පේරාදෙණි පෙම්වතියක්

Share post:

ගමේ හිටියට මාත් දැන් පවුලක් වෙලා
උඹේ කටහඬ ඇවිත් හිත අවුලක් කළා
මහත්තයටත් හොරෙන් උඹ ගැන සිහිකළා
රහත් විය යුතු හිතක් උඹ මට පුදකළා

එදා සරසවි බිමේ ගිනි සිළුවක් වෙලා
ඇවිලි ඇවිලී උඹ ගියා පෙරමුණ බලා
හැඬූ මොහොතක් දුටුවෙ නැතුවට තනිවෙලා
කොයි වෙලාවෙත් උඹේ ඇස් දෙක රතුවෙලා

ගමේ ගිය විට උඹට මා සිහිපත් වෙලා
හම්බෙගමුවෙන් ගෙනා බත්මුල දිගු කළා
රාමනාදන් පියස උඩ තරුවක් වෙලා
උඹ මගේ හද එදා රඟමඬලක් කළා

දිනක් මහ රෑ නුවරදී උඹ කොටුවෙලා
වරක් බෝගම්බරත් සතුටින් ගත කළා
යළිත් නිදහස් වෙලා ඇවිදින් පියඹලා
මහත් සතුටින් කෑව ගුටි ගැන සිහිකළා

පරිප්පුව කන දනන්ගේ දහ දුක බලා
වෙඩිල්ලක් සේ ගියා උඹෙ හිත උණුවෙලා
දෑස් හැර ගත් මළ මිනී යට ගුලිවෙලා
උඹත් ඉන්නැති ටයර් සෑයක අළුවෙලා

එදා ගෙම්බා කැන්ටිමේ දී හමුවෙලා
නගෝ එන්නම් කීවෙ නුඹ වෙනතක බලා
ඈත පේරාදෙණියෙ අහස ම ගොළුවෙලා
මෙදා බැලුවත් නුඹේ ඇස් දෙක දැල්විලා

උඹේ උණුසුම් හුස්ම ඇති අවතැන් වෙලා
සොහොන් කොත් නැති සුසානෙක සුවඳක් වෙලා
බඩේ පිළිසිඳ වැඩුණු දරුවන් ලොකු වෙලා
මගේ දරුවන් අතර උඹ දරුවෙක් වෙලා

ගමේ හිටියට මාත් දැන් පවුලක් වෙලා
උඹේ කටහඬ ඇවිත් හිත අවුලක් කළා
මහත්තයටත් හොරෙන් උඹ ගැන සිහිකළා
රහත් විය යුතු හිතක් උඹ මට පුදකළා

කුමාර හෙට්ටිආරච්චි

Related articles

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...