පාර්ලිමේන්තුව කල්තැබීම අද මධ්‍යම රාත්‍රියේ : නව සැසිවාරයේදී අලුත් ඇමතිවරු සහ පිල් මාරු ?

Share post:

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ ගැසට් නිවේදනය අද (27) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු ලබන මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ පාර්ලිමේන්තුවේ මීළඟ වරයා ආරම්භ වන දිනය නිශ්චිත ව සඳහන් කළ යුතු වේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ අනෙකුත් කමිටු කටයුතු ද ස්වයංක්‍රීයවම අක්‍රිය වන්නේය. එම කමිටු අහෝසි වී නව සැසිවාරයේදී නැවතත් එම කමිටුවලට නව සාමාජිකයන් පත්කළ යුතු වේ.

ඒ අනුව විශේෂයෙන් ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මේ දක්වා සිදුකරන ලද විමර්ශනවලට ද මෙමගින් බලපෑම් එල්ල වේ.

මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත බලය පැවරී තිබේ.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබාගැනීමයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) විධිවිධානයට අනුව ඒ සඳහා ජනාධිපතිවරයාට බලය පැවරේ.

මෙහිදී, වාරාවසාන කිරීම මාස 02කට නොවැඩි විය යුතු අතර, එය සිදුකළ යුත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් මගිනි. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේදී පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය එම ප්‍රකාශයේ සඳහන් විය යුතුය.

වාර අවසාන කර ඇති අවස්ථාවල කතානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (4) :

‘යථා පරිදි පාර්ලිමේන්තුවේ වාරය අවසාන කරන අවස්ථාව වන විට කටයුතු නිමකරනු ලැබ නොමැති යම් කාරණා ඇත්තේද, ඒ සියලු කාරණා පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊළඟ සභාවාරයේ දී ඉතිරි පියවර ගැනීමට පාර්ලිමේන්තුවට බලය ඇත්තේ ය.’

නව සැසිවාරයක් ආරම්භ කිරීමේදී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතුය. එහෙත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව වාර අවසාන කර ඇති අවස්ථාවක වුවද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

අනෙක් කාරක සභාවල තත්ත්වය පිළිබඳව නිශ්චිත සඳහනක් නොමැති බැවින්, ඒවා ක්‍රියාත්මක වීම නතර වේ. සම්ප්‍රදායානුකූලව සෑම නව සැසිවාරයක් ආරම්භයේ දී ම එම කාරක සභා නැවත පත්කරනු ලැබේ.

වාර අවසාන කිරීම අවසන් වී ආරම්භ වන නව සැසිවාරය විවෘත කෙරෙන්නේ ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙනි එහිදී ජනාධිපතිවරයාට තම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ හැක.

නැවත කැඳවීම

පාර්ලිමේන්තුව නැවත කැඳවීම නියමිත දිනට පෙර වුවද සිදුකිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. ඒ සඳහා නැවත කැඳවන දිනය ඇතුළත් තවත් ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ යුතුය. මෙයට අමතරව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ ලිඛිත ඉල්ලීම පරිදි සුවිශේෂී අවස්ථාවලදී කතානායකවරයාට පාර්ලිමේතුව නැවත කැඳවිය හැකිය.

1958 මැයි 27 දින වාර අවසාන කර තිබූ කාලසීමාව තුළ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක පාර්ලිමේන්තුව නැවත කැඳවීය. ඒ ජනවාර්ගික කෝලාහල පැනනැගුණු බැවින් හදිසි අවස්ථා නීතිය ප්‍රකාශයට පත් කළ බව පාර්ලිමේන්තුවට දැනුම් දීම සඳහා ය. ඒ අනුව 1958 ජූනි 04 දින පාර්ලිමේන්තුව රැස් විය. එය සුවිශේෂී අවස්ථාවකි.

නව සැසිවාරයක් ආරම්භයේ දී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අතීතයේදී එය හැඳින්වුණේ රාජාසන කතාව නමිනි. එකල එය අග්‍රාණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කෙරිණි.

පාර්ලිමේන්තුවේ කමිටු

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 114 යටතේ තේරීම් කාරක සභාවක් පත් කෙරේ. ඒ අනුව විශේෂ කාර්යයන් සඳහා පත්කරනු ලබන කාරක සභා, වාර අවසාන කිරීමත් සමග අක්‍රීය වේ.

නව සැසිවාරයක් ආරම්භ කිරිමත් සමග උසස් නිලතල පිළිබඳ කාරක සභා, අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර සෙසු කමිටු නැවත පත්කළ යුතු වේ.

  • පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
  • ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
  • ගෘහ්‍ය කාරක සභාව
  • ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
  • ව්‍යවස්ථාදායක කාරක සභාව
  • අමත්‍යාංශයීය උපදේශක කාරක සභාව
  • රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
  • පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
  • රාජ්‍ය මුදල් පිළිබද කාරක සභාව
  • මහජන පෙත්සම් කාරක සභාව
  • පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව

අලුත් ඇමති ධුර සහ පිල් මාරු !

මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව වාර අවසාන කර ඇති කාලසීමාව තුළ ජනාධිපතිවරයා විසින් නව ඇමතිවරුන් පිරිසක් පත්කරනු ඇති බවයි. එසේ ම නව සැසිවාරය ආරම්භ කරන දිනයේදී පක්ෂ මාරුකිරීම් කිහිපයක් සම්බන්ධයෙන් කතාබහක් පවතින බව ද වාර්තා වේ.

Related articles

ගෝඨාගෙන් පසු ජනාධිපතිකම තමන් ගේ ඔඩොක්කුවට වැටෙනු ඇතැයි සජිත් සිතාගෙන සිටියා

මම මේ ලියන්නේ 21 වැනිදාට කලින් ජනාධිපතිවරණය ගැන ලියන අවසාන ලිපියයි. මම හිතන්නේ පැති කිහිපයකින් මේ ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන...

නවසීලන්ත, ශ්‍රී ලංකා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ගාල්ලේදී

නවසීලන්තය සමග වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලියක්...

” ගිරිජා” යනු හුදෙක් තවත් එක් නවකතාවක් පමණක් ම නොවේ

මැට්ටී, පැණිලුණුදෙහි, සංසක්කාරිනී, කඩදොර නම් කෘතීන් හරහා පාඨක රසාස්වාදය ද, ජීවනාශාවන් ද දැල්වූ ලේඛිකාවකද වන ඇය කොළඹ විශ්ව...

‘ගිගිරි වළලු පය නොලා’ _ සරත් විජේසූරියගේ ක්ෂ්ද්‍ර ප්‍රබන්ධ කෙටිකතා

සිංහල සාහිත්‍ය තුළ ක්ෂුද්‍ර ප්‍රබන්ධ කෙටිකතා මේ වන විට යම් තරමක ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත . ලියනගේ අමරකීර්ති...