවට යුද අපරාධ චෝදනා : තවත් අපරාධ නඩුවක් !

0

මානව හිමිකම් කණ්ඩායමක් සහ මියන්මාරයේ පුද්ගලයින් 16 දෙනෙකු මියන්මාර හමුදාවට එරෙහිව ජන සංහාර, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා කරමින් අපරාධ පැමිණිල්ලක් ගොනු කර තිබේ.
මියන්මාර හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති මෙම පැමිණිලිකරුවන් විශ්වීය අධිකරණ බලය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇත. ඔවුන් මෙම නඩුව ජර්මනියේ ෆෙඩරල් රජයේ ප්‍රොසිකියුටර් ජනරාල් වෙත ගොනු කර ඇත.

විශ්වීය අධිකරණ බලය යටතේ ජර්මනියේ ෆෙඩරල් රජයේ අභිචෝදක ජනරාල් වෙත මෙම නඩුව ගොනු කර ඇති අතර, අපරාධය සිදු කළ ස්ථානය ලෝකයේ කුමක් කොතැනක වුවත් බරපතල අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට එය ඉඩ සලසයි.
“මියන්මාරයේ හමුදාව සහ එහි නායකයින් විසින් සිදු කරන ලද ජන සංහාරය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර යුක්තිය පතා අපි ජර්මනිය කෙරෙහි විශ්වාසය තබමු” යනුවෙන් Fortify Rights හි මණ්ඩලයේ සාමාජික නිකී ඩයමන්ඩ් පැවසීය.

මියන්මාර හමුදාව ” මිනිසුන් ක්‍රමානුකූලව මරාදැමීම, දූෂණය කිරීම, වධහිංසා පැමිණවීම, සිරගත කිරීම, අතුරුදහන් කිරීම, පීඩා කිරීම සහ ජන සංහාරය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ වැනි වෙනත් ක්‍රියා සිදු කළ බව” එම ලිපියේ පැමිණිලිකරුවන් චෝදනා කර ඇත, Fortify Rights නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මියන්මාර ජෙනරාල්වරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැනටමත් ජාත්‍යන්තර අධිකරණයේ පරීක්ෂණයක් පැවැත්වෙන අතර සමූල ඝාතන නඩුවක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පවතී. ක්‍රියාකාරීන් ආර්ජන්ටිනාවේ සහ තුර්කියේ ජාතික අධිකරණවල ද නඩු පවරා ඇත.

උපාලි ජයසිංහ

පාස්කු ප්‍රහාරයට වසර 4ක් : මලල්ගොඩ කමිටු වාර්තාව මුදාහැරීමට තොරතුරු කොමිසමෙන් නියෝගයක් !

0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කළ, විනිසුරු විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය අද (26) එකඟවීමෙන් පසු එම වාර්තාව කොමිසමට ද පිටපතක් සහිතව පෙබරවාරි 09දාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව නියෝග කළේය.

විජිත් මලල්ගොඩ කමිටු වාර්තාව මුදාහරින ලෙස වසර 4කට ආසන්න කාලයක් තිස්සේ කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළත්, එය මුදාහැරුණේ නැත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 4කට ආසන්න වන විට මෙසේ අදාළ වාර්තාව ලබාගැනීමට අවස්ථාව ලැබීම තොරතුරු පනත අනුව ලැබූ ජයග්‍රහණයකි.

නොදී ඉන්න බෑ !

සමාජය සහ සාමයික කේන්ද්‍රයේ (CSR) පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක සිල්වා විසින් ඉදිරිපත් කර තිබූ මෙම අභියාචනය අවස්ථා ගණනාවකදී තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව හමුවේ කැඳවිණි. මෙම වාර්තාව තොරතුරු පනත යටතේ ලබානොදී සිටීමට ජනාධිපති ලේකම් කාර්යාලයට හැකියාවක් නැති බව සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වාචික කරුණු දැක්වීම්වලින් සහ ලිඛිත කරුණු දැක්වීම් මගින් අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබිණි.

ජනාධිපති කාර්යාලයේ උත්තර

මීට පෙර අභියාචනය කැඳවූ අවස්ථාවේ දී ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන කිසිම කරුණක් මෙම වාර්තාව මුදාහැරීමට අදාළ නොවන බව සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දීමෙන් පසු සහ ඔවුන් සඳහන් කර තිබූ ඇතැම් නඩු කටයුතු අවසන් වී ඇති බව කොමිෂන් සභාව ද පිළිගැනීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේ තීරණය අද (26) දැනුම්දීමට නියෝග කර තිබිණි.

මුදාහැරිය හැකියි !

ඒ අනුව අද තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ දී මෙම අභියාචනය කැඳවූ අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් පැමිණි තොරතුරු නිලධාරියා අදාළ වාර්තාව මුදාහැරිය හැකි බව දැනුම් දුන්නේය. ඒ අනුව පෙබරවාරි 09දාට පෙර තොරතුරු කොමිසමට ද පිටපතක් සහිතව අදාළ වාර්තාව අභියාචක වෙත මුදාහැරීමට කොමිෂන් සභාව නියෝග කළේය.

එම තීන්දුවෙන් පසු දීර්ඝ කාලයක් තිස්සේ පැවති අභියාචනා විභාගය අවසන් විය.

නිල වශයෙන් මුල් වරට !

විජිත් මලල්ගොඩ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තා මුදාහරින ලෙස වසර 4ක් තිස්සේ බොහෝ පිරිසක් ඉල්ලීම් කළ ද, එය මුදාහැරීම සිදු කළේ නැත. ඒ අනුව මෙම වාර්තාව නිල වශයෙන් මුදාහැරීම සිදුවන්නේ පළමු වතාවට ය.

මෙම අභියාචනා විභාගය අද කැඳවනු ලැබුවේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, කොමසාරිස් නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ කොමසාරිස් නීතිඥ ජගත් ලියන ආරච්චි ඉදිරියේ ය. අද අභියාචනා විභාගයට සමාජය සහ සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා, එහි පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු, නීතිඥ මනුෂිකා කුරේ, තරිඳු ජයවර්ධන සහ දුරේක්ෂා ගයනි යන පිරිස සම්බන්ධ වූහ. ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් එහි තොරතුරු නිලධාරි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස්.කේ. සේනාධීර සහභාගි විය.

රජයේ මුදල් සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව : ගොඩහේවා ඇතුළු තිදෙනෙක් නිදොස් කොට නිදහස්

0

ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම් කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී “තාරුණ්‍යට හෙටක්” සංවිධානය සඳහා එම කොමිසමේ අරමුදල් වලින් රුපියල් ලක්ෂ 50ක් ලබාදීම තුළින් රජයේ මුදල් සාපරාධී පරිහරණය කළා යැයි චෝදනා එල්ල වී සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් එම තීන්දුව ලබා දී ඇත.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොමැති බව සඳහන් කරමින් විනිසුරුවරයා අදාල තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

විනිමය හා සුරැකම්පත් කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ රොනී ඊබ්‍රහිම් යන අය නිදහස් කරන ලද සෙසු විත්තිකරුවන් වෙති.

ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් අදාළ නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

පාදෙනියගේ වුවමනාවට පවිත්‍රා ගත් තීන්දුව නීතිවිරෝධියි : අභියාචනාධිකරණයෙන් වෛද්‍ය සභාව ගැන තීරණාත්මක තීන්දුවක් !

0

සෞඛ්‍ය ඇමති ධුරය දරන කාලයේ පවිත්‍රා වන්නිආරච්චි විසින් එවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනියගේ අවශ්‍යතාව මත ගත් තීරණයක් නීතිවිරෝධී බව අද (26) අභියාචනාධිකරණය තීන්දු කළේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ එවකට සභාපති ධුරය දැරූ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඇතුළු 05දෙනෙකු 2020 නොවැම්බර් මාසයේදී ඇමතිවරිය විසින් මෙසේ ඉවත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ CA/WRT/422/2020 සහ CA/WRT/44/2020 අංක දරන පෙත්සම් විභාග කළ ටී. මොහොමඩ් ලෆාර් සහ එස්.යූ.බී. කරල්ලියද්ද යන විනිසුරුවරුන් මෙම තීරණය ප්‍රකාශයට පත්කරන ලදි.

මහාචාර්ය ඩි.ජී. හරේන්ද්‍ර ද සිල්වා සමග මහාචාර්ය නාරද දීඝගාමිණී වර්ණසූරිය, වෛද්‍ය ඩබ්ලිව්.එම්. සුනිල් රත්නප්‍රිය, වෛද්‍ය යූ.එම්. ගුණසේකර, වෛද්‍ය පුෂ්පිත දර්ශන සුනිල් උභයසිරි යන එවකට වෛද්‍ය සභාවේ සාමාජිකයන් මෙම පෙත්සම් ගොනුකර තිබිණි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ එවකට සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි, අදාළ සාමාජිකයන් ඉවත් කිරීම සඳහා පත්කරන ලද සභාපති වෛද්‍ය හේමන්ත පෙරේරා ඇතුළු සාමාජිකයන්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි රෙජිස්ට්‍රාර් ඇතුළු 13 දෙනෙකි.

තහවුරු නොකරන ලද චෝදනා මත පවිත්‍රා වන්නිආරච්චි විසින් මහාචාර්ය හර්න්ද්‍ර ද සිල්වා ඇතුළු පිරිස ඉවත් කරන ලද අතර, ඒ වෙනුවෙන් පත්කරන ලද කමිටුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වර්තමාන සභාපති වෛද්‍ය දර්ශන සිරිසේන ද විය. එවකට චෝදනා එල්ල වූයේ මෙම පත්කිරීම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය පරිදි සිදු වූ බවටයි. හරේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිස වෛද්‍ය සභාව තුළ තීරණාත්මක වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට උත්සාහ කිරීම ඊට හේතුව විය. වෛද්‍ය සභාවේ ක්‍රියාකාරිත්වය වෙනස් කිරීම, විදේශීය විශ්වවිද්‍යාල වෛද්‍ය උපාධි සම්බන්ධයෙන් තීරණ, වෛද්‍ය සභාවට වෛද්‍යවරුන් නොවන වෘත්තිකයන් පත්කිරීම ඔවුන් විසින් සිදුකිරීමට උත්සාහ කළ එවැනි වෙනස්කම් කිහිපයකි.

නීත්‍යනුකූල ලෙස පත්වූ සාමාජිකයන් ඉවත් කිරීමට හේතුව ලෙස අවසානයේදී දක්වන ලද්දේ හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් පත්කිරීම ය.

කෙසේ වෙතත් වෛද්‍ය සභා ව්‍යවස්ථාවට අනුව සෞඛ්‍ය ඇමතිවරයාට මෙම පත්කිරීම කළ හැකි වුවද, ඉවත් කිරීමේ බලයක් නැත. ඊට හේතුව සභාව ස්වාධීන තීරණ ගැනීමේ අවශ්‍යතාව බව වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙක් thetime.lk වෙත පැවසීය. ඉල්ලා අස්වීම, වාර 03කට වඩා නොදන්වා නොපැමිණීම ඇතුළු එම සාමාජිකත්වය පුරප්පාඩු වන අවස්ථා ව්‍යවස්ථාවේ දක්වා ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.